Tuesday 24 January 2012

මඛාදේව අභිමුවෙහි..




කවුද මේ වන පෙත
සැඟවී දැහැනකට වැද
ටිකක් මතකයි සෘජු කය
ආරෝහ පරිනාහ දේහය

අඳුනන්න බැරිද ඇත්තට
මඛාදේවය මම

හෝ ‍හෝ රජකම අතැරැ
පලා ආ හාදයා නේද මේ
නරකෙසක් හිස දැක

 “තපසේම ඉන්න බෑ හැමවිට
පාඵයි හිතට වන පෙත
මොහොතකට හෝ යා නොහැක
ආපසු නගරයට
සංසාර දුක එහි අපමණ

උපන්දා සිට ඇති
සසර දුක අපට පුරුදුය..
ඵෛස්වර්යය මැද
එදුකෙන් සැඟව හිඳි කල
අමතක කලේ කිම
ප්‍රත්‍යන්ත දේශයෙහි
මිනිසුන් දිවා රෑ
පෙළනා සසර දුක් කඳ

නරකෙසක් හිස මත
කොයිතරම් සුඵ දෙයක් වෙද
පලා ආයේ කිමද මුග්ධය
ජීවිතෙන් තොප..

එනු නැවත නුවරට
මුහුණට මුහුණ දී
සසර දුක් කඳ වෙත
විඳ දරා මුහුණ දෙනු
ජීවිතය පණ ගහයි
ජනී ජනයා මැද..
 ‍‍

Friday 20 January 2012

සොයා නොගත් අණ්වීක්ෂය..?



ලොකු ලොකු මිනිසුන්ට
පුංචි මිනිසුන් සතු
ක්ෂුද්‍ර වූ ආත්මය
ලොකු කර දැක ගන්න
අණ්වීක්ෂයක් ?

නිමවන්න තවමත්
අසමත්ය
නොදියුණු විද්‍යාව..

Friday 13 January 2012

මීයන්ගෙන් සහ වේයන්ගෙන්

           



කොන්ක්‍රීට් තහඩුද
දැඩි සිමෙන්ති බදාමද
ටයිල් ඇතුරූ ගෙබිමැති
ලොකු ගෙවල මෙන් නොව,

හුණු, බදාම, මැටියෙන්
ලාභෙට තැනූ නිවසෙක
බිත්ති, පොළොවද මෙළෙකය
අපටද ගුලක්
සිදුරක් තනා විසුමට..

ඉදින් ඒ ගැන
කුමට දුක්වනු තොප
ඒ මුදු මෙළෙක මෙන
හදවත්ද තොප සතු..

කුමට සිහිනෙන් දකිනු
අර ලොකු නිවෙස් ගැන
ගල් කරගන්න ඕනිද
ඔය මෙළෙක හදවත්..

Monday 9 January 2012

දළඳා හිමියනි ඔබේ කැමැත්තට ඉඩ කොහෙද?




සියවස් ගණන්
රජවරුන්ගේ
ශ්‍රී විභූතිය වෙනුවෙන්
හිඳ ඔවුන් ඇසුරේ
වෙහෙසක් දැනෙනවා ඇති
දළඳා හිමියනි
ඔබට අපමණ..

ධනවත් කුළවතුන්ගේ
භුක්තියට සරිවුණ
ආඩම්බරකාර තේවාව
එපාවී ඇතැයි හොඳටම
නොසිතා ඉන්නෙ කොහොමද?

පීඩක බලවතුන්ගේ
බැල්මටම නිතර හසුවන
ඔවුන්ගේ කිළිටි හදවත්
දැක දැකම වැඩ හිඳින
ඔබට වෙහෙසක් නැතැයි
සිතන්නේ කෙලෙසද?

දුර ඇසෙන බෙර සක් හඞ
වයන මිනිසුන්ගේ
දාඩිය ගෙනෙන සුවඳට
ඈත ගොවි බිම්වල
මහ පොළොව අස්වද්දන
මිනිසුන්ගේ නොහිම්
මඩ සුවඳ ගෙනෙන සුළඟට
ආශා හිතෙනවා ඇති..

ස්වභාවික දේ අතර
ස්වභාවික හදවත් ළඟ
ළංවී හිඳින්නට
කැමැත්තෙන් ඇති ඔබ
සියවස් ගණන්
සිර කර හිඳින කල
මාළිගාවක..



Tuesday 3 January 2012

බත් කෑම..? තේරුමක් නැති සටහනක්..




මේ පහුගිය සති දෙක තුන උදේම දකින්න ලැබෙන මම ආශා කරන දර්ශනයක් තිබුණ. ඉර පායන එකද? නෑ...ඒ කෙහෙම්මල හැමදාම පායනවනෙ. ලස්සනට මල් පිපිල තියෙන එකද? අ‍පොයි නෑ. මේ මම යන පාරෙ මොන මල්ද? පාරෙ දෙපැත්තෙ තියෙන වතුසුදු ගස් ටිකක් විතරයි. හැමදාම උදේටයි හවසටයි පූජා කරන්නයි කියල වටේ පිටේ ඉන්න හැම එකාම ඒ ගස් හම ගහනව. මලින් පිරිච්ච එක වතුසුදු ගහක් දැක ගන්න බෑ. ඒත් මම හැමදාම හිතනව මුංට මේ ගස් ටික හම ගහගෙන යන්නෙ නැතිව ගස් වල තියෙද්දිම ඔය පිපෙන මල් කන්දරාව පූජා කරන්න බැරිද කියල. එහෙම වුණානම් ගස් ටික කොයිතරම් ලස්සනට තියෙනවද.

ඒක නෙවෙයි දර්ශණය. වයසට ගිය මිනිස්සු ටික විතරක් මම උදේට යන පාරෙ දකුණු පැත්තෙ තියෙන කුඹුරු යාය එක්ක ඔට්ටු වෙන එක. පාර අයිනෙම තියෙන කුඹුරු කෑල්ල හැමදාම වැඩ කරන්නෙ වයස අවුරුදු හැත්තෑවක් විතර විය හැකි බව උපකල්පනය කල හැකි මනුස්සයෙක්. මේ සැරේ කුඹුර සම්පූර්ණයෙන්ම මඩ කරල නියර බැඳල වපුරන්න එයාට හරියටම දවස් පහළොවක් ගිය බව මම දැක්ක. උදැල්ල කර තබාගෙන සරම කැහැපට ගහගෙන උදේ හත වෙද්දි කුඹුරට එන ඔහු හෙමින් හෙමින් තමන්ගෙ මහඵ වුණත් ධෛර්යසම්පන්න ශක්තියෙන් කුඹුර මඩ කරන හැටි දකිද්දි හිතට දුකකුත් ඇති වෙනව. මේ වයස ඇත්තටම වැඩපල කල යුතු වයසක්ද? ඒත් පීදිගෙන එන ගොයම දකිද්දි මට මෙහෙම සතුටක් දැනෙනවනම්, ඔහුගේ මහඵ හිතට කොයි තරම් සතුටක් දැනෙනව ඇත්ද? ඔවුන්ට ජීවිතේ පුරා තමන්ම හදපු කුඹුරකින් බත සපයගන්න එක සතුටක්. මේ තරම් වයසට ගියත් මහ පොළොවට බරක් නොවී මහ පොළොව සරුසාර කරන ඒ ශක්තිය මහ පොළොවට ආශිර්වාදයක්.

එතකොට අපි..

මොකක් හරි කුරුටු ගාල පුටු රත් කරන පරපුටුවො. මේ කුරුටු ගෑම නොකෙරුණත් ලෝකය පවතිනව. ඒත් මහ පොළොව එක්ක ඔට්ටු වෙන මනුස්සයෝ වෙන වැඩක් බලා ගන්න ගියොත් මනුෂ්‍ය වර්ගයාට පවතින්න බැරි වෙනව. වැඩ කිරීමේ මෙන්ම ආහාර ගැනීමේත් සැබෑ සතුටට මෙන්ම තෘප්තියට උරුමකම් කියන්නෙ ඔවුන් මිසක් මේ අපිනම් නෙවෙයි.
ඒත් මේ උදේට මම පහුකරන පාරෙ වම් පැත්තෙ තියෙන කුඹුරු යායත් මීට අවරුදු පහ හයකට කළින් මම ප්‍රදේශයට එද්දි අපූරුවට අස්වැද්දුණා. ඒත් දැන් නම් මේ වම් පැත්තෙ කුඹුරු යාය එහෙම පිටින්ම පුරන් වෙලා ගිහින්. වැඩිහරියක් හබරල ගාලක් වෙලා. වතුර නැති නිසාද? නෑ ඔය තියෙන්නෙ වතුර අපූරුවට. මෙදා සැරේ අලුතෙන් ඇලත් කැපුව ‍ඩෝසරයක් ඇවිත්.
කොහොම වුණත් දකුණු පැත්තෙ කුඹුරු යායෙනුත් සැලකිය යුතු කොටසක් වැඩ කෙරෙන්නෙ නෑ. ඒ ඒවයෙ අයිතිකාරයන්ට කුඹුරු වලට බහින්න වෙලාවක් නැතුව ඇති. වැඩ කරන ටිකත් වැඩ කරන්නෙ අර වගේ මහඵ වියට පත්වුණු හෝ පත් වෙමින් සිටින අය විතරයි.

එතකොට කොල්ලො..
දැන් මේ පැත්තෙ ඉන්න කොල්ලො ඕවට කැමැති නෑ. අපි වගේ පුටු රත් කරන රස්සා නැති වුණත් උන් කැමැති නෑ ඇගේ පතේ මඩ නාගෙන කරන මේ සෙල්ලමට. ගොඩක් ඉන්න තරුණ පරපුරේ අය කරන රස්සාව තමයි ත්‍රීවීල් රස්සාව. උන්ට ඕනි අනුන්ගෙ හරි ත්‍රීවීල් කටුවක් සෙට් කරගෙන ගම මැදින් හයියෙන් සිංදුවක් දාගෙන ඉගිලෙන්නයි. ඊට පස්සෙ හන්දියේ පාර්ක් කරගෙන යන එන මිනිස්සු දිහා කොක්කු වගේ ඉහ දික් කරගෙන බලන් ඉන්නයි. නැත්නම් ත්‍රීවීල් ටික පාර්ක් කරල කට්ටිය කයිවාරුවකට සෙට් වෙලා සිගරට් ඇද ඇද හයර් එකක් සෙට් වෙනකම් බලන් ඉන්නයි.

හයර් එකක් ගිහින් ආවම හන්දියේ චන්දනයගෙ හෝටලයෙන් සෙකන්ඩ් හෑන්ඩ් වඩයක් කාල බල්ලෙකුට බොන්න බැරි ප්ලේන්ටියක් බීල ආයෙත් සිගරැට්ටුවක් පත්තු කරගන්න මේ ගමේ කොලු සෙට් එක හරි කැමැතියි. තමන්ගෙ කුඹුරු පුරන් වෙලා භාගෙට භාගයක්. උන්ගෙ තාත්තල සීයල දැන්‍ ලෝකෙන් විශ්‍රාම යන්න කිට්ටු කොරලත් බැරි මර ගාතෙ මහ පොළොව එක්ක ඔට්ටු වෙනව.

එක අතකින් කොල්ලන්ට ලැජ්ජයි මඩ නාගෙන දඟලන්න. කවුද ගණන් ගන්නෙ කුඹුරෙ මඩ නාගෙන දඟලන ගොයියන්ව. අස්වැන්න නෙලන කාලෙට වෙළෙන්ඳන්ට විතරක් ආ‍දරේ හිතෙන මේ ගොයියන්ව කවුද ගණන් ගන්නෙ. අඩුම ගාණෙ කෙල්ලෙක්වත් බලනවද මඩ නාගෙන කුඹුරෙ ලැග්ගොත් මේ කොල්ලො දිහා. ඒ ‍වගේද ත්‍රීවීලයක, බයිසිකලයක නැගිල යද්දි මාර ගැම්මක් තියෙනව. ලෝකෙත් එක්ක මුහු වෙන්න පුඵවන් විදියෙ ගතියක් දැනෙනව හිතට විතරක් නෙවෙයි ඇඟටත්. ඉතින් කුඹුරු වල ලැග්ගොත් එකෙක්වත් ගණන් ගන්නෙ නෑ. බත් කන කොට මටත් අමතක වෙනව හාල් එන්නෙ මඩ එක්ක ලගින මිනිස්සුන්ගෙ දාඩිය මහන්සියෙන් කියල. මට මතක් වෙන්නෙ කඩවල තියෙන හාල් ගෝනි විතරයි. ඉතින් හවසට ටයිල් කරපු වායු සමනය කරපු ෆුඩ් සිටි එකකින් හාල් පැකට් එකක් අරන් යන නෝනල මහත්තුරුන්ට කොහොම දැනෙනව ඇත්ද කියල මම තවම හිතනව.

ජනාකීර්ණ හන්දියේ නැත්නම් ඇති වෙමින් පවතින නගරයේ ඉඳල මම ඉන්න ගමට සැතපුම් දෙකක් විතර තියෙනව. ගමේ හවසට විතරක් ආප්ප කඩයක් දාගෙන කම්මැලි කමට පොඩි ව්‍යාපාරයක් කරගෙන යන ‍පියරත්න අංකල් නම් කියන්නෙ මේ ඔක්කොටම හෙණේ විවෘත ආර්ථිකේලු. එයාට කුඹුරු නෑ. ඒත් පුරන් වෙන කුඹුරු දකින් එයා‍ගෙ හිතට හරිමදි  කියල තේරෙනව කතා කරද්දි.

වැඩක් නෑ මහත්තයෝ.. පොළොව එක්ක ගණුදෙනුව කරන්න අකමැති වෙච්ච සමාජයක් තමයි දැන් තියෙන්නෙ. තව කාලයක් යද්දි හැම එකාම අතේ සල්ලි තියෙයි. ඒත් පිට රටින් බඩු නොලැබෙන වැඩක් වුණොත් සල්ලි තිබ්බට හාල්, එළවඵ නැතිවෙයි මේ විදියට ගියොත්. මේ රට කෑවෙ විවෘත ආර්ථිකය මහත්තයෝ. හැම එකාම ක්ලීන් ජොබ් එකකින් කුණු ගා ගන්නෙ නැතිව ජීවත් වෙන්නයි දැන් උත්සාහය. ඒත් කන බොන දේවල් අහසින් දෙයියො හලන්නෙ නෑනෙ.

පියරත්න අංකල්ගේ නන්දෙඩවිල්ල මටත් මහ වදයක් වෙනව වෙලාවකට. නිකන් ඉද්දි හුළං පාරක් වැදෙන්න හවසට එළියට බැහැල පියරත්න අංකල්ගෙ ලෑලි කඩේ ළඟට යන්නෙ පුරුද්දකට වුණත් එයාගෙ දේශපාලන කතා මට ඇලජික්.

ඔය උඩ තියෙන දේශණය මට අහන්න ලැබුණෙ මේ පෙරේද හවස. ඒත් පියරත්න අංකල් කියන තරම් කොල්ලො සල්ලි වලට වහ වැටිල නැති බවත් උන්ට ඕනි ජීවිතේ විඳින්න කියලත් මට තේරුණෙ ඒ එක්කම ආප්ප කඩේ පහුකරගෙන ඉගිල්ලිලා ගිය උස මංජුලයගෙ ත්‍රීවීල් එක දැක්කම. ඒකෙ පිටිපස්සෙ ලියල තිබුණ,

සැප විඳින්න කාසි නැතත් හිනාවෙනව හැමදාමත් කියල.

පියරත්න අංකල්ට පිස්සු. ලෝකය දියුණු වෙනව දවසින් දවස. අද ඉන්න පොඩි එවුන් ඉගෙනගෙන මතු දවසක කෑම නැතුව ජීවත් වෙන්න පුඵවන් ක්‍රමයක් හොයා ගනියි.
එතකොට බැරියැ උස මංජුලල වගේ එවුන්ට කාසි නැතත් සැපක් නැතත් හිනාවෙලා හැමදාම ඉන්න.
මමනම් ඒ කාලෙ වෙද්දි මැරිල ඉඳියි. මොකට හිතනවද ඕව ගැන. කෙහෙම්මල්.
කුඹුරු...
විවෘත ආර්ථිකේ..
සල්ලි..........................    විකාර...