ඔයාට මතකද අපි එක්වුණු ඒ දවස. ඒක මෙහෙමයි කියල විස්තර කරන්න තරම් විශේෂ දවසක් නෙවෙයි. ඒත් ඔයාගෙත් මගේත් දැල්වුණු ආශාවන් ඒ දවස පුරාම නොනිමී ඇවිලී තිබුණ. ඒත් අපි දෙන්නටම ඒ හැඟීම් වලට හරි අර්ථකතනයක් දෙන්න බැරිවුණා.
ජීවිතේ පුරාම එකිනෙකාට ගරු කිරීමට එදා අපෙන් පොරොන්දු ගත්ත. කඩදාසි කොලේකින් ඔයාට මාවත් මට ඔයාවත් ප්‍රාණ භුක්තියට පවරල දුන්නට මම මිනිහගෙ අතට රුපියල් පන්සීයක් දුන්නම මිනිහ කට පුරෝල හිනාවුණා. මට මිනිහව පෙණුනෙ නොදන්නා කොන්ත්‍රාත්තුවක අතරමැදියෙක් වුණ තැරැව්කාරයෙක් වගේ. මේ ශරීර එකිනෙකාට ලියල දෙන්න පුඵවන් වෙළඳ භාණ්ඩ කියල මට තේරුණා. නීතිය දැනගෙන ඉඳල නෑ ඒව ඇතුලෙ පණ ගැහෙන ආත්මයන් ජීවත් වෙනව කියල.
මතකද එදා රාත්‍රියෙ මං ඔයාගෙන් ඇහුව,
"ඔයාට මතකද දැන් අර මිනිහ ඉදිරියේ නැගිටල දුන්න දිවුරුම හරියටම"
"අයියෝ ඔක්කොමනම් මතක නෑ. එයා මට කියන්න කියපු ඒව මම කිව්ව. එච්චරයි. ඔයාට මතකද"
"මටත් මතක නෑ"
අපි දෙන්නටම ගිවිසුමේ කොන්දේසි පැය කිහිපයකින්ම අමතක වෙලා තිබුණ. ඒ මොහොතෙ ප්‍රතිඥා දුන්න අපි දෙන්න නෙවෙයි දැන් ඉන්නෙ කියල මට හිතුණ.
කොහොම වුණත් මුල් දවස්වල අපේ හිත්වල දැල්වුණු හැඟීම් මිහිරක් ගෙන දුන්න. ඇත්තටම අර්ථකතනයක් දෙන්න බැරිවුණත් අපි දෙන්නම ඒකට "ආදරය" කියල තමයි කිව්වෙ. ඔයාට මතකද?
අපිටයි කියල අපේම අත්දැකීම් වල මතකයන් අපේ මනස් තුලින් සොයා ගන්න බැරි තරම් අපි පුහුදුන් මිනිස්සු වුණ නිසා අරයයි මෙයයි කරන කියන දේවල් අපිත් අනුකරණය කලා. එයාලත් කලින් අය කරපු දේවල් අනුකරණය කරල තිබුණ. එකම චක්‍රය.... එකම නාට්‍ය රඟ දැක්වෙනව.. රඟහලයි නඵ නිළියොයි විතරක් අලුත් වෙනව.
කොහොම වුණත් කවුරු කවුරුත් කරපු කියපු විදියට අර 'ආදරය' අපි රැකගෙන ඉන්න වෙහෙසුනා. ඔයා ගැන මා තුළත්, මා ගැන ඔයා තුළත් තිබූ කුතුහලයන් සංසිඳී ගියා ටිකින් ටික. අපි එකිනෙකාට සම්පූර්ණයෙන් අනාවරණය වුණාට පස්සෙ තව දුරටත් මිහිරක් ගෙන එන විශේෂත්වයක් අපි අතරෙ ඉතිරිවෙලා තිබුණෙ නෑ. කාලයත් එක්ක ස්වභාවික ආශාවන් පවා එතරම් වැදගත්කමක් නැති වෙද්දි අප කෙරෙන් ඉවත් වෙමින් තිබූණ. ඒත් අපි දෙන්නම එකිනෙකාගෙන් ඒව හංගගෙන චරිතයට සාධාරණයක් ඉටු කරමින් උපරිම රංගනයක යෙදෙන්න දක්ෂ වුණා.
මං ඔයාට හැම දවසකම උදේ හවා " මං ඔයාට ආදරෙයි" කියල කිව්ව. ඒත් මගේ ඇතුළත සත්වයා දැනගෙන හිටිය ඒක තවදුරටත් යථාර්තයක් නෙවෙයි කියල. යාන්ත්‍රික උත්තේජනයක් විතරයි කියල. ඒත් ඔයා සතුටු වුණා. ඔයත් මට ආදරෙයි කිව්ව. ඒකත් යාන්ත්‍රික ප්‍රතිචාරයක් කියල මට හිතුණ. මාත් සතුටු වුණා. ඒත් අපිට කලින් වචන වල අවශ්‍යතාවයක් තිබුණෙ නෑ. ඒත් දැන් මොකක්දෝ හිස් අවකාශයක් අපි අතර තිබෙන බව දැනෙද්දි නොදැනුවත්වම අපි කතා බහෙන් ඒක පුරවා දැම්ම. වචන වලට ලොකු වටිනාකමක් අපි අතරෙ ලැබුණෙ එහෙමයි.
ඒ වගේම විනෝද මාධ්‍ය, බඩු බාහිරාදිය, සුඛ විහරණය පිළිබඳ අපේ ආශාවන් අපි අතර පාළමක් හදල තිබුණ ඉවුරු දෙක එක්තැන් කරල. ඒත් ඒක පාළමක් විතරයි. අපේ අවශ්‍යතා වැඩි වුණා. ඒත් ගිවිසුමේ කොන්දේසි අනුව අපි ශරීර වලින් එක ළඟ හිටිය.
හදවතක් නැති නීතියකට කොහොමවත් හදවත් එක් කල නොහැකි කියල මට හැඟී ගියා. කොන්ත්‍රාත් එක දිගටම යථාවත් වුණා. අපි එකිනෙකාට ගරු කරන බව පෙන්නුව. ඒත් ඒ ගරුත්වය මහ ව්‍යාජයක් වුණා. ඔයා මාවත්,මම ඔයාවත්, ඔයා ඔයාවමත්, මම මාවමත් නිතරම ව්‍යාජ සඵපිළි වලින් ආවරණය කරගෙන අපි මතුපිටදි ඒ ව්‍යාජයෙන් සැනසුණා. අවට සිටිය අයත් අපි දෙස බැලුව. ඒත් අපි අපි තුළම දෙබිඩි වෙලා හිටිය.
අපි එක්වුණු වෙලාවෙ හිටිය දෙන්න නෙවෙයි එදා රෑ හිටියෙ. පහු වෙනිද වෙනත් දෙන්නෙක්. අවසානය වෙද්දි අපිටම අපි අහිමිවුණ ගාණට අපි වෙනත් දෙන්නෙක් වුණා.
අපේ සිත් මොහොතින් මොහොත වෙනස් වෙනව. එකම ආශාවක එකම හැඟීමක සිතක් පවතින්නෙ කොහොමද? කාලයත් සමග එයත් පරිණාමය වෙනව. ඉතින් හැමදාම එක විදියට ඉන්නව කියල පොරොන්දු දුන්නෙ අපි දෙන්නමද? අර මිනිහට ඊජිප්තුවට ගිහින් කුණු වෙන්නෙ නැති මමියවල් දෙකකින් අර කඩදාසියට අත්සන් ගන්න තිබුණ. එහෙනම් ඒක සදාකාලික වෙන්න තිබුණ. ඒත් අපිට පණ ගැහෙන හදවත් තිබුණ අපි ජීවිතෙන් පිරී ගොස් හිටිය.
කොහොම වුණත් ආයෙත් වසන්තය ආවොත් අපි ජීවිත උයනේ උණුසුම්ව හමුවෙමු. ඒත් වියලුණු ගිම්හානයේදී අපි එය පිළිගෙන බොරු වසන්තයක් මවා නොගනිමු.
වසන්තය පිළිගත් උද්යෝගයෙන්ම ගිම්හානයත් පිළිගෙන ඉඳිමු.
ඔයාට ඔයාවවත්, මට මාවවත් තවම හමුවෙලා නෑ. ඒක නිසා අපිට බොරුවෙන් සැනසෙන්න වුණා. ඒ වගේම ඔයාට ඔයාවත්, මට මාවත් සැබැවින්ම හමුවුණ දවසේ අපි දෙන්නා පූර්ණ ආදරයක් තුළ හමුවෙයි. ඒ ආදරය තුළ අපි තව දුරටත් දෙදෙනෙක් වෙන එකක් නෑ. එතනැදි හැරෙන්න අපි අතර සැබෑ එක්වීමක් වෙන්න විදියක් නෑ. මුඵ විශ්වයම ඒ ආදරය තුළට ඇතුළත් වෙලා තියෙයි. පුංචිම කූඹියා පවා අපේ ඒ ආදරයෙන් නැහැවී හිඳියි.
එතෙක් අපි ආදරය අපි තුළම හොයාගෙන යමු.
මට මේක අමුතු කතාවක් කියලා දැනුනේ නෑ සහෝ. මගේ හොදම යෙහෙළියකගේ සැබෑ කතාව ......ඔව්. මේ ඒ කතාව. ඉස්පිල්ලක් පාපිල්ලක් නැතුවම ඒ කතාව. ඒ දෙන්නත් කූඩු උනේ මේ විදියට තමා. දැන් එකම කූඩුවෙ ඉන්න පිටස්තරයෝ දෙන්නෙක් වෙලා. නැවුම් බවක් නැතුව පිළුණු උන ජීවිතය දරුවෙක් නිසා එකට යාවෙලා විතරක් තියෙනවා.
ReplyDeleteඇත්ත....ආදරය කියලා හිතේ ඇති උන හැගීමකට විතරක්ම ඉඩ දීලා කූඩු උන ජීවිත වල අත්වන ඉරනම නේද මේ ?
මෙතැනදී ආදරය සහ රාගය පැටලීම තමයි ගැටළුව වෙලා තියෙන්නේ. එක අතකට සමහර රටවල සිදුවන ආකාරයට ලිවින් ටුගෙදර් ට පස්සේ විවාහය සිදු වෙනවා නම් සමහරවිට සැබෑ ආදරය හමු වේවි. ඒක සමාජය තුලදී පිළි ගන්නට බැරි මතයක් තමයි. (කට්ටිය මට ගහයි ද දන්නෙත් නැහැ). මම එහෙම කිව්වේ එතකොට විවාහ වෙන්නේ රාග නැටුම් නටලා අවසන් වුනාට පස්සේ ආදරයක් හිතේ තිබුනොත් පමණයිනේ. ඒ කියන‍්නේ රාගයේ අවශ්‍යතා පිරිමහ ගන්න විවාහ වෙනවා වෙනුවට සැබෑවටම දෙන්නට දෙන්නා අවැසි නිසා විවාහය සිදු වෙනවා කියලායි මට හිතෙන්නේ.හැබැයි ඉතිං කොයි හැටි වෙතත් ඒ රටවල් වලත් දික් කසාද නම් කෙලවරක් නැහැ තමයි.
ReplyDelete@ දිල්: මේක තමයි බහුතරයකගෙ කථාව.
ReplyDelete@ RanDil : ආදරයයි රාගයයි පැටලීම මේ දේට හේතුයි කියල කියන්නම බැහැ. මොකද මේ ලංකාවෙ කසාද නොබැඳ රාගය විඳීම තව දුරටත් මහා ගැටළුවක් නෙවෙයි.
මට හිතෙන විදිහට මේකට නියම හේතුවත් පිටස්තරයා ඉඟි කරල තියෙනවා.
" අපිටයි කියල අපේම අත්දැකීම් වල මතකයන් අපේ මනස් තුලින් සොයා ගන්න බැරි තරම් අපි පුහුදුන් මිනිස්සු වුණ නිසා අරයයි මෙයයි කරන කියන දේවල් අපිත් අනුකරණය කලා. එයාලත් කලින් අය කරපු දේවල් අනුකරණය කරල තිබුණ. එකම චක්‍රය.... එකම නාට්‍ය රඟ දැක්වෙනව.. රඟහලයි නඵ නිළියොයි විතරක් අලුත් වෙනව."
විවාහයෙන් පස්සෙත් අප අපම වෙනවා නම්, හැමදාම අප අපේම වේවි.
මනුස්ස හැඟීම් යතාර්තවාදී විවරණයකට ලක් කරල තියනව. වෙස් මූණු දාගෙන වහගන්න හදන ඇත්ත මේකයි. සමාජ විද්‍යාඥයින් කියන්නෙ කාලයක් තිස්සේ ආදරය කොට විවාහ වූ දෙපලකගේ බැඳීම පවා පසු කාලීනව සමාජයීය අවශ්‍යතා මත බොහෝ දුරට රැකී පවතින බවයි.(ලස්සනට භාෂාවත් හසුරුවල තියෙනව.)
ReplyDeleteමට මේක තේරුනේ නෑ. ටිකක් පැහැදිලි කරනවද?
ReplyDeleteඅනේ අනේ සමා වෙන්න ඕන මගේ දෙවෙනි කමෙන්ට් ඒක මේ පොස්ට් එකට නෙමෙයි."සඵල ප්‍රහර්ෂය" කියන පොස්ට් එකටයි ලිව්වෙ.මට පොඩි වැරදීමක් වුනා.
ReplyDeleteවෙනස් වීම පොදු ධර්මතාවයක්. ඒත් ඒ වෙනස හොඳ අතට හරවා ගැනීමට හැකිනම්!!. මිනිස් මනසේ මේ අතෘප්තිකර බවේ අවසානය කොතනද කියන එකයි මට තියන ප්‍රශ්නය. තමන්ට තමන් හමුවුනා කියල පටන් ගැනෙන හැම බැඳීමකම අවසානය මේකම වෙන්න පුළුවන්. ලැබෙන දෙයින් තෘප්තිමත් වීම වැදගත් නැද්ද? අඩු වැඩි වශයෙන් මේ අතෘප්තිකර බව හැම පවුලක් තුලම ඇති. ඒත් මම දැකල තියන විදියට ලංකාවෙ සංස්කෘතික පරිසරය තුල මෙයින් වඩාත් අසරණ වෙලා ඉන්නෙ ස්ත්‍රි පක්ෂය. හේතුව මේ සීමාවන් බිඳගෙන යන අනෙක් පක්ෂය දිහා දරුවන් නිසා උපේක්ෂාවෙන් බලාගෙන ඉවසා සිටින කීපදෙනෙක් ගැනම මම දන්නවා.
ReplyDeleteදිල් මේක ඇට මැස්සා කියන විදියටම ගොඩක් දෙනෙක්ගෙ යථාර්තය තමයි.(මමනම් හිතන්නෙ හැමෝගෙම කියල)
ReplyDeleteRandil ඔබ පවසනදේ සිදුවෙනවානම් හොඳයි කියල මම හිතනව. නමුත් රාගය කොටස අයින් කරල ස්ත්‍රී පුරුෂ ආදරයක් ගැන කතා කිරීම වැඩක් නෑ. රාගයෙන් වියුක්ත වු සිතක් එවන් බැඳීම් වලට යා නොවනු ඇත.
ඉසිඹුව මම සමාජ විද්‍යාව නොදනිමි. ඒත් ඔබේ දැනුම තුලින් කරනු ලබන විවරණයට හරිම කැමැත්තෙමි.
මැණික් ඔබ කියන ලෙසම සෑම පවුලක් තුළම මේ අතෘප්තකරභාවය පවතියි. ඒත් එය විවිධ ව්‍යුහයන්ගෙන් ආවරණය කර ගැනීමට බොහෝ අය සමත්වේ. එහෙත් තමාගෙ හදවත දෙස අවංකව බැලිය හැක්කෙකු තමන්ට අහිමිවී ඇත්තේ කුමක්දැයි වටහාගනු ඇත. සෙසු අය තමන්ට අහිමිවී ඇත්තේ කුමක්දැයි නොදන්නා බැවින් තමාතුළ ගැටඵවක් පැණ නොනගී.
අදහස් දැක්වූ ඔබ සියඵ දෙනාටම නොවක් ස්තූතිය පුද කරමි.
පුංචි කතාවකින් ඔයා ලියලා තියෙන්නෙ අපි හැමෝගෙම ජීවිත කතාවයි... ඒත් මේක ප්‍රශ්නයක්ද? පිලිතුරු ඇති ප්‍රශ්නයක්ද එහෙම නැත්නන් ලෝකෙ පවතිනතුරා පැවතෙන සමාජක්‍රමයක්ද කියලා හිතා ගන්න අමාරුයි... ඇත්තම කිවුවොත් මේ මාතෘකාව ගැන කතා කරන්න තරන් මගෙ දැනුම මදි...
ReplyDeleteකවුරු මොනව කියුවත් මේක තමයි ආසන්න යථාර්ථය.
ReplyDeleteමා සහ මගේ බිරිඳ විවාහ උනේ අවුරුදු 8 කටත් වඩා ආදරය කරල. දැන් බැඳල අවුරුදු 10 ක් වෙනවා. අපි අපි දෙන්නාට තාමත් ආදරය කරනවද ? අනිවාර්යයෙන්ම. ඒත් ඉස්සර වගේ අපි ඒක පෙන්නන්නෙ නැහැ කිසියම් හේතුවකට. මට ඒ හේතුව තේරෙන්නෙ නැහැ.
සමහර විට . . .
"පුංචි පුතේ නුඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා . . .
එදා වගේ නෑ . . . මාත් එක්ක බොලඳ වදන් දැන් කියන්නෙ නෑ . . ."
සුදු කොට රැළි ගවුම ඇඳන් පාසල් ගිය කාලෙ වගේ . . . .
හිනා වෙන්නෙ නෑ . . . නුරා හැඟුම් කෝල බැළුම් දැන් හෙලන්නෙ නෑ . . . "
අපි කොහොමද දන්නෙ අපි තවමත් දිවි හිමියෙන් ආදරය කරනව කියල . . .? ටික දවසක් ඈත් වෙලා ඉන්න . . . . එතකොට තේරෙනව අනෙකා නැතුව ජීවිතය කොච්චර හිස්ද කියල . . . . !
මම මගේ අත්දැකීම කියන්නම් . . .
ගුිෂ්ම කාලයේදි මෙහෙ පාසල් දරුවන්ට මාස 2 1/2 ක විතර නිවාඩුවක් ලැබෙනවා. මේ කාලයෙදි තමයි අපි ගොඩක් වෙලාවට අපේ නිවාඩුව ප්ලෑන් කරන්නෙ. බිරිඳ සහ දරුවන් සමග ලංකාවට ගියත් මුලු මාස දෙකහමරක් නිවාඩුව ගතකරන්න මට ලැබෙන්නෙ නැහැ, ඉතින් ඔවුන් ලංකාවෙ තබා නැවත රැකියාවට වාර්තා කරන්න වෙනව. ඔවුන් නැවත එන්නේ පාසල් පටන් ගන්න කිට්ටු වු විට.
මෙහෙ ඉන්නකොට කවද්ද ලංකාවට යන්නෙ කිය කිය ඇඟිලි ගණින බිරිඳ මා නැවත පැමිණි පසු කවද්ද ආපසු මෙහෙ එන්නෙ කියල ඇඟිලි ගණිනවා . . . ඒත් එක්කම මට දනෙන හැඟීම හොඳින්ම විස්තර වෙන්නෙ සුනිල් එදිරිසිංහයන්ගෙ මේ ගීතයෙන් . . . .
කලේ පැන් ඇත නැවුම් රහ නැත - මොකද මන්දා ලිඳට ඌයේ
පුලුස්සාගත් ලොටිය කර වී - මොකද මන්දා ලිපට ඌයේ
හදා ගත් ලුනු මිරිස රහ නැත - මොකද මන්දා දිවට ඌයේ
සැලේ ගහ කොල සුලඟ ඇත එද - සිහිල කොයි අත ගියාදෝ
කෝල බව මුසු සිනා හඬ නැත - සවන් බිහිරිව ගියාදෝ
පුරුදු නිවහන නුගුරු වී නම් - කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම - බිරින්ඳෑ නෑ ගම් ගොසින්
බිරින්ඳෑ නෑ ගම් ගොසින් - බිරින්ඳෑ නෑ ගම් ගොසින්
ඉතින් අපි අපිට ආදරය නැද්ද ???
මධූ සහ දුමී ඔයාලටත් ගොඩක් ස්තූතියි අදහස් දැක්වීම පිළිබදව.
ReplyDelete