Wednesday 31 March 2010

සෙල් පිලිම සහ සිත්


කරුණාබරිත ඇස් වල
හැඩය හඳුනන අය..
මුදු මෙලෙක් හදවත් ඇතිව..
මවන්නට ඇති එකල..
සෙල් බුදු පිළිම මත
ශාන්තිය උතුරන දෑස්...

මිනිසුන් මෙන් නොවන
මනදොල නොමැති කඵගල්
අනන්තව ඉවසන බැවින...

Saturday 27 March 2010

මල් වලටත් ප්‍රශ්ණ තිබේ


මෙහි විත් සරන..
දන හට පෙමින
අප සතු සුවඳ...
ගෙන ගොස් පුදන..

කිව මැන සුළඟ..
අප වෙත බැතින..

උන්හට නැතිද...?
සුවඳක මහිම
අන්සතු සුවඳ
නිබඳව විඳින...




Friday 26 March 2010

පරමාර්ථ සත්‍යය

සර්ව බලධාරී හෙවත් විධායක බලතල හිමි මහ දෙවියෝ හැමදේම මැවීමටත් නැසීමටත් දෙව්ලොව මහනුභාව සම්පන්න ව්‍යවස්ථාවෙන් හිමිව ඇති බලතල අත්තනෝමතික ලෙස යොදා ගනිමින් අවුල් වියවුල් සහිත ‍ලෝකය මවා අවසන මිනිසා මවාලීය. මේක අද ඊයෙ වෙච්ච දෙයක් නොවෙයි හැබැයි.

සියඵම උගුල් අටවා ඇති බවට සෑහීමට පත්වූවද මේ අලුත් මිනිසාගෙන් 'සත්‍යය' සඟවා තැබිය යුතු බවට ඔහුගේ කෛරාටික දෙවි සිතට වැටහින. ( ඕනෑම පාලන තන්ත්‍රයක් ඇත්ත වසන් කිරීම සම්ප්‍රදායක් බවට පත් කර ගත්තේ මෙම ආරම්භක පූර්වාදර්ශයෙන් පසුවය).

වැරදීමකින් හෝ මිනිසා සත්‍ය ස්පර්ෂ ක‍ලොත් දේවත්වය පවා ඉක්මවා යන බව සිහිපත් වෙද්දී මහ දෙවියෝ ගලේ පැහැරූ බළලෙක් මෙන් බලා ඉන්නට විය. එහෙත් තමන්ගේ මවා පෑමෙන් දෙව්ලොව පුරා සුවිසල් ප්‍රතිරූපයක් ගොඩනැගී ඇති සැටි දැක එයින් උදම් වී සිටි මහ දෙවියන්ට තම මවාලීම් විනාශ කිරීම සියතින් ගෙල සිඳ ගැනීමක් බව සිතෙන්නට විය.

කෙසේ නමුත් (සැර) අමෘත විත පානය කරමින් දින ගණනක් දහ අතේ කල්පනා කල දෙවි උත්තමයෝ අවසානයේ මිනිසාට ස්පර්ෂ නොවන ලෙස 'සත්‍යය' සාගර පතුලේ හෝ ඈත වළාකුඵ ගොන්නක සැඟවීමේ තීරණයකට එළඹිණ. එසේ වුවද මෙය ජීවිතයත් මරණයත් අතර කාරණයක් විය හැකි බැවින් ව්‍යවස්වස්ථාවේ බලතල අමතක කොට ඉහ නිකට පැහුණු විද්වත් දේව සභාව හෙවත් කැබිනට්ටුව රැස් කර ඔවු‍න්ගේ අදහස් විමසීමට සිතීය. අනෙක එය දෙව්ලොව ප්‍රජාතන්ත්‍රවාදය තමන් සුරකින බවට එලොව වැසියන්ට ඒත්තු ගැන්වීමටද අවස්ථාවක් කර ගත හැකි බවද නොසිතුණා නොවේ.

විශ්වයේ තියුණු තීරණ ගැනීමේ බුද්ධිමත්ම සාමාජිකයින් දේව සභාව නියෝජනය කලේය. කොහොම නමුත් තමා විසින් සකස්කල කෙටුම්පත ඔවුන් ඉදිරියේ දිග හැරි මහ දෙවියෝ කාරණයේ තිබෙන බැරෑරුම් කම ඒත්තු ගන්වා 'සත්‍යය' මිනිසාගෙන් සැඟවිය යුතු සුදුසුම ස්ථානය පිළිබඳ දේව සභාවේ අදහස් විමසීය.

එහෙත් මහ දෙවියන් යෝජනා කල පරිදි සාගර පතුලේ හෝ වළාකුඵ ගොන්නක 'සත්‍යය' සැඟැවුවහොත් කෙසේ හෝ මිනිසා එය සොයා ගත හැකි බව වැඩි දෙනා තීරණය කල බැවින් ඒ පිළිබඳ සොයා කටයුතු කිරීමට දෙව්ලොව පුරා තම බුද්ධිමත්භාවයෙන් චිර ප්‍රසිද්ධිය ලත් දෙවි අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් සැදුම් ලත් කොමිෂමක් පත් කරන ලදි.

(මදක් සැර) අමෘතය හැළි කිහිපයක් හිස් කරමින් දින ගණනක් රැස්වුණු කොමිෂම අවසානයේ මිනිසා පිළිබඳ සුවිසල් අධ්‍යයනයක් සිදුකොට 'සත්‍ය‍ය' ඔහුගෙන් සැඟවිය යුතු ස්ථානය තීරණය කර කොමිෂන් වාර්තාව මහ දෙවියන් වෙත ඉදිරිපත් කරලීය.

කොමිෂමේ සියඵ දෙනාගේම ඒකමතික නිර්දේශය වී තිබුණේ ලෝක‍යේ කොතැන සැඟවුවත් මිනිසා එය සොයා ගැනීමේ අවදානමක් පවතින බැවින් 'සත්‍යය' මිනිසාගේ අභ්‍යන්තරයේම සඟවා තැබීම සුදුසු බවය. ඇස් කන් ඇති මිනිසා අවට දුවමින් හැමදේම සොයනමුත් තමන් තුළ කිසිවක් නොසොයන බව තේරුම් ගත් මහ දෙවියෝ ඇතුඵ දේව කැබිනට්ටුව ඒකමතිකව කොමිෂන් නිර්දේශය සභා සම්මත කරලීය. ඒ අනුව එදින සිටම 'සත්‍යය' මිනිසා තුළම සැඟැවූ මහ දෙවියෝ සැනසුම් සුසුමක් හෙළීය.

මිනිසා තවමත් බාහිර ලෝකයේම සොයමින් සිටියි.



Thursday 25 March 2010

සමුගැනීම


නිශ්ශබ්දතාවය එක්රොක්ව..
මා වැළලූ අඳුරු උදයක
ඔබ නික්ම යනු දුටිමි..
ශබ්දයක් නොනගාම.

පුංචි කැළලක්වත්
නොවිණ ශේෂව මුවෙහි
ඔබ අහිමි කරගෙන සිටියෙන්
සතුව තිබු මුඵ සිනහවම....

වියළී තිබිණ ඇස් දෙක
පෙර නිබඳ තෙත රැඳි..
ඔබ අහිමි කරගෙන සිටියෙන්
ළතෙත් බව සිඳී ගිය ලෙස.....

ඇත්තටම පුදුමයි..?
මට දුකයි ඔබ ගැන.
සමුගෙන තිබෙන්නේ ඔබ
කාගෙන්ද...?



Wednesday 24 March 2010

පරතරය


පෙනෙන්නට තිබෙන'මුත්
වියළි බිම් අපමණ.....
වහින්නේ ඇයිද වැහි..?
තෙතබරිත බිමටම...



Monday 22 March 2010

(නො)මිනිස්කම




කවමදාවත් නොහැඬූ
මා හඬන විට...
කවදාවත් සිනා නොවුණු..
ඇය සිනාවිය...

Friday 19 March 2010

පිටු දැකීම



අපි අපේ සිත් වල
බුද්ධියෙන් සැඟව යමු
සියඵ දේ පුංචි කරවන..

විසල් ලෙස උස දැනෙන
ගිරිහිසක් වී පෙනෙන තුරු
ජීවිතය අපි ළඟම..
ළංවෙමු තව තවත්
හදවත් වලින් පමණක්..
හැඟුම්බර අරුත්පිරි
ලෝකයක් තනන්නට....

අපි අපේ සිත් වල
බුද්ධියෙන් සැඟව යමු
රඵව අබිමන් පාන.....

Thursday 18 March 2010

රජුන් තැනීමේ කලාව සහ වහල්භාවය

තම මාළිගයේ සඳඵ තලයෙහි සිටගෙන හුන් කුමාරයා මාළිග අංගනයේ රැස්ව සිටි මහජන සමූහයට ආචාර ‍කොට උස් හඩින් ඔවුන් ඇමතුවේය.

"මා ඔබ හැම වෙත සුභාරංචි රැගෙන එන අතරම අපගේ දේශය වෙත ප්‍රීතිය ප්‍රකාශ කර සිටිනවා. කුමක් හෙයින්ද යත් රජ කුමරිය ම‍ගේ පරපුරෙහි උත්කර්ෂයත්, ගෞරවයත් ඉදිරියට ගෙනයාම සඳහා පුත්‍රයෙකු බිහිකර ඇති බැවිනි. ඔහු ඔබ සැමට ප්‍රීතියක්ද, අභිමානයක්ද වනු ඇත. මගේ උදාර මුතුන් මිත්තන්ගේ උරුමයට ඔහු හිමිකම් කියන්නෙකු වනු ඇත. ප්‍රීති වනු මැනව, ප්‍රශස්ති ගී ගයනු මැනව, කුමක් හෙයින්ද යත් අප මාළිගයේ මේ උරුමකරුවාට දැන් ඔබ සැමගේ අනාගතයද අයත්ව තිබෙන බැවිනි."

සෞභාග්‍යයේ තොටිල්ලේ ඇති දැඩි කිරීමටද, බල ක්ෂේත්‍රයෙහි ඉහළට නංවනු පිණිසද නියමිත කුමරාට ගෞරව පිණිස මහ ජන සමුහය උස් හඩ නංවා වා තලය ප්‍රීති ‍ඝෝෂාවෙන් පුරවාලීය. ඔහු වහලුන්ට ඉහළින් පරම පාලකයා වීමටද, තම ශක්තියෙන් දුබලයන් පලවා හැරීමටද නියමිතය. ඔවුන්ගේ සිරුරු දම්වැලින් බැඳ ඔවුන්ගේ ආත්ම විනාශ කර දැමීමට තරම් නිදහසක් ඔහුට ලැබීමට නියමිතය. ඔවුන් සතුටු වෙමින්ද, ගී ගයමින්ද, සොම්නස විතින් පානය කරමින්ද සිටියේ එවන් වූ කරුණක් පිළිබඳවය.

(ඛලීල් ජිබ්රාන්ගේ කඳුඵ බිඳක් සහ සිනහ බිඳක් කෘතියේ එන ‍කොටසකි. උපුටා ගත්තේ ආනන්ද අමරසිරි මහතාගේ පරිවර්තනයෙන් බව ගෞරවයෙන් සඳහන් කරමි.)

රජුන් තැනීමේ කලාව සම්බන්ධයෙන් ඛලීල් ජිබ්රාන්ගේ මේ අවධාරණය හරිම ස්වභාවිකය. ලෙබනනයේ උපත ලබා ඇමෙරිකාවේ ජීවත් වුවද ජිබ්රාන්ගේ සෑම නිර්මාණයක් තුලම ජනයා අවදි කිරීමත්,නිරුවත් සත්‍යම පෙන්වාදීමත්, ආත්මයෙහි සහ අධ්‍යාත්මයේ හරයන්ගේ වටිනාකම ඉස්මතු වීමත් දැකිය හැකිය.
උපදින්නට සිටින රජකුමරුන්ට පවා තම වහල් බව ප්‍රකාශ කිරීමට තරම් නිවට වන ජනයාගේ ස්වභාවය ඔහු උපේක්ෂා සහගතව විස්තර කරයි. ඒත් ජිබ්රාන් අපේ රටේ පුරවැසියෙක් නොවේ. එය අවාසනාවකි.

සැළලිහිණි සංදේශය සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ උසස්ම කෘතියකි. උසස් සාහිත්‍ය ලක්ෂණයන්ගේ හෙබි මෙම කෘතිය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියනුයේ එවකට කෝට්ටේ රජුගේ බිසවට පුත් රුවනක් ලබා දෙන ලෙස කරන ආයාචනයක් සංදේශයක් බවට පත්කරමිනුයි. (මගේ මතකය වැරැදිනම් නිවැරැදි කරන මෙන් කාරුණිකව ඉල්ලමි) රජුන් තැනීමේ කලාවට අපේ මහ සාහිත්‍යවේදීන්ගේ සම්මාදම එලෙසය. රජවරුන්ගෙන් සියවස් ගණනාවක් පුරා පීඩා විඳි අසරණ ජනතාව මුදාලීමට බෝසත්වරුන්, බුදු පසේ බුදුවරුන් පහළ කරන ලෙස ඉල්ලා නොමැත. තව දුරටත් නූපන් දරුවෙකුට කිරුඵ පළඳන්න, ඔහුගෙන් පාලනය වෙන්න ප්‍රාර්ථනා කිරීම කොතරම් වහල්භාවයක්ද?

අදටත් අපේ කලාකරුවන්ගෙන් බහුතරය එබඳුය. ජන හදවත් අවදි කිරීම වෙනුවට රජුන් තනන්න උරදීමත්, ඉන්පසු ප්‍රසස්ති ගායනා කිරීමත් ඔවුන් කරන්නේ රජවරුන් ළඟ දැවටෙන විට ආඩම්බරයක් දැනෙන නිසාය. පෙරළා රජුන්ගෙන් පැසසුම් ලබද්දී හිතට ලොකු ගැම්මක් දැනෙන නිසාය. තව රජුන්ගේ නොමසුරු තිළිණයන්ගෙන් පිදුම් ලබන්නට වරම් ලැබෙන බැවිනි. එසේම රජ දරුවන් වෙනුවෙන්ද ඒ ටිකම කිරීමටද ඔවුන් බලාගෙන හිඳියි.



Wednesday 17 March 2010

මනරම් දේශයේ සිට.....

සුගිය සතිය තුළ සිදුවූ හද කම්පා කල සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් මේ සටහන ලියන්නට හිතුණ.

පළවෙනි සිදුවීම කඵතරදී මවක් සිය දරුවා ගඟට විසිකිරීමයි. අනෙක් සිදුවීම ත්‍රිකුණාමළයේදී පොලිසිය විසින් මහ රෑ වරෙන්තුකරුවෙකු සොයා ගොස් අහිංසකයෙකු වෙඩිතබා මරා දැමීමයි.

පළමු සිදුවීම වැනි සිදුවීම් මේ රටේ සිදුවුණ පළමු අවස්ථාව මෙය නොවේ. එහෙත් අද ඒ මවට එරෙහිව නීතියෙන් කටයුතු කිරීමට සියඵ ආයතන පෙළ ගැසී ඇති බවට පුවත් මේ දිනවල අසන්නට ලැබේ. නීතිය ක්‍රියාත්මක විය යුතුය. එහෙත් අසරණයාට පමණක් නොවේ. එසේම කෑම බීම වැනි මුලික අවශ්‍යතාවයන් ඉටු කිරීමට නොහැකි වීමෙන් මවකට හෝ පියෙකුට සිය දරුවන් මරා දමන්නට සිදුවන සමාජයක් සැබැවින්ම හඩා වැටිය යුතුය. පරිවාස නිලධාරීන් දරුවන් පරිවාස භාරයට ගැනීමට යුහුසුඵ වන්නේ එම දරුවන් මෙතෙක් කල් මහමග හිඟා කද්දී නින්දේ සිටි බැවිනි. මේ දේශයේ ක්‍රමය එයය. හැමදාම මැතිවරණ පවත්වන මේ දේශයේ එක රැයකට රුපියල් කෝටි ගණනක පෝස්ටර් බැනර් කටවුට් ගසයි. ඒ ‍වගේම සිය දරුවන්ට කෑම වේලක් දීමට ‍නොහැකිව ඔවුන්ගේ කුසගින්න ළඟ තැවෙන මව් පියවරුන් කොපමණ ප්‍රමාණයක් ඒ රාත්‍රී අඳුර තුල පීඩිතව සිටිනවාද? මේ පීඩිත බව වේදනාව සිය දරුවන් මරා දමන්නට තරම් සුවිසල් නම් කළ ගුණ දත් උතුම් බුද්ධිමත් ජනතාවක් වෙසෙනවා යැයි කියන මේ මනරම් දේශයේ මනුෂ්‍යත්වය සැබැවින්ම හැම නිමේෂයකම වැළපිය යුතුය. අද මේ මව දඟගෙහිලෑම පමණක් ප්‍රමාණවත් යැයි සිතනවානම් එය අතීසාරෙට අමුඩෙ ගැසීම වැනි ක්‍රියාවක් පමණක් විය හැක.

එසේම පොලිසිය විසින් අසරණයන් මරා දැමීමේ සංස්කෘතිය මේ දේශයට අලුත් ‍දෙයක් නොවුවත් අද මෙය උච්චස්ථානයට පත්වී ඇත. අවි දැරිය යුත්තේ අවි දැරීමට සුදුස්සන් විසිනි. බලය ලැබිය යුත්තේ බලය හැසිරවීමට සුදුස්සන්ගේ දෑත් වලට පමණි. එහෙත් සියල්ල කණපිට පෙරළී ඇත. නොමිනිසුන්ගේ අතට බලයත් අවියත් ලබාදී ඇත. අපි සියල්ලන් විහින් සෙල්ලම් බඩු බවට පත්වී සිටිමු ඔවු‍න්ට කැමැති සෙල්ලමක් අප අරභයා කිරීමට ඉඩදී.

Monday 15 March 2010

කටුස්සෝ



පාට වෙනස් කර ගත්තත්....

සැරින් සැරේ අපි හැමෝම...
මරා ගන්නෙ නැති හැටි දැක...
ඉරිසියයිද මහත්වරුනි.....?

Saturday 13 March 2010

ඇය සහ මම


සිහිනමය ආශා ...
ඇගේ සිත කළඹන...
දැන හැඳින මම...
එන්නත් කළෙමි...
ආදරය යැයි නම් කර...
ඇගේ ආශා ඇයටම..

මට මා අහිමි වන සඳ...
ඇයට මා හිමිකර....


Friday 12 March 2010

ආදරය


මොන සුවඳක්ද ඇත්තට...
තෘෂ්ණාබරිත හැඟුමන්
කැකෑරෙනවා මිස සිතේ..
සමාධිය සීලය බිඳින ..
ප්‍රඥාව මරා වළලන....

Thursday 11 March 2010

මම



මදක් ඈතින්
තබා හැඩරුව
කවමදාවත්
බලන්නට බැරි
පියවි දෑසින්....
අනේ ඇත්තට
"මම "
.... ?

චිරන්තන සම්ප්‍රදාය


දල්වා පැතුම්
ළපටි මල් කැකුඵ වල
කාටත් උදෙන් එනවා
ඉර හිනා පුරෝගෙන ...

ඉන්පසු තම බලය පතුරා
අයිතිකරගෙන අහස
කල්යල් බලා
තම මහත් තෙදසින
රිදවයි
මල් සමග ගහවැල ...

හවසට
ලේ රතැ'ස් නිවාගෙන
බැසයයි
ඉඩදී පරවෙන්න මල් වලට

ආයෙත් හෙට උදේ එයි
උපාසක මූණින
දල්වා පැතුම්
ළපටි මල් කැකුඵ වල ...

(සැ.යු. - ස්වභාදහම දේශපාලනික අදහස් පිළිබිඹු
නොකරයි)