Saturday 3 April 2010

විමුක්තියේ ආනන්දය - උදාන ගී

14 වන සියවසේ බරණැස උපත ලැබූ කබීර් (1440-1518) සත්‍යාවබෝධය ලත් මුණිවරයෙක් ලෙස ඉන්දියානු ජනයාගේ සම්භාවනාවට පත්විණ.
උපතින් මුස්ලිම් ජාතිකයෙකු වුවද තමන් ඉස්ලාම් හෝ හින්දු ආගමට අයත් නොවන බව හේ සැලකීය. ඉස්ලාම්වරු හින්දුවරු මෙන්ම සීක්වරුද ඔහුගේ අනුගාමිකයින් විය.
ඔහු සම්ප්‍රදායික අධ්‍යාපනය නොලද බැවින් දහස් ගණන් ඔහුගේ බජන් ගීත ඔහු විසින් නොලියන ලද බවද පැවැසේ. එහෙත් ඒ ඒ අවස්ථාවේදී තම සංගීත භාණ්ඩය වයමින් ඔහු විසින් මෙම ගීත ගායනා කල බවද පැවැසේ. වෘත්තියෙන් රෙදි වියන්නෙකු ලෙස තම ජීවිතය ගෙන ගිය කබීර්ගේ ජීවිත‍යේ සැබෑ වෙනස සිදුවුයේ ඔහුගේ සද්ගුරු වු රාමානන්ද් හමුවීමත් සමගය.
ඔහුගේ ගීත තුල ගුරුවරයා හා ගෝලයා අතර සබඳතාවයේ වටිනාකම නිබඳව සිහිපත් කරනු ලබන අතර අධ්‍යාත්මික ගුරුවරයා ඔහු හඳුන්වනු ලබන්නේ සද්ගුරු ලෙසයි. ඔහු විසින් ගායනා කර ඇති මෙම බජන් ගීත බෞද්ධ සාහිත්‍යයේ එන ‍ථෙර ගාතා, ‍‍ථෙරී ගාතා ආදී උදාන කාව්‍ය වලට සමානය. එනම් විමුක්ති රසයත් එහි වටිනාකමත් වර්ණනා කෙරෙමින් උපදේශකත්වය සැපයීම හා මග පෙන්වීම ඒවායේ අරමුණ වී ඇති බැවිනි.

මේ මැටි බඳුන තුළ

තුරු වදුඵද වන වදුඵද ඇත
එය තුළ නිර්මාපකයාණෝ වැඩ වෙසෙති

මේ බඳුන තුළ
සප්ත සාගරද
අසංඛ්‍ය තාරකාද ඇත
උරගලද මැණික් තක්සේරුකරුද
ඒ තුළ ඇත
සදාකාලිකත්වයේ දෝංකාරය පවතියි
උල්පත උතුරා යයි

කබීර් මෙසේ කියයි
'මට සවන් දෙන්න සබඳ,
මගේ ආදරණීය සමිඳු මා තුළ වැඩ සිටිති'


(මෙම සිංහල පරිවර්තන ඒ.එස්. බාලසුරිය මහතාගේ 'කබීර් මුණි ගැයූ අමෘත උදාන' කෘතිය ඇසුරින් බව කෘතවේදීව සිහිපත් කරමි)


අපගේ ශරීරය, මුඵ විශ්වයම ඇතුළත් මැටි බඳුනකට ඔහු උපමා කරයි. එසේම දෙවියන් වැඩ වෙසෙන්නේද මේ ඒ තුළයි. සදාකාලිකත්වයේ දෝංකාරය පවතින එතුළ උල්පත උතුරා යන බව ඔහු දකියි. ඒ උල්පත නම් සත්‍යාවබෝධයේ ආනන්දයයි. විමුක්තියේ රසයයි.


සබඳ මල් උයනට නොයන්න
එය සොයා බැහැර නොයන්න
මක් නිසාද යත්
සැබෑ මල් උයන ඇත්තේ
ඔබේ මේ සිරුර තුළය

දහසක් පෙති විහිදුණ
නෙඵම මත හිඳ
විශ්වයේ අනන්ත සෞන්දර්යය
දකින්න

දෑසින් දකින ලෝකය සීමිතය. ඒ සීමිත දසුනින් සෑහීමට පත් වන්නේ කුමටද? එය සැබෑවක් නොවේ. සැබෑ මල් උයන පවතින්නේ තමා තුළමය. එබැවින් තමා තුළ බලන්න. තමන් තුළ නැගෙන සිතුවිලි දෙස බලා ඉන්න. ඔහුගේ පණිවිඩය එයයි. අවසානයේ දහසක් පෙති විහිදුණ නෙඵම මත හිඳ විශ්වයේ සෞන්දර්යය අත් විඳින්න. හින්දු යෝග ශාස්ත්‍රයෙහි අධ්‍යාත්මික ශක්තිය අවදිවීම සහස්‍ර සියපතකට උපමා කෙරේ. (එනම් කුණ්ඩලිනී නැමැති ශක්තිය අවදි කරවා ගැනීම යෝගා වල ප්‍රධාන අභිප්‍රායයි. එය විශ්ව ශක්තිය සමග ඒකාත්මික වීමකි)


ලිපිය දීර්ඝ වැඩිවෙන නිසා තව කොටසකින් හමුවෙමු

10 comments:

  1. හැම කෙනෙක්ම දෙවරක් නොව... තුන් හතර වතාවක් හෝ කියවා අවබෝධ කරගතයුතු ලිපියක් මේක.

    අනුන් ගැන නොව..තමන් ගැන සොයන්න.
    මිහිපිට සුර පුරයත්...අපායත් පවතින්නේ ..අප තුලමයි.

    මේක...මතක් කලාට...ස්තුතියි..මිත්‍රයා.

    ReplyDelete
  2. යහලුවා මමත් මගෙ මග හදා ගන්නෙ.. ඇතුල ලස්සන කරගන්න ගමන්.. මුදල් ගොඩාක් එක්ක, වැඩ ගොඩාක් එක්ක පොර බදනවාට වැඩිය හොදයි. කැම ටිකක් එක්ක, ටිකක් සැනසිල්ලෙ, ටිකක් ඇවිදලා සෙල්ලම් කරලා, පොඩි ගෙයක් ඇතුලෙ ඉන්න එක.. මමත් ඇතුලෙ දෙවල් හොයන කෙනෙක්.. මම යහලුවෙක්ගෙ උනත් ඇතුලටම බැහැලා.. උගෙ තියන ගතිගුණ හොය හොය එලියට අදින, මට ගන්න දෙයක් තියනවා නම් අරගන්නවා..

    ReplyDelete
  3. අගනා ලිපියක්. කවදද ඉතුරු ටික දාන්නේ. මට බැන බැන මෙයත් කුට්ටි කලාව අනුගමනය කරනවනෙ.

    ReplyDelete
  4. බොහෝ බජන් ගීත වල අරුත ජීවිතයට සමීපයි.....හුඟ දෙනෙක් කරන්නෙ තමන්ව හොයනවට වඩා අනුන්ගෙ කුණු අවුස්සන එක... වෙනස් මඟක් ගත් ලිපියක්.... ඉතුරු ටිකත් ඉක්මණටම කියවන්න බලන් ඉන්නව සහෝ.....

    ReplyDelete
  5. සැබෑ විප්ලවය සහ අවුලුවාගත යුතු දේවත්වයේ ගිනි පුපුර තිබෙන්නේ තමන් සමග තමන් තුළම බව මමත් විස්වාස කරන දෙයක්.
    දිගටම ලියපන්.

    ReplyDelete
  6. තමා තුලින් ලෝකය දැකීම....

    නියමයි මිත්‍රයා...

    -චන්දිම

    ReplyDelete
  7. අප තුලම දෙවියන් සිටින බව ඇත්තයි. ඒත් ඒ දෙවියන් බොහෝ අය තුල සිටින්නේ අගුලු දැමූ සිර කුටියකය. මම මීට පෙර මෙම මුනිවරයා ගැන දැන සිටියේ නැහැ. ස්තුතියි දැනුවත් කළාට.

    ReplyDelete
  8. බොහොම ස්තූතියි සියඵ දෙනාටම

    ReplyDelete
  9. නියමයි කියල වැඩක් නෑ සැහෙන්න වටින නිර්මානයක්

    ReplyDelete
  10. thank you very much for the link left in my blog . I too inspired a lot on his poems .

    once he said I am a child of Allah and Ram . This is the beauty of this poet . In india and Pakistan his deciples are running schools to teach Kabir philosophy .

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.