Wednesday 29 June 2011

2012 නැත්නම්..



විනාශ වෙද්දෙන්
වැඩිදෙනා දුක් විඳින
වැඩකට නැති
අසමබර
කාළකණ්නි ලෝකය
අදම  හරි..

Sunday 26 June 2011

ඇය සමග දහවලක්..





මේ වැඩේ තේරුමක් තියෙනවද? ඇය විමසයි.
මොන වැඩේද මම අසමි.
මේ විදියට තවත් අපි හමුවෙන එ‍කේ
මොකටද තේරුමක් හොයන්නෙ. අපි හමුවෙනව. ඒකෙන් සතුටක් ලැබෙනවනම් තේරුමක් මොකටද?
ඒත් මොකක් හරි අවසානයක් තියෙන්නෙ ඕනි
හැම දෙයක්ම අවසානයක් වෙන දවසක් එයි
ඇය නිහඞ වෙයි.

මමද නිහඞ වෙමි. මම ඇගේ මුහුණ බලමි. එය බිමට නැඹුරුවූ අසීමිත කල්පනාවකය. ඒ දෑස් තුළ සම්මත අවසානයක ආශාවත්, බලාපොරොත්තුවත් මට දිස්වේ.

ලෝකය යෝජනා කරල තියෙන එකම විදියෙ අවසානයක් අපි අතර ඇති නොවෙන්නත් පුඵවන්. ඒත් ඒකත් අවසානයක් තමයි. ඒත් ඒ අවසානය අසම්පූර්ණ අවසානයක් විදියට හැමදාම ඔයාට කතා කරයි. ඒ ඇයි? මම කියන්න දන්නෙ නෑ. සමහර විට හැමෝම එකම විදියෙ අවසානයක් වෙනුවෙන් ඉපදිලා නැතුව ඇති මම මුමුණමි.

ඔයාටනම් පිස්සු. විකාර කතා කරන්නෙ ඇයි? ඔයාට ඕනි වෙන් වෙන්නද හැමදාම එකට ඉන්නද? අපිට සෙල්ලම් කරන්න කාලයක් නෑ. කරන දේකට තේරුමක් තියෙන්න ඕනි.

මම කල්පනා කරමි. ජීවිතය ඇත්තෙන්ම දෙවියන් කල විහිඵවක්ද? මේ ඔඵවක්, කඳක්, අතපය තියෙන ශරීරයකට හිතක් ඇතුල් කර දෙවියන් විහිඵ කරන්නේද? ඒ විහිඵව ඇත්තක් ලෙස ගෙන අපි ඒ හිතෙන් හැමදේකම තේරුම සොයා යන්නේද? කිසිවකට මා තුළම මට පිළිතුරු නැත. විහිඵ දෙකක් එකතු වී විකාරයක් නිර්මාණය වුණොත් අපි විකෘතියක් නොවෙමුද?. මගේ සිතුවිලි මා ඇගෙන් වසන් කර ගනිමි. මනුෂ්‍යත්වය එසේ ලොව තුළ විකෘතියක් වී ඇතැයි මම සිතමි.
ඇය මා වෙනුවෙන් බලා හිඳියි. ඒ කුමක් සඳහාද යත් ජීවිතයට තේරුමක් එක් කරලන්නටය. හෙට දවසක් නිර්මාණය කරන්නටය. සංස්කෘතික මිනිසාගේ සම්මතය වුණු විවාහයක්, පවුලක් වෙනුවෙන් ඇය බලා හිඳින්නීය.

ඇය සංස්කෘතික මිනිසුන්ගේ ඇසුරින් තොරව හුදෙකලාව හැදී වැඩුණු ආත්මයක් වීනම් මා වඩාත් ප්‍රිය කරන්නට තිබිණි. එසේනම් කිසිවකට ඇයට කළින් සකස් කල පිළිතුරු, ආරම්භයක්, අවසානයක්, සම්මතයක් නොතිබේ. ඒ දත්ත ඈ තුළට ඇතුළත් වී නැති බැවින් ආදරය ළඟදී ඇය නැවුම් වන්නට තිබිණි. ඇයට ආදරය සමග කල යුත්තේ කුමක්දැයි නොහැ‍‍ඟෙන තරම් පිවිතුරු ආත්මයක් තිබුණේනම් හැම මොහොතකම සිදුවීම් ඉදිරි‍යේ විශ්මයෙන් ඈ පිබිදෙන අයුරු මම මවා ගනිමි. ඒත් සංස්කෘතික මිනිස්කම විසින් ඇය විනාශ කර අවසානය. ඇගේ මනස් ලෝකය නිරුවත් කර දූෂණය කර අවසානය.
ඇය මගේ පිටට තට්ටු කරයි. මා පියවි ලොවට පැමිණෙමි.

මොනාද ඔයා අහස පොළොව ගැටලන්න වගේ හිතන්නෙ. මම දන්නව ඔයාට තියෙන ප්‍රශ්ණ. වගකීම්. ජීවිතයක් පටන් ගන්න වෙහෙසෙන්න ඕනි. මොකුත්ම නැති ඔයාට අඵතෙන් ජීවිතයක් පටන් ගන්න අමාරු බව මට තේරෙනව. දුක් වෙන්න එපා. මේක අපේ ලැබීම වෙන්න ඇති. ඇය සෙමෙන් මුමුණයි.

මේ ‍‍ලෝකෙ මහ විකෘතියක් මම හෙමින් පවසමි. කොහොම වුණත් ඒ විකෘතියේ මම ‍ගොදුරක් වෙලා ඉන්නවනම් ඔයත් ඒ ගොදුරේ කොටසක් වෙන්න ඕනි නෑ. සමහර විට මම ඉපදිලා ඉන්නෙ ඔයා හිතන විදියෙ ගමනකට නොවෙන්නත් පුඵවන්. ඉතින් මට‍ තේරුමක්, අවසානයක් නිර්මාණය කරන්න අමාරුයි.

ඒ සියල්ල මූල්‍යමය වටිනාකමක් සඳහන් කල කඩදාසි කොළ අතර දෝලනය වන දේවල් පමණක් යැයි මම සිතමි. ඒවාට හුවමාරු වන ද්‍රව්‍යමය දේවල් සමග තේරුම සහ අවසානය ලියවී තිබේද? මම නොදන්නෙමි.
එසේ නොවන කිසිවක් තේරුමක් හෝ අවසානයක් ගැන නොසිතාම සිදුවෙමින් පවතියි.
ඉර නැගෙයි. බැසයයි. ඒත් ඒ නැගීමත් බැසීමත් අතර තේරුමක් හෝ අවසානයක් ගැන ඉර සිතන්නේද? ගහකොළ ඇතිවෙයි. අව්වට වේලෙයි. වැස්සට තෙමෙයි. ගිම්හානයේ මැළවී යයි. වසන්තයේ මල් පුබුදු කරයි. ඵල දරයි. ඒත් ගහකොළ තේරුමක් හෝ අවසානයක් ගැන සිතන්නේද? නැත ඔවුන් නිකම්ම සිදුවීම භාර ගනියි. සිදුවීම් තුළ ජීවත් වෙයි. ඒත් අපි සිදුවීම් තුළ ජීවත් නොවී බලාපොරොත්තු තුළ ජීවත් වෙයි. දෙවියන්ගේ විහිඵව මනරම්ය.

අපි දෙන්නම නිකම්ම විහිඵ දෙකක් විතරයි මම ඇගේ මුහුණට එබෙමින් පවසමි.
ඇය සිය ඇස් විශාල කර මා දෙස බලයි.
ඔයාට පිස්සු හැදීගෙන එනවද?
මම සිනහ වෙමි.
ඇයි ඔයා හිනාවෙන්නෙ
විහිඵවක් කියන්නෙ සම්පූර්ණ හිනාවක් විතරයි
ඇය අමනාපෙන් අහක බලා ගනියි.

තේරුමක් අවසානයක් ගෙන එන මුද්‍රිත කොළ වල ආශ්චර්යය උපතින්ම හෝ පසුව ‍හෝ මා වෙත පැමිණ තිබුණේනම් මාත් හැමදාම තේරුමක් ඇති දේ කරන්නට තිබුණි. සුපසන් අවසානයක් ඇති දේ පමණක් අරඹන්නට තිබිණි. අරමුණක් හිත දරාගෙන කිසිවක් සොයා යන ගමනක නිරත වෙන්නට ඉඩ තිබිණි. මම කියන විහිඵව විහිඵ දහසක් බවට පරිවර්තනය වෙන්නට තිබුණි. ඒ විහිඵ වලට දෙවියන් බක බක ගා සිනාසෙන්නට බොහෝසේ ඉඩ තිබුණි.

විකාර කියන එක නතර කරල විකාර හිතනවද ඒ පාර ඇය මන්දස්මිතයක් සහිතව විමසයි.
මමද සිනහ වෙමි.
තේරුමක් නැති, අර්ථ විරහිත අතීත මූර්ති සහ චිත්‍ර සහිත විනාශ වුණු ශිෂ්ඨාචාරයක නටබුන් අතර මම මනසින් සංචාරය කරමි. එහි සෑම මූර්තියක් මෙන්ම චිත්‍රයක්ම සම්පූර්ණයෙන්ම විකාරරූපීය. ඒ චිත්‍ර පිකාසෝගෝ ඇතැම් චිත්‍රවගේ යැයි මට සිතේ. තවත් සංචාරකයන් කිහිප දෙනෙක් මා සමග නැරැඹීමේ යෙදි සිටියි. ඔවුන්ට ඒ චිත්‍ර හෝ මූර්ති තුළින් කිසිම සම්මත පිළිතුරක් ලැබී නැති බව ඔවුන්ගේ වෙහෙසකර සහ අතෘප්තිමත් මුහුණු කියාපායි. ඔවුන්ගේ ඒ අතෘප්තකර බවත් මානසික විඩාවත් දකින මා සිත සතුටින් පිනා යයි. එහි පවතින කිසිවක් මිනිසුන් දන්නා චර්යාවන් පිළිබිඹු නොකිරීම පිළිබඳව මම ඒ නටබුන් ශිෂ්ඨාචාරයට හදවතින් ස්තූති කරමි. තේරුමක් සොයමින් වෙහෙසෙන ඒත් අවසානයේ ඒ බලාපොරොත්තු කඩවන සංචාරකයින් සමග මම ප්‍රීතියෙන් සිනාසෙමි.

මොකද වෙලා තියෙන්නෙ. තනියෙන් හිනාවෙන්නෙ පිස්සුව වැඩි වෙලාද? ඇය විමසයි. මම නැවතත් පියවි ලෝකයේය.

මට විහිඵවක් මතක් වුණා මම පවසමි. 


Friday 24 June 2011

ආදරයේ ඇතුල් පැත්ත...





මවක් හෝ පියෙක්
ආදරෙන් බලයි නම්
එතුළ සැඟවී තිබේ
පරිත්‍යාගය අනත්..


සොහොයුරෙක් සොයුරියක්
ආදරෙන් බලයි නම්
එතුළ සැඟවී තිබේ
මගේ යැයි හැඟීමක්..


යහඵවෙක් යෙහෙළියක්
ආදරෙන් බලයි නම්
එතුළ සැඟවී තිබේ
බෙදාගැන්මේ සිතක්..


දේශපාලක සතෙක්
ආදරෙයි කියයි නම්
එතුළ සැඟවී තිබේ
සටකපට කැත හිතක්..

Monday 20 June 2011

සතා මරණ විදිය නොදැක මස් රාත්තල ඉල්ලන්නේද?





මා මිතුරෙකුගේ මාර්ගයෙන් කොට්ටාව ප්‍රදේශයේ සුඵ ව්‍යාපාරයක සහයකයෙකු ලෙස සම්බන්ධ වීමෙන් පසු නවාතැන් ගත්තේ සිරිනිමල් අයියාගේ නිවසේ පිටතින් පිහිටි කාමරයේය. තවම කපාරාරු නොකල, ජනෙල් වෙනුවට ඉටිරෙදි ගැසූ එම කාමරය මගේ වත්කමේ හැටියට මා සමගම එකට වැඩ කල සුවිමල් සමග හවුලේ බෙදා ගැනීමට සිදුවිය.

සිරිනිමල් අයියා රජයේ සුඵ සේවකයෙක් ලෙස සේවය කරන්නෙක් වන අතර ලැබෙන සොච්චමෙන් පණ ගැටගසා ගැනීම අමාරු නිසාදෝ පහසුකම් නැති මෙම කාමරය සුඵ මුදලකට හෝ අපට කුළියට දී තිබිණ. දරුවන් තිදෙනෙක් සහිත පුංචි නිවසේ ඉඩපාඩු මදි වුණත් ඔහු මෙන්ම අපිත් ඒ අපහසුකම් විඳ දරාගැන්මට පුරුදු වී සිටියෙමු.
‍සිරිනිමල් අයියාගේ නිවසට යාබද නිවසේ විසුවේ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් බව අප දැන ගත්තේ මෑතකදීය. නිවෙස් දෙක වෙන්කරමින් විශාල තාප්පයක් බැඳ තිබූ අතර සිරිනිමල් අයියාගේ වත්තේ වූ එකම තාප්පය එය වූ අතර අනෙක් තුන් පැත්තට තාප්ප නොතිබුණි. මෙම අසල්වැසියා රණබාහු මහත්තයා ලෙස සිරිනිමල් අයියා හැදින්වූවත් අපට කිසිදා ඔහු මුහුණට මුහුණ හමු වී නැති බැවින් මෙතෙක් අපි ඔහුව දැක නොතිබිණ. විටෙක ඇරෙන ගේට්ටුවෙන් කාරයෙන් පිටවී යන, නැතිනම් වේගයෙන්ම පැමිණ කාරයෙන්ම ගේට්ටුවෙන් ඇතුළට යන ඔහු හෝ ඔහුගේ බිරිඳ හෝ දරුවන් හරිහැටි දැක බලා ගන්නට අපිට අවස්ථාවක් නොලැබුණු අතර එවැනි අවශ්‍යතාවයක්ද අපිට නොවිණ.
සිද්ධිය වූයේ ඉරිදා දිනයක් වූ මේ ඊයේය.

හවස් අතේ ගේ ඇතුළේ හරි හමන් ඉඩපාඩුවක් හෝ වාතාශ්‍රයක් නැති බැවින් සිරිනිමල් අයියත් එක්ක එළිමහනේ කතාවක් දාගෙන සිටි අපි දුටුවේ ගේට්ටුව සමීපයේ වාහනයක් නතර කර නලාව හඞවන අයුරුයි. සිරිනිමල් අයියා දිව ගියේ මොකද මේ රණබාහු මහත්තයා කවදාවත් නැතිව කියමිනි.
වාහනයේ සිටම සිරිනිමල් අයියා සමග කිසිවක් කතා කල රණබාහු මහතා අප දෙදෙනා දෙසද බලා සිනහවක් නගා කාරය හෙමින් තම නිවසේ ගේට්ටුව වෙත පදවා ගෙන ගියේය.
ආපසු පැමිණි සිරිනිමල් අයියා පැවසුවේ රණබාහු මහත්තයා අපි තුන්දෙනාට ටිකක් කතා කරන්න එන්න කියන බවයි. ඇත්තෙන්ම පුංචි නින්දක් දාන්න මට අවශ්‍ය වුණත් සුවිමල්ගේ පෙරැත්තය නිසා පැය භාගයකින් පමණ අපි හෙමින් සැරේ රණබාහු මහතාගේ ගේට්ටුව දෙසට කිට්ටු කළෙමු.

පළමු වරට ඒ ගේට්ටුව විවර වී තිබෙනු දුටු මට පෙනුණේ වාහන නතර කරන ගරාජය අසල සිමෙන්තියෙන් තැනූ බංකු දෙකකින් එකක රණබාහු මහතා වාඩි වී සිටින අයුරුයි. අපි දුටු විගස රණබාහු මහතා සිනහමුසු මුහුණින් ආ එන්න එන්න කියමින් අපිව ඇතුළට කැඳවා ගේට්ටුව වසා දමා සිමෙන්ති බංකු මත අසුන් ගන්නා ලෙස අපිටත් ආරාධනා කළේය. ඒ වන විට අඳුර වැටෙමින් තිබිණ.

මොකද සර් කවදාවත් නැතිව මේ අපිට එන්නයි කියල කතා කළේ සිරිනිමල් අයියා හඞ අවදි කළේය. ඒ එක්කම නැගිට ගරාජය දෙසට ගිය රණබාහු මහතා මත්පැන් බෝතලයක් රැගෙන ආවෙ තමන්ගේ නිවස දෙසට හොර බැල්මක්  හෙලමිනි. එවරනම් සිරිනිමල් අයියාගේ මුහුණ හඳ පෑයූ ලෙස එළිය වැටෙනු මම බලා සිටියෙමි.

හරි ටිකක් ගන්නකො සිරිනිමල්. මල්ලිල ටිකක් පාවිච්චි කරනව නේද කියමින් ඔහු ගෙනා වීදුරුව සිරිනිමල් අයියාගේ අතට දුන්නේය. සිරිනිමල් කතාවක් නැතිව කටකපා වීදුරුවක් බඩට යවා ගත්තේ මැරෙන්න පණ අදින එකෙකුගේ මුවට වතුර උගුරක් වැටුණු සේ සැනසීමක් ලබමිනි.

මේකනෙ මල්ලිල, මේ දවස් වල ටිකක් විශ්ව විද්‍යාල වල ප්‍රශ්ණ. රටේ බුද්ධිමත් කොටස වන විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයට මේ ආණ්ඩුව බොරු කරල තියෙන්නෙ පඩි වැඩි කරනව කියල. දැන් අවුරුදු තුනක් විතර වෙනව පොරොන්දු දීලත්. ඒක ඉතාම අසාධාරණයි අපි මේ ගැන ජනතාව දැනුවත් කිරීමේ රැස්වීම් පවත්වමින් යනව. අපේ ඒ රැස්වීම් වලට ඔයගොල්ලන්ගෙ සහය අවශ්‍යයි
ඒ කිව්වෙ සර්, පෝස්ටර් අලවන්නද? අපි දෙන්නම් ගේම එසේ කියමින් සිරිනිමල් අයියා දෙවැනි වීදුරුව දාගත්තේ සුවිමල්ගේ පළවෙනි වීදුරුවට පසුවයි.
ඒත් සිරිනිමල් අයියාට උත්තර ලැබීමට පෙර සුවිමල් පළමු වීදුරුවෙන්ම ඉහමොළ රත්වෙලා වගේ කතාවට පැන්නේ,

ඉතින් ආණ්ඩුව බොරු කිව්වෙ ඔබ තුමන්ලට විතරක් නෙවෙයිනෙ. පඩි වැඩි කරනව කියල හැම ර‍ජයේ සේවකයෙක්ම රැවට්ටුවනෙ

හරි හරි ඒකත් ඇත්ත. ඒ වුණාට මේක ඊටත් කළින් දීපු පොරොන්දුවක්. දැන් බලන්න ඒ කාලෙ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙ වැටුපට සමාන වැටුපක් ලබා ගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රීව‍රු, මහ බැංකු නිළධාරී වගේ අය අද විශාල වැටුපක් ලබනව. ඒත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට එහෙම වැඩිවෙලා නෑ. ඒක අසාධාරණයි

සිරිනිමල් නැවතත් කටහඞ අවදි කළේය.
අන්න හරි සර්, ඔය යක්කු අසාධාරණ විදියට වැඩි කරගත්ත පඩි නිසා අපි කාට කාටත් වැලේ වැල් නැති වුණා. නියමයි සර්. සර්ල අපි එකතු වෙලා කියමු උන්ගෙ පඩිත් අඩු කරන්න කියල. එතකොට අපිටත් පාන් ගෙඩිය හරි කීයක් හරි අඩුවෙයිනෙ. කාට කාටත් සහනයක් ලැබෙයි සිරිනිමල් අයියා ගම කන බව මට තේරුම් ගිය නමුත් කරන්න කිසිවක් නොවිණ.
රණබාහු මහතාගේ නළලට හීන් දාඩිය බිඳක් එක්වී තිබෙනු මා දුටුවෙමි.

නෑ නෑ ඒක ප්‍රායෝගිකව කරන්න අමාරුයිනෙ. දීපු පඩි අඩු කරන්න බෑ. ඒක නිසා අනෙක් අයගෙත් පඩි වැඩි කරන්න කියල තමයි අපි ඉල්ලන්න ඕනි

ඒකත් හොඳයි සර්. හරියට කාපු ඇඳපු කාලයක් මතක නෑ. පොඩි එවුන්ට හරියකට උගන්වගන්නවත් බැරිව ඉන්නෙ. ඉතින් සර්ලවත් මෙදා පාර පුංචි අපේ පඩියත් වැඩි කරන්න කියල ඉල්ලන එක ලොකු දෙයක්. මු නම් වෙරිමරගාතේ  හොඳටම නාගන්නා බව මට වැටහිණ.
කොයිකටත් රණබාහු මහතා අසරණ කල නොහැකි බැවින් වෙරි වී නොසිටි මම කටහඞ අවදි කළෙමි.
නෑ නෑ සිරිනිමල් අයියේ. මේක මෙතුමන්ලගෙ පඩි වැඩි කරන්න කියල කරන සටනක් විතරයි. එම්පීලගෙ, මහබැංකු නිළධාරීන්ගේ ගාණට

ප්‍රායෝගිකව එහෙම කරන්න බෑනම් මේ ලෝකෙ කිසිම රටක අදායම් බෙදී යන විෂමතාවයන් පාලනය කරන්න බැරි වෙනව. ඒත් අද වෙද්දි ගොඩක් ශිෂ්ඨසම්පන්න දියුණු රටවල අපේ රටේ වගේ විෂමතාවයන් නෑ. ඒත් ඒ රටවලත් නොදියුණු අශිෂ්ඨ ක්‍රමයන් තියෙද්දි විෂමතාවයන් තිබුණ. ඒත් ඒව නැති කලේ ප්‍රායෝගිකව කරන්න බෑ කියන සිතුවිල්ලට වඩා කරන්න පුඵවන් කියන මානුෂිකවාදී සිතුවිලි දරපු මිනිස්සු හිටපු නිසයි මේ කතා කරන්නෙ සුවිමල්ය. මූටත් දැන් හොඳපදම්ය.

එතකොට සර්. සර්ලගෙ පඩිය වැඩි කරන්න කියල කරන ඉල්ලීමක්නම් මහජනතාව දැනුවත් කරනවයි කිව්වේ මොකටද? ඒ සිරිනිමල්ය. සර්ලගෙ පඩියත් උන්ගෙ ගාණට උස්සල ඕනි කියල මහජනතාව දැනුවත් කරන්නෙ මොකටද? ඒකෙන් මහජනතාවට ලැබෙන්නෙ මොකක්ද?
එයට උත්තර දුන්නේ සුවිමල්ය.

ආ... ඒකට මහජනතාවට තව බදු ටිකක් හෙට අනිද්ද වැටෙයි. ඒ මදැයි ඒකට සහයෝගෙ ලබා ගන්න තමයි මේ දැනුවත් කිරීම් සිද්ධ කරන්නෙ
රණබාහු මහතා ටිකක් අසරණ වූ අයුරු පෙණින. ඒත් ඔහු නැවත කතා කරන්නට විය.

නෑ නෑ මින් ඉදිරියට අපි රටේ සිද්ධ වෙන අසාධාරණ වලට කතා කරනව. අපි මෙච්චර කල් කටවල් වහගෙන හිටපු නිසයි අපිට වඩා වැඩි වැටුප් අර අය ලබා ගත්තෙ. ඔයගොල්ලො නොදන්නව වුණත් දකුණු ආසියාවෙ අඩුම පඩි ගෙවන්නෙ ලංකාවේ විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන්ටයි
සුවිමල් කතා කරන්නට විය.

ඒ වගේම දකුණු ආසියාවෙ ඡන්ද වලදි අරයට කතිරෙ ගහන්න කියල පත්තරවල මැද පිටුවල අත්සන් ගහල මිනිස්සුන්ගෙන් ඉල්ලන, මාධ්‍ය ඉදිරියට ඇවිල්ල එයා පැරදුණොත් රට ඉවරයි කියල මිනිස්සුන්ට එයාම දිනවල දෙන්න කියල ඉල්ලන විශ්ව විද්‍යාල ආචාර්යවරු ඉන්නෙත් ලංකාවෙ විතරයිද කියල මට හිතෙනව. ඔබතුමන්ලට අවුරුදු තුනක් බොරු පොරොන්දු දුන්න ආණ්ඩු අවුරුදු හැට ගාණක් අපි වගේ මිනිස්සුන්ට දවස ගාණෙ බොරු පොරොන්දු දුන්න. රැවට්ටුව. එහෙම තියෙද්දිත් ඔබතුමන්ලම ඒ බොරුකාරයන්ම, රැවටිලිකාරයන්ම පත්කරන්න කියල අපෙන් ඉල්ලනව අර විදියට හැමදාම බොරුකාරයෝ කියල දැනදැනම. අපි වගේ නූගත් මිනිස්සු උගත් අය කියන දේ පිළිගන්න ඕනි නිසා ඔබතුමන්ලව විශ්වාස කරනව. ඉතින් ඒවට හිලව් වෙන්න පොරොන්දු වෙච්ච දේවල් දෙන්න පරක්කු වුණාම විතරක් ඔබතුමන්ල ආණ්ඩුවලට බොරුකාරයෝ කියනව. ස්ට්‍රයික් කරනව. රටේ අසාධාරණකම්වලට මීට පස්සෙ එරෙහි වෙනව කියනව. ඒත් අද ඔබතුමන්ලගෙ පඩිය වැඩි කරපු හැටිය හෙට ඉඳන් ඒ අසාධාරණකම් පෙනෙන්නෙ නැති වෙනව. ඉතින් ඔබතුමන්ල කටයුතු කරන්නෙ ජනතාවට ආදරයෙන්ද නැත්නම් තමන්ගෙ මල්ල පුරවගන්න ආශාවෙන්ද කියන එක හදවතට තට්ටු කරල අහන්න සර්. දකුණු ආසියාවෙ හරි අනෙක් රටවල හරි ඉන්න ඔබතුමන්ල වගේ අයත් එහෙමද කියල හොයල බලන්න. පඩිය විතරක් සංසන්දනය කරල බලන්න එපා සර්.
මේ දේශපාලනය කරන සුඵ කොටසක් ඉන්නව තමයි. ඒත් අපි ඔක්කොම ඒ ගොඩේ නෙවෙයි රණබාහු මහතා පවසයි.

සුවිමල් නැවතත් කතා කරන්නේ වෙරිමත ඔඵවටම ගසා විය යුතුයි.
ඒත් ඒ සුඵ කොටස ලොකු බලපෑමක් කරන්නෙ ඒ ඒ අවස්ථාවල සියඵම විද්වත් පාර්ශ්වය නියෝජනය කරන විදියටයි. ඔබතුමන්ල ඊට විරුද්ධ කෛරාටික දේශපාලනික නොවන මතයක ඉන්නවනම් ඒ අවස්ථාවලම ඔබතුමන්ලටත් පුඵවන්නෙ ඊළඟ දවසෙ පත්තරේ වැඩි දෙනෙක්ගෙ අත්සන් දාල අර සුඵ කොටසට අපි ඔක්කොම අයත් නෑ කියල කියන්න. නැත්නම් පුද්ගලික රූපවාහිනියක හරි පෙනී ඉඳල රාජ්‍ය මාධ්‍ය වල පෙනී ඉන්න කිහිප දෙනා දරන්නෙ තම තමන්ගෙ පුද්ගල ස්ථාවරය මිස සමස්ථ විශ්ව විද්‍යාල විද්වතුන්ගේ ස්ථාවරය නොවන බව පවසන්න. ඒත් ඔබතුමන්ල එහෙම කරන්නෙ නෑ අර සුඵ පිරිස ලෙස ඔමතුමා අදහස් කරන අය කඩේ යන්නෙ ඔබතුමන්ල ඔක්කොම වෙනුවෙන් බලයට පත්වෙන පාර්ශ්වයෙන් පොරොන්දුවක් අරන් කියන එක ඔබතුමන්ල දන්න නිසා. ඒත් ඔබතුමන්ල අතරම හුදෙකලා වූ එක්කෙනෙක් දෙන්නෙක් විරුද්ධ මත ඒ අවස්ථාවල කිව්වත් ඒවට සවන්‍ දෙන්න කවුරුත් නෑ ඒ හුදෙකලා බව නිසාම.

රණබාහු මහතා කතා කරන්න කිසිවක් සොයන බව මට හැඟී ගියේය.

සර් අසාධාරණය වෙනුවෙන් සර්ල දැන් කතා කරනව කිව්වනෙ. ඉතින් සර්ල මේ පඩිය ගැන විතරක් කතා කරන්නෙ ඇයි එහෙනම්. කොයිතරම් අසාධාරණකම් තියෙනවද? දැන් බලන්න සර්ගෙ ලොකු දරුවයි මගේ ලොකු එකයි එක වයසෙ. අපි අල්ලපු ගෙවල් වල. ඒත් සර්ගෙ පුතාව ............ ඉස්කෝලෙට ගත්ත. ඒ සර්රුත් ඒකෙ ඉ‍‍ඟෙනගත්ත නිසා. සර් ලොකු තැනක ඉන්න නිසා. සර්ට විසි කරන්න සල්ලි තියෙන නිසා. ඒත් මගේ කොල්ලව ඒ ඉස්කෝලෙට දාගන්න මම දාපු ඇප්ලිකේෂන් එකට ලකුණු කැපුවෙ පුදුම දේවල් වලට. වතුර බිලක් නැතිවට ලකුණු කැපුව. ලයිට් බිල්  නැතුවට ලකුණු කැපුව. දුර වැඩියි කියල ලකුණු කැපුව. ඉතින් ළි‍ෙඳන් වතුර බිව්වොත්, ලාම්පු පත්තු කළොත් දරුව යන්න ඕනි ළඟ තියෙන කුඩම්මගෙ සැලකිලි  ලබන ඉස්කෝලෙට. මගේ තාත්තත් ඉගෙන ගත්තෙ ඒකෙ. තාත්තත් කම්කරුවෙක්. ඒ නිසා මටත් යන්න වුණේ ඒකට. අද මමත් තාත්තගෙ ජොබ් එක කරනව. හෙට මගේ කොල්ල මගේ ජොබ් එකම කරන්න ඕනි කියන එකයි මේ ලොකු මහත්තුරු කියන්නෙ. සර්ලත් ඒ ඉස්කෝලෙ. සර් අද ලොක්කෙක්. සර්ගෙ තාත්තත් ඒ ඉස්කෝලෙ ඒ සර්රුත් ‍‍ලොක්කෙක්. සර්ගෙ ළමයි යන්නෙත් ඒ ඉස්කෝලෙ එයාලත් සර්ල වගේම ලොකු ලොක්කො වෙයි. අපි හැමදාම නරාවලේ. මේව තමයි සර් අසාධාරණ. වැරැද්දක් කළත් නොකලත් පොලීසියෙන් අල්ලන් යන්නෙ නඩු දාන්නෙ අතපය කඩන්නෙ අපි ව‍ගේ පොඩි එවුන්ගෙ. සර්ල වගේ අය දැක්කම පොලිස්කාරයෝ අහක බලා ගන්නව වැරැදි කළත්. සර් තැපල් කන්තෝරුවකට ගිහින් බලන්න වාහන දඩ ගෙවන්නෙ ත්‍රීවීල්කාරයෝ, බයිසිකල්කාරයෝ විතරයි. කවදාවත් වටින කාර් එකක ජිප් එකක යන කෙනෙක් වැරැදි කලත් පොලිසිය දඩ කොල ලියන්නෙ නෑ. බයයි. පස්සෙ වමාරන්න වෙයි කියල. උසාවියකට ගිහින් බලන්න දඩ ගහන තරමක් ගහන්නෙ පොඩි එකාටම තමයි. මොකද පොලිසිය උසාවි ගේන්නෙ එහෙම අයයි. ඉතින් සර් මේව තමයි අසාධාරණකම් ඒවට විරුද්ධව කතා කරන්න. ඊට පස්සෙ පඩි වැඩි කරන්න ඉල්ලුවනම් හරි සර්. එතකොට අපි ඔක්කොම සර්ල එක්ක ඉන්නවා සිරිනිමලයාට නහුතෙට වෙරි වී තිබිණ.

සුවිමල්ද සිරිනිමල්ගේම කපාපු පඵවක් වගේය.
ඒක හරි. සිරිනිමල් අයිය කිව්ව වගේ මේ නීති හදන, අරව හදන මේව හදන, නීති ක්‍රියාත්මක කරන, ප්‍රතිපත්ති හදන, රටේ ගණන් හිලව් හදන, අර සර් කිව්ව වගේ හොරකමින් අසාධාරණ විදියට පඩි වැඩි කරගෙන ඉන්න තැන් මෙහෙයවන ගොඩක් අය සර් විශ්ව විද්‍යාල වලින් බිහි වෙච්ච අය තමයි. ඒ අය ලොකු තනතුරු වල ඉඳන් හැමදාම රටේ විෂමතාවයන් වෙනුවෙන් වැඩ කලා. ඒ කියන්නෙ සර්ලගෙ ගෝල බාලයෝ මිනිස්සුන්ට ආදරෙන් කටයුතු කලේ නෑ. ඉතින් රටේ උසස්ම, වගකීමක් ඇති උගත්තු කොටස වෙන ඔබ තුමන්ලට පේන්න ඕනි මේ ‍තියෙන තත්වයන්. ඒ දේවල් වෙනස් කරන්නත් මූලික වෙන්න ඕනි ඔබතුමන්ල වගේ බුද්ධිමත්ම අයයි. ඒ වෙනුවෙන් ආදර්ශමත් වෙන්න ඕනි ඔමතුමන්ලයි කාටත් කළින්.  ඔබතුමන්ල සන්සන්දනය කරන්න ඕනි කැත විදියට මහජන මුදල් වලින් තමන්ගෙ පඩි වැඩි කරගත්ත කොටස් වලට සාපේක්ෂව නෙවෙයි. ඒ අය නිසා දුක් විඳින ඔබතුමන්ලට පහළින් ඉන්න මිනිස්සුන්ට සාපේක්ෂවයි. අවම වශයෙන් නීතියවත් කාටත් සමාන විදියට ඉටු නොවන තත්වය ඇති කරල තියෙන ඒ කැත මිනිස්සුන්ගෙ සාක්කුවට සා‍පේක්ෂව නෙවෙයි. හැම දෙයක්ම සාධාරණ විය යුතුයි කියන තැනට සාපේක්ෂවයි. ඉතින් සල්ලි ඉස්සරහට ආවොත් මනුස්සකම නැති වෙන එක ලෝක ස්වභාවය සර්. ඒක නිසා සල්ලි පැත්තකින් තියල දැන්වත් මිනිස්සු එක්ක අත්වැල් බැඳගන්න ආපහු සර්ල අපි අතරට එන්න කියල තමයි අපිට කියන්න තියෙන්නෙ. එහෙම නැතිව මහජනයා දැනුවත් කරනව කියල සර්ල කරන්න හදන දේ ඇත්තෙන්ම විෂමතාවයන් වැඩි කරන දෙයකට සහය ඉල්ලන එක. සම්බෝලයි බතුයි කන එකාගෙ සම්බෝල ටිකටත් කෙළවෙන තැනට කටයුතු සිද්ධ වෙන බවද සර්ල දැනුවත් කරන්න හදන්නෙ. මොකද කාට මොක වැඩි කලත් එදා ඉඳන්ම ඒවට ගෙව්වෙ අපිනෙ සර්. මස් රාත්තලම ඉල්ලන කාටත් සතා මරණ මස් මඩුවට ඇවිල්ල බලන්න කියන්න සර්

මුං දෙන්නට‍ හොදටම වෙරිය. කියවන්නේ විකාරය. දැන උගත් රණබාහු මහතා එයින් වික්ෂිත්ත වී සිටියි මුන්ගේ ප්‍රාථමික හැසිරීම දැකීමෙන්.
ඔයාල එක්ක ‍මේ දේවල් කතා කරල වැඩක් නෑ. ඔයාලට වැටහෙන්නෙ නෑ ඔහු පවසයි.
ඒක ඇත්ත සර් අපි මොකුත් නොදන්න‍ මෝඩයෝ. අපි මිනිස්සු නෙවෙයි. සත්තු. දරකොට. කුණුගොඩවල්. අපිව වීසි කරල දාන්න සර්. පුච්චල දාන්න. ඒ සිරිනිමල්ය.
මුං දෙන්නාගේ බීමත් ඔලමොට්ටල හැසිරීම මාව ලැජ්ජාවට පත් කරලීය. මම සුවිමල්ට සැරෙන් කතා කලෙමි.
මොකද යකෝ උඹ හීනයක් දැක්කද? ඒ සුවිමල්ය.
මට ඇහැරිණ. අප්පට බොල මම දැක තියෙන්නේ සිහිනයකි. මුං දෙන්න දවස පුරා නන්දොඩවන විකාර මගේ ඔඵවට ගහලා හීනෙන් පේන්න පටන් අරන් වගේය. කොහොම වුණත් මම සිහිනය සුවිමල්ට කීවෙමි.

තොටත් පිස්සු බොල. මහජනයා කියල අපිත් එක්ක කතා කරන්න එනවයි බං උන්. උන්ගෙ රැස්වීම් වලට යන්නෙ මහජනය නෙවෙයි. පත්තරකාරයොයි, රූපවාහිනී රේඩියෝ කාරයොයි. වැඩක් නැති ඕව ගැන උනන්දුවන දේශපාලන පිස්සුව තියෙන එවුනුයි විතරයි. දවසෙ පඩිය නැතිකරගෙන, නිවාඩුව කෙළවගෙන අපි වගේ සාමාන්‍ය මිනිස්සු යනවද බං ඕවට. මහජනතාව දැනුවත් කරන්නනම් එන්න ඕනි වැඩපොලවල් වලටයි. පොඩි මිනිස්සු ළඟටයි. අනෙක දැනුවත් කරනව කියල ඇවිත් මොනාද උන් අපි වගේ මිනිස්සුන්ට කියන්නෙ. තෝ වගේ පිස්සු .........ක්. සුවිමල් මට කුණුහරුපයකින් බනිමින් තුවාය කරේ දමාගෙන ළිද ළඟට ගියේය.

මූ නම් සැබෑ ලෝකයේදී මෙන්ම සිහිනයකදී පවා මහම කාළකණ්නියෙක් බව මට වැටහිණ.


Saturday 18 June 2011

බුද්ධ ඥාතීත්වය



                                     මම බුදුන්ගේ ඥාතියෙක්මි
                                     එබැවින් බුද්ධ පරපුරේ වෙමි
                                     දෙව්දත් බුදුන්ගේ ඥාතියෙකි
                                     එබැවින් දෙව්දත් පර‍පුරේද වෙමි..

Sunday 12 June 2011

ඇඩ්‍රස් නැති මිනිස්සු..




ප්‍රකාශ් බදුල්ල දිස්ත්‍රික්කයේ උපත ලැබූවත් එහි ළමා කාලයේ පමණක් ජීවත් වූවෙක් පමණයි. නගරයක් ගමක් වශයෙන් හඳුන්වන්න ස්ථිර පදිංචියක් ඔහුට නොතිබුණු අතර කොළඹ නගරයට පැමි‍ණියේ කවදාද යන්න කිසිවෙක්ම දැන නොසිටියේය. 

මට ඔහු හමුවූයේ ඔහු මෙන්ම මමත් ස්ථිර රැකියාවක් නොමැතිව අතන මෙතන අහුවෙන වැඩක් කරන්න පුරුදු වී සිටි සමයේය. ඔහුට මෙන්ම මටද විශේෂ ජීවන නිපුණතාවයක් නොතිබුණු බැවින් අතපය හොලවා කරන ඕනෑම වැඩක් කිරීමට අපි පුරුදුව සිටියෙමු.

කෙටි කාලීන ඇසුරකින් වුවත් මා දැන ගත් කරැණු අනුව ඔහු බදුල්ල නගරයේ පාසලකින් සැලකිය යුතු අධ්‍යාපනයක් ලබා තිබුණු අතර ඔහුට වැඩිමහල් සොහොයුරෙක් සිටියද බොහෝ කලෙක පටන් ඔහු විදේශ ගතව සිටියි. මව සහ පියා මිය යන විටද කුළී නිවසක ජීවත් වී ඇති ඔවුන්ගේ වෙන්වීම සිදුවී ඇත්තේ දෙමව්පියන්ගේ මරණයත් සමගය. ඔහුගේ සොහොයුරා අයථා මාර්ගයකින් විදේශ ගතවූ බව ඔහු දන්නා නමුත් වෙන්වීමෙන් පසු එක් වරක් හෝ කතා කර නොමැත්තෙන් තමන්ගේ සොහොයුරා කුමන රටකට ගියේද, තවම ජීවත් වන්නේද, අත්අඩංගුවට පත්වීද, මිය ගියේද යන්න ඔහු නොදැන සිටියේය. ඒ සම්බන්ධව ඔහු මා සමග කියා සිටියේ,

ඉස්සෙල්ලාම නැතිවුණේ අම්ම පපුවෙ අමාරුවක් හැදිල. ඒ එක්කම තාත්ත අංශ භාගයෙන් ඇද වැටුණ. එයත් ඊට පස්සෙ ජීවත් වුණේ මාස හතරක් විතරයි. ටික දවසක් අයියයි මායි එකට හිටිය. ඒත් අපි හිටපු ගේත් අයිතිකාරයෝ ඉල්ලුව. අයිය කොහොම හරි රට යන්න අවස්ථාවක් තියෙනව කියල කොළඹට ආව. ඒ එක්කම මමත් කොළඹට ආවෙ සිකියුරිටි ජොබ් එකකට. අයිය කොහොම සල්ලි හොයා ගත්තද කියන්න මම දන්නෙ නෑ. ඒත් එයා රටින් පිටවූ බව විතරක් මට ආරංචි වුණා. ඉතින් එයා කොහෙ හිටියත් මට ලියුම් එවන්න විදියක් නෑ මම ඉන්න තැනක් එයා දන්නෙ නැති නිසා.

ඉතින් උඹ ඒ දවස්වල සිකියුරිටි ආවෙ හමුදාවට යන්න තිබු‍ණනෙ

වැඩක් නෑ බං හමුදාවට එන්න කියන්නෙ රට රකින්නනෙ. ඉතින් මට කවදාවත් රටක් කියා ගමක්වත්, ගෙයක්වත් තිබුණෙ නෑ. ඉතින් මම මොකක් රකින්න යන්නද?

ඒක මහ ආත්මාර්ථකාමී කතාවක්. ඇයි උඹ ‍ජීවත්වෙන්නෙ අනුන්ගෙ අගුපිලක හරි මේ රටේ නේද? ඒක රැක ගන්න එක මේ පොළොවෙ ජීවත් වෙන කාගෙත් යුතුකමක්. රටට ජාතියට ආදරය කරන්න බැරි මිනිහගෙන් තමන්ටවත් වැඩක් වෙයිද?

ඔය ප්‍රශ්ණෙට අද දෙන්න මට උත්තරයක් නෑ. ඒත් මේ රටට ජාතියට ආදරය කරනව කියන දේ කියන්නෙ අපි වගේ මිනිස්සු නෙවෙයි බං. උන්ට මේ මහපොළොවෙ ඉන්න තැනක් තියෙනව. අයිති කරගත්ත බිම්පංගු තියෙනව. ඉතින් උන්ට රට නොරැකුණොත් ඒව නැති වෙනව. නැත්නම් උන්ට සල්ලි තියෙනව. යාන වාහන තියෙනව. ජීවිතයෙ අඩුපාඩුවක් නෑ. ඒ දේවල් එක්ක සැපසේ ජීවත් වෙන අද දවස ගැන ආශාව විතරක් නොවේ හෙට දවසෙ ඒ ජීවිතය ගැන ආශාවනුත් උන්ට තියෙනව. ඒක නිසා උන්ට ඒ දේවල් අහිමි නො‍ෙවන්නනම් රටක් ඕනි. නැත්නම් උන්ට දරුවො ඉන්නව. ඒ දරුවන්ව අනෙක් දරුවන් අභිබවා හෙට දවසෙ ඉහළ තැන්වලට ගෙනියල දොස්තරල, ඉංජිනේරුවො, ආචාර්ය මහචාර්යවරු, ජන නායකයො, උසස් නිළධාරියෝ, ගොඩක් දේවල් හිමි කරගත්ත ව්‍යාපාරිකයො බවට පත් කරල සතුටක් ලබන්න ආශාවක් උන්ට තියෙනව. ඉතින් උන්ට විනාශ ‍නොවෙන රටක් ඕනි ඒ ආශාවන් සපුර ගන්න. ඉතින් මේ යුද්ධ කරන අනෙක් පිළේ එවුනුත් ඒ වගේම තමයි. ඉතින් උන්ගෙ මේ දේශප්‍රේමය දැනට තමන් සන්තක වී තියෙන දේවල් නිසා හෝ හෙට උන්ට අත්පත්වීමට නියමිත දේවල් නිසා හෝ හෙට දවසේ අත්පත් කර ගැනීමට ආශාව තියෙන දේවල් නිසා ඇතිවෙච්ච දෙයක් විතරයි

හ්ම්ම් ඒ කිසිවක් නැති නිසා උඹට දැනෙන හීනමානය නිසා එහෙම නැත්නම් උඹට නොලැබුණු දේවල් අනෙක් උන් ළඟ තියෙද්දි දැනෙන ඉරිසියාව නිසා උඹේ හිතේ රටට ආදරයක් නෑ කියල මම කිව්වොත්

රට කියන හැඟීමම එන්නෙ තමන්ගෙ කියල බදාගත්ත දෙයක් හිතේ තිබුණොත් විතරයි. ඒක නිසා ඒව තමන්ට ඕනි විදියට අදත් හෙටත් පවතිනව දැකීමේ ආශාව ඇතිවෙනව. ඒක නිසයි බලය සහ අත්පත්කරගැනීම වෙනුවෙන් පිල් බෙදෙන්නෙ. හිස් අතින් ඉන්න කාගෙවත් හිත්වල උඹ කියන ආදරය නෑ. හැමෝම හිස් අතින් වුණානම් යුද්ධ කරල මරාගන්න කවුරුවත් නෑ. රට රකින්න පෙරට එන්න කියල කෑ මොර දෙන දේශප්‍රේමියන්ට තව දුරටත් තමන්ගෙ රස්සාව තියෙන්නෙ නෑ ඒ නිසාම. මොකක් රකින්නද යුද්ධ කරන්නෙ?

මම නිරුත්තර විමි. ප්‍රකාශ් තියුණු බැල්මක් මා වෙත හෙළීය. ඔහු නැවතත් කතා කරන්නට විය.

උඹ දන්නවද මට කවදාවත් මේ පොළොවෙ පුංචි ඉඩක්වත් මිළදී ගන්න තරම් මුදලක් හම්බ කරගන්න බැරිවුණා. මම දැකල තියෙනව මගෙත් එක්ක ඉස්කෝලෙ ගිය එවුන් හමුදාවට ගියා. ඒත් උඹ කියන විදියට රට රකින්නනම් නෙවෙයි. උන්ට කියල ගෙයක් හදාගන්න. බිම් අඟලක් සල්ලි වලට ගන්න කීයක් හරි හොයා ගන්න. නැත්නම් ගෙවල් වල උග්‍ර ආර්ථික ප්‍රශ්ණ නිසා ගෙදර අනෙක් එවුන්ගෙ බඩවල් පුරවන්න කීයක් හරි හම්බ කරන්න. උන්ගෙන් සමහරු මැරුණ. උන්ව හෙට දවස ගැන පුරවගත්ත ආශාවන් වලින් මෙහෙයවනු ලැබුව. මම එහෙම දේවල් වලින් මෙහෙයවුණ  එකෙක් නෙවෙයි. ඒක නිසා මට අද මොකුත්ම නෑ. රස්සාවලට මම ඇප්ලිකේෂන් දාන්නෙ නෑ. මොකද ඒවයෙ ස්ථිර ලිපිනය කියල තීරුවක් තියෙනව. ඉතින් මට ඒකෙ ලියන්න දෙයක් නෑ. මට බැංකු ගිණුම් නෑ. මොකද බැංකු ගිණුම් පටන් ගන්න කියල ගිය හැම වෙලේම ස්ථිර ලිපිනය කියන ප්‍රශ්ණය දැක්කම ඒකට ලියන්න දෙයක් නැති නිසා මම ආපහු ආව. පොලිසියෙන් අල්ලන් ගියත් මේ කාළකණ්නි ප්‍රශ්ණය උන් අහනව.  අද මම මෙතැන ඉන්නව. හම්බවෙන වැඩේ අනුව හෙට වෙන තැනකට යනව. හැම තැනක්ම තාවකාලිකයි. 
ඉතින්  මම හැමදාම මේ රටේ හැම දේකටම ගෑවිලා තියෙන ඒ ප්‍රශ්ණෙට වෛර කරනව. ඒකට උත්තරයක් ලියන්න බැරි මටත් අර කලින් කිව්ව උන්ට වගේ ආදරය කරන රටක් තියෙන්න ඕනිද?

උත්තරයක් නැති මා දෙස මදක් බලා සිටි ඔහු නැවතත් කතා කරන්නට විය.

උඹ කියනවනම් මමත් කොහොම හරි සල්ලි හොයල හොඳින් හරි නරකින් හරි මට ඇඩ්‍රස් එකක් හදාගන්නම්. එතකොට මට දැනෙයි මේ මගේ රට කියල. ඊට පස්සෙ මමත් ඒක දියුණු කරන වැඩේ පටන් ගන්නම්. මෙච්චර කල් හම්බවුණු ගෑණු කවුරුත් ඇඩ්‍රස් නැති හෙට දවසක් නැති මාව දාල ගියා. ඉතින් මම ඇඩ්‍රස් එකක් හදාගත්තම මටත් උඹල කියන ස්ත්‍රී පුරුෂ ආදරය ලැබෙයි. මමත් දරැවො හදන්නම්. උන්ව හෙට දවසෙ ලොකු මහත්තුරු කරන්න ඕනි නිසා මටත් හිතේ රැකගන්න රටක් තියෙයි එතකොට. 
කවදත් ඇඩ්‍රස් නැති එවුන් ඒ වෙනුවෙන් වෙහෙසුණා. කලින් අපේම ජාතියෙ එවුනුත් හැමෝටම ඇඩ්‍රස් එකක් තියෙන රටක් හදන්න වෙහෙසුණා. ඒත් ඇඩ්‍රස් එකක් හරි ගොඩක් හරි තියෙන එවුන් උන්ව මේ පොළොවෙන් අතුගාල දැම්ම. අද හරි හමන් ඇඩ්‍රස් එකක්වත් නැති එවුන් තමයි යුද්දෙට දක්කල තියෙන්නෙ. උන්ව දක්කන එවුන් එහෙම කරන්නෙ උන්ගෙ ඇඩ්‍රස් නැතිවෙයි කියන බයට. දේශප්‍රේමය කියල උන් කියන්නෙ උන්ගෙ තණ්හාවට. තක්කඩිකමට. බල ලෝභයට. උන්නතිකාමයට. කොටින්ම කියනවනම් උන් හංගගෙන ඉන්න උන්ගෙ තිරිසන්කමට. ඒ වගේම මේ යුද්දෙන් උන්ට කරන්න ඕනි තව පිරිසකගෙ ඇඩ්‍රස් නැති කරන එක. ඇඩ්‍රස් නැති එවුන් ඇඩ්‍රස් ඇති කරගන්න බලාපොරොත්තු තියාගෙන ඉන්නකම් විතරයි උන්ට පැවැත්මක් තියෙන්නෙ. තව අවුරුදු දහයකින් උඹ කියන දේශප්‍රේමය ජය ගනියි. උඹේ හිතේ රටට තියෙන ආදරය ජය ගනියි. ඒත් උඹේ ආදරයට ලැබෙන දෙයක් නෑ. ඒක නිකම්ම උඹ හිතේ තියාගෙන රස විඳපන්. උඹලගෙ හිත්වලට ඒ ආදරය කවපු එවුන් මේ රටේ විතරක් නෙවෙයි පිට රටවලත් උන්ටත් උන්ගෙ දරුවන්ටත් ඇඩ්‍රස් හදා ගනියි. ඒ වෙනුවෙන් උඹේ බත් පතටත් උන් කෙළියි. උඹත් ඇඩ්‍රස් නැති එකෙක් විදියට උඹේම රටේ ඉඳියි.

ඔහුගේ හඞ මට අදටත් ඇසෙනු දැනේ.

මම හිස් අතින් ඉන්නව. හෙට මම හිස් අතින් පිට වෙනව. මට රටක් නෑ. ගමක් නෑ. ඇඩ්‍රස් එකක් නෑ. ඉතින් මට ආදරය කරන්න ඒ කිසිවක් නෑ. මම නිදහස්. මම වගේ උන් විතරක් හිටියනම් උඹලගෙ රටේ උඹලගෙ නායකයන්ට අනිවාර්යයෙන්ම රස්සා නැතිවෙනව. මොකද හිස් අතින් ඉන්නකොට රැකගන්න කිසිවක් නෑ. ඒක නිසා පිල් බෙදෙන්න, මරාගන්න අවශ්‍යතාවයකුත් නෑ. උඹේ ප්‍රශ්ණ වලට උත්තර තව අවුරුදු දහයකින් උඹටම ලැබෙයි.

එවකට ප්‍රකාශ් මට වඩා අවුරුදු දහයක් පමණ වැඩිමහල් විය. එදිනෙන් පසු නැවත මට ඔහුව හමු නොවිණ. සමහර විට ඔහු වෙන තැනකට පිටවී යන්නට ඇත. නැතිනම් රට හැරැ යන්න ඇත. එසේත් නැතිනම් මිය යන්න ඇත. සමහර විට කොතනක හෝ මෙරටෙහිම ජීවත් වෙනු ඇත. එහෙත් ඇඩ්‍රස් එකක් නැති ඔහු මා සොයා ගන්නේ කොතනින්ද?

එදිනෙන් පසු දැන් වසර දහයක් ගතවී ඇත. අද මම එදා ඔහුගේ වයසේ වෙමි.

වසර දහයකින් පසු මා දිනූ රට ගැන මම ඔහුගේ හදවතින් බලා සිටිමි. ඒත් මට කිසිවක්ම කිව නොහැක. ඒත් ඔහුගේ මසැසින් බලන මගේම හදවත වේදනාවක ගිලී තිබෙනු මම බලා හිඳිමි.

අද මටද ස්ථිර ලිපිනයක් නැත.


Thursday 2 June 2011

සුබ අනාගතයක් අපිට


                                               
                                          අහසට තිබ්බ වෙඩි
                                          පොළොවට හරවපු
                                          අධිරාජ්‍යවාදී ගැති
                                          කුමන්ත්‍රණකරුවනි
                                          තොපට ශාප වේවා!


                                          එකෙක්ගෙන් ගිලිහුණ
                                          ත්‍රස්තවාදී කිරුළ
                                          බිම වැටෙන්නට නොදී
                                          හිසට ලාගෙන සිටින


                                          ත්‍රස්තයිනි තොප සමග
                                          සුබ අනාගතයක් ! අපිට..