Sunday, 28 October 2012

කොපි පොත්..






සැබවින්ම
මිනිසුන් නොවෙමු අපි
ඇරැඹුමේ සිට
අනුන්ගේ සටහන් ලියූ
කොපි පොත් පමණි..

Monday, 15 October 2012

හාමතට තිත






පහුගිය වකවානුවේ දිගින් දිගටම රාජකාරියට නොගොහින් නිවාඩු ගන්න වුණාම නිතර දෙවේලේ දුරකතන ඇමතුම් දෙමින් සැප දුක සොයා බැලුවේ සුමනරත්න අයියාය. කොහොම වුණත් මාසික වැටුප ලැබෙන දිනයේ වැඩට ගිහින් ඒ ලැබෙන සොච්චමෙන් හතරෙන් එකක් විතර සුමනරත්න ගොයියාට දුන්නම මිනිහගෙ ඉහේ මලක් පිපිණු ගානයි. මිනිහට දුකත් එක්ක වගේ,

ඉතින් මල්ලි එකපාර ගෙවල දාන්න බලන්න. පොළිය විතරක් ගෙවන එක මල්ලිට පාඩුයිනෙ

මිනිහට දුකත් එක්ක වගේ, ඒකයි මිනිහ එහෙම කියන්න ඇත්තෙ. කොහොම වුණත් මිනිහ දන්නව ණය මුදල වැඩි වුණොත් මිස සම්පූර්ණ ගෙවා දැමීමක් නම් මේ යන විදියට සිද්ධ නොවන බව.
ඒ වගේම මේ යන විදියට මිනිහ මනාපයි. කතිරෙන් විතරක් නෙවෙයි බොහෝ කියුම් කෙරුම් වලින් මිනිහ මේ පවතින විදිය මීටත් හොඳින් රැකෙන්න දායක වෙනව.

මෙහෙම ජීවත් වීම තේරුමක් නෑ. හාමතේ වැටිල ඉන්න වෙලාවකයි මට යන්තමට වගේ ප්‍රඥාව පහළ‍ වෙන්න ගත්තෙ. ඉන්න හිටින්න කියා බතල වැලක් වත් හිටවගන්න මහ පොළොවෙ ඉඩක් නැති මිනිස්සු වුණාම එදා වේලට ජීවත් වෙන්න සිද්ධ වෙනව. හීනියට පහළ වෙච්ච ප්‍රඥාව මට කිව්වෙ කන බොන එක නතර කරන්න පුඵවන් ක්‍රමයක් හොයපං කියල.

පුද්ගලික දේපල පරිහරණය නැති කරල රතු මාමල සමාජවාදී දේශයක් ගොඩනගන්නෙ නැති බව දැන් සිකුරටම සිකුරුයි. උන්ට ඕනි හිඟන්නො දෙතුන් දෙනෙකුට හරි නායකයෙක් වෙලා දේශනා පවත්වල පණ ගැට ගහගන්නයි. ඉන් එහාට වෙන මගුලක් නෑ. ඒ වගේම දැනටම සමානාත්මතාවය බිඳගෙන වැඩියෙන් දේවල් භුක්ති විඳින උදවිය ඒකෙනුත් සෑහීමකට පත් නොවුණාම මෙන්න දෑකැත්තයි මිටියයි දික් කොරන් රුසියන්කාරයෝ වගේ විප්ලව කරන්න, ඉල්ලීම් කරන්න තියාගන්නව. ඒක යකාගෙ සමාජවාදයක්. හැබැයි රුසියන් කාරයො ඉල්ලුවයි කියන්නෙ බඩ ගින්නට පාන්ය කියලත් කොහෙද මං කියවල තියෙනව. ඒක බොරුවක්ද මන්දා.

පාලකයන්ගෙන් අපි වගේ අවශේෂ පුද්ගලයන් සඳහා බඩේ පහර හැරැ මොන ඉටිගෙඩියක්වත් නොලැබෙන බවත් සිකුරටම සිකුරුයි.

අනාථ පිණ්ඩිකල, වෙස්සන්තරලනම් මේ රටට හීන තමයි. කීයක් හරි වැඩියෙන් ලැබෙන එකාට අවශ්‍යතා වැඩි වෙනව. එකට උන්නු එවුනුත් අමතක වෙනව ඒ අවශ්‍යතා ළඟදි. මනුෂ්‍ය ස්වභාවයයි කියමුකො ඒකට.

ඔන්න ඔහොම තමයි ප්‍රඥාවබෝධය ටික ටික පහළ වෙන්න ගත්තෙ. කන බොන එක අත හැරියොත් ගොඩේ ගොඩ වෙන්න පුඵවන් බව සක් සුදක් සේ විශ්වාසයි.
අන්න ඒකට තමයි මට නොසෑහෙන්න නිවාඩු ගන්න සිද්ධ වුණේ. කන බොන එක අත්හැරැපු මිනිස්සු සම්බන්ධ වාර්තා හොයන්න පළවෙනි දවස් ටික මහන්සි ගත්ත. මහන්සියේ ප්‍රතිඵල තිබුණ.
එක වාර්තාවක තිබුණෙ මේ මං වගේම ඉන්දියාවෙ ගැහැණියක් හාමතෙන් බේරෙන්න අධිෂ්ඨාන කරල අන්තිමේ ජීවිත කාලයම කෑමෙන් බීමෙන් වැලකිලා තිබුණ වගේම කිසිම අතුරු අන්තරාවක් නැතිව සෑහෙන කාලයක් ජීවත් වෙලා තියෙනව. මේ උන්දෑ යෝග ක්‍රම වලින් තමයි එහෙම කලයි කියන්නෙ.

තව වාර්තාවක තිබුණෙ මේ මෑත කාලයේ කතාවක්. ඒත් තව ඉන්දියාවෙ මනුස්සයෙක් දවසට කිරි වීදුරුවක් සහ කෙසෙල් ගෙඩියක් විතරක් කාල බීල දෙයියනේ කියල පණ ගැට ගහගෙන ඉන්නව කියල සෞඛ්‍ය සම්පන්නව. මිනිහ මෙහෙම ඉන්නෙ කොහොමද කියල බටහිර පරීක්ෂකයොත් පරීක්ෂණ පැවැත්තුවයි කියලත් ඒකෙ තිබුණ. කොහොම වුණත් ලංකාවෙ හැටියට කිරි වීදුරුවක් කියන්නෙ ඕනෑවට වැඩියි. ළදරුවෙකුටවත් කිරි පොවන්න බැරි කාලයක් මේක. ඕක ප්ලේන්ටියක් දක්වා අඩු කරන්න ඕනි කියල මගේ ප්‍රඥාව මට කියා හිටිය. කෙහෙල් ගෙඩියත් ලේසි නෑ තමයි.

තව තැනක කියවුණේ මහාවීර ආහාරයක් ගත්තෙ දවස් දොළහකට සැරයක් කියල. අන්න ඒකනම් මරු මගේ ආදායමේ හැටියට. කොහොමත් මාසෙකට වේල් හත අටක් කන්න පුඵවන් වැටුපකුත් ලැබෙන එකේ කීයක් හරි ඉතුරු කරගන්නත් ලැබෙයි සුමනරත්න ගොයියගෙ පොළී ණයත් ගෙවල දාන්න පුඵවන් වෙයි මාස හත අටකින්.

මේව බොරු වාර්තා වෙන්න බෑ. දැන් වැඩේ අතේ පත්තු‍ වෙලා තියෙන්නෙ. කන බොන එක අත හරින්න මනුස්සයාට හැකියාව තියෙනව. ඒත් කරුමෙට අපේ වගේ රටවල් වල මනුෂ්‍ය වර්ගයාට ලොකුම සේවය සිදු විය හැකි මෙවැනි පර්යේෂණයකට බුද්ධිමත්තු, උගත්තු අත ගහල නෑ. විශ්ව විද්‍යාලයකවත් එහෙම වැදගත් පර්යේෂණයක් සිද්ධ වෙනවද කියල හොයල බැලුවත් ඔහෙ නෑ එහෙම එකක්. වැඩකට නැති මහා සංකල්ප එක්ක එයාල හැප්පෙනව කීයක් හරි වැඩිපුර හොයා ගන්න.

අන්තිමේ වැඩේ මටම පවර ගන්න සිද්ධ වෙලා. ඒකට සුදුසුකම් මට ගොඩක් උපතින්ම ලැබිල තියෙන එක වාසියක් වෙලා තියෙනව.
මේක ටිකක් අමාරුයි. ටිකක් කිව්වට ගොඩක්ද මන්දා. ශරීර කූඩුවට බාහිරෙන් කෑම බීම ඕනියි කියන හිතුවිල්ල කුඩ්ඩක්වත් ඉතුරු නොවන විදියට හිතෙන් අයින් වෙන්න ඕනි. ලෝකය ගැන ආදරය, මෛත්‍රිය හිතේ වැඩෙනවනම් ඒක මේ වැඩේට පහසුයි කියල තමයි මට දැන ගන්න ලැබුණෙ. අමාරුම හරිය ඒක තමයි. මොකද ඉන්න තරමක් නසරාණියෝ පිරිච්ච මේ රටේ ඉඳගෙන මෛත්‍රිය කිරීම...?

කොහොම වුණත් මේ හිඟන ජීවිතෙන් ගොඩ යන්න ඕනි නිසා ඒකටත් මං පිළියම් හෙව්ව. හේතුවක් නැතිව ඇස් අරින එක නැවැත්තුව. වැඩේ ටිකක් සාර්ථක වේගෙන එන්නෙ. නිවාඩු දවස්වල නම් දවසම වගේ ඇස් වහගෙනම ඉන්න පුරුදු වෙමින් ඉන්නව ශරීර කෘත්‍ය කරද්දි පවා. එතකොට ගොඩක් දේවල් පේනව අඩුයි. නොපෙනෙන දේවල් වලට වෛර කරන්නෙ හෝ කෝප ගන්නෙ අහවල් අමාරුවකටයැ. කන් ඇහෙන එකත් වදයක් තමයි. හැබැයි ශරීර කූඩුවට වැටෙන කෑම ප්‍රමාණය දරුණු විදියට අඩු කළාම බාහිර සද්ද බද්ද කන් වලට ඇහෙන්නෙ නැතුව යනව කියලත් මට හොයා ගන්න ඇහැක් වුණා. එතකොට කන්දෙක මුඵ මනින්ම ඇවිලෙන කුසගින්නෙ සද්දෙට සවන් දෙන්න ගන්නව.

කොහොමින් කොහොමින් හරි දෙයියනේ කියල දවසකට එක සැරැයක් මොනව හරි ගිලල ඉන්න පුඵවන් කියල මම හොයා ගත්ත. හැබැයි බර වැඩ කරන්න ගියොත්නම් අමාරුවේ වැටෙනව. ශරීරය වැඩිය හොල්ලන්න නරකයි. අර යකාට ගෙවන්න තියෙන ණය මතක් වෙද්දි එක පාරක් ගිලින එකත් මහ වැරැද්දක් කියල හැඟෙන එක මගේ වාසියට හිට්ට. හැබැයි මෙතනදි දරා ගැනීමේ ශක්තිය අවශ්‍ය වෙනව. බඩට ඕනි විදියට අපි කටයුතු කරන එක නවත්වන්න වෙනව. බඩ කියන්නෙ වෙන එකෙක්ය ඌට ඕනි ඕනි විදියට අපි නටන්නෙ නෑ කියන හිතුවිල්ල ශක්තිමත් කල යුතු වෙනව. පොඩි පොඩි අතුරු ආබාධ ඇතිවෙන්න පුඵවන්. ඔඵවෙ කැක්කුම, කරකැවිල්ල, ක්ලාන්තය, කකුල් පණ නැති වීම, ඇට කටු පෑදීම වගේ අතුරු ආබාධ ඇති වෙද්දි හිතන්න ඕනි මේ අතුරු ආබාධයෝ අපි සදාකාලිකව ණයකාරයෝ සහ හිඟන්නු කරල තියන්න දඟලන මාර සෙනඟය කියල.

මේක වැඩ කලොත් විසි එක්වැනි සියවසේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා කරපු ලොකුම පර්යේෂණයට තමයි මම අත ගහල තියෙන්නෙ. ආයෙ එහෙම කලා කියල මමනම් පදවි තානාන්තර, වැඩි පඩි, වැඩි වරප්‍රසාද ඉල්‍ලන්නෙනම් නෑ ඕං. සාමාන්‍ය මනුස්සයාට ගොඩ යන්න පාරක් තමයි එකම බලාපොරොත්තුව.
අඩුම ගාණෙ සතියකට එක සැරයක් මොනා හරි ගිලල පණ ගැට ගහගන්න තත්වෙට හිත වෙනස් කරගන්න එක සාර්ථක වුණොත් ගොඩක් වාසි සැලසෙනව. තුට්ටු දෙකට අරකට මේකට කඹුරන කම්කරුවට යහපතක් වෙනව. ගොවියට ඕනෑවට වඩා මහන්සි වෙලා වගා කරන්න ඕනි වෙන්නෙ නෑ. ඔය ටිකක් වවා ගත්තම මදැයි. විකුණගන්න බෑ කියල උද්ඝෝෂණ කරන්න ඕනැන්නෙත් නෑ එතකොට.
හාල් කිලෝ එකට පාන් රාත්තලට මහජනයව කඩේ යවන්න දේශපාලකයන්ට අමාරු වෙනව. ගොවිය, කම්කරුව අඩු ශ්‍රම දායකත්වයක් සපයන විට රටේ ආහාර ප්‍රමාණය අඩු වෙනව. එතකොට උන්ව හූරගෙන කාල ජීවත් වෙන ලොකු ලොකු උත්තමයන්ටත් බඩ ගින්න දැනෙන්න ගන්නව. උන්ට බඩ ගින්න හුරු නැති නිසා උන් අතරට යන සීමිත කෑම වලට උන් උන් මරාගන්න ගන්නව. ඒකෙනුත් යහපතක් වෙයි. තව මොනවයින් මොනව වෙයිද කියල කියන්න අමාරුයි. කොහොම වුණත් ගොඩක් දේවල් හොඳ අතට සිද්ධ වෙයි. බත් පැකට් එකකට මොන්ටෙරෝ එකක් වුණත් හුවමාරු වෙන්න ඉඩ තියෙනව. අන්න ආශ්චර්යය.

කොහොම වුණත් මේක කරන්නම සිද්ධ වෙන කටයුත්තක් ලෙස මම භාර අරගෙන තියෙනව (ප්‍රතික්ෂේප කරන්න බැරි විදියට භාර ගන්න සිද්ධ වෙලා තියෙනව). අවම වශයෙන් මගේ බේරුමටවත්.
වැඩේ අහවර වෙන්න කළින් අර මාර සෙනග මාව ගිලගත්තොත් මගේ උත්කෘෂ්ඨ බලාපොරොත්තුව මාත් එක්කම අතුරුදහන් වෙයිද කියල බයකුත් නැතුව නෙවෙයි.

ඒ කොහොම වුණත් උඹලට ඕනිනම් හිනාවෙයල්ල.