Sunday 3 April 2011

ක්‍රිකට් අතුරු කතා..



වර්ල්ඩ් කප් එක අවසාන විය. කෝටි එකසිය විස්සක් මිනිස්සුන්ගේ සතුට ළඟ කෝටි දෙකක් මිනිස්සු දුක් වෙයි.
මේ කෝටි දෙකක් මිනිසුන් කුසලානය ගැන සිහින මවමින් සිටින අතර මෝඩයාගේ දවසේ රෑ දොළහට සහන මල්ලක් දෙන්න රජය තීරණය කළේය. ඒ වහාම ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල්,ඩීසල්,භූමි තෙල් හා ගෑස් මිල පහත දැමීමෙනි. ලෝක වෙළඳ පොලෙහි බොරතෙල් හා ගෑස් මිල පහත වැටී ඇති බැවින් මෙම සහනය ලබා දීමට රජය පියවර ගෙන ඇත. (ලෝක වෙළඳ පොළේ මෙම මිළ ගණන් ඉහළ යන විට මෙහි කවදාවත් මිළ ගණන් ඉහළ දැමීමක් සිදුනොවන බව සියල්ලෝ දනිති. ඒ බව නොදන්නේ මියගියවුන් පමණකි).

දැන් බඩ කට පුරා අද සිට ඒ සහන මල්ල ලැබෙනු ඇත.

කොහොම වුණත් ඊයේ රෑ මැච් එක බලන්න සෙට් වූ බැවින් තවමත් ටිකක් කරකැවිල්ල වගේය. ඒ මෙදා සැරේ කප් එක ගේන සටනට අපට අරක්කු බෝතල් දෙකකින් දායක වූ නිසාය. තනි තනියෙන් මැච් බැලූ කාලය ඉවරය. දැන් අලුත් ශ්‍රී ලංකාවේ අපි සෙට් වී මැච් බලන්නෙමු.

මුල් හරිය නියමෙට නැගල ගියත් අවසානේ ඉන්දියානුවන් ජය ලබන බව හොඳහැටි තේරුම් යමින් තිබුණි.
අන්න එතකොට එකා දෙන්නා ද්‍රෝහීන් අප අතරින්ම ඉස්මතු වෙන හැටි බලන්න සිදුවීම කණගාටුවට කරුණකි.
මෙතෙක් වේලා ලංකාව වෙනුවෙන් මැරෙන්න සූදානම් වෙලා හිටිය එකෙක් කීවේ,

"වැඩක් නෑ බං කවුරු දිනුවත් අපි පැරදියි. හෙට අනිද්ද බස් ගාස්තු වැඩිවෙයි. පෙට්‍රල් වැඩි වුණ නිසා බඩුමිල වැඩිවෙයි. ගෑස් වැඩි වෙච්ච නිසා ප්ලේන්ටිය පවා හෙට වෙද්දි කඩකාරයො වැඩි කරල තියෙයි. අපි කොහොමත් පරාදයි. ඉන්දියාව අපේ කණට ගහනකොට ලංකාව අපේ බඩට ගැහුව එච්චරයි"

අනේ අම්මප මුංට පරාජය ළංවෙද්දි පිස්සු හැදෙනවාය.

තව එකෙක් කියා සිටියේ,
"ඉන්දියාව තමයි මේක දිනන්න ඕනි. මොකද අපි ප්‍රජාතන්ත්‍රවාදීන් විදියට වැඩි දෙනාගේ කැමැත්තටයි ගරු කරන්න ඕනි. මොකද ලංකා‍වේ කෝටි දෙකක් මිනිස්සුන්ට සතුටු වෙන්න අවස්ථාව ලැබුණොත් කෝටි එකසිය විස්සක් ඉන්දියානු බහුතරය දුකට පත්වෙනව".
මුංට ප්‍රජාතන්ත්‍රවාදය මතක් වෙන්නේ කෙළවෙන වෙලාවල් වලට පමණි.

මෙතෙක් වෙලා වැඩියෙන්ම අරක්කු ගිලපු එකාද මෙන්න දැන් සිල්වත් වෙලාය. ජාත්‍යාලය ඉක්මවා ගොසිනි. ඌ මේ කිව්වේ අමුතුම කතාවකි.
"ඉන්දියාව කියන්නෙ බුදු වරුන්ගේ දේශයයි. ඒක නිසා අපි බෞද්ධයෝ විදියට ඉන්දියාවට හැම අතින්ම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන්න ඕනි. ඉදිරියටත් බුදුවරුන් බිහිවෙන්නේ ඉන්දියාවේ නිසා අපිටත් ඒ බුදුවරුන්ගේ ආනුභාවය ලැබෙයි නිවන් දකින්න".

නොදකින් ! මේකට නිවන් සැප මතක් වෙන්නේ කෙළින් හිට ගන්න බැරි තරම් බී ගත්තාමය.

මේ කතා වලට ඇහුන් කන් දෙමින්ම මැච් එකේ ඇහැ අලවාගෙන හිටි සිව්වැන්නා කියා සිටියේ හාත්පසින්ම වෙනස් කතාවකි.

"මේ රටේ සාමාන්‍යයෙන් වීරයන්ට අන්දන එකත් ඊට පස්සේ ඒ ඇඳුම් ගලවන එකත් සිරිතක් නිසා අපේ එවුන් මේක දිනන්න බය වෙලාද කොහෙද? මොකද වීරයෝ සහ ද්‍රෝහියෝ අතර තියෙන්නෙ කෙස් ගහක වෙනසක් කියල කතාවකුත් තියෙනවනෙ. කෙස් ගහ පැන්න ගමන් හිරේ විලංගුවේ වුණත් වැටෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපේ එවුන් දිනන්න බයවෙලා ඉන්නෙ"

මේකා දේශපාලන උණකාරයෙක් නිසා අපි නිශ්ශබ්දව සිටියෙමු.

මේ මැච් එකේ අවසාන හරියයි. මහේන්ද්‍ර සිං දෝනි හතරේ පහරකින් ජයග්‍රහණය වාර්තා කලේය. දහවන ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර ගත්තේය. කොහොම වුණත් මේ දුක් විය යුතු අවස්‍ථාවේ මුං සිව් දෙනාම හුරේ පාරක් දමා ඉන්දියානු ජයග්‍රහණයෙන් සතුටු විය. ඒත් සෙට් වූයේ වෙනත් අරමුණක් හිත් දරාගෙනය.

මුං නම් නියම දේශපාලනික සත්වයෝය.


14 comments:

  1. එල එල..
    අනිත් පොස්ට් ටිකත් හිමිහිට කියවන්න ඕන...

    ReplyDelete
  2. බීපු එකා බුදුන් ගැන කතා කරපු එකත් , කොටි එකසිය විස්සක් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයත් මරුම තමයි ........ දෝනි අය්යගෙ ගැහිලි වගේ නෙවේ මෙහෙ අය්යලගේ එව්වා තෙලුයි ගැසුයි දෙකම එක පාර වැඩි කල අන්න ඒව තමයි නියම ගැහිලි

    ReplyDelete
  3. කොහොමහරි ඉන්දියාවේ ක්‍රිඩකයන්ගේ ගෙවල් ටික බේර ගත්තා නේ.

    බුවා කිව්වත් වගේ ඌවාට වඩා මෙහේ දේශපාලනේ මාරම ගහිලි තියෙන්නේ. සමහරු කොලේ වහලා ගහනවා. සමහරු එලි පිට ගහනවා. අන්තිමේ වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන් ගේ බඩට වදින එක !!!!

    ReplyDelete
  4. මේ මම හොඳට දන්න පොරක් පරාජයත් එක්කම එවපු එස්.එම්.එස් එකක්. හැබැයි මේකට නම් මම කැමතියි.
    "Hay... Sri lanka is not the only country in the world...."

    ReplyDelete
  5. ඔන්න ඔහොමයි උනා කියන්නෙ නේද

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. නියම ලියවිල්ල . කනේපාරක් ගැහුවා වගේ .. නියමෙටම නියමයි බං ...

    ReplyDelete
  8. ඒ කියන්නෙ අවට පරිසරේ වෙනස් වීම අනුව ඕනම දේශප්‍රේමියෙකුට දේශ ද්‍රෝහියෙක් වෙන්නත් ඒකෙම අනිත් පැත්ත වෙන්නත් ඒ හැටි වෙලාවක් යන්නෙ නෑ...

    ReplyDelete
  9. ඒකට තව දේශද්‍රෝහි ප්‍රකාශයක් එකතු කරන්නෙමි. අපි ලයිට්බිලත් වියදම් කරගෙන පැය ගාණක් කාලයත් නාස්තිකරගෙන අන්තිමට ලේ ටිකත් පුච්ච ගත්තෙමු...

    ReplyDelete
  10. මොකද වීරයෝ සහ ද්‍රෝහියෝ අතර තියෙන්නෙ කෙස් ගහක වෙනසක් ..............හැබෑමයි බං.කටේ පැට්‍රොල් ලීටරයක් දාන්න වටිනවා.

    ReplyDelete
  11. ඇත්තම ඇත්ත......

    ReplyDelete
  12. නියමයි....
    හිතන්න ඕන විදිය අපේ මිනිස්සු තාම දන්නේ නෑ.
    ඒකට හොද අත්වැලක් සහෝදරයා දීලා තියෙන්නේ.

    ReplyDelete
  13. මොකද යාළු බොලොග් ලියන එක නවත්වලද? හුඟ කලෙකින් අලුත් post 1 දැක්කේ නෑ

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.