Wednesday 4 August 2010

මමද ලිහිණියෙකු වෙමි

යෞවනය හා ප්‍රේමය හමුවන සන්ධිස්ථානයක් ජීවිතය තුළ එළඹේ. එක්ව ගමනක් යාමේ ප්‍රාර්ථනාවන් හදවත් තුළ දැල්වේ. ජීවිතයේ මිහිරියාව ආදරයේ මිහිරියාව තුල පමණක් බව හදවත් අදහයි.

එහෙත් සියල්ලේම පාලනය මිනිසාගේ පාලන සීමා‍වෙන් ඔබ්බේ සිට බලා හිඳියි. එම ප්‍රාර්ථනාවන් සඵල කර ගැන්මට හෝ ආශාවන් වින්දනය කිරීමට පැතූ ලෙසින්ම සියල්ලන්ට හැකියාවක් නොලැබේ. විටෙක හදවත් දැල්වූ ප්‍රේමය එක් පාර්ශ්වයකට තව දුරටත් වටිනාකමක් නැති වීමෙන් දුක හෝ වෛරය බවට පත්වේ. විටෙක ඔවුන් පැතූ ලෙස එක්වුණද ජීවිතය තුළ පැතූ සතුට ප්‍රීතිය සැනසීම එලෙසින්ම එකිනෙකා තුළ නොමැති බව කල්ගත වී හෝ අවබෝධ වේ. එසේම හැඟීම් වල තීරණයන් අනුමත නොවන පවුල් පසුබිමක් තුළ සමුගැනීමට සිදුවන අවස්ථාද වේ.

පුද්ගලයාගේ කර්මය හෝ අසාධාරණ සමාජ ප්‍රවණතාවයන් හේතුවෙන් එළඹෙන ජීවන ගැටඵ හේතුවෙන් වෙන්වීමට සිදුවන අවස්ථාද අපමණය. එසේම පෙරුම්පුරා දුෂ්කරතා මධ්‍යයේ සෙනෙහසේ ජීවිතය ඇරැඹුවද දරිද්‍රතාවය, පීඩනය, අසරණකම එහි සතුට උදුරාගෙන තිබේ. වෙන් කිරීමට මිස එක් කිරීම වෙනුවෙන් මනුෂ්‍යත්වයේ ප්‍රයත්නයන් දුර්ලභය.
ඉතින් අපට ඒ මොහොතේ අපි තටු සිඳුණු කුරුල්ලන්සේ නොදැනේද?
අහිංසක අප දෙදෙනාගේ තටු කඩා මේ ලෙසින් දිය බිඳක්වත් නැති ගඟ දෑල අතහැර දැමූ බලවේගය කුමක්ද? එය කුමක් වුව අප දොස් නගා ඵලක් නොමැත. එහෙත් මතු දිනෙක අපේ පැටවුන්ට පියාපත් ලබා නිදහසේ පියඹන අයුරු අපි කියාදෙමු.

රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ කාව්‍ය රචනාවක් ඇසුරින් ඔහු විසින්ම නිර්මාණය කල ගීතයකි. එක්තැන් වුණ ප්‍රේමණීය ජීවිතයට එරෙහි වන සිය පාලනයට එපිටින් එන පීඩාවන්ගේ සංවේදනාව සියුම් වදනින් ප්‍රකාශ වන්නේ උපමා රූපක හරහාය. පොදු ජනයාගේ දුක වේදනාව සමග කවදත් ඒකාත්මික වූ ගුණදාස කපුගේ මහතා විසින් සංගීතවත් කරමින් ගීතය ගායනා කර ඇත.


සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඞන
මමද ලිහිණියෙකු වෙමි කැඩුණු තටු පිරිමදින

අහිංසක අප දෙදෙන තටු කඩා මේ ලෙසින
සිඳී ගිය ගඟ දෑල හැර දැමූවේ කවුද?
සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද?
බාල වයසින් මැරුණු ප්‍රේමයකි තරු එළිය

කටුක දුක් විරහ මැද අතරමං වී ගියද
අපි තවත් පෙම් කරමු අපේ ජීවිත වලට
කියා දෙමු පියඹන්න අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබූ කුරුල්ලන් වී දිනෙක

ගීතය බාගෙන අහන්න..

5 comments:

  1. මගේ ප්‍රියතම ගීයක්....ඒවාගෙම අගනා විවරණයක්.......

    ReplyDelete
  2. ගීතය නම් අදයි ඇහුවේ.
    ලස්සන විචාරයක් ඒ සඳහා ලියැවිලා තියෙන්නෙ.
    :)

    ReplyDelete
  3. මමත් ගීතය නම් අදයි ඇහුවෙ...ස්තුතියි ඔයාට සහෝ

    ReplyDelete
  4. සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද?
    මමද ලිහිණියක වෙමි කැඩුණු තටු පිරිමදින.
    ගීතය කලින් අහලා නම් නැහැ. ස්තුතියි.

    ReplyDelete
  5. දැක්වූ අදහස් වලට ඔබ සිව්දෙනාටම මගේ ස්තූතිය.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.