Tuesday, 3 January 2012

බත් කෑම..? තේරුමක් නැති සටහනක්..




මේ පහුගිය සති දෙක තුන උදේම දකින්න ලැබෙන මම ආශා කරන දර්ශනයක් තිබුණ. ඉර පායන එකද? නෑ...ඒ කෙහෙම්මල හැමදාම පායනවනෙ. ලස්සනට මල් පිපිල තියෙන එකද? අ‍පොයි නෑ. මේ මම යන පාරෙ මොන මල්ද? පාරෙ දෙපැත්තෙ තියෙන වතුසුදු ගස් ටිකක් විතරයි. හැමදාම උදේටයි හවසටයි පූජා කරන්නයි කියල වටේ පිටේ ඉන්න හැම එකාම ඒ ගස් හම ගහනව. මලින් පිරිච්ච එක වතුසුදු ගහක් දැක ගන්න බෑ. ඒත් මම හැමදාම හිතනව මුංට මේ ගස් ටික හම ගහගෙන යන්නෙ නැතිව ගස් වල තියෙද්දිම ඔය පිපෙන මල් කන්දරාව පූජා කරන්න බැරිද කියල. එහෙම වුණානම් ගස් ටික කොයිතරම් ලස්සනට තියෙනවද.

ඒක නෙවෙයි දර්ශණය. වයසට ගිය මිනිස්සු ටික විතරක් මම උදේට යන පාරෙ දකුණු පැත්තෙ තියෙන කුඹුරු යාය එක්ක ඔට්ටු වෙන එක. පාර අයිනෙම තියෙන කුඹුරු කෑල්ල හැමදාම වැඩ කරන්නෙ වයස අවුරුදු හැත්තෑවක් විතර විය හැකි බව උපකල්පනය කල හැකි මනුස්සයෙක්. මේ සැරේ කුඹුර සම්පූර්ණයෙන්ම මඩ කරල නියර බැඳල වපුරන්න එයාට හරියටම දවස් පහළොවක් ගිය බව මම දැක්ක. උදැල්ල කර තබාගෙන සරම කැහැපට ගහගෙන උදේ හත වෙද්දි කුඹුරට එන ඔහු හෙමින් හෙමින් තමන්ගෙ මහඵ වුණත් ධෛර්යසම්පන්න ශක්තියෙන් කුඹුර මඩ කරන හැටි දකිද්දි හිතට දුකකුත් ඇති වෙනව. මේ වයස ඇත්තටම වැඩපල කල යුතු වයසක්ද? ඒත් පීදිගෙන එන ගොයම දකිද්දි මට මෙහෙම සතුටක් දැනෙනවනම්, ඔහුගේ මහඵ හිතට කොයි තරම් සතුටක් දැනෙනව ඇත්ද? ඔවුන්ට ජීවිතේ පුරා තමන්ම හදපු කුඹුරකින් බත සපයගන්න එක සතුටක්. මේ තරම් වයසට ගියත් මහ පොළොවට බරක් නොවී මහ පොළොව සරුසාර කරන ඒ ශක්තිය මහ පොළොවට ආශිර්වාදයක්.

එතකොට අපි..

මොකක් හරි කුරුටු ගාල පුටු රත් කරන පරපුටුවො. මේ කුරුටු ගෑම නොකෙරුණත් ලෝකය පවතිනව. ඒත් මහ පොළොව එක්ක ඔට්ටු වෙන මනුස්සයෝ වෙන වැඩක් බලා ගන්න ගියොත් මනුෂ්‍ය වර්ගයාට පවතින්න බැරි වෙනව. වැඩ කිරීමේ මෙන්ම ආහාර ගැනීමේත් සැබෑ සතුටට මෙන්ම තෘප්තියට උරුමකම් කියන්නෙ ඔවුන් මිසක් මේ අපිනම් නෙවෙයි.
ඒත් මේ උදේට මම පහුකරන පාරෙ වම් පැත්තෙ තියෙන කුඹුරු යායත් මීට අවරුදු පහ හයකට කළින් මම ප්‍රදේශයට එද්දි අපූරුවට අස්වැද්දුණා. ඒත් දැන් නම් මේ වම් පැත්තෙ කුඹුරු යාය එහෙම පිටින්ම පුරන් වෙලා ගිහින්. වැඩිහරියක් හබරල ගාලක් වෙලා. වතුර නැති නිසාද? නෑ ඔය තියෙන්නෙ වතුර අපූරුවට. මෙදා සැරේ අලුතෙන් ඇලත් කැපුව ‍ඩෝසරයක් ඇවිත්.
කොහොම වුණත් දකුණු පැත්තෙ කුඹුරු යායෙනුත් සැලකිය යුතු කොටසක් වැඩ කෙරෙන්නෙ නෑ. ඒ ඒවයෙ අයිතිකාරයන්ට කුඹුරු වලට බහින්න වෙලාවක් නැතුව ඇති. වැඩ කරන ටිකත් වැඩ කරන්නෙ අර වගේ මහඵ වියට පත්වුණු හෝ පත් වෙමින් සිටින අය විතරයි.

එතකොට කොල්ලො..
දැන් මේ පැත්තෙ ඉන්න කොල්ලො ඕවට කැමැති නෑ. අපි වගේ පුටු රත් කරන රස්සා නැති වුණත් උන් කැමැති නෑ ඇගේ පතේ මඩ නාගෙන කරන මේ සෙල්ලමට. ගොඩක් ඉන්න තරුණ පරපුරේ අය කරන රස්සාව තමයි ත්‍රීවීල් රස්සාව. උන්ට ඕනි අනුන්ගෙ හරි ත්‍රීවීල් කටුවක් සෙට් කරගෙන ගම මැදින් හයියෙන් සිංදුවක් දාගෙන ඉගිලෙන්නයි. ඊට පස්සෙ හන්දියේ පාර්ක් කරගෙන යන එන මිනිස්සු දිහා කොක්කු වගේ ඉහ දික් කරගෙන බලන් ඉන්නයි. නැත්නම් ත්‍රීවීල් ටික පාර්ක් කරල කට්ටිය කයිවාරුවකට සෙට් වෙලා සිගරට් ඇද ඇද හයර් එකක් සෙට් වෙනකම් බලන් ඉන්නයි.

හයර් එකක් ගිහින් ආවම හන්දියේ චන්දනයගෙ හෝටලයෙන් සෙකන්ඩ් හෑන්ඩ් වඩයක් කාල බල්ලෙකුට බොන්න බැරි ප්ලේන්ටියක් බීල ආයෙත් සිගරැට්ටුවක් පත්තු කරගන්න මේ ගමේ කොලු සෙට් එක හරි කැමැතියි. තමන්ගෙ කුඹුරු පුරන් වෙලා භාගෙට භාගයක්. උන්ගෙ තාත්තල සීයල දැන්‍ ලෝකෙන් විශ්‍රාම යන්න කිට්ටු කොරලත් බැරි මර ගාතෙ මහ පොළොව එක්ක ඔට්ටු වෙනව.

එක අතකින් කොල්ලන්ට ලැජ්ජයි මඩ නාගෙන දඟලන්න. කවුද ගණන් ගන්නෙ කුඹුරෙ මඩ නාගෙන දඟලන ගොයියන්ව. අස්වැන්න නෙලන කාලෙට වෙළෙන්ඳන්ට විතරක් ආ‍දරේ හිතෙන මේ ගොයියන්ව කවුද ගණන් ගන්නෙ. අඩුම ගාණෙ කෙල්ලෙක්වත් බලනවද මඩ නාගෙන කුඹුරෙ ලැග්ගොත් මේ කොල්ලො දිහා. ඒ ‍වගේද ත්‍රීවීලයක, බයිසිකලයක නැගිල යද්දි මාර ගැම්මක් තියෙනව. ලෝකෙත් එක්ක මුහු වෙන්න පුඵවන් විදියෙ ගතියක් දැනෙනව හිතට විතරක් නෙවෙයි ඇඟටත්. ඉතින් කුඹුරු වල ලැග්ගොත් එකෙක්වත් ගණන් ගන්නෙ නෑ. බත් කන කොට මටත් අමතක වෙනව හාල් එන්නෙ මඩ එක්ක ලගින මිනිස්සුන්ගෙ දාඩිය මහන්සියෙන් කියල. මට මතක් වෙන්නෙ කඩවල තියෙන හාල් ගෝනි විතරයි. ඉතින් හවසට ටයිල් කරපු වායු සමනය කරපු ෆුඩ් සිටි එකකින් හාල් පැකට් එකක් අරන් යන නෝනල මහත්තුරුන්ට කොහොම දැනෙනව ඇත්ද කියල මම තවම හිතනව.

ජනාකීර්ණ හන්දියේ නැත්නම් ඇති වෙමින් පවතින නගරයේ ඉඳල මම ඉන්න ගමට සැතපුම් දෙකක් විතර තියෙනව. ගමේ හවසට විතරක් ආප්ප කඩයක් දාගෙන කම්මැලි කමට පොඩි ව්‍යාපාරයක් කරගෙන යන ‍පියරත්න අංකල් නම් කියන්නෙ මේ ඔක්කොටම හෙණේ විවෘත ආර්ථිකේලු. එයාට කුඹුරු නෑ. ඒත් පුරන් වෙන කුඹුරු දකින් එයා‍ගෙ හිතට හරිමදි  කියල තේරෙනව කතා කරද්දි.

වැඩක් නෑ මහත්තයෝ.. පොළොව එක්ක ගණුදෙනුව කරන්න අකමැති වෙච්ච සමාජයක් තමයි දැන් තියෙන්නෙ. තව කාලයක් යද්දි හැම එකාම අතේ සල්ලි තියෙයි. ඒත් පිට රටින් බඩු නොලැබෙන වැඩක් වුණොත් සල්ලි තිබ්බට හාල්, එළවඵ නැතිවෙයි මේ විදියට ගියොත්. මේ රට කෑවෙ විවෘත ආර්ථිකය මහත්තයෝ. හැම එකාම ක්ලීන් ජොබ් එකකින් කුණු ගා ගන්නෙ නැතිව ජීවත් වෙන්නයි දැන් උත්සාහය. ඒත් කන බොන දේවල් අහසින් දෙයියො හලන්නෙ නෑනෙ.

පියරත්න අංකල්ගේ නන්දෙඩවිල්ල මටත් මහ වදයක් වෙනව වෙලාවකට. නිකන් ඉද්දි හුළං පාරක් වැදෙන්න හවසට එළියට බැහැල පියරත්න අංකල්ගෙ ලෑලි කඩේ ළඟට යන්නෙ පුරුද්දකට වුණත් එයාගෙ දේශපාලන කතා මට ඇලජික්.

ඔය උඩ තියෙන දේශණය මට අහන්න ලැබුණෙ මේ පෙරේද හවස. ඒත් පියරත්න අංකල් කියන තරම් කොල්ලො සල්ලි වලට වහ වැටිල නැති බවත් උන්ට ඕනි ජීවිතේ විඳින්න කියලත් මට තේරුණෙ ඒ එක්කම ආප්ප කඩේ පහුකරගෙන ඉගිල්ලිලා ගිය උස මංජුලයගෙ ත්‍රීවීල් එක දැක්කම. ඒකෙ පිටිපස්සෙ ලියල තිබුණ,

සැප විඳින්න කාසි නැතත් හිනාවෙනව හැමදාමත් කියල.

පියරත්න අංකල්ට පිස්සු. ලෝකය දියුණු වෙනව දවසින් දවස. අද ඉන්න පොඩි එවුන් ඉගෙනගෙන මතු දවසක කෑම නැතුව ජීවත් වෙන්න පුඵවන් ක්‍රමයක් හොයා ගනියි.
එතකොට බැරියැ උස මංජුලල වගේ එවුන්ට කාසි නැතත් සැපක් නැතත් හිනාවෙලා හැමදාම ඉන්න.
මමනම් ඒ කාලෙ වෙද්දි මැරිල ඉඳියි. මොකට හිතනවද ඕව ගැන. කෙහෙම්මල්.
කුඹුරු...
විවෘත ආර්ථිකේ..
සල්ලි..........................    විකාර...


12 comments:

  1. ඔව් ඔව් ඔවා ගැන නොහිතා ඉන්න තරමට හොඳයි

    ReplyDelete
  2. නෑ.. මේව ගැන හිතන්න ඕන. ඇත්තම කිව්වොත් හිතන්න ඕන මිනිස්සු මේ ගැන නොහිතන එකයි අවුල. උන් කොහොමත් හිතන එවුන් නෙවෙයිනෙ. එහෙම කියල අපිට ඒ වගකීමෙන් ගැලවෙන්න බෑ. තමන්ට තියෙන ඉඩක මොනව හරි දෙයක් වගා කරන්න අපට පුළුවන් තවම. ඒත් මමත් එහෙම කරන්නෙ නෑ. පුටු රත්කරමින් ඉඳල හවසට ගෙදර ආවම ඉන්ටනෙට් එකට එබිල කාමරේ පුටුවත් රත්කරන වැඩේ විතරක්ම කරන අතරෙ අර වගේ මහන්සි වෙන වැඩක් කරන්න තියෙන කම්මැලිකම... අපේ අහේතුව ඒක.

    මේක කියවගෙන එද්දි අතීතෙ මතක් වුණා. මාත් එක්කම ඒලෙවල් ලියල සබරගමුවෙ කෘෂි උපාධිය කරමින් හිටපු ගජ මිත්‍රයෙක් එක්ක හැමදාම කයිය ගහපු බොහොම කිට්ටු ආශ්‍රයක් තිබුණ කාලෙක අපේ හීනයක් වුණේ තාක්ෂණික ගොවිපලක්. මඩ නැති නූතන වගාවක්. ඒ ගැන ඉගෙනගන්න බිඳුනුවැව ගොවිපලට යන්නත් අපට හීනයක් තිබුණා. අපි අදටත් හිතන්නෙ ලෝකෙ හොඳම කෙරුවාව වගාව කියල. නමුත් අද ඌ දියතලාවෙ ඇකඩමියෙ අයි.ටී. උගන්වනවා. මම පුටු රත් කරනවා.

    හැබැයි අනාගතේ උදාවෙයි කියල හිතන්න පුළුවන් දවසකදි ආයෙමත් ගොවිතැනට ‍මීට වඩා තැනක් ලැබෙයි කියන විශ්වාසය මට තියෙනවා.

    අන්තිමේ මට ඉවර කරන්න වෙන්නෙත් උඹ ඉවර කරපු තැනින්මයි. මිනිස්සු සීරියස් නෑ මචං. දැන් ලෝකෙ තියෙන්නෙ ආතල් විතරයි.

    වික්හාර... :-|

    ReplyDelete
  3. මාත් පොඩි කුඹුරක් කෙ‍ටුවා කාලයක්....පස්සේ ඒක පුරං උනා...

    ReplyDelete
  4. ඔ්ක මෙහෙමයි! ගොවිතැන කියන එකත් පරිණාමයක් වෙන්න ඔ්න. for eg (අපේ සුසන්ත සෑර් කිව්වෙ) ලංකාවෙ ගොවිය කියන්නෙ එතරම් දැන උගත් කෙනෙක් නූනට (අපහාසයක් නොවේ) ජපානෙ ගොවිය එහෙම නෑලු. මේකෙ අවසාන ප්‍රතිපලය තමයිලු ලංකාවෙ ගොවිය ඉඩකඩ ගොඩක් වියදං කරල ලබාගන්න ප්‍රතිපලයට වඩා ටිකක් වැඩි යමක් ජපන් ගොවිය අඩු ඉඩක් තුල ලබා ගැනීම.

    ReplyDelete
  5. මම ඒලෙවල් කරලා ඉන්න ගමන් එතනින් එහාට මොකද කරන්නේ කියලා හිත හිතා ඉන්න ගමන් දවසක් මුණ ගැහුනු පරිඝණක ආයතනයක උසස් රැකියාවක් කරන බොහොම උගත්, ඒ වගේම පරිසරයට බොහොම ලැදි සර් කෙනෙක්ගෙන් ඇහුවා අයි ටී වලින් උසස් අධ්‍යාපනය හදාරන්න පුළුවන් ක්‍රම ගැන. සර් මොකක්ද දන්නවද කිව්වේ..

    "ඇයි පුතාලා ඔයාලා මේ අයි ටී ම තෝරගන්නේ. මේ යන විදිහට ඉස්සරහට අනිත් ජොබ් වලට කවුරුත් නැති වෙයිද මන්දා. ඔයාලා ආසා නැද්ද කෘෂිකර්මය පැත්ත්න් ඉගෙන ගන්න. ඉස්සරහට කෘෂිකර්මාන්තයට හොඳ තැනක් ඒවි අනිවාර්යයෙන්ම"

    එවෙලේ මට මොකක්ද දන්නවද හිතුනේ

    "සර්ට විකාර!"

    ReplyDelete
  6. මම හැම අවුරුද්දෙම නිවාඩුවට ලංකාවට ගිහින් එන්නේ අත් දෙකේම කරගැට තුවාල පුරවාගෙන. එතකොට මගේ අත් දෙක කොච්චර ගොරෝසුද කිවුවොත් මුණ අතගැවොත් හීරෙන තරමට ! මගේ පුංචි වතු කෑල්ලේ මං වැඩ කරන්න ආසයි.. අපේ පවුලේ කට්ටිය නම් කියන්නේ තාත්තීට පිස්සු.. වැඩ කරන මනුස්සයට එක කරන්න නොදී නහිනවා කියල. එකේ සොමිය දන්නේ මමයි..

    ReplyDelete
  7. @ සරත් ලංකාප්‍රිය
    බොට ෂුවර්ද අතේ කරගැට ආවෙ කැත්තෙ උදැල්ලෙ වැඩ කොරල කියල?

    ReplyDelete
  8. හේනක් කොටන්න නං කවුරුත් ආස වෙයි!

    ReplyDelete
  9. අපේ මිනිස්සු ගොවිතැන කියන එක පහත් කරල සලකන නිසා තමයි අලුත් පරපුර ඒකෙන් ඉවත් වෙන්නෙ.
    යමක් කමක් ඉගෙන ගෙන ඔෆීසියක රස්සාව කරන්න කවුරුත් කැමැති ඒකයි. වැරැදිලාවත් විශ්ව විද්‍යාලයක ගිය එකෙක් කුඹුරු කෙටුවොත්, දාඩිය මහන්සියෙන් වැඩක් කළොත් ඒක අපේ රටේ පත්‍රවලට හොඳ ප්‍රවෘත්තියක්. ඒ තරම්ම ගොවිතැන කියන එක නූගත් මෝඩයෝ කල යුතු දෙයක් ලෙසයි ඔවුන් ඉස්මතු කරල පෙන්වන්නෙ. ඇයි දැන උගත් උන් දාඩිය මහන්සියෙන් හරි හම්බ නොකල යුත්තෙ. පුටු රත්කරන පරපුටුවො වෙන්නම ඕනිද? දැන උගත් එකෙක් පුටු රත්කරනවට වඩා කුඹුරක් කොටනවනම් ඒක ශ්‍රේෂ්ඨයි කියන එක අපේ උන් තේරුම් ගන්න දවස කවද එයිද?

    ReplyDelete
  10. මාත් මාර ආසයි කුඹුරක් කොටන්න. අපිට කුඹුරු නෑ. ඒ උනාට අපේ අප්පච්චිත් එක්ක අඳේට කුඹුරු කලා. ඒ දවස්වල මාර ජොලි. මඩේ බැහැලා පැල හිටවන එක මරු. අමාරුයි තමා ඒත් එල !!

    ReplyDelete
  11. පුංචි කාලේ ඉඳලම මම ඉඳපු එළවලු පලතුරු ගස් වල පලදාව බලල සතුටු වෙලා තියෙනවා මමත්
    මම දැන් කරන රස්සාව පුටු රත් කිරීමක් නොවුනත්, මම ගැටෙන්නේ ලෝකේ තියෙන බොහොම ඉහල තාක්ෂණයක් එක්ක
    ඒත් හිතේ කිසිම සතුටක් නැහැ

    තනිකරම අපිට පරණ විදිහට ජිවත් වෙන්න බැරි උනත් තාක්ෂනය සහ පැරණි ක්‍රමය යන මේ දෙක සමගාමිව ගෙනියන්න පුළුවන් කියල මම විශ්වාස කරනවා
    ඒ නිසා ආපහු ගමට යන එක තමයි මගේ හීනේ

    ReplyDelete
  12. ඕකෙ මෙහෙම දෙයකුත් තියෙනව අවුටො. ඔය කරගැටේ කැඩෙන සන්දියෙ කවුරුත් ඔහොම උනාට පොඩ්ඩක් තලතුනා වෙද්දි ඔය කුඹුරු තියෙන වැඩිදෙනෙක් නොදැනීම ඔය අතඇරල දාන කුඹුරට බහිනවා. විවිධ හේතු ඇති.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.