Sunday, 3 April 2011

ක්‍රිකට් අතුරු කතා..



වර්ල්ඩ් කප් එක අවසාන විය. කෝටි එකසිය විස්සක් මිනිස්සුන්ගේ සතුට ළඟ කෝටි දෙකක් මිනිස්සු දුක් වෙයි.
මේ කෝටි දෙකක් මිනිසුන් කුසලානය ගැන සිහින මවමින් සිටින අතර මෝඩයාගේ දවසේ රෑ දොළහට සහන මල්ලක් දෙන්න රජය තීරණය කළේය. ඒ වහාම ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල්,ඩීසල්,භූමි තෙල් හා ගෑස් මිල පහත දැමීමෙනි. ලෝක වෙළඳ පොලෙහි බොරතෙල් හා ගෑස් මිල පහත වැටී ඇති බැවින් මෙම සහනය ලබා දීමට රජය පියවර ගෙන ඇත. (ලෝක වෙළඳ පොළේ මෙම මිළ ගණන් ඉහළ යන විට මෙහි කවදාවත් මිළ ගණන් ඉහළ දැමීමක් සිදුනොවන බව සියල්ලෝ දනිති. ඒ බව නොදන්නේ මියගියවුන් පමණකි).

දැන් බඩ කට පුරා අද සිට ඒ සහන මල්ල ලැබෙනු ඇත.

කොහොම වුණත් ඊයේ රෑ මැච් එක බලන්න සෙට් වූ බැවින් තවමත් ටිකක් කරකැවිල්ල වගේය. ඒ මෙදා සැරේ කප් එක ගේන සටනට අපට අරක්කු බෝතල් දෙකකින් දායක වූ නිසාය. තනි තනියෙන් මැච් බැලූ කාලය ඉවරය. දැන් අලුත් ශ්‍රී ලංකාවේ අපි සෙට් වී මැච් බලන්නෙමු.

මුල් හරිය නියමෙට නැගල ගියත් අවසානේ ඉන්දියානුවන් ජය ලබන බව හොඳහැටි තේරුම් යමින් තිබුණි.
අන්න එතකොට එකා දෙන්නා ද්‍රෝහීන් අප අතරින්ම ඉස්මතු වෙන හැටි බලන්න සිදුවීම කණගාටුවට කරුණකි.
මෙතෙක් වේලා ලංකාව වෙනුවෙන් මැරෙන්න සූදානම් වෙලා හිටිය එකෙක් කීවේ,

"වැඩක් නෑ බං කවුරු දිනුවත් අපි පැරදියි. හෙට අනිද්ද බස් ගාස්තු වැඩිවෙයි. පෙට්‍රල් වැඩි වුණ නිසා බඩුමිල වැඩිවෙයි. ගෑස් වැඩි වෙච්ච නිසා ප්ලේන්ටිය පවා හෙට වෙද්දි කඩකාරයො වැඩි කරල තියෙයි. අපි කොහොමත් පරාදයි. ඉන්දියාව අපේ කණට ගහනකොට ලංකාව අපේ බඩට ගැහුව එච්චරයි"

අනේ අම්මප මුංට පරාජය ළංවෙද්දි පිස්සු හැදෙනවාය.

තව එකෙක් කියා සිටියේ,
"ඉන්දියාව තමයි මේක දිනන්න ඕනි. මොකද අපි ප්‍රජාතන්ත්‍රවාදීන් විදියට වැඩි දෙනාගේ කැමැත්තටයි ගරු කරන්න ඕනි. මොකද ලංකා‍වේ කෝටි දෙකක් මිනිස්සුන්ට සතුටු වෙන්න අවස්ථාව ලැබුණොත් කෝටි එකසිය විස්සක් ඉන්දියානු බහුතරය දුකට පත්වෙනව".
මුංට ප්‍රජාතන්ත්‍රවාදය මතක් වෙන්නේ කෙළවෙන වෙලාවල් වලට පමණි.

මෙතෙක් වෙලා වැඩියෙන්ම අරක්කු ගිලපු එකාද මෙන්න දැන් සිල්වත් වෙලාය. ජාත්‍යාලය ඉක්මවා ගොසිනි. ඌ මේ කිව්වේ අමුතුම කතාවකි.
"ඉන්දියාව කියන්නෙ බුදු වරුන්ගේ දේශයයි. ඒක නිසා අපි බෞද්ධයෝ විදියට ඉන්දියාවට හැම අතින්ම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන්න ඕනි. ඉදිරියටත් බුදුවරුන් බිහිවෙන්නේ ඉන්දියාවේ නිසා අපිටත් ඒ බුදුවරුන්ගේ ආනුභාවය ලැබෙයි නිවන් දකින්න".

නොදකින් ! මේකට නිවන් සැප මතක් වෙන්නේ කෙළින් හිට ගන්න බැරි තරම් බී ගත්තාමය.

මේ කතා වලට ඇහුන් කන් දෙමින්ම මැච් එකේ ඇහැ අලවාගෙන හිටි සිව්වැන්නා කියා සිටියේ හාත්පසින්ම වෙනස් කතාවකි.

"මේ රටේ සාමාන්‍යයෙන් වීරයන්ට අන්දන එකත් ඊට පස්සේ ඒ ඇඳුම් ගලවන එකත් සිරිතක් නිසා අපේ එවුන් මේක දිනන්න බය වෙලාද කොහෙද? මොකද වීරයෝ සහ ද්‍රෝහියෝ අතර තියෙන්නෙ කෙස් ගහක වෙනසක් කියල කතාවකුත් තියෙනවනෙ. කෙස් ගහ පැන්න ගමන් හිරේ විලංගුවේ වුණත් වැටෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපේ එවුන් දිනන්න බයවෙලා ඉන්නෙ"

මේකා දේශපාලන උණකාරයෙක් නිසා අපි නිශ්ශබ්දව සිටියෙමු.

මේ මැච් එකේ අවසාන හරියයි. මහේන්ද්‍ර සිං දෝනි හතරේ පහරකින් ජයග්‍රහණය වාර්තා කලේය. දහවන ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර ගත්තේය. කොහොම වුණත් මේ දුක් විය යුතු අවස්‍ථාවේ මුං සිව් දෙනාම හුරේ පාරක් දමා ඉන්දියානු ජයග්‍රහණයෙන් සතුටු විය. ඒත් සෙට් වූයේ වෙනත් අරමුණක් හිත් දරාගෙනය.

මුං නම් නියම දේශපාලනික සත්වයෝය.


Tuesday, 29 March 2011

කුකුළෙක් ගැන කතාවක්...



මාලතී ඇන්ටි කියන්නෙ අපි කාලයක් බෝඩිම් වෙලා හිටිය ගෙදරක සාඩම්බර හිමිකාරියයි. මේක බෝඩිමක් කිව්වට වෙනමම තියෙන පුංචි ගෙදරක්. ඊට යාබදව තමයි මාලතී ඇන්ටි සහ ඇගේ පුතා පදිංචිව හිටිය නිවස තිබුණෙ.
මෙතැන අපි කිව්වෙ මාත් එක්ක තව යාඵවෝ තුන් දෙනෙක්. අපි එකම රැකියාවක ඒ දවස්වල වල නිරත වෙලා හිටියෙ. මේ තුන් දෙනා තුෂාර, සේනක සහ සුජිත්ය. කොහොම වුණත් මාලතී ඇන්ටිට ඒ කාලෙම වයස අවුරුදු හැත්තෑවක් විතර කියන්න පුඵවන් පෙනුමක් තිබුණා. සේනක නම් කිව්වෙ

“උන්දැගෙ නම මාලතී වෙන්න විදියක් නෑ. ඒ කාලෙ මාලතී කියන නම ලෝකෙවත් තිබුණෙ නෑ. ෂුවර් එකටම සොපිනෝනා වගේ නමක් තමයි ඇන්ටිගෙ ඇත්ත නම වෙන්න ඕනි කියල”

ඒක කොහොම වෙතත් මාසෙ ඉවර වෙද්දි ගාණ කපන උන්දගෙ ජාතකේ කුළීකාරයෝ වෙච්ච අපිට වැඩක් නැති නිසා අපි හොයන්න ගියෙත් නෑ. කොහොම වුණත් මාලතී ඇන්ටි හොඳ මනුස්සයා. නහින දෙහින කාලෙ නිසා ආගම දහමටත් බොහොම ලැදියි. හතර පෝයට නැතත් පාළොස්වක පෝයටනම් නොවරදවාම සිල් සමාදම් වුණා.

මාලතී ඇන්ටිගෙ පුත්‍ර රත්නය පෙදරේරු වෘත්තියේ යෙදුණෙ. ඒ කිව්වෙ මේසන් බාස් කෙනෙක්. ඉතින් බො‍හෝ වෙලාවට ඈත පළාත් වල කොන්ත්‍රාත්තු ලැබුණම දිනපතා ගෙදර එන්නෙ නෑ. වාඩියක් අටවගෙන ඒ තැන්වලම තාවකාලිකව පදිංචි වෙලා වැඩ කරන එක මේ වෘත්තියේ යෙදෙන්නන්ගෙ සාමාන්‍ය පුරුද්දක්. ඒක නිසාමද කොහෙද මාලතී ඇන්ටි තනියට වගේ ගෙදර බල්ලෙක් සහ කුකුළන් කිහිප ‍දෙනෙක් ඇති කලා. කුකුලො කිව්වට බිත්තර දාන කිකිළියො තුන් දෙනෙක් සහ කුකුලො දෙන්නෙක්. එක කුකුලෙක් නම් හද්ද නාකියි කියල පෙනුමෙන්ම තහවුරු වුණා.

අධිනාගරික නොවුණු කලාපයක් නිසා මේ හරිය ගොඩක් ග්‍රාමීය ලක්ෂණ තමයි පෙන්නුම් කලේ. ඒක නිසා නානාප්‍රකාර සත්තුත් මේ හරියෙ හිටිය. දෙපා සිව්පා කියන වර්ග දෙකෙන්ම. ඒ අතරින්ම මාලතී ඇන්ටිගෙ හිත රිදවූයේ නම් හෝතඹුවන් පමණයි. මොකද හෝතඹුවන්ට කුකුළන් ගැන නොනිවෙන ආදරයක් තියෙන බව තමයි උන්දෑ අපිට කියල තිබුණෙ.

දැඩි රැකවල් යොදල තිබුණොත් දවසක් මාලතී ඇන්ටිගෙ නාකි කුකුළ හෝතඹු ප්‍රහාරයකට ගොදුරු වුණා. මේ නාකියා කොහොම හරි රෑ කාලෙ කූඩුවෙන් එළියට පැනගෙන. නාකි වුණත් කුකුළ නිසා වෙන්නත් පුඵවන්. ඒත් හෝතඹුවන්ට තමන්ගේ ප්‍රහාරය සාර්ථක කරගන්න අවස්ථාව‍ නොලැබුණේ කුකුළගේ මර හඞ තැලිල්ලත් ඒ එක්කම එළියට පැන දෙස් දෙවොල් තියන මාලතී ඇන්ටිගෙ ඝෝරනාඩුවත්, ඇන්ටිගෙන් ලකුණු ලබා ගැනීමට දොර මුල්ලෙ තිබුණ විකට් පොලු වලින් දෙකක් අරන් එළියට පැන්න සේනකගේත්, තුෂාරගේත් මැදිහත් වීම නිසයි. මුං දෙන්නට හෝතඹුවන්ට ප්‍රහාරයක් එල්ල කල නොහැකි වුණත් භාගෙට මැරුණු නාකි කුකුළවනම් බේර ගන්න පුඵවන් වුණා. හැබැයි සැකයකට තිබ්බෙ නාකියා භාගෙට මැරුණෙ හෝතඹු ප්‍රහාරයෙන්ද නැත්නම් මුංගෙ විකට් පොලු ප්‍රහාරයෙන්ද කියන එකයි. කොහොම වුණත් ඇන්ටි වගේම මුං දෙන්නත් වගකීම නොපැකිළව හෝතඹුවන්ගෙ ගිණුමට බැර කරල තිබුණ.
කොහොම වුණත් පණ අදින කුකුළට සාත්තු සප්පායම් කරන අමතර රාජකාරිය ඇන්ටිගෙ පිට පැටවුණා. කොහොමත් ඌ උදේ වෙද්දි ජීවත් වෙන ලක්ෂණ පෙන්නුම් කලේ නෑ. ඒක නිසා සුජිත්නම් කිව්වෙ

“හෙට හවස වැඩ ඇරිල එද්දි ගල් බෝතලයක් ගේමු බයිට් එක සහනදායි මිළට ලැබෙන ලක්ෂණ පේන්න තියෙනව” කියල.

කොහොම වුණත් මැරෙන්නත් කළින් මුං කටගැස්මත් හදන්න තීරණය කරල තමයි එදා රාත්‍රියෙ නින්දට ගියේ.
පහු වෙනිද උදේ සුජිත්ව අමන්දානන්දයට පත් කරමින් සුභ පණිවුඩය ගෙනාවේ උදේම වැසිකිළි යන්න එළියට ගිය සේනකයි. කොහොම වුණත් නාකියාව වල දාන්නෙ නැතිව අවසන් කටයුතු භාර ගන්න ඇන්ටි සමග එකගතාවයකට එළඹෙන රාජකාරිය සුජිත් සිය කැමැත්තෙන්ම භාර ගත්ත. කොහොම වුණත් ඉතා සුඵ මොහොතකින් නාකි කුකුළාව නොමිළේම අරගන්න සුජිත්ට හැකියාව ලැබිල තිබුණ. ඉන් පස්සෙ පෙර ආත්මෙක හෝ මස් වැද්දෙක් වෙලා හිටි ලක්ෂණ හැම අතින්ම පෙන්නුම් කල සේනක තමන්ගෙ හසල වෘත්තීය හැකියාව යොදාගෙන සියඵ කටයුතු කරල තාවකාලිකව ඇන්ටිගෙ ශීතකරණය තුළම නාකි කුකුළව තැන්පත් කරල වැඩට ගියා.

හවස් වෙද්දි එකිනෙකාගෙ අතේ තිබුණු සල්ලි එකතු කරල අවශ්‍ය යටිතල පහසුකම් සපයගෙන වෙනදටත් කළින් බෝඩිම් නිවසට අපිට යන්න හැකියාව ලැබුණ. ඉන් අනතුරුව මුං තුන්දෙනා ඉතා කෙටි කාලයක් තුළ සියල්ල ලෑස්ති කලා. කොහොම වුණත් මම නිර්මාංශිකයෙක් බැවින් වේල පහින්ම කරටි කඩා ගැනීම පුරුද්දක් කරගෙන හිටිය. ඉතින් පසු කතාව මට සියැසින් දැක ගත නොහැකි වුණු අතර මේ යාඵවන්ගේ ශ්‍රීමුඛ වලින් ඇසීමට පමණක් හැකි වුණා. එහෙත් නිතරම බොරු, බේගල්, මඩ වලින් පිරුණු මොවුන්ගේ කතා විශ්වාස කිරීමට මම කවදත් මැළි වුණා. මොකද බුදුන්ටත් කතා හදපු මිනිස්සු හිටි ලෝකෙ මාලතී ඇන්ටි වගේ පෘථග්ජන ගැහැණියක් ගැන කවර කතාද?
කොහොම වුණත් සේනකයා කිව්වේ මෙහෙමයි.

“මචං අපි කුකුළගෙන් භාගයක් බයිට් හදල ඉතිරි භාගෙ ඉව්ව ඊයෙ රෑ. කොහෙද උඹ වේල පහින්ම හරහා වැටිල නිදිය ගත්තනෙ”
 “ඉතින් දැන් මොකද ප්‍රශ්ණෙ”
“නෑ කාපු බීපු වෙලාවක හරි කළගුණ සලකන්න ඕනි නිසා අපි ඊයෙ රෑ මාලති ඇන්ටිටත් අරවගෙන් කොටසක් දෙන්න ඇහුව”
“නොදකින් තොපිනම් ඉතින් මොකද අද බෝඩිමෙන් යන්න කියල ඇන්ටි කිව්ව නේද”
“අනේ නෑ බං එහෙම දෙයක් නෑ”
“එහෙනම් මොකක්ද ඇන්ටි කිව්වෙ”
“ඇන්ටි කිව්වෙ මෙහෙමයි. පුතේ දරුවෙක් වගේ හදපු සතාගෙ මස් කන්න පුඵවන්ද? ඔන්න ඔහෙ හොදි ටිකක්වත් දීපල්ලකො එහෙනම්” කියල.


Tuesday, 22 March 2011

ආදරය පිස්සුවක් ලෙස..



මගේ රොමෑන්ටික් ආදරය
කිසි ලෙඩක් නැති
ඔයාගෙ හදවත
සුවපත් කරන්න සිතන කොට..

ඔයාගෙ විකිරණශීලී ආදරය
කිසි ලෙඩක් නැති
ගොඩක් හදවත්
ලෙඩ කරල හොඳටම..



Friday, 18 March 2011

මැතිවරණයෙන් පසු





                                   පාප්ප මත තාප්ප වල
                                   පිපුණු හිනා සිරියාවට
                                   මිලින වෙලා මේ ඩිංගට
                                   හොයන්න බැරි තව කලකට..

                                   වාෂ්ප වන්නට මේ ලෙස
                                   උෂ්ණත්වය සැපයූ විට
                                   වාෂ්ප වන එක නියතයි
                                   ඉවසන් තව සිව් වසකට
                                   තව දර වැඩියෙන් රැස්කර..

Wednesday, 16 March 2011

ගිහින් ඡන්දය දාන්න..



උදේම ගිහින්
ඔබේ ඡන්දය දමන්න
ඡන්දය යනු
ජනතා පරමාධිපත්‍යයයි
එනම්
ඔබේ අලුගෝසුවන්
ඔබම තෝරා ගැනීමේ
ශුද්ධ වූ අයිතියයි..

Sunday, 13 March 2011

ඔරලෝසුව..


(කිසිවෙක් විසින් සකසන ලද ඊමේලයකි)

Tuesday, 8 March 2011

වෛරයේ ඇති ආදරය



මිතුරන්ට වඩා
සතුරන්ට මා කැමැත්තේ
හුස්මක් පාසාම
මා ගැන මතකය
පපුතුරෙහි සඟවා රකින්නේ
මිතුරන් ‍නොව
සතුරන් බැවිනි..