Wednesday 31 August 2011

අලුත් යහඵව අලුත් ඔඵවක් සමග එන්න





නම කිව්වා ගම කිව්වා
රස්සාවත් කීව ඉතින්
මම දන්නව මේ දැන් දැන්
අහන්න යන ප්‍රශ්ණ ගොන්න
ඔයාගෙ ඔය ඔඵව තුළින්

අහන්නෙපා ඒක නිසා

අයිය අක්ක කොහෙද ඉන්නෙ
නංගි මල්ලි ඉන්නවාද
උන් බැඳලද දරුවො ඇත්ද
අම්ම අප්ප මොකද කලේ....??

ඔයා තවම බැඳල නැද්ද
මොකද ඔයා බඳින්නැත්තෙ
බඳින්න අදහසක් නැද්ද
වයස‍ ගෙවිල යනව නේද....??

ඉගෙන ගත්තෙ මොනවද ඔබ
කැම්පස් හෙම ගියා වේද..?
අහවල් එක ‍කළොත් මොකද
තව පොඩ්ඩක් ඉගෙන ගන්න
මමත් ඒක කරල ඉන්නෙ

සම්ප්‍රදාය කලක ඉදන්
පට්ට ගහපු ප්‍රශ්ණ ඒව
තියෙනවනම් එහෙම නොවන
නැවුම් විදියෙ ප්‍රශ්ණ එහෙම
හොයල බලල අරන් එන්න
මම උත්තර දෙන්න කැමැති

එකම විදියෙ ප්‍රශ්ණ ගොඩක්
එකම විදියෙ ඔඵ අතරින්
දමා ගහන මැෂින් වගෙයි
නැත්නම් මට හැඟී යන්නෙ
අලුතින් හමුවන හැමෝම..



Wednesday 24 August 2011

අනේ කූඹින්නේ...


අනේ කූඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ
අපටත් හිඳින්නේ ඒ නිසාවෙනි අපි තැවෙන්නේ
රජෙකු නැති වුණොතින් 
දණින් නොවැටෙ‍ඤ්ඤං
වහලුන් නොවෙඤ්ඤං
අමනභාවෙන් නැගී ඉඤ්ඤං....




Friday 19 August 2011

සංගණනයෙන් පසු....



පහු ගිය දොහක 
ආයෙමත් ඇවිදින්
ගැණගෙන ගියාලු
අර යක්කු මුඵ රැළම..

ඇහ ගහගෙන ඉඳින්
පොඩි එවුන් දිහාටම
දන්නවනෙ ඕකුන්
එහෙමටම තිරිසන්නු..


Tuesday 16 August 2011

මැට්ටන් අතරෙහි..




හා... මෙන්න මම
මැටි පිඩක් වුණා එහෙනම්
අඹන්න ඔබට ඕනිම
විලාශයකට මාව
ඔය හදවතට
ආදරය දැනෙන විදියට...

ප්‍රශ්ණයක් නෑ මට
පේන්නෙම නැද්ද?
මැට්ටන්ට
හොඳම කාලය දැනුයි

බලන්න ඉතිහාසයම පෙරළා..


Tuesday 9 August 2011

මළකුණු අතරින්..





දසුන් ආයෙ ඉස්කෝලෙ එන්නෙ නැද්ද

නෑ, සර් මම කැමැති නෑ ඉස්කෝලෙ එන්න

ඒ මොකද? ඉගෙන ගත්තොත් නේද අනාගතයක් තියෙන්නෙ

මට අනාගතයක් ඕනි නෑ සර්, දැන් මම සතුටින් ඉන්නව

ඔහු කුරුල්ලෙකු මෙන් මගෙන් ඉවතට ඇදී යන්නේ සැහැල්ලුවෙනි. සතුටෙනි.

දසුන්ගේ පාසල් ගමන නතර වූයේ දෙවන වරටත් වසර අවසානයේ පැවැත්වෙන විභාගය අසමත් වීමත් සමගය. මෙම විදුහලේ සාමාන්‍ය පෙළ දක්වා පංති පැවැත්වුණද මෙසේ දසුන්ගේ පාසල් ගමන නතර වෙන්නේ හත්වන ශ්‍රේණියෙනි.

ඔහුගේ ජීවිතය පැවතියේ පංති කාමරයෙන් එපිට විශාල ලෝකයේය. එහිදී ඔහු සිරගත කරන ලද්දෙකු මෙන් නිහඞ දරුවෙකි. ඒ සිරගත කිරීම ඔහුව නොසන්සුන්තාවයට පත් කරනු මා දැක ඇත. විෂය කරුණු කෙරෙහි එකඟ කර ගත නොහැකි ඔහුගේ සිත පිටත බාහිර ලෝකය තුළ දියවී ගොසිනි. තරවටු කිරීම් හමුවේ ඔහු පාන්නේ අහිංසක සිනාවක් පමණි.

ඉතින් මේ කැළෑ පැනිල්ලෙන් ඔයාට යහපතක් වෙයි කියල ඔයා හිතනවද?

මම ගොඩක් ඈතට හිතන්න දන්නෑ සර්. ඒත් මම දැන් සතුටින් ඉන්නව

මොකක්ද ඔයාගෙ සතුට

ඇල ලස්සනට ගලනව ඒක මට සතුටක් සර්. පුංචි මාඵවෝ දඟලනව සතුටින්, ඒ දිහා බලන් ඉන්න එක මට සතුටක්. අර එරබදු ගහේ උඩ තියෙන කූඩුවේ මයින පැටව් ඉන්නව. මම ගහට නැගල උන් ලොකු වෙන හැටි බලනව හැමදාම ඒක මට හරි සතුටක්. උදේට මම සීයත් එක්ක කුඹුරට යනව. කුඹුර මඩ කරන එකත්, වපුරන එකත්, ගොයම් ගස් හැදෙන හැටි පීදෙන හැටි දකින එකත් මට සතුටක්. කවද හරි කමත මැද්දෙ වී ගොඩක් හැදෙනව දකින එක මට සතුටක්. හවසට මේ ඇල ගාව ඉන්න එක මට සතුටක්. අර බලන්න සර් එහා පැත්තෙ වඳුරෙ ගස් උඩ පනින හැටි පොඩි පැටවුත් එක්ක. ඒක දකින එක මට සතුටක්. කුරුල්ලො කෑ ගහන එක, අහස උඩට නගින උකුස්සො දිහා බලන් ඉන්න එක මට සතුටක් සර්. පොඩි ගහක් උඩට නැගල මේ දේවල් දිහා බලන් ඉන්න එක සතුටක්. ගහකට නැගල ගෙඩි කඩාගෙන කන එක සතුටක්. අර ගොරක ගහේ බැඳල ඉන්නෙ අපේ එළදෙනයි පැටියයි. මම හවසට උන් දෙන්නව එක්කන් යනව. උන් මාත් එක්ක කතා කරනව ඇස් වලින් මට ඒක සතුටක්.

දසුන් කියාගෙන යයි. පාසල තුළ මේ  නිහඞ දරුවා තමන්ගේ සැබෑ ලෝකය තුළ විශිෂ්ඨයෙකි. පාසල ඔහුට පිටුවහල් කඳවුරක් මෙන් දැනෙන්නේ ඇයිදැයි මම වටහා ගතිමි.

ඒත් දසුන් මේ හැම දසුනක්ම තාවකාලිකයි. දුප්පත්කම, අගහිඟකම ජයගන්නනම් ඉගෙනගෙන හොඳ තැනකට යන්න වෙනව

ඔහුගේ ඇස් නලියයි. මා දෙස බලන්නේ අවිහිංසක සිනාවකිනි.

සර් මට ඉගෙන ගන්න බෑ. මම කැමැති නෑ ඉගෙන ගන්න. මට ඒ මොකුත්ම තේරෙන්නෙ නෑ. මට ගොඩක් සල්ලි හොයන්න ඕනි නෑ. අගහිඟකම් තිබු‍ණත් බඩගින්න නිවෙනවනම් කොහොම හරි මම හැමවෙලේම සතුටෙන් දැනටමත්. ඉතින් හෙටත් එහෙම වෙයි. සර් උගන්වන ගණන් සර්ට සතුටක් ඇති. ඒත් මට ඒ ඉලක්කම් මළකුණු වගේ. මම ආශා නෑ ගණන් හදන්න. ඊට වඩා මම කැමැතියි රෑට කණාමැදිරියෝ ඉගිලෙන හැටි බලන් ඉන්න. රැහැයියො කෑ ගහන හැටි අහන් ඉන්න. මට උන්ගෙ භාෂාව තේරෙනව ඉස්කෝලෙ උගන්වන ඒවට වඩා. උදේට අපේ එළදෙනත් පැටියත් තණකොල කන හැටි බලන් ඉද්දි උන් තණකොළ දත් වලින් කඩන සද්දෙ අහන් ඉන්න මං ආශයි. මං කැමැති ජීවත් වෙන දේවල් වලට සර්

මේ සත්තු, කුඹුරු, ගස් ඔක්කොම නැති වෙන දවසක් ආවොත්

එතකොට හැම දෙයක්ම නිහඞ වෙයි සර්. ඒ නිහඞ බව මට සතුටක්. හැල හොල්මනක් නැති වෙලාවල්වල තියෙන ඒ නිහඞ බවත් හරිම ලස්සනයි. සර්රුත් මොකුත් කල්පනා කරන්නෙ නැතිව අහගෙන ඉන්න මොකුත් නැති නිහඞ වෙලාවල් වල. එතකොට ඇහෙයි දෙවිවරු කතා කරන දේවලුත්. හුළඟ කියන දේවලුත්.

මම විපිලසර වී අසා සිටියෙමි.

කඵවර සිංදු කියන හැටිත් සර්ට ඇහෙයි නිහඞම වෙලාවල්වල

මම යනව සර්, සීය බලන් ඇති මම එනකම්

දසුන් එකවරම මගේ ගුරුවරයා බවට පත්වීද? මම කල්පනා කරමි. කෙසේ වෙතත් මා සිටින්නේ සතුටට කොතරම් දුරකදැයි මම සිතමි. කොයි තරම් දිගු ගමනක් ආවත් මා පැතූ සතුටේ සේයා තවම අනාගතයේය. ඒ පැමිණි ගමනේ ස්වභාවිකව පවතින පණ ගැහෙන සතුටේ රිද්මයෙන් මා ඈත් වී ඇත්ද?. ඒ පණ ගැහෙන සතුට වෙනුවට මා මළකුණු වලින් හිස පුරවාගෙන සිටින්නෙම්ද?
ඒ රැයේ මම සිතුවිලි අතර අතරමං වී සිටියෙමි. සැබවින් පවතින සතුට වෙනුවෙන් මට මාව හිස් කිරීමට ඇවැසිය. ඒත් මේ මළකුණු වළ දමන්නේ කෙළෙසද මා නොදත්තෙමි. හැම දෙයක් තුළම සතුට තැවරී ඇතත් එය උකහා ගත හැකි ඉව මගෙන් උදුරා ගත්, කෘතිම සතුටක බීජ මා තුළ වැපිරූ අතීත පංති කාමරය මා පිළිකුලෙන් මෙනෙහි කරමි. දසුන්ව මගේ රාජධානියෙන් පිටමං කර ඇත. එහෙත් දසුන් සිටින සදාකාලික රාජධානියෙන් මා පිටමං කර ඇත. ඔහුගේ රිද්මය නැගෙන්නේ දිව්‍යත්වයේ මූලයකින් යැයි මට දැනෙයි.

මා සිත කුඩා දසුන්ගේ ප්‍රීතිමත් දසුන කෙරෙහි ඊර්ෂ්‍යා සහගත වී සිටිනු මා දකිමි. ගුරුවරයාට ඊර්ෂ්‍යා කරන ගෝලයෙකු මා තුළ ජීවත් වෙයි.


Wednesday 3 August 2011

මිනිසුන් සමග ලැග්ගොත්..



දැන්වත් යමල්ල
ආපහු කැලේට
කොයිතරම් කාලයක්
චාටර් වුණාද,

අපේ මුඵ වරිගයම

මිනිසුන් එක්ක
ලගින්නට ගිහින්..