Saturday 30 July 2011

මහෞෂධ නුඹ..



රකින්නට තෙද බල
බලකාමී රජුන්ගේ
යුධ උපායෙහි යෙදුණ
උපදේශක,

මහෞෂධ නුඹ
කේවට්ටයෙක්මය..


Saturday 23 July 2011

නිරුවතෙහි අසිරිය...





එක දිගට සෑම දිනකම තමා නිරුවතින් නුවරුන් අතර සැරිසරනු රජු සිහිනයෙන් දකින්නට විය. නිරුවත් තමා දෙසටම දෑස් දල්වන ජනී ජනයා තමන් මහරජු බව නොහැඳිනීම ගැන රජු උදහස් වන්නේය. නුවරුන් තමා දෙස බලමින් සිනාසෙනු, උසුඵ විසුඵ කරනු පමණක් නොව හූ හඞ නගනුද ඇසෙන රජු තම දෝතින්ම නිරුවත් යටිකය වසාගෙන මිනිසුන්ගෙන් තොර ආවරණයක් සොයමින් දහඩිය පෙරමින් දිව යද්දී ලැජ්ජාවෙන් බිය වී අවදිවීම සාමාන්‍ය දෙයක් බවට පත්විය. ඉන් අනතුරුව නිදිවර්ජිතව රැය පහන් කරන රජු රාජ්‍ය විචාරණ කල්හී මහත් වෙහෙසකර ශරීරයෙන් යුතු වන්නේය. කෝප වන්නේය. කුරිරු තීරණ ගන්නේය. රාජ සභා මණ්ඩපයෙන් ඈත් වී හුදෙකලාවේ ගිමන් නිවාගන්නට සියල්ල ඉක්මණින් නිමා කරනු පිණිස වෙහෙසෙන්නේය.

සිය ප්‍රිය හිමියන්ගේ උකටලී ස්වභාවය නිරීක්ෂණ‍යේ යෙදෙන රජුගේ නීත්‍යානුකූල අගබිසව රජු තමන්ව මග හරින්නේ යම් අවකල් ක්‍රියාවකට ලොල් වී යැයි සිතන්නට වූවාය. බොහෝ දින ගණනක් ඉවසීමෙන් අනතුරුව ඈ රජු විමසන්නීය.

ස්වාමිනී,  උකටලී වීමට හේතු කිම, මගෙන් ඔබට අවැඩක් වීද නැතිනම් දිනෙන් දින වියපත් වෙමින් සිටින මා ඔබේ මනදොලට නොසරිලන්නේද? ඔබ මා සමග ප්‍රිය සම්භාෂණයේ නොයෙදෙන්නේ එනිසාද?

රජු තම මනස කළඹන අසහනය සිය බිසව හඳුනාගෙන ඇති බව දැන තැති ගන්නේය. මනදොල සැපිරීම පිළිබඳ ඇගේ වදන් ගැනත් තමන්ගේ ඈ නොදත් හැසිරීම ගැනත් මතක් වීමෙන් රජු තවත් අපහසුතාවයට පත් වන්නේය. ඒ සියල්ල දන්නේනම් තමන් කපෝතියි රජු සිතන්නේය.

නැත නැත ප්‍රියාවිය, ඔබේ දැකුමද මගේ මනදොල පිනවන්නේය. පසුගිය කාලයේ සිට මා ‍ගත වෙහෙසින් පෙළෙන්නේය. එබැවින් මා මදක් උකටලී වී ඇති බව මට හැඟී යන්නේය
හිමියනි කවරක් නිසා ඔබ වෙහෙසින් පෙළෙන්නේද, නොවහළහා කිව මැනවි

දැන්නම් කෙසේවත් ගැලවීමක් නැති බව රජු අත්දැකීමෙන් වටහා ගන්නේය. අවසන වටින් ගොඩින් තම ස්වප්නයේ වත රජු සිය බිසවට හෙළි කරන්නේය.

හිමියනි, යම් අදෘෂ්‍යමානී නපුරක් ඔබේ ස්වප්නයන්ට පැමිණෙනු ඇතැයි මා සිතමි. අපි උගත් මහමැතිගෙන් විමසා ඒ නපුරෙන් මිදෙන මං සෙවීම යහපති හිමියනි

රජුට මද වශයෙන් දහඩිය දමන්නට විය. මෙය කිසිවෙකුටත් කිව නොහැක්කක් බව තම බිසව තේරුම් නොගැනීම ගැන රජු නොසන්සුන් වන්නේය. ඒ බව සිය බිසවට පවසන රජු කිසිදු හේතුවක් නිසාවත් මේ පිළිබඳ කෙළ නොහලන ලෙස බිසවට තරයේ කියා සිටින්නේය.
කෙසේ වෙතත් අගබිසව මේ අතරතුර රාජ සභා මණ්ඩපයේ විවිධ තනතුරු වලට තම හිතවතුන්, ඥාතීන් රිංගවීමට රජුගේ සහය ලබා ගන්නේය. උකටලීව, විපිලසර මනෝභාවයෙන් පෙළෙන රජු ඉක්මණින් බිසව තමන්ගේ ඇසුරින් ඈත්වීම මහත් අස්වැසිල්ලක් ලෙස සලකන්නේ ඇයගේ ඉල්ලීම් නොපැකිල ඉටු කරන්නේය. කෙසේ වෙතත් රාජ සභා මණ්ඩපයේ තනතුරු වලට නුසුදුසු අවලම්, තකතීරු, කපටි, සොරකමට ලැද්දන් පත්වීම හේතුවෙන් අහිත කර තත්වයන් පැන නගින්නේය.

මේ තත්වයන් වැඩි වෙන තරමටම රජු දිනපතා දකින එකම ස්වප්නය තව තවත් තීව්‍ර අයුරින් දකින්නට වන්නේය. එම සිහිනයෙන් අනතුරුව දහඩිය පෙරාගෙන, ලැජ්ජාවෙන් රතුවූ වතින් ඇහැරෙන රජුගේ මනස විකෘති මනෝභාවයන් විසින් පෙළන්නේය.
තව දුරටත් මේ තත්වය දරා ගත නොහෙන බැවින් රජු දිනෙක මහමැති තම රහස් අංගනයට කැඳවා සියල්ල නොවළහා පවසමින් විසඳුම් විමසන්නේය.

දේවයන් වහන්ස, මෙයට විසඳුම් ඇතැයි මා නොසිතමි, මෙය යම් කිසි නපුරක් හෝ කර්මභාවයක් විය හැක. ඔබට කියන්න දේවයන්  වහන්ස දැන් මාස ගණනක සිට මාද නිදිවර්ජිතව රැය පහන් කරනුයේ මාද නිරුවතින් ජනීජනයා අතර සැරිසරනු ස්වප්නයක දකිනා බැවිනි. ඒ හේතුවෙන් මාද උකටලී වී සිටිමි. විෂම මනෝභාවයන් විසින් මා පෙළන්නේය. මා සමීප ඇමැතිවරුන් කිහිප දෙනෙක්ද තමන්ද එවැනිම ස්වප්නයක් දිනපතා දකින බව පීඩිත මනසින් මා වෙත පවසා ඇත. ඔවුන්ගේ විෂම මනෝභාවයන් දූෂිත දේවල් කරාම ඔවුන් මෙහෙයවන්නේය.

අනතුරුව මහමැති සමග ඒකමතික කථිකාවක එකඟතාවය මත රාජ්‍ය විචාරණයේදී අර්ථයෙන් ධර්මයෙන් දෙසා වදාරණ ජනී ජනයා අතර සුවිසල් ප්‍රසිද්ධියක් උසුලන තමන් සමීප යතිවරයෙකු වෙතින් විසඳුම් සෙවීමට රජු තීරණය කරන්නේය. එහෙත් කලෙක සිට මෙම යතිවරයාණන් රාජ්‍ය සමීපත්වයෙන් ඈත්ව හුදෙකලාව වෙසෙන බව රජුටත් මහමැතිටත් සිහිපත් ‍වන්නේ තමන්ද එසේ පීඩිත මනෝභාවයෙන් සිටි නිසා යම් අඩුවක් පාඩුවක් තමන්ගෙන් සිදුවීදැයි කල්පනා කරන්නේය. කෙසේ වෙතත් අවසන එසේ වීනම් කමාව ලබා අනතුරුව තම ගැටඵවලට විසඳුම් ලබා ගනුමැයි මහමැති රජුට පවසන්නේය. විශේෂ පණිවුඩකරුවෙකු යවා මහ යතිවරයාණන්ද රහස් අංගනයට කැඳවන්නේ එලෙසිනි.

පැමිණි යතිවරයාණන් දකින රජුත් මහමැතිත් ‍කණගාටු වන්නේ එතුමන්ගේ පෙර තිබූ රූපකාය වැහැරී යමින් පවතින බවත්, සුදුමැලි ශරීර ස්වභාවයත් දැකීමෙනි. යම් අසනීපයකින් නොපෙළෙන බව විමසා දැන ගැනීමෙන් අනතුරුව සතුටු සාමීචියක නිරත වන රජුත් මහමැතිත් අවසන තම ගැටඵව යතිවරයාට පවසන්නේය.
මහත් නොසන්සුන් බවින් සවන් දෙන යතිවරයා අවසානයේ දිගු සුසුමක් හෙලන්නේය.

රජ තුමනි, මෙයට විසඳුම් නැතැයි මා සිතමි. ඔබ වහන්සේ, මහමැතිඳුන්, අමාත්‍යවරුන්සේම මාද විපරිත ස්වප්නයන්ගෙන් පීඩා විඳිමි. කාලයක් පුරා රජතුමනි ඔබද, මාද, මහමැති සහ රාජ සභා මණ්ඩපයේ සියල්ලෝමත් මියදීමෙන් අනතුරුව සදාකාලික නිරුවත් මිනිසුන් ලෙස ජනී ජනයා අතර ඉපිද සැරිසරනු මාද ස්වප්නයෙන් දකින්නෙමි. වටිනා ඇඳුමෙන් පැළඳුමෙන්, අබරණින් සැරසුණු ඔබ සියල්ලෝද නිරුවතින් සිටිනු  දැකීම කර්ම විපාකයක් විය හැකිය.

දේවයන් වහන්ස, අපි ස්වප්නයෙන් දකිනා ලෙසම මේ අගනා සඵපිළි හැඳ සිටිනා අතරම සැබවින්ම ජනයා අපිව සෙඵ කයෙන් දකින්නේදැයි මා සැක කරමි මහමැති පවසන්නට වීය.
මහ රජු විළියෙන් මෙන්ම වෛරයෙන් සහ විෂම මනෝභාවයන්ගෙන් යුතුව මහමැති එළවා දමන්නේ තමන් ගලවා ගනු කිසිවෙක් මිහිමත නොවෙතැයි කම්පා වන්නේය.
තම සෙඵව වසා ගැන්මට දහසක් අරුමෝසම් දේ ගොඩනගා ජනී ජනයාගේ පිබිදුණු දෑස් ඒවා වෙත යොමු කිරීම තාවකාලිකව හෝ සැනසීමට හේතු වන බව රජුට අවසන වැටහෙන්නේය.
ඉන්පසු නුවර වාසීහූ තම ඇස් පනාපිට ගොඩනැගෙන අසිරිය දකිමින් දිනෙන් දින ප්‍රීති ඝෝෂා නගන්නෝය.

(රජ මැතිවරුන්ගේ රහස දන්නා රාජ සභා මණ්ඩපයේ තනතුරු දරන්නෝ, විවිධ යතිවරුන්, උගත් බමුණන් සහ රහස දන්නා තවත් කිහිප පාර්ශ්වයක් ඒ රහස මුවාවෙන් විවිධ රැඟුම් පෙන්වා තමා වෙත කහවනු ගලාගෙන එන මං සලසා ගනිමින් රාජ්‍යයේ වඩාත්ම ප්‍රීතිමත් කොටස බවට පත් වන්නේ නිරුවත් සිහිනය තමන් වෙත තවම නොඑළැඹී ඇති බැවිනි)


Wednesday 20 July 2011

ගැහැණුන් තේරුම් ගැනීම

                         මේ ලොකු උන්නැහේ කියවන පොත නම් කරල තියෙන්නෙ,
                                      "How to Understand Women"  කියලලු.
                                                      අනේ මන්දා....



(හොරා ගත්තෙ විද්‍යුත් තැපෑලකිනි)

Sunday 17 July 2011

කෝ මේ පොලීසිය.?




ගැහැණු මුවටම සමකල
දුරාතීතේ පටන්
ස්ත්‍රී ලිංගික සඳ
අන්න අහසේ ආයෙත්
වළාකුඵ සමග
අනාචාරයේ හැසිරෙත..

කෝ කොහෙද
වීරෝධාර පොලීසිය.?

Tuesday 12 July 2011

ගල් වඩුවන් ඕනෑකර තිබේ..




රිදවා නොයෙක අයුරින්
කපා ගල් කටුවෙන 
ගොරහැඞි පෙනුම වෙන්කර
සැඟවුණු සොඳුරු සෙල් රූ
මතුකරනු හැකි 
අසුන්දර කඵ ගල්වල

ඕනෑකර තිබේ
සොඳුරු ගල් වඩුවන්
කවදාටත් වඩා අද..

Saturday 9 July 2011

බල්ලන් ආශිර්වාද ලද්දෝය..




අලුතෙන් කානුකපා, වැලි දමා මාස තුන හතරකට වඩා නැතැත් පසු ගිය සමයේ ඇද හැලුණු මුරුගසං වැහි වලට පස් සහ වැලි සේදී ගොස් වලවල් හැදී ඇති ගම්සභා පාර දිගේ ගනේෂ් උඩින් උඩින් අඩි තබමින් දුවමින් මෙන් ඇවිද එනු භාගෙට බඳින ලද බිත්තියේ ඉඳගෙන පාර දෙස බලමින් සිටි මට පෙනේ.

මොකද බං කොරවක්ක වගේ ඇවිදින්නෙ මම පාරට එබෙමින් අසමි.
බලන්න අයිය බල්ලො රීල හැමතැනම අඩිය ගහන්න බෑ.
මගේ මුවට නැගෙන සිනහව වලක්වා ගැනීමට මම අපොහොසත් වෙමි. ම‍ගේ සිනහවෙන් අපහසුතාවයටත් ලැජ්ජාවටත් පත්වන ගනේෂ් අමනාපයෙන් වගේ මා දෙස බලයි.

අපේ ගම් සභා පාර ඇත්ත වශයෙන්ම අපේ නිවෙස් කරා යන පාර ව‍ගේම නන්නත්තාරෙ යන බල්ලන්ගේ වැසිකිළියද වේ. කෙසේ වෙතත් අපේ ගම්මානය මේ වන විට මිනිස්සුන්ට වඩා බල්ලන්ගෙන් ගහණ වීම මහත් ගැටඵ සහගත තත්වයක් ඇති කර ඇත. විවෘත මහපාරක පැහැරීම බල්ලන්ට මහත් සුවයක් ගෙන දෙනු ඇතැයි මා සිතමි. පැහැරීම විතරක්ද?......

ඇයි අයිය හිනා වෙන්නෙ මෙහෙම ගියොත් නම් මුඵ ගමම ගූ ගොඩක් වෙයි රමේෂ් මා දෙස බලමින් කියමින්ම නැවතත් තමන්ගේ කොරවක් ගමන අරඹයි.

ආයෙ මොනා වෙන්නද බං මේක ගූ ‍ගොඩක් වෙලා ඉවරයි දිව යන ඔහුට කෑ ගසා පැවසිය නොහැකි බැවින් මම මටම පවසා ගනිමි.

අපේ ගමේ මිනිස්සුන්ට දැන් බලු ගූ කියන එක සාමාන්‍ය තත්වයක් බවට පත්වී ඇත. ඒවායෙ දුර්ගන්ධය නොදැනෙන සේ ආඝ්‍රාණ ඉන්ද්‍රියයන් පරිණාමය වී ඇති බව පැහැදිලිය. ඒවායේ අපුල බව නොපෙනෙන ලෙස දෘෂ්ඨි ඉන්ද්‍රියයන් පරිණාමය වී ඇති බවද පැහැදිලිය. එසේම රෑ පුරා නන්නත්තාරව ගම පුරා කෑ කෝ ගසන, මරා ගන්නා, උඩු බුරලන බල්ලන්ගේ ඝෝරනාඩුව නෑසෙන ලෙස ශ්‍රවණ ඉන්ද්‍රියන් පරිණාමය වී ඇත. විටෙක උමතු වන බල්ලන් සපා කා කෙනෙකු දුක් විඳියි. අපේ ගමේ එක් මරණයක්ද එසේ සිදුවී ඇති අතර, අහල පහල ගම්වලද එවැනි මරණ කිහිපයක්ම සිදුවූ බව ආරංචි වී ඇත. ඒත් ඒ දූෂමාන ආරංචිද යන්න හරියටම කිව නොහැක්කේ කිසිවෙක් මේ බල්ලන්ගේ කෙරුවාව ගැන කතා කිරීමට අකැමැති වීම නිසාය.

ගම් වැසියන් එසේ බල්ලන්ගේ කෙරුවාව ගැන හාංකවිසියක් නැති විලස ඉන්න පුරුදු වී ඇත්තේ අදෘෂ්‍යමාන බලවේගයක් විසින් බල්ලන් ආරක්ෂා කරන බවට දැනට බොහෝ කලෙක පටන් ඇති කරගෙන තිබෙන විශ්වාසයක් නිසාය. ඒ අදෘෂ්‍යමාන බලවේගය විසින් සැහැසි ලෙස හැසිරෙන වල් බල්ලන්ට ගල් ගැසීමට සහ බැඳ දැමීමට උත්සාහ කල කිහිප දෙනෙක්ම ලෙඩ කරවූ බවත්, බලබිඳ අබ්බගාතයින් කල බවත් ගම්මුන්ගේ විශ්වාසයයි. එහෙත් කරුණු සලකා බැලීමේදී හේතු විරහිතව එසේ සුව කල නොහැකි ලෙස ගිලන්වූ සහ අබ්බගාත වූ කිහිප දෙනෙක්ම ගමේ සිටියද මොන හේතුවක් නිසා හෝ ඔවුන් ගොඵවන් බවට පත්වී ඇති හෙයින් සත්‍ය කරුණු දැන ගැනීමට කිසිවෙකුටත් නොහැකි වී ඇත. ඔවුන් සැබවින්ම ගොඵ වී ඇත්ද නැත්නම් යම් බියකින් කතා නොකරන්නේද යන්නද අපැහැදිලිය. එනිසා අනෙක් ගම්වැසියෝ බල්ලන්ගේ බලුකම් ළඟ අන්ධ වූවන්‍ සේ නොදක්නා දෑසින් සිටීමට හුරුපුරුදු වී ඇත.

කෙසේ වුවත් මේ අදෘෂ්‍යමාන බලු ආරක්ෂක දෙවියාගේ බලයට මහත් සේ අභිරුචියක් දැක්වූ ගම්වැසියන්ද නොසිටියා නොවේ. ඒ බල්ලන්ට සහ බලු දෙවියාගේ ක්‍රියාවන් නොදුටු සේ සිටින මිනිසුන්ගේ අඩුවැඩියන් මංපහරන්නත්, ඒවායින් බල්ලන්ට කන්න දී උන්ව මිතුරු කර ගනිමින් තමන්ගේ සොරකමේ ජීවිතය රිසිසේ ගත කරන්නට කැමැති වූ පිරිසක්ය.

කෙසේ වුවත් මෝඩ ගම්වැසියන්ගේ මිත්‍යා විශ්වාස වලට වඩා බල්ලන්ගේ සැහැසිකම් වලට එරෙහි වී බල්ලන්ට පොලු පහර දුන් කිහිප දෙනෙක්ම ගමෙන් අන්තර්දාන වී ඇති බව හොරෙන් කතා වෙන ගැමියන්ම නොදන්නා අදෘෂ්‍යමාන දේව බලයේ ආනිශංස ගැනද කියයි. කෙසේ වුවත් එසේ බල්ලන්ගේ පැවැත්මට එරෙහි වූවන් තව දුරටත් නැතිවීම නිසා බල්ලන්ට ගම්මානය ක්ෂේම භූමියක් බවට පත්වී ඇත. ඔවුන් රිසි සේ ගම පුරා ඇවිදිමින්, ගෙවලට පැන ඇති සේ සොරාකමින්, මහ මග පහරමින් සහ අවල කෙළියේ යෙදෙමින් පුෂ්ඨිමත් සිරුරුවලින් යුතුව ජීවත් වෙ‍න්නේය. එසේම අධිපෝෂණයෙන් වියරු වැටෙන ඔවුන් ගම්වැසියන් සපා කන අවස්ථා දුර්ලභ නොවේ. ඒත් බල්ලන් රකින අදෘෂ්‍යමාන දෙවියාගේ එම දේව කැමැත්තට සතුටින් ඉඩ දී සිටීමට ගම්වාසීහූ පුරුදු වී ඇත.

එතරම්ම බල්ලන් කළඑළි නොබැසි සමයේ ගමෙන් අන්තර්දාන වී සිටි ගනේෂ් ගමට පැමිණ තියෙන්නේ මේ මෑතකය. එකල ගමේ සිටි බල්ලන් නපුරු බලවේගයක් නිසා උකටලීව, බියෙන් නැට්ට කකුල් අස්සේ සඟවාගෙන වඳවී යන තත්වයට වැටී සිටියහ. කෙසේ හෝ ගම්වැසියන් යාග හෝම පවත්වා මේ නපුරු බලවේගය පන්නා හරින්න සමත් විය. ගම්වැසියන්ගෙන් වෙනස් වැසියෙකු වූ ගනේෂ් එකල ගමෙන් අතුරුදහන් වී සිටියේය. ඒත් නැවත පැමිණි ගනේෂ්ට බල්ලන්ගේ කූට ප්‍රාප්තිය ප්‍රශ්ණයක් වී ඇත්තේ මෙතරම් බලුකෙළි වලට නිදහස් ගම්මානයක් ඔහු කිසිදා දැක හෝ අපේක්ෂා කර නැති බැවිනි. කෙසේ වුවත් බල්ලන්ට රිසි‍සේ ජීවත් වීමට ඉඩදී තමන්ගේ වැඩක් බලාගෙන ගම්වැසියන් සිටියත් ගනේෂ් බල්ලන්ගේ හැසිරීමෙන් බියපත් වී ඇති බව පෙනී යයි.


හවස් අතේ නැවතත් අඳුර වැටෙමින් තිබියදී තමාගේ දවසේ කුළිය ලබාගෙන සිලි සිලි බෑග් එකකට ගෙදරට අවශ්‍ය කළමනාද රැගෙන ගනේෂ් පාර ඈතින් මතුවනු මම දකින්නෙමි.
ඊට අමතරව ඔහු අතේ කෝටුවක්ද තිබෙනු මා දකිමි.


මොකද ගනේෂ් ඔය කෝට්ටක් අරගෙන මම විමසමි.


බල්ලො අයිය, මුංට දැන් පිස්සුත් හැදීගෙන එනව වගේ. ඇඟට පනින්න ඉඩ තියෙනව


යකෝ බල්ලන්ට ගහන්නනම් හිතන්න එපා උඹ ඉවරෙටම ඉවරයි පුතෝ මම කියමි.
ඉතින් අයිය උන්ට බයේ හිටියොත් මේ ගමේ බල්ලො රජ වෙයිනෙ


වටපිට බලා කිසිවෙකු නැති බව දැන මම ගනේෂ්ට අනුකම්පාවෙන් රහසෙන් මෙන් කියමි,


මේ ගමේ බල්ලො රජවෙලා ඉවරයි බං.



Wednesday 6 July 2011

අපි නොදන්න ක්‍රිකට්



උඹ තවම පොඩි එකා වෙච්චි
කාගෙවත් ඉගැන්නුම් බහට
ලෝකයා ඉදිරියේ
කටමැත දොඩන්න
අයිතියක් උඹට නැත

ක්‍රිකට් බලධාරියෝද
දේශපාලක උතුමෝද
දෙවර්ගයක් බව
උඹ පිළිගත යුතුව ඇත

කුරා කුහුඹුවෙකුට
වරදක් නැති
මලෙන් උපන් කුමාරවරු
රට හොබවන කල
උඹට ඉරිසියයි නේද

උඹ දන්න ක්‍රිකට්
ද්‍රෝහියා..


Saturday 2 July 2011

කම්මැලිකමට නොවේ..



නොකා නොබී දවස පුරා
කුසගින්නක් නැති විලසට
වැඩක් නොකර නිකන් වැටී
මං ආශයි නිදාගන්න

ලෝකය යන අත යද්දෙන්
කිසිවක් නොපෙනෙන විලසට
දෑස වසා දවස පුරා
මං ආශයි නිදාගන්න

අව්ව වැස්ස ඕනි එකක්
සුළං හමාගෙන යද්දෙන්
කිසිදු දෙයක් නොදුටු විලස
මං ආශයි නිදාගන්න

විදුලි කොටා හෙණ පුපුරා
ලෝකය උඩු යටිකුරු වී
මොන මොන දේ සිද්ධ වුණත්
මං ආශයි නිදාගන්ග..

දවස් ගණන් මාස ගණන්
අවදි නොවී එක දිගටම
මුඵ ලොව අමතක කරමින්
මං ආශයි නිදාගන්න..