Sunday, 17 March 2013

කැත කූඹී...






කඩේ ඇති ලොකු
සීනි ගෝනිය...

නොපෙනෙන කූඹී,

ගෙදර ඇති පොඩි
සීනි බෝතලයට...

වහ වැටෙන කැත,




Sunday, 10 February 2013

ආදරණීය ජනතාවට..







දිනෙක තොප වෙනුවෙන්
ගැලවුම්කාරයෙකු හෝ
පාවාදෙන්නෙකු වන්නට
වරමක් ලැබේනම්...

සිහසුන් වල තබා
නරුමයන් අදහන
කුණු හදවත් ඇති
තොපට කිම නිවටුනි,
සැබෑ ගැලවුම්කරුවන්..

පාවාදෙන්නා වෙමි,
තොපි සැවොම
මරණයට දක්කන..


Monday, 4 February 2013

නිදහස..








කැඳ උයන්නට
නිතරම
පාරම්බාන මූසල
ආඩි හත් දෙනෙකුට
බාර දුන්
අම්බලම..


Sunday, 27 January 2013

නයි සමග නිදි වැද..






මම කාලෙකට ඉස්සර මනුස්සයෙක් වෙලා හිටිය. ඒක කියන්න තරම් ජීවිතයක් නෙවෙයි.

මම නාගයෙක් වුණා.

යුද්ධෙ පටන් ගත්ත.  මම යුධ පිටි අතරෙ කරක් ගැහුව නිතරම පෙන ගොබේ පුප්පගෙන. නාග ගෝත්‍රයෙ උන් විදියට අනෙකුත් සියඵම උරග ගෝත්‍ර වල උන් සතුරන් විදියට සැලකීම අපිට නියමව තිබුණ. ඒ නියමයන් ආවෙ කොහෙන්ද කියන්න අපි දැනන් හිටියෙ නෑ. ඒත් අපේ හිත්වල කල්ප කාලයක් පුරා ඒ නියමයන් මුල් බැහැල තිබ්බ විදියට අපිට ඒව දැණුන. අපි ඉපදිලා හිටියෙ ඒ නියමයන් පිළිපදින්නයි. මිනිහෙක් විදියට හිටිය කාලෙනම් ඒ නියමයන් අන්ධකාරයේ නිර්මිතයන් ලෙස මම අදහන්න තිබුණ. ඒත් අපි දැන් තිරිසන්නු. තිරිසන්නු අන්ධකාරය හෝ ආලෝකය ගැන ජනකතා අදහන තරමට මෝඩ නොවීම ගැන මම සතුටට පත් වෙලා හිටියෙ.

ඒ කාලෙ මම නිතරම ලැගුම් ගත්තෙ කෝන් ගස් ඉසව්වෙ. නාගයෙක් විදියට මම නාග ගෝත්‍රය වෙනුවෙන් පළමු යුතුකම ඉටු කලේ ඒ දවස් වල තමයි.

ඒ දවස හොඳ ආලෝකමත් දවසක්. වෙනදටත් කළින් ඉර නැගිල තිබුණ. එක වළාකුලක්වත් නැති තරමට අහස පැහැදිලිව නි‍ලට නිලේ දිස්නෙ දුන්න. ඒත් වන පෙත පුරා ඇදී ගිය සිහිල් සුළඟින්.... එක්කො ඒව ඕන්නෑ. මිනිස්සුන්ගෙ විකාර මගේ ඔඵවට තවම ගහනව සමහර වෙලාවට. කෙළින්ම කාරණේට බහිනවනම්,
එදා ‍ලොකු කෝන් ගහක බෙනයක නයි ශරීරෙ දරණ ගහගෙන පෙණ ගොබේ විතරක් එළියට දාගෙන විවේක සුවයෙන් ඉන්න අතරෙ තමයි ගැරැඩියෙක් කෝන් ගහට ගොඩ වෙන්න දඟලන හැටි දැක්කෙ. විවේක සුවය කියල කිව්වට ඒකෙ කිසි ‍විවේකයක් තිබුණෙ නෑ. කොයි වෙලේ හතුරෙක්ගෙන් අන්තරාවක් වෙයිද කියන බයට ඇහැ නොපියවුණා විතරයි.

කොහොම වුණත් ගැරැඩි තඩිය දකිද්දි මට යක්ෂයා ආවේෂ වීම අහන්න දෙයක් නෙවෙයි. හැබැයි ඌ ගැරඩියෙක් වුණත් යක්ෂයා ඌට බයවෙලා හිටි බව මම විතරක් දැනන් උන්නු රහසක්. ඒත් නාගයෝ කිසිදා ගැරඩින්ට බිය නොවිය යුතු බව මට පසක් වුණා. එවැනි අවමානයක් නාග ගෝත්‍රයට ලොකු කැළලක් වෙන්න ඉඩ තිබුණ.

මම ගැරඩියාට තර්ජනය කලා.

මම තෝව මරණව කියල. 

කටහඩේ වෙව්ලීමක් තිබුණ නිසා ඒක ගැරඩියාට දැණුනවත්ද කියල මට සැකයකුත් නොදැණුනා නෙවෙයි.
ඌ කාළකණ්නි ගැරැඩියා. මගේ තර්ජනය මායිම් නොකර ඔහේ හිටිය. ගැරඩියෙක්ට නොවටින හැසිරීමක් ඌ ප්‍රදර්ශණය කිරීම ගැන මගේ ලේ කෝප වී ගෙන ආව. හිතේ තිබුණ බය, චකිතය අත හැරැල ගැරැඩියා මත්තට පනින්න ‍මට ධෛර්යය ගෙනාවෙ මුගේ මේ උද්දච්ච නාග ගෝත්‍රයට අපහාස ගෙන දුන් හැසිරීමයි. ඒත් ඒ වෙලාවෙනම් ගැරැඩියාට තරු විසිවුණ බව කිව යුතුයි. මරණ බයෙන් ඌ වෙව්ලන හඩින් කිව්ව,

මම වරදක් කලේ නෑනෙ 

නාග ගෝත්‍රය ළඟ හැසිරෙන්න නොදන්නා කම වරදක් නොවන බව අදහන්න තරම් මේ නීච ගැරැඩියා නරුමයෙක් වෙලා හිටිය. මම ඌව වෙලා ගත්ත සැණින්. කෝන් ගස් ඉසව්වෙ අනෙක් නාග සෙනඟ එකා දෙන්න ඇදෙන්න ගත්ත සද්දෙ ඇහිල.
උන් මොර දුන්න මට

මරාපිය පර ගැරඩියා

ගැරඩියාගෙ බෙල්ලට මගේ දළ කිඳා බැස්ස තත්පරයකින්. ඌ අඩපණ වෙලා මැරිල වැටුණ.

නයි සෙනඟ මට හුරේ දැම්ම. ඒක තමයි ගෝත්‍රය වෙනුවෙන් මගේ පළමු යුතුකම් ඉෂ්ඨ සිද්ධ කිරීම. තත්පරයකින් ගැරැඩියා මැරෙන්න තරම් මගේ විෂ අධික වීම ගැන අනෙකුත් නාගයෝ ප්‍රශංසා කලා. ඒ තරම් විෂක් මනුස්සයෙක් විදියට ඉද්දි එකතු වුණාද, නැත්නම් නාගයෙක් වුණාට පස්සෙ ඇති වුණාද කියන එක ගැන මට අදටත් නිච්චියක් නෑ.

කොහොම වුණත් මමත් වීර නාගයෙක් බවට පත් වෙලා හිටිය. ඒත් මගේ වීර සලකුණට ඔච්චම් කරපු බය කියන එක තනියෙන් ඉන්න වෙලාවට මාව නින්දෙන් ඇහැරැවල තිබ්බ. හොඳ වෙලාවට කිසිම උරගයෙක්ට තවත් උරගයෙක්ගෙ හිත පේන්නෙ නෑ. ඒක මට සැනසීමට කරුණක් වුණා. ස්වභාව ධර්මය කොයි තරම් නිර්මාණශීලීද? වැරැදීමකින් හෝ එක උරගයෙක්ට තව උරගයෙක්ගෙ සිත පේන විදියට එය විකෘති විදියට නිර්මාණය වෙලා තිබුණනම් උරගයෝ අතර වීරයෝ කවුරුවත්ම නැති වෙන්න තිබුණ. ගැරඩින්ට නයි පවා නිවටයෝ විදියට හැගෙන්න දැනෙන්න ඉඩ තිබුණ. ඒත් පවතින විදියට ස්වභාව ධර්මය කොයි තරම් නිර්මාණශීලීද? පරිත්‍යාගශීලීද? විචිත්‍රවත්ද? මගේ හිත පෙනෙන හැම විටම මේ ස්වභාව ධර්මය ගැන ගෞරවාන්විත ආදරයකින් මම වෙලී ඉන්නෙ ඒ නිසයි.

කොහොම වුණත් කෝන් ගස් ඉසව්ව, පඵ ගස් ඉසව්ව, ඇහැටු ගස් ඉසව්ව වගේ ගොඩක් ප්‍රදේශ වල නාග ගෝත්‍රය ජය කණු බඳින්න ගත්ත. මේ පොළොවෙ නාගයන්ට වඩා උදාර උරග කුළයක් නැති බව අපි මහ පොළොවටත් සියඵම උරගයින්ටත් ඒත්තු ගන්වමින් හිටිය. ඒත් ඔය කියන ඉසව්වල හිතපු තරම් විෂ ඝෝර සර්පයෝ හිටියෙ නෑ. පොලොන්ගු වර්ග කිහිපයක්, මාපිලන් වර්ගයක්  දෙකක් ඇරුණම වැඩි හරියක් හිටියෙ කිසිම විෂක් නැති උරග කොට්ඨාශ තමයි. එයිනුත් වැඩි හරිය ගැරැඩි කුලයට අයත් උරග විශේෂයි. ඒක නිසා අපේ ශ්‍රේෂ්ඨත්වය වෙනුවෙන් කරන සටන එච්චරම අමාරු වුණේ නෑ. ඒත් අපි නිවට ගැරඩියන් ජය ගත්තත් වෙනත් ඉසව් වලට ඒත්තු ගැන්නුවෙ මාපිලන් ජය ගත් බවයි. එතකොට තමයි වීරත්වය සිහසුනේ තියන්න අවශේෂ නාග කුල වල නයි උත්සුක වෙන්නෙ. උන්ව පිනවීම වගේම, උන් වීර ගෝත්‍රයක කොටස් කරුවන් බව ඒත්තු ගැන්වීම අපේ යුතුකමක්ව තිබුණ. ස්වභාව ධර්මයට නැවතත් ස්තූතිවන්ත විය යුතුමයි එක උරගයෙක් තවත් උරගයෙක්ට හැමදාම රහසක්ව පවතින විදියට නිර්මාණශීලී වීම සම්බන්ධයෙන්.

කොහොම වුණත් ගණ කැලෑව අස්සෙ උරගයෝ නොවුණත් මුගටියෝ කිහිප දෙනෙකුත් හිටිය. මේ කාළකණ්නි නීච මුගටියෝ නාගයන්ට බිය වුණේ නෑ. (සමහර විට උනුත් උරගයෝ වගේම හිතේ බයෙන් හිටියවත්ද මන්දා). කොහොම වුණත් තනි තනියෙන් මුගටියන් එක්ක සටන් කරන්න බැරි නිසා නාගයෝ කවුරුත් එකතු වෙලා එක එක මුගටියා වටකරල පරාජය කළා.  අපි ගොඩකට තනි මුගටියා අහුවුණාමනම් බය කියන එක හිතට දැනෙන්නෙම නැති තරම්. නාග ශ්‍රේෂ්ඨත්වයෙන් අපි ඌව කීතු කලා ඉක්මණින්ම.

දවසක් ගැබ්බර මුගටි දෙනක් අහුවුණා අතටම. තනියෙන් සටන් කරල මුගටි දෙන අන්තිමට අඩපණ වෙලා ඉද්දි තමයි මම එතනට ආවෙ. ඒකි හිට ගන්නවත් බැරිව හිටියෙ. ජීවිතය යදින බැල්මක් ඇස් වල ලියවෙලා තිබුණ.

මාව මරන්න එපා 

ඒකි කියනව ඇහුණ.

දෂ්ඨ කරපං ඒකිට 

මට අණ ලැබුණ.

මම වටපිට බැලුව,

මේකි පැටව් ගහන්න ඉන්නෙ 

මම හෙමින් මිමිණුව. 

කාළකණ්නි දයානුකම්පාවක් මාව වෙලාගෙන තිබුණ.

යකෝ උන් මුගටි පැටව්. ඒක දැනගනින්

මම හිස වැනුව.

චකිතයෙන් වුණත් බියක් නැතිව මං ළං වුණා. මොකද ඒකිට සටන් කරන්න ශක්තියක් ඉතුරුවෙලා තිබුණෙ නෑ.

ඉවර කරපං

මට අණ ලැබුණ.

මම හිතන්න කාලය නාස්ති කලේ නෑ. එකවරම දෂ්ඨ කළා ඒකිගෙ බෙල්ලට. දෙවැනි පාර ම‍ගේ දළ කිඳා බැස්සෙ ඒකිගෙ ගැබ්බර බඩට. මට දැණුන ගර්භාෂය ඇතුළෙ ඇස් ඇරැපු නැති පුංචි පැටව් දඟලනව වගේ. මම පරණ මිනිස් පුරුද්දට වගේ තිගැස්සිලා ගියා. හරහ වැටුණ ඒකිගෙ පණ ගැහෙන ශරීරෙ දිහා බලන්න මට බැරි වුණා. ඒක බය නෙවෙයි. ඒක මොන හැඟීමක්ද කියන එක මට අදටත් කියන්න බෑ. ගර්භාෂයක උණුසුම කෙනෙක් සලිත කරන්න පුඵවන්. ආදරය පණ ගැහෙන තැනකට පහර දුන්නම ඒ වගේ පාදඩ හිත් වේදනාවක් දැනෙන්න ඕනෑම උරගයෙකුට ඉඩ තියෙනව.

මම හිත හදාගත්ත. 

නයි හිත්වල වැඩි වෙලා දුක තියෙන්නෙ නෑ විෂ වගේ.

අන්තිම මුගටියාත් මේ පොළොවෙන් කිතු කළාට පස්සෙ මේ පොළොවෙ ශ්‍රෙෂ්ඨතම උරග ගෝත්‍රය බවට නාග ගෝත්‍රය පත් වුණා. වීරත්වයට සරිලන භූමියක් අහිමි වීම ගැන යුධ පිටියෙ උන්න නයින්ට සාංකාව දැණුන. මීට පස්සෙ කුරුඵ කූඩු වල බිත්තර ගිලින්න ගස් බඩ ගානවට වැඩි දෙයක් ඉතිරි වෙන්නෙ නෑ. ඒක මහ කම්මැලි ජීවිතයක් බවට පත් වෙන්නයි නියමිතව තිබුණෙ.

අන්තිමේ මම තුඹසකට වැදිල එතෙක් දරාගෙන හිටිය හැව ඇරිය. අලුත් හැවක් එක්ක මම සතියකින් විතර හුඹහෙන් එළියට බඩගෑව.

මම අලුත් හැවක් එක්ක අලුත් ‍විදියට කෝන් ගස් ඉසව්ව අතහැරැල ඥාති නයි සෙනඟ අතරට ආව.

නාගයින්ට ජයවේවා

නාගයින් සදා දිනේවා

ඥාති නාගයින් මාව පිළිගත්ත උදාරම් විදියට.

කළින් ගත කරපු මනුස්ස ජීවිතයෙන් වෙන්වෙලා නාගයෙක් වීම ගැන මම ගොඩාක් සතුටු වුණා.

නාගයන් අතර කොයි තරම් පිළිගැනීමක්ද?

මනුස්ස ජීවිත කොයි තරම්නම් කාළකණ්නිද?

ස්වභාව ධර්මයට මා නැවතත් ස්තූතිවන්ත විය යුතුව තිබෙනව.

තව ගොඩක් මෙහෙවර ඉදිරියට ඉටු කිරීමට ඇති බව මගේ හිත එදා සහසුද්දෙන් දැන හිටිය.


Monday, 14 January 2013

දෝෂාභියෝගයෙන් ‍ඔබ්බට..





සේදිරිස් අයියේ,
යමන් කුඹුරට
කෙහෙම්මල් කියවිල්ල
වහගනින් දැන්වත්...

ඔය කෙහෙම්මල් නීති
පොඩි අපිට විතරයි බං
බල්ලන් වගේ බැඳලන්න
හරකුන් වගේ දක්කන්න
අපිට විතරයි බං
ඔය කෙහෙම්මල් නීති...

උසාවි, බලුකූඩු, හිරකූඩු
හැමදාමත් තිබුණෙ
උඹලට අපිට විතරයි
දැන් ඔය මොරදෙන
නෝනල, මහත්තැන්ලා
මීක් ගෑවේ නෑ බං
කවම කවදාවත් ඒ ගැන..

ඒ අවනීතියට
අත තියල නෑ බොලන්
ඒව හැමදාමත් තියෙයි
උඹල අපි වෙනුවෙන්...

මොකට විස්සෝප වෙනවද?
යමන් දැන්වත් කුඹුරට
අපි නිකම්ම නිකම්
බයිස්කෝප් නරඹන
කැහැටු ඇටසැකිලි බං...

Thursday, 27 December 2012

මනුසත් උපත






හූනන්ට කූඹින්ට වුව
ඉඩකඩ ලැබෙන
ඔබේ නිවහන තුළ
මට ඉඩක් නැති හැටි..

Sunday, 28 October 2012

කොපි පොත්..






සැබවින්ම
මිනිසුන් නොවෙමු අපි
ඇරැඹුමේ සිට
අනුන්ගේ සටහන් ලියූ
කොපි පොත් පමණි..

Monday, 15 October 2012

හාමතට තිත






පහුගිය වකවානුවේ දිගින් දිගටම රාජකාරියට නොගොහින් නිවාඩු ගන්න වුණාම නිතර දෙවේලේ දුරකතන ඇමතුම් දෙමින් සැප දුක සොයා බැලුවේ සුමනරත්න අයියාය. කොහොම වුණත් මාසික වැටුප ලැබෙන දිනයේ වැඩට ගිහින් ඒ ලැබෙන සොච්චමෙන් හතරෙන් එකක් විතර සුමනරත්න ගොයියාට දුන්නම මිනිහගෙ ඉහේ මලක් පිපිණු ගානයි. මිනිහට දුකත් එක්ක වගේ,

ඉතින් මල්ලි එකපාර ගෙවල දාන්න බලන්න. පොළිය විතරක් ගෙවන එක මල්ලිට පාඩුයිනෙ

මිනිහට දුකත් එක්ක වගේ, ඒකයි මිනිහ එහෙම කියන්න ඇත්තෙ. කොහොම වුණත් මිනිහ දන්නව ණය මුදල වැඩි වුණොත් මිස සම්පූර්ණ ගෙවා දැමීමක් නම් මේ යන විදියට සිද්ධ නොවන බව.
ඒ වගේම මේ යන විදියට මිනිහ මනාපයි. කතිරෙන් විතරක් නෙවෙයි බොහෝ කියුම් කෙරුම් වලින් මිනිහ මේ පවතින විදිය මීටත් හොඳින් රැකෙන්න දායක වෙනව.

මෙහෙම ජීවත් වීම තේරුමක් නෑ. හාමතේ වැටිල ඉන්න වෙලාවකයි මට යන්තමට වගේ ප්‍රඥාව පහළ‍ වෙන්න ගත්තෙ. ඉන්න හිටින්න කියා බතල වැලක් වත් හිටවගන්න මහ පොළොවෙ ඉඩක් නැති මිනිස්සු වුණාම එදා වේලට ජීවත් වෙන්න සිද්ධ වෙනව. හීනියට පහළ වෙච්ච ප්‍රඥාව මට කිව්වෙ කන බොන එක නතර කරන්න පුඵවන් ක්‍රමයක් හොයපං කියල.

පුද්ගලික දේපල පරිහරණය නැති කරල රතු මාමල සමාජවාදී දේශයක් ගොඩනගන්නෙ නැති බව දැන් සිකුරටම සිකුරුයි. උන්ට ඕනි හිඟන්නො දෙතුන් දෙනෙකුට හරි නායකයෙක් වෙලා දේශනා පවත්වල පණ ගැට ගහගන්නයි. ඉන් එහාට වෙන මගුලක් නෑ. ඒ වගේම දැනටම සමානාත්මතාවය බිඳගෙන වැඩියෙන් දේවල් භුක්ති විඳින උදවිය ඒකෙනුත් සෑහීමකට පත් නොවුණාම මෙන්න දෑකැත්තයි මිටියයි දික් කොරන් රුසියන්කාරයෝ වගේ විප්ලව කරන්න, ඉල්ලීම් කරන්න තියාගන්නව. ඒක යකාගෙ සමාජවාදයක්. හැබැයි රුසියන් කාරයො ඉල්ලුවයි කියන්නෙ බඩ ගින්නට පාන්ය කියලත් කොහෙද මං කියවල තියෙනව. ඒක බොරුවක්ද මන්දා.

පාලකයන්ගෙන් අපි වගේ අවශේෂ පුද්ගලයන් සඳහා බඩේ පහර හැරැ මොන ඉටිගෙඩියක්වත් නොලැබෙන බවත් සිකුරටම සිකුරුයි.

අනාථ පිණ්ඩිකල, වෙස්සන්තරලනම් මේ රටට හීන තමයි. කීයක් හරි වැඩියෙන් ලැබෙන එකාට අවශ්‍යතා වැඩි වෙනව. එකට උන්නු එවුනුත් අමතක වෙනව ඒ අවශ්‍යතා ළඟදි. මනුෂ්‍ය ස්වභාවයයි කියමුකො ඒකට.

ඔන්න ඔහොම තමයි ප්‍රඥාවබෝධය ටික ටික පහළ වෙන්න ගත්තෙ. කන බොන එක අත හැරියොත් ගොඩේ ගොඩ වෙන්න පුඵවන් බව සක් සුදක් සේ විශ්වාසයි.
අන්න ඒකට තමයි මට නොසෑහෙන්න නිවාඩු ගන්න සිද්ධ වුණේ. කන බොන එක අත්හැරැපු මිනිස්සු සම්බන්ධ වාර්තා හොයන්න පළවෙනි දවස් ටික මහන්සි ගත්ත. මහන්සියේ ප්‍රතිඵල තිබුණ.
එක වාර්තාවක තිබුණෙ මේ මං වගේම ඉන්දියාවෙ ගැහැණියක් හාමතෙන් බේරෙන්න අධිෂ්ඨාන කරල අන්තිමේ ජීවිත කාලයම කෑමෙන් බීමෙන් වැලකිලා තිබුණ වගේම කිසිම අතුරු අන්තරාවක් නැතිව සෑහෙන කාලයක් ජීවත් වෙලා තියෙනව. මේ උන්දෑ යෝග ක්‍රම වලින් තමයි එහෙම කලයි කියන්නෙ.

තව වාර්තාවක තිබුණෙ මේ මෑත කාලයේ කතාවක්. ඒත් තව ඉන්දියාවෙ මනුස්සයෙක් දවසට කිරි වීදුරුවක් සහ කෙසෙල් ගෙඩියක් විතරක් කාල බීල දෙයියනේ කියල පණ ගැට ගහගෙන ඉන්නව කියල සෞඛ්‍ය සම්පන්නව. මිනිහ මෙහෙම ඉන්නෙ කොහොමද කියල බටහිර පරීක්ෂකයොත් පරීක්ෂණ පැවැත්තුවයි කියලත් ඒකෙ තිබුණ. කොහොම වුණත් ලංකාවෙ හැටියට කිරි වීදුරුවක් කියන්නෙ ඕනෑවට වැඩියි. ළදරුවෙකුටවත් කිරි පොවන්න බැරි කාලයක් මේක. ඕක ප්ලේන්ටියක් දක්වා අඩු කරන්න ඕනි කියල මගේ ප්‍රඥාව මට කියා හිටිය. කෙහෙල් ගෙඩියත් ලේසි නෑ තමයි.

තව තැනක කියවුණේ මහාවීර ආහාරයක් ගත්තෙ දවස් දොළහකට සැරයක් කියල. අන්න ඒකනම් මරු මගේ ආදායමේ හැටියට. කොහොමත් මාසෙකට වේල් හත අටක් කන්න පුඵවන් වැටුපකුත් ලැබෙන එකේ කීයක් හරි ඉතුරු කරගන්නත් ලැබෙයි සුමනරත්න ගොයියගෙ පොළී ණයත් ගෙවල දාන්න පුඵවන් වෙයි මාස හත අටකින්.

මේව බොරු වාර්තා වෙන්න බෑ. දැන් වැඩේ අතේ පත්තු‍ වෙලා තියෙන්නෙ. කන බොන එක අත හරින්න මනුස්සයාට හැකියාව තියෙනව. ඒත් කරුමෙට අපේ වගේ රටවල් වල මනුෂ්‍ය වර්ගයාට ලොකුම සේවය සිදු විය හැකි මෙවැනි පර්යේෂණයකට බුද්ධිමත්තු, උගත්තු අත ගහල නෑ. විශ්ව විද්‍යාලයකවත් එහෙම වැදගත් පර්යේෂණයක් සිද්ධ වෙනවද කියල හොයල බැලුවත් ඔහෙ නෑ එහෙම එකක්. වැඩකට නැති මහා සංකල්ප එක්ක එයාල හැප්පෙනව කීයක් හරි වැඩිපුර හොයා ගන්න.

අන්තිමේ වැඩේ මටම පවර ගන්න සිද්ධ වෙලා. ඒකට සුදුසුකම් මට ගොඩක් උපතින්ම ලැබිල තියෙන එක වාසියක් වෙලා තියෙනව.
මේක ටිකක් අමාරුයි. ටිකක් කිව්වට ගොඩක්ද මන්දා. ශරීර කූඩුවට බාහිරෙන් කෑම බීම ඕනියි කියන හිතුවිල්ල කුඩ්ඩක්වත් ඉතුරු නොවන විදියට හිතෙන් අයින් වෙන්න ඕනි. ලෝකය ගැන ආදරය, මෛත්‍රිය හිතේ වැඩෙනවනම් ඒක මේ වැඩේට පහසුයි කියල තමයි මට දැන ගන්න ලැබුණෙ. අමාරුම හරිය ඒක තමයි. මොකද ඉන්න තරමක් නසරාණියෝ පිරිච්ච මේ රටේ ඉඳගෙන මෛත්‍රිය කිරීම...?

කොහොම වුණත් මේ හිඟන ජීවිතෙන් ගොඩ යන්න ඕනි නිසා ඒකටත් මං පිළියම් හෙව්ව. හේතුවක් නැතිව ඇස් අරින එක නැවැත්තුව. වැඩේ ටිකක් සාර්ථක වේගෙන එන්නෙ. නිවාඩු දවස්වල නම් දවසම වගේ ඇස් වහගෙනම ඉන්න පුරුදු වෙමින් ඉන්නව ශරීර කෘත්‍ය කරද්දි පවා. එතකොට ගොඩක් දේවල් පේනව අඩුයි. නොපෙනෙන දේවල් වලට වෛර කරන්නෙ හෝ කෝප ගන්නෙ අහවල් අමාරුවකටයැ. කන් ඇහෙන එකත් වදයක් තමයි. හැබැයි ශරීර කූඩුවට වැටෙන කෑම ප්‍රමාණය දරුණු විදියට අඩු කළාම බාහිර සද්ද බද්ද කන් වලට ඇහෙන්නෙ නැතුව යනව කියලත් මට හොයා ගන්න ඇහැක් වුණා. එතකොට කන්දෙක මුඵ මනින්ම ඇවිලෙන කුසගින්නෙ සද්දෙට සවන් දෙන්න ගන්නව.

කොහොමින් කොහොමින් හරි දෙයියනේ කියල දවසකට එක සැරැයක් මොනව හරි ගිලල ඉන්න පුඵවන් කියල මම හොයා ගත්ත. හැබැයි බර වැඩ කරන්න ගියොත්නම් අමාරුවේ වැටෙනව. ශරීරය වැඩිය හොල්ලන්න නරකයි. අර යකාට ගෙවන්න තියෙන ණය මතක් වෙද්දි එක පාරක් ගිලින එකත් මහ වැරැද්දක් කියල හැඟෙන එක මගේ වාසියට හිට්ට. හැබැයි මෙතනදි දරා ගැනීමේ ශක්තිය අවශ්‍ය වෙනව. බඩට ඕනි විදියට අපි කටයුතු කරන එක නවත්වන්න වෙනව. බඩ කියන්නෙ වෙන එකෙක්ය ඌට ඕනි ඕනි විදියට අපි නටන්නෙ නෑ කියන හිතුවිල්ල ශක්තිමත් කල යුතු වෙනව. පොඩි පොඩි අතුරු ආබාධ ඇතිවෙන්න පුඵවන්. ඔඵවෙ කැක්කුම, කරකැවිල්ල, ක්ලාන්තය, කකුල් පණ නැති වීම, ඇට කටු පෑදීම වගේ අතුරු ආබාධ ඇති වෙද්දි හිතන්න ඕනි මේ අතුරු ආබාධයෝ අපි සදාකාලිකව ණයකාරයෝ සහ හිඟන්නු කරල තියන්න දඟලන මාර සෙනඟය කියල.

මේක වැඩ කලොත් විසි එක්වැනි සියවසේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා කරපු ලොකුම පර්යේෂණයට තමයි මම අත ගහල තියෙන්නෙ. ආයෙ එහෙම කලා කියල මමනම් පදවි තානාන්තර, වැඩි පඩි, වැඩි වරප්‍රසාද ඉල්‍ලන්නෙනම් නෑ ඕං. සාමාන්‍ය මනුස්සයාට ගොඩ යන්න පාරක් තමයි එකම බලාපොරොත්තුව.
අඩුම ගාණෙ සතියකට එක සැරයක් මොනා හරි ගිලල පණ ගැට ගහගන්න තත්වෙට හිත වෙනස් කරගන්න එක සාර්ථක වුණොත් ගොඩක් වාසි සැලසෙනව. තුට්ටු දෙකට අරකට මේකට කඹුරන කම්කරුවට යහපතක් වෙනව. ගොවියට ඕනෑවට වඩා මහන්සි වෙලා වගා කරන්න ඕනි වෙන්නෙ නෑ. ඔය ටිකක් වවා ගත්තම මදැයි. විකුණගන්න බෑ කියල උද්ඝෝෂණ කරන්න ඕනැන්නෙත් නෑ එතකොට.
හාල් කිලෝ එකට පාන් රාත්තලට මහජනයව කඩේ යවන්න දේශපාලකයන්ට අමාරු වෙනව. ගොවිය, කම්කරුව අඩු ශ්‍රම දායකත්වයක් සපයන විට රටේ ආහාර ප්‍රමාණය අඩු වෙනව. එතකොට උන්ව හූරගෙන කාල ජීවත් වෙන ලොකු ලොකු උත්තමයන්ටත් බඩ ගින්න දැනෙන්න ගන්නව. උන්ට බඩ ගින්න හුරු නැති නිසා උන් අතරට යන සීමිත කෑම වලට උන් උන් මරාගන්න ගන්නව. ඒකෙනුත් යහපතක් වෙයි. තව මොනවයින් මොනව වෙයිද කියල කියන්න අමාරුයි. කොහොම වුණත් ගොඩක් දේවල් හොඳ අතට සිද්ධ වෙයි. බත් පැකට් එකකට මොන්ටෙරෝ එකක් වුණත් හුවමාරු වෙන්න ඉඩ තියෙනව. අන්න ආශ්චර්යය.

කොහොම වුණත් මේක කරන්නම සිද්ධ වෙන කටයුත්තක් ලෙස මම භාර අරගෙන තියෙනව (ප්‍රතික්ෂේප කරන්න බැරි විදියට භාර ගන්න සිද්ධ වෙලා තියෙනව). අවම වශයෙන් මගේ බේරුමටවත්.
වැඩේ අහවර වෙන්න කළින් අර මාර සෙනග මාව ගිලගත්තොත් මගේ උත්කෘෂ්ඨ බලාපොරොත්තුව මාත් එක්කම අතුරුදහන් වෙයිද කියල බයකුත් නැතුව නෙවෙයි.

ඒ කොහොම වුණත් උඹලට ඕනිනම් හිනාවෙයල්ල.


Tuesday, 25 September 2012

අස්වාභාවික එළඹුම..






මිනිසුන් නිදන
මේ සීතල උදෑසන
නිසලව ශාන්තව
ස්වභාවය සමගයි..

නොගැලපෙයි
දහස් සිතුවිලි ඇවිලෙන
නොනිදන මසිත
විශ්වය මවන
ස්වභාවය සමග..

අවදි වෙයි මිනිසුන්
මිනිස් කඩහඞ ඇසේ
ඈතින් පන්සලක
ලවුඩ්ස්පීකර් හඞ නැගේ..

ස්වභාවික විශ්වය
නිදිකිරයි ඒ අතර...

Saturday, 18 August 2012

සොරාගත් කැමැත්ත




මේ ලෝකය 
මා වෙනුවෙන්
මගේම කැමැත්තට
තෝරාගැනීමට කිසිවක් 
ඉතිරි කර තිබුණේ නැත
අවම වශයෙන්
මගේ නමවත්..

ගරු නොකරමි වැඩිහිටියන්ට..


Sunday, 22 July 2012

හිඟන රජෙක් නිසා.. ?





දුටුගැමුණු
හිඟනම රජෙකි
තිබී ඇත්තේ 
එකම එක කඩුවකි..


Saturday, 14 July 2012

සතුරනි ත්‍රස්තවාදිනි,





තොපි නොමැති බිම
පිස්සන් කොටුවකි
පාදඩකම් රජයන
කෙළිමඩලකි..

විරු දනන් අමන වේසෙන්
නැවත උපදින
නිවට වූ තිඹිරි ගෙදරකි..

කාමාතුරයින්
සොර දෙටුවන්
සිය උච්ඡතම රැඟුමේ යෙදෙන
බිහිසුණුම රඟමඩලකි..

නැගිට වරෙව්
සියඵ සතුරනි
ත්‍රස්තවාදිනි..
තොපි නොමැති කල
කාලකණ්නිභාවය
රජකමට වැද
වනසති ශිෂ්ඨභාවය..


Sunday, 24 June 2012

රටවැසියන් නැති රජෙක්...






කාලයක් මා සම්බන්ධ වී සිටි රාජ්‍ය ආයතනයක සේවය කල සුඵ සේවකයෙක් තමයි අනිල් කියන්නෙ. මා ඔහු ගැන එතරම් තොරතුරු දැනගෙන හිටියෙ නෑ වගේම හාර පන්සීයක් සේවය කල එම ආයතන තුල ඔහුව ඇසුරු කල සංඛ්‍යාවද ඉතා සුඵ ප්‍රමාණයක්.

එතරම් බර වැඩ නැති සැහැල්ලු සේවාවන් ඔහුට පැවැරී තිබුණු බව මා දැන සිටිය. වැඩි හරියක් රාජකාරී වුණේ ඔහුගේ සේවා ප්‍රධානීන්ගේ පුද්ගලික අවශ්‍යතා සැපිරීමයි. රාජ්‍ය ආයතන වල ඒක සාමාන්‍ය දෙයක් නිසා මම ඒක ඒ හැටි මායිම් නොකල අතර අනිල්ද එය ගණන් ගත් බවක් පෙනෙන්න තිබුණෙ නෑ. ඕනෑම වෙලාවක තමන්ගේ සේවා ප්‍රධානීන් වෙනුවෙන් කඩේ දිවීම මෙලොව තමන් වැටුප් ලබන මෙහෙවර ලෙස ඔහු සලකනවා විය හැකි බව මට වැටහී ගියේ ඔහු ඒ සියල්ල ප්‍රසන්න ආකාරයෙන් සිදු කරන නිසයි. ඔහු යන එන හැම විටම ශබ්ද නගා ගීයක් මුමුණමින් ගමන් කලා. අවට සිටින්නේ කවුද යන්න ගැන ඔහුට වැදගත් නොවීය.

මා පැමිණි මුල් කාලයේ උදේට ආපන ශාලාවේදී ඔහුව දකිනව වගේම මම බොහෝ විට අනිල් ආහාර ගන්නා මේසයේම වාඩි වී ආහාර ගනු ලැබුව. ඔහුගේ මිතුරා ලෙස එකට ආහාර ගත්තේ මම නම නොදත් දකුණු අත වෙනුවට කෘතිම අතක් සහිත පුද්ගලයෙකුයි. මොවුන් දෙදෙනාගෙම එක ලක්ෂණයක් තිබුණ. නිතරම උච්ච ස්වරයෙන් කතා කිරීම සහ සිනාසීමයි. වම් අතින් පමණක් ආහාර ගන්නා, ලියන, වැඩ කරන ඔහුගේ මිතුරා කොහෙත්ම ආබාධිතයෙක් ලෙස කාටවත් නොපෙණුනේ ඔහුගේ එම හැසිරීම සහ අත්දිග කමීසයට වැසී ගොස් කෘතිම දකුණු අතේ අත්ල පමණක් එළියට විවරව ඇති නිසයි. ඕනෑකමින් බැලූවෙකුට මිස එය කෘතිම අතක් බව නොපෙනේ.

අනිල්ගේ මා ප්‍රිය කල ලක්ෂණය මේ ගීත ගායනා කරමින් රාජකාරී ගමන් බිමන් සිදු කිරීමයි. සේවා ස්ථානයෙන් බැහැර මහ මග ගමන් කරද්දී වුවද ඔහුගේ මේ ලක්ෂණය දැකිය හැකි වුණා. ඔහුගේ ගමන තුළ සිටින්නේ ඔහු පමණකි. ඔහු පසු කර යන හෝ ඔහු ඉදිරියට එන නාඳුනන කිසිවෙකු ඔහුට නොපෙනෙන සේය. එසේම දැන හඳුනන අයෙකු පැමිණෙයි නම් ළඟට පැමිණෙන්නට පෙර දුර සිටම මුමුණන ගීතය නවතා හයියෙන් කතා කිරීම ඔහුගේ සිරිතයි.

අනිල් ඒ වන විටද ජීවිතේ මැදි වියට පැමිණි සිටියෙකි. අවම වශයෙන් වයස අවුරුදු හතළිස් පහක් වත් විය යුතු බව මා අනුමාන කලෙමි. ඔහුගේ හැසිරීම අනුව මා සිතා සිටියේ ඔහු තනිකඩයෙකු බවයි. එහෙත් දිනක් සේවා ස්ථානයට නුදුරු නගරයේදී ඔහු කාන්තාවක් සමග ගමන් කරනු දුටුවෙමි. එහෙත් මා පුදුමයට පත් කල දෙයනම් ඔවුන් තරුණ පෙම් යුවලක් මෙන් අත් පටලාගෙන එකිනෙකාගේ සිරුරු වල ගෑවෙමින් ළංව ගමන් කිරීමයි. අනිල් විසින් ඉහළන ලද කුඩයක් යට අව් රශ්මියෙන් ආවරණය වී ඔවුන් දෙදෙනා එකිනෙකාට තුරුඵව මෙන් ගමන් කරන හැටි මම බලා සිටියේ උපහාසාත්මකවයි. මගේ හැඟීම වුණේ ජීවිතේ මැදිවියට පැමිණි තනිකඩ අනිල්ට ඔහුගේම වයසට සරිලන පෙම්වතියක ලැබී ඇති බව සහ ඔවුන් ප්‍රේමයෙන් මත්ව එසේ තරුණ යුවලක් සේ හැසිරෙන බවයි. එහෙත් ඔවුන්ගේ හැසිරීම දෙසට අනෙකුන්ගේ නෙත් යොමුවන හේතුව වුණේ ඔවුන් කොහෙත්ම තරුණ වියේ නොවුණු බැවින් සහ එලෙස අතිනත් පටලාගෙන මහ මග ගමන් කරන මැදිවියේ හෝ මහඵ වියේ පෙම්වතුන් දුර්ලභ දසුනක් නිසාය.

එසේම අසල නගරයේ දහවල් කාලයේ තනියෙන් ගමන් කරන විට වුවද ඔහු දැඩි හිරු රශ්මියෙන් ආරක්ෂා වීම සඳහා කුඩයක් ඉහලාගෙන ගමන් කරනු මා දැක ඇත. බොහෝ විට පුරුෂ පාර්ශ්වයේ උදවිය එසේ අව්වට කුඩ ඉහළාගෙන යාමට ලැජ්ජා වන නමුත් අනිල්ට එවැනි මානසිකත්වයක් නොමැති වීම ගැන මා සතුටු වුණේ දාඩිය පෙරාගෙන ඔඵ කට්ට ගිනියම් වන අව්වේ මා ගමන් කරද්දී ඉහළාගන්න කුඩයක් තිබිණි නම් යන සිතුවිල්ල මා තුළද ඇතිවන බැවිනි. ඒත් බොහෝ පිරිමින් සේම මාද වැස්සට මිස අව්වට කුඩ රැගෙන යාමක් නොකෙලෙමි.

එසේම ඇතැම් විවේකී සවස් වරු වල මා නිතර දකින දසුනක් වූයේ අප ආසන්නයේ පිහිටි කුඩා නගරයේ විද්‍යුත් උපකරණ ප්‍රදර්ශණාගාරයක දමා ඇති රූපවාහිනී යන්ත්‍ර වල විකාශණය වන වැඩසටහන් දෙස ඔහු තනිවම බලා සිටීමයි. ක්‍රිකට් තරඟ පවතින දින වල නම් එසේ එම ස්ථානයේ බොහෝ මිනිසුන් රැස්කමින් ක්‍රිකට් තරඟ නරඹන නමුත් එසේ නොවන සාමාන්‍ය දිනවල එම රූපවාහිනී තිර වල විකාශණය වෙන වැඩසටහන් නරඹණ එකම ප්‍රේක්ෂකයා අනිල් පමණක් බව මම දැක ඇත්තෙමි. ඔහුට එය ලැජ්ජාවකට කරුණක් නොවුණේ ඔහුට අනෙකුන්ගේ බැල්ම වැදගත් නොවන නිසා විය යුතුය.

කොහොම නමුත් අනිල් පදිංචි ස්ථානයට නුදුරු ස්ථානයක් වෙත මගේ නවාතැන මාරු වීම නිසා අනිල් සහ මා අතර යම් හිතවත් කමක් ගොඩ නැගුණද එය සමීප හිතමිතුරු ඇසුරක් නොවිණ. නගරයේ සිට සැතපුමක් පමණ පා ගමනින් යා යුතු ඒ දුර අපට සාමාන්‍ය දෙයක් විය. කෙසේ වුවත් එසේ මගේ අලුත් නවාතැන නිසා මට ඔහුව නිතර නිතර දක්නට ලැබිණ. නගරයේ සිට මම නවාතැන් ගෙන සිටි ගම දක්වා වූ දුර පයින් ඇවිද යන බොහෝ අවස්ථා වල අනිල් ඔහුගේ පෙම්වතිය සමග අතිනත් පටලාගෙන යන එන එක මට සාමාන්‍ය දසුනක් විය. එවිට මට හැඟී ගියේ ඔවුන් මෑතකදී විවාහ වී ඇති නිසා මෙසේ සමීප ඇසුරක සිටින බවයි. ඔහුගේ බිරිඳ එතරම් දැකුම්කඵ හෝ ප්‍රියමනාප පෙනුමකින් තොර මැදිවියේ වූ මිටි සහ කෙට්ටු කාන්තාවක් විය.

එක් ඉරු දිනෙක හවස් භාගයේ ඔහු වයස අවුරුදු දොළහට වැඩි විය යුතු යැයි සිතිය හැකි වැඩිවිය පැමිණි ගැහැණු දරුවන් දෙදෙනෙකු සමග නගරය දෙසට පැමිණෙනු මට මුණ ගැසිණ. ගැහැණු දරුවන් දෙදෙනා ඔහු දෙපැත්තෙන් ගමන් කල අතර ලොකු ළමයි වුවද ඔහු අත්‍ දෙකෙන් ඔවුන්ගේ අත් අල්ලාගෙන ගමන් කලේ පුංචි දරුවන් දෙදෙනෙකු කැටුව යන විලසිනි.

කොහේද මේ වෙලාවේ යන්නෙ මම විමසීමි.

මේ දෙන්නට පංති තියෙනව හන්දියට ගිහින් දාල එන්නම්

මම කල්පනාකාරී වීමි. මේ ගැහැණු දරුවන් දෙදෙනා කවුද? ළඟදී විවාපත් වී සිටි ලෙස මා අනුමාන කල ඔහුට වැඩිවිය පත් දරුවන් සිටිය නොහැකිය.

අප සේවා ස්ථානයේම රාජකාරී කල ප්‍රදේශයේ පදිංචි මිතුරෙකුගෙන් අනිල් ගැන මම විමසීමි.

ඒ උගේ ළමයි දෙන්න බං

මා පුදුමයට පත්විමි.

මිනිහ නෝනත් එක්ක පාරෙ යන විදියට මම හිතුවෙ ඊයෙ පෙ‍රේද බැන්ඳ එකෙක් කියල

නෑ බං උගේ හැටි ඒ. උඹ ඉන්න හරියෙ කුළියට තමයි මිනිහ ඉන්නෙ

පසු දිනෙක මගේ මිතුරෙකුට නිවසක් කුළියට සොයා දෙන ලෙස අනිල් පවසනු මා අසා සිටියෙමි.

දුරින් වුණාට කමක් නෑ රුපියල් පන්දාහකට වගේ හොයල දියන්

මගේ මිතුරා නිවසක් කුළියට සොයා දීමට පොරොන්දු වෙනු මා අසා සිටියෙමි.

මමත් මේ ලෝන් එකට මහන්සි වෙනව බං ගේ හදාගන්න ඕනි ඉක්මණට ඒ මගේ මිතුරාය.

අයියෝ බං ලෝන් ගන්න මාස ගාණක් අතනයි මෙතනයි දුවනවට, රස්තියිදු වෙනවට වඩා හොඳයි මැරෙනකම් කුළී ගෙවල් වල ඉන්නව එසේ කියමින් ගීතයක් මුමුණමින් අනිල් පිටවී යනු මා බලා සිටියෙමි.

ජීවිතය ඒ තරම් සැහැල්ලුවෙන් ගත හැකිද යන්න මට පුදුමයක් විය. විශේෂයෙන්ම වැඩිවිය පත් ගැහැණු දරුවන් දෙදෙනෙකුගේ පියෙක්..?

පසු දිනෙක මා මුණ ගැසුණ විට මගෙන්ද ඔහු විමසා සිටියේ,

මහත්තයෝ ඔයා ඉන්න හරියෙ ගෙයක් එහෙම කුළියට ගන්න තියෙනවද කියල ටිකක් හොයල බලල කියන්න

ඇයි ඉන්න තැන මොකද?

එතන එක කාමරයක අපි හතර දෙනාම ඉන්නෙ.දැන් ළමයිනුත් ලොකුයිනෙ. ඒකයි වෙන තැනක් බලන්නෙ

ඔයා තරම්වත් මම මේ පැත්තෙ අය අඳුනන්නෙ නෑ. ඒත් මමත් උත්සාහ කරල බලන්නම්
  
හරි මහත්තයෝ ටිකක් බලන්නකො එහෙනම්

සිනාමුසු මුහුණින්, ඔහු‍ගේම කඩිසර ගමනින් ගීයක් හෙමින් මුමුණමින් ඔහු පිටව ගියේය.

ජීවිතය කොයි තරම් කටුක වුවද ඔහුට එය ගණනක් නැත. කම්කරුවෙකුට ලැබෙන ඉතාම අල්ප වැටුපකින්, ගෙයක් දොරක් නැතුව වුවද බිරිඳත් ලොකු මහත්වූ දියණියන් දෙදෙනාත්  සමග කුළියට ගත් එක කාමරයක ඔහු සතුටින් ජීවත් වීම මට පුදුමයකි. සිනහවෙන්, ගීයක් මුමුණමින් ඔහු වේගයෙන් පයින්ම ගමන් කරයි.
ඔහු කිසිදා සිගරට්ටුවක් බොනු හෝ බීමත්ව සිටිනු මා දැක නැත. කිසිවෙකු වැඩිය මායිම් නොකරන ඔහුව සහ ඔහුගේ මේ අනෙකුන්ගෙන් මට වැඩක් නෑ මගේ විදිය මේකයි නොකියන නමුත් ඒ තුළ ජීවත් වෙන ආකාරයේ චරිතයට සහ සරල පැවැත්මට මා බෙහෙවින් ඇලුම් කළෙමි.

පසු දිනෙක මිතුරන් පිරිසක් අතර සතුටු සාමීචියේ යෙදී සිටින වෙලාවක අනිල්ද අප අතරට පැමිණ විහිඵවක් කර දුර සිට කා සමග හෝ සිනහ වෙමින් කතා කරමින් නික්ම ගිය විට  මා ළඟම සිටි මිතුරාට පැවසුවේ අනිල් නම් අමුතුම වර්ගයේ මිනිසෙක් බවයි.
මගේ ඒ මිතුරා එම ආයතනයේ දීර්ඝ කාලයක් සේවය කල අයෙකු බැවින් සියඵ දෙනාගේම වගතුග ඔහු දනියි.

ඕක මරු මිනිහ බං. ඒ දවස්වල නන්නත්තාරෙ ගියා. අන්තිමට පොඩි එවුන් දෙන්නෙක් ඉන්න මිනිහ නැති ගෑණියෙක්ව කසාද බැන්ඳා

මා පුදුමයට පත්වීමි.

ඒත් මා අදටත් හිතින් ඔහුට අසීමිතව ගෞරව කරමි. ඔහු වැනි අනෙකුන් කියන කරන කිසිවක් නොසලකමින් තමන් තුළ රජවීමට සහ ඒ රජකම සරළ මනුෂ්‍යත්වයෙන් පිරවීමට සමත් අන් කවරෙක්වත් මේ වන තෙක් ඉන්පසු මට මුණ ගැසී‍ නොමැත.


Saturday, 16 June 2012

කරුමය





සියල්ලන්ටම
මා බරක් වී 
එපාවී
අතහැර දමද්දිත්
මට මාව
අත් හැර දමන්නට
නොහැකි වූ කරුමය..

Thursday, 31 May 2012

"මම" වෛරය පිණිස වෙමි..





මැවුම්කරු මා මවා ඇත්තේ
වෛරය සඳහාය
ලෝකය මා සූදානම් කලේ
වෛරය සඳහාය..

මගේ නිශ්චිත ජාතිය
සතුරුය අන් ජාතීන් වෙත
මගේ නිශ්චිත ආගම
හෙලා දැක ඇත අනෙක් ආගම්..

මගේ රට මගේ ගම
මගේ පංතිය හැම විට
ප්‍රතිවිරුද්ධ අන්තයන් වෙත
සතුරු සිතැඟිම මවා දී ඇත..

ආදරය පිණිස කිසිවිට
මැවුම්කරු මා මවා නැත
ආදරය පිණිස කිසිවිට
ලෝකය මා සූදානම් කර නැත..


Friday, 25 May 2012

වීරයෝ..








ඔඵවෙන් සිට ගැන්ම
අස්ථිරය කොතන වුව
නැවත ආපසු දිනෙක
දෙපයින්ම නැගෙනු ඇත..

බියසුල්ලෝ තැනක
ඔඵවෙන් සිට ගත් කලට
වීරයන් ලෙස අර
හැඳින්වෙන අපූරුව..



Friday, 18 May 2012

ගර්භනියකගේ ප්‍රේමය







වැරැදීම තුළට පළමුවෙන්ම ඇතුල්වන විට එය වැරැදීමක් නොවන යථාර්තයක් බව ඇයට දැන් වැටහෙයි.

මිලින්ද පහත් මිනිසෙකු නොවන බව ඇය දැන සිටියාය. ඒත් තව දුරටත් ඔහු තමාගේ හදවත තුළ ඇඳී තිබුණු ඔහු නොවන බව හෙළිවන සියඵම කරුණු අනාවරණය වී ඇත. ඒ පරමාදර්ශී ඔහු ජීව ගුණයෙන් පිරුණු කරුණාවකින් හෙබි ඇය වෙනුවෙන් නිරතුරු සැදී පැහැදී සිටින්නෙකි. ඇය ප්‍රිය කරන සියල්ලම ඔහුද ප්‍රිය කරනු ලබයි. හැම ක්‍රියාවකම සෙනෙහසත්, ශාන්ත බවත්, මෘදු බවත් රඳවා තබා ගන්නෙකි.

එහෙත් මිලින්ද එසේ නොවේ. එබඳු පුරුෂ යන්ත්‍රයක් බවට ඔහු පරිවර්තනය ‍වන බවට එකල ඇයට හැඟීමක් නොවුණද, පසුව ඇය තේරුම් ගත්තේ පෙම්වතා විවාහය නම් ප්‍රතික්‍රියාව හරහා යන්ත්‍රයක් බවට පත් වන බවය.

සියඵ ස්වාමි පුරුෂයන් යන්ත්‍රය. ස්වාමි පුරුෂයන් තුළ තව දුරටත් පෙම්වතුන් ජීවත් නොවේ.

එහෙත් ඒ පැරැණි යථාර්තය අද වැරැදීමක් බව තහවුරු වී ඇත. විවාහය නිවැරැදි කල නොහැකි වරදක් වන්නේ එබැවිනි.
ආදරය සහ ද්වේෂය අතර හරි මැද ලැඟුම් ගත් ඇල්මැරුණු ජීවත් වීම ඇය අපේක්ෂ නොකල දෙයකි. ඒ මධ්‍යස්ථය සාමයක් හෝ යුද්ධයක් නොවේ. එය කිසිම නැවුම් හැඟීමකට, සිහිනයකට ඉඩ නොතබන අබ්බගාත ස්වභාවයකි.
ඇය මධ්‍යස්ථයට අකමැතිය. ජීවිතය ආන්තික විය යුතුය. මේ අබ්බගාත ස්වභාවයට වඩා ආදරයේ උච්ඡස්ථානයක හෝ ද්වේෂයේ පහත් ගැඹුරක පවතින ත්‍රාසය, බිය ඈ තුළ ජීව ගුණයක් ඇති කිරීමට ඉඩ තිබිණ.

ඇය අමල්ට සමීප වූයේ මෙන්ම ප්‍රිය කලේද එබැවිනි. ඔහු කිසිසේත්ම බැරෑරුම් මිනිසෙකු නොවේ. අමල්ගේ අක්‍රමවත් රැවුල බෑම මෙන්ම හිස කෙස් පීරීමද, ඇඳුම් ඇඳීමටද ඇය ප්‍රිය කළාය. මිලින්දගේ දිනපතා ක්‍රමවත්ව පවත්වාගෙන යන ශරීර නඩත්තුවට වඩා ඒ තුළ දිනපතා අලුත් යමක් සොයාගත හැක. හැම විටම හැමදේම නොසැලකිල්ල නිසා අමතක වීම පුරුද්දක් කරගත් අමල්ව ඈට ප්‍රිය මනාප වන්නේ කන බොන, නිදන, ඇහැරෙන මෙකී නොකී සියල්ල මතකයේ තබා ගත් යාන්ත්‍රික ස්වාමියා නිසාමය.

බිරින්ඳෑවරු එසේය. තමන්ගේ ස්වාමියා හැරැ අන් සියලු පුරුෂයන් තුළම ඇයට නැවුම් බවක් දැකිය හැක.

එබැවින් ඇය නැවතත් ප්‍රේමයෙන් වෙලුණාය.

ඇය මිලින්ද සමග රැඳී උන් මධ්‍යස්ථයේ සිට ප්‍රේමය ලෙස ඇය නම් කල උච්ඡස්ථානයකට පැමිණ සිටියේ අමල් සමගය. ඉන්පසු ඒ උච්ඡස්ථානය සහ මධ්‍ය ස්ථානය අතර දෝලනය වීම ඇයට ජීවිතය පහසු කරලීය. අමල්ට කිසිසේත්ම ඈ ඉදිරියේ යන්ත්‍රයක් බවට පත් වීමට නොහැකිය.
ඒත් ප්‍රේමය පිටුපසින් එන දුෂ්ඨ සෙවණැල්ලනම් අයිතිකර ගැනීමේ ආශාවයි.

ඇයට නොසිතුණද ඒ ආශාව සපුරාගත් කාල වකවානුවක් තුළ ඇයද යාන්ත්‍රික ක්‍රියාවලියක එකතුවක්ව සිටි බව අමල්ට ‍නොදැණුනා නොවේ. මිනිසුන්ගේ දෙනෙත් දෘෂ්ඨියට  හසුවන වපසරිය අංශක එකසිය අසූවකට වඩා වැඩි වීමට ඉඩක් නැත. එහෙත් අංශක තුන්සිය හැටක වපසරියක් තමා වටා ඇති බව බොහෝ විට නොදැනීම මිනිසුන්ගේ හොඳ නොවන දුර්වලතාවයකි.

කෙසේ වුවත් අර දුෂ්ඨ සෙවණැල්ල ඔවුන්ගේ ප්‍රේමය පසුපසින්ද පැමිණෙමින් සිටියේය. ඒ සෙවණැල්ලේ පළමු ගොදුර බවට පත්වී සිටියේ අමල්ය. නොසන්සුන් ආශාවත් විඩාවත්, දැල්වෙන බලාපොරොත්තුවත් ඔහුගේ මොහොතින් මොහොත අලුත් වන පැරැණි ස්වභාවය වෙනස් කොට ඒකාකාරී මිනිසෙකු බවට පත් කර තිබුණි. වරක් එවැනි සෙවණැල්ලක ගොදුරක්ව සිටි හෙයින්දෝ ඇයට ඒ සෙවැණැල්ලේ බලපෑම භාර ගත නොහැක්කක් බවට පත්වී තිබුණද එහි බලපෑම කොතෙක්ද යත් පෙර අමල්ගේ විවිධත්වයට රුචි වුවද දැන් ඔහුගේ ඒකාකාරී ගලා යෑම ඇයට වටහා ගත නොහැකි වී තිබිණ.

ප්‍රේමය එකිනෙකා නිරාවරණය කරනු වෙනුවට සැම විටම වසා දමයි.


කිසිවකින්වත් අමල්ගෙන් දුරස් නොවීමට ඈ අදිටන් කර ගෙන සිටියාය. එකම  භූමිකාව නැවතත් වෙනත් තැනක රඟපාමින් සිටින බව කිසිසේත්ම ඇයට වැටහීමක් නොවිණ.

ඒත් සෙවණැලි වලට වැඩි ආයුෂ නොවේ. අන්ධකාරය තුළ සෙවණැලි මෙන්ම ආත්මයන්ද අතරමං වී නොපෙනී යයි.

යාන්ත්‍රික මධ්‍යස්ථයේ මිලින්ද සමග එකමුතුවෙන් ඇය නොසිතූ ලෙස කුස තුළට අමුත්තෙකු පැමිණියේය. ඊට පෙර මහමායාවන් ලෙස ඇය එය සිහිනෙනුදු නොදිටීය. ඒත් ඊට පසු ඇය තුළ හෙණ දහසක් පිපිරී යමින් ලැජ්ජාවෙන්ද, අපේක්ෂා භංගත්වයෙන්ද, වේදනාවෙන්ද ඇය ඇඹරී ගි‍යාය. නොපෙනෙන හදවත් සන්තානයක මිලින්ද දුෂ්ඨයාගෙ චරිතයට පණ පොවමින් සිටියේ ඔහුත් නොදැනුවත්වය.

ස්වාමි පුරුෂයන් එසේය. අවසාන වශයෙන් ‍දැනුවත්ව හෝ නොදැනුවත්ව තම භාර්යාවන් දමනය කරයි.

ඇය මතුපිටින් නොහඞන නමුත් ඇතුළතින් හඞමින් සිටියාය. මතුපිටින් හඞන්නට අවසර නැත. මේ අවස්ථාව සතුටු විය යුතු අවස්ථාවක් ලෙස මුඵ ලෝකයම යෝජනා කරනු ලැබූ අවස්ථාවකි. මිලින්දද සතුටට පත්ව ඇත. ඔහු යාන්ත්‍රික ජිවිතයෙන් අවදිව අලුත් දෙයක් වෙනුවෙන් මොහොතකට සූදානම් වී ඇත. ඇය සිනාසිය යුතුය. 

අමල්ගෙන් සැඟවී ගත යුතුය. ප්‍රේමය ගිනි ගෙන ඇත. නැත්නම් යක්ෂයා විසින් ගිනි තබා ඇත. ඇය කුරිරු විය යුතුව තිබිණ. ඇය එක් ගබ්සාවක් කල යුතු විය. කුස තුළට වන් අමුත්තා ගබ්සා කල නොහැක. එය පවුල යන පරමාදර්ශයේ නෑඹුල්ම ඵල හට ගැන්මයි. මිලින්දගේ පීතෘත්වයේ සිනහවයි. නෑසිය හිතවතුන්ගේ බලාපොරොත්තුවයි.
ඒත් පපුවට යටින් රිදුම් දෙන හදවතේ පිළිසිඳගෙන ඇති ආදරයේ කලලය ගබ්සා කල යුතුව ඇත. ඒත් ඒ කළලය නොපෙනෙන හුයකින් හදවත් දෙකක් තුළම දෙබිඩිව පිළිසිඳ ඇති බැවින් ඒ හුය පළමුව කපා දැමිය යුතුව ඇත. ඇය ඒ හුය කපා දැමීය. එහි වේදනාවෙන් අමල් මර හඞ නැගූවද කල හැකි කිසිවක් නැත. ඇය කඳුඵ සඟවාගෙන ගබ්සාව ආරම්භ කළාය. ඊට එරෙහි වන අමල්ගේ විරෝධය ළඟදි ඇය ද්වේෂයේ පතුළටම කිමිදුණාය. ඒ ගැඹුරු පතුලෙන් නැගී ආ විසල් රළ ඔස්සේ අමල් ඈතකට ගසා ගෙන ගියේය.

ඇය ප්‍රතිවිරුද්ධ ආන්තික අත්දැකීමද සම්පූර්ණ කළාය.

ආදරය සහ වෛරය.

අන්ත දෙකකට උත්කර්ෂයෙන් ගමන් කිරීමෙන් අනතුරුව ඇය මධ්‍යස්ථයේ පළමු වරට තැන්පත් තැනැත්තියක් වූවාය. ඒ හරි මැද ස්ථාවර වීම ආන්තික ගමන් වලදී මෙන් වෙහෙසකර නොවන බව ඇයට පළමුවරට අවබෝධ විය.

මිලින්ද කොයි තරම් හොඳ මිනිහෙක්ද ඇය සිතුවාය.

බිරින්ඳෑවරු එසේය. තම ස්වාමියා එළවා දැමිය හෝ මරා දැමිය නොහැකි අවස්ථාව උදාවූ විට ඔහුව භක්තියෙන් පිළි ගනියි.