Tuesday, 3 January 2012

බත් කෑම..? තේරුමක් නැති සටහනක්..




මේ පහුගිය සති දෙක තුන උදේම දකින්න ලැබෙන මම ආශා කරන දර්ශනයක් තිබුණ. ඉර පායන එකද? නෑ...ඒ කෙහෙම්මල හැමදාම පායනවනෙ. ලස්සනට මල් පිපිල තියෙන එකද? අ‍පොයි නෑ. මේ මම යන පාරෙ මොන මල්ද? පාරෙ දෙපැත්තෙ තියෙන වතුසුදු ගස් ටිකක් විතරයි. හැමදාම උදේටයි හවසටයි පූජා කරන්නයි කියල වටේ පිටේ ඉන්න හැම එකාම ඒ ගස් හම ගහනව. මලින් පිරිච්ච එක වතුසුදු ගහක් දැක ගන්න බෑ. ඒත් මම හැමදාම හිතනව මුංට මේ ගස් ටික හම ගහගෙන යන්නෙ නැතිව ගස් වල තියෙද්දිම ඔය පිපෙන මල් කන්දරාව පූජා කරන්න බැරිද කියල. එහෙම වුණානම් ගස් ටික කොයිතරම් ලස්සනට තියෙනවද.

ඒක නෙවෙයි දර්ශණය. වයසට ගිය මිනිස්සු ටික විතරක් මම උදේට යන පාරෙ දකුණු පැත්තෙ තියෙන කුඹුරු යාය එක්ක ඔට්ටු වෙන එක. පාර අයිනෙම තියෙන කුඹුරු කෑල්ල හැමදාම වැඩ කරන්නෙ වයස අවුරුදු හැත්තෑවක් විතර විය හැකි බව උපකල්පනය කල හැකි මනුස්සයෙක්. මේ සැරේ කුඹුර සම්පූර්ණයෙන්ම මඩ කරල නියර බැඳල වපුරන්න එයාට හරියටම දවස් පහළොවක් ගිය බව මම දැක්ක. උදැල්ල කර තබාගෙන සරම කැහැපට ගහගෙන උදේ හත වෙද්දි කුඹුරට එන ඔහු හෙමින් හෙමින් තමන්ගෙ මහඵ වුණත් ධෛර්යසම්පන්න ශක්තියෙන් කුඹුර මඩ කරන හැටි දකිද්දි හිතට දුකකුත් ඇති වෙනව. මේ වයස ඇත්තටම වැඩපල කල යුතු වයසක්ද? ඒත් පීදිගෙන එන ගොයම දකිද්දි මට මෙහෙම සතුටක් දැනෙනවනම්, ඔහුගේ මහඵ හිතට කොයි තරම් සතුටක් දැනෙනව ඇත්ද? ඔවුන්ට ජීවිතේ පුරා තමන්ම හදපු කුඹුරකින් බත සපයගන්න එක සතුටක්. මේ තරම් වයසට ගියත් මහ පොළොවට බරක් නොවී මහ පොළොව සරුසාර කරන ඒ ශක්තිය මහ පොළොවට ආශිර්වාදයක්.

එතකොට අපි..

මොකක් හරි කුරුටු ගාල පුටු රත් කරන පරපුටුවො. මේ කුරුටු ගෑම නොකෙරුණත් ලෝකය පවතිනව. ඒත් මහ පොළොව එක්ක ඔට්ටු වෙන මනුස්සයෝ වෙන වැඩක් බලා ගන්න ගියොත් මනුෂ්‍ය වර්ගයාට පවතින්න බැරි වෙනව. වැඩ කිරීමේ මෙන්ම ආහාර ගැනීමේත් සැබෑ සතුටට මෙන්ම තෘප්තියට උරුමකම් කියන්නෙ ඔවුන් මිසක් මේ අපිනම් නෙවෙයි.
ඒත් මේ උදේට මම පහුකරන පාරෙ වම් පැත්තෙ තියෙන කුඹුරු යායත් මීට අවරුදු පහ හයකට කළින් මම ප්‍රදේශයට එද්දි අපූරුවට අස්වැද්දුණා. ඒත් දැන් නම් මේ වම් පැත්තෙ කුඹුරු යාය එහෙම පිටින්ම පුරන් වෙලා ගිහින්. වැඩිහරියක් හබරල ගාලක් වෙලා. වතුර නැති නිසාද? නෑ ඔය තියෙන්නෙ වතුර අපූරුවට. මෙදා සැරේ අලුතෙන් ඇලත් කැපුව ‍ඩෝසරයක් ඇවිත්.
කොහොම වුණත් දකුණු පැත්තෙ කුඹුරු යායෙනුත් සැලකිය යුතු කොටසක් වැඩ කෙරෙන්නෙ නෑ. ඒ ඒවයෙ අයිතිකාරයන්ට කුඹුරු වලට බහින්න වෙලාවක් නැතුව ඇති. වැඩ කරන ටිකත් වැඩ කරන්නෙ අර වගේ මහඵ වියට පත්වුණු හෝ පත් වෙමින් සිටින අය විතරයි.

එතකොට කොල්ලො..
දැන් මේ පැත්තෙ ඉන්න කොල්ලො ඕවට කැමැති නෑ. අපි වගේ පුටු රත් කරන රස්සා නැති වුණත් උන් කැමැති නෑ ඇගේ පතේ මඩ නාගෙන කරන මේ සෙල්ලමට. ගොඩක් ඉන්න තරුණ පරපුරේ අය කරන රස්සාව තමයි ත්‍රීවීල් රස්සාව. උන්ට ඕනි අනුන්ගෙ හරි ත්‍රීවීල් කටුවක් සෙට් කරගෙන ගම මැදින් හයියෙන් සිංදුවක් දාගෙන ඉගිලෙන්නයි. ඊට පස්සෙ හන්දියේ පාර්ක් කරගෙන යන එන මිනිස්සු දිහා කොක්කු වගේ ඉහ දික් කරගෙන බලන් ඉන්නයි. නැත්නම් ත්‍රීවීල් ටික පාර්ක් කරල කට්ටිය කයිවාරුවකට සෙට් වෙලා සිගරට් ඇද ඇද හයර් එකක් සෙට් වෙනකම් බලන් ඉන්නයි.

හයර් එකක් ගිහින් ආවම හන්දියේ චන්දනයගෙ හෝටලයෙන් සෙකන්ඩ් හෑන්ඩ් වඩයක් කාල බල්ලෙකුට බොන්න බැරි ප්ලේන්ටියක් බීල ආයෙත් සිගරැට්ටුවක් පත්තු කරගන්න මේ ගමේ කොලු සෙට් එක හරි කැමැතියි. තමන්ගෙ කුඹුරු පුරන් වෙලා භාගෙට භාගයක්. උන්ගෙ තාත්තල සීයල දැන්‍ ලෝකෙන් විශ්‍රාම යන්න කිට්ටු කොරලත් බැරි මර ගාතෙ මහ පොළොව එක්ක ඔට්ටු වෙනව.

එක අතකින් කොල්ලන්ට ලැජ්ජයි මඩ නාගෙන දඟලන්න. කවුද ගණන් ගන්නෙ කුඹුරෙ මඩ නාගෙන දඟලන ගොයියන්ව. අස්වැන්න නෙලන කාලෙට වෙළෙන්ඳන්ට විතරක් ආ‍දරේ හිතෙන මේ ගොයියන්ව කවුද ගණන් ගන්නෙ. අඩුම ගාණෙ කෙල්ලෙක්වත් බලනවද මඩ නාගෙන කුඹුරෙ ලැග්ගොත් මේ කොල්ලො දිහා. ඒ ‍වගේද ත්‍රීවීලයක, බයිසිකලයක නැගිල යද්දි මාර ගැම්මක් තියෙනව. ලෝකෙත් එක්ක මුහු වෙන්න පුඵවන් විදියෙ ගතියක් දැනෙනව හිතට විතරක් නෙවෙයි ඇඟටත්. ඉතින් කුඹුරු වල ලැග්ගොත් එකෙක්වත් ගණන් ගන්නෙ නෑ. බත් කන කොට මටත් අමතක වෙනව හාල් එන්නෙ මඩ එක්ක ලගින මිනිස්සුන්ගෙ දාඩිය මහන්සියෙන් කියල. මට මතක් වෙන්නෙ කඩවල තියෙන හාල් ගෝනි විතරයි. ඉතින් හවසට ටයිල් කරපු වායු සමනය කරපු ෆුඩ් සිටි එකකින් හාල් පැකට් එකක් අරන් යන නෝනල මහත්තුරුන්ට කොහොම දැනෙනව ඇත්ද කියල මම තවම හිතනව.

ජනාකීර්ණ හන්දියේ නැත්නම් ඇති වෙමින් පවතින නගරයේ ඉඳල මම ඉන්න ගමට සැතපුම් දෙකක් විතර තියෙනව. ගමේ හවසට විතරක් ආප්ප කඩයක් දාගෙන කම්මැලි කමට පොඩි ව්‍යාපාරයක් කරගෙන යන ‍පියරත්න අංකල් නම් කියන්නෙ මේ ඔක්කොටම හෙණේ විවෘත ආර්ථිකේලු. එයාට කුඹුරු නෑ. ඒත් පුරන් වෙන කුඹුරු දකින් එයා‍ගෙ හිතට හරිමදි  කියල තේරෙනව කතා කරද්දි.

වැඩක් නෑ මහත්තයෝ.. පොළොව එක්ක ගණුදෙනුව කරන්න අකමැති වෙච්ච සමාජයක් තමයි දැන් තියෙන්නෙ. තව කාලයක් යද්දි හැම එකාම අතේ සල්ලි තියෙයි. ඒත් පිට රටින් බඩු නොලැබෙන වැඩක් වුණොත් සල්ලි තිබ්බට හාල්, එළවඵ නැතිවෙයි මේ විදියට ගියොත්. මේ රට කෑවෙ විවෘත ආර්ථිකය මහත්තයෝ. හැම එකාම ක්ලීන් ජොබ් එකකින් කුණු ගා ගන්නෙ නැතිව ජීවත් වෙන්නයි දැන් උත්සාහය. ඒත් කන බොන දේවල් අහසින් දෙයියො හලන්නෙ නෑනෙ.

පියරත්න අංකල්ගේ නන්දෙඩවිල්ල මටත් මහ වදයක් වෙනව වෙලාවකට. නිකන් ඉද්දි හුළං පාරක් වැදෙන්න හවසට එළියට බැහැල පියරත්න අංකල්ගෙ ලෑලි කඩේ ළඟට යන්නෙ පුරුද්දකට වුණත් එයාගෙ දේශපාලන කතා මට ඇලජික්.

ඔය උඩ තියෙන දේශණය මට අහන්න ලැබුණෙ මේ පෙරේද හවස. ඒත් පියරත්න අංකල් කියන තරම් කොල්ලො සල්ලි වලට වහ වැටිල නැති බවත් උන්ට ඕනි ජීවිතේ විඳින්න කියලත් මට තේරුණෙ ඒ එක්කම ආප්ප කඩේ පහුකරගෙන ඉගිල්ලිලා ගිය උස මංජුලයගෙ ත්‍රීවීල් එක දැක්කම. ඒකෙ පිටිපස්සෙ ලියල තිබුණ,

සැප විඳින්න කාසි නැතත් හිනාවෙනව හැමදාමත් කියල.

පියරත්න අංකල්ට පිස්සු. ලෝකය දියුණු වෙනව දවසින් දවස. අද ඉන්න පොඩි එවුන් ඉගෙනගෙන මතු දවසක කෑම නැතුව ජීවත් වෙන්න පුඵවන් ක්‍රමයක් හොයා ගනියි.
එතකොට බැරියැ උස මංජුලල වගේ එවුන්ට කාසි නැතත් සැපක් නැතත් හිනාවෙලා හැමදාම ඉන්න.
මමනම් ඒ කාලෙ වෙද්දි මැරිල ඉඳියි. මොකට හිතනවද ඕව ගැන. කෙහෙම්මල්.
කුඹුරු...
විවෘත ආර්ථිකේ..
සල්ලි..........................    විකාර...


Thursday, 29 December 2011

ජාතික චින්තකයෙක්ගෙන්...




ඉවරයක්ම නෑ‍ මේ වැඩ
හෙට තියෙනව දේශනයක්
ජාතික චින්තනය” නමින්
කතාව යන්තමි හැදුවා
දැන් වෙලාව රෑ දොළහයිනෙ

රට බෙදන්න දෙන්න බැරිය
හමුදාවට කොල්ලො ඕනි
අපේ ළමයි ඉගෙන ගන්න
හරි හපන්නු ගොන්නු නෙවෙයි
උන් තැනකට යන්න ඕනි
යුද්ධෙට යන්නට බැරියැයි
ඔය ගම්වල බයියලාට

ඒක නිසා දේශණයට
ලොකු වගකීමක් තියෙනව
ජාත්‍යාල හිත් ඔක්කොම
කීරි ගැහිල යන්න ඕනි
එතකොට එයි ගම් බයියෝ
හිටු කියල රොත්ත පිටින්

අනිද්දාට තව එකක්ය
දේශීයත්වය අගයමු
ලේසි නෑනෙ ඒක වුණත්
ගොවියන්, වෙද්දුන් ඔක්කොම
මුරුංග ගස් නග්ගන එක
හිතල මතල දෙන්න ඕනි
ඇ‍‍ඩෙන පහේ දේශණයක්
එහෙම වුණොත් ගම්බයියන්
ප්‍රශ්ණ නගන්නේ නැහැමයි

එහෙම බැරිවුණොත් ඉවරයි
ගම් ගොබිලන් විමසනු ඇත
ලොකු කොල්ලා වෙදෙක් නොකර
දොස්තරයෙක් කලේ මොකද?
පොඩි කොල්ලාවත් කුඹුරට
එවන්න තිබුණා නොවේද
එංගලන්තෙ යැව්වෙ මොකද?

කොහොම වුණත් අවුලක් නෑ
ගම් බයියන් නොවන නමුත්
මා කියන දේ අදහන
මගේ ජීවිතේ නොපෙනෙන
ඉගෙන ගත්ත ගෝල බාල
පිරිවර ගෙනයයි මගෙ නම
විද්වත් මහ සභා වලට

ඉන්න ඕනි අන්න එහෙම
අනුගාමිකයෝ කොතැනත්
මා කියනා දේ අදහන
මගේ දෙබිඩි ලොව නොපෙනෙන

ඇයි ඩාර්ලින් මේ මහ රෑ

පොඩි දූගෙන් කෝල් එකක්
කැනඩාවට අයිස් වැටිල
හරිම ශීතලයි කියන්නෙ

ඔව්ව ඔහොම තමයි අනේ
මෙහෙ ඉඳලා වැඩක් නෑනෙ
ලෝකෙ එක්ක ගැටෙන්නනම්
ඉගෙන ගන්න වෙනව එහෙදි
මෙහෙ ආවම තැනක් ගන්න

කතා කරන්නට වෙලාව
දැන් නෑ මට ඔයා යන්න
මට හිතෙනව පමා නොකර
විනාශකාරී බටහිර
චින්තනයේ ආදීනව
නිබන්ධනය අද රෑවත්
අහවර කරලා දාන්න..

යනකොට ඔය ඒසී එක
ඕෆ් කරල දාල යන්න
ගුඩ් නයිට් ඩියර්
එහෙනම් දැන් ඔයා ගිහින්
නිදාගන්න මම එන්නම්..



Saturday, 24 December 2011

මුහුණු දෙකේ ආදරයක්....





ඇගේ සිහින් අත මගේ අත ව‍ටා එතේ. සියුම් පහසක්ද, ආශාවක්ද ක්ෂණයකින් විදුලියක් මෙන් හිස කරා ඇදී යයි. මා ගැස්සී යමි. ඒ සමගින් හෙණයක් ගැසූ සේ බියකින් නැවතත් හිස කම්පනය වේ.

දැඩිව මගේ අතේ එල්ලී සිටින ඇගේ ඇතුල් හදවත මා දකිමි. ඒ දැඩි බව මා පලා යා යැයි සැකයක් පිළිසිඳුණු ඇගේ හදවතේ මතුපිට ප්‍රකාශණයයි. ක්ෂණයක ප්‍රීතියක් ජනිත කල ඒ පහසම ඇගේ හදවතේ ප්‍රකාශණයන් දැනෙද්දී මාව බිය ගන්වනු ලැබේ. ඒ අත මා වෙලූ යකඩ දම්වැලක් යැයි මට සිතේ. ගැලවිය නොහැකි සංසාර බන්ධනයක යදමක් ඇගේ වම් අත ලෙසට විකසනය වී මා සොයාවිත් ඇත. ඉතින් මේ හිස පෙලන බිය සාධාරණය.

මේ ඊයේ වනතුරු ඇගේ සිහින් අතගෙන ඇවිද යන අයුරු මම සිතින් වින්දනය කළෙමි. සැබෑවක් නොවන ඒ සිහින සක්මන ප්‍රිය උපදවන සියුම් වින්දනයකින් මා මනස පුරවා දමා තිබිණි. 

මොකද ඔයා හොල්මනක් දැකල වගේ

මා තිගැස්සී සිනාසෙමි.

නෑ මං ඔයා දිහා බැලුවෙ නෑ

ඇය මා කොනිත්තයි. යදම් සිරවුණු තැනක ඇතිවූ රිදීමක් මගේ හිස කරා දිවයයි.

ඈ දැඩිව අල්ලා සිටින මගේ අත පද්දයි. මගේ හිස තුළ යදම් සෙලවෙන නාදයක්  පිළිරැව් දේ. ඒ හඞ මා විපිලසර කරවයි.

දැඩි හිරු රැසින් ගිනියම් වූ පරිසරය සිරුර උණුසුම් කර ඇත. දහඩිය බිඳු හිස වටින් බේරේ. ඇගේ මෙන්ම මගේ අත්ද තෙතබරිත දහඩියෙන් එකට ඇලී ඇත. චලනයක් පාසා ඇලවෙමින් ගැලවෙමින් අපේ දෙඅත් තබන්නට ඒ ගිනියම් දහඩිය කටයුතු කර ඇත. ඒ ඇලෙන ගැලවෙන දහඩිය රුධිරය ලෙසින් විටෙක මට දැනේ.

අප දැන් බෝ මඵවේය. මේ පෝදා පට්ට දහවලයි. මෙතැන මල් පූජා කිරීමේ හා හඳුන්කූරු දැල්වීමේ තරඟයක් පැවැත්වේදැයි මා පුදුමයෙන් බලමි. පෝලිමේ ගොස් අප මල් කිහිපයක් මල් අසුන මත තැබීමට සමත් වූ අතර අධික රස්නය සහිත හඳුන්කූරු රඳවන තුළ අත පුච්චා නොගෙන හඳුන්කූරු කිහිපයක් ගැසීමටද අපි සමත් වීමු.

යමු පහන් පත්තු කරන්න
මේ පට්ට දවල් මොකටද පහන් පත්තු කරන්නෙ

මම ගෙලවටේ ගලන දහඩිය වම් අතින් පිස දමමි.

දවල් කියල නෑ පත්තු කරනව
ආලෝකය පූජා කරන්න ඕනි රෑටනෙ ඉතින්
නෑ මේ ප්‍රඥා ප්‍රදීපය තමන් තුළ දැල්වෙන්න කරන ප්‍රාර්ථනයක් කියල හිතන්න

මා නැවතත් තිගැස්සෙමි.  දැල්වෙන ප්‍රඥාවද සැරින් සැරේ මා තිගස්සවමින් මගේ හිස තුළ බිය ඇති කරමින්  සිටින්නේ, මා කල්පනා කරමි.

අම්මෝ ප්‍රඥාව අපි තුළ පහළ වුණොත් අපි දෙන්න අපිටම හොයාගන්න බැරිවෙයි මා පවසමි.

ඇය මෙතෙක් මල්, හඳුන්කූරු තරඟ සඳහා සහභාගි වීමට අතහැරැ සිටි මගේ අත නැවතත් තරයේ අල්වා ගනියි.
මගේ ළය තුළ ඇය ගැන අනුකම්පාවක්, දයාවක් ජනිත වී මගේ පපුව ඇතුළත සීතල වී යනු දැනේ. ඒ හැඟීම ඇස් වල ඇතුල් කුහරයකට තෙතක් ගලා ඒමට සලස්වනු මට හොදින් දැනේ.

සිතුවිලි තුළ සිහින සක්මන සහ යතාර්ථයේ එක්ව කරන සක්මන එකිනෙකට වෙනස් හැඟීම් මා තුළ ජනිත කරමින් සිටියි. සිතුවිලි තුළදී ළංවීමත්, සැබෑව තුළ පලා යාමත් අපේක්ෂා කරන හැඟීම් පිළිබිඹු කරන මුහුණු දෙකක් සහිතව මා ඉපදී සිටින බව මා දැන් පසක් කරගෙන සිටිමි.

ඒත් ලෝකයා දකින්නේ ඒ මුහුණු දෙකම එකක් ලෙසිනි. එනිසා මා තවම ආරක්ෂිතය.

නැවතත් ඇය ම‍ගේ අතින් ඇදගෙන යයි. මගේ දකුණු අත සිරකර දැමූ දම්වැලක කෙළවරින් කිසිවෙකු මා ඇදගෙන යනු මට දැනේ.

ගිනි කාෂ්ඨ අව්වෙන් රත්වුණු වැලි මතට සුළඟින් නිවී වැටුණු පහන් වල  උණු පොල්තෙල් සැලී ගොස් පය තබන විට යටිපතුල් දැවේ. ඉහළින් දැඩි හිරු රැසින් හිස පිච්චෙන ලෙස දැනේ. ඒ අතරින් අප දෙදෙන පහන් වැලවල් අතර ඇඟිලි තුඩු වලින් වේගයෙන් ඇවිදිමින් ප්‍රඥාව දල්වන්නට තැනක් සොයමින් සිටිමු.

                                 xxxxxxxxxxxxxxx

දැන් රාත්‍රියයි. නැවතත් මම සිතුවිලි තුළ ඇගේ ප්‍රිය පහස ආශ්වාදනය කරමින් සිටිමි.


Tuesday, 20 December 2011

ලේ හැලූ මෝඩයිනි..




ලේ දහඩිය හෙලා
විජය ධජ නගන්නට
විජිතපුරයට කුමට
ආවාද නුඹ
දුටුගැමුණු..

එළාර,
මුග්ධය නුඹ
කුමට බිළි දුන්නාද
හිස සමග
නුඹේ සහපිරිවර..

ෆේස් බුකියට ඇවිත්
ගෲපයක් හදාගෙන
දහඩිය, රුහිරු නොසලා
යුද වදින්නට තිබුණා
මහත්වරු මෙන් තොපට..


Saturday, 17 December 2011

විකටයා මම තවම..




සිත් සතන් වෙලාගත්
අඳුරු අහුමුඵ සොයන
සොයා ප්‍රමුදිත කරන
විකටයා මම..

පාන බහුරූ කෝලම්
දැක තොසින් ගොසිනි දන
කුමට රැ‍ඳෙනුද මා ළඟ
මතකය රැගෙන යනු මිස..

හැර දමා යන දන
නොදකින නමුදු කිසිකල
විකටයෙක් වේනම් තව
දකියි විනිවිද මසිත..

විශ්වයේ මහ අඳුර
ලැගුම් ගත් හදවතෙහි
මහ විසල් දොර හරින
පුංචි යතුරක් රැගෙන
විකටයෙක් ඒදැයි බලන

විකටයා මම තවම..



Thursday, 15 December 2011

භාවනාවට උපදෙස්




බොරු ගොඩක සැඟවුණ
ඇත්ත සොයාගෙන
හෙළි කරනු මැන..

එවිට,

නැවත නැවතත්
මරණය මෙනෙහි වන
මරණානුස්සති භාවනාව
පැමිණෙනු නියතයි
ඉක්මණින්
ඔබ වෙත..


Tuesday, 6 December 2011

පවුලක් තුළට ඇද වැටුණු ආදරය





එකල ඇය වඩාත් කැමැති වූයේ මගේ කාමරයේ ඇති ඇඳටයි. මා දවසේ මෙහෙවර හමාර කර පැමිණ ඇ‍ඳෙහි හාන්සි වී සිටින සවස් යාමයන් වල ශබ්දයක් නොනගාම පැමිණ අඩවල් කර ඇති දොර මෑත් කර පැමිණෙන ඇය දෑස් පියාගෙන කල්පනාවේ සිටින මා සිරුර මතට පැන සිනාසෙමින් දඟලයි. එවිට මා ඇය තුරුඵ කර ගන්නෙමි. ඇගේ තොරතෝංචියක් නැති සිනහවටත් කතාවන්ටත් සොඳුරු හිරිහැර වලටත් එතෙක් පටන් මා මුහුණ දෙන්නට පුරුදු වී සිටියෙමි.

මා එනිවසෙහි කුළී නිවසියෙකු වුවද ඒ වන විටත් දෙහැවිරිදි වියේ පසුවූ ඇයට මා සිය පවුලෙන් වෙනස් වන්නේ කෙසේදැයි අවබෝධයක් නොතිබිණ. ඇයගේ ආච්චිඅම්මා සහ සීයා ඇයට අවශ්‍ය පරිදි නිවසෙහි කුතුහලය දනවන කිසිවක් අවුස්සා බැලීමට ඉඩ නොදෙන බැවින් ඈ ඇගේ අභයභූමිය සකසා ගෙන තිබුණේ මගේ කාමරය තුළයි. ඒ තුළ ඇයට රිසිවූ දෙයක් රිසි ලෙස අතපත ගෑමට වගේම අවුස්සා අවුල් ජාලයක් කිරීමට මා ඉඩ දී තිබිණ. එසේම ඇය විසින් නගන ගැලවීමක් නැති ප්‍රශ්ණ වලට බොරු උත්තර හෝ සැපයීම මගේ යුතුකම බව මා පසක් කරගෙන සිටියෙමි.

ඇය එතෙක්ද නොඉඳුල් මලක් වූයේ ඈට තමන්ගේ යැයි ගැනෙන කිසිවක් නොදැණුන බැවිනි. ඇයට මා පිටස්තරයෙකු නොවේ. ඇගේම කොටසකි. වැඩිහිටියන් මෙන් ඇය තවම මමත්වයෙන් පිරී ගොස් නැත. කොන්දේසි විරහිතව ඇයගේ මාමා බවට මා පත්වී සිටි අතර ඒ අතර කිසිදු සිදුරක් නොතිබෙන කලෙහි වැඩිහිටියන් ඇය තවත් එක් මම කෙනෙක් බවට පත් කරන්නට වෙහෙසෙනයුරු මා දකිමින් සිටියෙමි.

සීය තමයි බබාගෙ අම්මගෙ තාත්ත. ආච්චි අම්ම තමයි බබාගෙ  අම්මගෙ අම්ම.

ඇගේ ආච්චි අම්මා ඇයට මමත්වයේ සීමා මායිම් සලකුණු කරනු මට ඇසේ.

එතකොට කාමලේ ඉන්න මාම මගේ කවුද ආච්චි අම්මේ

ආ ඒ නුවන් මාමනෙ. බබාගෙ මාම තමයි තුෂාර මාම. බබාට තෑගි ගොඩාක් අරන් රට ඉඳළ එයා එනවනෙ ළඟදි.

ආච්චි අම්මේ නුවන් මාම මගේ

නෑ බබාගෙ මාම ඉන්නෙ රටනෙ. නුවන් මාම වෙනයි

ඇගේ නොඉඳුල් බව ටිකෙන් ටික ඉඳුල් වීම ඇරැඹෙන කාලයයි මේ.

නුවන් මාමේ.. ම‍ගේ තුෂාල මාම රට ඉඳන් එනවනෙ. මට සෙල්ලම් බඩු‍ ගොඩක් එයා ගෙනෙයි නේද

ඇය මගෙන් විමසයි. ඒත් තවමත් ඇයට මගේ යන්න නිවැරැදිව වටහා ගත නොහැකි බැවින් ඇගේ ආච්චි අම්මා ඇයගේ සීමාවන් දැඩිව සලකුණු කර ඇගේ මමත්වයේ පරිධිය ඇයට අවබෝධ කර දීමට අසීමිත වෙහෙසක් ගන්නා අයුරු දකින මට සිනහ පහල වන අවස්ථා තිබිණි.
කොන්දේසි විරහිත ආදරය තුළින් ඇයව කොන්දේසි සහිත ආදරය වෙත තල්ලු කර දැමීමට ආච්චි අම්මා වෙහෙසෙයි. එබැවින් ඈ කිසිදා දැක නැති තුෂාර මාමා ඇගේ යැයි ඇයට තහවුරු කරමින් ආදර සම්බන්ධතාවකයක් ගොඩ නැගීමට ආච්චි අම්මා උත්සාහ ගත්තේය. කොන්දේසිය තුෂාර මාම ඇගේ මාමා වීමයි. ඒ නිසා ස්වභාවයෙන්ම ඔහුට ඇය ආදරය කල යුතු බව ඇයට තහවුරු වෙමින් පැවැතිණ. එතෙක් ඇය පැවැතියේ කොන්දේසි විරහිතව දකින දකින හැම මාමා කෙනෙක්, නැන්දා කෙනෙක්, අයියා කෙනෙක්, අක්කා කෙනෙක්  කෙරෙහිම ආදරයෙන් සහ සුරතලයෙන් බැ‍ඳෙමිනි.

ඒත් අත්දැකීම් බහුල පරිනත ආච්චි අම්මා හය මසක පමණ කාලයක් තුළ ඇගේ සියඵම සීමාවන් නිවැරැදිව සලකුණු කර ඇගේ පූර්ණ පරිධියේ හැම ලක්ෂ්‍යයක්ම කොතැනද යන්න ඇයට අවබෝධ කර දීමට සමත් වෙනු මා දුටිවෙමි.
ඈව ඇය විදියට ගොඩ නංවන හැම සීමා ලක්ෂ්‍යයක්ම ඒ සය මසක පමණ කාලය තුළ මා දුටුවෙමි. මා නිරීක්ෂකයෙකු පමණක් වී සම්බන්ධ වෙන්නෙකු නොවී සිටීම තුළ ඇගේ‍ කොන්දේසි විරහිත පිළිගැනීමේ දෑස කොන්දේසි සහිත පිළිගැනීමක් බවට පරිවර්තනය වනු මා මොහොතින් මොහොත නිරීක්ෂණය කළෙමි.

ඒ සමසක පමණ කාලය තුළ ඒ අනුව ඇය ඇගේ මාමා, සීයා, ආච්චීඅම්මා, අක්කා ලෙස පෙනී සිටින්නන් පෙර පැවැති එකම සමස්තයකින් වෙන්කර ගන්නට අපූරු හැකියාවක් ලද්දේ ඇගේ ආච්චි අම්මාගේ ඥාණ ප්‍රභාවය සහ අප්‍රතිහත ධෛර්යය හේතුවෙනි.
තව පොඩ්ඩෙන් ඇය ලෝකයේ සියල්ලන්ටම එකසේ ආදරයෙන් බැඳී සිටින්නට ඉඩ තිබිණි.
ඒ වන විට ඇයට නිවැරැදිව වචන උච්චාරණය කිරීමේ හැකියාවද ස්වභාව ධර්මය විසින් ලබා දෙමින් තිබිණ.

දිනෙක ඇගේ මාමා දුර බැහැර කොදෙව්වක සිට පැමිණියේය. කළින්ම ආරෝපනය කර තිබූ තමන්ගේ කම සමග ඇය ඇගේ මාමාව පිළි ගනු මා දුටිමි.

දැන් ඉතින් නුවන් මාමගෙ කාමරේට දුවන්න ඕනි නෑ බබාගෙ මාම ඉන්නවනෙ. ආච්චි අම්මා පවසයි.

දින ගණනක් ඇගේ කටහඞ මිස ඇය මගේ කාමරයේ දකින්නට නැති විය.

දැන් මගේ මාම ඇවිල්ල ඉන්නෙ. ඇය අහම්බෙන් දකින මට පවසයි.

ඇගේ පෙර පැවැති කොන්දේසි විරහිත සිනහව, ප්‍රමෝදය, පිළිගැනීම, සුරතලය සහ ආදරය ඒ දෑස් වලින් ටිකෙන් ටික නිවී යනු මම මොහොතින් මොහොත දුටුවෙමි.
ඇය දැන් කලෙක බබා ලෙස ඇයම හඳුන්වා ගත් ඈ තුළ වූ මම හඳුනාගෙන සිටියි. ඒ ව‍ගේම ඇගේ ඒ මමත්වයේ පරිධියට අයිති සියඵ ඥාතීත්වයන් හඳුනා ගනිමින් සිටියි.
ඇයට හඳුනා ගැනීමට ශක්තිය නැති අනෙක් හැම සීමාවක්ම ඇගේ පරිනත ආච්චි අම්මා විසින් තව දුරටත් හඳුනාගන්නට උදව් වෙමින් සිටියි.

ඇය දැන් ඉඳුරාම යම් නිශ්චිත පවුලක සාමාජිකයෙක් බවට පත්වී හමාරය. පවුල්ගතවීම තුළ ඇයට ඇයගේ කේන්ද්‍රය නිශ්චය කර ගැනීමට හැකියාව ලැබෙන හැටි මම දකිමින් සිටියෙමි. ඒ කේන්ද්‍රය වටා ඇය ඇගේ මම ගොඩ නගනු ඇත. ඇය දැන් ඒ කේන්ද්‍රයෙන් සහ පරිධියෙන් පිටත පවතින වෙනත් පවුල් වලට අයත් අය පිට අය ලෙස හඳුනා ගනිමින් සිටියි.

පවුල කියන්නේ කෙබඳු දෙයක්ද? මම කල්පනා කරන්නට වීමි. ඒ තුළ ඇය අනාගතයේ කෙසේ හැසිරෙනු ඇත්ද? ඇය විසල් ‍ලොවක සිට කුඩා ලොවකට අවතීර්ණ වී ඇත. ඉතින් ඒ න්‍යෂ්ඨිගත වීම තුළ ඇය ඇයව හදුනාගෙන ඇත. කළින් ඇය විසල් ලොවක විසිරී සිටියෙන් ඇය යනුවෙන් පවතින කිසිවක් ඇය හඳුනා ගැනීමට අපොහොසත් විය. එවිට ඇය ලෙස පැවැතියේ ජීවයෙන් පිරුණු කොන්දේසි විරහිත බැඳීම, ආදරය, පිළිගැනීම සහ සතුටයි. ඒත් දැන් ඒ සියල්ලද පුංචි පරිධියකින් යුත් පවුලක් තුළට කේන්ද්‍රගත වී ඇත.

ලෝකයේ විනාශකාරීම ඒකකය පවුලයි.

මට එසේ සිතුණ වාර අනන්තය. අතීත ලෝකය තුළ වගේම වර්තමාන ලෝකය තුළද එක පවුලක සුඛ විහරණය වෙනුවෙන් අති මහත් ජනතාවක් පීඩනයට හෝ සූරා කෑමට ලක්වීම සිදුවුන හෝ සිදුවන අයුරු දැකිය හැකි බැවින් මට එ‍සේ සිතුණාද යන්න මා නොදනිමි.
ඇයගේ දෑසේ සිදුවන වෙනස් වීම දකින මට පවුල පිළිබඳ මේ අවබෝධය ගෙන ආවාද යන්න අදත් මා කල්පනා කරමි. ඒත් පවුල කියන මනෝ නිර්මිත ඒකකයක කේන්ද්‍රයක් තුළට ඇය ඇද නොවැටුණේනම් මා සතුටු වන්නට ඉඩ තිබිණ. මන්ද එසේ කලෙක මාද ඇද වැටීම තුළ මා සමස්තයේ පවතින ස්වභාවික ප්‍රමෝදය, පිළිගැනීම, සජීවී බව අහිමි කරගෙන සිටිනා බව මා අවබෝධ කර ගෙන සිටි බැවිනි.
මනුෂ්‍යත්වයේ විවිධ සීමාවන් නොදැනුවත්වම මා තුළ හිඳ මා යම් තැනක සිර කර තිබෙනුද මා එයින් ගැලවිය නොහැකිව බලා සිටිනුද මා තවමත් දකිමි.

ආරම්භයේ නොදැණුනු මනෝ නිර්මිත පවුලක කේන්ද්‍රගත වීම මා බිය ගන්වයි.

කලෙක මා කොතනක හෝ කියවූ සිද්ධියක් මගේ සිහියට නැගිණ. හිට්ලර්ගේ නාසි හමුදාවේ සිටි නරුම අලුගෝසුවා වූ අයික්මාන් හිට්ලර් යටත් වීමත් සමග ආර්ජන්ටිනාවට පැන ගොස් සිටිද්දි ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය ‍විසින් අල්ලා ගනු ලබන්නේ දෙවන ලෝක මහ යුද්ධයෙන් පසු එළැඹි දෙවැනි දශකය තුළයි. දහස් ගණන් මිනිසුන් ගැහැණුන් සේම කුඩා දරුවන් ඇද ගෙන ගොස් පේළියට තබා වෙඩි තැබීමටත්, ගෑස් කාමර වලට දැමීමටත් අයික්මාන් මහත් රුචියක් දැක්වූ බව එහි සඳහන් වී තිබිණි.
කෙසේ වෙතත් ඔහු ග්‍රහණයට ගෙන අත් අඩංගුවට ගැනීමේ ප්‍රධාන කාර්යය සිදුකල යුදෙව්වාට ඔහු පවසනු ලබන්නේ,
මාව මැරුවත් මගේ දරුවන්ට කරදරයක් කරන්න එපා
මම දරුවන්ට ආදරෙයි ලෙසිනි.
පවුලෙන් පසු අප කේන්ද්‍රගත වෙන්නේ ජාතිය තුළද? 
එතකොට දහස් ගණනක් දරුවො මරද්දි ඔය දරුවන්ට තිබෙන ආදරය තිබුණෙ නැද්ද? ප්‍රශ්ණකරු විමසයි.
ඒක මගේ රැකියාව. ඉහළින් එන අණ මම ඉටු කරන්න ඕනි.
එහෙම නොවුණත් ඒ අය යුදෙව්වොනො ඒ අයික්මාන්ගේ මනෝ නිර්මිත ජාතිකත්වයයි.

පවුල කියන්නෙ ලෝකයේ විනාශකාරීම මූලික ඒකකයයි.
මට මේ සිතුවිල්ලෙන් ගැලවිය නොහැක්කේ ඇයි?

සමහර විට ඒ මගේ කාළකණ්නිකම විය හැක.