Tuesday, 17 April 2012

වැරැදි නොකෙලෙම් මං



වැරැදි නොකිරීමට
ඉටා නොගත්තේනම්..?


අවදානම් මැද
ත්‍රාසය සමග
යන්නට තිබිණි බෝදුර
ජීවිතේ ඉදිරියට...
හදවතේ ඉහළට...

ලෝකයා අභියස මම
නිවැරැදි ගලක් මෙනි අද
එනමුත්
අක්‍රීය, 
නොසෙල්වෙන...


Sunday, 1 April 2012

මාටින් නිමොලර්ගේ අවතාරය






පළමුව ඔවුන් මත්පැන් සිගරට් මත බදු පණවමින් මිළ ඉහළ නැංවීය.
මා මත්පැන් හෝ සිගරට් නොබොන බැවින් නිහඞව සිටියෙමි.


දෙවනුව  ඔවුන් ගෑස් මිළ අසීමිතව ඉහළ දැමීය.
මා ගෑස් භාවිතා නොකරන බැවින් නිහඞව සිටියෙමි.


ඉන්පසු ඔවුන් භූමි තෙල්, පෙට්‍රල්, ඩීසල් මිළද අසීමිතව ඉහළ දැමීය.
මා ලාම්පු පත්තු කරන්නේ නැති නිසාත් මා සතු කිසිදු වාහනයක් නැති නිසාත් නිහඞව සිටියෙමි.


ඉන්පසු ඔවුන් බයිසිකල්, ත්‍රීවීල්, මෝටර් රථ මිළ ඇදහිය නොහැකි ගණනකින් ඉහළ දැමීය.
එවැනි කිසිවක් ගැනීමට තරම් මා සතු මුදලක් කිසිදා නොවූයෙන් මා නිහඞව සිටියෙමි.
(මං වැනි හැමෝම වගේ)


අවසානයේ මේ සියල්ලේම හේතුඵල විදියට කන බත්පතටද ඉහළ මිළක් අත්විය.
එවිට මා වෙනුවෙන් කතා කිරීමට කිසිවෙක්ම නොවිණ.
(කන්න බොන්න ඇති සියල්ලෝ දේශප්‍රේමීන් වී සිටියෝය)



Saturday, 24 March 2012

අහක යන ස්තූතිය..



බොහෝ මිනිසුන්
සිය අසල්වැසියන්,
නෑ හිතවතුන් 
අභිබවා..
යමක් හිමිකරගත් පසු
ස්තූති කරයි දෙවියන්ට..

යක්ෂයා එය දකියි
සිනාසෙයි හැමවිට
මන්ද?
අනෙකාට වඩා කිසිවක්
ලබා දෙන්නේ යමෙකුට
යක්ෂයා මිස
කොහේ ඇති දෙවියන්ද?

දෙවියන්ගේ හැන්ද එකක්මය..

ස්තූති කරන්නට සුදුස්සා හට
  බෙදා ඇති පත දෙස බලනු..

Thursday, 22 March 2012

අපි වෙනුවෙනුත් නැති අපි...


ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධව ජිනීවා මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කෙරුණ යෝජනාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින්ගේ දැඩි විරෝධය පහුගිය දිනවල ලංකාව තුළත් ඉන් පිටතත් ක්‍රියාත්මක කෙරුණු ආකාරය මාධ්‍ය හරහා දක්නට ලැබිණ.
එහෙත් ඒ විරෝධය මේ යෝජනාවලිය කියවා අවබෝධයෙන් කරන්නක්ද නැත්නම් උපන්දා සිට දේශපාලකයින්ගේ කුණු කාණුවල රසයට වහල් වන ජන්ම පුරුද්දට කරන්නක්ද යන්න දන්නේ විරෝධකරුවන්ම පමණි.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ගෙන එන ලද යෝජනාවලියේ කෙටුම්පත කියවා අවබෝධ කරගන්නේනම් එම යෝජනාවලිය ඇමෙරිකාවට පළමුව ශ්‍රී ලාංකික මහජනයා විසින් රජයට බලපෑම් කල යුතු කරුණුය.
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් හුදෙක්ම මානව දයාවෙන් කිසිදු රටකට අත නොපොවන බව සත්‍යයකි. එහෙත් යහපාලනයක් පවතින කිසිදු ස්වාධීන රාජ්‍යයකට ඔවුන්ට අත පෙවීමේ හැකියාවක් නොමැත. මේ වන විට ලෝකයේ ස්වාධීන රාජ්‍යයන් 196 ක් පමණ ඇති නමුත් යුරෝපා සංගමයේ අත පෙවීම් වලට භාජනය වන්නේ ඒ අතරින් කිහිපයක් පමණි. බහුතර රටවල් ගැන යුරෝපා සංගමයේ රටවල් වලට කිසිදු කතාවක් නැත. එසේ අත පෙවීමට ලක්වන රටවල් කිහිපය තුළම දක්නට ලැබෙන්නේ එකම ආකාරයේ ලක්ෂණය. මානව හිමිකම් උල්ලංඝනය වීම්, නීතියේ සාධාරණත්වය සියල්ලන්ටම පොදු නොවීම, හිංසනික ක්‍රියා බහුල වීම, ආර්ථික වශයෙන් පහත් අඩියකට වැටී සිටීම ආදියයි. ඒ අනුව විදෙස් රටවල් වල බලපෑම ඉබේ එල්ල වන්නක් නොවන අතර එය අඞ ගසා ගෙන්වා ගැනීමකි.

කාළකණ්නි ස්වභාවයෙන් වියුක්තව රටක් විදියට ගොඩ නැගීමටනම් රටකට යහපාලනයක් අත්‍යාවශ්‍යවේ. ඒ වෙනුවෙන් කටයුතු නොකර ඇමෙරිකාවට හෝ බටහිරට වහසි බස් දොඩමින් තව දුරටත් කාළකණ්නි ස්වභාවයම පවත්වාගෙන යන්නේනම් මීට වඩා දැඩි අතපෙවීම් වලට භාජනය වීමට සිදුවනු නියතය. පරම්පරා ගණනක් තමන්ව සූරා කෑ වැඩවසම් නායකයින් තම විමුක්තිදායකයින් ලෙස තෝරා පත් කර ගන්නා ජනතාවක් තුළ නිරවුල් හෘද සාක්ෂියක් තිබිය නොහැක. එබැවින්ම අපේ රට තුළ ඕනෑම මැතිවරණයකින් ඉහළ මනාපයෙන් ජනතා නියෝජිතයින් බවට පත්වෙන්නේ සමාජ දූෂකයින්ය. හෘද සාක්ෂියක් නැති බහුතර ජනතාවක් කිසිදා නිවැරැදි තීන්දුවකට නොපැමිණෙනු ඇත. ඔවුන් මෙහෙයවනු ලබන්නේ සමාජ දූෂකයින් විසිනි.

කෙසේ වෙතත් හෙට වන විට ඉන්දියාවට විරුද්ධව ලිප්ටන් වට රවුමේ, කොටුව දුම්රිය පොල ඉදිරිපිට උද්ඝෝෂණ සිදු නොවුණහොත් එය අරුමයකි. කෙසේ වුවත් ජනතා හෘද සාක්ෂිය මිය ගිය රටක ඒ හරහා බඩගෝස්තර ජාතිවාදී පටු දේශපාලකයින්ගේ බඩ රස්සාවටනම් හොඳ කලක් ලබන බව හෙට අනිද්දා වන විට දැකිය හැකි වෙනු ඇත. ඔවුන්ට විසිල් ගැසීමට මිස හරි මග යන ලෙස උද්ඝෝෂණය කරන්න බහුතර ජනතාවක් හෝ විපක්ෂයක් අහලකවත් නැත.

අපි වෙනුවෙන් අපිවත් නැති කල ඇමෙරිකාව ‍හෝ බටහිරට කෙළවීම අපිට කල හැකිද?






Wednesday, 7 March 2012

සැඟවී ගිය බුද්ධ රශ්මිය



සමිඳුනි, දුටිමි ඔබ
බුද්ධ රශ්මිය මම එකල
පැරැණි විහාර ගෙය
දාගැබ අසල
දැල්වෙන පහන් එළියෙන්
අඩ අඳුර තුළ
බෝපත් සිරි සිරිය අස..

කාලය ඉගිල‍ ගොස් දැන්
දියුණුය විහාරය..

මැරවර ඇමැතිගේ කඵ සල්ලි
නිමකල අලුත් බුදු ගෙය
දනන් සූරාකන
පොළීකරුවන් හා එක්ව
කඵ කඩ මුදලාලිලා
ඉදිකළ බෝධියේ රන්වැට..

සිය ගණනකට එකවර
හිඳ බණ ඇසිය හැකි
මත්පැන් මුදලාලි ඉදිකල
අභිනව ධර්ම මණ්ඩපය..

චිර ප්‍රසිද්ධව ඇති
මත් කුඩු වෙළෙන්ඳාගේ
ධන පරිත්‍යාගය ලැබ
සුදු පිරියම්ව
රෑ පුරා විදුලි බුබුලෙන්
ඒකාලෝක දාගැබ..

ඒ සියල්ලන් මැද
විරාජමාන ලොකු හාමුදරුවන්..?

සමිඳුනි,
ඔබේ ආලෝකය හැරැ
සියඵ දේ එහි ඇත දැන්..
පෙර පුරුද්දට ඒත්
පැමිණෙමි පුන් පෝය දවසට
පෙර කල පන්සලක් වූ
බිම් කඩක් වෙත මම..


Sunday, 26 February 2012

සමාජවාදියාට...



මිතුර කාලය නෙවෙයි මේ
නුඹ පතන ලෝකයට..

මුදල්, භවභෝග සම්පත්
සැමට සම ලෙස බෙදෙන
ලෝකයක් තැනිය නොහැකිය
අරගල, සටන් අතරින්..

සමාජවාදය නම්
ඇතුළාන්ත ධර්මයකි
හැරෙනු මැන ආපසු
නුඹේ හදවත දෙසට..

සියල්ලන් සම බව
සොයාගනු එතුළින්...


Tuesday, 21 February 2012

හොඳම විකල්පය..



ඉස්සර නම්
පව්කාරයන්ට
අපරාධකාරයන්ට
දඞුවම් දෙන්න 
ලෝක ධර්මය හිටිය..

හැම දේම වෙනස් වෙනව..?
ලෝක ධර්මයත්
දැන් හරියට වෙනස් වෙලා
පව්කාරයන්
අපරාධකාරයන්
රකින හැටි අපූරුවට..

සමහර විට
වැඩිවන ජනගහනය
පාලනය කරන්න
හොඳම විකල්පය
ඒක නිසා වෙන්න ඇති..

හැමදේම වෙන්නෙ හොඳට....