Tuesday 31 May 2011

කටුනායක පව්කාරයෝ..


සද්භාවයෙන් දුන්නම
ගන්න බැරි පැන්ෂන්
කණ පළල දෙන්නද
තොපි අපිට කියන්නේ..

පොකැට්ටුව හිඳුණ කල
තොපි වගේ බොල  අපිත්
හිඟා කෑ යුතු බවද
තොපි අපිට කියන්නේ..

ඉරිසියාකාරයෝ...

සල්ලි නැති ක‍ලට බොල
කොහොමදැයි කියාපිය
ලෝකය  පුරා රටවල
අපි කරක් ගහන්නේ..

අපේ පොඩි පැටවුන්ට
රට රාජ්ජ දැකගන්න
ඒවගෙම උගන්වල
උන්ට හොඳ රටකින්ම
ගේ දොරක් හදන්නට
අපි විඳින දුක දන්නෙ
අපිම විතරයි බොලව්..

අපේ ලොකු කොලුවන්ට
මොන්ටෙරෝ එකක්වත්
අරන් දෙනු බැරි කලෙක
අපිත් මොන අප්පලද
උන්ට සතුටින් ඉන්න
නයිට් ක්ලබ් යන්නවත්
ලක්ෂයක් දෙකක් හවසට
දෙන්න බැරිනම් බොලව් 
අපිත් මොන අප්පලද..

දැනගනිව් අපි
සංවේදි 
අප්පලා 
අම්මලා..

පෙර ආත්මෙත් තොපි
ඉරිසියාකාරයෝ 
ඒ නිසයි අද බොලව්
තොපි මෙහෙම
දුක් විඳල මැරෙන්නේ..

අද කරන දේ නිසා
මතු ජාති ජාතියෙත්
තොපිට මේ සෙතේමයි
ඉරිසියාකාරයෝ..
  
පව්කාරයෝ....

 

Sunday 22 May 2011

ගැහැණු සිතක් ළඟ 'මම'



මගේ ජංගම දුරකථනය නාද වෙයි. මම කරමින් සිටි රාජකාරිය මොහොතකට නවතා දුරකතනය දෙස බැලීමි. මගේ පරණ යෙහෙළියකි. මා මෙම සේවා ස්ථානයට පැමිණ තවම දින තුනකි. එබැවින් ඇයට විස්තර දැන ගැනීමට අවශ්‍යව ඇති බව මට වැටහිණ. මම ඇමතුම සම්බන්ධ කර කතා කරමින් සිටියෙමි.
ඇය මා දෙස බලා හිඳියි නුරුස්නා බැල්මක් සහිතව. විනාඩියක පමණ කතාවෙන් අනතුරුව මම දුරකතනය විසන්ධි කර සාක්කුවේ දමා ගතිමි.
ඇය මා වෙත ළඟා විය.
කවුරු හරි කෙල්ලෙක් කෝල් කළාම උන්හිටි තැන් අමතක වෙනව. අර වැඩේ තවමත් පරක්කුයි. මටත් එක්ක බැණුම් අහන්න වෙනව ඇය පවසයි.
කිසිවක් නොකියා මම සිනාසෙමින් කරමින් සිටි රාජකාරිය නැවත පටන් ගනිමි. ඇය තවම මා ළගය.
කවුද ගෑණු ළමයද? ඇය නැවතත් විමසයි.
නෑ යාඵවෙක්
බොරු කියන්න එපා
ඇයි මම බොරු කියන්නෙ
එතකොට එයා‍ කතා කරන්නෙ කොයි වෙලාවටද?
ඇගේ සිත මම කියවමි.
එක්කෙනෙක් කියල නෑ
මහ වලත්තයෙක්ද කොහෙද?
මම මේසය මත වූ ලිපි ගොඩක් මත වූ වීදුරු බරුව පිරිමදිමින් එයට සිනහ වෙමි.
ඇය මගේ කන් දෙක තදින් සොලවා ඉවත්ව යයි.
මේ ඇය සහ මා හමුවී තුන් වෙනි දවසයි. ඒත් අප දෙදෙනාම එකම විෂයකට අයත් රාජකාරියක නිරත වූ බැවින් ඉක්මණින්ම සමීප විය. ඒත් තවම අප අපව නොදනිමු.
ඒ වන විට මා වයස අවුරුදු තිහක්ද ඉක්මවා ගොස් සිටි අතර ජීවිතයෙන් හෙම්බත්වූ මගේ ජීවන ස්වභාවය අනෙකුන්ට වඩා වෙනස් විය. අනන්ත පරාජයන් සහ දුෂ්කරතාවයන් අතර පැමිණි ගමනක විඩාපත් බව සහ දිගක් පළලක් නැති හුදෙකලාවක ගිලී සිටි බැවින් මටම ආවේණික පැවතුම් මා සතු විය. මා ඇසුරු කල කිසිවෙක්ට නොලැබුණු ජීවිතයක් මට උරුම වී තිබුණු බැවින් මගේ උරුමය පිළිගත් මා අනෙකුන් දෙස නොව මා දෙසම හුදෙකලාවේ බලා සිටින්නට පුරුදු වී සිටි බැවින් මගේ පිළිවෙත් අනෙකුන්ට වඩා වෙනස් විය. එය මා දැන සිටියද මට අනෙකුන්ගෙන් කාරියක් නැත.
සවස ඇයගේ ස්වාමි පුරුෂයා යතුරුපැදියෙන් පැමිණෙයි. ඒ විගස ඇයගේ කතාව නවතියි. මා පිටව යමි. ඔහුට හොරා ඇය පසුව මට දුරකථනයෙන් කතා කරයි. ඇත්ත වශයෙන්ම කතා කල යුතු කිසිවක් ඇයට හෝ මට නොවීය. ඒත් ඇය කතා කරයි. මම ඇයගේ අහේතුව හඳුනා ගතිමි.
පුංචි දෙයටත් තරහ වෙන ඇය නපුරුකමින් පිරී යයි. මගේ විහිඵ වලට පවා ඇය තරහ වීම සිරිතකි. ඇය පවසන්නේ ඇයට විහිඵ නොකරන ලෙසයි. එදිනට පැය ගණනක් යනතුරු හෝ අවසන මා පිටව යන තුරු ඇය මා දෙස නොබලා හිඳියි. කතා‍ නොකර හිඳියි. කිසිම සංහිඳියාවක් නොදක්වන ඇයගේ නපුරු කමට මා සිනාසෙමි. තවත් විටෙක ඇය උදෑසනම හොරෙන් කදුඵ සලයි. මා විමසූවිට අහක බලා ගනියි. කතා නොකරයි. ටික වෙලාවකට පසු නැවත සිනාසී මා වෙත පැමිණෙයි. හේතු මම නොදත්තෙමි. එහෙත් යම් නොරුස්නා බවක් ඇයගේ යුග දිවිය තුළ කැළඹෙන බව මම තේරුම් ගතිමි. ඔහු ඇයගේ ස්වාමිපුරුෂයා බැවින් ඇයට ඔහු ඇවැසිය. ඒත් ඔහුගේ චර්යාව ඇයගේ සිත නොපුරවයි. ඈ තුළ පවතින හිස් අවකාශය පිරවෙන දේවල් මෙලෙස මා දැක ගනිමින් සිටියෙමි. ඇය ඒ අතරම මා වෙත අසීමිත ආදරයක් ඇති බව පෙන්වයි. එය පෙන්වීමක්ම නොවන්නේ විටෙක එය උතුරා ගලා යන්නේ ඇයවත් නොදැනීම බැවිනි.
හමුවී දින කිහිපයක් වුවද ඇය උදෑසන ආහාරය සඳහා මටත් එක්කම බත් පාර්සලයක් ගෙන ඒමට පුරුදුව ඇත. එයින් අපි දෙදෙනාම කන අතර එහි වැඩි ප්‍රමාණය මා වෙත ලබා දීමට ඇය බල කරයි. වැඩිපුර ආහාර ගැනීම නොදැනුවත්වම අතහැරී ගොස් සිටි මට විටෙක එය විශාල කරදරයකි. එහෙත් ඒ තුළ පවතින ආදරණීය ස්වභාවයම මට එම ආහාර මහත් වූ මිහිරක් ගෙන එයි. මගේ ජීවිත ස්වභාවය අනුව උදේ, දවල්, රෑ යනුවෙන් ආහාර පුරුද්දක් මට නැත. කුසගිනි දැනෙන ඕනෑම වෙලාවක කිසිවක් ගිල දැමීමෙන් කුසගින්න නිවා ගැනීම පමණක් ආහාර වල අර්ථය විදියට මා පිළිගෙන සිටියෙමි. එහෙත් ඇය උදෑසනට ආහාර ගැනීම මට පුරුද්දක් බවට පත් කරමින් සිටියාය. ඇත්තෙන්ම ජීවිතේ කිසිවක් කාලය අනුව වැඩසටහන්ගත කිරීම ඇබ්බැහිවීමක් ලෙස මා සිතුවෙමි. අදටත් මා කැමැත්තේ හැම දෙයක්ම අවශ්‍යතාවය අනුව අවුල් සහගතව සිදුවනු දැකීමටයි.

සැම දවසකම රාත්‍රියේ දුරකථන කෙටි පණිවුඩයක් එවීමටද ඇය පුරුද්දක් කර ගෙන සිටියාය. කෙසේ වුවත් ඇය මට ආදරය කරන බව ඒ හරහා ඇඟවුම් කරමින් සිටියාය. ඇත්තෙන්ම කි‍සිවෙකුටත් ආදරය කල හැකි කිසිවක් මා තුළ ඒ වන විටද මා ඉතුරු කරගෙන නොසිටි බැවින් ඇයගේ හැසිරීම මට ආගන්තුක විය. ඒත් ඇගේ හිස් බවට මා වැනි විපරීත චරිතයකට හැර වෙනකෙකුට ළංවීමට ඇය බිය ගන්වන්නක් වන්නට ඇති බව මා සිතුවෙමි. ඇත්තෙන්ම කෙනෙකුට හානියක් කරන විදියේ පැවතුම් මා තුළ නොපැවැති අතර, ඕනෑම පාඩුවක් හිරිහැරයක් මවිසින්ම විඳ දරා ගෙන ඉවසීම මා පුරුද්දක් කරගෙන සිටියේ මිනිසුන් කරන කිසිවකට වගකීම කිසිවෙකුටත් තමන්ටම කල නොහැක්කක් බව බොහෝ සිදුවීම් හරහා මා පසක් කර ගෙන සිටි බැවිනි.

ඇත්තෙන්ම මම ඇයට ආදරය කළෙමිද මම නොදත්තෙමි. මගේ හැඟීම් වලට වගකීම් සහතික ලබා දීම මටම කල නොහැක්කක් වූයේ හැඟීම් මා තුළ වෙනස් වන හැටි දකිනා විටය. කෙසේ වුවත් ඇගේ ඇසුර ප්‍රිය කරමින් හිඳින්නෙකු මා තුළම වෙසෙන බව මට අවබෝධ විය. පුංචි දේටත් තරහ වන, විටෙක කේන්තියෙන් පුපුරන, අමනාපවූ විට දවසක් වුව කතා නොකර හිදින සහ කිසිවිටෙකත් මා දෙසට සෘජුව දෑස යොමු නොවීමට වගබලා ගන්නා, විටෙක දුකෙන් කඳුඵ සලන, මා වෙනත් කාන්තා පාර්ශ්වයක අයෙක් දෙස බලද්දී හෝ කතා කරද්දී ඊර්ෂ්‍යාවෙන් බලා හිඳින, වචන වෙනුවට ක්‍රියාකාරකම් වලින්ම සියල්ල සිදු වීමට ඉඩ හරින ඇයගේ ස්ත්‍රී ස්වභාවයට මා තුළ වූ කිසිවෙකු අසීමිතව බැ‍ඳෙමින් සිටින බව දකින විට මා මටම බියවිමි. එහෙත් මා කෙරෙහි එසේ ඊර්ෂ්‍යා සහගත වන අවස්ථාවලදී පවා ඇය සැබැවින්ම ජීවත් වන්නේ වෙනකෙකු සමග බව දන්නා මා ඇයට ඊර්ෂ්‍යා නොකරන බව ඇගේ ස්ත්‍රී ස්වභාවය කිසි‍විටෙක ඇයට මතක් කර නොදීම ගැන විටෙක මම තනියම සිනහ වීමි. එසේ වුවද මා සමුගන්නා සෑම සවසකම ඇගේ හිස අතගා ඔහු පැමිණීමට පෙර ඇගේ ජීවිතය වෙත නික්මී යාමට ඉඩ තබා පිටවීමට මා පුරුදු වී සිටියෙමි.

දිනෙක ඇය එසේ සමුගන්නා විටෙක කිසිවෙකුත් දකින්නට නැති බව දැන මගේ පපුව මත හිස තදකරගෙන මා ඇගේ හිස ඔසවන තෙක්ම සිටි‍යාය. එදින රාත්‍රියෙහි ඒ මොහොතේ වගේ සුවයක් කිසිදා ඇයට ඔහු සමීපයේ නොලැබුණු බව මට කියා එවා තිබිණ. මෙහි සිටි රූමත්ම කාන්තාව ඇය වූ අතර ඇය දකින විට ආශාවන්ගෙන් නලියන බොහෝ පුරුෂයන් මෙහිම සිටින බව මගේ ඇස් බොහෝ අවස්ථා වල දැක ඇත. එහෙත් ඇය ළඟ නැති විටෙක හැර කිසිදා ඇය ළඟ සිටින විට ඇය ගැන අනුකම්පාවක් සහ ඇය සැනසීමෙන් සිටිනු දැකීමේ ආශාවක් හැරුණු කොට අන් කිසිදු රාගී හැඟීමක් මා තුළ නොනැගිණ. මගේ ඒ ස්වභාවයට ඇය බොහෝ සෙයින් ප්‍රිය කල බව මට හැඟිණ. එහෙත් කායික ආදරයේ පහස සුවසේ විඳින්නට ආශා කරන තවත් ගැහැණියක්ද ඈ තුළ ජීවත් වෙනු මා දුටුවෙමි. ඔහුගෙන් කිසිදා ඇය ආශා කරන විදියේ ආදරය මුසු පහසක් නොලැබෙන බව ඇගේ කඳුඵත්, විටෙක ඈ ඔහු ළඟ සිටින විට ඔහුට නොපෙනෙන ඈ තුළ වූ නුරුස්නා බවත් මට අවබෝධ කරලීය.

එහෙත් ගැහැණුන් ප්‍රිය කරන ආකාරයේ හැඩිදැඩි බවක් හෝ වගකීම් සහගත බවක් මා තුළ කිසිදා නොපැවැති අතර ජීවිතයම හාස්‍යයට ලක් කරන මා වැන්නෙක් ඇයට අවශ්‍ය වූයේ ඇයි. ඇත්තෙන්ම සම්මත පුරුෂ ස්වභාවය ඇයව අවසානයේ අපේක්ෂා භංගත්වයට පත් කර තිබීම එවැනි ස්වභාවයෙන්‍ තොර මා වෙත විශ්වාසය තැබීමටත්, බැඳීමටත් ඇයට හේතු වූ බව මට පසක් විය. විටෙක ඇය මට කියා සිටියේ
පිරිමි ඔක්කොම එකයි. තමන්ගෙ වැඩේ කෙරෙනකම් විතරයි ආදරේ කියාය.
ඇගේ ඒ ප්‍රකාශණය තුළ ගැබ්වී තිබුණේ සම්මත පිරිමි ස්වභාවය තුළ පවතින අස්ථාවර බව ඇයට වේදනාවක් වී ඇති බවයි.

ඒත් ඇය මා වෙත දක්වන හැඟීමත්, මා ඇය වෙත දක්වන හැඟීමත් ලෝකය ඉදිරියේ අසම්මත යමක් වන බව මා මෙන්ම ඇයද දැන සිටියාය. ඒත් කවදත් සම්මතයට වෛර කල මට කොහොමත් අනෙකුන්ගේ බැල්ම වැදගත් නොවීය. මා තුළ වූ කිසිවෙකු ඇගේ ඇසුර ගැඹුරින් පතන බව දකිද්දී මා විශ්මයට පත්වීමි. ඇත්තෙන්ම එය සිදු විය නොයුත්තකි. එතරම් දේවල් මත ඇලීම මගේ ජීවන ස්වභාවයෙන් ඈත්වූයේ ඇළීමේ වේදනාවන්ගෙන් අසීමිතව බැට කෑමෙන් ලද අත්දැකීම් නිසාය. ඉතින් මේ ඈ ගැන සිතමින් සිටින්නේ සැබෑ මමද? ඇත්තෙන්ම තව දුරටත් මා මටම සාක්ෂි දරන්නෙක් විය හැකිද යන්න මටම ප්‍රහේළිකාවක් වන්නට විය.

අපේ ජීවිත වල සිදුවන කිසිවක් අපවත් හරිහැටි දන්නේද යන්න නැවත විමසා බලන්න මට සිදුවුණද එය පවා අස්ථාවර විමසීමක් විය. කළෙකට පෙර මා නැරැඹූ සිනමා පටයක කතා තේමාව කෙරෙහි නැවතත් මගේ සිත රැඳවිණ. ජපාන සිනමාකරුවෙකු වූ අකිරා කුරසෝවාගේ රෂෝ‍මොන් සිනමා පටය පුරා විහිදෙන්නේ මිනිසුන් කරන කිසිවකට කිසිවවෙකුටත් හරිහැටි සාක්ෂි දැරිය නොහැකි බවයි. එහි කතාව තුළ සොරකමින් සහ මැරකමින් ජීවත් වන්නෙකු වනය තුළ ගමන් කරමින් හිඳින තරුණ යුවලක් දැක ගැහැණිය‍ කෙරෙහි අයිතිකරගැන්මේ සිතක් පහළ කරගෙන පුරුෂයා රවටා රැහැනින් වෙළා ගැහැණියට බලහත්කාරකම් කරයි. මුළදී තම පුරුෂයා රැහැණින් බැඳ සිටිනු දකින ඇය වියරුවෙන් කිනිස්සක් ගෙන සොරාව විනාශ කිරීමට වෙහෙසන නමුත් අවසානයේ ඔහුගේ බලහත්කාරකමට කැමැත්තෙන් ඇය යට වෙන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ දෑස් අභියසමය. කෙසේ‍ හෝ විවාහක පුරුෂයා මිය යයි. හසුවන සොරා විසින් ඔහුගේ මරණය ගැන විනිශ්චය සිදුවන තැන කියා සිටින්නේ ඔහු විසින් ද්වන්ධ සටනකින් කඩුවෙන් ඔහු මරණයෙන් පරාජය කල බවය. ගැහැණිය කියා සිටින්නේ වෙන කතාවකි. බලහත්කාරකම් කල මිනිසා පලා ගිය බවත් ඇයට සිහිසුන් වූ බවත් අවදි වන විට තමාගේ ස්වාමි පුරුෂයාගේ ළය කිනිස්සක් පසාරු කර තිබූ බවත්ය. මියගිය අයගේ ආත්මය කැඳවා විමසන විට ඔහු පවසන්නේ හාත්පසින්ම වෙනස් කතාවකි. ඇගේ චපලකම දරාගත ‍නොහැකි ඔහු කිනිස්සෙන් සිය දිවි නසාගත් බවයි. සිද්ධිය ඇසින් දුටූ බව කියන පුද්ගලයා කියන්නේ ඊටත් වෙනස් කතාවකි. ඒද ගැහැණිය විසින් අවමානයට ලක්කර කුපිත කරනු ලැබූ මිනිසුන් දෙදෙනා එකිනෙකා මරා ගැන්මට කල සටනේදී කඩු පහරින් ඔහු මිය ගිය බවයි. අවසාන වශයෙන් හෙළි වන්නේ ඇසින් දුටූ බව පැවසූ අය ගැහැණිය සතු වූ කිනිස්ස සොරකම් කර ඇති බවයි. මිනිසුන් කරන කිසිවක් මිනිසුන්ම නොදන්නා බව අවසානයේ සිනමාකරු ගම්‍ය කරවීමට උත්සාහ දරයි. එලෙසින්ම සෑම මිනිසෙක්ම අනෙකාට වඩා ආත්මාර්ථකාමීත්වයෙන් හෝ වංචනික බවෙන් අඩු නොවන බව සිනමාකරු තමාගේ දැක්ම ලෙස ඉදිරිපත් කරයි.
කිසිවිට මා කරන කිසිවක් ගැන හෝ අන් කිසිවෙක් කරන කිසි දෙයක් ගැන හෝ විශ්වාසයක් ඇති කර ගැන්මට අපොහොසත් මා තුළ වූ රහස් පරීක්ෂකයෙක් විසින් මේ සිතුවම් පටයේ රසය මා තුළ නොනසා පවත්වා ගෙන යමින් සිටියේය.
පසුදා මා ඇගෙන් විමසා සිටියේ
ඔයා රෂෝමොන් ෆිල්ම් එක බලල තියෙනවද
ඒ මොකක්ද මම ඔයා බලන විදියෙ විකාර බලන්නවත්, කියවන්නවත් කැමැති නෑ මටත් පිස්සු හැදෙයි
ඒ කියන්නෙ මට පිස්සුද
ඇය සිනාසෙයි. මා තුළ වූ ඇයව ප්‍රිය කරන්නා කැමැති වූයේ වචන බවට පත්නොවන ඇගේ මේ සිනහවටත්, කඳුළටත්, ඊර්ෂ්‍යාවටත්, වගකීමෙන් තොර ආශාවන් වෙත ඇදෙන ගතියටත්ය. ඇය සම්පූර්ණයෙන්ම ස්ත්‍රී ස්වභාවයේ පිළිබිඹුවක් ලෙස මා තුළ වූ ඔහු ඇදහුවේය. ඒත් ඔහු මමද යන්න මම ඒ වන විටත් විමසමින් සිටියෙමි. මා තුළ කී දෙනෙක් ජීවත් වෙයිද? මා කරන කිසිවක වගකීම ලෝකයට පෙනෙන තනි මට දැරීමට සිදුවීම මහත් අසාධාරණයකි. ඇයට ආදරය කරන මා සහ එසේ ආදරය කරන මා තුළම වෙසෙන්නාව විමසන මා එකෙකු ලෙස ඇයද භෞතිකව දකියි. ඒ පුද්ගලයන් දෙදෙනාම අසාර්ථක වන හැටි දකින රහස් පරීක්ෂකයා මා තුළ සිනාසෙන හැටි කිසිදා ඇයට දැකීමට නොහැකි විය. ඉතින් මා ඇයට ආදරය කරන බව ඇඟවූවත් මා තුළ එයට පූර්ණ සාක්ෂි දරන්නෙකු කිසි විට මට සොයාගත නොහැකි විය.

දිනෙක ඇය ඇගේ ස්වාමි පුරුෂයා තමන්ගේ දෙමව්පියන් බැහැ දකින්න ගිය අවස්ථාවක ඇයව හමුවන ලෙස ඉල්ලා සිටියාය. එදින ඇති තරම් කාලය අප වෙනුවෙන් අපිට ඉතිරි වී ඇති බව අප දැන සිටියෙමු. මා තුළ වූ ඇයට ආදරය කරන්නාට රිසි වූ දෙයක් ඈ සමග කිරීමට එළඹුනු තහනම් අවසරයක් එදිනට යෙදී තිබිණ. එදින අපි බස් නැවතුම්පලකදී හමුවුයෙමු. මා තුළ වූ ආදරය කරන්නා ඇය වෙත සමීප වනවිට මා තුළ තව යමෙකු දුටූවේ තමන්ගේ පුරුෂයා රවටා පැමිණි රාගික ආශාවෙන් වෙලුණු ගැහැණියක් ඇගේ දෑස තුළ සිටින බවය. වෙනදා නොවුණු තැති ගැන්මක් සහ ආශාවන්ගෙන් කුපිත වුණු කිසිවෙක් ඈ තුළට පිවිසී ඇති බව ඔහු වහා හඳුනාගෙන ඒ මොහොතෙහි පියවි ලෙස උන් මට සැල කර සිටියේය. ඒත් ඈ තුළ උන් ඒ රාගී ගැහැණිය හමුවීමටම මා තුළ වූ ආදරවන්තයා පැමිණි බව මා පිළි ගැනීමට කැමැති වුයේ නැත. එවේලෙහි පියවි ලෙස උන් මම නැමැත්තා රිසි වූයේ එසේ නොවන වෙනදා දකින ඇයවම පිළිගැනීමටය. කෙසේ වෙතත් පියවි ලෙස පෙනී සිටි මට ඇයව පෙණුනේ මගේ ආත්මය කිළිටි කිරීමට සැරසෙන පාපී ආත්මයක් ලෙසිනි. ඒත් අද හමුවී තිබෙන්නේ වෙනදා උන් මා හෝ ඇය නොවන වෙනත් දෙදෙනෙක් බව මට පසක් විය. මා බිය වීමි. වෙනත් අවශ්‍යතාවයක් පවසා මොහෙතකින් ඇය මග හැර වගකීමෙන් තොර මා පළා ගියෙමි.
ඇය එදින මට අසීමිතව වෛර කළේය. ඇය මට කියා එවා තිබුණේ
ඔයාට පුඵවන් කන්නයි, නිදා ගන්නයි විතරයි. අද වෙනුවෙන් මම එයාට කොයිතරම් බොරු කිව්වද? ඒත් වැඩක් නෑ කියල.
ඇයට මා කතා කළත් ඇය තුළ වූ වෛරය මට කතා නොකළේය. ඒ වන විට මා තුළ වූ ආදරවන්තයා අවස්ථාව අපතේ හැරීමේ මෝඩකම ගැන කම්පා වෙමින් සිටියේය.
මා කරන කිසිවකට මටම සාක්ෂි දැරිය නොහැකිය.
වැඩසටහන්ගත කිසිවක් ජීවිතය තුළ ජීව ගුණයෙන් මා සිදු කරන්නේ කෙළෙසද මා කිසිදා එකෙකු නොවනා විට. එසේ කරන්නේනම් ඒ ජීවී ගුණයෙන් යුත් මා නොවන යාන්ත්‍රික කිසිවෙක් විය හැක.
කෙසේ වෙතත් එදිනෙන් පසු මට වෛර කළ ඇයගේ වෛරී ගුණය සතු වූ ස්ත්‍රීත්වයටත් මා තුළම ආදරය කරන කිසිවෙකු ජීවත් විය.
මා තුළ වූ විමසන්නෙකු පවසා සිටියේ කායික බැඳීම තව තවත් ඇයගේ ඊර්ෂ්‍යාව බලවත් කරන්නට ඉඩ තිබුණු බවය. ඒ කිසිදා ඇයට මාව හිමි කරගැන්මට නොහැකි ලෙස මා ඇයට අහිමි වන බව ඇගේ සිත දන්නා බව සහ එනිසා මගේ මග හැරීම සැලකිය යුත්තේ ආදරය සතු වගකීමක් ලෙස බවය. මා එය පිළිගත්තෙමි.
ඒත් ඒ මමමද?

Friday 20 May 2011

මරණයේ ඇති විමුක්තිය



අපි සියල්ලන්ම ඉක්මණින්ම වෙන්වී යාමට නියමිතය. මරණය විසින් සියල්ලම අහෝසි වීමක් සිදු වෙතැයි මා නොසිතමි. සයිබර් අවකාශයට ආගමනයෙන් පසු දෙවැන්නාද අප අතරින් මරණය යැයි හඳුන්වන සමුගැනීමක් තුළට නික්ම ගොසිනි. මීට පෙර තම තම ණැන පමණින් බ්ලොග් අඩවිය ලියූ සහෘදයාගේ නික්මීම සිදුවිණ.

ඊයේ තවත් සහෝදර බ්ලොග්කරුවෙකු ලියා තිබුණේ මරණය කියන සිදුවීම තමන් තුළ මහ කම්පනයක් ඇති නොකරන්නක් බවට පත් වී ඇති බවයි. එය තමාගේ කාළකණ්නි කමද යන්න නොදන්නා බව ඔහු පවසා තිබුණි. එය කියවීමෙන් පසු මටද හැඟී ගියේ මරණය යන්න මා තුළද එතරම් විසල් කම්පනයක් ඇති නොකරන බවයි.
ජීවිතයේ වටිනාකම නැතිවූ කලෙකට අපි පැමිණ සිටින්නෙමු. දශක ගණනාවක් පුරා අපි දකිමින් සිටියේ ම්ලේච්ඡත්වයේ සිහිනයන්ය. ඒ සිහින තුළ දිනපතා කුරිරු මරණ පිළිබඳ පුවත් සවනත වැකිණ. එය මිනිසුන්ගේ සිත්වල කම්පනයකින් ඇරඹී අවසානයේ සාමාන්‍යයක් බවට පත් වන තරම් සුඵ දෙයක් බවට පත්විය. තමන්ගේම සහෘදයෙකු මිය යද්දී පමණක් හැඟීමක් ඇති වන තරමට මිනිස් සංවේදීතාවය මොට බවට මේ භූමිය තුළ පත්වනු අප අත්දැක්කෙමු.
ඒ කිසිවක් අපගේ අවශ්‍යතාවයන් නොවූ අතර දේශපාල‍නයේ අවශ්‍යතාවයන් පමණක් විය. මිනිසුන් භේද බින්න කර තබන තරමට දේශපාලනයට පැවැත්මක් තහවුරු කරන අතර බීජ වැපිරූවන් ආරක්ෂා වී ලට්ට ලොට්ට බිල්ලට දීම දේශපාලනයේ ස්වභාවය විය. නමුත් වපුරන්නන් මත යැපෙන මිනිස්සු භේද බින්න වූ අලුගෝසුවන්ට සේවය කර මිය යන තත්වයට පත් වූ තැනක ජීවිතය කියන්නේ පුංචි දෙයකි. ලට්ට ලොට්ට බිල්ලට පිදෙන විට ඔවුන්ගේ ජීවිත ලට්ට ලොට්ටම පමණි. දුක්විය යුතු මහ ජීවිත ලබා සිටින්නේ ලට්ට ලොට්ට බිල්ලට දී ආරක්ෂා වන පරපුර පමණකි. ඒත් ඒ වියපත් අසංවේදී බව අද එදිනෙදා සමාජ ජීවිතය තුළද තමන්ගේ හසල රංගනය ඉදිරිපත් කරන්නේ මනුෂ්‍යත්වයේ වටිනාකම තුට්ටු දෙකට වැටුණු ගාණනටය. රටෙහි එදිනෙදා සමාජ ජීවිතයේ පවා අද ජීවිතයේ වටිනාකම හෑල්ලුවට ලක්වී ඇති අයුරු දිනපතා ඇසෙන පුවත් වලින්ම පෙනී යයි.

ඉතින් ජීවිතයට වටිනාකමක් නැති තැනක ජීවිතයක් නැති වීම විශාල කම්පනයක් ඇති නොකරන බව මා තුළම මට හැඟී යයි.
ගෙවා ආ ජීවිත ගමනේ අත්දැකීම් තුළ සාපේක්ෂ ජිවිතය තුළ අපි කොතරම් කුඩා ප්‍රාණීන්ද යන්න සිතට නැගුණු අවස්ථා අපමණය. දුක් ගැහැට, දුෂ්කරතා අපමණව ඉදිරිපත් වන විට මේ රැක ගන්නට වෙර දරන ජීවිතයේ අර්ථය කුමක්ද යන්න නොසිතුණා නොවේ. ජීවිතය දුකක් යන්න විවිධ දර්ශණයන් හරහා ලබන දැනුම, උගත්කම තුළින් අත්විඳ නැතත් එදිනෙදා ජීවිතය රැක ගැනීමේ අරගලය තුළ ජීවත් වීමට වඩා මියයාම සැපතක් බව සිතට නැගුණු අවස්ථා අපමණය. අපමණ විෂමතා තුළ අනෙකුන්ගේ අතපල්ලෙන් බේරෙන ඉඳුල් ගාණට බොහෝ ජිවිත පත්වන හැටි පුද්ගලික අත්දැකීමෙන්ම අවබෝධ වන විට මනුෂ්‍යත්වයට වඩා වැඩකට නැති කුණු කන්දල් පිරිණු හිස්‍ගෙඩි වලට වටිනාකම ආරෝපණය වී ඇති බව පෙනී ගියේය. එබැවින් මා කිසිදා මේ ජීවිතය නොපැසසුවෙමි. අධ්‍යාත්මය මියදී පණ අදින මිනිස් ගහණයක් තුළ මරණය සාපේක්ෂ විමුක්තියක් ලෙස මම තවමත් අදහමි.
උන්නතිකාමී ආත්මාර්ථයෙන් විතැන් වූ අපේක්ෂා මුදුන් පත් කිරීමට උත්සාහ කරන කිසිදු සමාජගත ව්‍යුහයක් මෙතෙක් හමු නොවිණ. අධ්‍යාපනය, ආගම, දේශපාලනය වැනි ව්‍යුහයන් සම්පූර්ණයෙන්ම උන්නතිකාමී අපේක්ෂාවන්ට යටවී ඇති සන්දර්භයක් තුළ මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටින වෙනත් සමාජ ව්‍යුහයක් සොයා ගන්නේ කෙලෙසද? ඒවායේ පදනම මනුෂ්‍යත්වය මූලික කොට ගැනීම දක්වා ආපසු ගමනක නොයන්නේ නම් අනාගතයේ සමාජ හදවත මීටත් වඩා අසංවේදී කිසිවක් බවට පත් වන බව නොඅනුමානය.
ඇත්තෙන්ම අප වැන්නන්ට මරණය තාවකාලික විමුක්තියක් ලෙස දැනෙන හැඟීමෙන් මා මිදෙන්නේ ‍කෙලෙසද? ඒ හැඟීම තුළ කිසිවෙකුගේ මරණය පුද්ගලිකව අධික පාඩුවක්, අහිමි කිරීමක් ඇති නොකරන්නේනම් මා තුළද උපේක්ෂා සහගත, දැඩි කම්පනයක් නැති මානසික තත්වයක් ඇති කරයි. සාමාන්‍ය සසල වීමක් පමණක් මොහොතකට ඇති වී පැවතී නැතිවී යයි. එය කාළකණ්නිකමද? නැතිනම් පීඩිත බවේ අත්දැකීම් විසින් ඇති කරන ලද අසංවේදී බවද? නැත්නම් සුඵතරයක සැපත වෙනුවෙන් ලට්ට ලොට්ට ගාණට බහුතරය පත්වීම තුළ පුද්ගලිකව අත්විඳින්නට සිදුවූ අත්දැකීම් වල අවසාන ඵලයද? මට මා තුළම පිළිතුරු කිසිවක් නැත. මරණය අලුත් අත්දැකීමක් ගෙන එනු ඇතැයි මා සිතමින් හිඳිමි.

හෙට මාද මිය යනු ඇත. ඒ අලුත් අත්දැකීම බොහෝ කලෙක සිට මා ප්‍රිය කරමින් හිඳිමි. එතෙක් එළඹෙන කාලය මා රිසි වූ දේ වෙනුවෙන් උපරිමව යොදා ගැනීමේ අරගලයක මා කවදත් නිරත වෙමින් සිටිමි. පුද්ගලිකව මේ අවකාශයේ මා හඳුනන්නේ එකම එක් අයෙක් පමණකි. කාලය කෙරෙහි පවතින මගේ ගිජු බව නිසාම පුද්ගලිකත්වය රැක ගැන්මට මා සැම විටම ප්‍රවේශම් සහගත වීමි.
අලුත් අත්දැකීමක් සමග නොදන්නා ලොවක් වෙත නැවතත් මේ මොහොතේ සමුගෙන සිටින දිඵම් සොයුරාද නැවතත් හමුවීමේ අවකාශ පවතිනු ඇතැයි මා සිතමි. ඉතින් මේ සමුගැනීම තුළ හමුවීමේ බීජද තැන්පත් වී පවතියි. ඔබේ මරණය යැයි කියන දේ මා තුළ ඇති කරන හැඟීම වචන බවට පත්කිරීමට නොහැකිය. කෙසේ වුවත් ජීවත් වූ ඔබට මෙන්ම මියගිය ඔබටත් විශාල වටිනාකමක් අත්කර දුන් ආගන්තුක සහෘද කැලගේ ආත්මයන්ට ප්‍රශංසා කල යුතුමය. ඒ නිවෙමින් පැවති යමක් ඔවුන් දල්වා සිටින්න හදවතින් දැරූ පරිශ්‍රමයම අලුත් සිහිනයක් මා තුළද දල්වා ඇති බැවිනි.

Sunday 15 May 2011

හිම සහ ලෝදිය


ජීවිතේ මහමග යනෙන කල
සංසාරගත පෙර බැඳුම්
නැවත හමුවී සිත බැඳෙන විට
කෙලෙස මා ඔබ ළඟම ඉන්නද
ශරීරෙන් මිස මුඵ සිතින්නම්..

එහෙත් මගෙ යටි සිත‍ නොදන්නා
ඔබ හිඳියි මා ළඟම ළතැවී
ඔබේ යටි සිත නොදන්නා
මා හිඳියි ඔබ ළඟම නැවතී..

මතුපිටින් හිම වැටුණු සීතල
ඇතුළතින් ලාවා බුබුලුලන
අපි තවත් ගිනි කඳු දෙකක්මය
එකිනෙකා ගැන කිසිත් නොමදත්..


Monday 9 May 2011

ආදරණීය ඉස්කෝ‍ලේ සවන් දෙනු මැන..




ඔබ හැදූ
රජවරුන්, වියතුන්
උන් රැකෙන්නට
සාරය උරාගෙන
විසිකල කුණුගොඩට
උක්දඞු හපය අප..

ඔබ නොහැදූ
තක්කඩින් නරුමයන්
සේවය කරයි
උක්දඞු කපන්නට..

ඉදින් දැන්වත්
යකඩ හදවත් ඇති
රජවරුන්, වියතුන් වෙනුවට
හදවත් පණ ගැහෙන
මිනිසුන් තනනු මැන..

ඒ මිනිසුන්
රජ නොවුණාට කම් නැත
උගතුන් නොවුණාට කම් නැත
හදවත් ගැහෙන රාවය
ඇසෙයිනම්
සක්වල එතෙරට

අපි තවත්
උක්දඞු නොවෙමු
සොයුරු වැසියෝ මිස..



Saturday 7 May 2011

යා යුතුය දිගු ගමන්...



බයිසිකලය එක තැන තිබේ
නොමැත සමබර නැගී ඉන්නට
බයිසිකලය ගමනේය
නැගී යා හැක සමබරව..

මේ නිවස, මේ කුටිය තුළ
ජීවිතේ මම එකතැනය
සමබරද ජීවිතය
රැඳෙන කල එක තැනම..

Sunday 1 May 2011

ඔක්කොටම මුල..?


                                         දිනූ හැම දේමත්
                                         පැරදුණු සියල්ලත්
                                         උගත් හැම දේමත්
                                         පෙම් බැඳුම් ඔක්කොමත්
                                         දරුවන් හැදීමත්
                                         ගේදොර තැනීමත්
                                         අයිතිකරගත් සියල්ලත් 
                                         සතුට වුණු හැමදේත්
                                         දුකින් පිරවුණු සියල්ලත් .. ?

                                       
                                         කාලයේ හිඩැස් පුරවන්න
                                         දවස පුරා
                                         ජීවිතේ පුරා
                                         කරන ලද දේම බව
                                         වැටහී අද හිතම
                                         කුසීතව ඔත්පලව..?