ප්‍රකාශ් බදුල්ල දිස්ත්‍රික්කයේ උපත ලැබූවත් එහි ළමා කාලයේ පමණක් ජීවත් වූවෙක් පමණයි. නගරයක් ගමක් වශයෙන් හඳුන්වන්න ස්ථිර පදිංචියක් ඔහුට නොතිබුණු අතර කොළඹ නගරයට පැමිණියේ කවදාද යන්න කිසිවෙක්ම දැන නොසිටියේය.
මට ඔහු හමුවූයේ ඔහු මෙන්ම මමත් ස්ථිර රැකියාවක් නොමැතිව අතන මෙතන අහුවෙන වැඩක් කරන්න පුරුදු වී සිටි සමයේය. ඔහුට මෙන්ම මටද විශේෂ ජීවන නිපුණතාවයක් නොතිබුණු බැවින් අතපය හොලවා කරන ඕනෑම වැඩක් කිරීමට අපි පුරුදුව සිටියෙමු.
කෙටි කාලීන ඇසුරකින් වුවත් මා දැන ගත් කරැණු අනුව ඔහු බදුල්ල නගරයේ පාසලකින් සැලකිය යුතු අධ්‍යාපනයක් ලබා තිබුණු අතර ඔහුට වැඩිමහල් සොහොයුරෙක් සිටියද බොහෝ කලෙක පටන් ඔහු විදේශ ගතව සිටියි. මව සහ පියා මිය යන විටද කුළී නිවසක ජීවත් වී ඇති ඔවුන්ගේ වෙන්වීම සිදුවී ඇත්තේ දෙමව්පියන්ගේ මරණයත් සමගය. ඔහුගේ සොහොයුරා අයථා මාර්ගයකින් විදේශ ගතවූ බව ඔහු දන්නා නමුත් වෙන්වීමෙන් පසු එක් වරක් හෝ කතා කර නොමැත්තෙන් තමන්ගේ සොහොයුරා කුමන රටකට ගියේද, තවම ජීවත් වන්නේද, අත්අඩංගුවට පත්වීද, මිය ගියේද යන්න ඔහු නොදැන සිටියේය. ඒ සම්බන්ධව ඔහු මා සමග කියා සිටියේ,
“ඉස්සෙල්ලාම නැතිවුණේ අම්ම පපුවෙ අමාරුවක් හැදිල. ඒ එක්කම තාත්ත අංශ භාගයෙන් ඇද වැටුණ. එයත් ඊට පස්සෙ ජීවත් වුණේ මාස හතරක් විතරයි. ටික දවසක් අයියයි මායි එකට හිටිය. ඒත් අපි හිටපු ගේත් අයිතිකාරයෝ ඉල්ලුව. අයිය කොහොම හරි රට යන්න අවස්ථාවක් තියෙනව කියල කොළඹට ආව. ඒ එක්කම මමත් කොළඹට ආවෙ සිකියුරිටි ජොබ් එකකට. අයිය කොහොම සල්ලි හොයා ගත්තද කියන්න මම දන්නෙ නෑ. ඒත් එයා රටින් පිටවූ බව විතරක් මට ආරංචි වුණා. ඉතින් එයා කොහෙ හිටියත් මට ලියුම් එවන්න විදියක් නෑ මම ඉන්න තැනක් එයා දන්නෙ නැති නිසා.”
“ඉතින් උඹ ඒ දවස්වල සිකියුරිටි ආවෙ හමුදාවට යන්න තිබුණනෙ”
“වැඩක් නෑ බං හමුදාවට එන්න කියන්නෙ රට රකින්නනෙ. ඉතින් මට කවදාවත් රටක් කියා ගමක්වත්, ගෙයක්වත් තිබුණෙ නෑ. ඉතින් මම මොකක් රකින්න යන්නද?”
“ඒක මහ ආත්මාර්ථකාමී කතාවක්. ඇයි උඹ ජීවත්වෙන්නෙ අනුන්ගෙ අගුපිලක හරි මේ රටේ නේද? ඒක රැක ගන්න එක මේ පොළොවෙ ජීවත් වෙන කාගෙත් යුතුකමක්. රටට ජාතියට ආදරය කරන්න බැරි මිනිහගෙන් තමන්ටවත් වැඩක් වෙයිද?”
“ඔය ප්‍රශ්ණෙට අද දෙන්න මට උත්තරයක් නෑ. ඒත් මේ රටට ජාතියට ආදරය කරනව කියන දේ කියන්නෙ අපි වගේ මිනිස්සු නෙවෙයි බං. උන්ට මේ මහපොළොවෙ ඉන්න තැනක් තියෙනව. අයිති කරගත්ත බිම්පංගු තියෙනව. ඉතින් උන්ට රට නොරැකුණොත් ඒව නැති වෙනව. නැත්නම් උන්ට සල්ලි තියෙනව. යාන වාහන තියෙනව. ජීවිතයෙ අඩුපාඩුවක් නෑ. ඒ දේවල් එක්ක සැපසේ ජීවත් වෙන අද දවස ගැන ආශාව විතරක් නොවේ හෙට දවසෙ ඒ ජීවිතය ගැන ආශාවනුත් උන්ට තියෙනව. ඒක නිසා උන්ට ඒ දේවල් අහිමි නොෙවන්නනම් රටක් ඕනි. නැත්නම් උන්ට දරුවො ඉන්නව. ඒ දරුවන්ව අනෙක් දරුවන් අභිබවා හෙට දවසෙ ඉහළ තැන්වලට ගෙනියල දොස්තරල, ඉංජිනේරුවො, ආචාර්ය මහචාර්යවරු, ජන නායකයො, උසස් නිළධාරියෝ, ගොඩක් දේවල් හිමි කරගත්ත ව්‍යාපාරිකයො බවට පත් කරල සතුටක් ලබන්න ආශාවක් උන්ට තියෙනව. ඉතින් උන්ට විනාශ නොවෙන රටක් ඕනි ඒ ආශාවන් සපුර ගන්න. ඉතින් මේ යුද්ධ කරන අනෙක් පිළේ එවුනුත් ඒ වගේම තමයි. ඉතින් උන්ගෙ මේ දේශප්‍රේමය දැනට තමන් සන්තක වී තියෙන දේවල් නිසා හෝ හෙට උන්ට අත්පත්වීමට නියමිත දේවල් නිසා හෝ හෙට දවසේ අත්පත් කර ගැනීමට ආශාව තියෙන දේවල් නිසා ඇතිවෙච්ච දෙයක් විතරයි”
“ හ්ම්ම් ඒ කිසිවක් නැති නිසා උඹට දැනෙන හීනමානය නිසා එහෙම නැත්නම් උඹට නොලැබුණු දේවල් අනෙක් උන් ළඟ තියෙද්දි දැනෙන ඉරිසියාව නිසා උඹේ හිතේ රටට ආදරයක් නෑ කියල මම කිව්වොත්”
“ රට කියන හැඟීමම එන්නෙ තමන්ගෙ කියල බදාගත්ත දෙයක් හිතේ තිබුණොත් විතරයි. ඒක නිසා ඒව තමන්ට ඕනි විදියට අදත් හෙටත් පවතිනව දැකීමේ ආශාව ඇතිවෙනව. ඒක නිසයි බලය සහ අත්පත්කරගැනීම වෙනුවෙන් පිල් බෙදෙන්නෙ. හිස් අතින් ඉන්න කාගෙවත් හිත්වල උඹ කියන ආදරය නෑ. හැමෝම හිස් අතින් වුණානම් යුද්ධ කරල මරාගන්න කවුරුවත් නෑ. රට රකින්න පෙරට එන්න කියල කෑ මොර දෙන දේශප්‍රේමියන්ට තව දුරටත් තමන්ගෙ රස්සාව තියෙන්නෙ නෑ ඒ නිසාම. මොකක් රකින්නද යුද්ධ කරන්නෙ?”
මම නිරුත්තර විමි. ප්‍රකාශ් තියුණු බැල්මක් මා වෙත හෙළීය. ඔහු නැවතත් කතා කරන්නට විය.
“උඹ දන්නවද මට කවදාවත් මේ පොළොවෙ පුංචි ඉඩක්වත් මිළදී ගන්න තරම් මුදලක් හම්බ කරගන්න බැරිවුණා. මම දැකල තියෙනව මගෙත් එක්ක ඉස්කෝලෙ ගිය එවුන් හමුදාවට ගියා. ඒත් උඹ කියන විදියට රට රකින්නනම් නෙවෙයි. උන්ට කියල ගෙයක් හදාගන්න. බිම් අඟලක් සල්ලි වලට ගන්න කීයක් හරි හොයා ගන්න. නැත්නම් ගෙවල් වල උග්‍ර ආර්ථික ප්‍රශ්ණ නිසා ගෙදර අනෙක් එවුන්ගෙ බඩවල් පුරවන්න කීයක් හරි හම්බ කරන්න. උන්ගෙන් සමහරු මැරුණ. උන්ව හෙට දවස ගැන පුරවගත්ත ආශාවන් වලින් මෙහෙයවනු ලැබුව. මම එහෙම දේවල් වලින් මෙහෙයවුණ එකෙක් නෙවෙයි. ඒක නිසා මට අද මොකුත්ම නෑ. රස්සාවලට මම ඇප්ලිකේෂන් දාන්නෙ නෑ. මොකද ඒවයෙ ස්ථිර ලිපිනය කියල තීරුවක් තියෙනව. ඉතින් මට ඒකෙ ලියන්න දෙයක් නෑ. මට බැංකු ගිණුම් නෑ. මොකද බැංකු ගිණුම් පටන් ගන්න කියල ගිය හැම වෙලේම ස්ථිර ලිපිනය කියන ප්‍රශ්ණය දැක්කම ඒකට ලියන්න දෙයක් නැති නිසා මම ආපහු ආව. පොලිසියෙන් අල්ලන් ගියත් මේ කාළකණ්නි ප්‍රශ්ණය උන් අහනව. අද මම මෙතැන ඉන්නව. හම්බවෙන වැඩේ අනුව හෙට වෙන තැනකට යනව. හැම තැනක්ම තාවකාලිකයි.
ඉතින් මම හැමදාම මේ රටේ හැම දේකටම ගෑවිලා තියෙන ඒ ප්‍රශ්ණෙට වෛර කරනව. ඒකට උත්තරයක් ලියන්න බැරි මටත් අර කලින් කිව්ව උන්ට වගේ ආදරය කරන රටක් තියෙන්න ඕනිද? ”
උත්තරයක් නැති මා දෙස මදක් බලා සිටි ඔහු නැවතත් කතා කරන්නට විය.
“උඹ කියනවනම් මමත් කොහොම හරි සල්ලි හොයල හොඳින් හරි නරකින් හරි මට ඇඩ්‍රස් එකක් හදාගන්නම්. එතකොට මට දැනෙයි මේ මගේ රට කියල. ඊට පස්සෙ මමත් ඒක දියුණු කරන වැඩේ පටන් ගන්නම්. මෙච්චර කල් හම්බවුණු ගෑණු කවුරුත් ඇඩ්‍රස් නැති හෙට දවසක් නැති මාව දාල ගියා. ඉතින් මම ඇඩ්‍රස් එකක් හදාගත්තම මටත් උඹල කියන ස්ත්‍රී පුරුෂ ආදරය ලැබෙයි. මමත් දරැවො හදන්නම්. උන්ව හෙට දවසෙ ලොකු මහත්තුරු කරන්න ඕනි නිසා මටත් හිතේ රැකගන්න රටක් තියෙයි එතකොට.
කවදත් ඇඩ්‍රස් නැති එවුන් ඒ වෙනුවෙන් වෙහෙසුණා. කලින් අපේම ජාතියෙ එවුනුත් හැමෝටම ඇඩ්‍රස් එකක් තියෙන රටක් හදන්න වෙහෙසුණා. ඒත් ඇඩ්‍රස් එකක් හරි ගොඩක් හරි තියෙන එවුන් උන්ව මේ පොළොවෙන් අතුගාල දැම්ම. අද හරි හමන් ඇඩ්‍රස් එකක්වත් නැති එවුන් තමයි යුද්දෙට දක්කල තියෙන්නෙ. උන්ව දක්කන එවුන් එහෙම කරන්නෙ උන්ගෙ ඇඩ්‍රස් නැතිවෙයි කියන බයට. දේශප්‍රේමය කියල උන් කියන්නෙ උන්ගෙ තණ්හාවට. තක්කඩිකමට. බල ලෝභයට. උන්නතිකාමයට. කොටින්ම කියනවනම් උන් හංගගෙන ඉන්න උන්ගෙ තිරිසන්කමට. ඒ වගේම මේ යුද්දෙන් උන්ට කරන්න ඕනි තව පිරිසකගෙ ඇඩ්‍රස් නැති කරන එක. ඇඩ්‍රස් නැති එවුන් ඇඩ්‍රස් ඇති කරගන්න බලාපොරොත්තු තියාගෙන ඉන්නකම් විතරයි උන්ට පැවැත්මක් තියෙන්නෙ. තව අවුරුදු දහයකින් උඹ කියන දේශප්‍රේමය ජය ගනියි. උඹේ හිතේ රටට තියෙන ආදරය ජය ගනියි. ඒත් උඹේ ආදරයට ලැබෙන දෙයක් නෑ. ඒක නිකම්ම උඹ හිතේ තියාගෙන රස විඳපන්. උඹලගෙ හිත්වලට ඒ ආදරය කවපු එවුන් මේ රටේ විතරක් නෙවෙයි පිට රටවලත් උන්ටත් උන්ගෙ දරුවන්ටත් ඇඩ්‍රස් හදා ගනියි. ඒ වෙනුවෙන් උඹේ බත් පතටත් උන් කෙළියි. උඹත් ඇඩ්‍රස් නැති එකෙක් විදියට උඹේම රටේ ඉඳියි.”
ඔහුගේ හඞ මට අදටත් ඇසෙනු දැනේ.
“මම හිස් අතින් ඉන්නව. හෙට මම හිස් අතින් පිට වෙනව. මට රටක් නෑ. ගමක් නෑ. ඇඩ්‍රස් එකක් නෑ. ඉතින් මට ආදරය කරන්න ඒ කිසිවක් නෑ. මම නිදහස්. මම වගේ උන් විතරක් හිටියනම් උඹලගෙ රටේ උඹලගෙ නායකයන්ට අනිවාර්යයෙන්ම රස්සා නැතිවෙනව. මොකද හිස් අතින් ඉන්නකොට රැකගන්න කිසිවක් නෑ. ඒක නිසා පිල් බෙදෙන්න, මරාගන්න අවශ්‍යතාවයකුත් නෑ. උඹේ ප්‍රශ්ණ වලට උත්තර තව අවුරුදු දහයකින් උඹටම ලැබෙයි.”
එවකට ප්‍රකාශ් මට වඩා අවුරුදු දහයක් පමණ වැඩිමහල් විය. එදිනෙන් පසු නැවත මට ඔහුව හමු නොවිණ. සමහර විට ඔහු වෙන තැනකට පිටවී යන්නට ඇත. නැතිනම් රට හැරැ යන්න ඇත. එසේත් නැතිනම් මිය යන්න ඇත. සමහර විට කොතනක හෝ මෙරටෙහිම ජීවත් වෙනු ඇත. එහෙත් ඇඩ්‍රස් එකක් නැති ඔහු මා සොයා ගන්නේ කොතනින්ද?
එදිනෙන් පසු දැන් වසර දහයක් ගතවී ඇත. අද මම එදා ඔහුගේ වයසේ වෙමි.
වසර දහයකින් පසු මා දිනූ රට ගැන මම ඔහුගේ හදවතින් බලා සිටිමි. ඒත් මට කිසිවක්ම කිව නොහැක. ඒත් ඔහුගේ මසැසින් බලන මගේම හදවත වේදනාවක ගිලී තිබෙනු මම බලා හිඳිමි.
අද මටද ස්ථිර ලිපිනයක් නැත.
ප්‍රකාශ්ගේ අදහසට මම දැන් එකඟ නොවුනට මමත් ඒ තත්වයේම හිටියොත් මට මොනවගේ හිතෙයිද කියලා හිතා ගන්නවත් බෑ
ReplyDeleteප්‍රකාශ්ල ඉන්නව දාහකට විතර එකෙක්. උන් බොහොම අමාරුවෙන් උන්ගෙ ජීවිතේ ගෙවන්නෙ. කිසි දෙයක් අයිති නැති නිදහස් මිනිස්සු වුණාට අනිත් මිනිස්සුන්ගෙ ගැරහිලි ගෙරවිලි නම් ප්‍රකාශ්ලට ඕන තරම් තියෙනවා...
ReplyDeleteඔය කියපු අනිත් මිනිස්සු උදේ හවා අත් හැරීම ගැන ජොලි සින්දු අහන ගමන් පුළුවන් තරම් දේවල් බදාගන්න යුද්දෙක ඉන්නේ. ඉතිං උන් රටට ආදරේ නොවී තියෙයිද?
අපි කවුරුත් ඇඩ්‍රස් නැති මිනිස්සු.... වෙලාව ආවම තැන වෙනස් කරන්න වෙනව... ඒක තෙරුම් ගන්න ටිකක් අමාරුයි....
ReplyDeleteඑක අතකින් බැලුවම ප්‍රකාශ් හරි කියලත් හිතෙනවා..
ReplyDeleteඅපුරු සටහනක්. මිත්‍රයා. මටත් ස්ථිර ලිපිනයක් නැහැ.
ReplyDeleteමේක මහ පුදුම පෝස්ට් එකක්... ප්‍රකාශ් හරිද?.. වැරදිද?..
ReplyDeleteඇඩ්‍රස් නැති ප්‍රකාශ්ලා ඇත්තටම ඉන්නවද?
ReplyDeleteඇඩ්‍රස් නැති ප්‍රකාශ්ලා කොච්චර වාසනාවන්තද කියලා මේ පොළොවේ ඇඩ්‍රස් එකක් තියෙන මට තේරෙනවා....
ReplyDeleteමේක නම් අපූරු පෝස්ට් එකක් බං....
ඇඩ්‍රස් නැත=බැඳීම් නැත,රැකගන්න දේවල් නැත,ඕනැ වෙලාවක යා හැක.
ReplyDeleteඒකත් මාර වාසනාවක් බං
මේ කතාවේ පුද්ගලික පැත්ත හරි සංවේදනීයයි. දැන් ඒ සොහෝයුරන් කිසි දාක යළි හමු නොවෙන්නත් ඉඩ තියෙනවා නේද?
ReplyDelete(මා දන්නා කෙනෙක් ඉන්නවා අම්මා කවුද හරියට දන්නේ නැති. තියෙන්නේ සැකයක් විතරයි. නමුත් ඒ දෙදෙනාම ඒ ගැන කතා කරන්නේ නෑ මා දන්න තරමට.
තාත්තා ගැන එහෙම වුණත්, අම්මලා ගැන?)
සියලු ඇඩ්‍රස් තාවකාලිකය. ඇඩ්‍රස් නැතිවීම = නිදහස = බැඳීම් නැතිවීම = දුක අඩුවීම
ReplyDeleteමැණික්
එහෙම බැලුවාම අපි හැම පැත්තකින්ම මොන තරම් බැදිලද කියලා හිතෙනවා.ලැබුන දේවල් රැක ගන්නත්...නොලැබුන දේවල් ලබා ගන්නත් නේද ..අපි මේ සේරම සෙල්ලම් දාන්නේ.
ReplyDeleteමේක පට්ටයි කියනවට වඩා අපූරුයි කියන වචනේ සාධාරණයි කියල හිතෙනවා...
ReplyDeleteබැඳීම් එක්ක ජීවත් වෙන, බැඳීම් වෙනුවෙන් මිණී මරාගන්න, බැඳීම් නැති මිනිසුන් පිටමං කරන මිනිස්සුන්ව එළියට ඇද දැම්මා වගේ.
ReplyDeleteඇඩ්‍රස් නැතිවුනා මේක කියවගෙන යද්දි... මං ලඟදි බලපු වාර්තා චිත්‍රපටියකුත් මතක්වුනා. මැනිලා නුවර ඇඩ්‍රස් නැති ගෑනු ළමයෙක් ගැන ඒකෙ තිබ්බෙ. පේමන්ට් එකේ කඩවල් වහනකන් බලාගෙන ඉන්නවා කාඩ් බෝඩ් දෙකක් එතන එලල එයාගේ කාමරේ හදාගන්න.
ReplyDeleteඅමතක කරන්න බැරි හරිම ආපුරු සටහනක්... ඇත්තටම හරිම අපුරුයි....
ReplyDeleteමොනවා කියන්නද මන්දා කියලා තමයි මට දැන් නම් කියැවෙන්නේ..............
ReplyDeleteමේවගේ කොල්ලෙට ආදරය කරන්න හම්බ වෙන එකත් ලොකු දෙයක් . ඒ කෙල්ල ගොඩක් පින් කරන්න ඕනේ මේවගේ කොල්ල්ලෙක් හම්බ වෙන්න අද කාලේ සල්ලි පස්සේ යන සමජයට මේ වගේ කොල්ලෙක් හොයා ගන්නත් අමාරුයි
ReplyDeleteඅද තමයි මම මේක දැක්කෙ. මේකෙ මතුපිටින් address එකක් ගැන කිවුවට ඊට වඩා ගැඹුරක් තියෙන කතාවක්. ඒක කාට වත් තේරෙලා නෑ වගේ. රට රකින්න කියල අපි කාටද කඩේ යන්නෙ..? ඔය රට රකින්න ගිය දුප්පත් කොල්ලොන්ට මොනවද ලබුනෙ.... කකුල් අත පය නතුව... ලොතරැයි විකුනන්නෙ..... රට රකින්න පනන දුන්න උන් ගෙ ලමයින්, පවුල් අද මොනාද කරන්නෙ... උන්ට මොනාද ලබිලා තියෙන්නෙ.... අත්ත ටම මේ රට තවම අපිට අයිති නෑ. මේ රට අපේ කර ගන්න නම් සියලු සින්හල දෙමල පීඩිත ජනතාව එකතු වෙලා මේ කුනු කූජිත ධනපති පාලකයින්ව ගහල පන්නන්න ඕනෙ. ජාති වලට ආගම් වලට බෙදිලා.. රට බේර ගන්න කිය කිය අපි කරන්නෙ මුන්ට කඩේ ගිහින් අපේ බෙල්ලම මිරිකගන්න එක.... අත්තටම අපි ඔක්කොටම address නෑ.......
ReplyDeleteX-Porter