මහ මුද්‍රා ගීතය කියවා හෝ ඒ පිළිබඳ අසා නැති සහෘදයින් වෙනුවෙන්මේ සටහන ලියන්නට සිතුණි. මේ පිළිබඳ මගේ දැනුම අල්ප බැවින් නිවැරැදි කිරීමක් වේනම් කරන මෙන් දැනුවත් සහෘදයින්ගෙන් ඉල්ලමි.
10 වන සියවසේ භාරතයේ විසූ තිලෝපා හෙවත් ත්‍රෛයිලෝකපාද (ක්‍රි.ව.988-1069) විසින් තම ශිෂ්‍ය නරෝපාට මහ මුද්‍රා ගීතය දේශනා කල බව පැවසේ. මෙහි ඇතුළත් වන්නේ දෝහා කාව්‍යයි. දෝහා කාව්‍ය යනු උපදේශාත්මක කාව්‍ය සම්ප්‍රදායයි. බෙංගාලයේ උපත ලැබුවා සේ සැලකෙන තිලෝපා බෞද්ධ භික්ෂුවක් ලෙස වසර 12 ක් ගතකල බවද, එනමුත් උසස් අධ්‍යාත්මිකත්වයකට පත් නොවුණ බැවින් පසුව ගිහි ජීවිතයක් ඇරඹූ බවත් පැවැසේ.
ගෞතම බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සියවස් ගණනාවක් ගතවෙද්දී මහයාන සහ හීනයාන නිකායන්වල පැවැති දැඩි විනය රීතීන් ලිහිල් වෙමින් බෞද්ධ තන්ත්‍ර සම්ප්‍රදාය ඇතිවී තිබේ. (හින්දු තන්ත්‍ර සම්ප්‍රදායක්ද පැවැතී ඇත). එලෙසින් තන්ත්‍රයානය හෙවත් වජ්‍රයානය බෞද්ධ නිකායක් සහ සම්ප්‍රදායක් ලෙස පැතිරි ඇත. වජ්‍ර යනු සියඵ දේ කපා හැරිය හැකි (එහෙත් එය විනාශ නොවන) යන්නයි. එනම් සංසාරයේ සියඵ මුල් කපා හැරීමේ මාර්ගයයි.
තිලෝපා ගිහි ජීවිතයේදී වසර 12 ක් ඇවෑමෙන් පරිපූර්ණ අධ්‍යාත්මික තත්වය ලැබූ බව පැවසේ. තාන්ත්‍රික සම්ප්‍රදායේ ක්‍රමවේදයන් හරහා විමුක්තියට පත්වූ මොහු සිද්ධවරයෙකි. භාරත ඉතිහාසයේ මහ සිද්ධවරුන් 84 දෙනෙක් විසූ බව පැවසේ. තිලෝපා ඉන් එක් අයෙකි. මුණිවරයෙකු සහ සිද්ධවරයෙකු අතර වෙනස්කම් පවතියි. සිද්ධවරුන්ට මහ සිද්ධි බල තිබූ බව පැවසේ. අහසින් ගමන් කිරීම, නොපෙනී ගමන් කිරීම, පරකාය ප්‍රවේශය(වෙනත් ශරීරයකට ඇතුඵ වීම) වැනි නොයෙක් හැකියාවන් සහ ප්‍රාතිහාර්යයන් පෑමේ හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ බැවින් මොවුන් සිද්ධ ලෙස හඳුන්වා ඇත. මේ සඳහා මොවුන් තාන්ත්‍රිත, හින්දු භාවනා අභ්‍යාස ක්‍රමයන් පමණක් නොව ඖෂධ වර්ග සහ මන්ත්‍ර පවා යොදාගත් බව පැවැසේ. ඔවුන් භාරතය පුරා මිනිසුන්ට විමුක්ති මාර්ගය කියා දෙමින් සැරිසරා ඇත. මේ සියලු සිද්ධාචාර්යවරුන් එකම වකවානුවක ජීවත්වූවෝ නොවෙති. සරහා පාද, නාගර්ජුන පාද, මෛත්‍රි පාද තවත් ප්‍රසිද්ධ සිද්ධාචාර්යවරු කිහිප දෙනෙකි.
මෙම සිද්ධරුන් ඒ ඒ අවස්ථාවේදී ක්ෂණිකව මෙම දෝහා කාව්‍ය මගින් තම උපදේශනාත්මක කරුණු අනෙකුන් වෙත සම්ප්‍රේශණය කර ඇත. එසේ තිලෝපා විසින් තම ශිෂ්‍ය නරෝපා වෙත සම්ප්‍රේශණය කල දෝහා ගීතයන් මහ මුද්‍රා ගීතය තුළ අඩංගුවේ.
මහමුද්‍රාව සියඵම වචන සහ
සංඛේත වලින් ඔබ්බට ගිය එකකි
එහෙත් බලවත් ඕනෑකමින් හා
භක්තිමත් බවින් යුතු නරෝපා නම්
ඔබට මෙය කිව යුතුයමහමුද්රාව යනු උසස් සංඛේතයයි. එනම් සංසාරික බැඳීම්වලින් මිදුණු සුඛාස්වාදයේ සංඛේතයයි. බුද්ධත්වයේ ලාංඡනයයි. කවියේම පැවසෙන්නේ එය සියඵම වචන වලින් සහ සංඛේත වලින් ඔබ්බට ගියවූ දෙයක් ලෙසිනි. එබැවින් එය ඊට වඩා නිර්වචනය කිරීමට නොදනිමි.
ශුන්‍යතාවට වෙන කිසිවකගේ
ආධාරය අවශ්‍ය නොවේ
මහමුද්‍රාව කිසිවක් මත රඳා පවතින්නේ නැත
කිසිම උත්සාහයක් නොකර
ලිහිල්ව හා ස්වභාවිකව සිටීමෙන්
කෙනෙකුට බන්ධනය
කෙනෙකුට බන්ධනය
බිඳුණු හැකි වේ
ඒ අයුරින් මෝක්ෂය ලබා ගැන්මට
හැකි වන්නේය
ශුන්‍යතාවය යනු හීන යානයේ භාවිතා නොවන එහෙත් මහයානික සම්ප්‍රදායේ වචනයකි. එයින් අදහස් වන්නේ විමුක්තියේ භූමියයි. එනම් සිතුවිලි වලින් නිදහස් වූ නිර්-මනසේ ස්වභාවයයි.
තිලෝපාගේ මෙන්ම තාන්ත්‍රික ඉගැන්වීම් වලදී මූලික දේ වන්නේ ස්වභාවික තත්වයේ පැවැතීමයි. අප මේ සිටින තත්වය යටතේ ස්වභාවික නොවෙමු. මනස යනු කෘතිම තත්වයකි. එය ස්වභාවිකත්වයෙන් ඔබ්බට ගිය තත්වයකි. සිතුවිලි යනු අස්වාභාවික භාවයන්ගෙන් නිර්මිත වූ තත්වයන්ය. මිනිසාට පවතින එකම ප්‍රශ්ණය එයයි. මේ අස්වාභාවික මනසයි. සියඵම දුකට හේතුව එයයි. ඉදින් ඔහු නැවතත් ස්වභාවික තත්වයට යා යුතුය. ඔහුගේ සැබෑ නිවහන එයයි.
ස්වභාවිකව සහ ලිහිල්ව සිටීම එනම් බලපෑමකින් තොරව මේ මොහොතේ මනසේ පවතින තත්වය මනසින්ම දැකීම තිලෝපා පවසන මාර්ගයයි. එනම් මනසේ ස්වභාවික තත්වය දෙස සිහියෙන් යුතුව සිටීමයි දැඩි බලපෑම් නොකරමින්.
තන්ත්‍රවලදී දැඩි ශික්ෂාවන් අනුගමනය නොකරයි. ස්වභාවික තත්වයන් බැහැර නොකරයි. ලෞකික තත්වයන් ප්‍රතික්ෂේප නොකරයි. මේ උසස් තන්ත්‍රයානිකයන්ගෙන් ඇතැමුන් ගිහි ජීවිත ගත කර ඇත. විවාහ වී ඇත. දරුවන් ලබා ඇත. දැඩි ශික්ෂණයන් පනවා ගැනීම ස්වභාවික තත්වයන් වෙත ආපසු යාමට බාධාවක් විය හැකි බව තන්ත්‍ර පිළි ගැනීමක් විය හැක. එසේම තන්ත්‍රයානිකයන් ගුප්ත ක්‍රමවේදයන්ද අධ්‍යාත්මික අවදි කිරීම් සඳහා භාවිතා කර ඇත. බෞද්ධ සම්ප්‍රදායේ වුවද ගුප්තමය ස්වභාවයක් වජ්‍රයානය තුල බිහිවී ඇත.
- ලිපිය දිග වැඩි වෙන නිසා නීරස විය හැකි බැවින් ඉතිරි ටික පසුව ලියන්නම්..
ස්තුති යහලුවා නොදන්න දෙයක් දැන ගත්තා.
ReplyDeleteස්තූතියි...
ReplyDelete-සෝරෝ
ඔයාට පුළුවන්නේ මේ ලිපි සිංහල විකියට දාන්න
ReplyDeletesi.wiki
/බිඟුවා...!
මේ අදහස් හුඟක් දුරට බුදු දහමේ හරයන්ට සමීපයි. ඒත් මෙවැනි සිද්ධ වරයන් ගැන දැන සිටියේ නැහැ. ස්තුතියි.
ReplyDeleteසුළඟ
ස්තුතියි
ReplyDelete