Sunday 26 June 2011

ඇය සමග දහවලක්..





මේ වැඩේ තේරුමක් තියෙනවද? ඇය විමසයි.
මොන වැඩේද මම අසමි.
මේ විදියට තවත් අපි හමුවෙන එ‍කේ
මොකටද තේරුමක් හොයන්නෙ. අපි හමුවෙනව. ඒකෙන් සතුටක් ලැබෙනවනම් තේරුමක් මොකටද?
ඒත් මොකක් හරි අවසානයක් තියෙන්නෙ ඕනි
හැම දෙයක්ම අවසානයක් වෙන දවසක් එයි
ඇය නිහඞ වෙයි.

මමද නිහඞ වෙමි. මම ඇගේ මුහුණ බලමි. එය බිමට නැඹුරුවූ අසීමිත කල්පනාවකය. ඒ දෑස් තුළ සම්මත අවසානයක ආශාවත්, බලාපොරොත්තුවත් මට දිස්වේ.

ලෝකය යෝජනා කරල තියෙන එකම විදියෙ අවසානයක් අපි අතර ඇති නොවෙන්නත් පුඵවන්. ඒත් ඒකත් අවසානයක් තමයි. ඒත් ඒ අවසානය අසම්පූර්ණ අවසානයක් විදියට හැමදාම ඔයාට කතා කරයි. ඒ ඇයි? මම කියන්න දන්නෙ නෑ. සමහර විට හැමෝම එකම විදියෙ අවසානයක් වෙනුවෙන් ඉපදිලා නැතුව ඇති මම මුමුණමි.

ඔයාටනම් පිස්සු. විකාර කතා කරන්නෙ ඇයි? ඔයාට ඕනි වෙන් වෙන්නද හැමදාම එකට ඉන්නද? අපිට සෙල්ලම් කරන්න කාලයක් නෑ. කරන දේකට තේරුමක් තියෙන්න ඕනි.

මම කල්පනා කරමි. ජීවිතය ඇත්තෙන්ම දෙවියන් කල විහිඵවක්ද? මේ ඔඵවක්, කඳක්, අතපය තියෙන ශරීරයකට හිතක් ඇතුල් කර දෙවියන් විහිඵ කරන්නේද? ඒ විහිඵව ඇත්තක් ලෙස ගෙන අපි ඒ හිතෙන් හැමදේකම තේරුම සොයා යන්නේද? කිසිවකට මා තුළම මට පිළිතුරු නැත. විහිඵ දෙකක් එකතු වී විකාරයක් නිර්මාණය වුණොත් අපි විකෘතියක් නොවෙමුද?. මගේ සිතුවිලි මා ඇගෙන් වසන් කර ගනිමි. මනුෂ්‍යත්වය එසේ ලොව තුළ විකෘතියක් වී ඇතැයි මම සිතමි.
ඇය මා වෙනුවෙන් බලා හිඳියි. ඒ කුමක් සඳහාද යත් ජීවිතයට තේරුමක් එක් කරලන්නටය. හෙට දවසක් නිර්මාණය කරන්නටය. සංස්කෘතික මිනිසාගේ සම්මතය වුණු විවාහයක්, පවුලක් වෙනුවෙන් ඇය බලා හිඳින්නීය.

ඇය සංස්කෘතික මිනිසුන්ගේ ඇසුරින් තොරව හුදෙකලාව හැදී වැඩුණු ආත්මයක් වීනම් මා වඩාත් ප්‍රිය කරන්නට තිබිණි. එසේනම් කිසිවකට ඇයට කළින් සකස් කල පිළිතුරු, ආරම්භයක්, අවසානයක්, සම්මතයක් නොතිබේ. ඒ දත්ත ඈ තුළට ඇතුළත් වී නැති බැවින් ආදරය ළඟදී ඇය නැවුම් වන්නට තිබිණි. ඇයට ආදරය සමග කල යුත්තේ කුමක්දැයි නොහැ‍‍ඟෙන තරම් පිවිතුරු ආත්මයක් තිබුණේනම් හැම මොහොතකම සිදුවීම් ඉදිරි‍යේ විශ්මයෙන් ඈ පිබිදෙන අයුරු මම මවා ගනිමි. ඒත් සංස්කෘතික මිනිස්කම විසින් ඇය විනාශ කර අවසානය. ඇගේ මනස් ලෝකය නිරුවත් කර දූෂණය කර අවසානය.
ඇය මගේ පිටට තට්ටු කරයි. මා පියවි ලොවට පැමිණෙමි.

මොනාද ඔයා අහස පොළොව ගැටලන්න වගේ හිතන්නෙ. මම දන්නව ඔයාට තියෙන ප්‍රශ්ණ. වගකීම්. ජීවිතයක් පටන් ගන්න වෙහෙසෙන්න ඕනි. මොකුත්ම නැති ඔයාට අඵතෙන් ජීවිතයක් පටන් ගන්න අමාරු බව මට තේරෙනව. දුක් වෙන්න එපා. මේක අපේ ලැබීම වෙන්න ඇති. ඇය සෙමෙන් මුමුණයි.

මේ ‍‍ලෝකෙ මහ විකෘතියක් මම හෙමින් පවසමි. කොහොම වුණත් ඒ විකෘතියේ මම ‍ගොදුරක් වෙලා ඉන්නවනම් ඔයත් ඒ ගොදුරේ කොටසක් වෙන්න ඕනි නෑ. සමහර විට මම ඉපදිලා ඉන්නෙ ඔයා හිතන විදියෙ ගමනකට නොවෙන්නත් පුඵවන්. ඉතින් මට‍ තේරුමක්, අවසානයක් නිර්මාණය කරන්න අමාරුයි.

ඒ සියල්ල මූල්‍යමය වටිනාකමක් සඳහන් කල කඩදාසි කොළ අතර දෝලනය වන දේවල් පමණක් යැයි මම සිතමි. ඒවාට හුවමාරු වන ද්‍රව්‍යමය දේවල් සමග තේරුම සහ අවසානය ලියවී තිබේද? මම නොදන්නෙමි.
එසේ නොවන කිසිවක් තේරුමක් හෝ අවසානයක් ගැන නොසිතාම සිදුවෙමින් පවතියි.
ඉර නැගෙයි. බැසයයි. ඒත් ඒ නැගීමත් බැසීමත් අතර තේරුමක් හෝ අවසානයක් ගැන ඉර සිතන්නේද? ගහකොළ ඇතිවෙයි. අව්වට වේලෙයි. වැස්සට තෙමෙයි. ගිම්හානයේ මැළවී යයි. වසන්තයේ මල් පුබුදු කරයි. ඵල දරයි. ඒත් ගහකොළ තේරුමක් හෝ අවසානයක් ගැන සිතන්නේද? නැත ඔවුන් නිකම්ම සිදුවීම භාර ගනියි. සිදුවීම් තුළ ජීවත් වෙයි. ඒත් අපි සිදුවීම් තුළ ජීවත් නොවී බලාපොරොත්තු තුළ ජීවත් වෙයි. දෙවියන්ගේ විහිඵව මනරම්ය.

අපි දෙන්නම නිකම්ම විහිඵ දෙකක් විතරයි මම ඇගේ මුහුණට එබෙමින් පවසමි.
ඇය සිය ඇස් විශාල කර මා දෙස බලයි.
ඔයාට පිස්සු හැදීගෙන එනවද?
මම සිනහ වෙමි.
ඇයි ඔයා හිනාවෙන්නෙ
විහිඵවක් කියන්නෙ සම්පූර්ණ හිනාවක් විතරයි
ඇය අමනාපෙන් අහක බලා ගනියි.

තේරුමක් අවසානයක් ගෙන එන මුද්‍රිත කොළ වල ආශ්චර්යය උපතින්ම හෝ පසුව ‍හෝ මා වෙත පැමිණ තිබුණේනම් මාත් හැමදාම තේරුමක් ඇති දේ කරන්නට තිබුණි. සුපසන් අවසානයක් ඇති දේ පමණක් අරඹන්නට තිබිණි. අරමුණක් හිත දරාගෙන කිසිවක් සොයා යන ගමනක නිරත වෙන්නට ඉඩ තිබිණි. මම කියන විහිඵව විහිඵ දහසක් බවට පරිවර්තනය වෙන්නට තිබුණි. ඒ විහිඵ වලට දෙවියන් බක බක ගා සිනාසෙන්නට බොහෝසේ ඉඩ තිබුණි.

විකාර කියන එක නතර කරල විකාර හිතනවද ඒ පාර ඇය මන්දස්මිතයක් සහිතව විමසයි.
මමද සිනහ වෙමි.
තේරුමක් නැති, අර්ථ විරහිත අතීත මූර්ති සහ චිත්‍ර සහිත විනාශ වුණු ශිෂ්ඨාචාරයක නටබුන් අතර මම මනසින් සංචාරය කරමි. එහි සෑම මූර්තියක් මෙන්ම චිත්‍රයක්ම සම්පූර්ණයෙන්ම විකාරරූපීය. ඒ චිත්‍ර පිකාසෝගෝ ඇතැම් චිත්‍රවගේ යැයි මට සිතේ. තවත් සංචාරකයන් කිහිප දෙනෙක් මා සමග නැරැඹීමේ යෙදි සිටියි. ඔවුන්ට ඒ චිත්‍ර හෝ මූර්ති තුළින් කිසිම සම්මත පිළිතුරක් ලැබී නැති බව ඔවුන්ගේ වෙහෙසකර සහ අතෘප්තිමත් මුහුණු කියාපායි. ඔවුන්ගේ ඒ අතෘප්තකර බවත් මානසික විඩාවත් දකින මා සිත සතුටින් පිනා යයි. එහි පවතින කිසිවක් මිනිසුන් දන්නා චර්යාවන් පිළිබිඹු නොකිරීම පිළිබඳව මම ඒ නටබුන් ශිෂ්ඨාචාරයට හදවතින් ස්තූති කරමි. තේරුමක් සොයමින් වෙහෙසෙන ඒත් අවසානයේ ඒ බලාපොරොත්තු කඩවන සංචාරකයින් සමග මම ප්‍රීතියෙන් සිනාසෙමි.

මොකද වෙලා තියෙන්නෙ. තනියෙන් හිනාවෙන්නෙ පිස්සුව වැඩි වෙලාද? ඇය විමසයි. මම නැවතත් පියවි ලෝකයේය.

මට විහිඵවක් මතක් වුණා මම පවසමි. 


13 comments:

  1. උපරිමයි... ජීව විද්‍යාත්මක මිනිසා සංස්කෘතික රාමුවට යෑමේදී ඇතිවුන ප්‍රශ්න...

    ReplyDelete
  2. අනිත් අය විකාර කියා සිතන අදහස් වෙලාවකට මටත් පහල වෙනවා. මෙන්න මේ වගේ. ඒව ඉතින් තනියම හිතනව විතරයි. කාටවත් කිව්වොත් පිස්සු කියල හිතයි.
    අපිට රාමුවෙන් පිට පනින්න බෑනෙ.

    ReplyDelete
  3. හප්පොස්සියේ කෙල්ලට බොරු දෙකක් කියල පොඩ්ඩක් මුරුංග අත්ත පැත්තෙ සවාරියක් දාන්නෙ නැතුව ඔය කරන විකාරවලින් පවුල අවුල් වෙනව..
    අපි හැමෝම දන්නව බොරුව කියල
    ඒත් අපි හැමෝම දුවනව..
    ඇයි ඒ කියල හිතුනට ඒක ගැනවත් හිතන්න වෙලාවක් නෑ...

    ReplyDelete
  4. සම්ප්‍රදායික රාමුවෙන් පිට නොපනින ඇයගේ හා නිවහල් සිතුවිලි දරනා ඔහුගේ සිතුවිලි ගැටෙන මානය. ලස්සනට ගොඩ නැගුණු චිත්‍රයක්.
    වෙනස් විදිහට හිතන අයව සමාජය තේරුම් නොගැනීම, පිළි නොගැනීම තුළ කොච්චර ප්‍රශ්න ඇති වෙනවද? එක්කො තමන්ගෙ අදහස් එක්ක අයින් වෙන්න සිදු වෙනවා; එහෙම නැත්නම් තමන්ගෙ සිතුම් පැතුම් හංගගෙන වංචාකාරී ජීවිතයක් ගෙවන්න වෙනවා. දෙකම සමතුලිත කරගෙන යාම හුඟක් අපහසුයි.

    ReplyDelete
  5. රාමුවට කොටුවුණ ජීවිත සහ ජීවිත විහිලුව

    ReplyDelete
  6. සුව ගෙනෙයි කඩුපුල් මලෙ නැහැ පෙරවදනක් ..
    ලොව අසයි ඇතිදැයි කියා එහි පසුවදනක් ..
    තිබුනත් නැතත් අපටයි කියා හෙට දවසක් ..
    ආනන්දයකි ඈ හා ගෙවනා ඒ මොහොතක් ..

    ReplyDelete
  7. මචන්,
    කියෙව්වා.
    හොඳයි!
    තව ලියන්න.

    ReplyDelete
  8. උපදින කොටම සකස් කරලා දිපු න්‍යාය පත්‍ර රාමුවට එපිටින් හිතන්න හරි වැඩ කරන්න හරි ගියෙත් වෙන්නේ... ඕක තමයි යාලුවා......

    ....පිස්සන්ගේ ගොඩට වැටීම....

    එතකොට අනිත් අය...කවුද...??????

    ReplyDelete
  9. සබන් බෝල නේද? දෙවියන්ගේ විහිළුව.
    මැණික්

    ReplyDelete
  10. ලස්සනයි...
    ඔයා සම්මත විදිහට ජීවත් වෙන්න කම්මැලි කතාවක් කලිනුත් ලියලා තිබ්බා.
    හැබැයි දෙක වෙනස්. දෙකම දෙයාකාරයේ ලස්සනක් !!

    ReplyDelete
  11. “මට විහිඵවක් මතක් වුණා” මම පවසමි.

    ඒ මම කැමතිම කොටස. :)

    ReplyDelete
  12. ඇත්තටම ඔයා අපූරුවටම ලියලා තියෙනවා මේ සම්ප්‍රදායික රාමුවට කොටු වීම ගැන. සුභ පැතුම් යාළු දිගටම ලියන්න.

    ReplyDelete
  13. මේ විදිහට ලියන්න පුළුවන් බොහොම ටික දෙනාටයි.. මම නම් රස වින්දා

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.