Tuesday 29 March 2011

කුකුළෙක් ගැන කතාවක්...



මාලතී ඇන්ටි කියන්නෙ අපි කාලයක් බෝඩිම් වෙලා හිටිය ගෙදරක සාඩම්බර හිමිකාරියයි. මේක බෝඩිමක් කිව්වට වෙනමම තියෙන පුංචි ගෙදරක්. ඊට යාබදව තමයි මාලතී ඇන්ටි සහ ඇගේ පුතා පදිංචිව හිටිය නිවස තිබුණෙ.
මෙතැන අපි කිව්වෙ මාත් එක්ක තව යාඵවෝ තුන් දෙනෙක්. අපි එකම රැකියාවක ඒ දවස්වල වල නිරත වෙලා හිටියෙ. මේ තුන් දෙනා තුෂාර, සේනක සහ සුජිත්ය. කොහොම වුණත් මාලතී ඇන්ටිට ඒ කාලෙම වයස අවුරුදු හැත්තෑවක් විතර කියන්න පුඵවන් පෙනුමක් තිබුණා. සේනක නම් කිව්වෙ

උන්දැගෙ නම මාලතී වෙන්න විදියක් නෑ. ඒ කාලෙ මාලතී කියන නම ලෝකෙවත් තිබුණෙ නෑ. ෂුවර් එකටම සොපිනෝනා වගේ නමක් තමයි ඇන්ටිගෙ ඇත්ත නම වෙන්න ඕනි කියල

ඒක කොහොම වෙතත් මාසෙ ඉවර වෙද්දි ගාණ කපන උන්දගෙ ජාතකේ කුළීකාරයෝ වෙච්ච අපිට වැඩක් නැති නිසා අපි හොයන්න ගියෙත් නෑ. කොහොම වුණත් මාලතී ඇන්ටි හොඳ මනුස්සයා. නහින දෙහින කාලෙ නිසා ආගම දහමටත් බොහොම ලැදියි. හතර පෝයට නැතත් පාළොස්වක පෝයටනම් නොවරදවාම සිල් සමාදම් වුණා.

මාලතී ඇන්ටිගෙ පුත්‍ර රත්නය පෙදරේරු වෘත්තියේ යෙදුණෙ. ඒ කිව්වෙ මේසන් බාස් කෙනෙක්. ඉතින් බො‍හෝ වෙලාවට ඈත පළාත් වල කොන්ත්‍රාත්තු ලැබුණම දිනපතා ගෙදර එන්නෙ නෑ. වාඩියක් අටවගෙන ඒ තැන්වලම තාවකාලිකව පදිංචි වෙලා වැඩ කරන එක මේ වෘත්තියේ යෙදෙන්නන්ගෙ සාමාන්‍ය පුරුද්දක්. ඒක නිසාමද කොහෙද මාලතී ඇන්ටි තනියට වගේ ගෙදර බල්ලෙක් සහ කුකුළන් කිහිප ‍දෙනෙක් ඇති කලා. කුකුලො කිව්වට බිත්තර දාන කිකිළියො තුන් දෙනෙක් සහ කුකුලො දෙන්නෙක්. එක කුකුලෙක් නම් හද්ද නාකියි කියල පෙනුමෙන්ම තහවුරු වුණා.

අධිනාගරික නොවුණු කලාපයක් නිසා මේ හරිය ගොඩක් ග්‍රාමීය ලක්ෂණ තමයි පෙන්නුම් කලේ. ඒක නිසා නානාප්‍රකාර සත්තුත් මේ හරියෙ හිටිය. දෙපා සිව්පා කියන වර්ග දෙකෙන්ම. ඒ අතරින්ම මාලතී ඇන්ටිගෙ හිත රිදවූයේ නම් හෝතඹුවන් පමණයි. මොකද හෝතඹුවන්ට කුකුළන් ගැන නොනිවෙන ආදරයක් තියෙන බව තමයි උන්දෑ අපිට කියල තිබුණෙ.

දැඩි රැකවල් යොදල තිබුණොත් දවසක් මාලතී ඇන්ටිගෙ නාකි කුකුළ හෝතඹු ප්‍රහාරයකට ගොදුරු වුණා. මේ නාකියා කොහොම හරි රෑ කාලෙ කූඩුවෙන් එළියට පැනගෙන. නාකි වුණත් කුකුළ නිසා වෙන්නත් පුඵවන්. ඒත් හෝතඹුවන්ට තමන්ගේ ප්‍රහාරය සාර්ථක කරගන්න අවස්ථාව‍ නොලැබුණේ කුකුළගේ මර හඞ තැලිල්ලත් ඒ එක්කම එළියට පැන දෙස් දෙවොල් තියන මාලතී ඇන්ටිගෙ ඝෝරනාඩුවත්, ඇන්ටිගෙන් ලකුණු ලබා ගැනීමට දොර මුල්ලෙ තිබුණ විකට් පොලු වලින් දෙකක් අරන් එළියට පැන්න සේනකගේත්, තුෂාරගේත් මැදිහත් වීම නිසයි. මුං දෙන්නට හෝතඹුවන්ට ප්‍රහාරයක් එල්ල කල නොහැකි වුණත් භාගෙට මැරුණු නාකි කුකුළවනම් බේර ගන්න පුඵවන් වුණා. හැබැයි සැකයකට තිබ්බෙ නාකියා භාගෙට මැරුණෙ හෝතඹු ප්‍රහාරයෙන්ද නැත්නම් මුංගෙ විකට් පොලු ප්‍රහාරයෙන්ද කියන එකයි. කොහොම වුණත් ඇන්ටි වගේම මුං දෙන්නත් වගකීම නොපැකිළව හෝතඹුවන්ගෙ ගිණුමට බැර කරල තිබුණ.
කොහොම වුණත් පණ අදින කුකුළට සාත්තු සප්පායම් කරන අමතර රාජකාරිය ඇන්ටිගෙ පිට පැටවුණා. කොහොමත් ඌ උදේ වෙද්දි ජීවත් වෙන ලක්ෂණ පෙන්නුම් කලේ නෑ. ඒක නිසා සුජිත්නම් කිව්වෙ

හෙට හවස වැඩ ඇරිල එද්දි ගල් බෝතලයක් ගේමු බයිට් එක සහනදායි මිළට ලැබෙන ලක්ෂණ පේන්න තියෙනව කියල.

කොහොම වුණත් මැරෙන්නත් කළින් මුං කටගැස්මත් හදන්න තීරණය කරල තමයි එදා රාත්‍රියෙ නින්දට ගියේ.
පහු වෙනිද උදේ සුජිත්ව අමන්දානන්දයට පත් කරමින් සුභ පණිවුඩය ගෙනාවේ උදේම වැසිකිළි යන්න එළියට ගිය සේනකයි. කොහොම වුණත් නාකියාව වල දාන්නෙ නැතිව අවසන් කටයුතු භාර ගන්න ඇන්ටි සමග එකගතාවයකට එළඹෙන රාජකාරිය සුජිත් සිය කැමැත්තෙන්ම භාර ගත්ත. කොහොම වුණත් ඉතා සුඵ මොහොතකින් නාකි කුකුළාව නොමිළේම අරගන්න සුජිත්ට හැකියාව ලැබිල තිබුණ. ඉන් පස්සෙ පෙර ආත්මෙක හෝ මස් වැද්දෙක් වෙලා හිටි ලක්ෂණ හැම අතින්ම පෙන්නුම් කල සේනක තමන්ගෙ හසල වෘත්තීය හැකියාව යොදාගෙන සියඵ කටයුතු කරල තාවකාලිකව ඇන්ටිගෙ ශීතකරණය තුළම නාකි කුකුළව තැන්පත් කරල වැඩට ගියා.

හවස් වෙද්දි එකිනෙකාගෙ අතේ තිබුණු සල්ලි එකතු කරල අවශ්‍ය යටිතල පහසුකම් සපයගෙන වෙනදටත් කළින් බෝඩිම් නිවසට අපිට යන්න හැකියාව ලැබුණ. ඉන් අනතුරුව මුං තුන්දෙනා ඉතා කෙටි කාලයක් තුළ සියල්ල ලෑස්ති කලා. කොහොම වුණත් මම නිර්මාංශිකයෙක් බැවින් වේල පහින්ම කරටි කඩා ගැනීම පුරුද්දක් කරගෙන හිටිය. ඉතින් පසු කතාව මට සියැසින් දැක ගත නොහැකි වුණු අතර මේ යාඵවන්ගේ ශ්‍රීමුඛ වලින් ඇසීමට පමණක් හැකි වුණා. එහෙත් නිතරම බොරු, බේගල්, මඩ වලින් පිරුණු මොවුන්ගේ කතා විශ්වාස කිරීමට මම කවදත් මැළි වුණා. මොකද බුදුන්ටත් කතා හදපු මිනිස්සු හිටි ලෝකෙ මාලතී ඇන්ටි වගේ පෘථග්ජන ගැහැණියක් ගැන කවර කතාද?
කොහොම වුණත් සේනකයා කිව්වේ මෙහෙමයි.

මචං අපි කුකුළගෙන් භාගයක් බයිට් හදල ඉතිරි භාගෙ ඉව්ව ඊයෙ රෑ. කොහෙද උඹ වේල පහින්ම හරහා වැටිල නිදිය ගත්තනෙ
 “ඉතින් දැන් මොකද ප්‍රශ්ණෙ
නෑ කාපු බීපු වෙලාවක හරි කළගුණ සලකන්න ඕනි නිසා අපි ඊයෙ රෑ මාලති ඇන්ටිටත් අරවගෙන් කොටසක් දෙන්න ඇහුව
නොදකින් තොපිනම් ඉතින් මොකද අද බෝඩිමෙන් යන්න කියල ඇන්ටි කිව්ව නේද
අනේ නෑ බං එහෙම දෙයක් නෑ
එහෙනම් මොකක්ද ඇන්ටි කිව්වෙ
ඇන්ටි කිව්වෙ මෙහෙමයි. පුතේ දරුවෙක් වගේ හදපු සතාගෙ මස් කන්න පුඵවන්ද? ඔන්න ඔහෙ හොදි ටිකක්වත් දීපල්ලකො එහෙනම් කියල.


Tuesday 22 March 2011

ආදරය පිස්සුවක් ලෙස..



මගේ රොමෑන්ටික් ආදරය
කිසි ලෙඩක් නැති
ඔයාගෙ හදවත
සුවපත් කරන්න සිතන කොට..

ඔයාගෙ විකිරණශීලී ආදරය
කිසි ලෙඩක් නැති
ගොඩක් හදවත්
ලෙඩ කරල හොඳටම..



Friday 18 March 2011

මැතිවරණයෙන් පසු





                                   පාප්ප මත තාප්ප වල
                                   පිපුණු හිනා සිරියාවට
                                   මිලින වෙලා මේ ඩිංගට
                                   හොයන්න බැරි තව කලකට..

                                   වාෂ්ප වන්නට මේ ලෙස
                                   උෂ්ණත්වය සැපයූ විට
                                   වාෂ්ප වන එක නියතයි
                                   ඉවසන් තව සිව් වසකට
                                   තව දර වැඩියෙන් රැස්කර..

Wednesday 16 March 2011

ගිහින් ඡන්දය දාන්න..



උදේම ගිහින්
ඔබේ ඡන්දය දමන්න
ඡන්දය යනු
ජනතා පරමාධිපත්‍යයයි
එනම්
ඔබේ අලුගෝසුවන්
ඔබම තෝරා ගැනීමේ
ශුද්ධ වූ අයිතියයි..

Sunday 13 March 2011

ඔරලෝසුව..


(කිසිවෙක් විසින් සකසන ලද ඊමේලයකි)

Tuesday 8 March 2011

වෛරයේ ඇති ආදරය



මිතුරන්ට වඩා
සතුරන්ට මා කැමැත්තේ
හුස්මක් පාසාම
මා ගැන මතකය
පපුතුරෙහි සඟවා රකින්නේ
මිතුරන් ‍නොව
සතුරන් බැවිනි..

Friday 4 March 2011

මොට්ට කතා....


ඉන්දියාවෙ ධීවරයො ලංකාවෙ මාඵ වලට මේ තරම් කෙළ හලන්නෙ ඇයිද කියන එක පසුගිය දිනවල තේරුම් බේරුම් කර ගත නොහැකිව අපට ළතැවෙන්නට සිදුවිය. එක එක කතා ජනමාධ්‍යවල කියවුණා. ඉන්දීය මැතිවරණයක් ගැනත් කියවුණා. එතකොට මෙහෙ? මෙහෙත් මැතිවරණයක්නෙ.(මෙහෙ මැතිවරණයක් නැත්තෙ කවදද කියා කිසිවෙක් ප්‍රශ්ණ නොකරනු ඇතැයි සිතමි). කෙසේ වෙතත් මේ පිළිබඳව කාර්යාලයේ ඇතිවුණ සංවාදයකදී ප්‍රියන්තයා කියා සිටියේ තමාගේ මිතුරෙක් වන තමිල්නාඩු ධීවරයෙක් මෙසේ පැවසූ බවයි.
ඉන්දියාවෙ මාඵවෝ වගේ නෙවෙයි ලංකාවේ මාඵවෝ පහසුවෙන් ඇම ගිලින බවත්, එලන දැලට රොතු පිටින් අහුවෙන බවත්ය. 
කෙසේ වෙතත් මේ මොට්ට කතා දොඩා අප නොමග යවන්න හැදූ   අවලමාට මා ඉතාම ප්‍රිය කරන කුණුහරුප කිහිපයකින් නොමසුරුව සංග්‍රහ කලෙමි.

ඊයේ හවස වැස්සකට හසුවී කරුමෙකට වගේ ගුණේරිස් මාමාගේ ගෙදරට ගොඩ වුණෙමි. විල්බට් සීයා රූපවාහිනියේ ඇස් අලවාගෙන සිටින්නේ තිරයට එක අඩියක් පිටුපසින් බෙල්ල දික්කරගෙනය. මොකද බොලේ පෙන්ටගනයට බෝම්බ දාලවත්ද කියල මමත් කිට්ටු කර බැලුවිට නාකි ලොක්ක අත්පුඩි තලමින් හුරේ දාන්නේ ක්‍රිකට් තරඟයටය. මම එනව දැක්ක ගමන් මිනිහ ඇහුවේ
පුතේ මෙදා පාර ඕල් කප් එක අපි දිනයිද? කියලාය. 
කේරළයෙන් ගෙනාපු පොල් ගෙඩියක මුඩ්ඩ ගලවන ගමන් මා පිළිගන්නට පැමිණි ගුණවතී නැන්දාට මේ කතාවෙන් නහුතෙට යකා නැග පැවසූවේ
යකෝ අපි කල්පනා කරන්නෙ කන්නෙ කොහොමද කියල මේ ගොල්ලන්ට වලපයයි ගොඩපයයි ඉඳගෙනත් හරක් වගේ මැච් එක දිහා කට ඇරගෙන බලන් හිටියම බඩ පිරෙනවද මන්දා කියාය.
ක්‍රිකට් ආතල් එකට බකට් එක දැමූ ලේලියට ලොඹු කට හැර විල්බට් සීයා පැවසූවේ 
 ඇයි උඹට ඉරිසියයිද අපි ‍ලෝකෙ තැනකට එනවට... අම්මප ඒක ඉවසන්න බැරි අපේ එවුන්ටමයි කියාය. 
විල්බට් සීයා පරම්පරාවෙන් වාමාංශිකයෙකි. ඔහුගේ වාමාංශික සිහිනය සැබෑ වුණේ ජීවිතේ අවසාන සමයේ බවත් දැන් ඉතින් තමන්ට සතුටින් මැරෙන්න ඇහැකි බවත් මට පැවසූවේ ගිය අවුරුද්දේය. තාත්තාගේ අඩිපාරේ යන ගුණේරිස් මාමා මෙදා පාරත් හිටපු ප්‍රාදේශීය සභාවේ සභාපති නැවත පත්කිරීමට රෑට රෑට බැනර් ගැට ගසන්න පොල් ගස් බඩ ගාන්නේය. ගුණේරිස් මාමා මේ කතාවට අලගු තැබූවේ
මේ දවස්වල වැස්සෙන් වගා පාඵ වෙලා එළවඵ ටිකක් මිළ වැඩි වුණාට අවුරුදු මාසෙ වෙද්දි මිළ බහිනව කෑ නොගහ හිටින්. විපක්ෂයේ අලුගුත්තේරුවන්ටම හරියන ගෑණු උඹලත් කියාය.
අනේ ඔහෙල කියන දේවල් වුණානම්... මොකටද මගෙ කට...ඇයි යකෝ මස් මාඵ වලට වඩා එළවඵ ගණන් ගියාම එළවඵ විතරක් කන එවුන් කන්නෙ මොන කෙංගෙඩියක්ද කියා විමසුවාය. 
ඒ අතරට පැන්නේ ඉස්කෝලෙන් කැළෑ පැනල අතන මෙතන රස්තියාදුවට පුරුදු වූ ගුණේරිස් මාමාගේ පොඩි කොඵවාය. ඌ විමසන්නේ මගෙන්ය.
අයියේ නරකද මස් මාඵ දෙකම එළවඵ විදියට ප්‍රකාශයට පත් කරල අතිවිශේෂ ගැසට් එකක් නිකුත් කරන්න කියල පාරිභෝගික ඇමැතිතුමාට යෝජනා කළොත්. පහුගිය කාලෙ හාල් කියන්නෙ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් කියලත් හොයාගෙන එහෙම කරපු එකේ මේ එළවඵ ප්‍රශ්ණෙත් එහෙම හරි ගොඩදැම්මම අපේ අම්මලාට කතා කරන්න දෙයක් නැති වෙනව කියාය. 
ගුණවතී නැන්දාගේ මරුමූස් බැල්ම මග හරින මේ අවලමාගේ මොට්ට කතාවට හිනාවිය යුත්තේ කොහෙන්ද කියා මා කල්පනා කරමින් ඉන්නා විට කොහෙදෝ ඉඳන් තෙමීගෙන කඩා පාත්වුණේ ගුණේරිස් මාමාගේ ලොකු පුතා වන සුනිමල්ය. විල්බට් සීයා පිතිකරුවෙකුගේ හයේ පහරකින් අමන්දානන්දයට පත්ව හුරේ දාද්දී මේකා ඇසුවේ
සීයේ ඔය ධනපති ක්‍රීඩාව දිහා කට ඇරන් බලා හිටියට ලැබෙන ඉටිගෙඩියක් තියෙනවද, ක්‍රිකට් කියන්නෙ අපේ රටවල් හූරගෙන කාපු පරසුද්දෝ කාලබීල නිකං ඉන්න බැරුවට සීතල යන්න හදාගත්ත කාළකණ්ණි ක්‍රීඩාවක්. සීයල තවම සුද්දන්ගෙ වහල්ලු කියන එකයි කට ඇරගෙන බලන් ඉන්න බැලිල්ලෙන් පේන්නෙ. ඒ අතරෙ පාලකයො පොඩි එකාගෙ බඩට කෙළිනව ඇස් වහල කියලාය. 
මේකාත් වාමාංශිකයෙකි. ඒත් මූ විපක්ෂ වාමාංශික පක්ෂයකය කියා මා තේරුම් ගෙන සිටියේ වචන සැට් එකෙන්ය.
ඕක සූදු ඔට්ටුකාරයන්ගෙ කෙළියක් විතරයි. අන්න අපේ එවුනුත් තරඟයක් බුකිකාරයන්ට පාවා දීල කියල සීයලාගෙ කට්ටියම ඊයෙ කියල තිබුණා" කියාය.
මේකාගේ මොට්ට කතා වලට කිව යුතු සුපුරුදු කුණුහරුප කිහිපයක් දිව අගට පැමිණියත් වැඩිහිටියන් ඉදිරිපිට අසංවරව හැසිරිය නොහැකි සදාචාරාත්මක ජාතික හැදියාව විසින් මාව වලකන ලදි.

ඒ අතර මල පොතේ අකුරවත් නූගත් අසමජ්ජාති පොඩි එකා ආයෙත් කියා සිටියෙ
සීය බලං ඉන්නව අපේ එවුන් වර්ල්ඩ් කප් එක දිනාගන්නකම් ඒකෙ මුඵ ස්කෝර් එකම ආණ්ඩුවට එක්කහු කරල දෙන්න. ලොකු අයිය බලං ඉන්නව අපේ එවුන් ඒක පරදිනකම් ආණ්ඩුවට ටිකක් රිදෙන්න. ක්‍රිකට් වර්ල්ඩ් කප් එක ක්‍රීඩාවක් නෙවෙයි දේශපාලකයන්ගෙත් උන්ගෙ රෙදි ‍හෝදන ඇම්බැට්ටයන්ගෙත් තවත් සූදුවක් විතරයි කියාය. 
මේ ගස් බල්ලා දන්න ඉටිගෙඩියක් නැතුවාට මැදට පැන කිව්ව මොට්ට කතාවට මට තවමත් හිනා යනවාය.

ගුණේරිස් මාමා අපේ අම්මාගේ බාල මල්ලී වුණත් කොළඹ සිට සති අන්තයේ ගමට එන මම වැස්සකට හැරැ මෙහාට ගොඩ නොවන්නට ඉටාගෙන සිටින්නේ මේ විකාර බලන්න බැරි නිසාය. හෙට අනිද්දා ඉන්තේරුවෙන්ම කුඩ්ඩෙක් නැත්නම් පාතාලයෙක් වෙන්නට නියමිත ‍ගුණේරිස් මාමාගේ පොඩි කොඵවා නැත්නම් මගේ ඥාති මලයා ගැන විටෙක මට කණගාටුවක්ද දැනේ. මුගේ නම බුද්ධිකය. ඒත් මූ මන්දබුද්ධික බව කට අරින වාරයක් පාසාම තහවුරු කරයි. මේකා ආයෙත් මගෙන් ඇහුවේ
අයියේ කොළඹ පැත්තෙ මිනිස්සුනම් වාසනාවන්තයි‍ නේද? ඒගොල්ලන්ට ඇති වෙන්න සල්ලි තියෙනවනෙ. මේ පැත්තත් කොළඹ වගේ වුණානම් අපේ අර වහල දාල තියෙන දෙනිලන්ද වත්තෙ වරිච්චි ගෙදරත් විසි තිස් දාහකට ‍කුළියට දීල මටත් සුද්ද වගේ ඉන්න තිබුණා කියාය. 
මුගේ හරුපෙ තේරුම් ගන්න බැරිව සුනිමල් අයියා
මොකක්ද යකෝ ඒ කුණුහබ්බෙ කියා විමසුවේය. 
එතකොට මූ කියා සිටියෙ
ඇයි අයියෙ කොළඹ පැත්තෙ පනස්දාහකට ගෙයක් කුළියට ගන්න නෑ කියල ඇමැතිගොල්ලො ආඩපාලි කියන්නෙ අර. ඒ කියන්නෙ ඒ පැත්තෙ මිනිස්සු කොයිතරම් පොහොසත් ඇත්ද පනස්දාහකටවත් ගෙයක් කුළියට නොදෙන්න තරම්
අනේ අම්මප මූනම් උපන් ගෙයි මී හරකෙකි. මුගේ මොට්ට කතාවට හොම්බට ඇනිය යුතු වුවද සාමකාමී බවට යුග ගණනක් පුරුදු වු අපි වැනි මිනිස්සු එසේ‍ නොකල යුතු බැවින් මා ඉවත බලා ගත්තෙමි.
 
මේ අතරම මේ අලුගුත්තේරුවා ආයෙත් මගෙන් ඇසූවේ
අයියේ කඵනික හොයනව වගේ කියන එකට හෙට අනිද්ද කියන්නෙ මොකක්ද කියල දන්නවද කියාය. ඔය කුණුහබ්බ මම නොදන්නා නිසා මා තුෂ්ණිම්භූතව බලා සිටිද්දි මූ කියා සිටියේ තව මාසෙකින් හමාරකින් ඒ පිරුළ වෙනස් කරනව අපේ සීයල තාත්තල එකතුවෙලා කැළණියේ තක්කාලි හොයනව වගේ කියල.

මුගේ කුණුහබ්බ මොට්ට කතාව මට තේරුම් ගියේ නැති අතර වැස්ස පායා නොතිබුණත් මම එළියට පැන ගත්තේ පිස්සන් කොටුවෙන් එළියට යන තරම් සහන සිතුවිල්ලෙනි. 


Tuesday 1 March 2011

අලුත් ඔඵ ගෙඩි..



                                       මේ ඔඵ ගෙඩි වල
                                       සියඵම පාටිෂන්
                                       මුඵමනින් ෆෝමැට් කර
                                       එකම එක
                                       මෙහෙයුම් පද්ධතියක්
                                       ඉන්ස්ටෝල් කල හැකිනම්
                                       ජාතිවාදය
                                       ආගම්වාදය
                                       දුරලන්න තිබුණා..