මීට මොහොතකට පෙර විඩාවෙන් හෙම්බත්වූ හිරු බැස යමින් මහ පොළොවේ සියඵ දේ වෙත අඳුර කාන්දු වෙමින් තිබිණ. හිරුටත් කලින් දවසේ මෙහෙවරට තිත තැබූ මා මාගේ මිතුරා සමග යතුරු පැදියට ගොඩ වුණෙමි. මගේ මිතුරාගේ නිවසට යාබද තාවකාලික නවාතැනක මා ලැගුම් ගෙන සිටියෙමි. සතර දෙස වැඩෙන අඳුරට එරෙහිව නොයෙක විදුලි පහන් අරගලයේ යෙදීමට පටන් ගෙන තිබුණද යතුරු පැදියේ පසුපස වාඩිවී සිටි මට මෝරන අඳුර තුළින් සරදම් සහගත වියරු සිනහවක් ඇසිණ. වෙනදට වඩා මේ සන්ධ්‍යාව මහඵ වියට පත්ව වෙව්ලන බවක් මට හැඟිණ. පිටු පසින් පැමිණි යමක් අප යතුරු පැදියේ ගැටෙනාවාත් සමගම අප දෙදෙනාම ආකාශ කරණම් ගසමින් එයින් වෙන්විය. මහමග වැටුණු මා මතින් රිය සකක් ගමන් කළේය. වේදනාවෙන් සිරුර ඇඹරී ගියේය.
මොහොතක් මා නොසිටි අතර අනතුරුව කිසියම් රියක් තුළ අප දෙදෙනා ලේ ගොඩක් වී සිටියෙමු. යළිත් අමතකය තුළ සිටි මා දැන් මේ සයනය මතය. ඒත් කෝ ඔහු?.....
වාට්ටුව භාර වෛද්‍යවරයා, හෙදියන් දෙදෙනෙක්, රෝහල් සේවකයෙක් මා ළඟ රැඳී සිටි අතර, පිරිසක් අප වෙත පැමිණෙමින් සිටියේය. මගේ මිතුරාගේ මවත් පියත් සොහොයුරාත් සහ අප දෙදෙනාගේම තවත් මිතුරෙකු ඒ අතර හිඳිනු මා දුටිමි. ඔවුන් ශෝකයෙන් පීඩිත වී සිටි අතර මා මිතුරාගේ මව අඩපණව සිටියේය. "අනේ මගේ පුතේ" යැයි ඈ සෙමෙන් කෙඳිරි ගායි.
"කණගාටුයි මෙයා ඇඩ්මිට් කරද්දිම පණ ගිහින් තිබුණ. අනෙක් එක්කෙනා ඔපරේෂන් තියටර් අරන්"
වෛද්‍යවරයා පැවසීය. මා මිතුරාගේ මවගේ දෑස උඩ ගිය අතර මා විපිලසර වීමි. එතකොට මම මැරිල..... ඒත් ඇතිරිල්ලෙන් වැසූ සිරුරට ඉහළින් මා සිටියෙමි.
"එහෙනම් බලන්න"
යමෙකු විසින් සිරුරේ හිස කොටසෙහි ඇතිරිල්ල ඉවත් කළේය. මා මිතුරාගේ පියාත්, අපගේ මිතුරාත් මගේ මුහුණ දෙස බලනු මා බලා සිටියෙමි. ඔවුන් මා හැඳින ගත්තේය. මා මිතුරාගේ පියා එවිටද බියෙන් හා ශෝකයෙන් පරිපීඩිතව මා දෙස බැලීමට අපොහොසත්වී සිටි ඔහුගේ බිරියට ළංවී
"අපේ පුතා නෙවෙයි" යැයි මුමුණනු මට ඇසිණ. මෙතෙක් වත්තන් කරගෙන සිටි ඈ අසල පුටුවක හිඳ ගනිමින් ළය සැහැල්ලු කරමින් සැනසුම් සුසුමක් හෙලීය. ඇගේ දෑස බලාපොරොත්තුවේ දිස්නයෙන් දීප්තිමත් වෙනු මා බලා සිටියෙමි.
මසිත දරාගත නොහැකි ශෝකයකින් පිරී ගියේ ඈ කෙරෙහි කෝපයක් හා පිළිකුලක් ජනිත කරමිනි. මා වෙව්ලමින් ඈ දෙස බලා සිටියෙමි.
" එතකොට මම මැරුණට කමක් නෑ"
මම කෑ ගසා ඇගෙන් විමසූ නමුත් මා තුළින් ශබ්දයක් නොනැගිණ. මම සිරුරෙන් එපිට සෝබර කිසිවක් බවට පත්වී සිටියෙමි. වසා ඇති මගේ සිරුර දෙස නොබියව බැලීමට ඇයට ධෛර්යය ලැබී තිබුණු අතර යම් ශෝකයකින් ඇගේ මුහුණ වැසී තිබුණ අතර ඇතිරිල්ලෙන් වැසී ඇත්තේ සිය පුතුගේ සිරුර නොවීම ගැන ඇය සැනසිල්ලක් ලබා සිටියාය.
කෙසේ වුවත් ඇයගේ අර සුසුම නම් ඕනෑවටත් වැඩිය. එය මට යකුල් පහරක් මෙන් රිදුම් දුන්නේය. සැනෙකින් ඔවුන් තම පුතු ගැන සෙවීමට මගෙන් ඉවතට ගිය අතර ඔවුන් හා පැමිණි අපේ මිතුරා මහත් ශෝකයෙන් නැවත නැවතත් මා සිරුර දෙස නෙත් යොමු කරමින් ඉවතට ඇදී ගියේය. ශෝකයෙන් පීඩිත වුණු මා "යන්න එපා" කිව්වද එය ඔහුට ඇසෙන්නේ කෙලෙසද?
මා තනිවිණ. මා මියගොස් බව මා අදහන්නේ කෙලෙසද? මට ඔවුන් පසුපස ගමන් කිරීමට සිතුණද මා මිතුරාගේ ඥාතීත්වයෙන් රිදවුණු මා ආපසු හැරී මා සිරුර සමග සිටියෙමි.
කිසිවෙක් මා පසුපස හිඳිනු මට දැණින. ධවල වස්ත්‍රයෙන් සැරසුණු කාරුණික වැඩිහිටි යමෙකු මගේ ආත්මයේ සුරත දැඩිව අල්ලාගෙන මා සනසන්නට විය. එහෙත් අර සුසුම ජනිත කල ශෝකය තව දුරටත් මා රිදවීය.
"දැන් යමු"
කාරුණික වදනින් පැවසුණු අතර මා සුරතගෙන අවකාශයේ ඈතට ගමන් කරනු මට මතකය. සිරුර හැරදා අපමණ දුකින් ආලෝක ප්‍රවාහයක් තුළ ඔහු හා වේගයෙන් ඇදී ගියෙමි. අවකාශය විනිවිද යනෙන සැහැල්ලු ගමනින් පසු මොහොතකින් අප ආත්මයන්ගේ දේශයට පැමිණ සිටියෙමු.
පුදුමයෙකි, එහිදී මගේ ආත්මය බොහෝ ළදරු ආත්ම අතර ළදරු ආත්මයක් බවට පත්වී තිබිණ. දස දහස් ගණන් මව්වරුද පියවරුද අලුතින් පැමිණි මා පිළිගත්තේ සෙනෙහසින් වැළඳ ගනිමිනි. ඔවුන්ගේ මිහිරි චුම්බනයන්ගෙන් මා හිනහුනෙමි. ඔවුන්ගේ සෙනෙහස පවුල් ඒකක තුළට බෙදී වෙන්වී නොතිබිණ. එකම ප්‍රජාවක සෙනෙහසේ රැහැනකින් වෙලී සිටි ඔවුන්ගේ සොම්නසේ ආත්මයන්, මා හෝරා කිහිපයකට පෙර ජීවත්වූ මිහිපිට කිසිදා බිහි නොවන ආශ්චර්යයකි. සෞන්දර්යයකි.
මා කොතරම් වාසනාවන්තද? සුවහසක් මව්වරුන්ගේ ආත්මයන්ගේ ඇකයන් තුළ සෙනෙහසින් නැහැවී සැතපීමට වරම් ලද ළදරුවන් අතර මාද එකෙකු වී සිටියෙමි. සුවහසක් පියවරුන්ගේ දාරක ස්නේහයේ සුරතල් හීසර අනන්ත සුවයක් ගෙන දෙයි. ඉදින් මා අර වැනි කුහක ලෝකයකට හෙලා දමා මේ අනන්ත සොම්නස මට අහිමි කලේ කවුරුන්ද? දැන් මගේ ළදරු ආත්මය සන්තුෂ්ඨියේ බුබුලක්ව ඉපිලෙයි.
කාලය පිළිබඳ හැඟීමක් නොවිණ.
එහෙත්......,,,
මගේ කණ අසලින් කිසියම් කඨෝර නාදයකින් මගේ ප්‍රීතිමත්භාවයට කිසිවෙකු හානි කරනු මට දැනෙයි. එම නාදය ටිකෙන් ටික තිව්‍ර වී ඉසිලිය නොහැකි වෙද්දී මම ඇස් හැර බලමි. කිමෙක්ද මේ?
අහෝ මගේ ජංගම දුරකථනයේ උදෑසන එලාර්ම් හඞ නැවතත් මා මේ ගොරහැඞි, අදමිටු ලොවට අවදි කර ඇත. මා නැවතත් සිහි එලවා ගනිමි.
අහෝ කිමෙක්ද මේ සිදුවූයේ..... මා ශෝකයෙන් වෙලෙමි. මගේ මිතුරාගේ මවගේ බියකරු සුසුම් හඞ නැවත නැවතත් මගේ සන්තානයේ රැව් දෙමින් ආත්මය රිදුම් දෙයි.
මරණයට වඩා බියකරු ජීවිතය.......හීන වලට වඩා නිර්මාණශීලී යථාර්තය....:(
ReplyDeleteසුපිරි..!
ReplyDeleteශාපලත් ජීවිතය අතැර ලබනා පාවෙන මරණය ...එහෙත් ආලෝකය තුලින් ගොස් යලිත් නැවතත් යලිත් මෙවන් ජීවිතයකට කුමට එන්නෙමුද ???
ReplyDeleteමරණය බ්ලොග් අවකාශය පුරා.... නිර්මානශීලි වැඩක්.
ReplyDeleteමුල් කොටස කියවනකොට මතක් වුනේ භද්‍රජී මහින්ද ජයතිලකගේ "ජෝතිමය චාරිකා" පොත . ..
ReplyDeleteමේක ත් ලස්සනට ලියලා තියෙනවා අපූරුයි
ඔබ සියඵ දෙනාටම සෙනෙහසින් ස්තූතිවන්ත වෙමි අදහස් දැක්වීම සම්බන්ධව.
ReplyDelete