Friday 30 April 2010

ජීවත් වීම නම්..........



                                      තම තමන්ගේ සිරකුටි
                                      සරසයි විසිතුරුව...
                                      වැදී මහ තරඟයක
                                      සියල්ලෝ යුහුසුඵව.....?

Thursday 29 April 2010

දේශපාලනය




දේශයේ ජනී ජනයාට
අපි කියා සිටියෙමු නිබඳ
බුද්ධියෙන් අනූන බව ඔවුන්....

ඉන්පසු මේ අපායේ
නාම පුවරුව වෙනස් කළෙමු
"සුර‍ලොව" ලෙසින්.....

අලුත් පුවරුව ‍දෙස බලා
ඔල්වරසන් දෙන ඔවුනගේ
හදවත් පිරීගොස් ඇත
කෘතවේදී බවින්....

අපිද සිනාසෙන්නෙමු.......?


Tuesday 27 April 2010

දිළිඳු කලට කොයිද සෙනෙහෙ...



                                    නිම්නයේ හාත්පස
                                    ආදරේ සුව විඳින
                                    සුවඳ මල් ගොමු අතර 
                                    නොපිපුණෙමි මේ දියත...   

                                    සමනලුන් නොපැමිණෙන
                                    කටුක ගිරි සිඛරයක..
                                    ශුෂ්ක කටු පඳු අතර
                                    කර්කෂව සුපිපුණෙමි.....

                                    රොනින් තොර සුවඳ නැති
                                    සුමුදු ගති නොමැති පෙති..
                                    සිඹින්නට නොරිසි ලෙස
                                    සුළඟ මග හැර හමයි......

                                    ඉදින් මම මලක් නොව
                                    මලක මළ සිරුරක්මි..
                                    භීතියේ දෙනෙත් මිස
                                    ශෝකයේ දෙනෙත් මිස
                                    පිළිකුලේ දෙනෙත් මිස.....

                                    නුදුටු සෙ‍නෙහේ දෙනෙත්....

Monday 26 April 2010

පිස්සන් කොටුව



                              එකිනෙකාගෙන් වෙනස්වන
                              පුංචිම ප්‍රතිශත වලින්
                              රෝගී කෝටි ගණනක්
                              රඳවා තිබේ...?
                              සයුරු සතකින් වෙන්කර
                              මහද්වීපික සයක 
                              ගෝලීය කුටියක් තුළ.....

Saturday 24 April 2010

රැක ගත නොහැකි වූ විකට්ටුව



ඇය එවූ දඟ පන්දුවෙන්..
විකට්ටුව බිඳ වැටිණ..
මා දැවී ගියේය.
කිසිදු ලකුණක් නොලබාම.

Friday 23 April 2010

බහුරූපිකයා




                              පුංචි කාලෙ නොදරුවෙක්ට
                              අම්ම කිව්ව මෙහෙම වෙන්න
                              පියා කිව්වෙ මෙහෙම වෙන්න
                              අයිය අක්ක නෑසියන්ද..
                              මිතුරන් හා ගුරුවරුන්ද 
                              මෙහෙම මෙ‍හෙම වෙන්න කිව්ව..

                              කවදාවත් බැරිවුණේය
                              මට 'මම' වන්නට එබැවින්
                              අනුන්ගෙන්ම පිරවුණ මා
                              බහුරූපිකයෙක් වුණේය...

                              සොයාගන්න බෑ මට අද
                              මගෙ හැඩරුව කොයි වගේද..?
                              ජීවත් වෙන්නේ මම වෙද?
                              මියයන්නෙත් මමම වේද...?

Thursday 22 April 2010

මිනිසත්කම




                   
            තිරිසන්කම වැඩිකර
            ප්‍රකෝටියකින්..
            ලබාගත්තෙමි සැණින්
            නිවැරැදිම පිළිතුර..?

Wednesday 21 April 2010

මල් පාඩම




                                         ගසේ තිබුණද පරවෙන  
                                         නෙලා ගත්තද පරවෙන.. 
                                         සුන්දරව පිපෙනුයේ කිම..? 
                                         ලොවේ මල් ඇත්තට..

                                         වේදනාවේ නටු අග....

Tuesday 20 April 2010

ඇය, මම සහ ජීවිතය


                                                                                   
        ජීවිතේ සිහින කඳු
        සමතලා කල බිමට
        බුල්ඩෝසරයකි ඇය...

        වෛර කර කිම සිතින..
        රඵ යකඩ ගොඩකට..?

Saturday 17 April 2010

පරමාර්ථමය මනස ප්‍රභාස්වර ආලෝකයකි

මහ මුද්‍රා ගීතය

මහ මුද්‍රා ගීතය කියවා හෝ ඒ පිළිබඳ අසා නැති සහෘදයින් වෙනුවෙන්මේ සටහන ලියන්නට සිතුණි. මේ පිළිබඳ ‍මගේ දැනුම අල්ප බැවින් නිවැරැදි කිරීමක් වේනම් කරන මෙන් දැනුවත් සහෘදයින්ගෙන් ඉල්ලමි.


10 වන සියවසේ භාරතයේ විසූ තිලෝපා හෙවත් ත්‍රෛයිලෝකපාද (ක්‍රි.ව.988-1069) විසින් තම ශිෂ්‍ය නරෝපාට මහ මුද්‍රා ගීතය දේශනා කල බව පැවසේ. මෙහි ඇතුළත් වන්නේ දෝහා කාව්‍යයි. දෝහා කාව්‍ය යනු උපදේශාත්මක කාව්‍ය සම්ප්‍රදායයි. බෙංගාලයේ උපත ලැබුවා සේ සැලකෙන තිලෝපා බෞද්ධ භික්ෂුවක් ලෙස වසර ‍12 ක් ගතකල බවද, එනමුත් උසස් අධ්‍යාත්මිකත්වයකට පත් නොවුණ බැවින් පසුව ගිහි ජීවිතයක් ඇරඹූ බවත් පැවැසේ.
ගෞතම බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සියවස් ගණනාවක් ගතවෙද්දී මහයාන සහ හීනයාන නිකායන්වල පැවැති දැඩි විනය රීතීන් ලිහිල් වෙමින් බෞද්ධ තන්ත්‍ර සම්ප්‍රදාය ඇතිවී තිබේ. (හින්දු තන්ත්‍ර සම්ප්‍රදායක්ද පැවැතී ඇත). එලෙසින් තන්ත්‍රයානය හෙවත් වජ්‍රයානය බෞද්ධ නිකායක් සහ සම්ප්‍රදායක් ‍ලෙස පැතිරි ඇත. වජ්‍ර යනු සියඵ දේ කපා හැරිය හැකි (එහෙත් එය විනාශ නොවන) යන්නයි. එනම් සංසාර‍යේ සියඵ මුල් කපා හැරී‍‍මේ මාර්ගයයි.



තිලෝපා ගිහි ජීවිතයේදී වසර 12 ක් ඇවෑමෙන් පරිපූර්ණ අධ්‍යාත්මික තත්වය ලැබූ බව පැවසේ. තාන්ත්‍රික සම්ප්‍රදායේ ක්‍රමවේදයන් හරහා විමුක්තියට පත්වූ මොහු සිද්ධවරයෙකි. භාරත ඉතිහාසයේ මහ සිද්ධවරුන් 84 දෙනෙක් විසූ බව පැවසේ. තිලෝපා ඉන් එක් අයෙකි. මුණිවරයෙකු සහ සිද්ධවරයෙකු අතර වෙනස්කම් පවතියි. සිද්ධවරුන්ට මහ සිද්ධි බල තිබූ බව පැවසේ. අහසින් ගමන් කිරීම, නොපෙනී ගමන් කිරීම, පරකාය ප්‍රවේශය(වෙනත් ශරීරයකට ඇතුඵ වීම) වැනි නොයෙක් හැකියාවන් සහ ප්‍රාතිහාර්යයන් පෑමේ හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ බැවින් මොවුන් සිද්ධ ලෙස හඳුන්වා ඇත. මේ සඳහා මොවුන් තාන්ත්‍රිත, හින්දු භාවනා අභ්‍යාස ක්‍රමයන් පමණක් නොව ‍‍‍‍‍‍‍‍‍‍ඖෂධ වර්ග සහ මන්ත්‍ර පවා යොදාගත් බව පැවැසේ. ඔවුන් භාරතය පුරා මිනිසුන්ට විමුක්ති මාර්ගය කියා දෙමින් සැරිසරා ඇත. මේ සියලු සිද්ධාචාර්යවරුන් එකම වකවානුවක ජීවත්වූවෝ නොවෙති. සරහා පාද, නාගර්ජුන පාද, මෛත්‍රි පාද තවත් ප්‍රසිද්ධ සිද්ධාචාර්යවරු කිහිප දෙනෙකි.

මෙම සිද්ධරුන් ඒ ඒ අවස්ථාවේදී ක්ෂණිකව මෙම දෝහා කාව්‍ය මගින් තම උපදේශනාත්මක කරුණු අනෙකුන් වෙත සම්ප්‍රේශණය කර ඇත. එසේ තිලෝපා විසින් තම ශිෂ්‍ය නරෝපා වෙත සම්ප්‍රේශණය කල දෝහා ගීතයන් මහ මුද්‍රා ගීතය තුළ අඩංගුවේ.



මහමුද්‍රාව සියඵම වචන සහ
සං‍ඛේත වලින් ඔබ්බට ගිය එකකි
එහෙත් බලවත් ඕනෑකමින් හා
භක්තිමත් බවින් යුතු නරෝපා නම්
ඔබට මෙය කිව යුතුය


මහමුද්‍රාව යනු උසස් සංඛේතයයි. එනම් සංසාරික බැඳීම්වලින් මිදුණු සුඛාස්වාදයේ සංඛේතයයි. බුද්ධත්වයේ ලාංඡනයයි. කවියේම පැවසෙන්නේ එය සියඵම වචන වලින් සහ සංඛේත වලින් ඔබ්බට ගියවූ දෙයක් ලෙසිනි. එබැවින් එය ඊට වඩා නිර්වචනය කිරීමට නොදනිමි.


ශුන්‍යතාවට වෙන කිසිවකගේ
ආධාරය අවශ්‍ය නොවේ
මහමුද්‍රාව කිසිවක් මත රඳා පවතින්නේ නැත
කිසිම උත්සාහයක් නොකර
ලිහිල්ව හා ස්වභාවිකව සිටීමෙන්
කෙනෙකුට බන්ධනය
බිඳුණු හැකි වේ
ඒ අයුරින් ‍‍මෝක්ෂය ලබා ගැන්මට
හැකි වන්නේය


ශුන්‍යතාවය යනු හීන යානයේ භාවිතා නොවන එහෙත් මහයානික සම්ප්‍රදායේ වචනයකි. එයින් අදහස් වන්නේ විමුක්තියේ භූමියයි. එනම් සිතුවිලි වලින් නිදහස් වූ නිර්-මනසේ ස්වභාවයයි.
තිලෝපාගේ මෙන්ම තාන්ත්‍රික ඉගැන්වීම් වලදී මූලික දේ වන්නේ ස්වභාවික තත්වයේ පැවැතීමයි. අප මේ සිටින තත්වය යටතේ ස්වභාවික නොවෙමු. මනස යනු කෘතිම තත්වයකි. එය ස්වභාවිකත්වයෙන් ඔබ්බට ගිය තත්වයකි. සිතුවිලි යනු අස්වාභාවික භාවයන්ගෙන් නිර්මිත වූ තත්වයන්ය. මිනිසාට පවතින එකම ප්‍රශ්ණය එයයි. මේ අස්වාභාවික මනසයි. සියඵම දුකට හේතුව එයයි. ඉදින් ඔහු නැවතත් ස්වභාවික තත්වයට යා යුතුය. ඔහුගේ සැබෑ නිවහන එයයි.
ස්වභාවිකව සහ ලිහිල්ව සිටීම එනම් බලපෑමකින් තොරව මේ මොහොතේ මනසේ පවතින තත්වය මනසින්ම දැකීම තිලෝපා පවසන මාර්ගයයි. එනම් මනසේ ස්වභාවික තත්වය දෙස සිහියෙන් යුතුව සිටීමයි දැඩි බලපෑම් නොකරමින්.

තන්ත්‍රවලදී දැඩි ශික්ෂාවන් අනුගමනය නොකරයි. ස්වභාවික තත්වයන් බැහැර නොකරයි. ලෞකික තත්වයන් ප්‍රතික්ෂේප නොකරයි. මේ උසස් තන්ත්‍රයානිකයන්ගෙන් ඇතැමුන් ගිහි ජීවිත ගත කර ඇත. විවාහ වී ඇත. දරුවන් ලබා ඇත. දැඩි ශික්ෂණයන් පනවා ගැනීම ස්වභාවික තත්වයන් වෙත ආපසු යාමට බාධාවක් විය හැකි බව තන්ත්‍ර පිළි ගැනීමක් විය හැක. එසේම තන්ත්‍රයානිකයන් ගුප්ත ක්‍රමවේදයන්ද අධ්‍යාත්මික අවදි කිරීම් ‍සඳහා භාවිතා කර ඇත. බෞද්ධ සම්ප්‍රදායේ වුවද ගුප්තමය ස්වභාවයක් වජ්‍රයානය තුල බිහිවී ඇත.

- ලිපිය දිග වැඩි වෙන නිසා නීරස විය හැකි බැවින් ඉතිරි ටික පසුව ලියන්නම්..





Friday 16 April 2010

කණ කොකුන්ගේ තීරණය



                                       නාඬා හිඳිමු මින්මතු
                                       එයින්වත්
                                       යහපත ජනිත වේනම්... 
                                       හිනාවෙන්නට බැරිය අපටත්..

Wednesday 7 April 2010

දෙව්ලොව "මා" වෙනුවෙනි..



මා දෙව්ලොව ගිය විට
එහි අසිරිය, සුඛය...
සසඳා සැනසෙන්න
අපායක් තිබේවා..!
මෑතකම මට පෙනෙන

එවිට,

අපායෙහි ඔබ සැම
දිව සැප බලා මා සතු
සුසුම් හෙලනා විට.,
සැනහෙයි මසිත අපමණ...


සිටින බව "මම"
එවිට වැටහෙයි මට....

Tuesday 6 April 2010

ඔබ සහ ඔබේ ආශා



                                                                 ඔබ සොහොනක්ය 
                                                                 මතක වැළලුණු  
                                                                 සොහොන් පිටියක....   


                                                                 එපිට ලියවුණු  
                                                                 සොහොන් ගී ඇත
                                                                 කලෙක නොසිඳුනු  
                                                                 නොහිම් ආශා..... 
                                                                 සදාකාලික සිහිනයන් කර....

Monday 5 April 2010

විමුක්තියේ ආනන්දය - උදාන ගී - 2

අලුතෙන් කියවන සහෘදයන් මෙතන කොටල මෙහි මුල් කොටස කියවල එනවනම් වඩාත් හොඳයි.


බොහෝ තැන්වල කබීර් ව හඳුන්වනු ලබන්නේ කවියෙක් ලෙසයි. එහෙත් ඔහුගේ කවිත්වය කවියෙක් වීම සඳහා කරනු ලැබූ උත්සාහයක් නොවේ. ඔහු‍ ගයනු ලබන්නේ අපිට නොපෙනෙන ඒත් ඔහු නිරතුරුව දකින දිව්‍යත්වයේ අත්දැකීමයි. ඔහුගේ වචන තුළින්ම ඔහු පවසන්නේ මෙලොවට අයත් නොවන එම චමත්කාරය විස්තර කිරීමට වචන සමත් නොවන බවයි. ඒ ඔහු මිනිස්කම ඉක්මවා ගිය මුණිවරයෙක් බැවිනි.


මැණික මඩ වගුරෙහි වැටී නැතිවී ඇත
සැමදෙනාම එය සොයති
සමහරු එය පෙරදිග ඇත්දැයි ‍සොයති
සමහරු එය බටහිර ඇත්දැයි සොයති
සමහරු එය ජලයේ වැටී ඇත්දැයි සොයති
සමහරු එය ගල් බොරඵ අතර ඇත්දැයි සොයති
එහෙත් එහි සැබෑ අගය දන්නා කබීර්
එය තම හදවතෙහි සුරැකිව තබා සිටින්නේය.


පුහුදුන් මිනිසුන් ලෙස අපි හැම විටම සියඵ දේ අවට ලෝකයේ සොයමු. ඒත් අපි සොයන්නේ කුමක්දැයි අපිවත් නොදනිමු. අපි එකිනෙකා අනුකරණය කරමින් සිටිමු. අපේ මුඵ සන්තානයම අපේ නොවන දේවල් වලිනි අපි පුරවාගෙන සිටිනුයේ. ඒ සියඵ දැනුම ඔස්සේ අපි සොයා ගන්නට පැමිණි දේ බාහිර ලෝකය පුරා සොයමින් ජීවිතය ගෙවා දමමින් සිටිමු. අපි නැතිවූ මැණික අන් තැන් වල සොයමින් සිට හිස් දෑතින් පිටවී යන්නෙමු. එහෙත් කබීර් එය තම හදවත තුළ තිබියදී සොයාගෙන ඇත. ඒ සදාකාලික නිවීමයි.


අසංඛාරය අභියස සංඛාර නටයි
"ඔබ හා මම එකක්" යැයි නින්නාද නැගේ
ගුරුවරයා පැමිණ
ශිෂ්‍යයාට හිස නමයි මෙයයි මහා හාස්කම


සංස්කාර ඉක්මවු කබීර් අසංස්කාරය තුලට පැමිණ ඇත. දැන් සංස්කාරයන්ගේ රංගනය පමණක් පවතියි. ඔහු එයින් වෙන්ව පවතියි. ඒ මොහොතේදී සියල්ල ඒකත්වයක් බවට පත්වී ඇත. තව දුරටත් ඔබ හා මා යනු දෙ‍දෙනෙක් නොවේ. අපේ මනසේ සැම විටම පවතින ද්විත්වමය ස්වභාවය නැතිවී ගොසිනි. ගුරුවරයා පැමිණ ශිෂ්‍යයාට හිස නමයි. මන්ද ඔවුන් විශ්වය තුළ ඒකාත්මිකවී ඇත.
කබීර් පවසන්නේ දිය බිඳුව සාගරයට එක්විය, නැතිනම් සාගරය දිය බිඳුව තුළට එක්විය ලෙසිනි. එය නැවත සොයාගත නොහේ. ඔහු ස්වකීය මමත්වය ඉක්මවා ගොස් සමස්තය සමග මුසුවී ඇත.


ගුවන් ගැබ සංගීත රාවෙන් පිරී ඇත
අමෘතය වැසි වසින්නේය
වීණාවේ තත් කෙරෙන් මිහිරි සර නැගේ
තාල වැයේ
ආකාශ මන්දිරය තුල පවතින
මේ මහා ශෝභාවේ රහස කුමක්ද?

පායන හිරු හෝ බැසයන හිරු ගැන
මෙහි කතාවක් නැත
මේ ප්‍රභාස්වර සාගරයෙහි
ආලෝකය තුළ
දවස හා රැය එකක්ම වේ

නොනිමෙන නොසි‍ඳෙන
සතුට .....
මෙහි දුක නැත
ගැටුම නැත
සතුට උතුරා යමින්පවතියි
මෙහි ප්‍රමාදයට ඉඩක් කොහිද?
"පරම ආශිර්වාදයේ ක්‍රීඩාව
මම එහිදී දැක ගතිමි."

ඔහුගේ ඒ කවීත්වය පැමිණෙන්නේ විමුක්තියේ ආනන්දය තුළිනි. නිරාමිෂ ප්‍රීතිය තුළිනි. ඔහු පවතින්නේ සදාකාලික සොම්නසක් තුළය. එය විස්තර කල නොහැකි නමුදු ඔහු එය එලෙසින් අපට පවසා සිටියි. එය පැවැසිය නොහැකි යමක ඉඟියක් පමණකි. ඔහුගේ දිරිගැන්වීම සහ ආරාධනය වන්නේ සියඵ මුණිවරයන්ගේම ආරාධනයයි. එනම් තමන් හිඳින සන්තුෂ්ඨියේ භූමියට එක්වෙන ලෙස කරන සොඳුරු ඇරයුමයි. එහෙත් අපි තවමත් අවට සොයමින් සිටිමු.

Saturday 3 April 2010

විමුක්තියේ ආනන්දය - උදාන ගී

14 වන සියවසේ බරණැස උපත ලැබූ කබීර් (1440-1518) සත්‍යාවබෝධය ලත් මුණිවරයෙක් ලෙස ඉන්දියානු ජනයාගේ සම්භාවනාවට පත්විණ.
උපතින් මුස්ලිම් ජාතිකයෙකු වුවද තමන් ඉස්ලාම් හෝ හින්දු ආගමට අයත් නොවන බව හේ සැලකීය. ඉස්ලාම්වරු හින්දුවරු මෙන්ම සීක්වරුද ඔහුගේ අනුගාමිකයින් විය.
ඔහු සම්ප්‍රදායික අධ්‍යාපනය නොලද බැවින් දහස් ගණන් ඔහුගේ බජන් ගීත ඔහු විසින් නොලියන ලද බවද පැවැසේ. එහෙත් ඒ ඒ අවස්ථාවේදී තම සංගීත භාණ්ඩය වයමින් ඔහු විසින් මෙම ගීත ගායනා කල බවද පැවැසේ. වෘත්තියෙන් රෙදි වියන්නෙකු ලෙස තම ජීවිතය ගෙන ගිය කබීර්ගේ ජීවිත‍යේ සැබෑ වෙනස සිදුවුයේ ඔහුගේ සද්ගුරු වු රාමානන්ද් හමුවීමත් සමගය.
ඔහුගේ ගීත තුල ගුරුවරයා හා ගෝලයා අතර සබඳතාවයේ වටිනාකම නිබඳව සිහිපත් කරනු ලබන අතර අධ්‍යාත්මික ගුරුවරයා ඔහු හඳුන්වනු ලබන්නේ සද්ගුරු ලෙසයි. ඔහු විසින් ගායනා කර ඇති මෙම බජන් ගීත බෞද්ධ සාහිත්‍යයේ එන ‍ථෙර ගාතා, ‍‍ථෙරී ගාතා ආදී උදාන කාව්‍ය වලට සමානය. එනම් විමුක්ති රසයත් එහි වටිනාකමත් වර්ණනා කෙරෙමින් උපදේශකත්වය සැපයීම හා මග පෙන්වීම ඒවායේ අරමුණ වී ඇති බැවිනි.

මේ මැටි බඳුන තුළ

තුරු වදුඵද වන වදුඵද ඇත
එය තුළ නිර්මාපකයාණෝ වැඩ වෙසෙති

මේ බඳුන තුළ
සප්ත සාගරද
අසංඛ්‍ය තාරකාද ඇත
උරගලද මැණික් තක්සේරුකරුද
ඒ තුළ ඇත
සදාකාලිකත්වයේ දෝංකාරය පවතියි
උල්පත උතුරා යයි

කබීර් මෙසේ කියයි
'මට සවන් දෙන්න සබඳ,
මගේ ආදරණීය සමිඳු මා තුළ වැඩ සිටිති'


(මෙම සිංහල පරිවර්තන ඒ.එස්. බාලසුරිය මහතාගේ 'කබීර් මුණි ගැයූ අමෘත උදාන' කෘතිය ඇසුරින් බව කෘතවේදීව සිහිපත් කරමි)


අපගේ ශරීරය, මුඵ විශ්වයම ඇතුළත් මැටි බඳුනකට ඔහු උපමා කරයි. එසේම දෙවියන් වැඩ වෙසෙන්නේද මේ ඒ තුළයි. සදාකාලිකත්වයේ දෝංකාරය පවතින එතුළ උල්පත උතුරා යන බව ඔහු දකියි. ඒ උල්පත නම් සත්‍යාවබෝධයේ ආනන්දයයි. විමුක්තියේ රසයයි.


සබඳ මල් උයනට නොයන්න
එය සොයා බැහැර නොයන්න
මක් නිසාද යත්
සැබෑ මල් උයන ඇත්තේ
ඔබේ මේ සිරුර තුළය

දහසක් පෙති විහිදුණ
නෙඵම මත හිඳ
විශ්වයේ අනන්ත සෞන්දර්යය
දකින්න

දෑසින් දකින ලෝකය සීමිතය. ඒ සීමිත දසුනින් සෑහීමට පත් වන්නේ කුමටද? එය සැබෑවක් නොවේ. සැබෑ මල් උයන පවතින්නේ තමා තුළමය. එබැවින් තමා තුළ බලන්න. තමන් තුළ නැගෙන සිතුවිලි දෙස බලා ඉන්න. ඔහුගේ පණිවිඩය එයයි. අවසානයේ දහසක් පෙති විහිදුණ නෙඵම මත හිඳ විශ්වයේ සෞන්දර්යය අත් විඳින්න. හින්දු යෝග ශාස්ත්‍රයෙහි අධ්‍යාත්මික ශක්තිය අවදිවීම සහස්‍ර සියපතකට උපමා කෙරේ. (එනම් කුණ්ඩලිනී නැමැති ශක්තිය අවදි කරවා ගැනීම යෝගා වල ප්‍රධාන අභිප්‍රායයි. එය විශ්ව ශක්තිය සමග ඒකාත්මික වීමකි)


ලිපිය දීර්ඝ වැඩිවෙන නිසා තව කොටසකින් හමුවෙමු

Friday 2 April 2010

මාත් මිනිහෙක් වුණා එහෙනම්


සැඟව යමි මම ඇසැ'ර
ජීවිතේ එළිය තුළ...?
අඳුර මැද දුක පිරුණ
පුඵල් ලෝකය අතැ'ර...

මවා දෙයි මට සිහින
සුවැ'ති ජීවන කුටිය..
වසාලමි දොර කවුඵ
ලෝකයට විවර වුණ..

දිනක විවරව බලා මා දෙස
ලොවේ භෞතික දෑස් අපමණ
කියයි මේ ලෙස වෙලී මෝහෙන්
'ඌත් මිනිහෙක් වෙලා' එහෙනම්...?


Thursday 1 April 2010

නිරුවත සහ යථාව


නන් විසිතුරු ඇඳුම්
ඇඟලගෙන....
සිටින'මුත් සැමදා
එසඵපිළි ඇතුළත
නිරුවතිනි මා..?
සිටින්නේ සැමදා

දැනෙද්දී ඒ බැව්
විළියෙන් දැවෙයි
මා..?
සදාකල්..