Saturday, 29 May 2010

විවාහයට පසු...



                                           පෙරකල
                                           විශේෂිත යමෙක් වී සිට..
                                           හිඳිමි අද
                                           සාමාන්‍ය යමෙක් වී
                                           එකම ගොඩකට එක්ව.....

Wednesday, 26 May 2010

ලොවේ සොඳුරුම විකසිතවීමේ සැමරුම


මෙත් කරුණා ගිරි කුළකින්
රූරා ඇද හැලී වැටෙන
පාරිශුද්ධ දිය දහරකි
බුදු බණ පදයක් සිතකට...

සසර දුකට ඔසුවක් මිස
සා පවසට නොවේ එදිය
එදියෙන් සැනහුණු උතුමෝ
ලොවට පහන් තරුවක් මෙන...

මෙත් කරුණා මුදිතාවෙන්
සැදුණු මෙදිය බිඳු සැණෙකින
සිරුරට වැද සිහිල සමග
පුබුදයි සිත සුවපත් කර...

සසර දුකට බිය වූවෝ
පාරිශුද්ධ දිය බීවෝ
ඔවුනගෙ සිත් සමාධියට
සසර දුක්ද දණ නැමුවෝ...

Tuesday, 25 May 2010

මරණය


මාත් සමගම ඉපිද
මාත් සමගම වැඩෙන
මා නිවුන් සොහොයුර...

නොමැති වීනම් නුඹ
කාල අවකාශ තුල
උදාසීනව මා නිදනු ඇත
පාෂාණභූතව....

නිබඳ මා ළඟ රැඳී
"අතිමහත් සාරයම
පෙරාගනු ජීවිතේ"
කියන්නට අන් යමෙක්
කොහිද මේ තුන් ලොවේ...

Monday, 24 May 2010

අතීතයෙන් අවදි බවට...



මේ මිනීවල තුළ
ජීවත්ව බොහෝ කල්
විඩාවෙන් අවදිවිමි
ජීවිතේ ඇමතුමෙන්...

අපරිමිත නිදහසෙහි
අසිරිමත් ජීවිතය
පණ ගැහෙන රඟ දුටිමි
එසඳ මම හදවතෙහි...

ජීවිතේ නර්තනය
"මේ මොහොත" තුළ පමණි
අභිරහස එපමණයි
විශ්වයම මට කියයි....

Friday, 21 May 2010

ගිම්හානයේ සිට ඔබ අමතමි...

ඔයාට මතකද අපි එක්වුණු ඒ දවස. ඒක මෙහෙමයි කියල විස්තර කරන්න තරම් විශේෂ දවසක් නෙවෙයි. ඒත් ඔයාගෙත් මගේත් දැල්වුණු ආශාවන් ඒ දවස පුරාම නොනිමී ඇවිලී තිබුණ. ඒත් අපි දෙන්නටම ඒ හැඟීම් වලට හරි අර්ථකතනයක් දෙන්න බැරිවුණා.

ජීවිතේ පුරාම එකිනෙකාට ගරු කිරීමට එදා අපෙන් පොරොන්දු ගත්ත. කඩදාසි කොලේකින් ඔයාට මාවත් මට ඔයාවත් ප්‍රාණ භුක්තියට පවරල දුන්නට මම මිනිහගෙ අතට රුපියල් පන්සීයක් දුන්නම මිනිහ කට පුරෝල හිනාවුණා. මට මිනිහව පෙණුනෙ නොදන්නා කොන්ත්‍රාත්තුවක අතරමැදියෙක් වුණ තැරැව්කාරයෙක් වගේ. මේ ශරීර එකිනෙකාට ලියල දෙන්න පුඵවන් වෙළඳ භාණ්ඩ කියල මට තේරුණා. නීතිය දැනගෙන ඉඳල නෑ ඒව ඇතුලෙ පණ ගැහෙන ආත්මයන් ජීවත් වෙනව කියල.

මතකද එදා රාත්‍රියෙ මං ඔයාගෙන් ඇහුව,
"ඔයාට මතකද දැන් අර මිනිහ ඉදිරියේ නැගිටල දුන්න දිවුරුම හරියටම"
"අයියෝ ඔක්කොමනම් මතක නෑ. එයා මට කියන්න කියපු ඒව මම කිව්ව. එච්චරයි. ඔයාට මතකද"
"මටත් මතක නෑ"
අපි‍ දෙන්නටම ගිවිසුමේ කොන්දේසි පැය කිහිපයකින්ම අමතක වෙලා තිබුණ. ඒ ‍මොහොතෙ ප්‍රති‍ඥා දුන්න අපි දෙන්න නෙවෙයි දැන් ඉන්නෙ කියල මට හිතුණ.

කොහොම වුණත් මුල් දවස්වල අපේ හිත්වල දැල්වුණු හැඟීම් මිහිරක් ගෙන දුන්න. ඇත්තටම අර්ථකතනයක් දෙන්න බැරිවුණත් අපි දෙන්නම ඒකට "ආදරය" කියල තමයි කිව්වෙ. ඔයාට මතකද?
අපිටයි කියල අපේම අත්දැකීම් වල මතකයන් අපේ මනස් තුලින් සොයා ගන්න බැරි තරම් අපි පුහුදුන් මිනිස්සු වුණ නිසා අරයයි මෙයයි කරන කියන දේවල් අපිත් අනුකරණය කලා. එයාලත් කලින් අය කරපු දේවල් අනුකරණය කරල තිබුණ. එකම චක්‍රය.... එකම නාට්‍ය රඟ දැක්වෙනව.. රඟහලයි නඵ නිළියොයි විතරක් අලුත් වෙනව.

කොහොම වුණත් කවුරු කවුරුත් කරපු කියපු විදියට අර 'ආදරය' අපි රැකගෙන ඉන්න වෙහෙසුනා. ඔයා ගැන මා තුළත්, මා ගැන ඔයා තුළත් තිබූ කුතුහලයන් සංසිඳී ගියා ටිකින් ටික. අපි‍ එකිනෙකාට සම්පූර්ණයෙන් අනාවරණය වුණාට පස්සෙ තව දුරටත් මිහිරක් ගෙන එන විශේෂත්වයක් අපි අතරෙ ඉතිරිවෙලා තිබුණෙ නෑ. කාලයත් එක්ක ස්වභාවික ආශාවන් පවා එතරම් වැදගත්කමක් නැති වෙද්දි අප කෙරෙන් ඉවත් වෙමින් තිබූණ. ඒත් අපි දෙන්නම එකිනෙකාගෙන් ඒව හංගගෙන චරිතයට සාධාරණයක් ඉටු කරමින් උපරිම රංගනයක යෙදෙන්න දක්ෂ වුණා.

මං ඔයාට හැම දවසකම උදේ හවා " මං ඔයාට ආදරෙයි" කියල කිව්ව. ඒත් මගේ ඇතුළත සත්වයා දැනගෙන හිටිය ඒක තවදුරටත් යථාර්තයක් නෙවෙයි කියල. යාන්ත්‍රික උත්තේජනයක් විතරයි කියල. ඒත් ඔයා සතුටු වුණා. ඔයත් මට ආදරෙයි කිව්ව. ඒකත් යාන්ත්‍රික ප්‍රතිචාරයක් කියල මට හිතුණ. මාත් සතුටු වුණා. ඒත් අපිට කලින් වචන වල අවශ්‍යතාවයක් තිබුණෙ නෑ. ඒත් දැන් මොකක්දෝ හිස් අවකාශයක් අපි අතර තිබෙන බව දැනෙද්දි නොදැනුවත්වම අපි කතා බහෙන් ඒක පුරවා දැම්ම. වචන වලට ලොකු වටිනාකමක් අපි අතරෙ ලැබුණෙ එහෙමයි.
ඒ වගේම විනෝද මාධ්‍ය, බඩු බාහිරාදිය, සුඛ විහරණය පිළිබඳ අපේ ආශාවන් අපි අතර පාළමක් හදල තිබුණ ඉවුරු දෙක එක්තැන් කරල. ඒත් ඒක පාළමක් විතරයි. අපේ අවශ්‍යතා වැඩි වුණා. ඒත් ගිවිසුමේ කොන්දේසි අනුව අපි ශරීර වලින් එක ළඟ හිටිය.

හදවතක් නැති නීතියකට කොහොමවත් හදවත් එක් කල නොහැකි කියල මට හැඟී ගියා. කොන්ත්‍රාත් එක දිගටම යථාවත් වුණා. අපි‍ එකිනෙකාට ගරු කරන බව පෙන්නුව. ඒත් ඒ ගරුත්වය මහ ව්‍යාජයක් වුණා. ඔයා මාවත්,මම ඔයාවත්, ඔයා ඔයාවමත්, මම මාවමත් නිතරම ව්‍යාජ සඵපිළි වලින් ආවරණය කරගෙන අපි මතුපිටදි ඒ ව්‍යාජයෙන් සැනසුණා. අවට සිටිය අයත් අපි දෙස බැලුව. ඒත් අපි අපි තුළම දෙබිඩි වෙලා හිටිය.

අපි එක්වුණු වෙලාවෙ හිටිය දෙන්න නෙවෙයි එදා රෑ හිටියෙ. පහු වෙනිද වෙනත් දෙන්නෙක්. අවසානය වෙද්දි අපිටම අපි අහිමිවුණ ගාණට අපි වෙනත් දෙන්නෙක් වුණා.

අපේ සිත් මොහොතින් මොහොත වෙනස් වෙනව. එකම ආශාවක එකම හැඟීමක සිතක් පවතින්නෙ කොහොමද? කාලයත් සමග එයත් පරිණාමය වෙනව. ඉතින් හැමදාම එක විදියට ඉන්නව කියල පොරොන්දු දුන්නෙ අපි දෙන්නමද? අර මිනිහට ඊජිප්තුවට ගිහින් කුණු වෙන්නෙ නැති මමියවල් දෙකකින් අර කඩදාසියට අත්සන් ගන්න තිබුණ. එහෙනම් ඒක සදාකාලික වෙන්න තිබුණ. ඒත් අපිට පණ ගැහෙන හදවත් තිබුණ අපි ජීවිතෙන් පිරී ගොස් හිටිය.

කොහොම වුණත් ආයෙත් වසන්තය ආවොත් අපි ජීවිත උයනේ උණුසුම්ව හමුවෙමු. ඒත් වියලුණු ගිම්හානයේදී අපි එය පිළිගෙන බොරු වසන්තයක් මවා නොගනිමු.
වසන්තය පිළිගත් උද්යෝගයෙන්ම ගිම්හානයත් පිළිගෙන ඉඳිමු.

ඔයාට ඔයාවවත්, මට මාවවත් තවම හමුවෙලා නෑ. ඒක නිසා අපිට බොරුවෙන් සැනසෙන්න වුණා. ඒ වගේම ඔයාට ඔයාවත්, මට මාවත් සැබැවින්ම හමුවුණ දවසේ අපි දෙන්නා පූර්ණ ආදරයක් තුළ හමුවෙයි. ඒ ආදරය තුළ අපි තව දුරටත් දෙදෙනෙක් වෙන එකක් නෑ. එතනැදි හැරෙන්න අපි අතර සැබෑ එක්වීමක් වෙන්න විදියක් නෑ. මුඵ විශ්වයම ඒ ආදරය තුළට ඇතුළත් වෙලා තියෙයි. පුංචිම කූඹියා පවා අපේ ඒ ආදරයෙන් නැහැවී හිඳියි.

එතෙක් අපි ආදරය අපි තුළම හොයාගෙන යමු.

Thursday, 20 May 2010

සඵල ප්‍රහර්ෂය



විපරිත දෙනෙතු සහසක්
අබිමුව සයුරක්ව කිම ඵල
දෙවියන්ගේ සාගරය තුළ
දිය රැල්ලක්ව සැනහෙමි...

ප්‍රහර්ෂය පොබයා නටන
විශ්වයේ දෙනෙතු අබිමුව...


Wednesday, 19 May 2010

සාධාරණව වහිනු මැන



කලබලේ ලොකු මහත්වී
ඇයි මේ වියරු ලෙස
ඇද හැලෙන්නේ
අනුකම්පා විරහිතව
මහ වැස්ස ඔබ.....

හැම වාරෙම වගේ
මිටි තැන්වල අපේ
පුංචිම නිවෙස් විතරයි
   ඔබ අදත් දකින්නේ...

මේ වරත් යන්න ඔබ
ආපසු එන විටෙක
ඔය මහත් වියරුවට
 උස් තැන්ද බිලි ගන්න...