Saturday 16 October 2010

අනුකම්පා වේවා !


එක් උදෑසනක ඔවුහූ ස්මරණයෙහි ඉතා ඈතට ගොස් එහි අතරමංව, එතුමා වෙත එකත්පස්ව වාඩිවී හුන්නාහ. ඔවුනතරින් හෆීස් නම් වූ ශ්‍රාවක තෙමේ එතුමන් අමතා මෙසේ ප්‍රකාශ කළේය.

"ඇදුරුතුමනි, අපට ඔර්ෆලීස් නගරය සහ පසුගිය දොළොස් වසර තිස්සේ ඔබ තුමන් ගතකල දේශය ගැන විස්තර කරනු මැනව"

අල්මුස්තාෆා නිහඞව සිටියේය. එසේ හිඳින ගමන්ම තම දෑස් කුඩා කඳුගැට වෙත සහ අනන්ත වූ අවකාශය කරා යොමු කළේය. ස්වකීය නිහඞතාවය දෝමනස්සයකින් ආවරණය වී තිබුණේය.

ඉක්බිති එතුමා මෙසේ ප්‍රකාශ කළේය.

"මා අවතීර්ණ වී සිටින ගමන් මගට පිළිපන් සහෘදවරුණි, ඇදහිලි දහස් ගණනක් පවතින්නා වූ එහෙත් කිසියම් ලබ්ධියක් නොමැත්තා වූ ‍ජාතියට අනුකම්පා හිමිවේවා.

"තමන් විසින්ම කටින ලද නූලෙන් මැසූ ඇඳුම් නොහඳින්නාවූ ද, තමන් විසින් නොලාගන්නා ලද ධාන්‍යයෙන් පිසූ බත් නොබුදින්නාවූ ද, තම මිරිකීමේ යන්ත්‍ර වලින් ගලා එන මධු පානය නොකරන්නාවූ වැසියන් වාසය කරන දේශයට අනුකම්පා හිමිවේවා.

"බොරු වාගාඩම්බරකාරයන් සැබෑ විරුවන් සේ සලකා ඔල්වරසන් නගන, ආක්‍රමණිකයෙකු මහා විමුක්තිදායකයෙකු සේ සලකන්නා වූ දේශයට අනුකම්පා හිමිවේවා.

"සිහින ලෝකයේදී කාමාදී ක්ලේශයන් ගර්හා කොට සලකන, එහෙත් අවදියෙන් සිටියදී ඊට අවනත වන්නා වූ වැසියන් වාසය කරන දේශයට අනුකම්පා හිමිවේවා.

" අවමංගල පෙරහැරේදී පමණක් තම හඞ උච්චව නගන්නා වූ, නෂ්ටාවශිෂ්ට අතරට වී ඒවා නරඹමින් ආඩම්බර වන්නා වූ, සතුරාගේ කඩුවෙන් තම බෙල්ල දංගෙඩියේ හිර වූ අවස්ථාවේදී පමණක් ඔහුට එරෙහිව කැරැළි ගසන්නා වූ දේශයක ජනතාවට අනුකම්පා හිමිවේවා.

"දේශපාලකයා හිවලෙකු වූ, දාර්ශනිකයා වීදි නාට්‍ය කාරයෙකු වූ, බහුබූතයන් අනුකරණය කරන්නා වූ දේශයක ජනතාවට අනුකම්පා වේවා.

"හූ හඞ මැදින් පලවා හැරීම සඳහා පංචතූර්ය නාද සහිතව නව නායකයා පිළිගන්නා, වෙනත් නායකයෙකු පිළිගැනීම වෙනුවෙන් පෙර පරිදිම ඔල්වරසන් දෙමින් පංචතූර්ය නාද පතුරන්නා වූ දේශයක ජනතාවට අනුකම්පා හිමිවේවා.

"ප්‍රඥාවන්තයන් වියපත්ව ගොඵ වී සිටින, ශක්තිමත් පුද්ගලයන් තවම තොටිල්ලේ ජීවත්වන දේශයක ජනතාවට අනුකම්පා හිමිවේවා.

"හැම පාර්ශ්වයක්ම දේශයේ කොටසකට අයිතිවාසිකම් කියන්නා වූ භේදභින්න දේශයක ජනාතාවට අනුකම්පා හිමිවේවා.

කලීල් ජිබ්රාන්(1883 -1931) ගේ "Le Jardin du Prophete" කෘතියෙනි.
පරිවර්තනය - මණ්ඩාවල පඤ්ඤාවංශ හිමි (මුණිවර අසපුව - 2000)

6 comments:

  1. මෙදියත කොහේ පවතීද මේ දේශය?

    ReplyDelete
  2. තොප්පිය හරියටම හරි.
    අපි යන්නෙ කොහාටද කියන එක තමයි මේකෙන් පේන්නෙ.

    ReplyDelete
  3. ඔවුහූ සියල්ලෝම ස්මරණයෙහි ඉතා ඈතට ගොස් එහි අතරමංව සිටී.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  4. හුඟ කලෙකින් මේ පැත්තේ එන්න බැරි උනානේ.ම්.... ඔක්කොම පරන කවි බැලුවා. ඔක්කොම ලස්සනයි

    ReplyDelete
  5. ගැඹුරු අර්ථයක්...........

    ReplyDelete
  6. මුනිවරයෙක් කියලා හොඳටම පැහැදිලිවෙනවා නේද මේ කියල තියන අමු ඇත්ත දැක්කහම.....

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.