"ඔයා හරි හොඳ කෙනෙක් ඒත් අපි හමුවුණේ ප්‍රමාද වෙලා. මට තේරෙන්නෙ නෑ මොනා කරන්නද කියල" ඈ කීවාය.
"නෑ අපි හමුවිය යුතු මොහොතේ තමයි අපි හමුවෙලා තියෙන්නෙ. ඊට කලින්වත් පහුවෙලාවත් ඒක සිදුවෙන්න විදියක් නෑ" මා කී බව මතකයි.
"අනේ ඒත්"... ඇය කල්පනාබර විණ. ඇගේ දෑස නොසන්සුන්ය. "මම මේ කරන්නෙ වරදක්ද කියල මට හිතෙනව"
"නෑ ඔයා කිසි වරදක් කරන්නෙ නෑ" මා කීවෙමි.
ආලෝකයත් අඳුරත් එක්ව බොහෝ දවස් ප්‍රසූත කලෝය. කාලය සති ගණන් වලින් ලොකු මහත් විය.
නැවතත් මේ ඇයයි.
"ඔයා හොඳටම දන්නව. මම එයාට පොරොන්දුවක් දීල ඉන්නෙ කියල. එයා තව මාස දෙකකින් ලංකාවට එනව. ඊට පස්සෙ අපිට කතා කරන්න බැරිවෙයි"
"ඒ ඇයි" මා විමසීමි.
"ඒක හරි නෑනෙ ඔයා පිට කෙනෙක්"
"හ්ම්ම් ඒකත් එහෙමද ඒත් මොකක්ද වරද"
ආගන්තුක හැඟීමක් අනාරාධිතව හදවත වෙලා ගනු මට දැණින. පිට කෙනෙක් ..... මට නොතේරේ..
මම විමසීමි
"තමන්ගේ කියන්නේ ඔයා කාටද? ඔයාගෙ පවුලේ අයට විතරක්ද? ඒත් එයාලත් පිට අයම නේද? ඔයාගෙ අම්මත් තාත්තත් එක පවුලක නෙවෙයි නේද, ඒත් එයාල එකිනෙකා පිට අය ලෙස සිතුවනම් එක් වේවිද? එහෙම වුණානම් අද ඔයා ඉන්නවද"
ඈ නිරුත්තර විය.
"ඔයා ආත්මයක් වෙලා ඒ අම්මගෙ බඩට රිංගද්දි හිතුණෙ නැද්ද මේ පිට මිනිහෙක්ගෙ පිට ගෑනියෙක් කියල? ඔයා ඉපදුනාම ඔයාගෙ අක්ක දකිද්දි හිතුණෙ නැද්ද කොහේ ඉඳන් ඇවිත් ඉන්න එකියක්ද කියල? ඊට පස්සෙ ඔයාගෙ නංගිල දෙන්නත් මල්ලිත් ඉපදෙද්දි ඔයාට හිතුණෙ නැද්ද මුං පිට ඉඳන් එන එවුන් කියල. ඔයා කොහොමද එයාලව පිළිගත්තෙ ඔයාගෙ අය කියල"
මා ඇගේ මුහුණ බැලිමි. මහත් තිමිරයකින් වැසුණු අමාවක අහසක් මෙනි.
"ඔයාගෙ පවුලෙන් පිටත පිට මිනිහෙක් බව දැන දැන ඔයා කොහොමද එයාට ආදරෙයි කිව්වෙ. මම විතරමද පිට කෙනෙක් කියල ඔයාට දැනුණෙ"
ඈ නිරුත්තර දෑසින් නිහඞ මුවින් බලා සිටියාය.
"කමක් නෑ ඔයා ගිහින් ඔයාගෙ බොරුවේ ලෝකය තව තවත් පුඵල් කර ගන්න. ඒත් මේ ලෝකෙදි ඔක්කොම එකිනෙකාට අමුත්තො විතරයි". මා ආපසු හැරී ආවෙමි. නැවත ආපසු හැරී නොබැලීමි.
සෘතූන් එක්ව ප්‍රසූත කල සති හා මාස, අවුරුදු බවට වැඩෙමින් කාලය ලොකුමහත් විය. ඒ තුල මහත් ගැඹුරක ලෝකයේ සියඵ දේම එකම රැහැනකින් වෙලී පවතින බව දෑස වසාගත් මොහොතක මට පෙණින.
ඒත් තවමත් ඇයට මා පිටස්තරයෙකි.
කාලය හා විශ්වය එක්ව ඈ වෙනුවෙන් තව බොහෝ දුක්ඛිත භවයන් ප්‍රසූත කිරීමට කථිකා වෙනු මම සිහිනයක දුටුවෙමි.