Sunday, 10 February 2013

ආදරණීය ජනතාවට..







දිනෙක තොප වෙනුවෙන්
ගැලවුම්කාරයෙකු හෝ
පාවාදෙන්නෙකු වන්නට
වරමක් ලැබේනම්...

සිහසුන් වල තබා
නරුමයන් අදහන
කුණු හදවත් ඇති
තොපට කිම නිවටුනි,
සැබෑ ගැලවුම්කරුවන්..

පාවාදෙන්නා වෙමි,
තොපි සැවොම
මරණයට දක්කන..


Monday, 4 February 2013

නිදහස..








කැඳ උයන්නට
නිතරම
පාරම්බාන මූසල
ආඩි හත් දෙනෙකුට
බාර දුන්
අම්බලම..


Sunday, 27 January 2013

නයි සමග නිදි වැද..






මම කාලෙකට ඉස්සර මනුස්සයෙක් වෙලා හිටිය. ඒක කියන්න තරම් ජීවිතයක් නෙවෙයි.

මම නාගයෙක් වුණා.

යුද්ධෙ පටන් ගත්ත.  මම යුධ පිටි අතරෙ කරක් ගැහුව නිතරම පෙන ගොබේ පුප්පගෙන. නාග ගෝත්‍රයෙ උන් විදියට අනෙකුත් සියඵම උරග ගෝත්‍ර වල උන් සතුරන් විදියට සැලකීම අපිට නියමව තිබුණ. ඒ නියමයන් ආවෙ කොහෙන්ද කියන්න අපි දැනන් හිටියෙ නෑ. ඒත් අපේ හිත්වල කල්ප කාලයක් පුරා ඒ නියමයන් මුල් බැහැල තිබ්බ විදියට අපිට ඒව දැණුන. අපි ඉපදිලා හිටියෙ ඒ නියමයන් පිළිපදින්නයි. මිනිහෙක් විදියට හිටිය කාලෙනම් ඒ නියමයන් අන්ධකාරයේ නිර්මිතයන් ලෙස මම අදහන්න තිබුණ. ඒත් අපි දැන් තිරිසන්නු. තිරිසන්නු අන්ධකාරය හෝ ආලෝකය ගැන ජනකතා අදහන තරමට මෝඩ නොවීම ගැන මම සතුටට පත් වෙලා හිටියෙ.

ඒ කාලෙ මම නිතරම ලැගුම් ගත්තෙ කෝන් ගස් ඉසව්වෙ. නාගයෙක් විදියට මම නාග ගෝත්‍රය වෙනුවෙන් පළමු යුතුකම ඉටු කලේ ඒ දවස් වල තමයි.

ඒ දවස හොඳ ආලෝකමත් දවසක්. වෙනදටත් කළින් ඉර නැගිල තිබුණ. එක වළාකුලක්වත් නැති තරමට අහස පැහැදිලිව නි‍ලට නිලේ දිස්නෙ දුන්න. ඒත් වන පෙත පුරා ඇදී ගිය සිහිල් සුළඟින්.... එක්කො ඒව ඕන්නෑ. මිනිස්සුන්ගෙ විකාර මගේ ඔඵවට තවම ගහනව සමහර වෙලාවට. කෙළින්ම කාරණේට බහිනවනම්,
එදා ‍ලොකු කෝන් ගහක බෙනයක නයි ශරීරෙ දරණ ගහගෙන පෙණ ගොබේ විතරක් එළියට දාගෙන විවේක සුවයෙන් ඉන්න අතරෙ තමයි ගැරැඩියෙක් කෝන් ගහට ගොඩ වෙන්න දඟලන හැටි දැක්කෙ. විවේක සුවය කියල කිව්වට ඒකෙ කිසි ‍විවේකයක් තිබුණෙ නෑ. කොයි වෙලේ හතුරෙක්ගෙන් අන්තරාවක් වෙයිද කියන බයට ඇහැ නොපියවුණා විතරයි.

කොහොම වුණත් ගැරැඩි තඩිය දකිද්දි මට යක්ෂයා ආවේෂ වීම අහන්න දෙයක් නෙවෙයි. හැබැයි ඌ ගැරඩියෙක් වුණත් යක්ෂයා ඌට බයවෙලා හිටි බව මම විතරක් දැනන් උන්නු රහසක්. ඒත් නාගයෝ කිසිදා ගැරඩින්ට බිය නොවිය යුතු බව මට පසක් වුණා. එවැනි අවමානයක් නාග ගෝත්‍රයට ලොකු කැළලක් වෙන්න ඉඩ තිබුණ.

මම ගැරඩියාට තර්ජනය කලා.

මම තෝව මරණව කියල. 

කටහඩේ වෙව්ලීමක් තිබුණ නිසා ඒක ගැරඩියාට දැණුනවත්ද කියල මට සැකයකුත් නොදැණුනා නෙවෙයි.
ඌ කාළකණ්නි ගැරැඩියා. මගේ තර්ජනය මායිම් නොකර ඔහේ හිටිය. ගැරඩියෙක්ට නොවටින හැසිරීමක් ඌ ප්‍රදර්ශණය කිරීම ගැන මගේ ලේ කෝප වී ගෙන ආව. හිතේ තිබුණ බය, චකිතය අත හැරැල ගැරැඩියා මත්තට පනින්න ‍මට ධෛර්යය ගෙනාවෙ මුගේ මේ උද්දච්ච නාග ගෝත්‍රයට අපහාස ගෙන දුන් හැසිරීමයි. ඒත් ඒ වෙලාවෙනම් ගැරැඩියාට තරු විසිවුණ බව කිව යුතුයි. මරණ බයෙන් ඌ වෙව්ලන හඩින් කිව්ව,

මම වරදක් කලේ නෑනෙ 

නාග ගෝත්‍රය ළඟ හැසිරෙන්න නොදන්නා කම වරදක් නොවන බව අදහන්න තරම් මේ නීච ගැරැඩියා නරුමයෙක් වෙලා හිටිය. මම ඌව වෙලා ගත්ත සැණින්. කෝන් ගස් ඉසව්වෙ අනෙක් නාග සෙනඟ එකා දෙන්න ඇදෙන්න ගත්ත සද්දෙ ඇහිල.
උන් මොර දුන්න මට

මරාපිය පර ගැරඩියා

ගැරඩියාගෙ බෙල්ලට මගේ දළ කිඳා බැස්ස තත්පරයකින්. ඌ අඩපණ වෙලා මැරිල වැටුණ.

නයි සෙනඟ මට හුරේ දැම්ම. ඒක තමයි ගෝත්‍රය වෙනුවෙන් මගේ පළමු යුතුකම් ඉෂ්ඨ සිද්ධ කිරීම. තත්පරයකින් ගැරැඩියා මැරෙන්න තරම් මගේ විෂ අධික වීම ගැන අනෙකුත් නාගයෝ ප්‍රශංසා කලා. ඒ තරම් විෂක් මනුස්සයෙක් විදියට ඉද්දි එකතු වුණාද, නැත්නම් නාගයෙක් වුණාට පස්සෙ ඇති වුණාද කියන එක ගැන මට අදටත් නිච්චියක් නෑ.

කොහොම වුණත් මමත් වීර නාගයෙක් බවට පත් වෙලා හිටිය. ඒත් මගේ වීර සලකුණට ඔච්චම් කරපු බය කියන එක තනියෙන් ඉන්න වෙලාවට මාව නින්දෙන් ඇහැරැවල තිබ්බ. හොඳ වෙලාවට කිසිම උරගයෙක්ට තවත් උරගයෙක්ගෙ හිත පේන්නෙ නෑ. ඒක මට සැනසීමට කරුණක් වුණා. ස්වභාව ධර්මය කොයි තරම් නිර්මාණශීලීද? වැරැදීමකින් හෝ එක උරගයෙක්ට තව උරගයෙක්ගෙ සිත පේන විදියට එය විකෘති විදියට නිර්මාණය වෙලා තිබුණනම් උරගයෝ අතර වීරයෝ කවුරුවත්ම නැති වෙන්න තිබුණ. ගැරඩින්ට නයි පවා නිවටයෝ විදියට හැගෙන්න දැනෙන්න ඉඩ තිබුණ. ඒත් පවතින විදියට ස්වභාව ධර්මය කොයි තරම් නිර්මාණශීලීද? පරිත්‍යාගශීලීද? විචිත්‍රවත්ද? මගේ හිත පෙනෙන හැම විටම මේ ස්වභාව ධර්මය ගැන ගෞරවාන්විත ආදරයකින් මම වෙලී ඉන්නෙ ඒ නිසයි.

කොහොම වුණත් කෝන් ගස් ඉසව්ව, පඵ ගස් ඉසව්ව, ඇහැටු ගස් ඉසව්ව වගේ ගොඩක් ප්‍රදේශ වල නාග ගෝත්‍රය ජය කණු බඳින්න ගත්ත. මේ පොළොවෙ නාගයන්ට වඩා උදාර උරග කුළයක් නැති බව අපි මහ පොළොවටත් සියඵම උරගයින්ටත් ඒත්තු ගන්වමින් හිටිය. ඒත් ඔය කියන ඉසව්වල හිතපු තරම් විෂ ඝෝර සර්පයෝ හිටියෙ නෑ. පොලොන්ගු වර්ග කිහිපයක්, මාපිලන් වර්ගයක්  දෙකක් ඇරුණම වැඩි හරියක් හිටියෙ කිසිම විෂක් නැති උරග කොට්ඨාශ තමයි. එයිනුත් වැඩි හරිය ගැරැඩි කුලයට අයත් උරග විශේෂයි. ඒක නිසා අපේ ශ්‍රේෂ්ඨත්වය වෙනුවෙන් කරන සටන එච්චරම අමාරු වුණේ නෑ. ඒත් අපි නිවට ගැරඩියන් ජය ගත්තත් වෙනත් ඉසව් වලට ඒත්තු ගැන්නුවෙ මාපිලන් ජය ගත් බවයි. එතකොට තමයි වීරත්වය සිහසුනේ තියන්න අවශේෂ නාග කුල වල නයි උත්සුක වෙන්නෙ. උන්ව පිනවීම වගේම, උන් වීර ගෝත්‍රයක කොටස් කරුවන් බව ඒත්තු ගැන්වීම අපේ යුතුකමක්ව තිබුණ. ස්වභාව ධර්මයට නැවතත් ස්තූතිවන්ත විය යුතුමයි එක උරගයෙක් තවත් උරගයෙක්ට හැමදාම රහසක්ව පවතින විදියට නිර්මාණශීලී වීම සම්බන්ධයෙන්.

කොහොම වුණත් ගණ කැලෑව අස්සෙ උරගයෝ නොවුණත් මුගටියෝ කිහිප දෙනෙකුත් හිටිය. මේ කාළකණ්නි නීච මුගටියෝ නාගයන්ට බිය වුණේ නෑ. (සමහර විට උනුත් උරගයෝ වගේම හිතේ බයෙන් හිටියවත්ද මන්දා). කොහොම වුණත් තනි තනියෙන් මුගටියන් එක්ක සටන් කරන්න බැරි නිසා නාගයෝ කවුරුත් එකතු වෙලා එක එක මුගටියා වටකරල පරාජය කළා.  අපි ගොඩකට තනි මුගටියා අහුවුණාමනම් බය කියන එක හිතට දැනෙන්නෙම නැති තරම්. නාග ශ්‍රේෂ්ඨත්වයෙන් අපි ඌව කීතු කලා ඉක්මණින්ම.

දවසක් ගැබ්බර මුගටි දෙනක් අහුවුණා අතටම. තනියෙන් සටන් කරල මුගටි දෙන අන්තිමට අඩපණ වෙලා ඉද්දි තමයි මම එතනට ආවෙ. ඒකි හිට ගන්නවත් බැරිව හිටියෙ. ජීවිතය යදින බැල්මක් ඇස් වල ලියවෙලා තිබුණ.

මාව මරන්න එපා 

ඒකි කියනව ඇහුණ.

දෂ්ඨ කරපං ඒකිට 

මට අණ ලැබුණ.

මම වටපිට බැලුව,

මේකි පැටව් ගහන්න ඉන්නෙ 

මම හෙමින් මිමිණුව. 

කාළකණ්නි දයානුකම්පාවක් මාව වෙලාගෙන තිබුණ.

යකෝ උන් මුගටි පැටව්. ඒක දැනගනින්

මම හිස වැනුව.

චකිතයෙන් වුණත් බියක් නැතිව මං ළං වුණා. මොකද ඒකිට සටන් කරන්න ශක්තියක් ඉතුරුවෙලා තිබුණෙ නෑ.

ඉවර කරපං

මට අණ ලැබුණ.

මම හිතන්න කාලය නාස්ති කලේ නෑ. එකවරම දෂ්ඨ කළා ඒකිගෙ බෙල්ලට. දෙවැනි පාර ම‍ගේ දළ කිඳා බැස්සෙ ඒකිගෙ ගැබ්බර බඩට. මට දැණුන ගර්භාෂය ඇතුළෙ ඇස් ඇරැපු නැති පුංචි පැටව් දඟලනව වගේ. මම පරණ මිනිස් පුරුද්දට වගේ තිගැස්සිලා ගියා. හරහ වැටුණ ඒකිගෙ පණ ගැහෙන ශරීරෙ දිහා බලන්න මට බැරි වුණා. ඒක බය නෙවෙයි. ඒක මොන හැඟීමක්ද කියන එක මට අදටත් කියන්න බෑ. ගර්භාෂයක උණුසුම කෙනෙක් සලිත කරන්න පුඵවන්. ආදරය පණ ගැහෙන තැනකට පහර දුන්නම ඒ වගේ පාදඩ හිත් වේදනාවක් දැනෙන්න ඕනෑම උරගයෙකුට ඉඩ තියෙනව.

මම හිත හදාගත්ත. 

නයි හිත්වල වැඩි වෙලා දුක තියෙන්නෙ නෑ විෂ වගේ.

අන්තිම මුගටියාත් මේ පොළොවෙන් කිතු කළාට පස්සෙ මේ පොළොවෙ ශ්‍රෙෂ්ඨතම උරග ගෝත්‍රය බවට නාග ගෝත්‍රය පත් වුණා. වීරත්වයට සරිලන භූමියක් අහිමි වීම ගැන යුධ පිටියෙ උන්න නයින්ට සාංකාව දැණුන. මීට පස්සෙ කුරුඵ කූඩු වල බිත්තර ගිලින්න ගස් බඩ ගානවට වැඩි දෙයක් ඉතිරි වෙන්නෙ නෑ. ඒක මහ කම්මැලි ජීවිතයක් බවට පත් වෙන්නයි නියමිතව තිබුණෙ.

අන්තිමේ මම තුඹසකට වැදිල එතෙක් දරාගෙන හිටිය හැව ඇරිය. අලුත් හැවක් එක්ක මම සතියකින් විතර හුඹහෙන් එළියට බඩගෑව.

මම අලුත් හැවක් එක්ක අලුත් ‍විදියට කෝන් ගස් ඉසව්ව අතහැරැල ඥාති නයි සෙනඟ අතරට ආව.

නාගයින්ට ජයවේවා

නාගයින් සදා දිනේවා

ඥාති නාගයින් මාව පිළිගත්ත උදාරම් විදියට.

කළින් ගත කරපු මනුස්ස ජීවිතයෙන් වෙන්වෙලා නාගයෙක් වීම ගැන මම ගොඩාක් සතුටු වුණා.

නාගයන් අතර කොයි තරම් පිළිගැනීමක්ද?

මනුස්ස ජීවිත කොයි තරම්නම් කාළකණ්නිද?

ස්වභාව ධර්මයට මා නැවතත් ස්තූතිවන්ත විය යුතුව තිබෙනව.

තව ගොඩක් මෙහෙවර ඉදිරියට ඉටු කිරීමට ඇති බව මගේ හිත එදා සහසුද්දෙන් දැන හිටිය.


Monday, 14 January 2013

දෝෂාභියෝගයෙන් ‍ඔබ්බට..





සේදිරිස් අයියේ,
යමන් කුඹුරට
කෙහෙම්මල් කියවිල්ල
වහගනින් දැන්වත්...

ඔය කෙහෙම්මල් නීති
පොඩි අපිට විතරයි බං
බල්ලන් වගේ බැඳලන්න
හරකුන් වගේ දක්කන්න
අපිට විතරයි බං
ඔය කෙහෙම්මල් නීති...

උසාවි, බලුකූඩු, හිරකූඩු
හැමදාමත් තිබුණෙ
උඹලට අපිට විතරයි
දැන් ඔය මොරදෙන
නෝනල, මහත්තැන්ලා
මීක් ගෑවේ නෑ බං
කවම කවදාවත් ඒ ගැන..

ඒ අවනීතියට
අත තියල නෑ බොලන්
ඒව හැමදාමත් තියෙයි
උඹල අපි වෙනුවෙන්...

මොකට විස්සෝප වෙනවද?
යමන් දැන්වත් කුඹුරට
අපි නිකම්ම නිකම්
බයිස්කෝප් නරඹන
කැහැටු ඇටසැකිලි බං...

Thursday, 27 December 2012

මනුසත් උපත






හූනන්ට කූඹින්ට වුව
ඉඩකඩ ලැබෙන
ඔබේ නිවහන තුළ
මට ඉඩක් නැති හැටි..

Sunday, 28 October 2012

කොපි පොත්..






සැබවින්ම
මිනිසුන් නොවෙමු අපි
ඇරැඹුමේ සිට
අනුන්ගේ සටහන් ලියූ
කොපි පොත් පමණි..

Monday, 15 October 2012

හාමතට තිත






පහුගිය වකවානුවේ දිගින් දිගටම රාජකාරියට නොගොහින් නිවාඩු ගන්න වුණාම නිතර දෙවේලේ දුරකතන ඇමතුම් දෙමින් සැප දුක සොයා බැලුවේ සුමනරත්න අයියාය. කොහොම වුණත් මාසික වැටුප ලැබෙන දිනයේ වැඩට ගිහින් ඒ ලැබෙන සොච්චමෙන් හතරෙන් එකක් විතර සුමනරත්න ගොයියාට දුන්නම මිනිහගෙ ඉහේ මලක් පිපිණු ගානයි. මිනිහට දුකත් එක්ක වගේ,

ඉතින් මල්ලි එකපාර ගෙවල දාන්න බලන්න. පොළිය විතරක් ගෙවන එක මල්ලිට පාඩුයිනෙ

මිනිහට දුකත් එක්ක වගේ, ඒකයි මිනිහ එහෙම කියන්න ඇත්තෙ. කොහොම වුණත් මිනිහ දන්නව ණය මුදල වැඩි වුණොත් මිස සම්පූර්ණ ගෙවා දැමීමක් නම් මේ යන විදියට සිද්ධ නොවන බව.
ඒ වගේම මේ යන විදියට මිනිහ මනාපයි. කතිරෙන් විතරක් නෙවෙයි බොහෝ කියුම් කෙරුම් වලින් මිනිහ මේ පවතින විදිය මීටත් හොඳින් රැකෙන්න දායක වෙනව.

මෙහෙම ජීවත් වීම තේරුමක් නෑ. හාමතේ වැටිල ඉන්න වෙලාවකයි මට යන්තමට වගේ ප්‍රඥාව පහළ‍ වෙන්න ගත්තෙ. ඉන්න හිටින්න කියා බතල වැලක් වත් හිටවගන්න මහ පොළොවෙ ඉඩක් නැති මිනිස්සු වුණාම එදා වේලට ජීවත් වෙන්න සිද්ධ වෙනව. හීනියට පහළ වෙච්ච ප්‍රඥාව මට කිව්වෙ කන බොන එක නතර කරන්න පුඵවන් ක්‍රමයක් හොයපං කියල.

පුද්ගලික දේපල පරිහරණය නැති කරල රතු මාමල සමාජවාදී දේශයක් ගොඩනගන්නෙ නැති බව දැන් සිකුරටම සිකුරුයි. උන්ට ඕනි හිඟන්නො දෙතුන් දෙනෙකුට හරි නායකයෙක් වෙලා දේශනා පවත්වල පණ ගැට ගහගන්නයි. ඉන් එහාට වෙන මගුලක් නෑ. ඒ වගේම දැනටම සමානාත්මතාවය බිඳගෙන වැඩියෙන් දේවල් භුක්ති විඳින උදවිය ඒකෙනුත් සෑහීමකට පත් නොවුණාම මෙන්න දෑකැත්තයි මිටියයි දික් කොරන් රුසියන්කාරයෝ වගේ විප්ලව කරන්න, ඉල්ලීම් කරන්න තියාගන්නව. ඒක යකාගෙ සමාජවාදයක්. හැබැයි රුසියන් කාරයො ඉල්ලුවයි කියන්නෙ බඩ ගින්නට පාන්ය කියලත් කොහෙද මං කියවල තියෙනව. ඒක බොරුවක්ද මන්දා.

පාලකයන්ගෙන් අපි වගේ අවශේෂ පුද්ගලයන් සඳහා බඩේ පහර හැරැ මොන ඉටිගෙඩියක්වත් නොලැබෙන බවත් සිකුරටම සිකුරුයි.

අනාථ පිණ්ඩිකල, වෙස්සන්තරලනම් මේ රටට හීන තමයි. කීයක් හරි වැඩියෙන් ලැබෙන එකාට අවශ්‍යතා වැඩි වෙනව. එකට උන්නු එවුනුත් අමතක වෙනව ඒ අවශ්‍යතා ළඟදි. මනුෂ්‍ය ස්වභාවයයි කියමුකො ඒකට.

ඔන්න ඔහොම තමයි ප්‍රඥාවබෝධය ටික ටික පහළ වෙන්න ගත්තෙ. කන බොන එක අත හැරියොත් ගොඩේ ගොඩ වෙන්න පුඵවන් බව සක් සුදක් සේ විශ්වාසයි.
අන්න ඒකට තමයි මට නොසෑහෙන්න නිවාඩු ගන්න සිද්ධ වුණේ. කන බොන එක අත්හැරැපු මිනිස්සු සම්බන්ධ වාර්තා හොයන්න පළවෙනි දවස් ටික මහන්සි ගත්ත. මහන්සියේ ප්‍රතිඵල තිබුණ.
එක වාර්තාවක තිබුණෙ මේ මං වගේම ඉන්දියාවෙ ගැහැණියක් හාමතෙන් බේරෙන්න අධිෂ්ඨාන කරල අන්තිමේ ජීවිත කාලයම කෑමෙන් බීමෙන් වැලකිලා තිබුණ වගේම කිසිම අතුරු අන්තරාවක් නැතිව සෑහෙන කාලයක් ජීවත් වෙලා තියෙනව. මේ උන්දෑ යෝග ක්‍රම වලින් තමයි එහෙම කලයි කියන්නෙ.

තව වාර්තාවක තිබුණෙ මේ මෑත කාලයේ කතාවක්. ඒත් තව ඉන්දියාවෙ මනුස්සයෙක් දවසට කිරි වීදුරුවක් සහ කෙසෙල් ගෙඩියක් විතරක් කාල බීල දෙයියනේ කියල පණ ගැට ගහගෙන ඉන්නව කියල සෞඛ්‍ය සම්පන්නව. මිනිහ මෙහෙම ඉන්නෙ කොහොමද කියල බටහිර පරීක්ෂකයොත් පරීක්ෂණ පැවැත්තුවයි කියලත් ඒකෙ තිබුණ. කොහොම වුණත් ලංකාවෙ හැටියට කිරි වීදුරුවක් කියන්නෙ ඕනෑවට වැඩියි. ළදරුවෙකුටවත් කිරි පොවන්න බැරි කාලයක් මේක. ඕක ප්ලේන්ටියක් දක්වා අඩු කරන්න ඕනි කියල මගේ ප්‍රඥාව මට කියා හිටිය. කෙහෙල් ගෙඩියත් ලේසි නෑ තමයි.

තව තැනක කියවුණේ මහාවීර ආහාරයක් ගත්තෙ දවස් දොළහකට සැරයක් කියල. අන්න ඒකනම් මරු මගේ ආදායමේ හැටියට. කොහොමත් මාසෙකට වේල් හත අටක් කන්න පුඵවන් වැටුපකුත් ලැබෙන එකේ කීයක් හරි ඉතුරු කරගන්නත් ලැබෙයි සුමනරත්න ගොයියගෙ පොළී ණයත් ගෙවල දාන්න පුඵවන් වෙයි මාස හත අටකින්.

මේව බොරු වාර්තා වෙන්න බෑ. දැන් වැඩේ අතේ පත්තු‍ වෙලා තියෙන්නෙ. කන බොන එක අත හරින්න මනුස්සයාට හැකියාව තියෙනව. ඒත් කරුමෙට අපේ වගේ රටවල් වල මනුෂ්‍ය වර්ගයාට ලොකුම සේවය සිදු විය හැකි මෙවැනි පර්යේෂණයකට බුද්ධිමත්තු, උගත්තු අත ගහල නෑ. විශ්ව විද්‍යාලයකවත් එහෙම වැදගත් පර්යේෂණයක් සිද්ධ වෙනවද කියල හොයල බැලුවත් ඔහෙ නෑ එහෙම එකක්. වැඩකට නැති මහා සංකල්ප එක්ක එයාල හැප්පෙනව කීයක් හරි වැඩිපුර හොයා ගන්න.

අන්තිමේ වැඩේ මටම පවර ගන්න සිද්ධ වෙලා. ඒකට සුදුසුකම් මට ගොඩක් උපතින්ම ලැබිල තියෙන එක වාසියක් වෙලා තියෙනව.
මේක ටිකක් අමාරුයි. ටිකක් කිව්වට ගොඩක්ද මන්දා. ශරීර කූඩුවට බාහිරෙන් කෑම බීම ඕනියි කියන හිතුවිල්ල කුඩ්ඩක්වත් ඉතුරු නොවන විදියට හිතෙන් අයින් වෙන්න ඕනි. ලෝකය ගැන ආදරය, මෛත්‍රිය හිතේ වැඩෙනවනම් ඒක මේ වැඩේට පහසුයි කියල තමයි මට දැන ගන්න ලැබුණෙ. අමාරුම හරිය ඒක තමයි. මොකද ඉන්න තරමක් නසරාණියෝ පිරිච්ච මේ රටේ ඉඳගෙන මෛත්‍රිය කිරීම...?

කොහොම වුණත් මේ හිඟන ජීවිතෙන් ගොඩ යන්න ඕනි නිසා ඒකටත් මං පිළියම් හෙව්ව. හේතුවක් නැතිව ඇස් අරින එක නැවැත්තුව. වැඩේ ටිකක් සාර්ථක වේගෙන එන්නෙ. නිවාඩු දවස්වල නම් දවසම වගේ ඇස් වහගෙනම ඉන්න පුරුදු වෙමින් ඉන්නව ශරීර කෘත්‍ය කරද්දි පවා. එතකොට ගොඩක් දේවල් පේනව අඩුයි. නොපෙනෙන දේවල් වලට වෛර කරන්නෙ හෝ කෝප ගන්නෙ අහවල් අමාරුවකටයැ. කන් ඇහෙන එකත් වදයක් තමයි. හැබැයි ශරීර කූඩුවට වැටෙන කෑම ප්‍රමාණය දරුණු විදියට අඩු කළාම බාහිර සද්ද බද්ද කන් වලට ඇහෙන්නෙ නැතුව යනව කියලත් මට හොයා ගන්න ඇහැක් වුණා. එතකොට කන්දෙක මුඵ මනින්ම ඇවිලෙන කුසගින්නෙ සද්දෙට සවන් දෙන්න ගන්නව.

කොහොමින් කොහොමින් හරි දෙයියනේ කියල දවසකට එක සැරැයක් මොනව හරි ගිලල ඉන්න පුඵවන් කියල මම හොයා ගත්ත. හැබැයි බර වැඩ කරන්න ගියොත්නම් අමාරුවේ වැටෙනව. ශරීරය වැඩිය හොල්ලන්න නරකයි. අර යකාට ගෙවන්න තියෙන ණය මතක් වෙද්දි එක පාරක් ගිලින එකත් මහ වැරැද්දක් කියල හැඟෙන එක මගේ වාසියට හිට්ට. හැබැයි මෙතනදි දරා ගැනීමේ ශක්තිය අවශ්‍ය වෙනව. බඩට ඕනි විදියට අපි කටයුතු කරන එක නවත්වන්න වෙනව. බඩ කියන්නෙ වෙන එකෙක්ය ඌට ඕනි ඕනි විදියට අපි නටන්නෙ නෑ කියන හිතුවිල්ල ශක්තිමත් කල යුතු වෙනව. පොඩි පොඩි අතුරු ආබාධ ඇතිවෙන්න පුඵවන්. ඔඵවෙ කැක්කුම, කරකැවිල්ල, ක්ලාන්තය, කකුල් පණ නැති වීම, ඇට කටු පෑදීම වගේ අතුරු ආබාධ ඇති වෙද්දි හිතන්න ඕනි මේ අතුරු ආබාධයෝ අපි සදාකාලිකව ණයකාරයෝ සහ හිඟන්නු කරල තියන්න දඟලන මාර සෙනඟය කියල.

මේක වැඩ කලොත් විසි එක්වැනි සියවසේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා කරපු ලොකුම පර්යේෂණයට තමයි මම අත ගහල තියෙන්නෙ. ආයෙ එහෙම කලා කියල මමනම් පදවි තානාන්තර, වැඩි පඩි, වැඩි වරප්‍රසාද ඉල්‍ලන්නෙනම් නෑ ඕං. සාමාන්‍ය මනුස්සයාට ගොඩ යන්න පාරක් තමයි එකම බලාපොරොත්තුව.
අඩුම ගාණෙ සතියකට එක සැරයක් මොනා හරි ගිලල පණ ගැට ගහගන්න තත්වෙට හිත වෙනස් කරගන්න එක සාර්ථක වුණොත් ගොඩක් වාසි සැලසෙනව. තුට්ටු දෙකට අරකට මේකට කඹුරන කම්කරුවට යහපතක් වෙනව. ගොවියට ඕනෑවට වඩා මහන්සි වෙලා වගා කරන්න ඕනි වෙන්නෙ නෑ. ඔය ටිකක් වවා ගත්තම මදැයි. විකුණගන්න බෑ කියල උද්ඝෝෂණ කරන්න ඕනැන්නෙත් නෑ එතකොට.
හාල් කිලෝ එකට පාන් රාත්තලට මහජනයව කඩේ යවන්න දේශපාලකයන්ට අමාරු වෙනව. ගොවිය, කම්කරුව අඩු ශ්‍රම දායකත්වයක් සපයන විට රටේ ආහාර ප්‍රමාණය අඩු වෙනව. එතකොට උන්ව හූරගෙන කාල ජීවත් වෙන ලොකු ලොකු උත්තමයන්ටත් බඩ ගින්න දැනෙන්න ගන්නව. උන්ට බඩ ගින්න හුරු නැති නිසා උන් අතරට යන සීමිත කෑම වලට උන් උන් මරාගන්න ගන්නව. ඒකෙනුත් යහපතක් වෙයි. තව මොනවයින් මොනව වෙයිද කියල කියන්න අමාරුයි. කොහොම වුණත් ගොඩක් දේවල් හොඳ අතට සිද්ධ වෙයි. බත් පැකට් එකකට මොන්ටෙරෝ එකක් වුණත් හුවමාරු වෙන්න ඉඩ තියෙනව. අන්න ආශ්චර්යය.

කොහොම වුණත් මේක කරන්නම සිද්ධ වෙන කටයුත්තක් ලෙස මම භාර අරගෙන තියෙනව (ප්‍රතික්ෂේප කරන්න බැරි විදියට භාර ගන්න සිද්ධ වෙලා තියෙනව). අවම වශයෙන් මගේ බේරුමටවත්.
වැඩේ අහවර වෙන්න කළින් අර මාර සෙනග මාව ගිලගත්තොත් මගේ උත්කෘෂ්ඨ බලාපොරොත්තුව මාත් එක්කම අතුරුදහන් වෙයිද කියල බයකුත් නැතුව නෙවෙයි.

ඒ කොහොම වුණත් උඹලට ඕනිනම් හිනාවෙයල්ල.