පස් කන්ඩියේ සිදුරකට කොළ පැහැයට හුරු
දුඹුරු පැහැයෙන් යුත් පොළඟා රිංගමින් සිටිනු මා දුටිමි. සිතන්නට වෙලාවක් නැත වහා
ගල් ගෙඩියක් අතට ගත් මා වේගයෙන් ඌ මතට දමා ගැසුවෙමි. එයින් ශරීරයෙන් අඩක් චප්ප
වුණු පොළඟාගේ සිදුර තුළට රිංගූ හිස ආපසු එළියට විත් කාණුවට වැටිණි. ඌ මරණීය
වේදනාවෙන් දඟලයි. මගේ මුඵ ඇඟම හිරි වැටී හිත නොසන්සුන් වෙයි. කෙසේ හෝ පටන් ගත් මේ අපුල වැඩය අවසන් කල යුතුය. තවත් ගල් ගෙඩියක් ගෙන පොළඟාගේ හිස මතට දමා ගැසුවේ අප්‍රසන්න
රාජකාරියක අවසානය නොකර බැරි කමට කරන විදියේ අපුල සහ වේදනාකාරී නොසන්සුන් මනසකිනි.
තව දුරටත් මට එය විඳ දරා ගත නොහැක්කකි.
අවසානයේ මිය ගිය සතා පස් දමා වසා
දැමුවේ අවසිහියෙන් මෙනි. මගේ සිතේ පැවැති වේදනාව සහ මා ගැනම වූ ද්වේෂයෙන් පෙළෙන මා
අතු පතර වැඩී ගිය පේර ගස් කිහිපයේ සෙවණේ බිම වාඩි වී සිටියේ මා ගැනම ඇතිවූ පිළිකුල
මැඩ පැවැත්විය නොහැකිවය.
මා තුළ ක්‍රියාත්මක වූයේ කුමක්ද? මට
සිතා ගත නොහැකි විය. මා මොහොතකට පෙර
ම්ලේච්ඡයෙක් මෙන් හැසිරුණේ කෙසේද යන්න මට සිතා ගත නොහැකි විය. එම සතා උගේ පාඩුවේ පස් කන්ඩියේ සිදුරකට රිංගමින් සිටියේය. ඌ කිසිදු හානියක් මා හට
නොකරන ලද අතර මා ගැන සැලකිලිමත් නොවූ බවද මට විශ්වාසය. ඒත් එකල කුඩා මා තුළ ජීවත්වූ
ජීවියා තුළට සර්පයන් මරා දැමිය යුත්තන් බවට දන්නා කල සිට යෝජනා වී තිබුණේය. ඒ බව
එකල කුඩා මගේ මනසට කවුරුන් කවදා කෙසේ එන්නත් කලේද යන්න මට අදටත් මතකයක් නැත. නමුත්
ඒ මානසික එන්නත මා තුළ සක්‍රීයව වැඩ කල බව මා පසක් කර ගන්නා විට මරණයක් මා අතින්
සිදුවී හමාරය.
එදින සිට දින සති ගණනක් දහවලත් රැය
පුරාත් මා ගැන පිළිකුළෙන් සහ නොරිස්සුමෙන් පෙලුණ මගේ ඇස් වලට විටෙක කඳුඵ පිරවිණ. ඒ
කඳුඵනම් මා වෙනුවෙන් එතෙක් ආත්මානුකම්පාවෙන් හෙඵ කඳුඵ වලට වඩා වෙනස් වූ තැනකින්
ගලා ආ බව මට දැණින. ඒ තුළින් මගේ සිත අසීමිතව රිදවී මා සැහැසි නරුමයෙකු බව මටම
ඒත්තු ගැන්වීමෙන් මා සහනයක් ලදිමි. මා නිවැරැදකරුවෙකු කරමින් නැගෙන සිතුවිල්ලකදී
පවා මා මටම ද්වේශ කළෙමි.
සර්පයන් විෂකුරුයැයි මරණීය තර්ජන ගෙන
එන්නේ යැයි මා තුළ විශ්වාසය තහවුරු කරන්නට මට පෙර මේ පෘථිවි මතුපිටට පැමිණියන්
සාර්ථක වීම නිසා මා මගේම වූ අදහසක් නැති මෝඩයෙකු බවට පත්වී සිටි බව මට අවබෝධ වීම
තවත් මාවම නුරුස්සන ස්වභාවයක් මා තුළ ඇති කරලීය. ඒත් ඒ විශ්වාසයේ එන්නත මා මනස තුළ
සක්‍රීයව පැවති ඒ කාලය තුළ සහ පොළඟා මා අතින් මියයන මොහොත දක්වාම සර්පයන් දුටු තැන
මැරිය යුතු යැයි විෂකුරු චේතනාවක සිටියේ මා මිස කිසිදු සර්පයෙක් නොවේ. මේ ලොව
කිසිදු සර්පයෙක් මිනිසුන් මරා දැමිය යුතුයි යන චේතනා වලින් නොපෙළෙයි. එවැනි
මතවාදයක් හෝ පිළිගැනීමක් සර්පයින් තුළ නොමැති බව මා තුළ අදටත් ඇති විශ්වාසයයි. එහෙත් එදිනෙන් පසු
මා තව තවත් වටපිටාව ගැන සහ සර්පයින් ගැන බියෙන් පෙළෙන්නෙක් වීමි. හේතුව මගේ
විෂකුරු බව මියගිය සර්පයාගේ ඥාතීන් හඳුනාගෙන මගෙන් පළිගනු ඇතැයි මා සිතූ බැවිනි. ඒත්
කිසිදා එය සිදු නොවිණ. ඔවුන් මා තරම් ම්ලේච්ඡ ආකල්පයන්, විශ්වාසයන් සහ
මතවාදයන්ගෙන් මනස විකෘති නොවුණු උන් බව අවසානයේ ඒ නිසාම මට තහවුරු විය.
කෙසේ වුවත් ඉන් පසු කිසිදු සර්පයෙකු මැරීමට මට ශක්තියක් නැති විය. ඒත් සර්පයන් විෂකුරු යැයි ගල් ගසා ඔඵව පොඩි කල
යුතුයැයි විශ්වාසයේ මිනිසුන් සිටිති. ඒත් සර්පයන් තුළ එවැනි ආකල්පයක් නොමැති
බැවින් මිනිසුන් ගහණය වැඩි වෙමින් සර්ප ගහණය අඩු වෙමින් තිබේ. සර්පයන් සම්බන්ධයෙන්
පවතින මානව පැසිස්ට්වාදයට එරෙහිව සර්පයන් කිසිදා එකතු වී නොමැත.
ගල් ගැසීම මිනිසා තුළ පවතින සහජ
පුරුද්දක් මෙනි. ගෙඩි වලින් පිරුණු ගස් වලටත්, වත්තට පැමිණෙන බල්ලන්ටත්, වඳුරන්ටත්
ගල් ගසන මිනිසාම සර්පයෙක් දුටු විට ගල් ගසා මරා දමන්නට පෙළඹෙයි. ඉන්පසු මහත් සමාජ
සේවයක් කල ලෙසින් සැනසුම් සුසුමක් හෙළයි. පළමු ගල කිසිදා පවක් නොකළ එකෙක් විසින්
ගසන්නැයි ජේසුස් කී අරුත එදා මා නොදැන සිටියෙමි. එසේ වී නම් මට කිසිදා ගලක් ඔසවීමට
ශක්තියක් නොලැබෙනු ඇත. මන්ද මා පව් කන්දක් බව එදාද මා දැන සිටි බැවිනි. ඒත් එකල
පව්කාරයන් එක්වී එකෙකු පව්කාරයෙකු ලෙස සලකා ගල් ගසා මරා දැමුණු බව ඒ වදනින් තහවුරු
වෙයි. අදද ඇතැම් රටවල් වල වැරැදිකරුවන් වන මිනිසුන් ගල් ගසා මරා දැමෙන බව මා අසා
තිබේ.
කොහේදෝ රටක සිඟන්නන්ද ගල් ගසා මරා
දැමෙන බව මා කොතනකදී අසා හෝ කියවා තිබුණි. සමහර විට සිඟන්නන්ද සර්පයන් මෙන් විෂකුරු
බවෙන් යුතු යැයි සැලකෙන සත්ව කොටසක් විය හැක. එවැනි විශ්වාසයක් ඔඵ තුළට එන්නත්
නොකෙරුණ යුගයක වාසනාවට මෙන් මා මෙළොවට පැමිණියෙමි. නැතිනම් මගේ ඔඵවද කුඩු වීමට ඕනෑ
තරම් අවස්ථා තිබිණි.
මා මිනිසෙකු වීම ගැන මා කිසිදා
සෑහීමකට පත් නොවී සිටින්නෙමි. ඒ අතීත සිදුවීම් කිසිවක් සමාජ පිළිගැනීම්, තර්කයන්,
සම්මතයන් ලෙස මා නොදන්නා සමයක මා තුළට රිංගූ බීජ වල අස්වැන්නක් ලෙස සැලකීමෙන් මට
මාවම නිදොස් කල නොහැකි බැවිනි. සිතා බැලිය හැකි සිතක් තිබියදී එසේ මෝඩයෙකු ලෙස ක්‍රියා
කිරීම ගැන කිසිදා මා මට සමාව නොදෙන්න තීරණය කළේ අද ඊයේ නොවේ.
කෙසේ වුවත් මා මාවම මෙන්ම මා ඇස ගැටෙන
ගල් ගෙඩිද අද දකින්නේ පිළිකුලෙනි. මට මිනිසෙකු ලෙස මීට වඩා වගකීමක් ඇතිව මගේම
නැවුම් දැක්මකින් ලෝකය දකින්නට හැකියාව තිබිණි. ඒ ශඛ්‍යතාව සමග මා උපන්නෙමි. එහෙත්
එසවූ ගල්ගෙඩියකින් අවිඥානිකව ජීවිතයක් නසන්නට තරම් මා මෝඩයෙකු වීමි. විෂකුරු බීජ දරාගෙන සිටියෙමි. ඒ අවිඥානික බව
ඒ දක්වා කොයි තරම් කාළකණ්නි සිදුවීම් කරා මා මෙහෙයවීද යන්න මා දනිමි. එකල මා කුඩා
දරුවෙකු වී යැයි නිදහසට කරුණු සපයා ගන්නා නරුමයෙක් වීමට මට නොහැක.
භෞතිකව ගල් නොවූවද ගල් මෙන් විසල්
පහරවල් එල්ල කරන මානසික සංසිද්ධින් කොයි තරම් ඇතුළත සිදුවීද? ඇත්තෙන්ම සැම විටම
භෞතික නොවුණත් ගලක් අතින් ගත් ම්ලේච්ඡයෙකු මා තුළ අද දක්වාම ජීවත් වී ඇත. මා දමා
ගසන්නට බොහෝ ගල් එක් රැස් කරගෙන සිටි ම්ලේච්ඡයෙකු වූයේ, ගල් වලින් දමා ගසන්නට
හුරුපුරුදු වූ මිනිසාගේ සහජ නැමියාව නිසා යැයි පවසමින් මට නිදොස් විය නොහැක. එසේ
අනුන්ගේ රූකඩයක් වූයේනම් ඒ මගේ නිවටභාවයය.
ඒ ම්ලේච්ඡයා නිදොස් කොට සමාව දීමට මට
කිසිදා නොහැක. මා මනුෂ්‍යත්වය සම්බන්ධයෙන් දෙවියන් සමග වූ ගිවිසුම කඩකර
සිටින්නෙමි.එබැවින් මා ගල් ගැසීමට නොව ගල් පහර වැද මිය යන්නට පමණක් සුදුස්සෙක්මි.