අලුතෙන් කියවන සහෘදයන් මෙතන කොටල මෙහි මුල් කොටස කියවල එනවනම් වඩාත් හොඳයි.
බොහෝ තැන්වල කබීර් ව හඳුන්වනු ලබන්නේ කවියෙක් ලෙසයි. එහෙත් ඔහුගේ කවිත්වය කවියෙක් වීම සඳහා කරනු ලැබූ උත්සාහයක් නොවේ. ඔහු ගයනු ලබන්නේ අපිට නොපෙනෙන ඒත් ඔහු නිරතුරුව දකින දිව්‍යත්වයේ අත්දැකීමයි. ඔහුගේ වචන තුළින්ම ඔහු පවසන්නේ මෙලොවට අයත් නොවන එම චමත්කාරය විස්තර කිරීමට වචන සමත් නොවන බවයි. ඒ ඔහු මිනිස්කම ඉක්මවා ගිය මුණිවරයෙක් බැවිනි.මැණික මඩ වගුරෙහි වැටී නැතිවී ඇත
සැමදෙනාම එය සොයති
සමහරු එය පෙරදිග ඇත්දැයි සොයති
සමහරු එය බටහිර ඇත්දැයි සොයති
සමහරු එය ජලයේ වැටී ඇත්දැයි සොයති
සමහරු එය ගල් බොරඵ අතර ඇත්දැයි සොයති
එහෙත් එහි සැබෑ අගය දන්නා කබීර්
එය තම හදවතෙහි සුරැකිව තබා සිටින්නේය.
පුහුදුන් මිනිසුන් ලෙස අපි හැම විටම සියඵ දේ අවට ලෝකයේ සොයමු. ඒත් අපි සොයන්නේ කුමක්දැයි අපිවත් නොදනිමු. අපි එකිනෙකා අනුකරණය කරමින් සිටිමු. අපේ මුඵ සන්තානයම අපේ නොවන දේවල් වලිනි අපි පුරවාගෙන සිටිනුයේ. ඒ සියඵ දැනුම ඔස්සේ අපි සොයා ගන්නට පැමිණි දේ බාහිර ලෝකය පුරා සොයමින් ජීවිතය ගෙවා දමමින් සිටිමු. අපි නැතිවූ මැණික අන් තැන් වල සොයමින් සිට හිස් දෑතින් පිටවී යන්නෙමු. එහෙත් කබීර් එය තම හදවත තුළ තිබියදී සොයාගෙන ඇත. ඒ සදාකාලික නිවීමයි.
අසංඛාරය අභියස සංඛාර නටයි
"ඔබ හා මම එකක්" යැයි නින්නාද නැගේ
ගුරුවරයා පැමිණ
ශිෂ්‍යයාට හිස නමයි මෙයයි මහා හාස්කම
සංස්කාර ඉක්මවු කබීර් අසංස්කාරය තුලට පැමිණ ඇත. දැන් සංස්කාරයන්ගේ රංගනය පමණක් පවතියි. ඔහු එයින් වෙන්ව පවතියි. ඒ මොහොතේදී සියල්ල ඒකත්වයක් බවට පත්වී ඇත. තව දුරටත් ඔබ හා මා යනු දෙදෙනෙක් නොවේ. අපේ මනසේ සැම විටම පවතින ද්විත්වමය ස්වභාවය නැතිවී ගොසිනි. ගුරුවරයා පැමිණ ශිෂ්‍යයාට හිස නමයි. මන්ද ඔවුන් විශ්වය තුළ ඒකාත්මිකවී ඇත. කබීර් පවසන්නේ දිය බිඳුව සාගරයට එක්විය, නැතිනම් සාගරය දිය බිඳුව තුළට එක්විය ලෙසිනි. එය නැවත සොයාගත නොහේ. ඔහු ස්වකීය මමත්වය ඉක්මවා ගොස් සමස්තය සමග මුසුවී ඇත.
ගුවන් ගැබ සංගීත රාවෙන් පිරී ඇත
අමෘතය වැසි වසින්නේය
වීණාවේ තත් කෙරෙන් මිහිරි සර නැගේ
තාල වැයේ
ආකාශ මන්දිරය තුල පවතින
මේ මහා ශෝභාවේ රහස කුමක්ද?
පායන හිරු හෝ බැසයන හිරු ගැන
මෙහි කතාවක් නැත
මේ ප්‍රභාස්වර සාගරයෙහි
ආලෝකය තුළ
දවස හා රැය එකක්ම වේ
නොනිමෙන නොසිඳෙන
සතුට .....
මෙහි දුක නැත
ගැටුම නැත
සතුට උතුරා යමින්පවතියි
මෙහි ප්‍රමාදයට ඉඩක් කොහිද?
"පරම ආශිර්වාදයේ ක්‍රීඩාව
මම එහිදී දැක ගතිමි."
ඔහුගේ ඒ කවීත්වය පැමිණෙන්නේ විමුක්තියේ ආනන්දය තුළිනි. නිරාමිෂ ප්‍රීතිය තුළිනි. ඔහු පවතින්නේ සදාකාලික සොම්නසක් තුළය. එය විස්තර කල නොහැකි නමුදු ඔහු එය එලෙසින් අපට පවසා සිටියි. එය පැවැසිය නොහැකි යමක ඉඟියක් පමණකි. ඔහුගේ දිරිගැන්වීම සහ ආරාධනය වන්නේ සියඵ මුණිවරයන්ගේම ආරාධනයයි. එනම් තමන් හිඳින සන්තුෂ්ඨියේ භූමියට එක්වෙන ලෙස කරන සොඳුරු ඇරයුමයි. එහෙත් අපි තවමත් අවට සොයමින් සිටිමු.