Sunday 17 March 2013

කැත කූඹී...






කඩේ ඇති ලොකු
සීනි ගෝනිය...

නොපෙනෙන කූඹී,

ගෙදර ඇති පොඩි
සීනි බෝතලයට...

වහ වැටෙන කැත,




Sunday 10 February 2013

ආදරණීය ජනතාවට..







දිනෙක තොප වෙනුවෙන්
ගැලවුම්කාරයෙකු හෝ
පාවාදෙන්නෙකු වන්නට
වරමක් ලැබේනම්...

සිහසුන් වල තබා
නරුමයන් අදහන
කුණු හදවත් ඇති
තොපට කිම නිවටුනි,
සැබෑ ගැලවුම්කරුවන්..

පාවාදෙන්නා වෙමි,
තොපි සැවොම
මරණයට දක්කන..


Monday 4 February 2013

නිදහස..








කැඳ උයන්නට
නිතරම
පාරම්බාන මූසල
ආඩි හත් දෙනෙකුට
බාර දුන්
අම්බලම..


Sunday 27 January 2013

නයි සමග නිදි වැද..






මම කාලෙකට ඉස්සර මනුස්සයෙක් වෙලා හිටිය. ඒක කියන්න තරම් ජීවිතයක් නෙවෙයි.

මම නාගයෙක් වුණා.

යුද්ධෙ පටන් ගත්ත.  මම යුධ පිටි අතරෙ කරක් ගැහුව නිතරම පෙන ගොබේ පුප්පගෙන. නාග ගෝත්‍රයෙ උන් විදියට අනෙකුත් සියඵම උරග ගෝත්‍ර වල උන් සතුරන් විදියට සැලකීම අපිට නියමව තිබුණ. ඒ නියමයන් ආවෙ කොහෙන්ද කියන්න අපි දැනන් හිටියෙ නෑ. ඒත් අපේ හිත්වල කල්ප කාලයක් පුරා ඒ නියමයන් මුල් බැහැල තිබ්බ විදියට අපිට ඒව දැණුන. අපි ඉපදිලා හිටියෙ ඒ නියමයන් පිළිපදින්නයි. මිනිහෙක් විදියට හිටිය කාලෙනම් ඒ නියමයන් අන්ධකාරයේ නිර්මිතයන් ලෙස මම අදහන්න තිබුණ. ඒත් අපි දැන් තිරිසන්නු. තිරිසන්නු අන්ධකාරය හෝ ආලෝකය ගැන ජනකතා අදහන තරමට මෝඩ නොවීම ගැන මම සතුටට පත් වෙලා හිටියෙ.

ඒ කාලෙ මම නිතරම ලැගුම් ගත්තෙ කෝන් ගස් ඉසව්වෙ. නාගයෙක් විදියට මම නාග ගෝත්‍රය වෙනුවෙන් පළමු යුතුකම ඉටු කලේ ඒ දවස් වල තමයි.

ඒ දවස හොඳ ආලෝකමත් දවසක්. වෙනදටත් කළින් ඉර නැගිල තිබුණ. එක වළාකුලක්වත් නැති තරමට අහස පැහැදිලිව නි‍ලට නිලේ දිස්නෙ දුන්න. ඒත් වන පෙත පුරා ඇදී ගිය සිහිල් සුළඟින්.... එක්කො ඒව ඕන්නෑ. මිනිස්සුන්ගෙ විකාර මගේ ඔඵවට තවම ගහනව සමහර වෙලාවට. කෙළින්ම කාරණේට බහිනවනම්,
එදා ‍ලොකු කෝන් ගහක බෙනයක නයි ශරීරෙ දරණ ගහගෙන පෙණ ගොබේ විතරක් එළියට දාගෙන විවේක සුවයෙන් ඉන්න අතරෙ තමයි ගැරැඩියෙක් කෝන් ගහට ගොඩ වෙන්න දඟලන හැටි දැක්කෙ. විවේක සුවය කියල කිව්වට ඒකෙ කිසි ‍විවේකයක් තිබුණෙ නෑ. කොයි වෙලේ හතුරෙක්ගෙන් අන්තරාවක් වෙයිද කියන බයට ඇහැ නොපියවුණා විතරයි.

කොහොම වුණත් ගැරැඩි තඩිය දකිද්දි මට යක්ෂයා ආවේෂ වීම අහන්න දෙයක් නෙවෙයි. හැබැයි ඌ ගැරඩියෙක් වුණත් යක්ෂයා ඌට බයවෙලා හිටි බව මම විතරක් දැනන් උන්නු රහසක්. ඒත් නාගයෝ කිසිදා ගැරඩින්ට බිය නොවිය යුතු බව මට පසක් වුණා. එවැනි අවමානයක් නාග ගෝත්‍රයට ලොකු කැළලක් වෙන්න ඉඩ තිබුණ.

මම ගැරඩියාට තර්ජනය කලා.

මම තෝව මරණව කියල. 

කටහඩේ වෙව්ලීමක් තිබුණ නිසා ඒක ගැරඩියාට දැණුනවත්ද කියල මට සැකයකුත් නොදැණුනා නෙවෙයි.
ඌ කාළකණ්නි ගැරැඩියා. මගේ තර්ජනය මායිම් නොකර ඔහේ හිටිය. ගැරඩියෙක්ට නොවටින හැසිරීමක් ඌ ප්‍රදර්ශණය කිරීම ගැන මගේ ලේ කෝප වී ගෙන ආව. හිතේ තිබුණ බය, චකිතය අත හැරැල ගැරැඩියා මත්තට පනින්න ‍මට ධෛර්යය ගෙනාවෙ මුගේ මේ උද්දච්ච නාග ගෝත්‍රයට අපහාස ගෙන දුන් හැසිරීමයි. ඒත් ඒ වෙලාවෙනම් ගැරැඩියාට තරු විසිවුණ බව කිව යුතුයි. මරණ බයෙන් ඌ වෙව්ලන හඩින් කිව්ව,

මම වරදක් කලේ නෑනෙ 

නාග ගෝත්‍රය ළඟ හැසිරෙන්න නොදන්නා කම වරදක් නොවන බව අදහන්න තරම් මේ නීච ගැරැඩියා නරුමයෙක් වෙලා හිටිය. මම ඌව වෙලා ගත්ත සැණින්. කෝන් ගස් ඉසව්වෙ අනෙක් නාග සෙනඟ එකා දෙන්න ඇදෙන්න ගත්ත සද්දෙ ඇහිල.
උන් මොර දුන්න මට

මරාපිය පර ගැරඩියා

ගැරඩියාගෙ බෙල්ලට මගේ දළ කිඳා බැස්ස තත්පරයකින්. ඌ අඩපණ වෙලා මැරිල වැටුණ.

නයි සෙනඟ මට හුරේ දැම්ම. ඒක තමයි ගෝත්‍රය වෙනුවෙන් මගේ පළමු යුතුකම් ඉෂ්ඨ සිද්ධ කිරීම. තත්පරයකින් ගැරැඩියා මැරෙන්න තරම් මගේ විෂ අධික වීම ගැන අනෙකුත් නාගයෝ ප්‍රශංසා කලා. ඒ තරම් විෂක් මනුස්සයෙක් විදියට ඉද්දි එකතු වුණාද, නැත්නම් නාගයෙක් වුණාට පස්සෙ ඇති වුණාද කියන එක ගැන මට අදටත් නිච්චියක් නෑ.

කොහොම වුණත් මමත් වීර නාගයෙක් බවට පත් වෙලා හිටිය. ඒත් මගේ වීර සලකුණට ඔච්චම් කරපු බය කියන එක තනියෙන් ඉන්න වෙලාවට මාව නින්දෙන් ඇහැරැවල තිබ්බ. හොඳ වෙලාවට කිසිම උරගයෙක්ට තවත් උරගයෙක්ගෙ හිත පේන්නෙ නෑ. ඒක මට සැනසීමට කරුණක් වුණා. ස්වභාව ධර්මය කොයි තරම් නිර්මාණශීලීද? වැරැදීමකින් හෝ එක උරගයෙක්ට තව උරගයෙක්ගෙ සිත පේන විදියට එය විකෘති විදියට නිර්මාණය වෙලා තිබුණනම් උරගයෝ අතර වීරයෝ කවුරුවත්ම නැති වෙන්න තිබුණ. ගැරඩින්ට නයි පවා නිවටයෝ විදියට හැගෙන්න දැනෙන්න ඉඩ තිබුණ. ඒත් පවතින විදියට ස්වභාව ධර්මය කොයි තරම් නිර්මාණශීලීද? පරිත්‍යාගශීලීද? විචිත්‍රවත්ද? මගේ හිත පෙනෙන හැම විටම මේ ස්වභාව ධර්මය ගැන ගෞරවාන්විත ආදරයකින් මම වෙලී ඉන්නෙ ඒ නිසයි.

කොහොම වුණත් කෝන් ගස් ඉසව්ව, පඵ ගස් ඉසව්ව, ඇහැටු ගස් ඉසව්ව වගේ ගොඩක් ප්‍රදේශ වල නාග ගෝත්‍රය ජය කණු බඳින්න ගත්ත. මේ පොළොවෙ නාගයන්ට වඩා උදාර උරග කුළයක් නැති බව අපි මහ පොළොවටත් සියඵම උරගයින්ටත් ඒත්තු ගන්වමින් හිටිය. ඒත් ඔය කියන ඉසව්වල හිතපු තරම් විෂ ඝෝර සර්පයෝ හිටියෙ නෑ. පොලොන්ගු වර්ග කිහිපයක්, මාපිලන් වර්ගයක්  දෙකක් ඇරුණම වැඩි හරියක් හිටියෙ කිසිම විෂක් නැති උරග කොට්ඨාශ තමයි. එයිනුත් වැඩි හරිය ගැරැඩි කුලයට අයත් උරග විශේෂයි. ඒක නිසා අපේ ශ්‍රේෂ්ඨත්වය වෙනුවෙන් කරන සටන එච්චරම අමාරු වුණේ නෑ. ඒත් අපි නිවට ගැරඩියන් ජය ගත්තත් වෙනත් ඉසව් වලට ඒත්තු ගැන්නුවෙ මාපිලන් ජය ගත් බවයි. එතකොට තමයි වීරත්වය සිහසුනේ තියන්න අවශේෂ නාග කුල වල නයි උත්සුක වෙන්නෙ. උන්ව පිනවීම වගේම, උන් වීර ගෝත්‍රයක කොටස් කරුවන් බව ඒත්තු ගැන්වීම අපේ යුතුකමක්ව තිබුණ. ස්වභාව ධර්මයට නැවතත් ස්තූතිවන්ත විය යුතුමයි එක උරගයෙක් තවත් උරගයෙක්ට හැමදාම රහසක්ව පවතින විදියට නිර්මාණශීලී වීම සම්බන්ධයෙන්.

කොහොම වුණත් ගණ කැලෑව අස්සෙ උරගයෝ නොවුණත් මුගටියෝ කිහිප දෙනෙකුත් හිටිය. මේ කාළකණ්නි නීච මුගටියෝ නාගයන්ට බිය වුණේ නෑ. (සමහර විට උනුත් උරගයෝ වගේම හිතේ බයෙන් හිටියවත්ද මන්දා). කොහොම වුණත් තනි තනියෙන් මුගටියන් එක්ක සටන් කරන්න බැරි නිසා නාගයෝ කවුරුත් එකතු වෙලා එක එක මුගටියා වටකරල පරාජය කළා.  අපි ගොඩකට තනි මුගටියා අහුවුණාමනම් බය කියන එක හිතට දැනෙන්නෙම නැති තරම්. නාග ශ්‍රේෂ්ඨත්වයෙන් අපි ඌව කීතු කලා ඉක්මණින්ම.

දවසක් ගැබ්බර මුගටි දෙනක් අහුවුණා අතටම. තනියෙන් සටන් කරල මුගටි දෙන අන්තිමට අඩපණ වෙලා ඉද්දි තමයි මම එතනට ආවෙ. ඒකි හිට ගන්නවත් බැරිව හිටියෙ. ජීවිතය යදින බැල්මක් ඇස් වල ලියවෙලා තිබුණ.

මාව මරන්න එපා 

ඒකි කියනව ඇහුණ.

දෂ්ඨ කරපං ඒකිට 

මට අණ ලැබුණ.

මම වටපිට බැලුව,

මේකි පැටව් ගහන්න ඉන්නෙ 

මම හෙමින් මිමිණුව. 

කාළකණ්නි දයානුකම්පාවක් මාව වෙලාගෙන තිබුණ.

යකෝ උන් මුගටි පැටව්. ඒක දැනගනින්

මම හිස වැනුව.

චකිතයෙන් වුණත් බියක් නැතිව මං ළං වුණා. මොකද ඒකිට සටන් කරන්න ශක්තියක් ඉතුරුවෙලා තිබුණෙ නෑ.

ඉවර කරපං

මට අණ ලැබුණ.

මම හිතන්න කාලය නාස්ති කලේ නෑ. එකවරම දෂ්ඨ කළා ඒකිගෙ බෙල්ලට. දෙවැනි පාර ම‍ගේ දළ කිඳා බැස්සෙ ඒකිගෙ ගැබ්බර බඩට. මට දැණුන ගර්භාෂය ඇතුළෙ ඇස් ඇරැපු නැති පුංචි පැටව් දඟලනව වගේ. මම පරණ මිනිස් පුරුද්දට වගේ තිගැස්සිලා ගියා. හරහ වැටුණ ඒකිගෙ පණ ගැහෙන ශරීරෙ දිහා බලන්න මට බැරි වුණා. ඒක බය නෙවෙයි. ඒක මොන හැඟීමක්ද කියන එක මට අදටත් කියන්න බෑ. ගර්භාෂයක උණුසුම කෙනෙක් සලිත කරන්න පුඵවන්. ආදරය පණ ගැහෙන තැනකට පහර දුන්නම ඒ වගේ පාදඩ හිත් වේදනාවක් දැනෙන්න ඕනෑම උරගයෙකුට ඉඩ තියෙනව.

මම හිත හදාගත්ත. 

නයි හිත්වල වැඩි වෙලා දුක තියෙන්නෙ නෑ විෂ වගේ.

අන්තිම මුගටියාත් මේ පොළොවෙන් කිතු කළාට පස්සෙ මේ පොළොවෙ ශ්‍රෙෂ්ඨතම උරග ගෝත්‍රය බවට නාග ගෝත්‍රය පත් වුණා. වීරත්වයට සරිලන භූමියක් අහිමි වීම ගැන යුධ පිටියෙ උන්න නයින්ට සාංකාව දැණුන. මීට පස්සෙ කුරුඵ කූඩු වල බිත්තර ගිලින්න ගස් බඩ ගානවට වැඩි දෙයක් ඉතිරි වෙන්නෙ නෑ. ඒක මහ කම්මැලි ජීවිතයක් බවට පත් වෙන්නයි නියමිතව තිබුණෙ.

අන්තිමේ මම තුඹසකට වැදිල එතෙක් දරාගෙන හිටිය හැව ඇරිය. අලුත් හැවක් එක්ක මම සතියකින් විතර හුඹහෙන් එළියට බඩගෑව.

මම අලුත් හැවක් එක්ක අලුත් ‍විදියට කෝන් ගස් ඉසව්ව අතහැරැල ඥාති නයි සෙනඟ අතරට ආව.

නාගයින්ට ජයවේවා

නාගයින් සදා දිනේවා

ඥාති නාගයින් මාව පිළිගත්ත උදාරම් විදියට.

කළින් ගත කරපු මනුස්ස ජීවිතයෙන් වෙන්වෙලා නාගයෙක් වීම ගැන මම ගොඩාක් සතුටු වුණා.

නාගයන් අතර කොයි තරම් පිළිගැනීමක්ද?

මනුස්ස ජීවිත කොයි තරම්නම් කාළකණ්නිද?

ස්වභාව ධර්මයට මා නැවතත් ස්තූතිවන්ත විය යුතුව තිබෙනව.

තව ගොඩක් මෙහෙවර ඉදිරියට ඉටු කිරීමට ඇති බව මගේ හිත එදා සහසුද්දෙන් දැන හිටිය.


Monday 14 January 2013

දෝෂාභියෝගයෙන් ‍ඔබ්බට..





සේදිරිස් අයියේ,
යමන් කුඹුරට
කෙහෙම්මල් කියවිල්ල
වහගනින් දැන්වත්...

ඔය කෙහෙම්මල් නීති
පොඩි අපිට විතරයි බං
බල්ලන් වගේ බැඳලන්න
හරකුන් වගේ දක්කන්න
අපිට විතරයි බං
ඔය කෙහෙම්මල් නීති...

උසාවි, බලුකූඩු, හිරකූඩු
හැමදාමත් තිබුණෙ
උඹලට අපිට විතරයි
දැන් ඔය මොරදෙන
නෝනල, මහත්තැන්ලා
මීක් ගෑවේ නෑ බං
කවම කවදාවත් ඒ ගැන..

ඒ අවනීතියට
අත තියල නෑ බොලන්
ඒව හැමදාමත් තියෙයි
උඹල අපි වෙනුවෙන්...

මොකට විස්සෝප වෙනවද?
යමන් දැන්වත් කුඹුරට
අපි නිකම්ම නිකම්
බයිස්කෝප් නරඹන
කැහැටු ඇටසැකිලි බං...