Sunday, 22 May 2011

ගැහැණු සිතක් ළඟ 'මම'



මගේ ජංගම දුරකථනය නාද වෙයි. මම කරමින් සිටි රාජකාරිය මොහොතකට නවතා දුරකතනය දෙස බැලීමි. මගේ පරණ යෙහෙළියකි. මා මෙම සේවා ස්ථානයට පැමිණ තවම දින තුනකි. එබැවින් ඇයට විස්තර දැන ගැනීමට අවශ්‍යව ඇති බව මට වැටහිණ. මම ඇමතුම සම්බන්ධ කර කතා කරමින් සිටියෙමි.
ඇය මා දෙස බලා හිඳියි නුරුස්නා බැල්මක් සහිතව. විනාඩියක පමණ කතාවෙන් අනතුරුව මම දුරකතනය විසන්ධි කර සාක්කුවේ දමා ගතිමි.
ඇය මා වෙත ළඟා විය.
කවුරු හරි කෙල්ලෙක් කෝල් කළාම උන්හිටි තැන් අමතක වෙනව. අර වැඩේ තවමත් පරක්කුයි. මටත් එක්ක බැණුම් අහන්න වෙනව ඇය පවසයි.
කිසිවක් නොකියා මම සිනාසෙමින් කරමින් සිටි රාජකාරිය නැවත පටන් ගනිමි. ඇය තවම මා ළගය.
කවුද ගෑණු ළමයද? ඇය නැවතත් විමසයි.
නෑ යාඵවෙක්
බොරු කියන්න එපා
ඇයි මම බොරු කියන්නෙ
එතකොට එයා‍ කතා කරන්නෙ කොයි වෙලාවටද?
ඇගේ සිත මම කියවමි.
එක්කෙනෙක් කියල නෑ
මහ වලත්තයෙක්ද කොහෙද?
මම මේසය මත වූ ලිපි ගොඩක් මත වූ වීදුරු බරුව පිරිමදිමින් එයට සිනහ වෙමි.
ඇය මගේ කන් දෙක තදින් සොලවා ඉවත්ව යයි.
මේ ඇය සහ මා හමුවී තුන් වෙනි දවසයි. ඒත් අප දෙදෙනාම එකම විෂයකට අයත් රාජකාරියක නිරත වූ බැවින් ඉක්මණින්ම සමීප විය. ඒත් තවම අප අපව නොදනිමු.
ඒ වන විට මා වයස අවුරුදු තිහක්ද ඉක්මවා ගොස් සිටි අතර ජීවිතයෙන් හෙම්බත්වූ මගේ ජීවන ස්වභාවය අනෙකුන්ට වඩා වෙනස් විය. අනන්ත පරාජයන් සහ දුෂ්කරතාවයන් අතර පැමිණි ගමනක විඩාපත් බව සහ දිගක් පළලක් නැති හුදෙකලාවක ගිලී සිටි බැවින් මටම ආවේණික පැවතුම් මා සතු විය. මා ඇසුරු කල කිසිවෙක්ට නොලැබුණු ජීවිතයක් මට උරුම වී තිබුණු බැවින් මගේ උරුමය පිළිගත් මා අනෙකුන් දෙස නොව මා දෙසම හුදෙකලාවේ බලා සිටින්නට පුරුදු වී සිටි බැවින් මගේ පිළිවෙත් අනෙකුන්ට වඩා වෙනස් විය. එය මා දැන සිටියද මට අනෙකුන්ගෙන් කාරියක් නැත.
සවස ඇයගේ ස්වාමි පුරුෂයා යතුරුපැදියෙන් පැමිණෙයි. ඒ විගස ඇයගේ කතාව නවතියි. මා පිටව යමි. ඔහුට හොරා ඇය පසුව මට දුරකථනයෙන් කතා කරයි. ඇත්ත වශයෙන්ම කතා කල යුතු කිසිවක් ඇයට හෝ මට නොවීය. ඒත් ඇය කතා කරයි. මම ඇයගේ අහේතුව හඳුනා ගතිමි.
පුංචි දෙයටත් තරහ වෙන ඇය නපුරුකමින් පිරී යයි. මගේ විහිඵ වලට පවා ඇය තරහ වීම සිරිතකි. ඇය පවසන්නේ ඇයට විහිඵ නොකරන ලෙසයි. එදිනට පැය ගණනක් යනතුරු හෝ අවසන මා පිටව යන තුරු ඇය මා දෙස නොබලා හිඳියි. කතා‍ නොකර හිඳියි. කිසිම සංහිඳියාවක් නොදක්වන ඇයගේ නපුරු කමට මා සිනාසෙමි. තවත් විටෙක ඇය උදෑසනම හොරෙන් කදුඵ සලයි. මා විමසූවිට අහක බලා ගනියි. කතා නොකරයි. ටික වෙලාවකට පසු නැවත සිනාසී මා වෙත පැමිණෙයි. හේතු මම නොදත්තෙමි. එහෙත් යම් නොරුස්නා බවක් ඇයගේ යුග දිවිය තුළ කැළඹෙන බව මම තේරුම් ගතිමි. ඔහු ඇයගේ ස්වාමිපුරුෂයා බැවින් ඇයට ඔහු ඇවැසිය. ඒත් ඔහුගේ චර්යාව ඇයගේ සිත නොපුරවයි. ඈ තුළ පවතින හිස් අවකාශය පිරවෙන දේවල් මෙලෙස මා දැක ගනිමින් සිටියෙමි. ඇය ඒ අතරම මා වෙත අසීමිත ආදරයක් ඇති බව පෙන්වයි. එය පෙන්වීමක්ම නොවන්නේ විටෙක එය උතුරා ගලා යන්නේ ඇයවත් නොදැනීම බැවිනි.
හමුවී දින කිහිපයක් වුවද ඇය උදෑසන ආහාරය සඳහා මටත් එක්කම බත් පාර්සලයක් ගෙන ඒමට පුරුදුව ඇත. එයින් අපි දෙදෙනාම කන අතර එහි වැඩි ප්‍රමාණය මා වෙත ලබා දීමට ඇය බල කරයි. වැඩිපුර ආහාර ගැනීම නොදැනුවත්වම අතහැරී ගොස් සිටි මට විටෙක එය විශාල කරදරයකි. එහෙත් ඒ තුළ පවතින ආදරණීය ස්වභාවයම මට එම ආහාර මහත් වූ මිහිරක් ගෙන එයි. මගේ ජීවිත ස්වභාවය අනුව උදේ, දවල්, රෑ යනුවෙන් ආහාර පුරුද්දක් මට නැත. කුසගිනි දැනෙන ඕනෑම වෙලාවක කිසිවක් ගිල දැමීමෙන් කුසගින්න නිවා ගැනීම පමණක් ආහාර වල අර්ථය විදියට මා පිළිගෙන සිටියෙමි. එහෙත් ඇය උදෑසනට ආහාර ගැනීම මට පුරුද්දක් බවට පත් කරමින් සිටියාය. ඇත්තෙන්ම ජීවිතේ කිසිවක් කාලය අනුව වැඩසටහන්ගත කිරීම ඇබ්බැහිවීමක් ලෙස මා සිතුවෙමි. අදටත් මා කැමැත්තේ හැම දෙයක්ම අවශ්‍යතාවය අනුව අවුල් සහගතව සිදුවනු දැකීමටයි.

සැම දවසකම රාත්‍රියේ දුරකථන කෙටි පණිවුඩයක් එවීමටද ඇය පුරුද්දක් කර ගෙන සිටියාය. කෙසේ වුවත් ඇය මට ආදරය කරන බව ඒ හරහා ඇඟවුම් කරමින් සිටියාය. ඇත්තෙන්ම කි‍සිවෙකුටත් ආදරය කල හැකි කිසිවක් මා තුළ ඒ වන විටද මා ඉතුරු කරගෙන නොසිටි බැවින් ඇයගේ හැසිරීම මට ආගන්තුක විය. ඒත් ඇගේ හිස් බවට මා වැනි විපරීත චරිතයකට හැර වෙනකෙකුට ළංවීමට ඇය බිය ගන්වන්නක් වන්නට ඇති බව මා සිතුවෙමි. ඇත්තෙන්ම කෙනෙකුට හානියක් කරන විදියේ පැවතුම් මා තුළ නොපැවැති අතර, ඕනෑම පාඩුවක් හිරිහැරයක් මවිසින්ම විඳ දරා ගෙන ඉවසීම මා පුරුද්දක් කරගෙන සිටියේ මිනිසුන් කරන කිසිවකට වගකීම කිසිවෙකුටත් තමන්ටම කල නොහැක්කක් බව බොහෝ සිදුවීම් හරහා මා පසක් කර ගෙන සිටි බැවිනි.

ඇත්තෙන්ම මම ඇයට ආදරය කළෙමිද මම නොදත්තෙමි. මගේ හැඟීම් වලට වගකීම් සහතික ලබා දීම මටම කල නොහැක්කක් වූයේ හැඟීම් මා තුළ වෙනස් වන හැටි දකිනා විටය. කෙසේ වුවත් ඇගේ ඇසුර ප්‍රිය කරමින් හිඳින්නෙකු මා තුළම වෙසෙන බව මට අවබෝධ විය. පුංචි දේටත් තරහ වන, විටෙක කේන්තියෙන් පුපුරන, අමනාපවූ විට දවසක් වුව කතා නොකර හිදින සහ කිසිවිටෙකත් මා දෙසට සෘජුව දෑස යොමු නොවීමට වගබලා ගන්නා, විටෙක දුකෙන් කඳුඵ සලන, මා වෙනත් කාන්තා පාර්ශ්වයක අයෙක් දෙස බලද්දී හෝ කතා කරද්දී ඊර්ෂ්‍යාවෙන් බලා හිඳින, වචන වෙනුවට ක්‍රියාකාරකම් වලින්ම සියල්ල සිදු වීමට ඉඩ හරින ඇයගේ ස්ත්‍රී ස්වභාවයට මා තුළ වූ කිසිවෙකු අසීමිතව බැ‍ඳෙමින් සිටින බව දකින විට මා මටම බියවිමි. එහෙත් මා කෙරෙහි එසේ ඊර්ෂ්‍යා සහගත වන අවස්ථාවලදී පවා ඇය සැබැවින්ම ජීවත් වන්නේ වෙනකෙකු සමග බව දන්නා මා ඇයට ඊර්ෂ්‍යා නොකරන බව ඇගේ ස්ත්‍රී ස්වභාවය කිසි‍විටෙක ඇයට මතක් කර නොදීම ගැන විටෙක මම තනියම සිනහ වීමි. එසේ වුවද මා සමුගන්නා සෑම සවසකම ඇගේ හිස අතගා ඔහු පැමිණීමට පෙර ඇගේ ජීවිතය වෙත නික්මී යාමට ඉඩ තබා පිටවීමට මා පුරුදු වී සිටියෙමි.

දිනෙක ඇය එසේ සමුගන්නා විටෙක කිසිවෙකුත් දකින්නට නැති බව දැන මගේ පපුව මත හිස තදකරගෙන මා ඇගේ හිස ඔසවන තෙක්ම සිටි‍යාය. එදින රාත්‍රියෙහි ඒ මොහොතේ වගේ සුවයක් කිසිදා ඇයට ඔහු සමීපයේ නොලැබුණු බව මට කියා එවා තිබිණ. මෙහි සිටි රූමත්ම කාන්තාව ඇය වූ අතර ඇය දකින විට ආශාවන්ගෙන් නලියන බොහෝ පුරුෂයන් මෙහිම සිටින බව මගේ ඇස් බොහෝ අවස්ථා වල දැක ඇත. එහෙත් ඇය ළඟ නැති විටෙක හැර කිසිදා ඇය ළඟ සිටින විට ඇය ගැන අනුකම්පාවක් සහ ඇය සැනසීමෙන් සිටිනු දැකීමේ ආශාවක් හැරුණු කොට අන් කිසිදු රාගී හැඟීමක් මා තුළ නොනැගිණ. මගේ ඒ ස්වභාවයට ඇය බොහෝ සෙයින් ප්‍රිය කල බව මට හැඟිණ. එහෙත් කායික ආදරයේ පහස සුවසේ විඳින්නට ආශා කරන තවත් ගැහැණියක්ද ඈ තුළ ජීවත් වෙනු මා දුටුවෙමි. ඔහුගෙන් කිසිදා ඇය ආශා කරන විදියේ ආදරය මුසු පහසක් නොලැබෙන බව ඇගේ කඳුඵත්, විටෙක ඈ ඔහු ළඟ සිටින විට ඔහුට නොපෙනෙන ඈ තුළ වූ නුරුස්නා බවත් මට අවබෝධ කරලීය.

එහෙත් ගැහැණුන් ප්‍රිය කරන ආකාරයේ හැඩිදැඩි බවක් හෝ වගකීම් සහගත බවක් මා තුළ කිසිදා නොපැවැති අතර ජීවිතයම හාස්‍යයට ලක් කරන මා වැන්නෙක් ඇයට අවශ්‍ය වූයේ ඇයි. ඇත්තෙන්ම සම්මත පුරුෂ ස්වභාවය ඇයව අවසානයේ අපේක්ෂා භංගත්වයට පත් කර තිබීම එවැනි ස්වභාවයෙන්‍ තොර මා වෙත විශ්වාසය තැබීමටත්, බැඳීමටත් ඇයට හේතු වූ බව මට පසක් විය. විටෙක ඇය මට කියා සිටියේ
පිරිමි ඔක්කොම එකයි. තමන්ගෙ වැඩේ කෙරෙනකම් විතරයි ආදරේ කියාය.
ඇගේ ඒ ප්‍රකාශණය තුළ ගැබ්වී තිබුණේ සම්මත පිරිමි ස්වභාවය තුළ පවතින අස්ථාවර බව ඇයට වේදනාවක් වී ඇති බවයි.

ඒත් ඇය මා වෙත දක්වන හැඟීමත්, මා ඇය වෙත දක්වන හැඟීමත් ලෝකය ඉදිරියේ අසම්මත යමක් වන බව මා මෙන්ම ඇයද දැන සිටියාය. ඒත් කවදත් සම්මතයට වෛර කල මට කොහොමත් අනෙකුන්ගේ බැල්ම වැදගත් නොවීය. මා තුළ වූ කිසිවෙකු ඇගේ ඇසුර ගැඹුරින් පතන බව දකිද්දී මා විශ්මයට පත්වීමි. ඇත්තෙන්ම එය සිදු විය නොයුත්තකි. එතරම් දේවල් මත ඇලීම මගේ ජීවන ස්වභාවයෙන් ඈත්වූයේ ඇළීමේ වේදනාවන්ගෙන් අසීමිතව බැට කෑමෙන් ලද අත්දැකීම් නිසාය. ඉතින් මේ ඈ ගැන සිතමින් සිටින්නේ සැබෑ මමද? ඇත්තෙන්ම තව දුරටත් මා මටම සාක්ෂි දරන්නෙක් විය හැකිද යන්න මටම ප්‍රහේළිකාවක් වන්නට විය.

අපේ ජීවිත වල සිදුවන කිසිවක් අපවත් හරිහැටි දන්නේද යන්න නැවත විමසා බලන්න මට සිදුවුණද එය පවා අස්ථාවර විමසීමක් විය. කළෙකට පෙර මා නැරැඹූ සිනමා පටයක කතා තේමාව කෙරෙහි නැවතත් මගේ සිත රැඳවිණ. ජපාන සිනමාකරුවෙකු වූ අකිරා කුරසෝවාගේ රෂෝ‍මොන් සිනමා පටය පුරා විහිදෙන්නේ මිනිසුන් කරන කිසිවකට කිසිවවෙකුටත් හරිහැටි සාක්ෂි දැරිය නොහැකි බවයි. එහි කතාව තුළ සොරකමින් සහ මැරකමින් ජීවත් වන්නෙකු වනය තුළ ගමන් කරමින් හිඳින තරුණ යුවලක් දැක ගැහැණිය‍ කෙරෙහි අයිතිකරගැන්මේ සිතක් පහළ කරගෙන පුරුෂයා රවටා රැහැනින් වෙළා ගැහැණියට බලහත්කාරකම් කරයි. මුළදී තම පුරුෂයා රැහැණින් බැඳ සිටිනු දකින ඇය වියරුවෙන් කිනිස්සක් ගෙන සොරාව විනාශ කිරීමට වෙහෙසන නමුත් අවසානයේ ඔහුගේ බලහත්කාරකමට කැමැත්තෙන් ඇය යට වෙන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ දෑස් අභියසමය. කෙසේ‍ හෝ විවාහක පුරුෂයා මිය යයි. හසුවන සොරා විසින් ඔහුගේ මරණය ගැන විනිශ්චය සිදුවන තැන කියා සිටින්නේ ඔහු විසින් ද්වන්ධ සටනකින් කඩුවෙන් ඔහු මරණයෙන් පරාජය කල බවය. ගැහැණිය කියා සිටින්නේ වෙන කතාවකි. බලහත්කාරකම් කල මිනිසා පලා ගිය බවත් ඇයට සිහිසුන් වූ බවත් අවදි වන විට තමාගේ ස්වාමි පුරුෂයාගේ ළය කිනිස්සක් පසාරු කර තිබූ බවත්ය. මියගිය අයගේ ආත්මය කැඳවා විමසන විට ඔහු පවසන්නේ හාත්පසින්ම වෙනස් කතාවකි. ඇගේ චපලකම දරාගත ‍නොහැකි ඔහු කිනිස්සෙන් සිය දිවි නසාගත් බවයි. සිද්ධිය ඇසින් දුටූ බව කියන පුද්ගලයා කියන්නේ ඊටත් වෙනස් කතාවකි. ඒද ගැහැණිය විසින් අවමානයට ලක්කර කුපිත කරනු ලැබූ මිනිසුන් දෙදෙනා එකිනෙකා මරා ගැන්මට කල සටනේදී කඩු පහරින් ඔහු මිය ගිය බවයි. අවසාන වශයෙන් හෙළි වන්නේ ඇසින් දුටූ බව පැවසූ අය ගැහැණිය සතු වූ කිනිස්ස සොරකම් කර ඇති බවයි. මිනිසුන් කරන කිසිවක් මිනිසුන්ම නොදන්නා බව අවසානයේ සිනමාකරු ගම්‍ය කරවීමට උත්සාහ දරයි. එලෙසින්ම සෑම මිනිසෙක්ම අනෙකාට වඩා ආත්මාර්ථකාමීත්වයෙන් හෝ වංචනික බවෙන් අඩු නොවන බව සිනමාකරු තමාගේ දැක්ම ලෙස ඉදිරිපත් කරයි.
කිසිවිට මා කරන කිසිවක් ගැන හෝ අන් කිසිවෙක් කරන කිසි දෙයක් ගැන හෝ විශ්වාසයක් ඇති කර ගැන්මට අපොහොසත් මා තුළ වූ රහස් පරීක්ෂකයෙක් විසින් මේ සිතුවම් පටයේ රසය මා තුළ නොනසා පවත්වා ගෙන යමින් සිටියේය.
පසුදා මා ඇගෙන් විමසා සිටියේ
ඔයා රෂෝමොන් ෆිල්ම් එක බලල තියෙනවද
ඒ මොකක්ද මම ඔයා බලන විදියෙ විකාර බලන්නවත්, කියවන්නවත් කැමැති නෑ මටත් පිස්සු හැදෙයි
ඒ කියන්නෙ මට පිස්සුද
ඇය සිනාසෙයි. මා තුළ වූ ඇයව ප්‍රිය කරන්නා කැමැති වූයේ වචන බවට පත්නොවන ඇගේ මේ සිනහවටත්, කඳුළටත්, ඊර්ෂ්‍යාවටත්, වගකීමෙන් තොර ආශාවන් වෙත ඇදෙන ගතියටත්ය. ඇය සම්පූර්ණයෙන්ම ස්ත්‍රී ස්වභාවයේ පිළිබිඹුවක් ලෙස මා තුළ වූ ඔහු ඇදහුවේය. ඒත් ඔහු මමද යන්න මම ඒ වන විටත් විමසමින් සිටියෙමි. මා තුළ කී දෙනෙක් ජීවත් වෙයිද? මා කරන කිසිවක වගකීම ලෝකයට පෙනෙන තනි මට දැරීමට සිදුවීම මහත් අසාධාරණයකි. ඇයට ආදරය කරන මා සහ එසේ ආදරය කරන මා තුළම වෙසෙන්නාව විමසන මා එකෙකු ලෙස ඇයද භෞතිකව දකියි. ඒ පුද්ගලයන් දෙදෙනාම අසාර්ථක වන හැටි දකින රහස් පරීක්ෂකයා මා තුළ සිනාසෙන හැටි කිසිදා ඇයට දැකීමට නොහැකි විය. ඉතින් මා ඇයට ආදරය කරන බව ඇඟවූවත් මා තුළ එයට පූර්ණ සාක්ෂි දරන්නෙකු කිසි විට මට සොයාගත නොහැකි විය.

දිනෙක ඇය ඇගේ ස්වාමි පුරුෂයා තමන්ගේ දෙමව්පියන් බැහැ දකින්න ගිය අවස්ථාවක ඇයව හමුවන ලෙස ඉල්ලා සිටියාය. එදින ඇති තරම් කාලය අප වෙනුවෙන් අපිට ඉතිරි වී ඇති බව අප දැන සිටියෙමු. මා තුළ වූ ඇයට ආදරය කරන්නාට රිසි වූ දෙයක් ඈ සමග කිරීමට එළඹුනු තහනම් අවසරයක් එදිනට යෙදී තිබිණ. එදින අපි බස් නැවතුම්පලකදී හමුවුයෙමු. මා තුළ වූ ආදරය කරන්නා ඇය වෙත සමීප වනවිට මා තුළ තව යමෙකු දුටූවේ තමන්ගේ පුරුෂයා රවටා පැමිණි රාගික ආශාවෙන් වෙලුණු ගැහැණියක් ඇගේ දෑස තුළ සිටින බවය. වෙනදා නොවුණු තැති ගැන්මක් සහ ආශාවන්ගෙන් කුපිත වුණු කිසිවෙක් ඈ තුළට පිවිසී ඇති බව ඔහු වහා හඳුනාගෙන ඒ මොහොතෙහි පියවි ලෙස උන් මට සැල කර සිටියේය. ඒත් ඈ තුළ උන් ඒ රාගී ගැහැණිය හමුවීමටම මා තුළ වූ ආදරවන්තයා පැමිණි බව මා පිළි ගැනීමට කැමැති වුයේ නැත. එවේලෙහි පියවි ලෙස උන් මම නැමැත්තා රිසි වූයේ එසේ නොවන වෙනදා දකින ඇයවම පිළිගැනීමටය. කෙසේ වෙතත් පියවි ලෙස පෙනී සිටි මට ඇයව පෙණුනේ මගේ ආත්මය කිළිටි කිරීමට සැරසෙන පාපී ආත්මයක් ලෙසිනි. ඒත් අද හමුවී තිබෙන්නේ වෙනදා උන් මා හෝ ඇය නොවන වෙනත් දෙදෙනෙක් බව මට පසක් විය. මා බිය වීමි. වෙනත් අවශ්‍යතාවයක් පවසා මොහෙතකින් ඇය මග හැර වගකීමෙන් තොර මා පළා ගියෙමි.
ඇය එදින මට අසීමිතව වෛර කළේය. ඇය මට කියා එවා තිබුණේ
ඔයාට පුඵවන් කන්නයි, නිදා ගන්නයි විතරයි. අද වෙනුවෙන් මම එයාට කොයිතරම් බොරු කිව්වද? ඒත් වැඩක් නෑ කියල.
ඇයට මා කතා කළත් ඇය තුළ වූ වෛරය මට කතා නොකළේය. ඒ වන විට මා තුළ වූ ආදරවන්තයා අවස්ථාව අපතේ හැරීමේ මෝඩකම ගැන කම්පා වෙමින් සිටියේය.
මා කරන කිසිවකට මටම සාක්ෂි දැරිය නොහැකිය.
වැඩසටහන්ගත කිසිවක් ජීවිතය තුළ ජීව ගුණයෙන් මා සිදු කරන්නේ කෙළෙසද මා කිසිදා එකෙකු නොවනා විට. එසේ කරන්නේනම් ඒ ජීවී ගුණයෙන් යුත් මා නොවන යාන්ත්‍රික කිසිවෙක් විය හැක.
කෙසේ වෙතත් එදිනෙන් පසු මට වෛර කළ ඇයගේ වෛරී ගුණය සතු වූ ස්ත්‍රීත්වයටත් මා තුළම ආදරය කරන කිසිවෙකු ජීවත් විය.
මා තුළ වූ විමසන්නෙකු පවසා සිටියේ කායික බැඳීම තව තවත් ඇයගේ ඊර්ෂ්‍යාව බලවත් කරන්නට ඉඩ තිබුණු බවය. ඒ කිසිදා ඇයට මාව හිමි කරගැන්මට නොහැකි ලෙස මා ඇයට අහිමි වන බව ඇගේ සිත දන්නා බව සහ එනිසා මගේ මග හැරීම සැලකිය යුත්තේ ආදරය සතු වගකීමක් ලෙස බවය. මා එය පිළිගත්තෙමි.
ඒත් ඒ මමමද?

15 comments:

  1. කියන්න දෙයක් හිතාගන්න බැරි තරමටම සංවේදීයි. මේ උත්තම පුරුෂයේ ඉන්නෙ උඹනම් මම සෑහෙන්න උඹව කියෙව්වා.

    මේ පලායාම ආත්මාර්ථකාමී එකක් විධියට මට පේන්නේ. බැරි වෙලාවත් පලා නොගිහින් වෙනත් දෙයක් වුණානම් ඊට පස්සෙ අහිමි වෙන ගොඩක් දේවල් අහිමි කරගන්න තියෙන බය නිසා පලා යාමක් වගේ...!

    එක පැත්තකින් ලංකාවෙ බාගෙට බාගයක් කාන්තාවන්ගෙ කතාව ඕකයි. මේ කියන ගැහැණිය ඒකෙන් මිදෙන්න මගක් හොයද්දි එක දරාගෙන දුක් විඳින අය ගොඩක් ඉන්නවනේ...

    සමහර විට දැනටත් ඇයට තියෙන වගකිවයුතු සම්බන්ධය වෙනුවට ඇය හොයන්නෙ වගකීමක් නැති හැඩිදැඩි බවක් නැති සම්බන්ධයක්! හුදෙක් ඇගේ ආදරය අතුරන්න විතරක්!

    මගේ ඇතුලෙ ඉන්න සාමාන්‍ය පිරිමියා උඹට හිනාවෙද්දි අසාමාන්‍ය පිරිමියාගෙන් උඹට සැලියුට් එකක්! නියම සටහනක්!

    ReplyDelete
  2. එක හුස්මට කියවූ බවත් අසීමිත ලෙස සසල වූ බවත් ලියා තියන්නම්..විශිෂ්ඨයි සොයුර!

    ReplyDelete
  3. @hare:-)
    දීර්ඝ නිරීක්ෂණයට ස්තූතියි.
    ඇත්තෙන්ම උත්තම පුරුෂයේ ඉන්න "මම" ආත්මාර්ථකාමී පුද්ගලයෙක් තමයි. ඒ වගේම ගැහැණිය හා ඇගේ ස්වාමිපුරුෂයාද එලෙසමයි. වැරදීම්, පලායාම්, වංචනිකකම් තුළ කිසිවෙක් අනෙකාට වඩා යහපත් වෙන්නෙත් නෑ. අප තුළම ගොඩාක් බෙදීම් ඇති විට බාහිරයේදී අපි නිවැරැදිව ක්‍රියාකරන්නේ කොහොමද?

    ReplyDelete
  4. මොනවා කියන්නද කියල හිතා ගන්නවත් බෑ

    ReplyDelete
  5. හරිම ලස්සනයි. හොඳ කතාවක් .. හොඳ නිර්මාණයක් !!

    ReplyDelete
  6. "මගේ ඇතුලෙ ඉන්න සාමාන්‍ය පිරිමියා උඹට හිනාවෙද්දි අසාමාන්‍ය පිරිමියාගෙන් උඹට සැලියුට් එකක්! නියම සටහනක්!"-hare

    +1

    සංවේදී සටහනක්. මම තවමත් කල්පනා කරනවා.

    ReplyDelete
  7. නියම ලිවීමක්..! එක ‍හුස්මට කියෙව්වා.. ඒත් කතාව ගැන නම් මමත් තාමත් කල්පනා කරනවා..

    ReplyDelete
  8. ආපහු හැරිල බලද්දි, වෙලා තියෙන්නේ සමහරවිට වෙන්න තිබුන හොඳම දේ කියල (උඹට) හිතේවි.වඩාත් බලවත් වෙච්චි බැඳීමක් අහවරකරන්න වඩාත් බලවත් වන්දියක් ගෙවන්න වෙන නිසා.මේ අඩවියේ තිබුන හොඳම සටහනක් මේක.

    ReplyDelete
  9. ඇත්තටම අනර්ඝයි.. කතාව කියවගෙන ගියා..සැබැ සිතුවිලි නම් මේ ඔබ ඇත්තටම අගය කල යුතු කෙනෙක්.. සිතට වහල් නොවි ගත්ත එ තිරණයට මමත් ඔබට හරී වගේ සැලියුට් එකක් දෙනවා සහෝ...

    ReplyDelete
  10. ඇත්තටම ඔබේ ලිවීමේ කලාව..අනර්ඝයි..මචං.
    එක හුස්මට කියෙව්වා. ඒ තරම් රසවත්.
    අපි අපේ හැගීම් එක්ක මොන තරම් පොර බදිනවද..
    ඇත්ත මචං...අපි ඇතුලේ 2ක් නෙවෙයි සමහර වෙලාවට කීප දෙනෙක්ම ඉන්නවා කියලා හිතෙනවා.

    ReplyDelete
  11. රෂොමොන් එකේ කියනව වගේ යතාර්තය, හොඳ, නරක කියන දේවල්වල නිරපේක්ෂ අගය හරිම ප්‍රශ්නකාරී. ආදරය කියල ශුද්ධ හැඟීමක් තියනවද කියන එකත් ප්‍රශ්නයක්. ඒ ඒ හැඟීම් ඒවා තුලින්ම අර්ථ ගැන්වෙනවා හැරෙන්න වචන වලට නගන්න බෑ කියලයි මං හිතන්නෙ.
    මේ වචන අස්සෙන් 'මං' හොයාගත්ත හැඟීම් 'මට' සාපේක්ෂ කරගෙන වින්දා...

    ReplyDelete
  12. විශිෂ්ඨයි යාළු. සුභ පැතුම් !
    දිගටම ලියන්න

    ReplyDelete
  13. ගොඩාක් දිග ලිපියක්... එක දිගටම කියවන්න හිත බල කලා..

    මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.. හොද අවසානයක්...

    ReplyDelete
  14. මගේ අම්මෝ.............. මෙහෙමත් ලියුං...... මොනවා වුනත් මග හැරලා යෑම හොඳයි කියලා තමයි මටත් හිතුනේ... නැත්තං පැටලෙන්න වෙන්නේ පඹ ගාලක........ රෂෝමාන් හී වගේ මරාගන්නත් වෙන්න ඉඩ තිබුනා........... මිනිසුන්ගේ චිත්ත සන්තානයේ ගැඹුරු තැන් ස්පර්ශ කරපු ඉතාමත් අගනා ලියැවිල්ලක් පිටස්තරයෝ..........

    කවදාවත් එළියට එන්න එපා. පිටස්තරයෙක් වෙලාම ඉන්න....... :)

    ReplyDelete
  15. සෑබෑ මිනිස්කම -ගෑහෑනුකම හා පිරිමිකම - ඔබ අපූරු විනිවිද දෑක්මක් කරලා... පවුලෝ කොයියෝගේ සෙවනෑලි මම දෑක්කා....

    ස්වභාවිකයි... අතිශයින්ම... මම මේ ලිපියට මහත් සේ ආදරේ කරන්නෙත් එනිසාමයි... ෆෑන්ටසිමය බවෙත් සොඳුරු බවක් තිබෙනවා... ඊට වඩා ස්වභාවිකත්වයේ මහා ගෑස්මක් තිබෙනවා.... ඒ ගෑස්මෙන් සිය වතාවක්වත් මේ ලිපිය කියවද්දී මම පීඩා විඳින්න ඈති.... ඒ පීඩාව මට ආයෙත් මම මනුස්සයෙක් කියන එක මතක් කරනවා වගෙ දෑනුනා...

    අනර්ඝයි.... !!!!!!!!

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.