එක දිගට සෑම දිනකම තමා නිරුවතින්
නුවරුන් අතර සැරිසරනු රජු සිහිනයෙන් දකින්නට විය. නිරුවත් තමා දෙසටම දෑස් දල්වන
ජනී ජනයා තමන් මහරජු බව නොහැඳිනීම ගැන රජු උදහස් වන්නේය. නුවරුන් තමා දෙස බලමින්
සිනාසෙනු, උසුඵ විසුඵ කරනු පමණක් නොව හූ හඞ නගනුද ඇසෙන රජු තම දෝතින්ම නිරුවත්
යටිකය වසාගෙන මිනිසුන්ගෙන් තොර ආවරණයක් සොයමින් දහඩිය පෙරමින් දිව යද්දී
ලැජ්ජාවෙන් බිය වී අවදිවීම සාමාන්‍ය දෙයක් බවට පත්විය. ඉන් අනතුරුව නිදිවර්ජිතව
රැය පහන් කරන රජු රාජ්‍ය විචාරණ කල්හී මහත් වෙහෙසකර ශරීරයෙන් යුතු වන්නේය. කෝප
වන්නේය. කුරිරු තීරණ ගන්නේය. රාජ සභා මණ්ඩපයෙන් ඈත් වී හුදෙකලාවේ ගිමන් නිවාගන්නට
සියල්ල ඉක්මණින් නිමා කරනු පිණිස වෙහෙසෙන්නේය.
සිය ප්‍රිය හිමියන්ගේ උකටලී ස්වභාවය
නිරීක්ෂණයේ යෙදෙන රජුගේ නීත්‍යානුකූල අගබිසව රජු තමන්ව මග හරින්නේ යම් අවකල් ක්‍රියාවකට
ලොල් වී යැයි සිතන්නට වූවාය. බොහෝ දින ගණනක් ඉවසීමෙන් අනතුරුව ඈ රජු විමසන්නීය.
“ස්වාමිනී, උකටලී වීමට හේතු කිම, මගෙන් ඔබට අවැඩක් වීද
නැතිනම් දිනෙන් දින වියපත් වෙමින් සිටින මා ඔබේ මනදොලට නොසරිලන්නේද? ඔබ මා සමග ප්‍රිය
සම්භාෂණයේ නොයෙදෙන්නේ එනිසාද?”
රජු තම මනස කළඹන අසහනය සිය බිසව
හඳුනාගෙන ඇති බව දැන තැති ගන්නේය. මනදොල සැපිරීම පිළිබඳ ඇගේ වදන් ගැනත් තමන්ගේ ඈ
නොදත් හැසිරීම ගැනත් මතක් වීමෙන් රජු තවත් අපහසුතාවයට පත් වන්නේය. ඒ සියල්ල
දන්නේනම් තමන් කපෝතියි රජු සිතන්නේය.
“නැත නැත ප්‍රියාවිය, ඔබේ දැකුමද මගේ
මනදොල පිනවන්නේය. පසුගිය කාලයේ සිට මා ගත වෙහෙසින් පෙළෙන්නේය. එබැවින් මා මදක්
උකටලී වී ඇති බව මට හැඟී යන්නේය”
“හිමියනි කවරක් නිසා ඔබ වෙහෙසින්
පෙළෙන්නේද, නොවහළහා කිව මැනවි”
දැන්නම් කෙසේවත් ගැලවීමක් නැති බව රජු
අත්දැකීමෙන් වටහා ගන්නේය. අවසන වටින් ගොඩින් තම ස්වප්නයේ වත රජු සිය බිසවට හෙළි
කරන්නේය.
“හිමියනි, යම් අදෘෂ්‍යමානී නපුරක් ඔබේ
ස්වප්නයන්ට පැමිණෙනු ඇතැයි මා සිතමි. අපි උගත් මහමැතිගෙන් විමසා ඒ නපුරෙන් මිදෙන
මං සෙවීම යහපති හිමියනි”
රජුට මද වශයෙන් දහඩිය දමන්නට විය. මෙය
කිසිවෙකුටත් කිව නොහැක්කක් බව තම බිසව තේරුම් නොගැනීම ගැන රජු නොසන්සුන් වන්නේය. ඒ
බව සිය බිසවට පවසන රජු කිසිදු හේතුවක් නිසාවත් මේ පිළිබඳ කෙළ නොහලන ලෙස බිසවට තරයේ
කියා සිටින්නේය.
කෙසේ වෙතත් අගබිසව මේ අතරතුර රාජ සභා
මණ්ඩපයේ විවිධ තනතුරු වලට තම හිතවතුන්, ඥාතීන් රිංගවීමට රජුගේ සහය ලබා ගන්නේය.
උකටලීව, විපිලසර මනෝභාවයෙන් පෙළෙන රජු ඉක්මණින් බිසව තමන්ගේ ඇසුරින් ඈත්වීම මහත්
අස්වැසිල්ලක් ලෙස සලකන්නේ ඇයගේ ඉල්ලීම් නොපැකිල ඉටු කරන්නේය. කෙසේ වෙතත් රාජ සභා
මණ්ඩපයේ තනතුරු වලට නුසුදුසු අවලම්, තකතීරු, කපටි, සොරකමට ලැද්දන් පත්වීම හේතුවෙන්
අහිත කර තත්වයන් පැන නගින්නේය.
මේ තත්වයන් වැඩි වෙන තරමටම රජු දිනපතා
දකින එකම ස්වප්නය තව තවත් තීව්‍ර අයුරින් දකින්නට වන්නේය. එම සිහිනයෙන් අනතුරුව
දහඩිය පෙරාගෙන, ලැජ්ජාවෙන් රතුවූ වතින් ඇහැරෙන රජුගේ මනස විකෘති මනෝභාවයන් විසින්
පෙළන්නේය.
තව දුරටත් මේ තත්වය දරා ගත නොහෙන
බැවින් රජු දිනෙක මහමැති තම රහස් අංගනයට කැඳවා සියල්ල නොවළහා පවසමින් විසඳුම්
විමසන්නේය.
“දේවයන් වහන්ස, මෙයට විසඳුම් ඇතැයි මා
නොසිතමි, මෙය යම් කිසි නපුරක් හෝ කර්මභාවයක් විය හැක. ඔබට කියන්න දේවයන් වහන්ස දැන් මාස ගණනක සිට මාද නිදිවර්ජිතව රැය
පහන් කරනුයේ මාද නිරුවතින් ජනීජනයා අතර සැරිසරනු ස්වප්නයක දකිනා බැවිනි. ඒ
හේතුවෙන් මාද උකටලී වී සිටිමි. විෂම මනෝභාවයන් විසින් මා පෙළන්නේය. මා සමීප
ඇමැතිවරුන් කිහිප දෙනෙක්ද තමන්ද එවැනිම ස්වප්නයක් දිනපතා දකින බව පීඩිත මනසින් මා
වෙත පවසා ඇත. ඔවුන්ගේ විෂම මනෝභාවයන් දූෂිත දේවල් කරාම ඔවුන් මෙහෙයවන්නේය.”
අනතුරුව මහමැති සමග ඒකමතික කථිකාවක
එකඟතාවය මත රාජ්‍ය විචාරණයේදී අර්ථයෙන් ධර්මයෙන් දෙසා වදාරණ ජනී ජනයා අතර සුවිසල්
ප්‍රසිද්ධියක් උසුලන තමන් සමීප යතිවරයෙකු වෙතින් විසඳුම් සෙවීමට රජු තීරණය
කරන්නේය. එහෙත් කලෙක සිට මෙම යතිවරයාණන් රාජ්‍ය සමීපත්වයෙන් ඈත්ව හුදෙකලාව වෙසෙන
බව රජුටත් මහමැතිටත් සිහිපත් වන්නේ තමන්ද එසේ පීඩිත මනෝභාවයෙන් සිටි නිසා යම්
අඩුවක් පාඩුවක් තමන්ගෙන් සිදුවීදැයි කල්පනා කරන්නේය. කෙසේ වෙතත් අවසන එසේ වීනම්
කමාව ලබා අනතුරුව තම ගැටඵවලට විසඳුම් ලබා ගනුමැයි මහමැති රජුට පවසන්නේය. විශේෂ
පණිවුඩකරුවෙකු යවා මහ යතිවරයාණන්ද රහස් අංගනයට කැඳවන්නේ එලෙසිනි.
පැමිණි යතිවරයාණන් දකින රජුත්
මහමැතිත් කණගාටු වන්නේ එතුමන්ගේ පෙර තිබූ රූපකාය වැහැරී යමින් පවතින බවත්,
සුදුමැලි ශරීර ස්වභාවයත් දැකීමෙනි. යම් අසනීපයකින් නොපෙළෙන බව විමසා දැන ගැනීමෙන්
අනතුරුව සතුටු සාමීචියක නිරත වන රජුත් මහමැතිත් අවසන තම ගැටඵව යතිවරයාට පවසන්නේය.
මහත් නොසන්සුන් බවින් සවන් දෙන
යතිවරයා අවසානයේ දිගු සුසුමක් හෙලන්නේය.
“රජ තුමනි, මෙයට විසඳුම් නැතැයි මා
සිතමි. ඔබ වහන්සේ, මහමැතිඳුන්, අමාත්‍යවරුන්සේම මාද විපරිත ස්වප්නයන්ගෙන් පීඩා
විඳිමි. කාලයක් පුරා රජතුමනි ඔබද, මාද, මහමැති සහ රාජ සභා මණ්ඩපයේ සියල්ලෝමත්
මියදීමෙන් අනතුරුව සදාකාලික නිරුවත් මිනිසුන් ලෙස ජනී ජනයා අතර ඉපිද සැරිසරනු මාද
ස්වප්නයෙන් දකින්නෙමි. වටිනා ඇඳුමෙන් පැළඳුමෙන්, අබරණින් සැරසුණු ඔබ සියල්ලෝද
නිරුවතින් සිටිනු දැකීම කර්ම විපාකයක් විය
හැකිය.”
“දේවයන් වහන්ස, අපි ස්වප්නයෙන් දකිනා
ලෙසම මේ අගනා සඵපිළි හැඳ සිටිනා අතරම සැබවින්ම ජනයා අපිව සෙඵ කයෙන් දකින්නේදැයි මා
සැක කරමි” මහමැති පවසන්නට වීය.
මහ රජු විළියෙන් මෙන්ම වෛරයෙන් සහ
විෂම මනෝභාවයන්ගෙන් යුතුව මහමැති එළවා දමන්නේ තමන් ගලවා ගනු කිසිවෙක් මිහිමත
නොවෙතැයි කම්පා වන්නේය.
තම සෙඵව වසා ගැන්මට දහසක් අරුමෝසම් දේ
ගොඩනගා ජනී ජනයාගේ පිබිදුණු දෑස් ඒවා වෙත යොමු කිරීම තාවකාලිකව හෝ සැනසීමට හේතු වන
බව රජුට අවසන වැටහෙන්නේය.
ඉන්පසු නුවර වාසීහූ තම ඇස් පනාපිට
ගොඩනැගෙන අසිරිය දකිමින් දිනෙන් දින ප්‍රීති ඝෝෂා නගන්නෝය.
(රජ මැතිවරුන්ගේ රහස දන්නා රාජ සභා
මණ්ඩපයේ තනතුරු දරන්නෝ, විවිධ යතිවරුන්, උගත් බමුණන් සහ රහස දන්නා තවත් කිහිප
පාර්ශ්වයක් ඒ රහස මුවාවෙන් විවිධ රැඟුම් පෙන්වා තමා වෙත කහවනු ගලාගෙන එන මං සලසා
ගනිමින් රාජ්‍යයේ වඩාත්ම ප්‍රීතිමත් කොටස බවට පත් වන්නේ නිරුවත් සිහිනය තමන් වෙත
තවම නොඑළැඹී ඇති බැවිනි)