Sunday, 21 November 2010

මගේ රට යනු..?



"සෝර්බා ඔයා යුද්ධෙට ගිහිල්ල තියෙනවද?"

"මං කොහොමද දන්නෙ" ඔහු වෙව්ලමින් ඇසීය. "මට මතක නෑ! මොන යුද්දෙ ද?"

"මං අහන්නෙ මේකයි. කවදා හරි රට වෙනුවෙන් සටන් කරලා තියෙනවද?"

"වෙන දෙයක් ගැන කතා කරන්න බැරිද? ඒ විකාර දැන් ඉවර වෙල විතරක් නෙමෙයි. අමතකත් වෙලා"

"ඒකට විකාරද කියන්නෙ? සෝර්බා ඔයාට ලැජ්ජා නැද්ද? ඒ තමන්ගෙ රට ගැන කතා කරන හැටිද?"

සෝර්බා හිස ඔසවා මා දෙස බැලීය. ඇඳේ දිගාවී සිටිද්දී මගේ හිසට උඩින් තෙල් පහන දැල්විණි. ඔහු මා දෙස තියුණු ව බලා සිට උඩු රැවුළ තදින් අල්ලාගෙන මෙසේ කීවේය.

"ඕක ඇට්ටකුණා වෙච්ච කතාවක්. ඔය වගේ කතාවක් මං බලාපො‍රොත්තු වෙන්නෙ ඉස්කෝලෙ ගුරුවරයෙකුගෙන්. සමාවෙන්න් මෙහෙම කියනවට. ඒ ගැන ඔයත් එක්ක කතා නොකළා නම් මෙලහකටත් මං සින්දු කිය කිය ඉන්නවා"

"මෙනාවා?" මම විරුද්ධ වුණෙමි. සෝර්බා අමතක කරන්න එපා මට මේ දේවල් නොතේරෙනවා නෙවෙයි"

"ඔව් ඔයාගේ මොළේට තේරෙන නිසා කියයි. මේක හරි, අරක වැරැදියි, මේක ඇත්ත, අරක බොරු, අනිත් එක වැරැදියි... ඉතින් ඕවා අපිව කොහාටද ගෙනියන්නේ? ඔයා කතා කරද්දී මං ඔයාගෙ අත් ‍දෙකයි, පපුවයි දිහා බලාගෙන ඉන්නේ. ඒවා මොකද කරන්නේ? නිශ්ශබ්දයි. වචනයක්වත් කතා කරන්නේ නෑ. ඒ අතරරේ ලේ බින්දුවක්වත් නැතුවා වගේ. හොඳයි ඔබ හිතන්නෙ ඔබට මොකෙන් තේරෙනවා කියලද? ඔඵවෙන්ද? ෂා!"

"කියන්න, මට මේකට උත්තරයක් දෙන්න. මේ ප්‍රශ්ණයේන් මඟ අරින්න හදන්න එපා". ඔහු ඇවිස්සීමට ‍මම කීවෙමි. "ඔයාට රට ගැන එච්චර කැක්කුමක් ‍නෑ නේද"
ඔහුට කොපමණ කේන්ති ගියාද යත්, අත මිට මොළවා ඉන්ධන කෑන්වලට පහර දුන්නේය.

"ඔබ ඉස්සරහ මේ දකින මිනිහා ශාන්ත සොෆියා දේවස්ථානයේ රූපයක්. එයා හිස කෙස්වලින් අලංකාරෙට ගෙත්තම් කරල යන්ත්‍රයක් වගේ කරේ එල්ල ගත්තා. ඔව් ලොක්කා! මං ඒකයි කළේ. මම ඒක ගෙත්තම් කළේ මේ තඩි ඇඟිලිවලින්. මේ හිසකෙස් වලින් ඒක කළේ. අඟුරු වගේ කඵ පාටයි. මං ඒ කාලේ මැසිඩෝනියාවේ කඳුකරයේ සැරිසැරුවා. බල්ගේරියාවරුන්ට විරුද්ධව සටන්වල කැපී පෙනුණු ග්‍රීක් නිලධාරී පැව්ලෝස් මෙලෝස් එක්ක. ඒ කාලෙ මං හුඟක් උසයි. මේ තොප්පිය දාලා, ජප කරපු යන්ත්‍රයක් රිදී කොපුවක දාලා බෙල්ලේ බැඳ ගෙන, වක් වූ තුර්කි කිනිස්සක් ඉණේ ගහගෙන, පතරොම් පැස සහ පිස්තෝල එල්ලගෙන වානේ, රිදී, ලොකු බොත්තම්වලින් වැහිලා හිටියේ! මං ඇවිදිනකොට ලෝහ ගැටෙන හඞ හරියට වීදිය දිගේ රෙජිමේනතුවක් යනවා වගේ. මේ බලන්න මෙතන - අර අතන බලන්න!"

ඔහු කමිසයේ බොත්තම් ගලවා කලිසම පහත් කළේය.

"එළියක් ගේන්න" ඔහු විධාන ‍කළේය.

මම අවුවට පිලිස්සුණු ඔහුගේ කෙට්ටු සිරුරට ලාම්පුව කිට්ටු කළෙමි. හෑරුණු වෙඩි උණ්ඩ හා කඩු පහරවලින් හෑරුණු කැළල් පෙනේරයක් මෙන් විය.

"දැන් අනිත් පැත්ත බලන්න" ඔහු පිටපස හැරවීය.

"පිටිපස්සේ සීරීමක්වත් නෑ. දැන් තේරෙනවා නේද? දැන් ආපහු ලාම්පුව ගන්න"
"විකාර!" ඔහු තරහෙන් කෑ ගැසීය. "මේවා ගැන කලකිරෙනවා. මිනිස්සු කවදා මිනිස්සු වෙයිද කියලා ඔබ හිතනවාද? අපි කලිසම් කමිස ඇඳලා, කොලර උස්සලා, තොප්පි දැම්මත් අපි තවම කොටඵවෝ, නරි, වෘකයෝ, ඌරෝ. අපි කියනවා දෙයියන්නාන්සේ ගේ ප්‍රතිරූපයෙන් අපිව හැදුව කියලා. කවුද මේ අපි? මේ මෝඩ ජෝගුවලට මං කෙළ ගහනවා."

අති බිහිසුණු සිතුවිලි ඔහුගේ මනසට ඇතුඵ වන්නට විය. ඔහු ගේ කුපිත වීම වැඩි විය. අපැහැදිලි වචන, සෙලවෙන දත් අතර හිදැස්වලින් පිට විය. ඔහු නැඟිට ජෝගුව ගෙන වතුර බීගෙන බීගෙන ගියායින් පසු අමුතු සීතලක් දැනී සන්සුන් විය.

"ඔයා මගේ කොහොන් ඇල්ලුවත් මං කෑ ගහනවා!" ඔහු කීවේය. " මං තුවාල කැළැල් කැදලි ‍ගොඩක්. ඔය ගෑණු ගැන කියන පල් කතාවලින් මොනවද අදහස් කරන්නේ? මං නියම මිනිහෙක් කියලා තේරුම් ගත්තාම මං උන් දිහා හැරිලාවත් බැලුවේ නෑ. මං යමින් ගමන යන්තම් මිනිත්තුවකට විතර නතර වෙලා ඔවුන් අල්ලලා හරියට කුකුළෙක් වගේ! එතනින් ආයෙත් යනවා. " මේ මුගටි වගේ කැත උගුල්කාරයෝ!" මං මටම කියා ගත්තා. උන් කැමතියි මගේ ඇඟේ තියෙන මුඵ හයියම උරා බොන්න. ඔය ගෑණු යකාට ගියාවේ!"

" පස්සෙ මම රයිෆලයත් අරගෙන එතැනින් ගියා. මං කඳුකරයට ගියේ බල්ගේරියන් සටන්කාමියෙක් හැටියට. එක දවසක් මං කරුවල වැටීගෙන එද්දී බල්ගෝරියානු ගමකට ඇවිදින් අස්ස ඉල්තාලයක හැංගුණා. බැලින්නං ඒක කෲර සටන්කාමී බල්ගේරියානු පූජකකයකුගේ ගෙයක්. රෑට මිනිහා ලෝගුව ගලවාල එ‍‍ඩේරෙක් වගේ ඇඳගෙන අසල්වැසි ග්‍රීක් ගම්මානවලට යනවා. මීට ටික දවසකට ඉස්සරවෙලා ඇඳේ නිදාගෙන සිටි ග්‍රීක පාසල් ගුරුවරයෙක් මරලා තියෙනවා. ඉතින් මං ගිහිල්ලා පූජකයාගේ අස්ස ඉස්තාලයේ නතර වුණා. රෑ වෙද්දී මිනිහා එතෙන්ට ආවා සත්තුන්ට කෑම දෙන්න. මං ඇඟට පැනපු ගමන් මිනිහාගේ ‍බෙල්ල කැපුවා. හරියට බැටඵවෙකු ගේ වගේ! මං මිනිහ ගේ කන් දෙක කපලා සාක්කුවේ දමාගත්ත. බල්ගේරියන්වරුන් ගේ කන් එකතු කරමිනුයි මං හිටියේ. ඉතින් පූජකයාගේ කන් දෙකත් අරගෙන එතනින් ගියා.
" ටික දවසකට පස්සෙ ආයෙත් මං ගමට ගිහින් සිල්ලර බඩු විකුණන්න පටන් ගත්තා. මගේ ආවුද කඳවුරේ තියලා පානුයි ලුණුයි, අනිත් අයට දිග සපත්තුයි අරන් යන්න ආවා. එතකොට ඒ ගෙවල්වලින් එකක් ඉස්සරහ පිට පුංචි ළමයි පස් දෙනෙක් හම්බ වුණා. ඒ ළමයි කඵ ඇඳගෙන, සපත්තු නැතිව හිඟා කමින් හිටියා. ගෑණු ළමයි තුන්දෙනයි. පිරිමි දෙන්නයි. වැඩිමලාට වයස අවුරුදු දහයක් විතර ඇති. බාලයා තවම ළදරුවෙක්. වැඩිමල් ගෑණු ළමයා අර ළදරුවා වඩාගෙන ගියේ ඉඹ ඉඹ ආදරේ කර කර. එතකොට පොඩි එකාට අඞන්න බෑනේ. මං දන්නෙ නෑ මොකද කියලා. මං හිතන්නේ දිව්‍යමය පෙලඹවීමක් වෙන්න ඇති. මං ඒ ළමයි ළඟට ගියා.
"ඔයගොල්ලො කාගෙ දරුවොද?" මං බල්ගේරියානු බාසාවෙන් ඇහුවා. වැඩිමල් පිරිමි ළමයා පුංචි හිස එසෙව්වා.

" පූජකයාගේ. දවසක් ඉස්තාලයේදී තාත්තා ගේ බෙල්ල කපලා" ඔහු උත්තර දුන්නා.

"මගේ ඇස් කඳුළින් පිරුණා. ඇඹරුම් ගලක් වගේ පොළොව කැරකෙනවා මට දැනුණා. මං තාප්පයට ‍හේත්තු වුණායින් පස්සේ ඒක නතර වුණා."
"දරුවනේ මෙහාට එන්න. මං ළඟට එන්න" මම කීවා. මගේ පසුම්බිය ඇරලා- ඒකේ පුරවලා සල්ලි තිබුණා- තුර්කි පවුම්, මෙජිඩියෙස්, ඔක්කොම බිම හැලුවා.

"ඒවා ගන්න. ගන්න. ගන්න! මම කෑ ගහලා කිව්වා.
"ළමයි බිම ඉඳගෙන සල්ලි ඔක්කොම අහුල ගත්තා.
"මේ සේරම සල්ලි ඔය දරුවන්ට. ඔක්කෝම ගන්න" මං කෑගහල කිව්වා. ඊට පස්සෙ මං සල්ලිවලට ගත්තු හැම දෙයක්ම තිබුණු කූඩයතත් ඒ ළමයින්ට දීලා ඒ ඔක්කොම ගන්න කිව්වා.

"මං එතනින් අයින් වුණා. ගමෙනුත් පිට වුණා. කමිසය ඇරලා ඇඳගෙන හිටපු ගෙත්තම් කළ සාන්ත ලුසියා පල්ලියේ රූපය තියෙන බෙන්තිඤ්ඤය ගලවලා කෑලිවලට ඉරලා දැම්මා. ඒක විසි කරලා මගේ මට්ටමේ හැටියට යමක් හොයාගෙන දිව්වා මං තවත් දුවනවා!"
ඔහු බිත්තියට හේත්තු වී මා දෙස බැලුවේය.

"ඒ තමයි ‍මං බේරුණු ක්‍රමය" ඔහු කීවේය.

"ඔයාගේ රටින් බේරුණා"

"ඔව් රටින් බේරුණා" ඔහු ස්ථිර සන්සුන් ස්වරයෙන් කීවේය. ටික වෙලාවකට පසු

" මං රටෙනුත්, පූජකයන්ගෙනුත්,සල්ලිවලිනුත් බේරුණා. මං තවත් හුඟක් දේවල්වලින් බේ‍රි බේරී ආවා.ඒ විදියට තමයි මගේ බර සැහැල්ලු කර ගත්තේ! කොහොමද ඒක තේරුම් කරන්නේ? මගේ විමුක්තිය මමම හොයා ගත්තා. මං මිනිහෙක් වුණා!"
සෝර්බාගේ ඇස්වල දීප්තිය ඇතිවී, ඔහුගේ පුඵල් මුඛය සතුටින් විවර විය.
ටික වෙලාවක් ඔහු නිහඞව සිට, යළි කතාව පටන් ගත්තේය. උතුරා ගිය හදවත ඔහුට පාලනය කරගත නොහැකි විය.

"එක කාලයක් තිබුණා. මං කිව්වා, අර මිනිහා තුර්කියෙක්, බල්ගේරියානුවෙක්, ග්‍රීකයෙක් කියලා. මං රට වෙනුවෙන් මවිල් කෙළින් වෙන යම් යම් වැඩ කරල තියෙනවා. ලොක්කා! මං මිනිසුන්ගේ බෙලි කපලා ගම් පිටින් ගිනි තියලා, හොරකම් කරලා, ගෑණු දූෂණය කරලා, පවුල් පිටින් විනාශ කරල තියෙනවා! ඒ ඇයි? එක්කෝ ඔවුන් තුර්කි, නැත්නම් බල්ගේරියානු නිසා. "චී ඌරෝ! තෝ යකාට පලයන්!" මං මටම කියාගත්තා. "බොල බූරුවෝ! තෝ කෙළින්ම අපායට පල" දැන්නම් හොඳ මිනිහෙක් කියල මං කියනවා. ඒත් කලින් නම් පර බල්ලෙක්. ඔවුන් ග්‍රීක්, බල්ගේරියන් හෝ තුර්කි වෙන්න පුඵවන්. ඒකට කමක් නෑ. එයා හොඳද? නරකද? ඒක තමයි දැන් මං අහන ප්‍රශ්ණය. මට වයස යන්න යන්න මං අන්තිමට කන පාන් කෑල්ල ගැන දිවුරන්නම්! ආයෙත් කවදාවත් මට එහෙම හැගීම් එන්නේ නැති බවට. මිනිහෙක් හොඳ වුණත්, නරක වුණත්, මං එයාට විතරක් නෙමෙයි හැමෝටම අනුකම්පා කරනවා! මං මිනිහෙක් ගණන් ගන්නෙ නෑ වගේ හිටියත් ඔහු දැක්කාම නිකම්ම මගේ හදවත දෙදරලා යනවා. එයත් මං හිතන්නේ අහිංසක යකෙක්! එයා කවුරු වුණත් මේ අපි වාගේ කාලා, බීලා, ආලය කරලා, බය වෙලා ඉන්න කෙනෙක්. ඒ වගේම එයත් ඇණ ගහපු ලෑල්ලක් මත දරදඞුව ඉන්නවා පොළොව යට අපි වගේම පණුවන්ට කාලා දාන්න. අහිංසක යකා! අපි ඔක්කෝම සහෝදරයෝ. පණුවන්ගේ කෑම!

" ගෑණියෙක් වුණොත්.... මට නිකම්ම අඞන්න සිද්ද වෙනවා. ගෞරවනීය ලොක්කා! ඔබ මට කොලොප්පම් කරනවා මං ගෑනුන්ට කෑදරයි කියලා. මං කැමති නොවී කොහොමද? මේ දුර්වල සත්තු දන්නෙ නෑ ඒ ගොල්ල මොකද කරන්නේ කියලා.නිකමට ළැම පැත්ත ඇල්ලුවොත් එතනම යටත් වෙනවා"

"වතාවක් මං බල්ගේරියානු ගමකට ගියා. මාව අඳුනාගත් එක නාකි තිරිසනෙක්-වැඩිහිටියෙක්- අනිත් එවුන්ටත් කියල මං හිටපු ගේ වැටලුවා. මං හීං සීරුවේ බැලිකනියට වැදිලා එතනින් වහලයට නැඟලා, අනිත් වහලයට ගිහින්, හඳ එළියේ හරියට බල්ලෙක් වගේ බැලිකනියෙන් බැල්කනියට පැන්නා. උන් මගේ හේමලයා දැකලා වහල උඩට නැගලා වෙඩි තියන්න පටන් ගත්තා. ඉතින් මං මොකද කරන්නේ? බිමට පැනලා මිදුලට ගිහින් ගේකට වැදුණා. බල්ගේරියන් ගෑනියක් ඇඳේ නිදි. රෑ ඇඳුම ඇඳගෙන හිටපු ඇය මාව දැකල කෑගහන්න ලෑස්ති වුණා. එතකොට මං ඇගේ කට වහල කණට කෙඳිරුවා." අනේ මට අනුකම්පා කරන්න. මාව බේරගන්න" කියල ඇගේ ළපැත්ත ඇල්ලුවා. ඇය සුදුමැලි වෙලා බාගෙට සිහි නැතිව ගියා.

"ඇතුළට එන්න." එයා සිහින් හඞින් කීවා."ඇතුළට එන්න එතකොට කාටවත්ම අපිව පේන්නෙ නෑ"

මං ඇතුළට ගියාම එයා මගේ අත මිරිකලා. "ඔයා ග්‍රීකයෙක්ද?" කියල මගෙන් ඇහුවා. "ඔව් ග්‍රීක්. මාව පාවා දෙන්න විතරක් එපා. මං එයාගෙ ඉඟෙන් අල්ලා ගත්තා. එයා වචනයක්වත් කතා කළේ නෑ. මං ඇයත් එක්ක ඇඳට ගිහින් ඇති පදම් විනෝද වුණා. මං මටම මෙහෙම කියාගත්තා. "ඒයි සෝර්බා, උඹ නම් බල්ලෙක්! උඹට කොහේ ගියත් ගෑනියෙක් ඉන්නවා. ඒක තමයි උඹේ මනුෂ්‍යත්වය! එයා කවුද? බල්ගේරියන් ද, ග්‍රීක් ද, පැපුවන් ද? ඒක මතුවෙන්නෙ අන්තිමට. එයා මිනිස් දුවක්. එයාට කටක්, ළැම පෙදෙසක් තියෙනවා. ඇය ආදරය කරන්න පුඵවන් මනුෂ්‍යයෙක්. උඹට ලැජ්පා නැද්ද ඒ වගේ කෙනෙක් මරන්න? ඉඳකින් ඌරා!"

"ඇයත් එක්ක උණුසුම බෙදා හදාගෙන ඉඳිද්දී මං හිතපු විදියයි ඒ. ඒත් ඒ පිස්සු පරට්ටී, මගේ රටේ වෙලත් මට සැනසිල්ලේ ඉන්න දුන්නා කියලාද හිතන්නේ? මං පහුවදා උදෙන්ම, ඒ ගෑනි දීපු ඇඳුම් ඇඳගෙන එතනින් පිටවුණාත එයා වැන්දඹුවක්. එයාගේ මැරුණ මිනිහගෙ ඇඳුම් අල්මාරියෙන් එකක් අරගෙන මට දීලා මගේ දණහිස් අල්ලාගෙන වැඳ වැටුණා ආපහු එන්න කියලා.

"ඔව් ඔව්! මං ගියා... පහුවදා රෑ. මං එතකොට ඇත්තෙන්ම දේශප්‍රේමියෙක්- වල් තිරිසනෙක්. මං පැරෆින් තෙල් කෑන් එකක් අරගෙන ගිහින් ගමට ගිනි තිබ්බා. ඒ කාලකණ්නි ගෑනි අනිත් අයත් එක්ක පිච්චිලා යන්න ඇති! එයාගෙ නම ලුද්මිලා."

සෝර්බා සුසුම් ලෑවේය. ඔහු සිගරැට්ටුවක් දල්වා දෙතුන් සැරයක් උරා වීසි කළේය.

"ඔයා කියනව මගේ රට...? ඔය පොත්වල තියෙන වල්පල් හැම එකක්ම ඔයා විශ්වාස කරනවාද? ඇත්තටම මාවයි විශ්වාස කරන්න ඕනෑ. රටවල් තියෙන තාක් කල් මිනිහා සතෙක් වගේ- රෞද්‍ර සතෙක් වගේ...! දෙවියන්වහන්සේට ස්තූති කරනව. මං ඒ සියල්ලෙන්ම මිදිලා! ඔයා කොහොමද?

මම නිරුත්තරව සිටියෙමි.


Nikos Kazantzakis නම් ග්‍රීක ලේඛකයාගේ "Sorba the greek" කෘතියෙනි.

"සෝර්බා නම් ග්‍රීකයා" නමින් කෘතිය සිංහලයට පරිවර්තනය කරන ලද සද්ධාතිස්ස වඩිගමංගාව මහතා ව කෘතවේදීව සිහිපත් කරමි. සද්චේතනාවෙන් කොටසක් උපුටා ගැනීම පිළිබඳ මා වෙත කමත්වා!


5 comments:

  1. පොත වගේම මේකෙ චිත්‍රපටියත් නියමයි... ආයෙම මතකය අවදි කලාට ස්තූතිය්!

    ReplyDelete
  2. නොකියවපු පොතක්,හොයාගෙන බලන්න ඔත්තුව දුන්න එක වටිනා වැඩක්.

    ReplyDelete
  3. පොත හොයාගෙන කියවන්න හිතුනා. කියවලා නැහැනේ.ස්තුතියි ඒ ගැන කිව්වට

    ReplyDelete
  4. පොත හොයාගෙන කියවන්න හිතුනා. කියවලා නැහැනේ.ස්තුතියි ඒ ගැන කිව්වට

    ReplyDelete
  5. "අපි කලිසම් කමිස ඇඳලා, කොලර උස්සලා, තොප්පි දැම්මත් අපි තවම කොටඵවෝ, නරි, වෘකයෝ, ඌරෝ."
    අපිත් සත්ව කොට්ටාශයක්. දවසක් මාළු කූරියෙක් එල්ලගෙන එන මිනිහෙක් දැකල මට එකපාරටම මතක් වුනා මාළුවෙක් කටින් එල්ලගෙන එන බළලෙක්ව. ඌ නම් ඇඳුම් ඇඳලා හිටියේ නැහැ.
    "රටවල් තියෙන තාක් කල් මිනිහා සතෙක් වගේ- රෞද්‍ර සතෙක් වගේ...! දෙවියන්වහන්සේට ස්තූති කරනව. මං ඒ සියල්ලෙන්ම මිදිලා! ".
    රටවල් විතරක් නෙවෙයි අපි මේ හදාගෙන තියන හැම හිරගෙයකින්ම මිදිය හැකිනම්.
    මැණික්(සුළඟ)

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.