Sunday, 24 June 2012

රටවැසියන් නැති රජෙක්...






කාලයක් මා සම්බන්ධ වී සිටි රාජ්‍ය ආයතනයක සේවය කල සුඵ සේවකයෙක් තමයි අනිල් කියන්නෙ. මා ඔහු ගැන එතරම් තොරතුරු දැනගෙන හිටියෙ නෑ වගේම හාර පන්සීයක් සේවය කල එම ආයතන තුල ඔහුව ඇසුරු කල සංඛ්‍යාවද ඉතා සුඵ ප්‍රමාණයක්.

එතරම් බර වැඩ නැති සැහැල්ලු සේවාවන් ඔහුට පැවැරී තිබුණු බව මා දැන සිටිය. වැඩි හරියක් රාජකාරී වුණේ ඔහුගේ සේවා ප්‍රධානීන්ගේ පුද්ගලික අවශ්‍යතා සැපිරීමයි. රාජ්‍ය ආයතන වල ඒක සාමාන්‍ය දෙයක් නිසා මම ඒක ඒ හැටි මායිම් නොකල අතර අනිල්ද එය ගණන් ගත් බවක් පෙනෙන්න තිබුණෙ නෑ. ඕනෑම වෙලාවක තමන්ගේ සේවා ප්‍රධානීන් වෙනුවෙන් කඩේ දිවීම මෙලොව තමන් වැටුප් ලබන මෙහෙවර ලෙස ඔහු සලකනවා විය හැකි බව මට වැටහී ගියේ ඔහු ඒ සියල්ල ප්‍රසන්න ආකාරයෙන් සිදු කරන නිසයි. ඔහු යන එන හැම විටම ශබ්ද නගා ගීයක් මුමුණමින් ගමන් කලා. අවට සිටින්නේ කවුද යන්න ගැන ඔහුට වැදගත් නොවීය.

මා පැමිණි මුල් කාලයේ උදේට ආපන ශාලාවේදී ඔහුව දකිනව වගේම මම බොහෝ විට අනිල් ආහාර ගන්නා මේසයේම වාඩි වී ආහාර ගනු ලැබුව. ඔහුගේ මිතුරා ලෙස එකට ආහාර ගත්තේ මම නම නොදත් දකුණු අත වෙනුවට කෘතිම අතක් සහිත පුද්ගලයෙකුයි. මොවුන් දෙදෙනාගෙම එක ලක්ෂණයක් තිබුණ. නිතරම උච්ච ස්වරයෙන් කතා කිරීම සහ සිනාසීමයි. වම් අතින් පමණක් ආහාර ගන්නා, ලියන, වැඩ කරන ඔහුගේ මිතුරා කොහෙත්ම ආබාධිතයෙක් ලෙස කාටවත් නොපෙණුනේ ඔහුගේ එම හැසිරීම සහ අත්දිග කමීසයට වැසී ගොස් කෘතිම දකුණු අතේ අත්ල පමණක් එළියට විවරව ඇති නිසයි. ඕනෑකමින් බැලූවෙකුට මිස එය කෘතිම අතක් බව නොපෙනේ.

අනිල්ගේ මා ප්‍රිය කල ලක්ෂණය මේ ගීත ගායනා කරමින් රාජකාරී ගමන් බිමන් සිදු කිරීමයි. සේවා ස්ථානයෙන් බැහැර මහ මග ගමන් කරද්දී වුවද ඔහුගේ මේ ලක්ෂණය දැකිය හැකි වුණා. ඔහුගේ ගමන තුළ සිටින්නේ ඔහු පමණකි. ඔහු පසු කර යන හෝ ඔහු ඉදිරියට එන නාඳුනන කිසිවෙකු ඔහුට නොපෙනෙන සේය. එසේම දැන හඳුනන අයෙකු පැමිණෙයි නම් ළඟට පැමිණෙන්නට පෙර දුර සිටම මුමුණන ගීතය නවතා හයියෙන් කතා කිරීම ඔහුගේ සිරිතයි.

අනිල් ඒ වන විටද ජීවිතේ මැදි වියට පැමිණි සිටියෙකි. අවම වශයෙන් වයස අවුරුදු හතළිස් පහක් වත් විය යුතු බව මා අනුමාන කලෙමි. ඔහුගේ හැසිරීම අනුව මා සිතා සිටියේ ඔහු තනිකඩයෙකු බවයි. එහෙත් දිනක් සේවා ස්ථානයට නුදුරු නගරයේදී ඔහු කාන්තාවක් සමග ගමන් කරනු දුටුවෙමි. එහෙත් මා පුදුමයට පත් කල දෙයනම් ඔවුන් තරුණ පෙම් යුවලක් මෙන් අත් පටලාගෙන එකිනෙකාගේ සිරුරු වල ගෑවෙමින් ළංව ගමන් කිරීමයි. අනිල් විසින් ඉහළන ලද කුඩයක් යට අව් රශ්මියෙන් ආවරණය වී ඔවුන් දෙදෙනා එකිනෙකාට තුරුඵව මෙන් ගමන් කරන හැටි මම බලා සිටියේ උපහාසාත්මකවයි. මගේ හැඟීම වුණේ ජීවිතේ මැදිවියට පැමිණි තනිකඩ අනිල්ට ඔහුගේම වයසට සරිලන පෙම්වතියක ලැබී ඇති බව සහ ඔවුන් ප්‍රේමයෙන් මත්ව එසේ තරුණ යුවලක් සේ හැසිරෙන බවයි. එහෙත් ඔවුන්ගේ හැසිරීම දෙසට අනෙකුන්ගේ නෙත් යොමුවන හේතුව වුණේ ඔවුන් කොහෙත්ම තරුණ වියේ නොවුණු බැවින් සහ එලෙස අතිනත් පටලාගෙන මහ මග ගමන් කරන මැදිවියේ හෝ මහඵ වියේ පෙම්වතුන් දුර්ලභ දසුනක් නිසාය.

එසේම අසල නගරයේ දහවල් කාලයේ තනියෙන් ගමන් කරන විට වුවද ඔහු දැඩි හිරු රශ්මියෙන් ආරක්ෂා වීම සඳහා කුඩයක් ඉහලාගෙන ගමන් කරනු මා දැක ඇත. බොහෝ විට පුරුෂ පාර්ශ්වයේ උදවිය එසේ අව්වට කුඩ ඉහළාගෙන යාමට ලැජ්ජා වන නමුත් අනිල්ට එවැනි මානසිකත්වයක් නොමැති වීම ගැන මා සතුටු වුණේ දාඩිය පෙරාගෙන ඔඵ කට්ට ගිනියම් වන අව්වේ මා ගමන් කරද්දී ඉහළාගන්න කුඩයක් තිබිණි නම් යන සිතුවිල්ල මා තුළද ඇතිවන බැවිනි. ඒත් බොහෝ පිරිමින් සේම මාද වැස්සට මිස අව්වට කුඩ රැගෙන යාමක් නොකෙලෙමි.

එසේම ඇතැම් විවේකී සවස් වරු වල මා නිතර දකින දසුනක් වූයේ අප ආසන්නයේ පිහිටි කුඩා නගරයේ විද්‍යුත් උපකරණ ප්‍රදර්ශණාගාරයක දමා ඇති රූපවාහිනී යන්ත්‍ර වල විකාශණය වන වැඩසටහන් දෙස ඔහු තනිවම බලා සිටීමයි. ක්‍රිකට් තරඟ පවතින දින වල නම් එසේ එම ස්ථානයේ බොහෝ මිනිසුන් රැස්කමින් ක්‍රිකට් තරඟ නරඹන නමුත් එසේ නොවන සාමාන්‍ය දිනවල එම රූපවාහිනී තිර වල විකාශණය වෙන වැඩසටහන් නරඹණ එකම ප්‍රේක්ෂකයා අනිල් පමණක් බව මම දැක ඇත්තෙමි. ඔහුට එය ලැජ්ජාවකට කරුණක් නොවුණේ ඔහුට අනෙකුන්ගේ බැල්ම වැදගත් නොවන නිසා විය යුතුය.

කොහොම නමුත් අනිල් පදිංචි ස්ථානයට නුදුරු ස්ථානයක් වෙත මගේ නවාතැන මාරු වීම නිසා අනිල් සහ මා අතර යම් හිතවත් කමක් ගොඩ නැගුණද එය සමීප හිතමිතුරු ඇසුරක් නොවිණ. නගරයේ සිට සැතපුමක් පමණ පා ගමනින් යා යුතු ඒ දුර අපට සාමාන්‍ය දෙයක් විය. කෙසේ වුවත් එසේ මගේ අලුත් නවාතැන නිසා මට ඔහුව නිතර නිතර දක්නට ලැබිණ. නගරයේ සිට මම නවාතැන් ගෙන සිටි ගම දක්වා වූ දුර පයින් ඇවිද යන බොහෝ අවස්ථා වල අනිල් ඔහුගේ පෙම්වතිය සමග අතිනත් පටලාගෙන යන එන එක මට සාමාන්‍ය දසුනක් විය. එවිට මට හැඟී ගියේ ඔවුන් මෑතකදී විවාහ වී ඇති නිසා මෙසේ සමීප ඇසුරක සිටින බවයි. ඔහුගේ බිරිඳ එතරම් දැකුම්කඵ හෝ ප්‍රියමනාප පෙනුමකින් තොර මැදිවියේ වූ මිටි සහ කෙට්ටු කාන්තාවක් විය.

එක් ඉරු දිනෙක හවස් භාගයේ ඔහු වයස අවුරුදු දොළහට වැඩි විය යුතු යැයි සිතිය හැකි වැඩිවිය පැමිණි ගැහැණු දරුවන් දෙදෙනෙකු සමග නගරය දෙසට පැමිණෙනු මට මුණ ගැසිණ. ගැහැණු දරුවන් දෙදෙනා ඔහු දෙපැත්තෙන් ගමන් කල අතර ලොකු ළමයි වුවද ඔහු අත්‍ දෙකෙන් ඔවුන්ගේ අත් අල්ලාගෙන ගමන් කලේ පුංචි දරුවන් දෙදෙනෙකු කැටුව යන විලසිනි.

“කොහේද මේ වෙලාවේ යන්නෙ” මම විමසීමි.

“මේ දෙන්නට පංති තියෙනව හන්දියට ගිහින් දාල එන්නම්”

මම කල්පනාකාරී වීමි. මේ ගැහැණු දරුවන් දෙදෙනා කවුද? ළඟදී විවාපත් වී සිටි ලෙස මා අනුමාන කල ඔහුට වැඩිවිය පත් දරුවන් සිටිය නොහැකිය.

අප සේවා ස්ථානයේම රාජකාරී කල ප්‍රදේශයේ පදිංචි මිතුරෙකුගෙන් අනිල් ගැන මම විමසීමි.

“ඒ උගේ ළමයි දෙන්න බං”

මා පුදුමයට පත්විමි.

“මිනිහ නෝනත් එක්ක පාරෙ යන විදියට මම හිතුවෙ ඊයෙ පෙ‍රේද බැන්ඳ එකෙක් කියල”

“නෑ බං උගේ හැටි ඒ. උඹ ඉන්න හරියෙ කුළියට තමයි මිනිහ ඉන්නෙ”

පසු දිනෙක මගේ මිතුරෙකුට නිවසක් කුළියට සොයා දෙන ලෙස අනිල් පවසනු මා අසා සිටියෙමි.

“දුරින් වුණාට කමක් නෑ රුපියල් පන්දාහකට වගේ හොයල දියන්”

මගේ මිතුරා නිවසක් කුළියට සොයා දීමට පොරොන්දු වෙනු මා අසා සිටියෙමි.

“මමත් මේ ලෝන් එකට මහන්සි වෙනව බං ගේ හදාගන්න ඕනි ඉක්මණට” ඒ මගේ මිතුරාය.

“අයියෝ බං ලෝන් ගන්න මාස ගාණක් අතනයි මෙතනයි දුවනවට, රස්තියිදු වෙනවට වඩා හොඳයි මැරෙනකම් කුළී ගෙවල් වල ඉන්නව” එසේ කියමින් ගීතයක් මුමුණමින් අනිල් පිටවී යනු මා බලා සිටියෙමි.

ජීවිතය ඒ තරම් සැහැල්ලුවෙන් ගත හැකිද යන්න මට පුදුමයක් විය. විශේෂයෙන්ම වැඩිවිය පත් ගැහැණු දරුවන් දෙදෙනෙකුගේ පියෙක්..?

පසු දිනෙක මා මුණ ගැසුණ විට මගෙන්ද ඔහු විමසා සිටියේ,

“මහත්තයෝ ඔයා ඉන්න හරියෙ ගෙයක් එහෙම කුළියට ගන්න තියෙනවද කියල ටිකක් හොයල බලල කියන්න”

“ඇයි ඉන්න තැන මොකද?”

“එතන එක කාමරයක අපි හතර දෙනාම ඉන්නෙ.දැන් ළමයිනුත් ලොකුයිනෙ. ඒකයි වෙන තැනක් බලන්නෙ”

“ඔයා තරම්වත් මම මේ පැත්තෙ අය අඳුනන්නෙ නෑ. ඒත් මමත් උත්සාහ කරල බලන්නම්”
  
“හරි මහත්තයෝ ටිකක් බලන්නකො එහෙනම්”

සිනාමුසු මුහුණින්, ඔහු‍ගේම කඩිසර ගමනින් ගීයක් හෙමින් මුමුණමින් ඔහු පිටව ගියේය.

ජීවිතය කොයි තරම් කටුක වුවද ඔහුට එය ගණනක් නැත. කම්කරුවෙකුට ලැබෙන ඉතාම අල්ප වැටුපකින්, ගෙයක් දොරක් නැතුව වුවද බිරිඳත් ලොකු මහත්වූ දියණියන් දෙදෙනාත්  සමග කුළියට ගත් එක කාමරයක ඔහු සතුටින් ජීවත් වීම මට පුදුමයකි. සිනහවෙන්, ගීයක් මුමුණමින් ඔහු වේගයෙන් පයින්ම ගමන් කරයි.
ඔහු කිසිදා සිගරට්ටුවක් බොනු හෝ බීමත්ව සිටිනු මා දැක නැත. කිසිවෙකු වැඩිය මායිම් නොකරන ඔහුව සහ ඔහුගේ මේ “අනෙකුන්ගෙන් මට වැඩක් නෑ මගේ විදිය මේකයි” නොකියන නමුත් ඒ තුළ ජීවත් වෙන ආකාරයේ චරිතයට සහ සරල පැවැත්මට මා බෙහෙවින් ඇලුම් කළෙමි.

පසු දිනෙක මිතුරන් පිරිසක් අතර සතුටු සාමීචියේ යෙදී සිටින වෙලාවක අනිල්ද අප අතරට පැමිණ විහිඵවක් කර දුර සිට කා සමග හෝ සිනහ වෙමින් කතා කරමින් නික්ම ගිය විට  මා ළඟම සිටි මිතුරාට පැවසුවේ අනිල් නම් අමුතුම වර්ගයේ මිනිසෙක් බවයි.
මගේ ඒ මිතුරා එම ආයතනයේ දීර්ඝ කාලයක් සේවය කල අයෙකු බැවින් සියඵ දෙනාගේම වගතුග ඔහු දනියි.

“ඕක මරු මිනිහ බං. ඒ දවස්වල නන්නත්තාරෙ ගියා. අන්තිමට පොඩි එවුන් දෙන්නෙක් ඉන්න මිනිහ නැති ගෑණියෙක්ව කසාද බැන්ඳා”

මා පුදුමයට පත්වීමි.

ඒත් මා අදටත් හිතින් ඔහුට අසීමිතව ගෞරව කරමි. ඔහු වැනි අනෙකුන් කියන කරන කිසිවක් නොසලකමින් තමන් තුළ රජවීමට සහ ඒ රජකම සරළ මනුෂ්‍යත්වයෙන් පිරවීමට සමත් අන් කවරෙක්වත් මේ වන තෙක් ඉන්පසු මට මුණ ගැසී‍ නොමැත.


Saturday, 16 June 2012

කරුමය





සියල්ලන්ටම
මා බරක් වී 
එපාවී
අතහැර දමද්දිත්
මට මාව
අත් හැර දමන්නට
නොහැකි වූ කරුමය..

Thursday, 31 May 2012

"මම" වෛරය පිණිස වෙමි..





මැවුම්කරු මා මවා ඇත්තේ
වෛරය සඳහාය
ලෝකය මා සූදානම් කලේ
වෛරය සඳහාය..

මගේ නිශ්චිත ජාතිය
සතුරුය අන් ජාතීන් වෙත
මගේ නිශ්චිත ආගම
හෙලා දැක ඇත අනෙක් ආගම්..

මගේ රට මගේ ගම
මගේ පංතිය හැම විට
ප්‍රතිවිරුද්ධ අන්තයන් වෙත
සතුරු සිතැඟිම මවා දී ඇත..

ආදරය පිණිස කිසිවිට
මැවුම්කරු මා මවා නැත
ආදරය පිණිස කිසිවිට
ලෝකය මා සූදානම් කර නැත..


Friday, 25 May 2012

වීරයෝ..








ඔඵවෙන් සිට ගැන්ම
අස්ථිරය කොතන වුව
නැවත ආපසු දිනෙක
දෙපයින්ම නැගෙනු ඇත..

බියසුල්ලෝ තැනක
ඔඵවෙන් සිට ගත් කලට
වීරයන් ලෙස අර
හැඳින්වෙන අපූරුව..



Friday, 18 May 2012

ගර්භනියකගේ ප්‍රේමය







වැරැදීම තුළට පළමුවෙන්ම ඇතුල්වන විට එය වැරැදීමක් නොවන යථාර්තයක් බව ඇයට දැන් වැටහෙයි.

මිලින්ද පහත් මිනිසෙකු නොවන බව ඇය දැන සිටියාය. ඒත් තව දුරටත් ඔහු තමාගේ හදවත තුළ ඇඳී තිබුණු “ඔහු” නොවන බව හෙළිවන සියඵම කරුණු අනාවරණය වී ඇත. ඒ පරමාදර්ශී “ඔහු” ජීව ගුණයෙන් පිරුණු කරුණාවකින් හෙබි ඇය වෙනුවෙන් නිරතුරු සැදී පැහැදී සිටින්නෙකි. ඇය ප්‍රිය කරන සියල්ලම ඔහුද ප්‍රිය කරනු ලබයි. හැම ක්‍රියාවකම සෙනෙහසත්, ශාන්ත බවත්, මෘදු බවත් රඳවා තබා ගන්නෙකි.

එහෙත් මිලින්ද එසේ නොවේ. එබඳු පුරුෂ යන්ත්‍රයක් බවට ඔහු පරිවර්තනය ‍වන බවට එකල ඇයට හැඟීමක් නොවුණද, පසුව ඇය තේරුම් ගත්තේ පෙම්වතා විවාහය නම් ප්‍රතික්‍රියාව හරහා යන්ත්‍රයක් බවට පත් වන බවය.

සියඵ ස්වාමි පුරුෂයන් යන්ත්‍රය. ස්වාමි පුරුෂයන් තුළ තව දුරටත් පෙම්වතුන් ජීවත් නොවේ.

එහෙත් ඒ පැරැණි යථාර්තය අද වැරැදීමක් බව තහවුරු වී ඇත. විවාහය නිවැරැදි කල නොහැකි වරදක් වන්නේ එබැවිනි.
ආදරය සහ ද්වේෂය අතර හරි මැද ලැඟුම් ගත් ඇල්මැරුණු ජීවත් වීම ඇය අපේක්ෂ නොකල දෙයකි. ඒ මධ්‍යස්ථය සාමයක් හෝ යුද්ධයක් නොවේ. එය කිසිම නැවුම් හැඟීමකට, සිහිනයකට ඉඩ නොතබන අබ්බගාත ස්වභාවයකි.
ඇය මධ්‍යස්ථයට අකමැතිය. ජීවිතය ආන්තික විය යුතුය. මේ අබ්බගාත ස්වභාවයට වඩා ආදරයේ උච්ඡස්ථානයක හෝ ද්වේෂයේ පහත් ගැඹුරක පවතින ත්‍රාසය, බිය ඈ තුළ ජීව ගුණයක් ඇති කිරීමට ඉඩ තිබිණ.

ඇය අමල්ට සමීප වූයේ මෙන්ම ප්‍රිය කලේද එබැවිනි. ඔහු කිසිසේත්ම බැරෑරුම් මිනිසෙකු නොවේ. අමල්ගේ අක්‍රමවත් රැවුල බෑම මෙන්ම හිස කෙස් පීරීමද, ඇඳුම් ඇඳීමටද ඇය ප්‍රිය කළාය. මිලින්දගේ දිනපතා ක්‍රමවත්ව පවත්වාගෙන යන ශරීර නඩත්තුවට වඩා ඒ තුළ දිනපතා අලුත් යමක් සොයාගත හැක. හැම විටම හැමදේම නොසැලකිල්ල නිසා අමතක වීම පුරුද්දක් කරගත් අමල්ව ඈට ප්‍රිය මනාප වන්නේ කන බොන, නිදන, ඇහැරෙන මෙකී නොකී සියල්ල මතකයේ තබා ගත් යාන්ත්‍රික ස්වාමියා නිසාමය.

බිරින්ඳෑවරු එසේය. තමන්ගේ ස්වාමියා හැරැ අන් සියලු පුරුෂයන් තුළම ඇයට නැවුම් බවක් දැකිය හැක.

එබැවින් ඇය නැවතත් ප්‍රේමයෙන් වෙලුණාය.

ඇය මිලින්ද සමග රැඳී උන් මධ්‍යස්ථයේ සිට ප්‍රේමය ලෙස ඇය නම් කල උච්ඡස්ථානයකට පැමිණ සිටියේ අමල් සමගය. ඉන්පසු ඒ උච්ඡස්ථානය සහ මධ්‍ය ස්ථානය අතර දෝලනය වීම ඇයට ජීවිතය පහසු කරලීය. අමල්ට කිසිසේත්ම ඈ ඉදිරියේ යන්ත්‍රයක් බවට පත් වීමට නොහැකිය.
ඒත් ප්‍රේමය පිටුපසින් එන දුෂ්ඨ සෙවණැල්ලනම් අයිතිකර ගැනීමේ ආශාවයි.

ඇයට නොසිතුණද ඒ ආශාව සපුරාගත් කාල වකවානුවක් තුළ ඇයද යාන්ත්‍රික ක්‍රියාවලියක එකතුවක්ව සිටි බව අමල්ට ‍නොදැණුනා නොවේ. මිනිසුන්ගේ දෙනෙත් දෘෂ්ඨියට  හසුවන වපසරිය අංශක එකසිය අසූවකට වඩා වැඩි වීමට ඉඩක් නැත. එහෙත් අංශක තුන්සිය හැටක වපසරියක් තමා වටා ඇති බව බොහෝ විට නොදැනීම මිනිසුන්ගේ හොඳ නොවන දුර්වලතාවයකි.

කෙසේ වුවත් අර දුෂ්ඨ සෙවණැල්ල ඔවුන්ගේ ප්‍රේමය පසුපසින්ද පැමිණෙමින් සිටියේය. ඒ සෙවණැල්ලේ පළමු ගොදුර බවට පත්වී සිටියේ අමල්ය. නොසන්සුන් ආශාවත් විඩාවත්, දැල්වෙන බලාපොරොත්තුවත් ඔහුගේ මොහොතින් මොහොත අලුත් වන පැරැණි ස්වභාවය වෙනස් කොට ඒකාකාරී මිනිසෙකු බවට පත් කර තිබුණි. වරක් එවැනි සෙවණැල්ලක ගොදුරක්ව සිටි හෙයින්දෝ ඇයට ඒ සෙවැණැල්ලේ බලපෑම භාර ගත නොහැක්කක් බවට පත්වී තිබුණද එහි බලපෑම කොතෙක්ද යත් පෙර අමල්ගේ විවිධත්වයට රුචි වුවද දැන් ඔහුගේ ඒකාකාරී ගලා යෑම ඇයට වටහා ගත නොහැකි වී තිබිණ.

ප්‍රේමය එකිනෙකා නිරාවරණය කරනු වෙනුවට සැම විටම වසා දමයි.


කිසිවකින්වත් අමල්ගෙන් දුරස් නොවීමට ඈ අදිටන් කර ගෙන සිටියාය. එකම  භූමිකාව නැවතත් වෙනත් තැනක රඟපාමින් සිටින බව කිසිසේත්ම ඇයට වැටහීමක් නොවිණ.

ඒත් සෙවණැලි වලට වැඩි ආයුෂ නොවේ. අන්ධකාරය තුළ සෙවණැලි මෙන්ම ආත්මයන්ද අතරමං වී නොපෙනී යයි.

යාන්ත්‍රික මධ්‍යස්ථයේ මිලින්ද සමග එකමුතුවෙන් ඇය නොසිතූ ලෙස කුස තුළට අමුත්තෙකු පැමිණියේය. ඊට පෙර මහමායාවන් ලෙස ඇය එය සිහිනෙනුදු නොදිටීය. ඒත් ඊට පසු ඇය තුළ හෙණ දහසක් පිපිරී යමින් ලැජ්ජාවෙන්ද, අපේක්ෂා භංගත්වයෙන්ද, වේදනාවෙන්ද ඇය ඇඹරී ගි‍යාය. නොපෙනෙන හදවත් සන්තානයක මිලින්ද දුෂ්ඨයාගෙ චරිතයට පණ පොවමින් සිටියේ ඔහුත් නොදැනුවත්වය.

ස්වාමි පුරුෂයන් එසේය. අවසාන වශයෙන් ‍දැනුවත්ව හෝ නොදැනුවත්ව තම භාර්යාවන් දමනය කරයි.

ඇය මතුපිටින් නොහඞන නමුත් ඇතුළතින් හඞමින් සිටියාය. මතුපිටින් හඞන්නට අවසර නැත. මේ අවස්ථාව සතුටු විය යුතු අවස්ථාවක් ලෙස මුඵ ලෝකයම යෝජනා කරනු ලැබූ අවස්ථාවකි. මිලින්දද සතුටට පත්ව ඇත. ඔහු යාන්ත්‍රික ජිවිතයෙන් අවදිව අලුත් දෙයක් වෙනුවෙන් මොහොතකට සූදානම් වී ඇත. ඇය සිනාසිය යුතුය. 

අමල්ගෙන් සැඟවී ගත යුතුය. ප්‍රේමය ගිනි ගෙන ඇත. නැත්නම් යක්ෂයා විසින් ගිනි තබා ඇත. ඇය කුරිරු විය යුතුව තිබිණ. ඇය එක් ගබ්සාවක් කල යුතු විය. කුස තුළට වන් අමුත්තා ගබ්සා කල නොහැක. එය පවුල යන පරමාදර්ශයේ නෑඹුල්ම ඵල හට ගැන්මයි. මිලින්දගේ පීතෘත්වයේ සිනහවයි. නෑසිය හිතවතුන්ගේ බලාපොරොත්තුවයි.
ඒත් පපුවට යටින් රිදුම් දෙන හදවතේ පිළිසිඳගෙන ඇති ආදරයේ කලලය ගබ්සා කල යුතුව ඇත. ඒත් ඒ කළලය නොපෙනෙන හුයකින් හදවත් දෙකක් තුළම දෙබිඩිව පිළිසිඳ ඇති බැවින් ඒ හුය පළමුව කපා දැමිය යුතුව ඇත. ඇය ඒ හුය කපා දැමීය. එහි වේදනාවෙන් අමල් මර හඞ නැගූවද කල හැකි කිසිවක් නැත. ඇය කඳුඵ සඟවාගෙන ගබ්සාව ආරම්භ කළාය. ඊට එරෙහි වන අමල්ගේ විරෝධය ළඟදි ඇය ද්වේෂයේ පතුළටම කිමිදුණාය. ඒ ගැඹුරු පතුලෙන් නැගී ආ විසල් රළ ඔස්සේ අමල් ඈතකට ගසා ගෙන ගියේය.

ඇය ප්‍රතිවිරුද්ධ ආන්තික අත්දැකීමද සම්පූර්ණ කළාය.

ආදරය සහ වෛරය.

අන්ත දෙකකට උත්කර්ෂයෙන් ගමන් කිරීමෙන් අනතුරුව ඇය මධ්‍යස්ථයේ පළමු වරට තැන්පත් තැනැත්තියක් වූවාය. ඒ හරි මැද ස්ථාවර වීම ආන්තික ගමන් වලදී මෙන් වෙහෙසකර නොවන බව ඇයට පළමුවරට අවබෝධ විය.

“මිලින්ද කොයි තරම් හොඳ මිනිහෙක්ද” ඇය සිතුවාය.

බිරින්ඳෑවරු එසේය. තම ස්වාමියා එළවා දැමිය හෝ මරා දැමිය නොහැකි අවස්ථාව උදාවූ විට ඔහුව භක්තියෙන් පිළි ගනියි.

  

Tuesday, 15 May 2012

ප්‍රශ්ණ වලට ඉඩ නොදුන් ප්‍රශ්ණය






කුස පිරුණු මිනිසුන්ට
සිය ගණන් පුද්ගලික
ප්‍රශ්ණ ඇතිවී තිබුණා
මං පුංචි කාලෙත්....
පවුල් අවුල්
ආදර ගැටඵ
සොර බිය
බැංකු පොළී අඩුවීම
දරුවන් කෑමට හොරවීම
තව බොහෝ....

සිනමා සිත්තම් විලස
නොයෙක වර මට දැණුන...

අදත් එහෙමයි මම
එවන් සිනමා බලන
සාගින්න පමණක්
එකම ප්‍රශ්ණය වුණ..

රැයක් දවාලක් පාසා
නැවත නැවතත්
මා සොයා පැමිණෙන
කිසිදා නොවිසඳුණු
එකම ප්‍රශ්ණය..?
ඉඩ නොදෙයි
සිනමා රූප ලෙස සිතෙන
අන් කිසිම
ප්‍රශ්ණයකට...

සිනමා රූප මත
නලියන චරිත කිසිවිට
නොදන්නා ගැඹුරක තිබෙන
එකම ප්‍රශ්ණය 
ම'වැන්නන් පමණක් දන්න..


Tuesday, 8 May 2012

අනාථ වූ බහිරවයන්ගෙන්..




ගල් තලා යට සැඟවූ
රත්රන් මුතු මැණික් කැබැලිති
රකින්නෙමු යුග ගණන්
වස්තු තෘෂ්ණාවෙන්
මඩිනා සිතැති අප..

අමනුෂ්‍ය 
ස්වභාවය එයයි..

මහ පොළොව සතු
අති මහත් නිධානය
ගහ කොළ ඇළ දොල නදී
සතා සීපාවන්මය..

එය රකිනු බැරි තොප
තෘෂ්ණාවෙන් මැඩූ සිතැතිව
අමනුෂ්‍ය රීති කඩකර
ඉල්ලයි රත්රන් කැබැලි
යුධ භටයින් එවා
බැකෝවෙන් පහර දී..

මුග්ධ මිනිසුනි තොපට
රැකිය නොහැකිය කිසිවක්
කල්ප කාලයක් හාමතින්
වැදහොත් විලස
අමනුෂ්‍යයන් ඉක්මවූ
තණ්හාධිකය තොප මන..

අවසන පැරැදී ඇත
තමා සතු හදවතින්
මිනිසුන්ට පමණක් නොව
අමනුෂ්‍යයන් ළඟද තොප..