“දසුන් ආයෙ ඉස්කෝලෙ එන්නෙ නැද්ද”
“නෑ, සර් මම කැමැති නෑ ඉස්කෝලෙ එන්න”
“ඒ මොකද? ඉගෙන ගත්තොත් නේද අනාගතයක්
තියෙන්නෙ”
“මට අනාගතයක් ඕනි නෑ සර්, දැන් මම
සතුටින් ඉන්නව”
ඔහු කුරුල්ලෙකු මෙන් මගෙන් ඉවතට ඇදී
යන්නේ සැහැල්ලුවෙනි. සතුටෙනි.
දසුන්ගේ පාසල් ගමන නතර වූයේ දෙවන
වරටත් වසර අවසානයේ පැවැත්වෙන විභාගය අසමත් වීමත් සමගය. මෙම විදුහලේ සාමාන්‍ය පෙළ
දක්වා පංති පැවැත්වුණද මෙසේ දසුන්ගේ පාසල් ගමන නතර වෙන්නේ හත්වන ශ්‍රේණියෙනි.
ඔහුගේ ජීවිතය පැවතියේ පංති කාමරයෙන්
එපිට විශාල ලෝකයේය. එහිදී ඔහු සිරගත කරන ලද්දෙකු මෙන් නිහඞ දරුවෙකි. ඒ සිරගත කිරීම
ඔහුව නොසන්සුන්තාවයට පත් කරනු මා දැක ඇත. විෂය කරුණු කෙරෙහි එකඟ කර ගත නොහැකි
ඔහුගේ සිත පිටත බාහිර ලෝකය තුළ දියවී ගොසිනි. තරවටු කිරීම් හමුවේ ඔහු පාන්නේ
අහිංසක සිනාවක් පමණි.
“ඉතින් මේ කැළෑ පැනිල්ලෙන් ඔයාට යහපතක්
වෙයි කියල ඔයා හිතනවද?”
“මම ගොඩක් ඈතට හිතන්න දන්නෑ සර්. ඒත්
මම දැන් සතුටින් ඉන්නව”
“මොකක්ද ඔයාගෙ සතුට”
“ඇල ලස්සනට ගලනව ඒක මට සතුටක් සර්.
පුංචි මාඵවෝ දඟලනව සතුටින්, ඒ දිහා බලන් ඉන්න එක මට සතුටක්. අර එරබදු ගහේ උඩ තියෙන
කූඩුවේ මයින පැටව් ඉන්නව. මම ගහට නැගල උන් ලොකු වෙන හැටි බලනව හැමදාම ඒක මට හරි
සතුටක්. උදේට මම සීයත් එක්ක කුඹුරට යනව. කුඹුර මඩ කරන එකත්, වපුරන එකත්, ගොයම් ගස්
හැදෙන හැටි පීදෙන හැටි දකින එකත් මට සතුටක්. කවද හරි කමත මැද්දෙ වී ගොඩක් හැදෙනව
දකින එක මට සතුටක්. හවසට මේ ඇල ගාව ඉන්න එක මට සතුටක්. අර බලන්න සර් එහා පැත්තෙ
වඳුරෙ ගස් උඩ පනින හැටි පොඩි පැටවුත් එක්ක. ඒක දකින එක මට සතුටක්. කුරුල්ලො කෑ ගහන
එක, අහස උඩට නගින උකුස්සො දිහා බලන් ඉන්න එක මට සතුටක් සර්. පොඩි ගහක් උඩට නැගල මේ
දේවල් දිහා බලන් ඉන්න එක සතුටක්. ගහකට නැගල ගෙඩි කඩාගෙන කන එක සතුටක්. අර ගොරක ගහේ
බැඳල ඉන්නෙ අපේ එළදෙනයි පැටියයි. මම හවසට උන් දෙන්නව එක්කන් යනව. උන් මාත් එක්ක
කතා කරනව ඇස් වලින් මට ඒක සතුටක්.”
දසුන් කියාගෙන යයි. පාසල තුළ මේ නිහඞ දරුවා තමන්ගේ සැබෑ ලෝකය තුළ විශිෂ්ඨයෙකි.
පාසල ඔහුට පිටුවහල් කඳවුරක් මෙන් දැනෙන්නේ ඇයිදැයි මම වටහා ගතිමි.
“ඒත් දසුන් මේ හැම දසුනක්ම තාවකාලිකයි.
දුප්පත්කම, අගහිඟකම ජයගන්නනම් ඉගෙනගෙන හොඳ තැනකට යන්න වෙනව”
ඔහුගේ ඇස් නලියයි. මා දෙස බලන්නේ
අවිහිංසක සිනාවකිනි.
“සර් මට ඉගෙන ගන්න බෑ. මම කැමැති නෑ
ඉගෙන ගන්න. මට ඒ මොකුත්ම තේරෙන්නෙ නෑ. මට ගොඩක් සල්ලි හොයන්න ඕනි නෑ. අගහිඟකම්
තිබුණත් බඩගින්න නිවෙනවනම් කොහොම හරි මම හැමවෙලේම සතුටෙන් දැනටමත්. ඉතින් හෙටත්
එහෙම වෙයි. සර් උගන්වන ගණන් සර්ට සතුටක් ඇති. ඒත් මට ඒ ඉලක්කම් මළකුණු වගේ. මම ආශා
නෑ ගණන් හදන්න. ඊට වඩා මම කැමැතියි රෑට කණාමැදිරියෝ ඉගිලෙන හැටි බලන් ඉන්න.
රැහැයියො කෑ ගහන හැටි අහන් ඉන්න. මට උන්ගෙ භාෂාව තේරෙනව ඉස්කෝලෙ උගන්වන ඒවට වඩා.
උදේට අපේ එළදෙනත් පැටියත් තණකොල කන හැටි බලන් ඉද්දි උන් තණකොළ දත් වලින් කඩන සද්දෙ
අහන් ඉන්න මං ආශයි. මං කැමැති ජීවත් වෙන දේවල් වලට සර්”
“මේ සත්තු, කුඹුරු, ගස් ඔක්කොම නැති
වෙන දවසක් ආවොත්”
“එතකොට හැම දෙයක්ම නිහඞ වෙයි සර්. ඒ
නිහඞ බව මට සතුටක්. හැල හොල්මනක් නැති වෙලාවල්වල තියෙන ඒ නිහඞ බවත් හරිම ලස්සනයි.
සර්රුත් මොකුත් කල්පනා කරන්නෙ නැතිව අහගෙන ඉන්න මොකුත් නැති නිහඞ වෙලාවල් වල.
එතකොට ඇහෙයි දෙවිවරු කතා කරන දේවලුත්. හුළඟ කියන දේවලුත්.”
මම විපිලසර වී අසා සිටියෙමි.
“කඵවර සිංදු කියන හැටිත් සර්ට ඇහෙයි
නිහඞම වෙලාවල්වල”
“මම යනව සර්, සීය බලන් ඇති මම එනකම්”
දසුන් එකවරම මගේ ගුරුවරයා බවට පත්වීද?
මම කල්පනා කරමි. කෙසේ වෙතත් මා සිටින්නේ සතුටට කොතරම් දුරකදැයි මම සිතමි. කොයි
තරම් දිගු ගමනක් ආවත් මා පැතූ සතුටේ සේයා තවම අනාගතයේය. ඒ පැමිණි ගමනේ ස්වභාවිකව
පවතින පණ ගැහෙන සතුටේ රිද්මයෙන් මා ඈත් වී ඇත්ද?. ඒ පණ ගැහෙන සතුට වෙනුවට මා
මළකුණු වලින් හිස පුරවාගෙන සිටින්නෙම්ද?
ඒ රැයේ මම සිතුවිලි අතර අතරමං වී
සිටියෙමි. සැබවින් පවතින සතුට වෙනුවෙන් මට මාව හිස් කිරීමට ඇවැසිය. ඒත් මේ මළකුණු
වළ දමන්නේ කෙළෙසද මා නොදත්තෙමි. හැම දෙයක් තුළම සතුට තැවරී ඇතත් එය උකහා ගත හැකි
ඉව මගෙන් උදුරා ගත්, කෘතිම සතුටක බීජ මා තුළ වැපිරූ අතීත පංති කාමරය මා පිළිකුලෙන්
මෙනෙහි කරමි. දසුන්ව මගේ රාජධානියෙන් පිටමං කර ඇත.
එහෙත් දසුන් සිටින සදාකාලික රාජධානියෙන් මා පිටමං කර ඇත. ඔහුගේ රිද්මය නැගෙන්නේ
දිව්‍යත්වයේ මූලයකින් යැයි මට දැනෙයි.
මා සිත කුඩා දසුන්ගේ ප්‍රීතිමත් දසුන
කෙරෙහි ඊර්ෂ්‍යා සහගත වී සිටිනු මා දකිමි. ගුරුවරයාට ඊර්ෂ්‍යා කරන ගෝලයෙකු මා තුළ
ජීවත් වෙයි.
මිනිස්සුන්ට නිදහස තරම් වටිනා තවත් දෙයක් තියෙනවද ? ස්භාවධර්මයා එක්ක දසුන් විඳින සතුට ඔබ විස්තර කරලා තියෙන ආකාරයට....රූප රාමු පෙළක් මැව්නා..ඒ වගේම ඒ වගෙ නිදහසක් සතුටක්...සැහැල්ලුවක් විඳ ගන්න හිත පෙරේත උනා...
ReplyDeleteඅපූරුයි
ලස්සනට අකුරු කල සුන්දර අදහසක්.
ReplyDeleteදසුන් හරි. අනික් එවුන් ඔතන පොට වරද්දාගෙන ඉන්න නිසයි අවුල.හැබැයි ඔහුට තමයි අන්තිමේදී වරදින්නේ.
බහුතරය කල වරදක් නිරායාසයෙන් ම හරි දෙයක්.
මේ කොටස උපුටා ගන්නේ හිච් හයිකර්ස් ගයිඩ් ටු ගැලැක්සි පොතෙන්.
"It is an important and popular fact that things are not always what they
seem. For instance, on the planet Earth, man had always assumed that
he was more intelligent than dolphins because he had achieved so much
the wheel, New York, wars and so on whilst all the dolphins had ever
done was muck about in the water having a good time. But conversely, the
dolphins had always believed that they were far more intelligent than man
for precisely the same reasons. "
ඔහොම නිදහස් සතුටක් තියෙනව නම්... දැන් පරක්කු වැඩිද මන්ද... :)
ReplyDeleteමොනවා කියන්නද කියල හිතා ගන්න බැහැ.. ඒත් ඔය වගේ පුංචි දසුන්ලට ඔය විදිහටම නිදහසේ ඉන්න ඉඩ ලැබෙයිද හැමදාටම? අපූරු කතාව Outsider
ReplyDeleteලස්සනයි... ඒත් සිස්ටම් එකෙන් මූවත් කවදහරි ඇදල ගනී නේද?
ReplyDeleteඅපිත් පරක්කු නෑ. මම දන්න කීපදෙනෙක්ම ඒ විදිහට සිස්ටම් එකෙන් අයින් වෙල තියනවා. සමහරු මහණවෙලා, තවත් අය හිපියො වෙලා.
සිරා අදහස.
ReplyDeleteඒත් දසුන්ලට මේ මැටීරියලිස්ටික් ලෝකය තුළ පැවැත්මක් තියෙනවද කියලා ප්‍රශ්නයක්නම් තියෙනවා.
පුළුවන්නම් "In to the wild" කියන ෆිල්ම් එක බලන්න. ඒකේත් තියෙන්නේ ඔය වගේ අදහසක්.
@ චමිල: ඔව් ඔව් මම දන්න කීපදෙනෙකුත් ඉන්නවා :D
හරියට ''අපු'' වගේ .
ReplyDeleteමමත් ආස කරන්නේ ඔහොම නිදහසක් !!!!
ReplyDeleteසල්ලි හොය හොයා සල්ලි මත්තෙම ජීවත් වෙනවට වඩා හිතේ සැනසිල්ලෙක් ජීවත් වෙන්න තියෙනවනම් ඒක කොච්චර නිදහස්ද කොච්චර හොදයි ද !!!!
ඒ අතින් දසුන්ගේ සතුට ගොඩක් ඉහලයි.
මේ මගේ සිහිනයයි
ReplyDeleteවරින් වර මගේ හිත
නැවතෙනා ලෝකයයි
දසුන්ගෙ ලෝකයට ගොස් සදහටම නැවතී සිටීමට ඉඩක් නොමැති මුත් වරින් වර හෝ එහි ගොස් නැවතීම නම් දැනට කළ හැකියි. දිල් කිව්වා වගේ සියල්ල ඇස් ඉදිරිපිට මැවෙන් අයුරින් ලියා තිබෙනවා.
මැණික්
ලස්සන රචනාවක්.අරණකට පෙම් බැඳ පොත සිහි වුනා.
ReplyDeleteමගේ හිතත් ඉබේම වගේ ගමට ඇදිල ගියා. ගමේ වෙල දිගේ යද්දි ඇගට වදින හීතල හුළං ටිකක් සුවය විදාන්න, වෙළ අයිනෙ තියෙන දොර ගලාගෙන යන ළිදෙන් නාංන, උගුර බැරැන්දි වෙනකල් අමු වෙරළු ටිකක් කන්න පියාඹලා ගමට යන්න ආස හිතුනා.
ReplyDeleteඅපූරු දසුන් පෙළක් සිතෙහි මැවි මැවී ගියා. සැබෑ සතුට ඇත්තේ කොතනද යන වග ලස්සනට පෙන්වනවා. ඒ ලෝකය එලෙසම පවත්වාගත හැකි අයත් කලාතුරකින් හෝ සිටින බව සිතීමත් සතුටක්.
ReplyDeleteමට මතක් උනේ "ලෝර ඉන්ගල්ස් වයිල්ඩර්ගේ" වනාන්තරයේ අසිරිය දකින පුංචි කෙල්ලගේ කතන්දරය.වෙන මොකුත් නොකියා මමත් අහගෙන ඉන්නම් කළුවර මට කතාකරනකම්.
ReplyDeleteගොඩක් දේවල් හිතට එනවා. අන්තිමේදි අපි සේරම මැරුණු මිනිස්සු කියල හිතෙන එකෙන් ගැලවෙන්න බෑ. කැලේට යන එක ගැන දරුණුවට සාකච්ඡා කරපු කාලයක් තිබුණා. ඒත් මම දන්නවා දැන් ඒකත් එකක් විතරයි කියල. දැන් මම උත්සාහයෙන් ඉන්නෙ මම ඉන්න තැන කැලේ හදාගන්න.
ReplyDeleteහොඳ බිස්නස් කීපයක්ම තිබුණු මම දන්න පොරකුත් මහණ වුණා. දැන් මිනිහ ඒක අස්සෙ වෙන බිස්නස් කරනවා. මම හොඳින්ම දැනගෙන හිටපු තවත් එකෙක් දැන් කසාද බැඳලා. කම්යුනිකේෂන් එකක් දාගෙන.
ඉදිරියේදි දසුන්ට කෙල්ලෙක් හම්බ වෙයි. ඊට පස්සෙ එයාගෙ ජීවිතෙත් අනිත් අයගෙන් ගොඩක් වෙනස් වෙන එකක් නෑ...
මම කියවූ අපුරුම සටහනක්. එය මට මගේම ජීවිතේ දිහා හැරිලා බලල ආපහු හිතන්න බල කළා. මමත් අර ගුරුවරයාගේ තැනයි ඉන්නේ කියල මට හිතුන..
ReplyDeleteදසුන්ගේ හිත වෙනස් කරන සිතුවිල්ලක් පහල නොවේවා කියලා පතනවා.
ReplyDeleteඑහෙම උනොත් මේ ලෝකේ එක්කෙනෙක් හරි තමන් බලාපොරොත්තු වන සැබෑ සතුට හැමදාම විදී විනේ.
මොහොතකට හරි සැබෑ සතුට පිරි ඉසව්වකට රුගෙන ගියාට ...ස්තුතියි ...යාලුවා.
සෑබවින්ම අපූර්වයි.. බ්ලොග් අවකාශයේ දුටු අපූරුතම සටහනක්...
ReplyDeleteහෑම ජීවිතේකම ජීනය මේකයි. ඒත් මේ හීනයට සමීප නොවෙන තරමටම අපි සංකීර්ණත්වයට අවුල් සහගත බවට පත් වෙනවා...
මේක ඈත්ත කතාවක් නම් කොතරම් අපූරුද...
ඔහු දෑනටමත් ජීවිතය දිනා ඉවරයි එහෙනම්...
නිර්මාණය කරන ලද සිස්ටම් එකෙන් පීලි පෑන සෑබෑ ලෝකයට කිට්ටු වෙන අය සෑබවින්ම හිඟයි...
ජය වේවා!
මේ කතා අන්දරය නවකතාවකට අපූරු වස්තු බීජයක්...(ඔන්න ඔබට අදහසක්)
කොමෙන්ටු වල අපූරු පොත් කිහිපයක් මතක් කලාට (පොත් ප්‍රදර්සනයට පෙර) කොමෙන්ටු ලියූ අයටත් ස්තූතියි
අර ෆිල්ම් එක මතක් උනා බං......... මොකද්ද..........ම්...............................හින්දි...
ReplyDeleteTaare Zameen Par
ReplyDeleteමට නම් මතක්වුනේ සුනිල් එදිරිසිoහ මහත්මයගේ සින්දුවක්
ReplyDeleteඅපි ගොඩක් දැං සංකීර්ණ වෙලා.. ඒක නිසා ඔය වගේ හිතන අය ඉන්නේ එහෙමත් කෙනෙක් වෙන්න ඕන..
ReplyDeleteනියමෙට ලියලා තියනවා ......
ReplyDeleteඑතකොට සරල බව කියන්නෙ ඔය දසුන කියන දේටද .......