Friday, 6 August 2010
දෙවියන් සම්මුඛයේදී...
ඔබට මතකද බොහෝ කලෙකට පෙර ඔබ මාව පහත්ම අගාධයකට විසිකල අයුරු. ඒත් එදා මම ඔබ කියා මේ පොළොව මත කිසිවෙක්ම හඳුනා නොගත්තෙමි. මා මහ පොළොව මත කිසිවක්ම නොහඳුනන ක්ෂුද්‍ර ප්‍රාණියෙක්ව විමති දෑසින් අවට බලන හැටි ඔබ බලා ඉන්නට ඇති. සත්‍ය නොදැන ඒ පහත් කුණු ගොඩේ මා සිනාසෙනු, හඞනු ඔබ බලා සිටින්නට ඇති.
ඉරහඳ එක්ව හදිස්සියෙන් දවස් බිහි කරමින් මා ඉක්මණට ළමා වියට මුදා හරින විට යුහුසුඵව ලෝකය මා තුළට ඇතුඵ වෙමින් සිටියේ විශ්මයෙන් මා මුසපත් කරලමිනි. දිළිඳු බවේ පත්ලෙන් හිස ඔසවා අවට බැලූ මා දුටු පරස්පරයන් නැවතත් ලැජ්ජාවෙන් සහ වේදනාවෙන් මා තුළම සැඟවීමට හේතු වුණු හැටි කොතනක හෝ සිට ඔබ බලා සිටින්නට ඇති.
කාලය හැල්මේ දිව ගියේය. ශුෂ්ක භූමියක පතොක් පඳුරක්සේ ඔබ මාව ලොකු මහත් කරමින් සිටියේය. අන්ධකාරයට පවා බියමුසුව ගරු කල අම්මා මා වෙනුවෙන් ඔබේ පිහිට යැදීය. ඔබේ කුරිරු නිර්මාණාත්මක ස්වභාවය ගැන එකල මා තුළ පැහැදීමක් නොතිබුණද අසරණකමින් කඳුඵ පිරවුණ පීඩිත අවස්ථාවලදී සියලු අවනඩු හදවතින් ඔබට කියා සිටියේ මොහොතක ඔබ සවන් දෙනු ඇතැයි විශ්වාසයෙනි. එහෙත් ඒ අවනඩු සියල්ල ඔබ විභාගයට නොගෙන ඉවත දමා සිටිද්දී මා අම්මාට කියා සිටියේ,
" අම්මේ තවත් දෙවියන්ව විශ්වාස කරන්න එපා. දෙවියො කියල කිසිවෙක් නෑ. වැරැදීමකින් හරි ඉන්නවනම් බලයයි ධනයයි ඇති තැන්වලට සේවය කරන්නෙක් විතරයි. දෙවියො පිහිට වුණ අසරණ මිනිහෙක් නම් ලෝකෙ කොහොවත් නෑ"
ඇයගේ එකම ප්‍රතිචාරය කවදත් අනුකම්පා සහගත බැල්මක් පමණි.
ඒත් ඒ දක්වා පැමිණි මගත් ඒ වන විට රැඳී සිටි පීඩිත අවකාශයත් මෙනෙහි කල මා ඇයට උපහාසයෙන් සිනාසුණු අයුරුත්, ඇය බිඳුකුදු නොසැලී ඇගේ විශ්වාසය තුළ ජීවත් වූ අයුරුත් ඔබ බලා සිටින්නට ඇත. ඒ විශ්වාසය තුළම ඇගේ ලොව තුළ හිරු සඳු මහඵ වියට පත්ව සදාතනිකව බැස ගියේය.
මම ජීවිතේ මහ ගමනක් පැමිණ සිටිමි. පැතූ කිසිවක් ලැබී නැත. ලැබූ කිසිවක් පැතුවේ නැත. මම හිස් බැල්මෙන් යුතු ගල්පරයක් ලෙස කුණාටු සහිත ජීවිත සයුරෙහි වෙරළ අබියස තැන්පත්ව හුන්නෙමි. අපේක්ෂා භංගත්වයේ උදාසීන මනසින්, මහ උපහාසයකින් ඒ සයුර දෙස බලා සිටිනා හුදකලා කාලාන්තරයන් අතරතුර මම නිරපේක්ෂ සත්වයෙක් වෙමින් සිටියෙමි.
මට අනෙකුන්ව මෙන්ම ඔබවත් සහමුලින්ම අමතකව ගොස් තිබිණ.බලාපොරොත්තු කිසිවක් නොවුණු ඒ හුදකලා අවකාශය තුළ උපේක්ෂාවේ ආලෝකය වැද අහේතුක ප්‍රීතියක් හදවතේ තෙරපෙනු අවධානයෙන් බලා සිටියෙමි. කාල අවකාශ අතරින් නොදත් තුඟු සිරසකින් හදවතට විසරණය වූ ඒ සන්තුෂ්ඨිය හදවත වෙලා ගනිමින් තිබිණ. අමතකව සිටි ඔබව අවසන නැවතත් මට සිහිපත් වූයේ ඒ ප්‍රීතිමත්භාවය තුළ මගේ දෙවන උපත සිදුවෙමින් තිබියදීය. මම පළමුවරට ඔබේ සේයාවක් මනසින් දුටුවෙමි. අනන්ත ආදරය තුළ මා හදවත ලැගුම් ගනිමින් ඔබේ සේයාවේ තීව්‍රතාවය සුපැහදිලි කරමින් ජීවිතයේ අර්ථය වටහා දෙයි.
ඉතින් දෙවියනි,
ඔබේ කරුණාවේ පරිත්‍යාගශීලීත්වයේ අනන්ත ගුණය කෙරෙහි කෘතවේදී බවින් මා ඔබව සෙනෙහසින් ආවර්ජනය කරමි.
කලෙක ලොව පහත්ම කසල ගොඩ තුළ මා රැඳවූ ඔබ මගේ පීඩිත මමත්වය කුඩුපට්ටම් කර තිබුණේ එයින් පිම්බී උද්දච්ච මෝඩයෙකු සේ නැගී සිටින්නට නොහැකි ලෙසය.
මට වැරැහැලි ඇන්දූ ඔබ මා ලැජ්ජාවෙන් මිරිකා දමා විසිතුරු සඵපිළි තුල සැඟවීමට ඉඩ නොදුන්නේය.
එසේ සැඟවීමට හැකිවීනම් ඇතුළතින් මා නිරුවත් වනචාරියෙකු ලෙස අද සිටින්නට බොහෝ සේ ඉඩ තිබිණ. ඔබ එයින් මා වලාකාලීය.
මා කුසගින්නේ තැබූ ඔබ දරා ගැනීමේ අවසන් සීමාවේදී එයින් මා මුදවාලූයේ රඵ අහරකින් මා සතපවාලමින් සාගින්නේ සංවේදනාව මා හද ගැබෙහි සදාකාලික සිහිවටනයක් කරමිනි. එබැවින් සත්වයාගේ සාගින්නේ වේදනාව සමග අද මා ඒකාත්මික වෙමි.
ඔබ මගේ දෙනෙත් නිබඳ කඳුළෙන් පුරවමින් කඳුඵ බිඳුවක සැඟවී පවතින අපමණ නිරාදුක මට එළිදරව් කලේ කිසිදා කඳුඵ පිරි දෑසකින් පලා නොයනා අයුරිනි.
මගේ සෑම ඉල්ලීමක් හමුවේම නෑසූ කන්ව සිටි ඔබ මගේ හැම භෞතික ප්‍රාර්ථනයක්ම රුදුරු ලෙස සුණුවිසුණු කරමින් මගේ ආත්මය සිඟන්නෙකු වීමෙන් මා වලකාලීය.
මා සෙනෙහස පැතූ සෑම මනුෂ්‍ය ප්‍රාණියෙක් තුළින්ම අනාදරයත්, නොතකා හැරීමත්, රැවටීමත්, පිටුපෑමත්, විරහවත්, දුකත් ලබා දෙමින් මා හෙම්බත් කරමින් හුදකලාව තුළ ඔබ මා ස්ථාපනය කලේ මා යදින්නෙකු නොකර ආදරය කිමෙක්දැයි මට පසක් වන අයුරිනි.
අතොරක් නැතිව රෝගාබාධ අනතුරු තුළට මා හෙලමින් සිරුර හා බැඳුණු ආශාවන්ගේ තාවකාලික ස්වභාවය මා අභියසම ඔබ පුනරූපනය කලේය.
විල්ලුද පලස් මත මගේ පිය සටහන් තැබීමට ඉඩ නොදුන් ඔබ කටු කොහොල් පිරි රඵ භූමි තලයෙහි ගැටෙන මගේ දෙපා තුළින් මහ පොළොවේ උණුසුමත් සීතලත් කෙබඳුද යන්න නිබඳ උකහා ගැනීමට ඉඩ සලසා දුන්නේය.
පැතූ හැම සම්පතක්ම අහිමි කරමින් ආශාවන්ගෙන් මා උමතු කල ඔබ බාහිර දේ තුළින් සතුට සොයන ඒ උමතු ආශාවන්ගේ නිස්සාරත්වය මට අවබෝධ කර ගැනීමට ඉඩ හැර බලා සිටියේය.
ඉදින් සතුට මා තුළම රළ නැගෙනු නොදිටිනම් මා ව්‍යාජය තුළම මිය යන්නට ඉඩ තිබිණ.
ඔබේ අවබෝධ කරලීම් මහත් වේදනාත්මක වුවද, බිහිසුණු වුවද ඇට මිදුඵ හරහා ආත්මයට කාවැදුණු එහි සාරාර්ථයන් සොඳුරුය.
තරු අතරක විසිරී ගිය අම්මාගේ ආත්මයේ සිනහවන් මා දකිමි.
දෙවියනි, නැවතත් මාව අඳුරු අහුමුඵ වල වේදනාව තුලට අතහැර දමන්නට ඔබට නොහැකි වනසේ හෙට අරුණෙහි ඔබේ මනරම් උද්‍යානයේ මා විකසිත වෙමි. මා ආදරයෙන් සිප ගැන්මට ඔබට සිදුවෙනු ඇත.
එවිට මහදෙහි අනන්ත කෘතවේදී බව ඔබ සමග ඒකාත්මික වනු ඇත.
Subscribe to:
Post Comments (Atom)
අගනා ලියැවිල්ලක්.....එය ඇත්තේ අප තුලමය...ඒත් අපි ජීවිතය පවතින තුරු වට පිට හැමතැනක එය සොයා ඇවිදිමු.........
ReplyDeleteසත්‍යයට හෝ දෙවියන් දැකීමට බොහෝ පාරවල් ඇත. එය එකිනෙකාගෙන් වෙනස් වේ. එය අප තුල මෙන්ම විශ්වයේ සියළු දේ තුල ගැබ්ව ඇත. අප ඒදෙස බලන ආකාරය අනුව අපේ තේරුම් ගැනීම සිදුවනු ඇත.
ReplyDeleteමැණික්(සුළඟ)
අගෙයි..
ReplyDeleteඔව්.. දැන් තමා ඔයා හරි. මතකද දවසක් මම කිව්වා, ලැබෙන දේ සතුටට හරවා ගන්න ඕනෙයි කියලා. http://poornaloka.blogspot.com/2010/07/blog-post_16.html
ReplyDeleteසතුට වෙන කොහේවත් නෑ. ඒක තියෙන්නෙ අපි ඇතුළෙමයි :)
ස්තූතියි අදහස් වලට ඔබ සියඵ දෙනාටම..
ReplyDelete