Tuesday, 6 December 2011

පවුලක් තුළට ඇද වැටුණු ආදරය





එකල ඇය වඩාත් කැමැති වූයේ මගේ කාමරයේ ඇති ඇඳටයි. මා දවසේ මෙහෙවර හමාර කර පැමිණ ඇ‍ඳෙහි හාන්සි වී සිටින සවස් යාමයන් වල ශබ්දයක් නොනගාම පැමිණ අඩවල් කර ඇති දොර මෑත් කර පැමිණෙන ඇය දෑස් පියාගෙන කල්පනාවේ සිටින මා සිරුර මතට පැන සිනාසෙමින් දඟලයි. එවිට මා ඇය තුරුඵ කර ගන්නෙමි. ඇගේ තොරතෝංචියක් නැති සිනහවටත් කතාවන්ටත් සොඳුරු හිරිහැර වලටත් එතෙක් පටන් මා මුහුණ දෙන්නට පුරුදු වී සිටියෙමි.

මා එනිවසෙහි කුළී නිවසියෙකු වුවද ඒ වන විටත් දෙහැවිරිදි වියේ පසුවූ ඇයට මා සිය පවුලෙන් වෙනස් වන්නේ කෙසේදැයි අවබෝධයක් නොතිබිණ. ඇයගේ ආච්චිඅම්මා සහ සීයා ඇයට අවශ්‍ය පරිදි නිවසෙහි කුතුහලය දනවන කිසිවක් අවුස්සා බැලීමට ඉඩ නොදෙන බැවින් ඈ ඇගේ අභයභූමිය සකසා ගෙන තිබුණේ මගේ කාමරය තුළයි. ඒ තුළ ඇයට රිසිවූ දෙයක් රිසි ලෙස අතපත ගෑමට වගේම අවුස්සා අවුල් ජාලයක් කිරීමට මා ඉඩ දී තිබිණ. එසේම ඇය විසින් නගන ගැලවීමක් නැති ප්‍රශ්ණ වලට බොරු උත්තර හෝ සැපයීම මගේ යුතුකම බව මා පසක් කරගෙන සිටියෙමි.

ඇය එතෙක්ද නොඉඳුල් මලක් වූයේ ඈට තමන්ගේ යැයි ගැනෙන කිසිවක් නොදැණුන බැවිනි. ඇයට මා පිටස්තරයෙකු නොවේ. ඇගේම කොටසකි. වැඩිහිටියන් මෙන් ඇය තවම මමත්වයෙන් පිරී ගොස් නැත. කොන්දේසි විරහිතව ඇයගේ මාමා බවට මා පත්වී සිටි අතර ඒ අතර කිසිදු සිදුරක් නොතිබෙන කලෙහි වැඩිහිටියන් ඇය තවත් එක් මම කෙනෙක් බවට පත් කරන්නට වෙහෙසෙනයුරු මා දකිමින් සිටියෙමි.

සීය තමයි බබාගෙ අම්මගෙ තාත්ත. ආච්චි අම්ම තමයි බබාගෙ  අම්මගෙ අම්ම.

ඇගේ ආච්චි අම්මා ඇයට මමත්වයේ සීමා මායිම් සලකුණු කරනු මට ඇසේ.

එතකොට කාමලේ ඉන්න මාම මගේ කවුද ආච්චි අම්මේ

ආ ඒ නුවන් මාමනෙ. බබාගෙ මාම තමයි තුෂාර මාම. බබාට තෑගි ගොඩාක් අරන් රට ඉඳළ එයා එනවනෙ ළඟදි.

ආච්චි අම්මේ නුවන් මාම මගේ

නෑ බබාගෙ මාම ඉන්නෙ රටනෙ. නුවන් මාම වෙනයි

ඇගේ නොඉඳුල් බව ටිකෙන් ටික ඉඳුල් වීම ඇරැඹෙන කාලයයි මේ.

නුවන් මාමේ.. ම‍ගේ තුෂාල මාම රට ඉඳන් එනවනෙ. මට සෙල්ලම් බඩු‍ ගොඩක් එයා ගෙනෙයි නේද

ඇය මගෙන් විමසයි. ඒත් තවමත් ඇයට මගේ යන්න නිවැරැදිව වටහා ගත නොහැකි බැවින් ඇගේ ආච්චි අම්මා ඇයගේ සීමාවන් දැඩිව සලකුණු කර ඇගේ මමත්වයේ පරිධිය ඇයට අවබෝධ කර දීමට අසීමිත වෙහෙසක් ගන්නා අයුරු දකින මට සිනහ පහල වන අවස්ථා තිබිණි.
කොන්දේසි විරහිත ආදරය තුළින් ඇයව කොන්දේසි සහිත ආදරය වෙත තල්ලු කර දැමීමට ආච්චි අම්මා වෙහෙසෙයි. එබැවින් ඈ කිසිදා දැක නැති තුෂාර මාමා ඇගේ යැයි ඇයට තහවුරු කරමින් ආදර සම්බන්ධතාවකයක් ගොඩ නැගීමට ආච්චි අම්මා උත්සාහ ගත්තේය. කොන්දේසිය තුෂාර මාම ඇගේ මාමා වීමයි. ඒ නිසා ස්වභාවයෙන්ම ඔහුට ඇය ආදරය කල යුතු බව ඇයට තහවුරු වෙමින් පැවැතිණ. එතෙක් ඇය පැවැතියේ කොන්දේසි විරහිතව දකින දකින හැම මාමා කෙනෙක්, නැන්දා කෙනෙක්, අයියා කෙනෙක්, අක්කා කෙනෙක්  කෙරෙහිම ආදරයෙන් සහ සුරතලයෙන් බැ‍ඳෙමිනි.

ඒත් අත්දැකීම් බහුල පරිනත ආච්චි අම්මා හය මසක පමණ කාලයක් තුළ ඇගේ සියඵම සීමාවන් නිවැරැදිව සලකුණු කර ඇගේ පූර්ණ පරිධියේ හැම ලක්ෂ්‍යයක්ම කොතැනද යන්න ඇයට අවබෝධ කර දීමට සමත් වෙනු මා දුටිවෙමි.
ඈව ඇය විදියට ගොඩ නංවන හැම සීමා ලක්ෂ්‍යයක්ම ඒ සය මසක පමණ කාලය තුළ මා දුටුවෙමි. මා නිරීක්ෂකයෙකු පමණක් වී සම්බන්ධ වෙන්නෙකු නොවී සිටීම තුළ ඇගේ‍ කොන්දේසි විරහිත පිළිගැනීමේ දෑස කොන්දේසි සහිත පිළිගැනීමක් බවට පරිවර්තනය වනු මා මොහොතින් මොහොත නිරීක්ෂණය කළෙමි.

ඒ සමසක පමණ කාලය තුළ ඒ අනුව ඇය ඇගේ මාමා, සීයා, ආච්චීඅම්මා, අක්කා ලෙස පෙනී සිටින්නන් පෙර පැවැති එකම සමස්තයකින් වෙන්කර ගන්නට අපූරු හැකියාවක් ලද්දේ ඇගේ ආච්චි අම්මාගේ ඥාණ ප්‍රභාවය සහ අප්‍රතිහත ධෛර්යය හේතුවෙනි.
තව පොඩ්ඩෙන් ඇය ලෝකයේ සියල්ලන්ටම එකසේ ආදරයෙන් බැඳී සිටින්නට ඉඩ තිබිණි.
ඒ වන විට ඇයට නිවැරැදිව වචන උච්චාරණය කිරීමේ හැකියාවද ස්වභාව ධර්මය විසින් ලබා දෙමින් තිබිණ.

දිනෙක ඇගේ මාමා දුර බැහැර කොදෙව්වක සිට පැමිණියේය. කළින්ම ආරෝපනය කර තිබූ තමන්ගේ කම සමග ඇය ඇගේ මාමාව පිළි ගනු මා දුටිමි.

දැන් ඉතින් නුවන් මාමගෙ කාමරේට දුවන්න ඕනි නෑ බබාගෙ මාම ඉන්නවනෙ. ආච්චි අම්මා පවසයි.

දින ගණනක් ඇගේ කටහඞ මිස ඇය මගේ කාමරයේ දකින්නට නැති විය.

දැන් මගේ මාම ඇවිල්ල ඉන්නෙ. ඇය අහම්බෙන් දකින මට පවසයි.

ඇගේ පෙර පැවැති කොන්දේසි විරහිත සිනහව, ප්‍රමෝදය, පිළිගැනීම, සුරතලය සහ ආදරය ඒ දෑස් වලින් ටිකෙන් ටික නිවී යනු මම මොහොතින් මොහොත දුටුවෙමි.
ඇය දැන් කලෙක බබා ලෙස ඇයම හඳුන්වා ගත් ඈ තුළ වූ මම හඳුනාගෙන සිටියි. ඒ ව‍ගේම ඇගේ ඒ මමත්වයේ පරිධියට අයිති සියඵ ඥාතීත්වයන් හඳුනා ගනිමින් සිටියි.
ඇයට හඳුනා ගැනීමට ශක්තිය නැති අනෙක් හැම සීමාවක්ම ඇගේ පරිනත ආච්චි අම්මා විසින් තව දුරටත් හඳුනාගන්නට උදව් වෙමින් සිටියි.

ඇය දැන් ඉඳුරාම යම් නිශ්චිත පවුලක සාමාජිකයෙක් බවට පත්වී හමාරය. පවුල්ගතවීම තුළ ඇයට ඇයගේ කේන්ද්‍රය නිශ්චය කර ගැනීමට හැකියාව ලැබෙන හැටි මම දකිමින් සිටියෙමි. ඒ කේන්ද්‍රය වටා ඇය ඇගේ මම ගොඩ නගනු ඇත. ඇය දැන් ඒ කේන්ද්‍රයෙන් සහ පරිධියෙන් පිටත පවතින වෙනත් පවුල් වලට අයත් අය පිට අය ලෙස හඳුනා ගනිමින් සිටියි.

පවුල කියන්නේ කෙබඳු දෙයක්ද? මම කල්පනා කරන්නට වීමි. ඒ තුළ ඇය අනාගතයේ කෙසේ හැසිරෙනු ඇත්ද? ඇය විසල් ‍ලොවක සිට කුඩා ලොවකට අවතීර්ණ වී ඇත. ඉතින් ඒ න්‍යෂ්ඨිගත වීම තුළ ඇය ඇයව හදුනාගෙන ඇත. කළින් ඇය විසල් ලොවක විසිරී සිටියෙන් ඇය යනුවෙන් පවතින කිසිවක් ඇය හඳුනා ගැනීමට අපොහොසත් විය. එවිට ඇය ලෙස පැවැතියේ ජීවයෙන් පිරුණු කොන්දේසි විරහිත බැඳීම, ආදරය, පිළිගැනීම සහ සතුටයි. ඒත් දැන් ඒ සියල්ලද පුංචි පරිධියකින් යුත් පවුලක් තුළට කේන්ද්‍රගත වී ඇත.

ලෝකයේ විනාශකාරීම ඒකකය පවුලයි.

මට එසේ සිතුණ වාර අනන්තය. අතීත ලෝකය තුළ වගේම වර්තමාන ලෝකය තුළද එක පවුලක සුඛ විහරණය වෙනුවෙන් අති මහත් ජනතාවක් පීඩනයට හෝ සූරා කෑමට ලක්වීම සිදුවුන හෝ සිදුවන අයුරු දැකිය හැකි බැවින් මට එ‍සේ සිතුණාද යන්න මා නොදනිමි.
ඇයගේ දෑසේ සිදුවන වෙනස් වීම දකින මට පවුල පිළිබඳ මේ අවබෝධය ගෙන ආවාද යන්න අදත් මා කල්පනා කරමි. ඒත් පවුල කියන මනෝ නිර්මිත ඒකකයක කේන්ද්‍රයක් තුළට ඇය ඇද නොවැටුණේනම් මා සතුටු වන්නට ඉඩ තිබිණ. මන්ද එසේ කලෙක මාද ඇද වැටීම තුළ මා සමස්තයේ පවතින ස්වභාවික ප්‍රමෝදය, පිළිගැනීම, සජීවී බව අහිමි කරගෙන සිටිනා බව මා අවබෝධ කර ගෙන සිටි බැවිනි.
මනුෂ්‍යත්වයේ විවිධ සීමාවන් නොදැනුවත්වම මා තුළ හිඳ මා යම් තැනක සිර කර තිබෙනුද මා එයින් ගැලවිය නොහැකිව බලා සිටිනුද මා තවමත් දකිමි.

ආරම්භයේ නොදැණුනු මනෝ නිර්මිත පවුලක කේන්ද්‍රගත වීම මා බිය ගන්වයි.

කලෙක මා කොතනක හෝ කියවූ සිද්ධියක් මගේ සිහියට නැගිණ. හිට්ලර්ගේ නාසි හමුදාවේ සිටි නරුම අලුගෝසුවා වූ අයික්මාන් හිට්ලර් යටත් වීමත් සමග ආර්ජන්ටිනාවට පැන ගොස් සිටිද්දි ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය ‍විසින් අල්ලා ගනු ලබන්නේ දෙවන ලෝක මහ යුද්ධයෙන් පසු එළැඹි දෙවැනි දශකය තුළයි. දහස් ගණන් මිනිසුන් ගැහැණුන් සේම කුඩා දරුවන් ඇද ගෙන ගොස් පේළියට තබා වෙඩි තැබීමටත්, ගෑස් කාමර වලට දැමීමටත් අයික්මාන් මහත් රුචියක් දැක්වූ බව එහි සඳහන් වී තිබිණි.
කෙසේ වෙතත් ඔහු ග්‍රහණයට ගෙන අත් අඩංගුවට ගැනීමේ ප්‍රධාන කාර්යය සිදුකල යුදෙව්වාට ඔහු පවසනු ලබන්නේ,
මාව මැරුවත් මගේ දරුවන්ට කරදරයක් කරන්න එපා
මම දරුවන්ට ආදරෙයි ලෙසිනි.
පවුලෙන් පසු අප කේන්ද්‍රගත වෙන්නේ ජාතිය තුළද? 
එතකොට දහස් ගණනක් දරුවො මරද්දි ඔය දරුවන්ට තිබෙන ආදරය තිබුණෙ නැද්ද? ප්‍රශ්ණකරු විමසයි.
ඒක මගේ රැකියාව. ඉහළින් එන අණ මම ඉටු කරන්න ඕනි.
එහෙම නොවුණත් ඒ අය යුදෙව්වොනො ඒ අයික්මාන්ගේ මනෝ නිර්මිත ජාතිකත්වයයි.

පවුල කියන්නෙ ලෝකයේ විනාශකාරීම මූලික ඒකකයයි.
මට මේ සිතුවිල්ලෙන් ගැලවිය නොහැක්කේ ඇයි?

සමහර විට ඒ මගේ කාළකණ්නිකම විය හැක.

17 comments:

  1. මගේ වැටහීම පරිදි ඔබ හරි! පවුල කියන්නෙ විනාශකාරීම මූලික එ්කකයයි! :)

    ReplyDelete
  2. මම තාමත් කල්පනා කරනවා.....
    මිනිස්සු තවත් මිනිස්සුත් එක්ක ඇතිවෙන බැඳීම් වැඩි වෙනකොටද "එයාලා අපේ අය" කියන්නේ? ඒ බැදීම් තව තවත් වැඩිවෙනකොටද "එයාලා මගේ අය" කියන්නේ?
    මිනිස්සු මිනිස්සු අතර බැඳීම් වැඩි වෙනකොට ආත්මාර්ථකාමීත්වයත් ඒත් එක්කම වැඩි වෙනවද?
    එතකොට නේද "මගේ අයට" වැඩි සැලකිලිත් "අපේ අයට" ඊට තරමක් අඩු සැලකිලිත් ඒ කණ්ඩායක් දෙකටම නැති අය ගැන සැලකිල්ලක් නොදක්වන තැනටම වැටෙන්නේ?
    මම තාම කල්පනා කරනවා.......

    ReplyDelete
  3. පවුල තමයි මේ ලෝකේ මුල්ම බැදීම, වෙන්වීම,ආදරය, තරහ මේ ඔක්කොම පටං ගන්න තැන.ඒක විනාශකාරී කියලා මට හිතෙන්නෙ නෑ...

    ReplyDelete
  4. නිසි කාලයේදී පවුලෙන් ලැබිය යුතු ආදරය , ‍රැකවරණය නොලැබීම නිසා මුලු මහත් සමාජයටම වෛර කරන හෝරුන්, ස්ත්‍රී දූශකයන් බිහිවන්නේ, පවුලකින් නොලැබී ගිය ආදරය , ‍රැකවරනය , සමජය විසින් ඔහුට ලබා දුන් නිසා විය යුතුය....

    ReplyDelete
  5. මේක තමා මගේ කතාව
    http://emailkavikaari.blogspot.com/2011/11/blog-post.html

    ReplyDelete
  6. අමුතුම මාදිලියක කතාවක්.

    පවුල කියන්නේ අපිව එක්තැන් කරන, ආදරය අපට හඳුන්වා දෙන, සමාජයට යෑමට අපිව පුහුනු කරන ඒකකයක්. ආදරේ හැම තැනකදිම ආත්මාර්ථකාමීයි. ඒ වගේ නැති ආදරයක් ගැන මව තුලින් අපි ඉගෙන ගන්නෙත් මේ පවුල් ඒකකය තුලින්.

    ඒක ලෝකයේ විනාශකාරී මූලික ඒකකය වෙන්නේ කොහොමද? ආත්මාර්ථකාමී ආදරයක් ඒ විදියට හැඳින්නුවට වරදක් නෑ.

    ReplyDelete
  7. ළමයෙක් විනාශ වීම ඇරඹෙන හැටි.

    "ලෝකයේ විනාශකාරීම ඒකකය පවුලයි."

    හුඟක් දුරට ඇත්ත. මමත්වය, ආත්මාර්ථකාමීකම, දරුවන් දේපල ඇතුළු සියල්ල මගේ හෝ අනුන්ගේ යනුවෙන් වර්ග කිරීමට උගන්වන්නෙ මේ ඒකකය තුළදි. ඒ වගේම, මේ ඒකකයෙන් බැහැරව සිටින්නන් කෙරෙහි ද්වේෂ සහගතව සැළකීමට, පිටස්තරයින් කොට සැළකීමට ඒ ඒකක තුළ සිර වී ගත්තවුන් හැම විටම කටයුතු කිරීමත් නිතරම අත්විඳින්නට වෙන දෙයක්. අපේ සමාජයම හැදිලා තියෙන්නෙ මේ ඒකකයට අයත්ව ජීවත්වන්නවුන්ගෙ ජීවිතය පහසු කිරීම සඳහා. ඒ වෙනුවෙන්, ඉන් බැහැරව ඉන්න අයට මොන තරම් කෙණෙහිළිකම්, කරදර, කරනවද?

    ReplyDelete
  8. කෙනෙකුට විනාශකාරී බව තව කෙනෙකුට සාර්ථක බව වෙන්න පුළුවන්. පවුල තුලින් කෙනෙකුට මමංකාරය, අපංකාරය ආරෝපණය කිරීමත් එහෙමම යි, එක බොහොම සාපේක්ෂ බැලීමක්. මම හිතන්නේ ඔබ මෙය ලියා ඇත්තේ දේශපාලනික දැක්මකින්, එහෙම බැලුවහම පවුල විනාශකාරී විදිහට පෙනෙනවා තමා.

    ReplyDelete
  9. එකඟයි...

    පවුල් ඒකකය තුලින් තමා අපට ආත්මාර්ථය මුල සිටම උගන්වන්නේ..අපි එතනින් පස්සේ ඒවා ක්‍රමයෙන් වර්ධනය කරගෙන ඉතිරි අඩුපාඩු ටිකත් හදාගෙන ලස්සනට අපේ කියන ටික හදාගන්නවා..කොච්චර උත්සහ කලත් අතෑරගන්න බැරි තරමට...

    මිනිස්සු හීනයෙන් අවධිවෙන්න බයයි... ඒ බය හින්දා සමහර වෙලාවට කවුරු හරි ඇගිල්ලෙන් ඇන්නමත් ඒකට විරුද්දධව වලියට එනවා... ඒත් ටිකක් කල්පනා කරන්නේ නැහැ ඇත්ත මොකක්ද කියලා...

    ReplyDelete
  10. මමත්වය කියන එක මගෙන් පටන් අරන් පවුල හරහා තවත් දන්න කියන අයව අතගාගෙන සමාජය වෙත විහිදෙන එකක්. ඒක එතනින් නවතින්නෙ නෑ... අපි මෑතකදි අපේ ක්‍රිකට් ටීම් එකට බැන්නෙ එයාල අපට මමත්වයේ (අතුරු) හැඟීමක් ලබා නුදුන්න හින්දා...

    හිතන්න පිටසක්වලින් ඇවිත් පෘථිවිය ආක්‍රමණය කරන්න යනව කියල. එතකොට ඔය මමත්වය කියන සීමාව ඇතුලට සමස්ථ පෘථිවිවාසී සියලු දෙනාම එනවා... ඒ කියන්නෙ අර 'අපේ' කියන කුලකය විශාල වෙනවා. මේක ගැන කාලෙකට කලින් මට හිතුණ එකක් මෙතනම දාන්නම්...

    http://living.hartstuff.com/2009/03/blog-post_14.html

    ReplyDelete
  11. "පවුල කියන්නෙ ලෝකයේ විනාශකාරීම මූලික ඒකකයයි."

    මෙහෙම කතාවක් අහපු පලවෙනිම අවස්ථාව මේකයි. ඒත් තාම හිතාගන්න අමාරු මෙහෙම කියන්නේ ඇයි කියලා.

    ReplyDelete
  12. "පවුල කියන්නෙ ලෝකයේ විනාශකාරීම මූලික ඒකකයයි."
    හුඟාක් දුරට එහෙම වෙන්න පුළුවන් කියලා මටත් හිතෙනවා.

    ReplyDelete
  13. සෑහෙන්න හිතන්න ඕනෙ කතාවක් මේක

    ReplyDelete
  14. දැක්වූ අදහස් වලට ඔබ සැම මගේ ස්තූතිය පිළිගන්න.

    ReplyDelete
  15. අද තමයි මේක කියෙව්වෙ. සෑහෙන්ඩ හිතන්ඩ පොළඹවන කතාවක්.

    ReplyDelete
  16. අගනා ලිපියක්, ජීවිතය විනිවිද දකින්න, හිතන්න යමක් ඉතුරුකරන අපූරු නිර්මාණයක්.

    කෙසේ වෙතත් පොඩ්ඩක් වෙනස් විදිහෙ අදහසකුත් හිතට එනව, මිනිස්ස්සු එකිනෙකාට හිමි මමත්වයේ පරිධිය නිසි ලෙස සලකුණු කරනොගත්තේ නම් හරියට කඹය ලිහපු ගවයෙක් වගේ වෙන එකක් නැද්ද ???

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.