Tuesday 31 August 2010

මෙහෙමත් කුහක කමක්..??



                                     අතම දික් කරන් ඉන්නෙ
                                     උඹලනම් කුහකයො
                                     නැගිටල සූට් එකක් දාගෙන
                                     ගෑණු දරුවොත් එක්ක
                                     පලයල්ලකො රවුමක්..

                                     ගිහින් බලපල්ල රටතොට
                                     දියුණු වෙන හැටි
                                     කාර් එහෙමත් දැන් ලාභයි
                                     එකක් අරන් පලයල්ල
                                     අඵත් වරායට නැව් එනව බලන්න..

                                     ඒව නොදැක්ක වගේ 
                                     ඔහොම ඉන්නෙ උඹලගෙ
                                     කැවුතු කුණුවෙලාද බොලව්
                                     ඉරිසියාකාර කුහකයෝ..

Monday 30 August 2010

ආයාචනයක්....



                                    මිනිස්සු උන්ගෙ එවුන්ට
                                    කඩා පනින්න බැරිකමට
                                    අපේ එවුන්ගෙන්
                                    ඒක කරගන්නව නෙව..

                                    අපේ එවුනුත්
                                    මිනිස්සුන්ගෙ ගාණට වැටිල
                                    ඉඳුල් බතට මස් කට්ටට
                                    හිටු කියල කඩේ දුවනව..

                                    මොනව හරි කරන්න.. දෙවියනි..

Wednesday 25 August 2010

මහපොළොවේ සුජාත දරුව.....



                                   මිහිමවගේ සුජාත දරුවෙකි
                                   නුඹ දරුව
                                   ‍එහි උණුසුම සිසිල
                                   පපුතුරෙහි නිබඳව තියෙන..

                                   නුඹේ මව් සොරාගෙන
                                   දූෂණය කොට හිඳියි
                                   නුඹ හෙලා මහ මගට
                                   ඇගේ අවජාතක දරුකැල...

Tuesday 24 August 2010

පිනක මහිම...



                                         මේ පෝයට අපි
                                         පින් සිත් පෙරදැරිව
                                         මරණයට කැපවූ
                                         ගවයෙක් මුදා හැරියෙමු..

                                         මස්මඩුවේ නානා
                                         අප දුන් මුදල් ගෙන
                                         වෙන එකෙකු මිළදී ගෙන
                                         මරා මස් සැපයීය..

Monday 23 August 2010

අපි වහලුන්ද නැත්නම්..?


                                    
                                       අතීතයේ ඉඳන්ම
                                       අපි දන්නෙම නැතිව
                                       නොපෙනෙනා අත් වලින්
                                       අපේ ගෙලවල් මිරිකා ඇතත්
                                       පුදුමයකි...
                                       අපි ඒ අත් සිඹිමින් සිටින්නෙමු..?

Sunday 22 August 2010

හොරකම් කල සිනහව...


                              
                                      ඉපදෙන්නත් කලින්
                                      ඔක්කොම එකතු වෙලා
                                      හිනාව හොරකම් කරල..
                                      දැන් ඉතින් 
                                      හිනාවෙන්නද කියන්නෙ..?

Friday 20 August 2010

නුඹලා සෙනෙහසේ දරුවෝය..


                                       ලෝකයට අමතක වුණත්
                                       නුඹලාව පුතනුවනි
                                       මේ වේදනා කඳුළැල්
                                       ආදරේ උල්පත්ය..

                                       හෙට  ඒ උල්පත් සමග
                                       අමතක නොකර ලෝකය
                                       ඒ වෙත ගලා යන්න
                                       එය නැවත පුරවන්න..

Thursday 19 August 2010

මේ මනස නම්..?



                                 බොහෝ ක‍ලකට පසු කිසිවෙක්
                                 ජීවිතේ දොරට තට්ටු කරනා හඞ ඇසී
                                 දොර හැරිමි පිළිගෙන ඒ අමුත්තා
                                 දොඩමඵ වීමි ඔහු සමග සිත්සේ
                                 දුක පිරුණු මතක ගබඩාවම හැරිණ
                                 ඔහු අසා සිටිනා සඳෙහි..

                                 ඉදින් මා නිදහස්ව සතොසින
                                 ඔහු වතගොතද විමසිමි විටෙක
                                 ජීවිතය හිස්ව ගිය ඒ වතෙහි
                                 කටුක දුක් පැල්ලම් ඇතත්
                                 හඳුනගන්නට නොහැකි විණි මට හරිහැටි..

                                 සෙනෙහසක් ගලා ආ ඒ හදට
                                 ජීවිතය දෙන්න මට සිතුණමුත් යම් විටෙක
                                 සිතුවිලි පැමිණ මා මනස තුළ
                                 ජීවිතය වෙනුවට ඔහුට
                                 ජීවිතයක් දෙන්න යැයි පැවසීය

                                 එහෙත් එය පතන බව ඔහු මගෙන්
                                 මනස මට පැවසීය කිරා මැන
                                 එබැවින් තව තවත් ලුහුඞු කොට
                                 සුඵ යමක් දී සැනසෙන්න
                                 මනස මට පැවසීය නිබඳව..

                                 මා කුමට දෙනු ඔහුට කිසිවක්
                                 එය රැගෙන යනු නිසැක සමුගෙන
                                 ඔහුට හිමිවී ඇති ලොවට
                                 මනස මට පැවසීය නැවතත්..

                                 මා මගේ මනස තුළ
                                 තුලාවක් ගෙන ඔහුව මනිනා කල
                                 ඔහු වැරැදි මට පෙණින අපමණ..

                                 ඒ කිසිත් නොදත්මුත්
                                 හදවතේ බර පමණක් ඇති ඔහු
                                 කටුක දුක් පැල්ලම් සහිත මුහිණින
                                 සිනහ වී නික්ම යනු මා දුටිමි...

Wednesday 18 August 2010

නුඹද තවත් ජීවිතයකි....



හෙටක් ගැන සුබ සිහින නොතැවරුණු නුඹ සිතේ
අදක්වත් ගෙන එන්න හිරු තවම නොසැරැසේ
කලල් මඩ ගොහොරුවේ අපමණව දුක තියේ
සියපතක් වී නැගෙන සිහිනවත් ‍නොම පෙනේ...

කල්පයක් සැරිසැරූ සංසාර මහමගේ
හමුවුණුම අයමවේ සිටින්නේ නුඹ වටේ
මතකයන් අමතකව හදවත්ද ගල් ගැසී
නුඹේ දුක් වේදනා කිසිවෙකුට නොම හැ‍‍‍ඟේ..

කටුක දුක් අවදි වී වැළඳගත් නුඹ හදේ
පණ අදින ප්‍රේමයේ සෝසුසුම් හඞ ඇසේ
වසන්තේ මලක් නොව මලක සුන්බුන් වුණේ
ජීවිතය බියකරුම සිහිනයක් වෙද නගේ..?

Wednesday 11 August 2010

අපි වෙමු එඵවෝ..



අපිනම් ඉතින්
"බෑ" කිව්වොත්
බෑමයි ඔන්න..
ඇතුලෙන් "හා" නෙවෙයි..

ඔයාල කොහොමද?

Tuesday 10 August 2010

මිනිසා අසමතුලිතය...



                                   පොළොවෙන් ගස තුළටත්
                                   ගස තුළ සෛලයෙන් සෛලයටත්
                                   සාරය විසරණය වෙයි
                                   වැඩි තැනින් අඩු තැනට ගොස්
                                   පෝෂණය සමතුලිත වෙයි
                                   පිවිතුරුය ස්වභාදමනම් ..

                                   අඩු තැනින් වැඩි තැනට
                                   සියල්ල ගලාගොස්
                                   (මනුෂ්‍යත්වය හැර)
                                   අඩු තැන් සිඳී යයි
                                   වැඩිතැන්ම පෝෂණය වේ
                                   මිනිසුන් අතර ලොව..

                                   මිනිසා අසමතුලිතය...

Friday 6 August 2010

දෙවියන් සම්මුඛයේදී...


         ඔබට මතකද බොහෝ කලෙකට පෙර ඔබ මාව පහත්ම අගාධයකට විසිකල අයුරු. ඒත් එදා මම ඔබ කියා මේ පොළොව මත කිසිවෙක්ම හඳුනා නොගත්තෙමි. මා මහ පොළොව මත කිසිවක්ම නොහඳුනන ක්ෂුද්‍ර ප්‍රාණියෙක්ව විමති දෑසින් අවට බලන හැටි ඔබ බලා ඉන්නට ඇති. සත්‍ය නොදැන ඒ පහත් කුණු ගොඩේ මා සිනාසෙනු, හඞනු ඔබ බලා සිටින්නට ඇති.
        ඉරහඳ එක්ව හදිස්සියෙන් දවස් බිහි කරමින් මා ඉක්මණට ළමා වියට මුදා හරින විට යුහුසුඵව ලෝකය මා තුළට ඇතුඵ වෙමින් සිටියේ විශ්මයෙන් මා මුසපත් කරලමිනි. දිළිඳු බවේ පත්ලෙන් හිස ඔසවා අවට බැලූ මා දුටු පරස්පරයන් නැවතත් ලැජ්ජාවෙන් සහ වේදනාවෙන් මා තුළම සැඟවීමට හේතු වුණු හැටි කොතනක හෝ සිට ඔබ බලා සිටින්නට ඇති.
කාලය හැල්මේ දිව ගියේය. ශුෂ්ක භූමියක පතොක් පඳුරක්සේ ඔබ මාව ලොකු මහත් කරමින් සිටියේය.  අන්ධකාරයට පවා බියමුසුව ගරු කල අම්මා මා වෙනුවෙන් ඔබේ පිහිට යැදීය. ඔබේ කුරිරු නිර්මාණාත්මක ස්වභාවය ගැන එකල මා තුළ පැහැදීමක් නොතිබුණද අසරණකමින් කඳුඵ පිරවුණ පීඩිත අවස්ථාවලදී සියලු අවනඩු හදවතින් ඔබට කියා සිටියේ මොහොතක ඔබ සවන් දෙනු ඇතැයි විශ්වාසයෙනි. එහෙත් ඒ අවනඩු සියල්ල ඔබ විභාගයට නොගෙන ඉවත දමා සිටිද්දී මා අම්මාට කියා සිටියේ,
" අම්මේ තවත් දෙවියන්ව විශ්වාස කරන්න එපා. දෙවියො කියල කිසිවෙක් නෑ. වැරැදීමකින් හරි ඉන්නවනම් බලයයි ධනයයි ඇති තැන්වලට සේවය කරන්නෙක් විතරයි. දෙවියො පිහිට වුණ අසරණ මිනිහෙක් නම් ලෝකෙ කොහොවත් නෑ"
ඇයගේ එකම ප්‍රතිචාරය කවදත් අනුකම්පා සහගත බැල්මක් පමණි.
        ඒත් ඒ දක්වා පැමිණි මගත් ඒ වන විට  රැඳී සිටි පීඩිත අවකාශයත් මෙනෙහි කල මා ඇයට උපහාසයෙන් සිනාසුණු අයුරුත්, ඇය බිඳුකුදු නොසැලී ඇගේ විශ්වාසය තුළ ජීවත් වූ අයුරුත් ඔබ බලා සිටින්නට ඇත. ඒ විශ්වාසය තුළම ඇගේ ලොව තුළ හිරු සඳු මහඵ වියට පත්ව සදාතනිකව බැස ගියේය.
         මම ජීවිතේ මහ ගමනක් පැමිණ සිටිමි.  පැතූ කිසිවක් ලැබී නැත. ලැබූ කිසිවක් පැතුවේ නැත. මම හිස් බැල්මෙන් යුතු ගල්පරයක් ලෙස කුණාටු සහිත ජීවිත සයුරෙහි වෙරළ අබියස තැන්පත්ව හුන්නෙමි. අපේක්ෂා භංගත්වයේ උදාසීන මනසින්, මහ උපහාසයකින් ඒ සයුර දෙස  බලා  සිටිනා හුදකලා කාලාන්තරයන් අතරතුර මම නිරපේක්ෂ සත්වයෙක් වෙමින් සිටියෙමි.





         මට අනෙකුන්ව මෙන්ම ඔබවත් සහමුලින්ම අමතකව ගොස් තිබිණ.බලාපොරොත්තු කිසිවක් නොවුණු ඒ හුදකලා අවකාශය තුළ උපේක්ෂාවේ ආලෝකය වැද අහේතුක ප්‍රීතියක් හදවතේ තෙරපෙනු අවධානයෙන් බලා සිටියෙමි. කාල අවකාශ අතරින් නොදත් තුඟු සිරසකින්  හදවතට විසරණය වූ ඒ සන්තුෂ්ඨිය හදවත වෙලා ගනිමින් තිබිණ. අමතකව සිටි ඔබව අවසන නැවතත් මට සිහිපත් වූයේ  ඒ ප්‍රීතිමත්භාවය තුළ මගේ දෙවන උපත සිදුවෙමින් තිබියදීය. මම පළමුවරට ඔබේ සේයාවක් මනසින් දුටුවෙමි. අනන්ත ආදරය තුළ මා හදවත ලැගුම් ගනිමින් ඔබේ සේයාවේ තීව්‍රතාවය සුපැහදිලි කරමින් ජීවිතයේ අර්ථය වටහා දෙයි.

ඉතින් දෙවියනි,
 ඔබේ කරුණාවේ පරිත්‍යාගශීලීත්වයේ අනන්ත ගුණය කෙරෙහි කෘතවේදී බවින් මා ඔබව සෙනෙහසින් ආවර්ජනය කරමි.
       කලෙක ලොව පහත්ම කසල ගොඩ තුළ මා රැඳවූ ඔබ මගේ පීඩිත මමත්වය කුඩුපට්ටම් කර තිබුණේ එයින් පිම්බී උද්දච්ච මෝඩයෙකු සේ නැගී සිටින්නට නොහැකි ලෙසය.
       මට වැරැහැලි ඇන්දූ ඔබ මා ලැජ්ජාවෙන් මිරිකා දමා විසිතුරු සඵපිළි තුල  සැඟවීමට ඉඩ නොදුන්නේය.
එසේ සැඟවීමට හැකිවීනම් ඇතුළතින් මා නිරුවත් වනචාරියෙකු ලෙස අද සිටින්නට බොහෝ සේ ඉඩ තිබිණ. ඔබ එයින් මා වලාකාලීය.
මා කුසගින්නේ තැබූ ඔබ දරා ගැනීමේ අවසන් සීමාවේදී එයින් මා මුදවාලූයේ රඵ අහරකින් මා සතපවාලමින් සාගින්නේ සංවේදනාව මා හද ගැබෙහි සදාකාලික සිහිවටනයක් කරමිනි. එබැවින් සත්වයාගේ සාගින්නේ වේදනාව සමග අද මා ඒකාත්මික වෙමි.
ඔබ මගේ දෙනෙත් නිබඳ කඳුළෙන් පුරවමින් කඳුඵ බිඳුවක සැඟවී පවතින අපමණ නිරාදුක මට එළිදරව් කලේ කිසිදා කඳුඵ පිරි දෑසකින් පලා නොයනා අයුරිනි.
         මගේ සෑම ඉල්ලීමක් හමුවේම නෑසූ කන්ව සිටි ඔබ මගේ හැම භෞතික ප්‍රාර්ථනයක්ම රුදුරු ලෙස සුණුවිසුණු කරමින් මගේ ආත්මය සිඟන්නෙකු වීමෙන් මා වලකාලීය.
         මා සෙනෙහස පැතූ සෑම මනුෂ්‍ය ප්‍රාණියෙක් තුළින්ම අනාදරයත්, නොතකා හැරීමත්, රැවටීමත්, පිටුපෑමත්, විරහවත්, දුකත් ලබා දෙමින් මා හෙම්බත් කරමින් හුදකලාව තුළ ඔබ මා ස්ථාපනය කලේ මා යදින්නෙකු නොකර ආදරය කිමෙක්දැයි මට පසක් වන අයුරිනි.
අතොරක් නැතිව රෝගාබාධ අනතුරු තුළට මා හෙලමින් සිරුර හා බැඳුණු ආශාවන්ගේ තාවකාලික ස්වභාවය මා අභියසම ඔබ පුනරූපනය කලේය.
විල්ලුද පලස් මත මගේ පිය සටහන් තැබීමට ඉඩ නොදුන් ඔබ කටු කොහොල් පිරි රඵ භූමි තලයෙහි ගැටෙන මගේ දෙපා තුළින් මහ පොළොවේ උණුසුමත් සීතලත් කෙබඳුද යන්න නිබඳ උකහා ගැනීමට ඉඩ සලසා දුන්නේය.
         පැතූ හැම සම්පතක්ම අහිමි කරමින් ආශාවන්ගෙන් මා උමතු කල ඔබ බාහිර දේ තුළින් සතුට සොයන ඒ උමතු ආශාවන්ගේ නිස්සාරත්වය මට අවබෝධ කර ගැනීමට  ඉඩ හැර බලා සිටියේය.
ඉදින් සතුට මා තුළම රළ ‍නැගෙනු නොදිටිනම් මා ව්‍යාජය තුළම මිය යන්නට ඉඩ තිබිණ.
         ඔබේ අවබෝධ කරලීම් මහත් වේදනාත්මක වුවද, බිහිසුණු වුවද ඇට මිදුඵ හරහා ආත්මයට කාවැදුණු එහි සාරාර්ථයන් සොඳුරුය.
තරු අතරක විසිරී ගිය අම්මාගේ ආත්මයේ සිනහවන් මා දකිමි.
දෙවියනි, නැවතත් මාව අඳුරු අහුමුඵ වල වේදනාව තුලට අතහැර දමන්නට ඔබට නොහැකි වනසේ  හෙට අරුණෙහි ඔබේ මනරම් උද්‍යානයේ මා විකසිත වෙමි. මා ආදරයෙන් සිප ගැන්මට ඔබට සිදුවෙනු ඇත.
එවිට මහදෙහි අනන්ත කෘතවේදී බව ඔබ සමග ඒකාත්මික වනු ඇත.

Wednesday 4 August 2010

මමද ලිහිණියෙකු වෙමි

යෞවනය හා ප්‍රේමය හමුවන සන්ධිස්ථානයක් ජීවිතය තුළ එළඹේ. එක්ව ගමනක් යාමේ ප්‍රාර්ථනාවන් හදවත් තුළ දැල්වේ. ජීවිතයේ මිහිරියාව ආදරයේ මිහිරියාව තුල පමණක් බව හදවත් අදහයි.

එහෙත් සියල්ලේම පාලනය මිනිසාගේ පාලන සීමා‍වෙන් ඔබ්බේ සිට බලා හිඳියි. එම ප්‍රාර්ථනාවන් සඵල කර ගැන්මට හෝ ආශාවන් වින්දනය කිරීමට පැතූ ලෙසින්ම සියල්ලන්ට හැකියාවක් නොලැබේ. විටෙක හදවත් දැල්වූ ප්‍රේමය එක් පාර්ශ්වයකට තව දුරටත් වටිනාකමක් නැති වීමෙන් දුක හෝ වෛරය බවට පත්වේ. විටෙක ඔවුන් පැතූ ලෙස එක්වුණද ජීවිතය තුළ පැතූ සතුට ප්‍රීතිය සැනසීම එලෙසින්ම එකිනෙකා තුළ නොමැති බව කල්ගත වී හෝ අවබෝධ වේ. එසේම හැඟීම් වල තීරණයන් අනුමත නොවන පවුල් පසුබිමක් තුළ සමුගැනීමට සිදුවන අවස්ථාද වේ.

පුද්ගලයාගේ කර්මය හෝ අසාධාරණ සමාජ ප්‍රවණතාවයන් හේතුවෙන් එළඹෙන ජීවන ගැටඵ හේතුවෙන් වෙන්වීමට සිදුවන අවස්ථාද අපමණය. එසේම පෙරුම්පුරා දුෂ්කරතා මධ්‍යයේ සෙනෙහසේ ජීවිතය ඇරැඹුවද දරිද්‍රතාවය, පීඩනය, අසරණකම එහි සතුට උදුරාගෙන තිබේ. වෙන් කිරීමට මිස එක් කිරීම වෙනුවෙන් මනුෂ්‍යත්වයේ ප්‍රයත්නයන් දුර්ලභය.
ඉතින් අපට ඒ මොහොතේ අපි තටු සිඳුණු කුරුල්ලන්සේ නොදැනේද?
අහිංසක අප දෙදෙනාගේ තටු කඩා මේ ලෙසින් දිය බිඳක්වත් නැති ගඟ දෑල අතහැර දැමූ බලවේගය කුමක්ද? එය කුමක් වුව අප දොස් නගා ඵලක් නොමැත. එහෙත් මතු දිනෙක අපේ පැටවුන්ට පියාපත් ලබා නිදහසේ පියඹන අයුරු අපි කියාදෙමු.

රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ කාව්‍ය රචනාවක් ඇසුරින් ඔහු විසින්ම නිර්මාණය කල ගීතයකි. එක්තැන් වුණ ප්‍රේමණීය ජීවිතයට එරෙහි වන සිය පාලනයට එපිටින් එන පීඩාවන්ගේ සංවේදනාව සියුම් වදනින් ප්‍රකාශ වන්නේ උපමා රූපක හරහාය. පොදු ජනයාගේ දුක වේදනාව සමග කවදත් ඒකාත්මික වූ ගුණදාස කපුගේ මහතා විසින් සංගීතවත් කරමින් ගීතය ගායනා කර ඇත.


සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඞන
මමද ලිහිණියෙකු වෙමි කැඩුණු තටු පිරිමදින

අහිංසක අප දෙදෙන තටු කඩා මේ ලෙසින
සිඳී ගිය ගඟ දෑල හැර දැමූවේ කවුද?
සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද?
බාල වයසින් මැරුණු ප්‍රේමයකි තරු එළිය

කටුක දුක් විරහ මැද අතරමං වී ගියද
අපි තවත් පෙම් කරමු අපේ ජීවිත වලට
කියා දෙමු පියඹන්න අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබූ කුරුල්ලන් වී දිනෙක

ගීතය බාගෙන අහන්න..