කාලයක් මා සම්බන්ධ වී සිටි රාජ්‍ය ආයතනයක සේවය කල සුඵ සේවකයෙක් තමයි අනිල් කියන්නෙ. මා ඔහු ගැන එතරම් තොරතුරු දැනගෙන හිටියෙ නෑ වගේම හාර පන්සීයක් සේවය කල එම ආයතන තුල ඔහුව ඇසුරු කල සංඛ්‍යාවද ඉතා සුඵ ප්‍රමාණයක්.
එතරම් බර වැඩ නැති සැහැල්ලු සේවාවන්
ඔහුට පැවැරී තිබුණු බව මා දැන සිටිය. වැඩි හරියක් රාජකාරී වුණේ ඔහුගේ සේවා ප්‍රධානීන්ගේ
පුද්ගලික අවශ්‍යතා සැපිරීමයි. රාජ්‍ය ආයතන වල ඒක සාමාන්‍ය දෙයක් නිසා මම ඒක ඒ හැටි
මායිම් නොකල අතර අනිල්ද එය ගණන් ගත් බවක් පෙනෙන්න තිබුණෙ නෑ. ඕනෑම වෙලාවක තමන්ගේ
සේවා ප්‍රධානීන් වෙනුවෙන් කඩේ දිවීම මෙලොව තමන් වැටුප් ලබන මෙහෙවර ලෙස ඔහු සලකනවා
විය හැකි බව මට වැටහී ගියේ ඔහු ඒ සියල්ල ප්‍රසන්න ආකාරයෙන් සිදු කරන නිසයි. ඔහු යන
එන හැම විටම ශබ්ද නගා ගීයක් මුමුණමින් ගමන් කලා. අවට සිටින්නේ කවුද යන්න ගැන ඔහුට
වැදගත් නොවීය.
මා පැමිණි මුල් කාලයේ උදේට ආපන ශාලාවේදී
ඔහුව දකිනව වගේම මම බොහෝ විට අනිල් ආහාර ගන්නා මේසයේම වාඩි වී ආහාර ගනු ලැබුව.
ඔහුගේ මිතුරා ලෙස එකට ආහාර ගත්තේ මම නම නොදත් දකුණු අත වෙනුවට කෘතිම අතක් සහිත
පුද්ගලයෙකුයි. මොවුන් දෙදෙනාගෙම එක ලක්ෂණයක් තිබුණ. නිතරම උච්ච ස්වරයෙන් කතා කිරීම
සහ සිනාසීමයි. වම් අතින් පමණක් ආහාර ගන්නා, ලියන, වැඩ කරන ඔහුගේ මිතුරා කොහෙත්ම
ආබාධිතයෙක් ලෙස කාටවත් නොපෙණුනේ ඔහුගේ එම හැසිරීම සහ අත්දිග කමීසයට වැසී ගොස්
කෘතිම දකුණු අතේ අත්ල පමණක් එළියට විවරව ඇති නිසයි. ඕනෑකමින් බැලූවෙකුට මිස එය
කෘතිම අතක් බව නොපෙනේ.
අනිල්ගේ මා ප්‍රිය කල ලක්ෂණය මේ ගීත
ගායනා කරමින් රාජකාරී ගමන් බිමන් සිදු කිරීමයි. සේවා ස්ථානයෙන් බැහැර මහ මග ගමන්
කරද්දී වුවද ඔහුගේ මේ ලක්ෂණය දැකිය හැකි වුණා. ඔහුගේ ගමන තුළ සිටින්නේ ඔහු පමණකි.
ඔහු පසු කර යන හෝ ඔහු ඉදිරියට එන නාඳුනන කිසිවෙකු ඔහුට නොපෙනෙන සේය. එසේම දැන
හඳුනන අයෙකු පැමිණෙයි නම් ළඟට පැමිණෙන්නට පෙර දුර සිටම මුමුණන ගීතය නවතා හයියෙන්
කතා කිරීම ඔහුගේ සිරිතයි.
අනිල් ඒ වන විටද ජීවිතේ මැදි වියට
පැමිණි සිටියෙකි. අවම වශයෙන් වයස අවුරුදු හතළිස් පහක් වත් විය යුතු බව මා අනුමාන
කලෙමි. ඔහුගේ හැසිරීම අනුව මා සිතා සිටියේ ඔහු තනිකඩයෙකු බවයි. එහෙත් දිනක් සේවා
ස්ථානයට නුදුරු නගරයේදී ඔහු කාන්තාවක් සමග ගමන් කරනු දුටුවෙමි. එහෙත් මා පුදුමයට
පත් කල දෙයනම් ඔවුන් තරුණ පෙම් යුවලක් මෙන් අත් පටලාගෙන එකිනෙකාගේ සිරුරු වල
ගෑවෙමින් ළංව ගමන් කිරීමයි. අනිල් විසින් ඉහළන ලද කුඩයක් යට අව් රශ්මියෙන් ආවරණය
වී ඔවුන් දෙදෙනා එකිනෙකාට තුරුඵව මෙන් ගමන් කරන හැටි මම බලා සිටියේ උපහාසාත්මකවයි.
මගේ හැඟීම වුණේ ජීවිතේ මැදිවියට පැමිණි තනිකඩ අනිල්ට ඔහුගේම වයසට සරිලන පෙම්වතියක
ලැබී ඇති බව සහ ඔවුන් ප්‍රේමයෙන් මත්ව එසේ තරුණ යුවලක් සේ හැසිරෙන බවයි. එහෙත්
ඔවුන්ගේ හැසිරීම දෙසට අනෙකුන්ගේ නෙත් යොමුවන හේතුව වුණේ ඔවුන් කොහෙත්ම තරුණ වියේ
නොවුණු බැවින් සහ එලෙස අතිනත් පටලාගෙන මහ මග ගමන් කරන මැදිවියේ හෝ මහඵ වියේ
පෙම්වතුන් දුර්ලභ දසුනක් නිසාය.
එසේම අසල නගරයේ දහවල් කාලයේ තනියෙන්
ගමන් කරන විට වුවද ඔහු දැඩි හිරු රශ්මියෙන් ආරක්ෂා වීම සඳහා කුඩයක් ඉහලාගෙන ගමන්
කරනු මා දැක ඇත. බොහෝ විට පුරුෂ පාර්ශ්වයේ උදවිය එසේ අව්වට කුඩ ඉහළාගෙන යාමට
ලැජ්ජා වන නමුත් අනිල්ට එවැනි මානසිකත්වයක් නොමැති වීම ගැන මා සතුටු වුණේ දාඩිය
පෙරාගෙන ඔඵ කට්ට ගිනියම් වන අව්වේ මා ගමන් කරද්දී ඉහළාගන්න කුඩයක් තිබිණි නම් යන
සිතුවිල්ල මා තුළද ඇතිවන බැවිනි. ඒත් බොහෝ පිරිමින් සේම මාද වැස්සට මිස අව්වට කුඩ
රැගෙන යාමක් නොකෙලෙමි.
එසේම ඇතැම් විවේකී සවස් වරු වල මා
නිතර දකින දසුනක් වූයේ අප ආසන්නයේ පිහිටි කුඩා නගරයේ විද්‍යුත් උපකරණ ප්‍රදර්ශණාගාරයක
දමා ඇති රූපවාහිනී යන්ත්‍ර වල විකාශණය වන වැඩසටහන් දෙස ඔහු තනිවම බලා සිටීමයි. ක්‍රිකට්
තරඟ පවතින දින වල නම් එසේ එම ස්ථානයේ බොහෝ මිනිසුන් රැස්කමින් ක්‍රිකට් තරඟ නරඹන
නමුත් එසේ නොවන සාමාන්‍ය දිනවල එම රූපවාහිනී තිර වල විකාශණය වෙන වැඩසටහන් නරඹණ එකම
ප්‍රේක්ෂකයා අනිල් පමණක් බව මම දැක ඇත්තෙමි. ඔහුට එය ලැජ්ජාවකට කරුණක් නොවුණේ ඔහුට
අනෙකුන්ගේ බැල්ම වැදගත් නොවන නිසා විය යුතුය.
කොහොම නමුත් අනිල් පදිංචි ස්ථානයට
නුදුරු ස්ථානයක් වෙත මගේ නවාතැන මාරු වීම නිසා අනිල් සහ මා අතර යම් හිතවත් කමක්
ගොඩ නැගුණද එය සමීප හිතමිතුරු ඇසුරක් නොවිණ. නගරයේ සිට සැතපුමක් පමණ පා ගමනින් යා
යුතු ඒ දුර අපට සාමාන්‍ය දෙයක් විය. කෙසේ වුවත් එසේ මගේ අලුත් නවාතැන නිසා මට ඔහුව
නිතර නිතර දක්නට ලැබිණ. නගරයේ සිට මම නවාතැන් ගෙන සිටි ගම දක්වා වූ දුර පයින් ඇවිද
යන බොහෝ අවස්ථා වල අනිල් ඔහුගේ පෙම්වතිය සමග අතිනත් පටලාගෙන යන එන එක මට සාමාන්‍ය
දසුනක් විය. එවිට මට හැඟී ගියේ ඔවුන් මෑතකදී විවාහ වී ඇති නිසා මෙසේ සමීප ඇසුරක
සිටින බවයි. ඔහුගේ බිරිඳ එතරම් දැකුම්කඵ හෝ ප්‍රියමනාප පෙනුමකින් තොර මැදිවියේ වූ
මිටි සහ කෙට්ටු කාන්තාවක් විය.
එක් ඉරු දිනෙක හවස් භාගයේ ඔහු වයස
අවුරුදු දොළහට වැඩි විය යුතු යැයි සිතිය හැකි වැඩිවිය පැමිණි ගැහැණු දරුවන්
දෙදෙනෙකු සමග නගරය දෙසට පැමිණෙනු මට මුණ ගැසිණ. ගැහැණු දරුවන් දෙදෙනා ඔහු
දෙපැත්තෙන් ගමන් කල අතර ලොකු ළමයි වුවද ඔහු අත් දෙකෙන් ඔවුන්ගේ අත් අල්ලාගෙන ගමන්
කලේ පුංචි දරුවන් දෙදෙනෙකු කැටුව යන විලසිනි.
“කොහේද මේ වෙලාවේ යන්නෙ” මම විමසීමි.
“මේ දෙන්නට පංති තියෙනව හන්දියට ගිහින්
දාල එන්නම්”
මම කල්පනාකාරී වීමි. මේ ගැහැණු දරුවන්
දෙදෙනා කවුද? ළඟදී විවාපත් වී සිටි ලෙස මා අනුමාන කල ඔහුට වැඩිවිය පත් දරුවන්
සිටිය නොහැකිය.
අප සේවා ස්ථානයේම රාජකාරී කල ප්‍රදේශයේ
පදිංචි මිතුරෙකුගෙන් අනිල් ගැන මම විමසීමි.
“ඒ උගේ ළමයි දෙන්න බං”
මා පුදුමයට පත්විමි.
“මිනිහ නෝනත් එක්ක පාරෙ යන විදියට මම
හිතුවෙ ඊයෙ පෙරේද බැන්ඳ එකෙක් කියල”
“නෑ බං උගේ හැටි ඒ. උඹ ඉන්න හරියෙ
කුළියට තමයි මිනිහ ඉන්නෙ”
පසු දිනෙක මගේ මිතුරෙකුට නිවසක්
කුළියට සොයා දෙන ලෙස අනිල් පවසනු මා අසා සිටියෙමි.
“දුරින් වුණාට කමක් නෑ රුපියල්
පන්දාහකට වගේ හොයල දියන්”
මගේ මිතුරා නිවසක් කුළියට සොයා දීමට
පොරොන්දු වෙනු මා අසා සිටියෙමි.
“මමත් මේ ලෝන් එකට මහන්සි වෙනව බං ගේ
හදාගන්න ඕනි ඉක්මණට” ඒ මගේ
මිතුරාය.
“අයියෝ බං ලෝන් ගන්න මාස ගාණක් අතනයි මෙතනයි
දුවනවට, රස්තියිදු වෙනවට වඩා හොඳයි මැරෙනකම් කුළී ගෙවල් වල ඉන්නව” එසේ කියමින් ගීතයක් මුමුණමින් අනිල් පිටවී යනු මා බලා
සිටියෙමි.
ජීවිතය ඒ තරම් සැහැල්ලුවෙන් ගත හැකිද
යන්න මට පුදුමයක් විය. විශේෂයෙන්ම වැඩිවිය පත් ගැහැණු දරුවන් දෙදෙනෙකුගේ පියෙක්..?
පසු දිනෙක මා මුණ ගැසුණ විට
මගෙන්ද ඔහු විමසා සිටියේ,
“මහත්තයෝ ඔයා ඉන්න හරියෙ ගෙයක් එහෙම
කුළියට ගන්න තියෙනවද කියල ටිකක් හොයල බලල කියන්න”
“ඇයි ඉන්න තැන මොකද?”
“එතන එක කාමරයක අපි හතර දෙනාම ඉන්නෙ.දැන් ළමයිනුත් ලොකුයිනෙ. ඒකයි වෙන තැනක් බලන්නෙ”
“ඔයා තරම්වත් මම මේ පැත්තෙ අය අඳුනන්නෙ
නෑ. ඒත් මමත් උත්සාහ කරල බලන්නම්”
“හරි මහත්තයෝ ටිකක් බලන්නකො එහෙනම්”
සිනාමුසු මුහුණින්, ඔහුගේම කඩිසර
ගමනින් ගීයක් හෙමින් මුමුණමින් ඔහු පිටව ගියේය.
ජීවිතය කොයි තරම් කටුක වුවද ඔහුට එය
ගණනක් නැත. කම්කරුවෙකුට ලැබෙන ඉතාම අල්ප වැටුපකින්, ගෙයක් දොරක් නැතුව වුවද
බිරිඳත් ලොකු මහත්වූ දියණියන් දෙදෙනාත්
සමග කුළියට ගත් එක කාමරයක ඔහු සතුටින් ජීවත් වීම මට පුදුමයකි. සිනහවෙන්,
ගීයක් මුමුණමින් ඔහු වේගයෙන් පයින්ම ගමන් කරයි.
ඔහු කිසිදා සිගරට්ටුවක් බොනු හෝ බීමත්ව
සිටිනු මා දැක නැත. කිසිවෙකු වැඩිය මායිම් නොකරන ඔහුව සහ ඔහුගේ මේ “අනෙකුන්ගෙන් මට වැඩක් නෑ මගේ විදිය මේකයි” නොකියන නමුත් ඒ තුළ ජීවත් වෙන ආකාරයේ චරිතයට සහ සරල
පැවැත්මට මා බෙහෙවින් ඇලුම් කළෙමි.
පසු දිනෙක මිතුරන් පිරිසක් අතර සතුටු
සාමීචියේ යෙදී සිටින වෙලාවක අනිල්ද අප අතරට පැමිණ විහිඵවක් කර දුර සිට කා සමග හෝ
සිනහ වෙමින් කතා කරමින් නික්ම ගිය විට මා
ළඟම සිටි මිතුරාට පැවසුවේ අනිල් නම් අමුතුම වර්ගයේ මිනිසෙක් බවයි.
මගේ ඒ මිතුරා එම ආයතනයේ දීර්ඝ කාලයක්
සේවය කල අයෙකු බැවින් සියඵ දෙනාගේම වගතුග ඔහු දනියි.
“ඕක මරු මිනිහ බං. ඒ දවස්වල නන්නත්තාරෙ
ගියා. අන්තිමට පොඩි එවුන් දෙන්නෙක් ඉන්න මිනිහ නැති ගෑණියෙක්ව කසාද බැන්ඳා”
මා පුදුමයට පත්වීමි.
ඒත් මා අදටත් හිතින් ඔහුට අසීමිතව
ගෞරව කරමි. ඔහු වැනි අනෙකුන් කියන කරන කිසිවක් නොසලකමින් තමන් තුළ රජවීමට සහ ඒ රජකම
සරළ මනුෂ්‍යත්වයෙන් පිරවීමට සමත් අන් කවරෙක්වත් මේ වන තෙක් ඉන්පසු මට මුණ ගැසී නොමැත.