Monday, 15 October 2012

හාමතට තිත






පහුගිය වකවානුවේ දිගින් දිගටම රාජකාරියට නොගොහින් නිවාඩු ගන්න වුණාම නිතර දෙවේලේ දුරකතන ඇමතුම් දෙමින් සැප දුක සොයා බැලුවේ සුමනරත්න අයියාය. කොහොම වුණත් මාසික වැටුප ලැබෙන දිනයේ වැඩට ගිහින් ඒ ලැබෙන සොච්චමෙන් හතරෙන් එකක් විතර සුමනරත්න ගොයියාට දුන්නම මිනිහගෙ ඉහේ මලක් පිපිණු ගානයි. මිනිහට දුකත් එක්ක වගේ,

ඉතින් මල්ලි එකපාර ගෙවල දාන්න බලන්න. පොළිය විතරක් ගෙවන එක මල්ලිට පාඩුයිනෙ

මිනිහට දුකත් එක්ක වගේ, ඒකයි මිනිහ එහෙම කියන්න ඇත්තෙ. කොහොම වුණත් මිනිහ දන්නව ණය මුදල වැඩි වුණොත් මිස සම්පූර්ණ ගෙවා දැමීමක් නම් මේ යන විදියට සිද්ධ නොවන බව.
ඒ වගේම මේ යන විදියට මිනිහ මනාපයි. කතිරෙන් විතරක් නෙවෙයි බොහෝ කියුම් කෙරුම් වලින් මිනිහ මේ පවතින විදිය මීටත් හොඳින් රැකෙන්න දායක වෙනව.

මෙහෙම ජීවත් වීම තේරුමක් නෑ. හාමතේ වැටිල ඉන්න වෙලාවකයි මට යන්තමට වගේ ප්‍රඥාව පහළ‍ වෙන්න ගත්තෙ. ඉන්න හිටින්න කියා බතල වැලක් වත් හිටවගන්න මහ පොළොවෙ ඉඩක් නැති මිනිස්සු වුණාම එදා වේලට ජීවත් වෙන්න සිද්ධ වෙනව. හීනියට පහළ වෙච්ච ප්‍රඥාව මට කිව්වෙ කන බොන එක නතර කරන්න පුඵවන් ක්‍රමයක් හොයපං කියල.

පුද්ගලික දේපල පරිහරණය නැති කරල රතු මාමල සමාජවාදී දේශයක් ගොඩනගන්නෙ නැති බව දැන් සිකුරටම සිකුරුයි. උන්ට ඕනි හිඟන්නො දෙතුන් දෙනෙකුට හරි නායකයෙක් වෙලා දේශනා පවත්වල පණ ගැට ගහගන්නයි. ඉන් එහාට වෙන මගුලක් නෑ. ඒ වගේම දැනටම සමානාත්මතාවය බිඳගෙන වැඩියෙන් දේවල් භුක්ති විඳින උදවිය ඒකෙනුත් සෑහීමකට පත් නොවුණාම මෙන්න දෑකැත්තයි මිටියයි දික් කොරන් රුසියන්කාරයෝ වගේ විප්ලව කරන්න, ඉල්ලීම් කරන්න තියාගන්නව. ඒක යකාගෙ සමාජවාදයක්. හැබැයි රුසියන් කාරයො ඉල්ලුවයි කියන්නෙ බඩ ගින්නට පාන්ය කියලත් කොහෙද මං කියවල තියෙනව. ඒක බොරුවක්ද මන්දා.

පාලකයන්ගෙන් අපි වගේ අවශේෂ පුද්ගලයන් සඳහා බඩේ පහර හැරැ මොන ඉටිගෙඩියක්වත් නොලැබෙන බවත් සිකුරටම සිකුරුයි.

අනාථ පිණ්ඩිකල, වෙස්සන්තරලනම් මේ රටට හීන තමයි. කීයක් හරි වැඩියෙන් ලැබෙන එකාට අවශ්‍යතා වැඩි වෙනව. එකට උන්නු එවුනුත් අමතක වෙනව ඒ අවශ්‍යතා ළඟදි. මනුෂ්‍ය ස්වභාවයයි කියමුකො ඒකට.

ඔන්න ඔහොම තමයි ප්‍රඥාවබෝධය ටික ටික පහළ වෙන්න ගත්තෙ. කන බොන එක අත හැරියොත් ගොඩේ ගොඩ වෙන්න පුඵවන් බව සක් සුදක් සේ විශ්වාසයි.
අන්න ඒකට තමයි මට නොසෑහෙන්න නිවාඩු ගන්න සිද්ධ වුණේ. කන බොන එක අත්හැරැපු මිනිස්සු සම්බන්ධ වාර්තා හොයන්න පළවෙනි දවස් ටික මහන්සි ගත්ත. මහන්සියේ ප්‍රතිඵල තිබුණ.
එක වාර්තාවක තිබුණෙ මේ මං වගේම ඉන්දියාවෙ ගැහැණියක් හාමතෙන් බේරෙන්න අධිෂ්ඨාන කරල අන්තිමේ ජීවිත කාලයම කෑමෙන් බීමෙන් වැලකිලා තිබුණ වගේම කිසිම අතුරු අන්තරාවක් නැතිව සෑහෙන කාලයක් ජීවත් වෙලා තියෙනව. මේ උන්දෑ යෝග ක්‍රම වලින් තමයි එහෙම කලයි කියන්නෙ.

තව වාර්තාවක තිබුණෙ මේ මෑත කාලයේ කතාවක්. ඒත් තව ඉන්දියාවෙ මනුස්සයෙක් දවසට කිරි වීදුරුවක් සහ කෙසෙල් ගෙඩියක් විතරක් කාල බීල දෙයියනේ කියල පණ ගැට ගහගෙන ඉන්නව කියල සෞඛ්‍ය සම්පන්නව. මිනිහ මෙහෙම ඉන්නෙ කොහොමද කියල බටහිර පරීක්ෂකයොත් පරීක්ෂණ පැවැත්තුවයි කියලත් ඒකෙ තිබුණ. කොහොම වුණත් ලංකාවෙ හැටියට කිරි වීදුරුවක් කියන්නෙ ඕනෑවට වැඩියි. ළදරුවෙකුටවත් කිරි පොවන්න බැරි කාලයක් මේක. ඕක ප්ලේන්ටියක් දක්වා අඩු කරන්න ඕනි කියල මගේ ප්‍රඥාව මට කියා හිටිය. කෙහෙල් ගෙඩියත් ලේසි නෑ තමයි.

තව තැනක කියවුණේ මහාවීර ආහාරයක් ගත්තෙ දවස් දොළහකට සැරයක් කියල. අන්න ඒකනම් මරු මගේ ආදායමේ හැටියට. කොහොමත් මාසෙකට වේල් හත අටක් කන්න පුඵවන් වැටුපකුත් ලැබෙන එකේ කීයක් හරි ඉතුරු කරගන්නත් ලැබෙයි සුමනරත්න ගොයියගෙ පොළී ණයත් ගෙවල දාන්න පුඵවන් වෙයි මාස හත අටකින්.

මේව බොරු වාර්තා වෙන්න බෑ. දැන් වැඩේ අතේ පත්තු‍ වෙලා තියෙන්නෙ. කන බොන එක අත හරින්න මනුස්සයාට හැකියාව තියෙනව. ඒත් කරුමෙට අපේ වගේ රටවල් වල මනුෂ්‍ය වර්ගයාට ලොකුම සේවය සිදු විය හැකි මෙවැනි පර්යේෂණයකට බුද්ධිමත්තු, උගත්තු අත ගහල නෑ. විශ්ව විද්‍යාලයකවත් එහෙම වැදගත් පර්යේෂණයක් සිද්ධ වෙනවද කියල හොයල බැලුවත් ඔහෙ නෑ එහෙම එකක්. වැඩකට නැති මහා සංකල්ප එක්ක එයාල හැප්පෙනව කීයක් හරි වැඩිපුර හොයා ගන්න.

අන්තිමේ වැඩේ මටම පවර ගන්න සිද්ධ වෙලා. ඒකට සුදුසුකම් මට ගොඩක් උපතින්ම ලැබිල තියෙන එක වාසියක් වෙලා තියෙනව.
මේක ටිකක් අමාරුයි. ටිකක් කිව්වට ගොඩක්ද මන්දා. ශරීර කූඩුවට බාහිරෙන් කෑම බීම ඕනියි කියන හිතුවිල්ල කුඩ්ඩක්වත් ඉතුරු නොවන විදියට හිතෙන් අයින් වෙන්න ඕනි. ලෝකය ගැන ආදරය, මෛත්‍රිය හිතේ වැඩෙනවනම් ඒක මේ වැඩේට පහසුයි කියල තමයි මට දැන ගන්න ලැබුණෙ. අමාරුම හරිය ඒක තමයි. මොකද ඉන්න තරමක් නසරාණියෝ පිරිච්ච මේ රටේ ඉඳගෙන මෛත්‍රිය කිරීම...?

කොහොම වුණත් මේ හිඟන ජීවිතෙන් ගොඩ යන්න ඕනි නිසා ඒකටත් මං පිළියම් හෙව්ව. හේතුවක් නැතිව ඇස් අරින එක නැවැත්තුව. වැඩේ ටිකක් සාර්ථක වේගෙන එන්නෙ. නිවාඩු දවස්වල නම් දවසම වගේ ඇස් වහගෙනම ඉන්න පුරුදු වෙමින් ඉන්නව ශරීර කෘත්‍ය කරද්දි පවා. එතකොට ගොඩක් දේවල් පේනව අඩුයි. නොපෙනෙන දේවල් වලට වෛර කරන්නෙ හෝ කෝප ගන්නෙ අහවල් අමාරුවකටයැ. කන් ඇහෙන එකත් වදයක් තමයි. හැබැයි ශරීර කූඩුවට වැටෙන කෑම ප්‍රමාණය දරුණු විදියට අඩු කළාම බාහිර සද්ද බද්ද කන් වලට ඇහෙන්නෙ නැතුව යනව කියලත් මට හොයා ගන්න ඇහැක් වුණා. එතකොට කන්දෙක මුඵ මනින්ම ඇවිලෙන කුසගින්නෙ සද්දෙට සවන් දෙන්න ගන්නව.

කොහොමින් කොහොමින් හරි දෙයියනේ කියල දවසකට එක සැරැයක් මොනව හරි ගිලල ඉන්න පුඵවන් කියල මම හොයා ගත්ත. හැබැයි බර වැඩ කරන්න ගියොත්නම් අමාරුවේ වැටෙනව. ශරීරය වැඩිය හොල්ලන්න නරකයි. අර යකාට ගෙවන්න තියෙන ණය මතක් වෙද්දි එක පාරක් ගිලින එකත් මහ වැරැද්දක් කියල හැඟෙන එක මගේ වාසියට හිට්ට. හැබැයි මෙතනදි දරා ගැනීමේ ශක්තිය අවශ්‍ය වෙනව. බඩට ඕනි විදියට අපි කටයුතු කරන එක නවත්වන්න වෙනව. බඩ කියන්නෙ වෙන එකෙක්ය ඌට ඕනි ඕනි විදියට අපි නටන්නෙ නෑ කියන හිතුවිල්ල ශක්තිමත් කල යුතු වෙනව. පොඩි පොඩි අතුරු ආබාධ ඇතිවෙන්න පුඵවන්. ඔඵවෙ කැක්කුම, කරකැවිල්ල, ක්ලාන්තය, කකුල් පණ නැති වීම, ඇට කටු පෑදීම වගේ අතුරු ආබාධ ඇති වෙද්දි හිතන්න ඕනි මේ අතුරු ආබාධයෝ අපි සදාකාලිකව ණයකාරයෝ සහ හිඟන්නු කරල තියන්න දඟලන මාර සෙනඟය කියල.

මේක වැඩ කලොත් විසි එක්වැනි සියවසේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා කරපු ලොකුම පර්යේෂණයට තමයි මම අත ගහල තියෙන්නෙ. ආයෙ එහෙම කලා කියල මමනම් පදවි තානාන්තර, වැඩි පඩි, වැඩි වරප්‍රසාද ඉල්‍ලන්නෙනම් නෑ ඕං. සාමාන්‍ය මනුස්සයාට ගොඩ යන්න පාරක් තමයි එකම බලාපොරොත්තුව.
අඩුම ගාණෙ සතියකට එක සැරයක් මොනා හරි ගිලල පණ ගැට ගහගන්න තත්වෙට හිත වෙනස් කරගන්න එක සාර්ථක වුණොත් ගොඩක් වාසි සැලසෙනව. තුට්ටු දෙකට අරකට මේකට කඹුරන කම්කරුවට යහපතක් වෙනව. ගොවියට ඕනෑවට වඩා මහන්සි වෙලා වගා කරන්න ඕනි වෙන්නෙ නෑ. ඔය ටිකක් වවා ගත්තම මදැයි. විකුණගන්න බෑ කියල උද්ඝෝෂණ කරන්න ඕනැන්නෙත් නෑ එතකොට.
හාල් කිලෝ එකට පාන් රාත්තලට මහජනයව කඩේ යවන්න දේශපාලකයන්ට අමාරු වෙනව. ගොවිය, කම්කරුව අඩු ශ්‍රම දායකත්වයක් සපයන විට රටේ ආහාර ප්‍රමාණය අඩු වෙනව. එතකොට උන්ව හූරගෙන කාල ජීවත් වෙන ලොකු ලොකු උත්තමයන්ටත් බඩ ගින්න දැනෙන්න ගන්නව. උන්ට බඩ ගින්න හුරු නැති නිසා උන් අතරට යන සීමිත කෑම වලට උන් උන් මරාගන්න ගන්නව. ඒකෙනුත් යහපතක් වෙයි. තව මොනවයින් මොනව වෙයිද කියල කියන්න අමාරුයි. කොහොම වුණත් ගොඩක් දේවල් හොඳ අතට සිද්ධ වෙයි. බත් පැකට් එකකට මොන්ටෙරෝ එකක් වුණත් හුවමාරු වෙන්න ඉඩ තියෙනව. අන්න ආශ්චර්යය.

කොහොම වුණත් මේක කරන්නම සිද්ධ වෙන කටයුත්තක් ලෙස මම භාර අරගෙන තියෙනව (ප්‍රතික්ෂේප කරන්න බැරි විදියට භාර ගන්න සිද්ධ වෙලා තියෙනව). අවම වශයෙන් මගේ බේරුමටවත්.
වැඩේ අහවර වෙන්න කළින් අර මාර සෙනග මාව ගිලගත්තොත් මගේ උත්කෘෂ්ඨ බලාපොරොත්තුව මාත් එක්කම අතුරුදහන් වෙයිද කියල බයකුත් නැතුව නෙවෙයි.

ඒ කොහොම වුණත් උඹලට ඕනිනම් හිනාවෙයල්ල.


Tuesday, 25 September 2012

අස්වාභාවික එළඹුම..






මිනිසුන් නිදන
මේ සීතල උදෑසන
නිසලව ශාන්තව
ස්වභාවය සමගයි..

නොගැලපෙයි
දහස් සිතුවිලි ඇවිලෙන
නොනිදන මසිත
විශ්වය මවන
ස්වභාවය සමග..

අවදි වෙයි මිනිසුන්
මිනිස් කඩහඞ ඇසේ
ඈතින් පන්සලක
ලවුඩ්ස්පීකර් හඞ නැගේ..

ස්වභාවික විශ්වය
නිදිකිරයි ඒ අතර...

Saturday, 18 August 2012

සොරාගත් කැමැත්ත




මේ ලෝකය 
මා වෙනුවෙන්
මගේම කැමැත්තට
තෝරාගැනීමට කිසිවක් 
ඉතිරි කර තිබුණේ නැත
අවම වශයෙන්
මගේ නමවත්..

ගරු නොකරමි වැඩිහිටියන්ට..


Sunday, 22 July 2012

හිඟන රජෙක් නිසා.. ?





දුටුගැමුණු
හිඟනම රජෙකි
තිබී ඇත්තේ 
එකම එක කඩුවකි..


Saturday, 14 July 2012

සතුරනි ත්‍රස්තවාදිනි,





තොපි නොමැති බිම
පිස්සන් කොටුවකි
පාදඩකම් රජයන
කෙළිමඩලකි..

විරු දනන් අමන වේසෙන්
නැවත උපදින
නිවට වූ තිඹිරි ගෙදරකි..

කාමාතුරයින්
සොර දෙටුවන්
සිය උච්ඡතම රැඟුමේ යෙදෙන
බිහිසුණුම රඟමඩලකි..

නැගිට වරෙව්
සියඵ සතුරනි
ත්‍රස්තවාදිනි..
තොපි නොමැති කල
කාලකණ්නිභාවය
රජකමට වැද
වනසති ශිෂ්ඨභාවය..


Sunday, 24 June 2012

රටවැසියන් නැති රජෙක්...






කාලයක් මා සම්බන්ධ වී සිටි රාජ්‍ය ආයතනයක සේවය කල සුඵ සේවකයෙක් තමයි අනිල් කියන්නෙ. මා ඔහු ගැන එතරම් තොරතුරු දැනගෙන හිටියෙ නෑ වගේම හාර පන්සීයක් සේවය කල එම ආයතන තුල ඔහුව ඇසුරු කල සංඛ්‍යාවද ඉතා සුඵ ප්‍රමාණයක්.

එතරම් බර වැඩ නැති සැහැල්ලු සේවාවන් ඔහුට පැවැරී තිබුණු බව මා දැන සිටිය. වැඩි හරියක් රාජකාරී වුණේ ඔහුගේ සේවා ප්‍රධානීන්ගේ පුද්ගලික අවශ්‍යතා සැපිරීමයි. රාජ්‍ය ආයතන වල ඒක සාමාන්‍ය දෙයක් නිසා මම ඒක ඒ හැටි මායිම් නොකල අතර අනිල්ද එය ගණන් ගත් බවක් පෙනෙන්න තිබුණෙ නෑ. ඕනෑම වෙලාවක තමන්ගේ සේවා ප්‍රධානීන් වෙනුවෙන් කඩේ දිවීම මෙලොව තමන් වැටුප් ලබන මෙහෙවර ලෙස ඔහු සලකනවා විය හැකි බව මට වැටහී ගියේ ඔහු ඒ සියල්ල ප්‍රසන්න ආකාරයෙන් සිදු කරන නිසයි. ඔහු යන එන හැම විටම ශබ්ද නගා ගීයක් මුමුණමින් ගමන් කලා. අවට සිටින්නේ කවුද යන්න ගැන ඔහුට වැදගත් නොවීය.

මා පැමිණි මුල් කාලයේ උදේට ආපන ශාලාවේදී ඔහුව දකිනව වගේම මම බොහෝ විට අනිල් ආහාර ගන්නා මේසයේම වාඩි වී ආහාර ගනු ලැබුව. ඔහුගේ මිතුරා ලෙස එකට ආහාර ගත්තේ මම නම නොදත් දකුණු අත වෙනුවට කෘතිම අතක් සහිත පුද්ගලයෙකුයි. මොවුන් දෙදෙනාගෙම එක ලක්ෂණයක් තිබුණ. නිතරම උච්ච ස්වරයෙන් කතා කිරීම සහ සිනාසීමයි. වම් අතින් පමණක් ආහාර ගන්නා, ලියන, වැඩ කරන ඔහුගේ මිතුරා කොහෙත්ම ආබාධිතයෙක් ලෙස කාටවත් නොපෙණුනේ ඔහුගේ එම හැසිරීම සහ අත්දිග කමීසයට වැසී ගොස් කෘතිම දකුණු අතේ අත්ල පමණක් එළියට විවරව ඇති නිසයි. ඕනෑකමින් බැලූවෙකුට මිස එය කෘතිම අතක් බව නොපෙනේ.

අනිල්ගේ මා ප්‍රිය කල ලක්ෂණය මේ ගීත ගායනා කරමින් රාජකාරී ගමන් බිමන් සිදු කිරීමයි. සේවා ස්ථානයෙන් බැහැර මහ මග ගමන් කරද්දී වුවද ඔහුගේ මේ ලක්ෂණය දැකිය හැකි වුණා. ඔහුගේ ගමන තුළ සිටින්නේ ඔහු පමණකි. ඔහු පසු කර යන හෝ ඔහු ඉදිරියට එන නාඳුනන කිසිවෙකු ඔහුට නොපෙනෙන සේය. එසේම දැන හඳුනන අයෙකු පැමිණෙයි නම් ළඟට පැමිණෙන්නට පෙර දුර සිටම මුමුණන ගීතය නවතා හයියෙන් කතා කිරීම ඔහුගේ සිරිතයි.

අනිල් ඒ වන විටද ජීවිතේ මැදි වියට පැමිණි සිටියෙකි. අවම වශයෙන් වයස අවුරුදු හතළිස් පහක් වත් විය යුතු බව මා අනුමාන කලෙමි. ඔහුගේ හැසිරීම අනුව මා සිතා සිටියේ ඔහු තනිකඩයෙකු බවයි. එහෙත් දිනක් සේවා ස්ථානයට නුදුරු නගරයේදී ඔහු කාන්තාවක් සමග ගමන් කරනු දුටුවෙමි. එහෙත් මා පුදුමයට පත් කල දෙයනම් ඔවුන් තරුණ පෙම් යුවලක් මෙන් අත් පටලාගෙන එකිනෙකාගේ සිරුරු වල ගෑවෙමින් ළංව ගමන් කිරීමයි. අනිල් විසින් ඉහළන ලද කුඩයක් යට අව් රශ්මියෙන් ආවරණය වී ඔවුන් දෙදෙනා එකිනෙකාට තුරුඵව මෙන් ගමන් කරන හැටි මම බලා සිටියේ උපහාසාත්මකවයි. මගේ හැඟීම වුණේ ජීවිතේ මැදිවියට පැමිණි තනිකඩ අනිල්ට ඔහුගේම වයසට සරිලන පෙම්වතියක ලැබී ඇති බව සහ ඔවුන් ප්‍රේමයෙන් මත්ව එසේ තරුණ යුවලක් සේ හැසිරෙන බවයි. එහෙත් ඔවුන්ගේ හැසිරීම දෙසට අනෙකුන්ගේ නෙත් යොමුවන හේතුව වුණේ ඔවුන් කොහෙත්ම තරුණ වියේ නොවුණු බැවින් සහ එලෙස අතිනත් පටලාගෙන මහ මග ගමන් කරන මැදිවියේ හෝ මහඵ වියේ පෙම්වතුන් දුර්ලභ දසුනක් නිසාය.

එසේම අසල නගරයේ දහවල් කාලයේ තනියෙන් ගමන් කරන විට වුවද ඔහු දැඩි හිරු රශ්මියෙන් ආරක්ෂා වීම සඳහා කුඩයක් ඉහලාගෙන ගමන් කරනු මා දැක ඇත. බොහෝ විට පුරුෂ පාර්ශ්වයේ උදවිය එසේ අව්වට කුඩ ඉහළාගෙන යාමට ලැජ්ජා වන නමුත් අනිල්ට එවැනි මානසිකත්වයක් නොමැති වීම ගැන මා සතුටු වුණේ දාඩිය පෙරාගෙන ඔඵ කට්ට ගිනියම් වන අව්වේ මා ගමන් කරද්දී ඉහළාගන්න කුඩයක් තිබිණි නම් යන සිතුවිල්ල මා තුළද ඇතිවන බැවිනි. ඒත් බොහෝ පිරිමින් සේම මාද වැස්සට මිස අව්වට කුඩ රැගෙන යාමක් නොකෙලෙමි.

එසේම ඇතැම් විවේකී සවස් වරු වල මා නිතර දකින දසුනක් වූයේ අප ආසන්නයේ පිහිටි කුඩා නගරයේ විද්‍යුත් උපකරණ ප්‍රදර්ශණාගාරයක දමා ඇති රූපවාහිනී යන්ත්‍ර වල විකාශණය වන වැඩසටහන් දෙස ඔහු තනිවම බලා සිටීමයි. ක්‍රිකට් තරඟ පවතින දින වල නම් එසේ එම ස්ථානයේ බොහෝ මිනිසුන් රැස්කමින් ක්‍රිකට් තරඟ නරඹන නමුත් එසේ නොවන සාමාන්‍ය දිනවල එම රූපවාහිනී තිර වල විකාශණය වෙන වැඩසටහන් නරඹණ එකම ප්‍රේක්ෂකයා අනිල් පමණක් බව මම දැක ඇත්තෙමි. ඔහුට එය ලැජ්ජාවකට කරුණක් නොවුණේ ඔහුට අනෙකුන්ගේ බැල්ම වැදගත් නොවන නිසා විය යුතුය.

කොහොම නමුත් අනිල් පදිංචි ස්ථානයට නුදුරු ස්ථානයක් වෙත මගේ නවාතැන මාරු වීම නිසා අනිල් සහ මා අතර යම් හිතවත් කමක් ගොඩ නැගුණද එය සමීප හිතමිතුරු ඇසුරක් නොවිණ. නගරයේ සිට සැතපුමක් පමණ පා ගමනින් යා යුතු ඒ දුර අපට සාමාන්‍ය දෙයක් විය. කෙසේ වුවත් එසේ මගේ අලුත් නවාතැන නිසා මට ඔහුව නිතර නිතර දක්නට ලැබිණ. නගරයේ සිට මම නවාතැන් ගෙන සිටි ගම දක්වා වූ දුර පයින් ඇවිද යන බොහෝ අවස්ථා වල අනිල් ඔහුගේ පෙම්වතිය සමග අතිනත් පටලාගෙන යන එන එක මට සාමාන්‍ය දසුනක් විය. එවිට මට හැඟී ගියේ ඔවුන් මෑතකදී විවාහ වී ඇති නිසා මෙසේ සමීප ඇසුරක සිටින බවයි. ඔහුගේ බිරිඳ එතරම් දැකුම්කඵ හෝ ප්‍රියමනාප පෙනුමකින් තොර මැදිවියේ වූ මිටි සහ කෙට්ටු කාන්තාවක් විය.

එක් ඉරු දිනෙක හවස් භාගයේ ඔහු වයස අවුරුදු දොළහට වැඩි විය යුතු යැයි සිතිය හැකි වැඩිවිය පැමිණි ගැහැණු දරුවන් දෙදෙනෙකු සමග නගරය දෙසට පැමිණෙනු මට මුණ ගැසිණ. ගැහැණු දරුවන් දෙදෙනා ඔහු දෙපැත්තෙන් ගමන් කල අතර ලොකු ළමයි වුවද ඔහු අත්‍ දෙකෙන් ඔවුන්ගේ අත් අල්ලාගෙන ගමන් කලේ පුංචි දරුවන් දෙදෙනෙකු කැටුව යන විලසිනි.

කොහේද මේ වෙලාවේ යන්නෙ මම විමසීමි.

මේ දෙන්නට පංති තියෙනව හන්දියට ගිහින් දාල එන්නම්

මම කල්පනාකාරී වීමි. මේ ගැහැණු දරුවන් දෙදෙනා කවුද? ළඟදී විවාපත් වී සිටි ලෙස මා අනුමාන කල ඔහුට වැඩිවිය පත් දරුවන් සිටිය නොහැකිය.

අප සේවා ස්ථානයේම රාජකාරී කල ප්‍රදේශයේ පදිංචි මිතුරෙකුගෙන් අනිල් ගැන මම විමසීමි.

ඒ උගේ ළමයි දෙන්න බං

මා පුදුමයට පත්විමි.

මිනිහ නෝනත් එක්ක පාරෙ යන විදියට මම හිතුවෙ ඊයෙ පෙ‍රේද බැන්ඳ එකෙක් කියල

නෑ බං උගේ හැටි ඒ. උඹ ඉන්න හරියෙ කුළියට තමයි මිනිහ ඉන්නෙ

පසු දිනෙක මගේ මිතුරෙකුට නිවසක් කුළියට සොයා දෙන ලෙස අනිල් පවසනු මා අසා සිටියෙමි.

දුරින් වුණාට කමක් නෑ රුපියල් පන්දාහකට වගේ හොයල දියන්

මගේ මිතුරා නිවසක් කුළියට සොයා දීමට පොරොන්දු වෙනු මා අසා සිටියෙමි.

මමත් මේ ලෝන් එකට මහන්සි වෙනව බං ගේ හදාගන්න ඕනි ඉක්මණට ඒ මගේ මිතුරාය.

අයියෝ බං ලෝන් ගන්න මාස ගාණක් අතනයි මෙතනයි දුවනවට, රස්තියිදු වෙනවට වඩා හොඳයි මැරෙනකම් කුළී ගෙවල් වල ඉන්නව එසේ කියමින් ගීතයක් මුමුණමින් අනිල් පිටවී යනු මා බලා සිටියෙමි.

ජීවිතය ඒ තරම් සැහැල්ලුවෙන් ගත හැකිද යන්න මට පුදුමයක් විය. විශේෂයෙන්ම වැඩිවිය පත් ගැහැණු දරුවන් දෙදෙනෙකුගේ පියෙක්..?

පසු දිනෙක මා මුණ ගැසුණ විට මගෙන්ද ඔහු විමසා සිටියේ,

මහත්තයෝ ඔයා ඉන්න හරියෙ ගෙයක් එහෙම කුළියට ගන්න තියෙනවද කියල ටිකක් හොයල බලල කියන්න

ඇයි ඉන්න තැන මොකද?

එතන එක කාමරයක අපි හතර දෙනාම ඉන්නෙ.දැන් ළමයිනුත් ලොකුයිනෙ. ඒකයි වෙන තැනක් බලන්නෙ

ඔයා තරම්වත් මම මේ පැත්තෙ අය අඳුනන්නෙ නෑ. ඒත් මමත් උත්සාහ කරල බලන්නම්
  
හරි මහත්තයෝ ටිකක් බලන්නකො එහෙනම්

සිනාමුසු මුහුණින්, ඔහු‍ගේම කඩිසර ගමනින් ගීයක් හෙමින් මුමුණමින් ඔහු පිටව ගියේය.

ජීවිතය කොයි තරම් කටුක වුවද ඔහුට එය ගණනක් නැත. කම්කරුවෙකුට ලැබෙන ඉතාම අල්ප වැටුපකින්, ගෙයක් දොරක් නැතුව වුවද බිරිඳත් ලොකු මහත්වූ දියණියන් දෙදෙනාත්  සමග කුළියට ගත් එක කාමරයක ඔහු සතුටින් ජීවත් වීම මට පුදුමයකි. සිනහවෙන්, ගීයක් මුමුණමින් ඔහු වේගයෙන් පයින්ම ගමන් කරයි.
ඔහු කිසිදා සිගරට්ටුවක් බොනු හෝ බීමත්ව සිටිනු මා දැක නැත. කිසිවෙකු වැඩිය මායිම් නොකරන ඔහුව සහ ඔහුගේ මේ අනෙකුන්ගෙන් මට වැඩක් නෑ මගේ විදිය මේකයි නොකියන නමුත් ඒ තුළ ජීවත් වෙන ආකාරයේ චරිතයට සහ සරල පැවැත්මට මා බෙහෙවින් ඇලුම් කළෙමි.

පසු දිනෙක මිතුරන් පිරිසක් අතර සතුටු සාමීචියේ යෙදී සිටින වෙලාවක අනිල්ද අප අතරට පැමිණ විහිඵවක් කර දුර සිට කා සමග හෝ සිනහ වෙමින් කතා කරමින් නික්ම ගිය විට  මා ළඟම සිටි මිතුරාට පැවසුවේ අනිල් නම් අමුතුම වර්ගයේ මිනිසෙක් බවයි.
මගේ ඒ මිතුරා එම ආයතනයේ දීර්ඝ කාලයක් සේවය කල අයෙකු බැවින් සියඵ දෙනාගේම වගතුග ඔහු දනියි.

ඕක මරු මිනිහ බං. ඒ දවස්වල නන්නත්තාරෙ ගියා. අන්තිමට පොඩි එවුන් දෙන්නෙක් ඉන්න මිනිහ නැති ගෑණියෙක්ව කසාද බැන්ඳා

මා පුදුමයට පත්වීමි.

ඒත් මා අදටත් හිතින් ඔහුට අසීමිතව ගෞරව කරමි. ඔහු වැනි අනෙකුන් කියන කරන කිසිවක් නොසලකමින් තමන් තුළ රජවීමට සහ ඒ රජකම සරළ මනුෂ්‍යත්වයෙන් පිරවීමට සමත් අන් කවරෙක්වත් මේ වන තෙක් ඉන්පසු මට මුණ ගැසී‍ නොමැත.


Saturday, 16 June 2012

කරුමය





සියල්ලන්ටම
මා බරක් වී 
එපාවී
අතහැර දමද්දිත්
මට මාව
අත් හැර දමන්නට
නොහැකි වූ කරුමය..