Friday, 20 May 2011

මරණයේ ඇති විමුක්තිය



අපි සියල්ලන්ම ඉක්මණින්ම වෙන්වී යාමට නියමිතය. මරණය විසින් සියල්ලම අහෝසි වීමක් සිදු වෙතැයි මා නොසිතමි. සයිබර් අවකාශයට ආගමනයෙන් පසු දෙවැන්නාද අප අතරින් මරණය යැයි හඳුන්වන සමුගැනීමක් තුළට නික්ම ගොසිනි. මීට පෙර තම තම ණැන පමණින් බ්ලොග් අඩවිය ලියූ සහෘදයාගේ නික්මීම සිදුවිණ.

ඊයේ තවත් සහෝදර බ්ලොග්කරුවෙකු ලියා තිබුණේ මරණය කියන සිදුවීම තමන් තුළ මහ කම්පනයක් ඇති නොකරන්නක් බවට පත් වී ඇති බවයි. එය තමාගේ කාළකණ්නි කමද යන්න නොදන්නා බව ඔහු පවසා තිබුණි. එය කියවීමෙන් පසු මටද හැඟී ගියේ මරණය යන්න මා තුළද එතරම් විසල් කම්පනයක් ඇති නොකරන බවයි.
ජීවිතයේ වටිනාකම නැතිවූ කලෙකට අපි පැමිණ සිටින්නෙමු. දශක ගණනාවක් පුරා අපි දකිමින් සිටියේ ම්ලේච්ඡත්වයේ සිහිනයන්ය. ඒ සිහින තුළ දිනපතා කුරිරු මරණ පිළිබඳ පුවත් සවනත වැකිණ. එය මිනිසුන්ගේ සිත්වල කම්පනයකින් ඇරඹී අවසානයේ සාමාන්‍යයක් බවට පත් වන තරම් සුඵ දෙයක් බවට පත්විය. තමන්ගේම සහෘදයෙකු මිය යද්දී පමණක් හැඟීමක් ඇති වන තරමට මිනිස් සංවේදීතාවය මොට බවට මේ භූමිය තුළ පත්වනු අප අත්දැක්කෙමු.
ඒ කිසිවක් අපගේ අවශ්‍යතාවයන් නොවූ අතර දේශපාල‍නයේ අවශ්‍යතාවයන් පමණක් විය. මිනිසුන් භේද බින්න කර තබන තරමට දේශපාලනයට පැවැත්මක් තහවුරු කරන අතර බීජ වැපිරූවන් ආරක්ෂා වී ලට්ට ලොට්ට බිල්ලට දීම දේශපාලනයේ ස්වභාවය විය. නමුත් වපුරන්නන් මත යැපෙන මිනිස්සු භේද බින්න වූ අලුගෝසුවන්ට සේවය කර මිය යන තත්වයට පත් වූ තැනක ජීවිතය කියන්නේ පුංචි දෙයකි. ලට්ට ලොට්ට බිල්ලට පිදෙන විට ඔවුන්ගේ ජීවිත ලට්ට ලොට්ටම පමණි. දුක්විය යුතු මහ ජීවිත ලබා සිටින්නේ ලට්ට ලොට්ට බිල්ලට දී ආරක්ෂා වන පරපුර පමණකි. ඒත් ඒ වියපත් අසංවේදී බව අද එදිනෙදා සමාජ ජීවිතය තුළද තමන්ගේ හසල රංගනය ඉදිරිපත් කරන්නේ මනුෂ්‍යත්වයේ වටිනාකම තුට්ටු දෙකට වැටුණු ගාණනටය. රටෙහි එදිනෙදා සමාජ ජීවිතයේ පවා අද ජීවිතයේ වටිනාකම හෑල්ලුවට ලක්වී ඇති අයුරු දිනපතා ඇසෙන පුවත් වලින්ම පෙනී යයි.

ඉතින් ජීවිතයට වටිනාකමක් නැති තැනක ජීවිතයක් නැති වීම විශාල කම්පනයක් ඇති නොකරන බව මා තුළම මට හැඟී යයි.
ගෙවා ආ ජීවිත ගමනේ අත්දැකීම් තුළ සාපේක්ෂ ජිවිතය තුළ අපි කොතරම් කුඩා ප්‍රාණීන්ද යන්න සිතට නැගුණු අවස්ථා අපමණය. දුක් ගැහැට, දුෂ්කරතා අපමණව ඉදිරිපත් වන විට මේ රැක ගන්නට වෙර දරන ජීවිතයේ අර්ථය කුමක්ද යන්න නොසිතුණා නොවේ. ජීවිතය දුකක් යන්න විවිධ දර්ශණයන් හරහා ලබන දැනුම, උගත්කම තුළින් අත්විඳ නැතත් එදිනෙදා ජීවිතය රැක ගැනීමේ අරගලය තුළ ජීවත් වීමට වඩා මියයාම සැපතක් බව සිතට නැගුණු අවස්ථා අපමණය. අපමණ විෂමතා තුළ අනෙකුන්ගේ අතපල්ලෙන් බේරෙන ඉඳුල් ගාණට බොහෝ ජිවිත පත්වන හැටි පුද්ගලික අත්දැකීමෙන්ම අවබෝධ වන විට මනුෂ්‍යත්වයට වඩා වැඩකට නැති කුණු කන්දල් පිරිණු හිස්‍ගෙඩි වලට වටිනාකම ආරෝපණය වී ඇති බව පෙනී ගියේය. එබැවින් මා කිසිදා මේ ජීවිතය නොපැසසුවෙමි. අධ්‍යාත්මය මියදී පණ අදින මිනිස් ගහණයක් තුළ මරණය සාපේක්ෂ විමුක්තියක් ලෙස මම තවමත් අදහමි.
උන්නතිකාමී ආත්මාර්ථයෙන් විතැන් වූ අපේක්ෂා මුදුන් පත් කිරීමට උත්සාහ කරන කිසිදු සමාජගත ව්‍යුහයක් මෙතෙක් හමු නොවිණ. අධ්‍යාපනය, ආගම, දේශපාලනය වැනි ව්‍යුහයන් සම්පූර්ණයෙන්ම උන්නතිකාමී අපේක්ෂාවන්ට යටවී ඇති සන්දර්භයක් තුළ මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටින වෙනත් සමාජ ව්‍යුහයක් සොයා ගන්නේ කෙලෙසද? ඒවායේ පදනම මනුෂ්‍යත්වය මූලික කොට ගැනීම දක්වා ආපසු ගමනක නොයන්නේ නම් අනාගතයේ සමාජ හදවත මීටත් වඩා අසංවේදී කිසිවක් බවට පත් වන බව නොඅනුමානය.
ඇත්තෙන්ම අප වැන්නන්ට මරණය තාවකාලික විමුක්තියක් ලෙස දැනෙන හැඟීමෙන් මා මිදෙන්නේ ‍කෙලෙසද? ඒ හැඟීම තුළ කිසිවෙකුගේ මරණය පුද්ගලිකව අධික පාඩුවක්, අහිමි කිරීමක් ඇති නොකරන්නේනම් මා තුළද උපේක්ෂා සහගත, දැඩි කම්පනයක් නැති මානසික තත්වයක් ඇති කරයි. සාමාන්‍ය සසල වීමක් පමණක් මොහොතකට ඇති වී පැවතී නැතිවී යයි. එය කාළකණ්නිකමද? නැතිනම් පීඩිත බවේ අත්දැකීම් විසින් ඇති කරන ලද අසංවේදී බවද? නැත්නම් සුඵතරයක සැපත වෙනුවෙන් ලට්ට ලොට්ට ගාණට බහුතරය පත්වීම තුළ පුද්ගලිකව අත්විඳින්නට සිදුවූ අත්දැකීම් වල අවසාන ඵලයද? මට මා තුළම පිළිතුරු කිසිවක් නැත. මරණය අලුත් අත්දැකීමක් ගෙන එනු ඇතැයි මා සිතමින් හිඳිමි.

හෙට මාද මිය යනු ඇත. ඒ අලුත් අත්දැකීම බොහෝ කලෙක සිට මා ප්‍රිය කරමින් හිඳිමි. එතෙක් එළඹෙන කාලය මා රිසි වූ දේ වෙනුවෙන් උපරිමව යොදා ගැනීමේ අරගලයක මා කවදත් නිරත වෙමින් සිටිමි. පුද්ගලිකව මේ අවකාශයේ මා හඳුනන්නේ එකම එක් අයෙක් පමණකි. කාලය කෙරෙහි පවතින මගේ ගිජු බව නිසාම පුද්ගලිකත්වය රැක ගැන්මට මා සැම විටම ප්‍රවේශම් සහගත වීමි.
අලුත් අත්දැකීමක් සමග නොදන්නා ලොවක් වෙත නැවතත් මේ මොහොතේ සමුගෙන සිටින දිඵම් සොයුරාද නැවතත් හමුවීමේ අවකාශ පවතිනු ඇතැයි මා සිතමි. ඉතින් මේ සමුගැනීම තුළ හමුවීමේ බීජද තැන්පත් වී පවතියි. ඔබේ මරණය යැයි කියන දේ මා තුළ ඇති කරන හැඟීම වචන බවට පත්කිරීමට නොහැකිය. කෙසේ වුවත් ජීවත් වූ ඔබට මෙන්ම මියගිය ඔබටත් විශාල වටිනාකමක් අත්කර දුන් ආගන්තුක සහෘද කැලගේ ආත්මයන්ට ප්‍රශංසා කල යුතුමය. ඒ නිවෙමින් පැවති යමක් ඔවුන් දල්වා සිටින්න හදවතින් දැරූ පරිශ්‍රමයම අලුත් සිහිනයක් මා තුළද දල්වා ඇති බැවිනි.

6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මරණය යන වචනයෙහි නියම අරුත පසුගිය කාළය තුල බොහෝ අත් විඳ ඇත්තෙමු. මෙහිදි ඇත්තෙ දුකක් නොව.. වේදනාවක් පමණි.. එයයි ජීවිතය..

    ReplyDelete
  3. ඇලන් ක්වාටමෙන්ගේ වීර චාරිකාව පොතේ අවසානයේ ඇලන් ක්වාටමෙන් තමන්ගේ අවසන් මොහොතෙදී තමන් එක්ක ගවේෂණ චාරිකාවලට එක්වුණු මිතුරන්ට කියනවා

    "මං මේ සැරේ යන්නේ අපි හවුලේ ගිය ඒවාට වඩා විශ්මයජනක චාරිකාවක්. මා ගැනත් මතක තියාගන්න. ඔබ හැමදෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" කියලා.

    සයිබර් අවකාශයේ එකට ගමන් කරපු දිළුම් මිතුරාණෙනි ඔබ ගැනත් එසේමයි..........

    ඔබට ප්‍රීතිමත් චාරිකාවක්........

    http://aagiyakatha.blogspot.com/2011/05/blog-post_19.html

    ReplyDelete
  4. සමහර අවස්ථාවක මරණය තාවකලික විමුක්තියක් කියලා හිතන්න පුලුවන්.කොහොම වුනත් කිසිවිට නොදුටු දිලුම් මිතුර නුඹට නිවන් සුව!

    ReplyDelete
  5. සදාදර සොයුරාණෙනි…
    මතු උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණයකට පත් නොවී හැකි ඉක්මනින් සත්‍යාවබෝධය කොට ලොව්තුරා නිවන් සැප සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා යැයි පතමි……

    ReplyDelete
  6. කතා බහ කරලා, හිනා වෙලා එක දවසක් හරි හිටිය නිසා මට ඉලංදාරියා ගැන කණගාටුවක් තියනවා.
    සෝක පරිදේවයේ අපි තත්වන පත්වය තීරණය කරන්නෙ අපි ඒ කෙනා සමඟ තියා ගෙන ඉඳපු බැඳිම.
    ඔබ බොහෝ බැඳීමකින් හිටියා නං ඔබට දුක වැඩි. එහෙම නැත්තං දුකක් දැනෙන්නෙ නෑ.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.