Wednesday, 19 October 2011

දුමින්දලා මොළය පශ්චාත්භාගයේ තියෙන මෝඩයෝද?






දුමින්දට මොළයක් නැති ‍බව පහුගිය දිනවල ඔහුගේ මරණය පතන බොහෝ දෙනා ප්‍රකාශ කලෝය. ඔහු මෝඩයෙක් බවද, හරකෙක් බවද තැන් තැන් වල ලියා තිබුණේ  ඔඵවට වෙඩි වැදිණි නම් දුමින්දගේ මොළයට හානියක් සිදුවිය නොහැකි බව පවසමිනි. දුමින්දට මොළයක් වීනම් එය ඔඵවේ නොවන පශ්චාත්භාගයට අයත් තැනක තිබිය යුතු බවට බොහෝ දෙනාගේ උපකල්පනය විය.

ඒත් දුමින්ද මොළයක් නැති මෝඩයෙක්ද?

මොළයක් නැති එකෙකුට සිල්ලර කඩයකින් පටන් ගෙන දවසකට මිලියනයක් හෝ වියදම් කල හැකි මිනිහෙක් විය නොහැක.

එසේම නීතියක් තියෙනවා යැයි කියන රටක ඔහු මෝඩයෙක් නම් නීතියට ඉහළින් මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ පාතාළ කටයුතු වල ඇතැම් මාධ්‍ය වල කියවෙන පරිදි නිරත විය නොහැක. එසේම නීතියෙන් තහනම් වූ තම පවුලේ ගුවන් විදුලි නාලිකාව දෑත් ශක්තිමත් කිරීමෙන් පමණක් ‍මොහොතකින් ආපසු ලබා ගත නොහැක. එසේනම් එතන මෝඩ වී ඇත්තේ හෝ හාස්‍යයට ලක්වී ඇත්තේ නීතිය මිස දුමින්ද නොවේ.

කුඩු ජාවාරමට සම්බන්ධ බවට පාර්ලිමේන්තුවේ පවා කියවෙද්දී නීතියේ එක ඇඟිල්ලක්වත් ඔහු දෙසට ඔසවන්නට තරම් අබ්බගාත වූ නීතියක් ළඟදි, පොලිස් දෙපාර්තමේන්තුවක් ළඟදි මෝඩ වී ඇත්තේ දුමින්ද නොවේ.

එසේම රැකවලේ යෙදෙන පොලිස් හෝ හමුදා නිළධාරින් ඉදිරිපිටදීම මහ දවල් දාමරික කම්, මැරකම් වල නියලිම මෝඩයෙකුට කල නොහැක. මෝඩයන් සේ ඒ සියල්ල නොදුටූ ලෙස බලා සිටින්නට සිදු වූයේ පොලීසියට හෝ හමුදාවටය.

අවසාන වශයෙන් එක් අතපසු වීමකින් වෙඩියක් වැදුණු පමණින් ඔහු තවම මෝඩයෙක් වී නැත. මිනීමරුවා කියා බහුතරය අත දිගු කරද්දීත් ඉහළ රාජ්‍ය මට්ටමේ ආරක්ෂාව සහ වෛද්‍ය ප්‍රතිකාර ලැබිය හැකි මට්ටමකට ඔහු පැමිණ සිටීනම් ඔහු මෝඩයෙකු නොවේ. ඒත් ඔහුට අත දිගු කල සියල්ලන්ම ඔහු ඉදිරියේ මෝඩයන් වී හමාරය.

භාරත ඝාතනයේදී ඔහු සහ ඔහුගේ සහචරයන් සෘජුවම අවි ඔසවා මැදිහත් වුණ බවට සාක්ෂි ඇතැමුන් ලබා දී තිබෙන තත්වයක් තුළ ඔහුව අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ ප්‍රතිකාර ලබා දිය යුතු බව ඇතැමෙක් පවසද්දී රජයේ වගකිව යුතු නිළධාරීන් විසින්ම භාරත ඝාතනයට ඔහු සම්බන්ධ බවට තොරතුරු නැතැයි පවසන තත්වයක් තුළ ඔහු කිසිදා මෝඩකමක් කර නැති බව තහවුරුවේ. මෝඩයන් බවට පත් වෙමින් සිටින්නේ ඔහු අත් අඩංගුවට ගැනීම පිළිබඳ සිහින දකින්නන්ය.

‍එසේම යළි සුවපත් වී පැමිණෙන ඔහු නැවතත් තමන් නැවතූ තැනින් කරමින් සිටි සියල්ල හෙට දින අරඹන විට මෝඩයන් වී සිටින්නේ ඔහුද?

රූපවාහිනී නාලිකාවක් සහ දුරකතන සමාගමක අයිතිකරුවෙකු වීනම් මේ රටේ ජනාධිපති වීම තමාට මහ දෙයක් නොවන බව ඇතැම් පුවත් අඩවි වල වාර්තා කල පරිදි දුමින්ද පැවසූවේනම් එය මෝඩ ප්‍රකාශයක් නොවනු ඇත. ඔහුගේ බුද්ධිය විසින් මේ රටේ බහුතර ජනතාවගේ මානසික යථාර්තය තේරුම් ගෙන ඇත. කුළී ලියන්නන්, කුළී විද්වතුන් ඕනෑ තරම් සිටින රටක ඒ දෙක පමණක් තිබේනම් නිල් පාටට, කොළ පාටට හෝ රතු පාටට ගොන්නුන් හැට හැත්තෑ ලක්ෂයක් නිර්මාණය කල හැකි බව මේ ආශ්චර්යමත් දේශයට ඉහළින් ගෙවී ගිය කාලය සාක්ෂි දරයි.

ඔවුන්ට ඉහළින් මැස්සෙක්සෙකුටවත් පියාඹිය නොහැකි ලෙස පරිසරය ගොඩ නැගූ ඔවුන් මහ මොළකාරයන්ය. එවන් දුමින්දලා, මර්වින්ලා හැරුණු විට අපි සියල්ලන්ම මොළයක් නැති මෝඩයන් විය හැක.

මේ පවතින විදිය සියඵම දුමින්දලා වෙනුවෙන්ය. එබැවින් කිසිම දුමින්ද කෙනෙක් මොළයක් නැති මෝඩයෙක් නොවේ. ඒත් එක වරක් හෝ මේ දුමින්දලා වෙනුවෙන්ම නිමවුණ ක්‍රමය හෝ දුමින්දලා නියෝජනය කරන කිසියම් බලමුඵවක් වෙනුවෙන් සිතුවිල්ලකින්, වචනයකින්, කතිරයකින් හෝ දායක වී සිටින්නේනම් අද දුමින්දට මොළයක් නැති මෝඩයෙක් කියන සියල්ලන්ම අන්තම අන්ත මොළයක් නැති මෝඩයන්ය. පරාජය වන්නේද, පීඩිත වන්නේද, අපේක්ෂා භංගත්වයට පත්වෙන්නේද, කෙළවා ගන්නේද ඔවුන් මිස දුමින්දලානම් නොවේ.

එබැවින් පළමුව දුමින්දලාගේ මර්වින්ලාගේ මොළය ඇති තැන ගැන උපකල්පනය කරන සියල්ලන් තමන්ගේ මොළය පවතින්නේ කොතැනද යන්න පිළිබඳවත් සොයා බලන්නේනම් වඩා හොඳය.

Tuesday, 11 October 2011

වෘක මරණය පතා..




පිපිරෙන්න හදිස්සිව
රතිඤ්ඤා වැලක් අර
හාවුන්ගෙ තිප්පොලේ..

මධුපෙරා සාදයට
බලන් ඇත මුවරැලක්
නිදි වරන් රෑ පුරා..

ලේ රතැ’ස් වැසී යන
ප්‍රීතියේ පණිවුඩය
ගෙනෙන්නට මග බලන්
කුරුල්ලන් ගුවනතයි..

මෘගයින් පණ පෙවූ
වෘකයා අඩපණයි
වියරුහුණු වෘකයින්
වියරු සුසුමන් හෙලයි..


Thursday, 6 October 2011

ධනපති කඳවුරේ පොඩි එකෙක්ගෙන්..




කවුද ඒ සීයල
කොහේදෝ රටක
හිටියයි කියන
උපන්තේකට රැවුල නොකපපු..

අනේ ඒ සීයල
හිටෝපු ගස් වලින් තාමත්
මරා ගනිමින් අර
ගෙඩි කඩන් විකුණයි
ගහක් පැලයක් ඇටයක්
කිසිදාක නොහිටෝපු
මෙන්න මෙහෙ මාමල
රැවුලුත් වවාගෙන...


Sunday, 2 October 2011

ගෞරවය කෙළෙසන්නන්ට දඞුවම



උසස් හොරකමේ
ගෞරවය කෙලෙසන
පොඩි ප‍හේ හොරුන්ට
දඞුවම මරණයයි..

Thursday, 29 September 2011

සංවර්ධනය එන්න හනිකට බුල්ඩෝසරයක් සමග..




 හන්දිය මැදට වෙන්නට
ටකරන් දෙක තුනක් අටවා
සරම් කෙටියෙන් පමණක්
විළි වසාගත් කැත
බඩ තඩි කොටා විකුණයි
බුලත් විට..

මහපාර පුරාවට
රතුපාට පැල්ලම් මවා ඇත
නොදැමුණු අසික්කිත
විට හපන්නන් එක්ව..

වම්පස පාර අද්දර
මළකඩ කාපු කූඩුවක
කිළිටි හැඳගත් කෙට්ටු
මළ පෙ‍රේත මිනිහෙක්
විකුණයි දවසම
කෑ ගසා ලොතරැයි..

යුග ගණන් පැරැණි
බස් නැවතුම කැඩුණු
අපිරිසිදු හිඟන්නන්ට
පාදඩ ගැටයන්ට
හෙවණ සපයන කැත අර..

කපටි වෙළෙඳුන් එක්ව
කෑ ගසා විකුණන
වේලුණු කුණුවුණු
එළවඵද පළතුරුද
මිළදී ගන්න පොරකන
අව්වට පිච්චුණ
කේඩෑරී වක ගැහුණු
ස්ත්‍රී පුරුෂ පන්චස්කන්ධ
එහෙ මෙහෙ යනෙන
අපුල පොළ භූමිය..

ඉටි කොළ මස්තකෙහි
අරුමෝසම්ද, රෙදිපිළි
අතුරගෙන මොර දෙන
පදික වෙළඳුන් වටේ කැරකෙන
කැත ඇඳුම් හැඳගත්
අමන බයියන්
අවහිර කරත මහමග..

‍මේ කැත නපුර
පලවා හරින්නට
සංවර්ධනය පැමිණෙන්න
බුල්ඩෝසරයක්,
බැකෝවක් සමග
යුහුසුඵව හන්දියට..



Thursday, 22 September 2011

ඔඵවේ ගැඹුරක සිට..



මේ ශරීරය තුළ “මම” ඉන්නෙ ඔඵව ඇතුළේ යම් තැනක බව පළමු වතාවට මට වැටහී ගියේ අදයි. ඔව් එක වරම මට දැනී ගියා ඇත්තටම මම ඉන්නෙ ඔඵව ඇතුළෙ හිර වෙලා කියල. එතකොට ඉස්සරනම් කකුල් වල, කඳේ, අත්වල, බෙල්ලෙ මම ඉන්න බව මම හිතාගෙන හිටිය. ඒත් කකුල් වල මම නෑ. ක‍ඳේ බඩේ, අත්වල මම නෑ. බෙල්ල හරියෙත් මම නෑ. ඒව නිකම්ම ඇටකටු, මස් වැදැලි විතරයි රුධිර නාල, ස්නායු නාල ‍ගොන්නක් දරාගෙන ඉන්න.


මට දැන් විශ්වාසයි ඔඵව ඇතුළෙ යම් තැනක තමයි මම හිර වෙලා ඉන්නෙ කියල. මට ඕනි වෙලා තියෙනව ඒ ඔඵවෙ හිරවෙලා ඉන්න මාව එළියට ඇදල අරන් කොයි වගේ එකෙක්ද කියල බලන්න. ඒක කරන්න පුඵවන් වුණොත් මට විශ්වාසයි මම ඇටකටු ‍ගොඩක්, මස් ගොඩක්, රුධිර ස්නායු නාල ගොඩක් වෙන්නෙ නෑ කියල. මට තවම හිතා ගන්න බෑ ඒ දේවල් නැති මම කොයි වගේ කෙනෙක් වෙයිද කියල.

මේ විචිත්‍ර ශරීර අපි නොදන්නා, අපිට නොපෙනෙන කිසිවෙක් නිර්මාණය කරද්දි අපි ඒවගෙ ඔඵ වලට රිංග ගත්ත ගන්ධබ්බයෝ කොටසක්. හරියට වේයො හදන තුඹස් වලට රිංගල පදිංචි වෙන නයි වගේ. පරණ රජවරු හරියටම හරි. බෙල්ලෙන් ඔඵව එක කඩු පහරකින් වෙන් කළාම ඔඵ වලට රිංගගෙන ඉන්න මේ සත්තු බෙල්ලේ සිදුරෙන් එළියට පැනල යනව ඇති. මේ සත්තු ඉන්නෙ ඔඵවෙ බව මට දැන් විශ්වාසයි. ඔඵව කුඩු කළාට පස්සෙ එකෙක්වත් ආයෙත් ඒ ඔඵවල හොයා ගන්න නෑ කියල අවිඥානිකව වුණත් අනෙක් ඔඵවල ඉන්න උන් දැනගෙන ඉඳල තියෙනව අතීතයේ සිටම.

ඒත් මට අවශ්‍ය වෙලා තියෙනව බෙල්ල කපා ගන්නෙ නැතිව ඔඵව කුඩු කරගන්නෙ නැතිව ඒකෙන් එළියට එන්න. එතකොට මට පුඵවන් වෙයි මම නැති විට මේ ඔඵව කොහොම හැසිරෙයිද කියල බලා ගන්න.

කොහොම වුණත් අහක යන ඔඵ වලට රිංගාගත් සත්තු හරිම විකාරයි. උන් ඒවගෙ ඉඳගෙන අත් පා, කඳ බඩවල් වෙනුවෙන් අසීමිතව පෙනී ඉන්නව. ඒ ඇටකටු, මස් ගොඩවල්, ඇතුළෙ දුවන එක එක රතු පාට ලෙයින් පෙඟුන වැල් ගොඩවල්, මඵ ගොඩවල් පුරවන්න ඔඵ තුළ ඉඳගෙන පිස්සු නටනව.
අනෙක් ඔඵගෙඩි වල ඉන්න එවුන් පාලනය කරන්න හදනව. ඒ මොකටද තමන් ඉන්න ඔඵව දරාගෙන ඉන්න කඳේ තියෙන අර ජරා ගොඩවල් වෙනුවෙන්. උන්ට අමතක වෙලා උන් මේ ඔඵවකට රිංග ගත්ත පරපෝෂිත නිවට සත්තු කොටසක් කියල. තමන්ටම කියල හැඩයක් නැති, තමන් කොයි වගේද කියලවත් නොදන්න අමනයන් කොටසක් බව උන්ට අමතක වෙලා ගිහින්.

ඔව් අද උදේ වෙනකම් මමත් එහෙම තමයි. කොයි වගේ එකෙක්ද කියලවත් තවම නොදන්න මම මේ ඔඵ ගෙඩියෙ යම් තැනක හිරවෙලා ඉන්නව කියල මට දැනෙනකම් මම නිවටයෙක්, අමනයෙක් වුණා. විකාරූපී උමතුවක් සමග ජීවත් වුණා.

ඇත්තෙන්ම මට දැන් මේක අඩුම ගාණෙ මෙච්චර කල් මා එක්ක හිටිය ඔයාටවත් කියන්න බෑ. මොකද මම ඔයාට ආදරෙයි කිව්වනම්, ඔයා එක්ක සැනසීමෙන් ජීවත් වෙනව කිව්වනම් ඒ ඔක්කොම උමතුවෙන් දොඩවපු දේවල් විතරක් කියල දැන් මම දන්නව. ඔය ඔඵ ගෙඩිය තුළ කොයි තැනක හෝ ඔයත් හිරවෙලා ඉඳගෙන සියල්ල පාලනයට ගන්න හදන බව මම දන්නව. මෙච්චර කල් සමීපව දැක්ක ඔයාව මට දැන් ඡායාවක් විදියටවත් දකින්න බැරිවෙලා. ඒ මොකද මට ඔයාව පෙනෙන්නෙ නෑ. ඔයා පාලනයට ගත්ත ශරීරයක් විතරයි දැන් මට පේන්නෙ. ඒකෙ උඩම තියෙන ඔඵවෙ ඇතුළෙ යම් තැනක ඔයා හිරවෙලා ඉන්නව. ඒ ඔයාව තවම මම දැකලවත් නෑ. ඉතින් අපි අතර තවම කිසි සම්බන්ධයක් ඇතිවෙන්න විදියක් නෑ. මේ සිද්ධ වෙච්ච උමතු දේවල් ඔක්කොම අවුල් වියවුල් කරල.

ඔයාව මාව විතරක් නෙවෙයි මේ ඔඵ තුළ හිර වෙච්ච සත්තු හැම දෙයක්ම උමතු භාවයට ඇද දමල. කිසි දෙයක් නිවැරැදි කරන්න බෑ දැන්. ගොඩක් කාලෙක ඉඳන් මේ ව්‍යසනය සිද්ධ වෙලා තියෙනව. හැම ඔඵගෙඩියකම හිරවෙලා ඉන්න එකා තමන් සුවිශේෂි ඔඵගෙඩියක් බව පෙන්වන්න හතර අතේ විකාර කරනව. ඒ විකාර මැද්දෙ වෙන ඔඵ ගෙඩි කුඩුපට්ටම් වෙලා ගිහින් තියෙනව යුග ගණනක් පුරා. ඒවයෙ හිටිය එවුන්ට මොනා වුණාද කියල මම තවම හිතනව.

ඉතින් මට තවත් බෑ මේ විකාර සාධාරණීකරනය කරන්න. ඔයාත් උත්සාහ කරන්න ඔයා ඉන්නෙ ඔය ඔඵගෙඩිය ඇතුළෙ යම් තැනක හිරවෙලා කියල දැනගන්න. මේ හුඹස් වේයන්ටම පවරල අපි යන්න ඕනි හරිහමන් නයි විදියට. ඒත් මට තවම ක්‍රමයක් ඔඵවට එන්නෙ නෑ මේ ඔඵවෙන් එළියට එන්න.

කොහොම වුණත් ඔක්කොටම තියෙන්නෙ මේ ඔඵ අස්සෙ හිරවෙලා කරන උමතුව නවත්තල එළියට ඇවිල්ල බලන්න තමන් කොයි වගේද කියල. ඊට පස්සෙ ලෝකය කොයි වගේ එකක් වෙයිද කියල පියවි සිහියෙන්ම දැක බලා ගන්න.

මමනම් හිතන්නෙ ඊට පස්සෙ ලෝකය ප්‍රකෘතියට ආපහු එයි කියල.



Thursday, 15 September 2011

සංස්කාර....





කුමාරිහාමි ඉස්කෝලෙ හාමිනේ අවසන් ගමන් ගියේ මේ ගිය සතියෙ. නම කුමාරිහාමි වුණාට ඇය වලව්වක කුමාරිහාමි කෙනෙක් නම්‍ නෙවෙයි. විවාහ වෙලා හිටියෙ රත්නපාල ඉස්කෝලෙ මහත්තයත් එක්ක. රත්නපාල අවසන් ගමන් ගිහින් අවුරුදු දොළහක් විතර වෙනව.
මිය යන විටත් කුමාරිහාමි ඉස්කෝලෙ හාමිනේ ගුරු සේවයෙන් විශ්‍රාම ගිහින් අවුරුදු දහ අටක්.  

මේ දෙපළට පුතුන් දෙන්නෙක් සහ එක දුවෙක් ඉන්නව. ලොකු පුතා විදුහල්පතිවරයෙක්. දෙවෙනියා රජයේ සේවකයෙක් නොවුණත් පුද්ගලික අංශයේ රැකියා ගණනක් කරල තැනකට ආපු කෙනෙක්. දුවනම් ඒ තරම් අධ්‍යාපනයක් ලබල නැතත් සාමාන්‍ය රැකියාවක් හොයාගෙන තියෙනව.
සිය ගණනක් දරුවන්ගෙ ඇස් පෑදුව කියන මේ දෙපළගෙ පුද්ගලික ජීවිතේනම් ඒ තරම් සාමයෙන් ගෙවුණෙ නැති බව තමයි දන්න උදවියගෙ පිළිගැනිම වුණේ. දෙන්නම දැන උගත් සමාජය පිළිගත් අය නිසා එකිනෙකාට යටත් නොවීමේ මාන්නය නිසා ඔවුන් අතර සාමයක් තිබුණෙ නෑ කියල තමයි කවුරුත් කියන්නෙ.

කොහොමු වුණත් රත්නපාල මිය යන විට දෙන්න දෙමහල්ලො විරසක වෙලා හිටියෙ. එකම ගෙදර බත් හැළි දෙකක් ඉදෙන තරමට ඔවුන්ගෙ විරසකය දරුණු වෙලා තිබුණ. කොහොම වුණත් රත්නපාල ගුණ යහපත් මිනිහෙක් ලෙසයි වටේ පිටේ උදවිය අදටත් සිහිපත් කරන්නෙ. රත්නපාල එක දවසක් උදේ නැගිටලම නෑ. හවස් අතට වෙද්දි තමයි කුමාරිහාමිට රත්නපාල ඒ දවසට තවම අවදි වෙලා නෑ කියල මතක් වෙලා තියෙන්නෙ. කාමරේ දොර ඇතුළෙන් අගුලු දමා නිදා ගැනීමට රත්නපාල පුරුදු වුණේ තමන්ගෙ බිරින්දෑගේ කෙරුවාව ගැන පැහැදීමක් නැති නිසා වෙන්න ඇති. කොහොම හරි අල්ලපු ගෙදර සමන් තමයි වහලෙ උඵ ගලවල කාමරේට බැහැල රත්නපාල මැරිල බව දැනගෙන තියෙන්නෙ.

කුමාරිහාමි ඉස්කෝලෙ හාමිනේ ඉඩකඩම් එහෙම දරුවන්ට ලියා දෙන්න එතරම් කැමැත්තක් දැක්වූයේ නෑ. සමහර විට දරුවන් ගැන විශ්වාසයක් නැති නිසා වෙන්න ඇති. කොහොම වුණත් මොකක් හරි ඉඩකඩම් පලහිලව්වකට ලොකු පුතා එක්කත් නඩු කිව්ව කියල තමයි වටේ පිටේ උදවිය කියන්නෙ.

කොහොම වුණත් මේ අන්තිම කාලෙ වෙනකොට කුමාරිහාමි ඉස්කෝලෙ හාමිනේගේ කන් ඇසීම දුර්වලයි කියල මිනිස්සු හිතාගෙන හිටියත් තවත් සමහරු කිව්වෙ උන්දැට දිබ්බසෝත ඥාණය තියෙනව කියලයි. බෝතල් අඩි වගේ කන්නාඩි කුට්ටමක් දාගෙන හිටියත් සමහරු කිව්වෙ උන්දැට දිබ්බ චක්ඛු ඥාණය තියෙනව කියලයි.
ඕපාදූප ‍හොයන්න වුවමනාවක් නැති වුණත් ටිකක් අනුන්ගෙ දේවල් ගැන උනන්දු වීම ඇගේ සිරිතක් වුණා.

මේ අවුරුද්දකට විතර කළින් ආරියපාලලගේ ගෙදර සිද්ධ වෙච්ච මොකක් හෝ අඞදබරයකට පොලිසියෙන් ඇවිත් ගියාට පස්සෙ ඒ දිහා ඇහැ ගහන් හිටිය කුමාරිහාමි ඉස්කෝලෙ හාමිනේ ආරියපාලගෙන් ඇහුවෙ,
“අර අහවල් එකකට නිතර නිතර උඹල දිහාට පොලිසියෙන් එනවද?” කියලයි. කොහොම වුණත් හිත නරක් වෙලා ඉන්න වෙලාවක එහෙම කතාවක් ඇහුවම ආරියපාලට කේන්ති ගිහින් තිබුණ නිසයි ඇහුවෙ,
“ඇත්තටම නැන්දට අනුන්ගෙ දේවල් හොයන්නෙ නැතිව තමන්ගෙ ගැන හොයාගන්න බැරිද?” කියල.
කුමාරිහාමි ගත් කටටම කිව්වෙ,
“මම තරහකට ඇහුව නෙවෙයිනෙ පුතේ. තමන්ගෙ දේවල් කොයි වෙලේ හොයා ගන්න බැරිද ඉතින්?” කියලයි.
ආරියපාලට කේන්ති ගියත් ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ කියලයි මටනම් හිතුණෙ.

දිනපාල මුදලාලිගෙ දෙවැනි දුවගෙ මංගල්ලෙට ගිහින් ආපු කුමාරිහාමි ඉස්කෝලෙ හාමිනේ අපේ මල්කාන්ති නැන්දත් එක්ක කියල තිබුණෙ,
“අපොයි දැක්කද මනමාලයගෙ හැටි. ඒකා බලන්නෙ උගුඩුවෙක් ‍වගේ. ඇහැකුත් වපරයිද කොහෙද? බස් ඩ්‍රැයිවර් කෙනෙක් කිව්වට දාමරිකයෙක්ද කොහෙද?”
කොහොම වුණත් ඒ මනුස්සයා සීදේවී මනුස්සයෙක් කියල තමයි මල්කාන්ති නැන්දනම් අපි එක්ක කිව්වෙ.

ඊට පස්සෙ දිනපාල මුදලාලි අලුත් හයිඒස් වර්ගයේ වෑන් එකක් ගෙනාපු දවසෙ ඒක දැකල කුමාරිහාමි ඉස්කෝලෙ ‍හාමිනේ කියල තිබුණෙ,
“මේ යකා මේ ගමෙන් ගෑණියෙක් ගන්න එද්දි ගේන්න පකිස් පෙට්ටියක්වත් තිබුණෙ නෑ. අනේ උගෙ දිව්‍ය රථය. කොහෙ හරි කැඩිල අයින් කරල තිබ්බ එකක් මූ තුට්ටු දෙකට රවට්ටල අරන් එන්න ඇති”කියලයි. කොහොම වුණත් මේ අන්තිම දවස්වල කුමාරිහාමි ඉස්කෝලෙ හාමිනේ ලෙඩින් වැටුණම ඉස්පිරිතාලෙට අරන් ගියේ දිනපාල මුදලාලි ඇවිත් ඒ වෑන් රථයෙම තමයි.

කොහොම වුණත් අ‍පේ මල්කාන්ති නැන්දගෙ පුතාගෙ කසාදයට ඇවිත් ගිහිනුත් උන්දැ කියල තිබුණෙ,
“අපොයි පාලිත කොල්ල ගෙනත් තියෙන්නෙ ගෑණියෙක්ද නැත්නම් දැලි අඟුරක්ද?” කියලයි.
කොහොම වුණත් ඒක ආරංචි වුණ මල්කාන්ති නැන්ද අපිත් එක්ක කිව්වෙ මේ ගෑණි කවදාවත් තමන්ගෙ මූණ දැකලම නැතිව ඇති කියලයි. කොහොම වුණත් පාලිතගෙ බිරිඳ රන් පාටට දිලිසෙන්නෙ නැතුවට පෙනුමක් තියෙන ගෑණියෙක් කියල කාටත් නොරහසක්.

ඉතින් ඔය වගේ කතා නිසා තමයි උන්දැට අර ඉහතින් කිව්ව වර්ගයේ පෘතග්ජනයන්ට නැති වර්ගයේ ඥාණ පහල වෙලා තියෙනව කියල අහල පහල උදවිය හිතාගෙන හිටියෙ.

ඉතින් කොහොම වුණත් ඒ පාර රෝහලට ගියාට පස්සෙ ආයෙ ගමට එන්න කුමාරිහාමි ඉස්කෝ‍ලෙ හාමිනේට බැරිවුණා.
එකාට එකා නැති දරුවො තුන්දෙනා ඉස්කෝලෙ හාමිනේගෙ මළගමවත් හරියට කරන්න උනන්දු වුණේ නෑ. එක එකාගෙ පිට වගකීම පටවල මග හරින්නයි තුන් දෙනාම කවදත් පුරුදු වෙලා තිබුණෙ. සමහර විට අම්මගෙන් ලැබුණු ගුරුහරුකම් නිසා වෙන්න ඇති. කවුද දන්නෙ ඕව.

කොහොම වුණත් මහ ගෙදර අයිතිකරගෙන හිටිය පොඩි පුතාවත් අම්මගෙ මිනිය ගෙදරට ගේන්න උනන්දු වුණේ නෑ. මල් ශාලාවක මිනිය එක දවසක් තියල තිබුණෙ ගන්න පුඵවන් ලාභම පෙට්ටියක දාල අඩුම වියදමෙන් මළගමේ කටයුතු කෙරෙන විදියටයි. කොහොම වුණත් මාත් ගියා කවුරු වුණත් ගමේ හිටිය මනුස්සයෙක්ගෙ අවමගුලට නොගිහින් බැරි නිසා. ගමේ මිනිස්සුන්ගෙනම් කිසිම පැහැදීමක් තිබුණෙ නෑ මේ මල් ශාලාවෙන් කරන අවසන් කටයුතු ගැන. මොකද මේ ගමේ මැරුණු කවුරුත් මෙච්චර කාලෙකට තමන්ගෙ ගෙදර අවමංගල උත්සවයකට පෙනී හිඳින්න තරම් වාසනාවන්ත වෙලා තිබුණ. ඉතින් මේක ගමේ උදවියට නුහුරු තත්වයක්. දහසක් ගාණකගෙ ඇස් පෑදුව කියල හිතන් හිටියත් කුමාරිහාමි ඉස්කෝලෙ හාමිනේගෙ අවසන් ගමනට සමුදෙන්න කියල එකම ගෝලයෙක්වත් මල් ශාලාව පැත්තෙ එනව කවුරුත් දැකල තිබුණෙ නෑ.

කොහොම වුණත් ඒ වගේ අසරණ විදියට අවසන් ගමන් ගිය කුමාරිහාමි ඉස්කෝලෙ හාමිනේ ගැන කණගාටුවක් ආපහු එද්දි මටත් නොදැණුනා නොවේ.
ඒ එක්කම මට සිහිපත් වුණේ අපේ ගමේ කාලයක් ග්‍රාම සේවක රාජකාරිය කරපු සිරිපාල රාළහාමිගෙ බිරින්ඳෑ වුණු ස්වර්ණලතා නැන්දගෙ මළගමට ගිහින් ආපහු එන්න පාරට  බැහැල සිරිපාල මාමගෙ වත්ත කෙළවරින් ගුරු පාරට එද්දි කුමාරිහාමි ඉස්කෝලෙ හාමිනේ ආවඥා සහගතව මගෙන් අහපු ප්‍රශ්ණයයි.

“අපොයි දැක්කද පුතේ මිනී පෙට්ටියේ හැටි”