දුමින්දට මොළයක් නැති බව පහුගිය
දිනවල ඔහුගේ මරණය පතන බොහෝ දෙනා ප්‍රකාශ කලෝය. ඔහු මෝඩයෙක් බවද, හරකෙක් බවද තැන්
තැන් වල ලියා තිබුණේ ඔඵවට වෙඩි
වැදිණි නම් දුමින්දගේ මොළයට හානියක් සිදුවිය නොහැකි බව පවසමිනි. දුමින්දට මොළයක්
වීනම් එය ඔඵවේ නොවන පශ්චාත්භාගයට අයත් තැනක තිබිය යුතු බවට බොහෝ දෙනාගේ උපකල්පනය
විය.
ඒත් දුමින්ද මොළයක් නැති මෝඩයෙක්ද?
මොළයක් නැති එකෙකුට සිල්ලර කඩයකින්
පටන් ගෙන දවසකට මිලියනයක් හෝ වියදම් කල හැකි මිනිහෙක් විය නොහැක.
එසේම නීතියක් තියෙනවා යැයි කියන රටක
ඔහු මෝඩයෙක් නම් නීතියට ඉහළින් මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ පාතාළ කටයුතු වල ඇතැම් මාධ්‍ය
වල කියවෙන පරිදි නිරත විය නොහැක. එසේම නීතියෙන් තහනම් වූ තම පවුලේ ගුවන් විදුලි
නාලිකාව දෑත් ශක්තිමත් කිරීමෙන් පමණක් මොහොතකින් ආපසු ලබා ගත නොහැක. එසේනම් එතන මෝඩ
වී ඇත්තේ හෝ හාස්‍යයට ලක්වී ඇත්තේ නීතිය මිස දුමින්ද නොවේ.
කුඩු ජාවාරමට සම්බන්ධ බවට
පාර්ලිමේන්තුවේ පවා කියවෙද්දී නීතියේ එක ඇඟිල්ලක්වත් ඔහු දෙසට ඔසවන්නට තරම්
අබ්බගාත වූ නීතියක් ළඟදි, පොලිස් දෙපාර්තමේන්තුවක් ළඟදි මෝඩ වී ඇත්තේ දුමින්ද
නොවේ.
එසේම රැකවලේ යෙදෙන පොලිස් හෝ හමුදා
නිළධාරින් ඉදිරිපිටදීම මහ දවල් දාමරික කම්, මැරකම් වල නියලිම මෝඩයෙකුට කල නොහැක.
මෝඩයන් සේ ඒ සියල්ල නොදුටූ ලෙස බලා සිටින්නට සිදු වූයේ පොලීසියට හෝ හමුදාවටය.
අවසාන වශයෙන් එක් අතපසු වීමකින්
වෙඩියක් වැදුණු පමණින් ඔහු තවම මෝඩයෙක් වී නැත. මිනීමරුවා කියා බහුතරය අත දිගු
කරද්දීත් ඉහළ රාජ්‍ය මට්ටමේ ආරක්ෂාව සහ වෛද්‍ය ප්‍රතිකාර ලැබිය හැකි මට්ටමකට ඔහු
පැමිණ සිටීනම් ඔහු මෝඩයෙකු නොවේ. ඒත් ඔහුට අත දිගු කල සියල්ලන්ම ඔහු ඉදිරියේ
මෝඩයන් වී හමාරය.
භාරත ඝාතනයේදී ඔහු සහ ඔහුගේ සහචරයන්
සෘජුවම අවි ඔසවා මැදිහත් වුණ බවට සාක්ෂි ඇතැමුන් ලබා දී තිබෙන තත්වයක් තුළ ඔහුව
අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ ප්‍රතිකාර ලබා දිය යුතු බව ඇතැමෙක් පවසද්දී රජයේ
වගකිව යුතු නිළධාරීන් විසින්ම භාරත ඝාතනයට ඔහු සම්බන්ධ බවට තොරතුරු නැතැයි පවසන
තත්වයක් තුළ ඔහු කිසිදා මෝඩකමක් කර නැති බව තහවුරුවේ. මෝඩයන් බවට පත් වෙමින්
සිටින්නේ ඔහු අත් අඩංගුවට ගැනීම පිළිබඳ සිහින දකින්නන්ය.
එසේම යළි සුවපත් වී පැමිණෙන ඔහු
නැවතත් තමන් නැවතූ තැනින් කරමින් සිටි සියල්ල හෙට දින අරඹන විට මෝඩයන් වී සිටින්නේ
ඔහුද?
රූපවාහිනී නාලිකාවක් සහ දුරකතන සමාගමක
අයිතිකරුවෙකු වීනම් මේ රටේ ජනාධිපති වීම තමාට මහ දෙයක් නොවන බව ඇතැම් පුවත් අඩවි
වල වාර්තා කල පරිදි දුමින්ද පැවසූවේනම් එය මෝඩ ප්‍රකාශයක් නොවනු ඇත. ඔහුගේ බුද්ධිය
විසින් මේ රටේ බහුතර ජනතාවගේ මානසික යථාර්තය තේරුම් ගෙන ඇත. කුළී ලියන්නන්, කුළී
විද්වතුන් ඕනෑ තරම් සිටින රටක ඒ දෙක පමණක් තිබේනම් නිල් පාටට, කොළ පාටට හෝ රතු
පාටට ගොන්නුන් හැට හැත්තෑ ලක්ෂයක් නිර්මාණය කල හැකි බව මේ ආශ්චර්යමත් දේශයට ඉහළින්
ගෙවී ගිය කාලය සාක්ෂි දරයි.
ඔවුන්ට ඉහළින් මැස්සෙක්සෙකුටවත්
පියාඹිය නොහැකි ලෙස පරිසරය ගොඩ නැගූ ඔවුන් මහ මොළකාරයන්ය. එවන් දුමින්දලා,
මර්වින්ලා හැරුණු විට අපි සියල්ලන්ම මොළයක් නැති මෝඩයන් විය හැක.
මේ පවතින විදිය සියඵම දුමින්දලා
වෙනුවෙන්ය. එබැවින් කිසිම දුමින්ද කෙනෙක් මොළයක් නැති මෝඩයෙක් නොවේ. ඒත් එක වරක්
හෝ මේ දුමින්දලා වෙනුවෙන්ම නිමවුණ ක්‍රමය හෝ දුමින්දලා නියෝජනය කරන කිසියම් බලමුඵවක්
වෙනුවෙන් සිතුවිල්ලකින්, වචනයකින්, කතිරයකින් හෝ දායක වී සිටින්නේනම් අද දුමින්දට
මොළයක් නැති මෝඩයෙක් කියන සියල්ලන්ම අන්තම අන්ත මොළයක් නැති මෝඩයන්ය. පරාජය
වන්නේද, පීඩිත වන්නේද, අපේක්ෂා භංගත්වයට පත්වෙන්නේද, කෙළවා ගන්නේද ඔවුන් මිස
දුමින්දලානම් නොවේ.
එබැවින් පළමුව දුමින්දලාගේ
මර්වින්ලාගේ මොළය ඇති තැන ගැන උපකල්පනය කරන සියල්ලන් තමන්ගේ මොළය පවතින්නේ කොතැනද
යන්න පිළිබඳවත් සොයා බලන්නේනම් වඩා හොඳය.