ඇගේ සිහින් අත මගේ අත වටා එතේ.
සියුම් පහසක්ද, ආශාවක්ද ක්ෂණයකින් විදුලියක් මෙන් හිස කරා ඇදී යයි. මා ගැස්සී යමි.
ඒ සමගින් හෙණයක් ගැසූ සේ බියකින් නැවතත් හිස කම්පනය වේ.
දැඩිව මගේ අතේ එල්ලී සිටින ඇගේ ඇතුල්
හදවත මා දකිමි. ඒ දැඩි බව මා පලා යා යැයි සැකයක් පිළිසිඳුණු ඇගේ හදවතේ මතුපිට ප්‍රකාශණයයි.
ක්ෂණයක ප්‍රීතියක් ජනිත කල ඒ පහසම ඇගේ හදවතේ ප්‍රකාශණයන් දැනෙද්දී මාව බිය ගන්වනු
ලැබේ. ඒ අත මා වෙලූ යකඩ දම්වැලක් යැයි මට සිතේ. ගැලවිය නොහැකි සංසාර බන්ධනයක යදමක්
ඇගේ වම් අත ලෙසට විකසනය වී මා සොයාවිත් ඇත. ඉතින් මේ හිස පෙලන බිය සාධාරණය.
මේ ඊයේ වනතුරු ඇගේ සිහින් අතගෙන ඇවිද
යන අයුරු මම සිතින් වින්දනය කළෙමි. සැබෑවක් නොවන ඒ සිහින සක්මන ප්‍රිය උපදවන
සියුම් වින්දනයකින් මා මනස පුරවා දමා තිබිණි.
“මොකද ඔයා හොල්මනක් දැකල වගේ”
මා තිගැස්සී සිනාසෙමි.
“නෑ මං ඔයා දිහා බැලුවෙ නෑ”
ඇය මා කොනිත්තයි. යදම් සිරවුණු තැනක
ඇතිවූ රිදීමක් මගේ හිස කරා දිවයයි.
ඈ දැඩිව අල්ලා සිටින මගේ අත පද්දයි.
මගේ හිස තුළ යදම් සෙලවෙන නාදයක් පිළිරැව්
දේ. ඒ හඞ මා විපිලසර කරවයි.
දැඩි හිරු රැසින් ගිනියම් වූ පරිසරය
සිරුර උණුසුම් කර ඇත. දහඩිය බිඳු හිස වටින් බේරේ. ඇගේ මෙන්ම මගේ අත්ද තෙතබරිත
දහඩියෙන් එකට ඇලී ඇත. චලනයක් පාසා ඇලවෙමින් ගැලවෙමින් අපේ දෙඅත් තබන්නට ඒ ගිනියම්
දහඩිය කටයුතු කර ඇත. ඒ ඇලෙන ගැලවෙන දහඩිය රුධිරය ලෙසින් විටෙක මට දැනේ.
අප දැන් බෝ මඵවේය. මේ පෝදා පට්ට
දහවලයි. මෙතැන මල් පූජා කිරීමේ හා හඳුන්කූරු දැල්වීමේ තරඟයක් පැවැත්වේදැයි මා
පුදුමයෙන් බලමි. පෝලිමේ ගොස් අප මල් කිහිපයක් මල් අසුන මත තැබීමට සමත් වූ අතර අධික
රස්නය සහිත හඳුන්කූරු රඳවන තුළ අත පුච්චා නොගෙන හඳුන්කූරු කිහිපයක් ගැසීමටද අපි
සමත් වීමු.
“යමු පහන් පත්තු කරන්න”
“මේ පට්ට දවල් මොකටද පහන් පත්තු කරන්නෙ”
මම ගෙලවටේ ගලන දහඩිය වම් අතින් පිස
දමමි.
“දවල් කියල නෑ පත්තු කරනව”
“ආලෝකය පූජා කරන්න ඕනි රෑටනෙ ඉතින්”
“නෑ මේ ප්‍රඥා ප්‍රදීපය තමන් තුළ
දැල්වෙන්න කරන ප්‍රාර්ථනයක් කියල හිතන්න”
මා නැවතත් තිගැස්සෙමි. දැල්වෙන ප්‍රඥාවද සැරින් සැරේ මා තිගස්සවමින්
මගේ හිස තුළ බිය ඇති කරමින් සිටින්නේ, මා
කල්පනා කරමි.
“අම්මෝ ප්‍රඥාව අපි තුළ පහළ වුණොත් අපි
දෙන්න අපිටම හොයාගන්න බැරිවෙයි” මා පවසමි.
ඇය මෙතෙක් මල්, හඳුන්කූරු තරඟ සඳහා
සහභාගි වීමට අතහැරැ සිටි මගේ අත නැවතත් තරයේ අල්වා ගනියි.
මගේ ළය තුළ ඇය ගැන අනුකම්පාවක්,
දයාවක් ජනිත වී මගේ පපුව ඇතුළත සීතල වී යනු දැනේ. ඒ හැඟීම ඇස් වල ඇතුල් කුහරයකට
තෙතක් ගලා ඒමට සලස්වනු මට හොදින් දැනේ.
සිතුවිලි තුළ සිහින සක්මන සහ යතාර්ථයේ
එක්ව කරන සක්මන එකිනෙකට වෙනස් හැඟීම් මා තුළ ජනිත කරමින් සිටියි. සිතුවිලි තුළදී
ළංවීමත්, සැබෑව තුළ පලා යාමත් අපේක්ෂා කරන හැඟීම් පිළිබිඹු කරන මුහුණු දෙකක් සහිතව
මා ඉපදී සිටින බව මා දැන් පසක් කරගෙන සිටිමි.
ඒත් ලෝකයා දකින්නේ ඒ මුහුණු දෙකම එකක්
ලෙසිනි. එනිසා මා තවම ආරක්ෂිතය.
නැවතත් ඇය මගේ අතින් ඇදගෙන යයි. මගේ
දකුණු අත සිරකර දැමූ දම්වැලක කෙළවරින් කිසිවෙකු මා ඇදගෙන යනු මට දැනේ.
ගිනි කාෂ්ඨ අව්වෙන් රත්වුණු වැලි මතට
සුළඟින් නිවී වැටුණු පහන් වල උණු පොල්තෙල්
සැලී ගොස් පය තබන විට යටිපතුල් දැවේ. ඉහළින් දැඩි හිරු රැසින් හිස පිච්චෙන ලෙස
දැනේ. ඒ අතරින් අප දෙදෙන පහන් වැලවල් අතර ඇඟිලි තුඩු වලින් වේගයෙන් ඇවිදිමින් ප්‍රඥාව
දල්වන්නට තැනක් සොයමින් සිටිමු.
දැන් රාත්‍රියයි. නැවතත් මම සිතුවිලි
තුළ ඇගේ ප්‍රිය පහස ආශ්වාදනය කරමින් සිටිමි.
අර කියනවා වගේ දවල්ට පහන් පත්තු කරලා වැඩක් තියේ යෑ. දෙන්නම කැළණි ගිහින් වගේ.
ReplyDeleteඋභතෝකෝඨිකය!
ReplyDeleteහැම ක්‍රියාවක් එක්කම, හැඟීමක් එක්කම එකට හා වී ඇති එහි ප්‍රතිවිරුද්ධතාවය, සම්මතයේ ආරක්ෂාවත් සමග එන බන්ධනයේ අනාරක්ෂිතබව සියුම්ව නිරූපනය කරවුණු කතා පිංචක්.
ප්‍රඥාව තමන් තුළ පහළ වේවායි පතමින් ප්‍රඥාව කෙරෙන් පළා යන සමාජ ක්‍රමයක සිරවීමටම වලිකන ජීවිත දිහා බලන්නෙ උපහාසයෙන් මෙන්ම අනුකම්පාවෙනුත් කියලයි හිතෙන්නෙ.
ඔය මුහුණු දෙක හැමෝටම එහෙමයි කිව්වොත් හරි. කාන්තා පුරුෂ දෙපක්ෂයටම.
ReplyDeleteතර්කයකින් තොරවම දේවල් පිලිගන්න ගමන් ඒක ගැන ප්‍රශ්ණයක් ඇහුවම දෙන්න පුළුවන් පඬි ටෝක් වලින් නම් අපි ගොඩක් සන්නද්ධයි. ඒ සිස්ටම් සංවර්ධනය වෙලා තියෙන්නෙ ඒ විධියෙ ස්වයං ආරක්ෂණ විධිවිධානත් එක්ක නේ ;-)
ඔය මූණු දෙක සැලකිය යුතු තරමකටවත් සමපාත වෙන තත්ත්වයක් හදාගන්න ඔය බන්ධනය ඇතුලෙ සෑහෙන්න වැඩ ගොඩක් කරන්න වෙනව. :-|
හැමෝටම තියෙන මුහුණු දෙක. සමහරුන්ටනම් දිව දෙකකුත් තියෙනවලුනේ...
ReplyDeleteඔය මුහුණු දෙකෙන් මොන මොන තර්ක කළත් අන්තිමට අපි තෝරගන්නේ තාවකාලිකව හරි සතුටක් ලබන්න පුළුවන් දේවල්මයි. මටනම් එහෙම හොඳයි.... තාවකාලිකව හරි සතුටින්නේ! :)
දවල් කියල නෑ, පන්සල් ගියාම පානක් 'පත්තු' කරන්නම ඕනෙ, නැත්තං කොහොමද 'නිවන්' යන්නෙ.
ReplyDeleteඅාදරේ මේ මට්ටමෙන් නොතේරේ! :( සමාවන්න :(
ReplyDeleteඅනේ මන්දා... මේවා අස්සේ ලෝකේ අතරමo වෙනවා වගේ දැනෙනවා
ReplyDeleteඔය වගේ දෙබිඩි ජීවිතයක් අපි හැමෝටම තියෙනවා. පෘතග්ජනයන්ට ලැබෙන දෙයින් සතුටු වෙලා ඉන්න බෑනෙ? තණ්හාව තියෙන කල්
ReplyDeleteඒක ඇත්ත...
ReplyDeleteඑම දෙබිඩි බව නිසා සමහර වෙලාවට ලොකු අපහසුතාවයක් දැනෙනවා.
ඒත් කරන්න දේකුත් නැහැනේ, දෙබිඩිබව තුලම සරනවා හැරෙන්ට.
අපි හැමෝම ඉතින් ආශාව පස්සේ දුවන අයනේ. ඇලීම හා ගැටීම අතරේ තමයි හැම තිස්සෙම ඉන්නේ. ඒක ඉතින් මූනු දෙකක් උනත් කරන්ට දෙයක් නෑ. සංසාරේ ඉවරවෙනකල් ඔහොම තමයි.
ReplyDeleteඅපොයි කවදාවත් නැතුව අද බණත් මතක් උනා..:D
ලොවට පෙනෙන යදම් හිත නිවන හැටි.
ReplyDeleteආදරේද දෙබිඩි හිතද දෙබිඩි?
ReplyDeleteමැණික්
soyami oba kaurunda
ReplyDeletekohe sita pamineda
kedina oba hamuweda
pamina ma sipaganida