Monday 20 June 2011

සතා මරණ විදිය නොදැක මස් රාත්තල ඉල්ලන්නේද?





මා මිතුරෙකුගේ මාර්ගයෙන් කොට්ටාව ප්‍රදේශයේ සුඵ ව්‍යාපාරයක සහයකයෙකු ලෙස සම්බන්ධ වීමෙන් පසු නවාතැන් ගත්තේ සිරිනිමල් අයියාගේ නිවසේ පිටතින් පිහිටි කාමරයේය. තවම කපාරාරු නොකල, ජනෙල් වෙනුවට ඉටිරෙදි ගැසූ එම කාමරය මගේ වත්කමේ හැටියට මා සමගම එකට වැඩ කල සුවිමල් සමග හවුලේ බෙදා ගැනීමට සිදුවිය.

සිරිනිමල් අයියා රජයේ සුඵ සේවකයෙක් ලෙස සේවය කරන්නෙක් වන අතර ලැබෙන සොච්චමෙන් පණ ගැටගසා ගැනීම අමාරු නිසාදෝ පහසුකම් නැති මෙම කාමරය සුඵ මුදලකට හෝ අපට කුළියට දී තිබිණ. දරුවන් තිදෙනෙක් සහිත පුංචි නිවසේ ඉඩපාඩු මදි වුණත් ඔහු මෙන්ම අපිත් ඒ අපහසුකම් විඳ දරාගැන්මට පුරුදු වී සිටියෙමු.
‍සිරිනිමල් අයියාගේ නිවසට යාබද නිවසේ විසුවේ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් බව අප දැන ගත්තේ මෑතකදීය. නිවෙස් දෙක වෙන්කරමින් විශාල තාප්පයක් බැඳ තිබූ අතර සිරිනිමල් අයියාගේ වත්තේ වූ එකම තාප්පය එය වූ අතර අනෙක් තුන් පැත්තට තාප්ප නොතිබුණි. මෙම අසල්වැසියා රණබාහු මහත්තයා ලෙස සිරිනිමල් අයියා හැදින්වූවත් අපට කිසිදා ඔහු මුහුණට මුහුණ හමු වී නැති බැවින් මෙතෙක් අපි ඔහුව දැක නොතිබිණ. විටෙක ඇරෙන ගේට්ටුවෙන් කාරයෙන් පිටවී යන, නැතිනම් වේගයෙන්ම පැමිණ කාරයෙන්ම ගේට්ටුවෙන් ඇතුළට යන ඔහු හෝ ඔහුගේ බිරිඳ හෝ දරුවන් හරිහැටි දැක බලා ගන්නට අපිට අවස්ථාවක් නොලැබුණු අතර එවැනි අවශ්‍යතාවයක්ද අපිට නොවිණ.
සිද්ධිය වූයේ ඉරිදා දිනයක් වූ මේ ඊයේය.

හවස් අතේ ගේ ඇතුළේ හරි හමන් ඉඩපාඩුවක් හෝ වාතාශ්‍රයක් නැති බැවින් සිරිනිමල් අයියත් එක්ක එළිමහනේ කතාවක් දාගෙන සිටි අපි දුටුවේ ගේට්ටුව සමීපයේ වාහනයක් නතර කර නලාව හඞවන අයුරුයි. සිරිනිමල් අයියා දිව ගියේ මොකද මේ රණබාහු මහත්තයා කවදාවත් නැතිව කියමිනි.
වාහනයේ සිටම සිරිනිමල් අයියා සමග කිසිවක් කතා කල රණබාහු මහතා අප දෙදෙනා දෙසද බලා සිනහවක් නගා කාරය හෙමින් තම නිවසේ ගේට්ටුව වෙත පදවා ගෙන ගියේය.
ආපසු පැමිණි සිරිනිමල් අයියා පැවසුවේ රණබාහු මහත්තයා අපි තුන්දෙනාට ටිකක් කතා කරන්න එන්න කියන බවයි. ඇත්තෙන්ම පුංචි නින්දක් දාන්න මට අවශ්‍ය වුණත් සුවිමල්ගේ පෙරැත්තය නිසා පැය භාගයකින් පමණ අපි හෙමින් සැරේ රණබාහු මහතාගේ ගේට්ටුව දෙසට කිට්ටු කළෙමු.

පළමු වරට ඒ ගේට්ටුව විවර වී තිබෙනු දුටු මට පෙනුණේ වාහන නතර කරන ගරාජය අසල සිමෙන්තියෙන් තැනූ බංකු දෙකකින් එකක රණබාහු මහතා වාඩි වී සිටින අයුරුයි. අපි දුටු විගස රණබාහු මහතා සිනහමුසු මුහුණින් ආ එන්න එන්න කියමින් අපිව ඇතුළට කැඳවා ගේට්ටුව වසා දමා සිමෙන්ති බංකු මත අසුන් ගන්නා ලෙස අපිටත් ආරාධනා කළේය. ඒ වන විට අඳුර වැටෙමින් තිබිණ.

මොකද සර් කවදාවත් නැතිව මේ අපිට එන්නයි කියල කතා කළේ සිරිනිමල් අයියා හඞ අවදි කළේය. ඒ එක්කම නැගිට ගරාජය දෙසට ගිය රණබාහු මහතා මත්පැන් බෝතලයක් රැගෙන ආවෙ තමන්ගේ නිවස දෙසට හොර බැල්මක්  හෙලමිනි. එවරනම් සිරිනිමල් අයියාගේ මුහුණ හඳ පෑයූ ලෙස එළිය වැටෙනු මම බලා සිටියෙමි.

හරි ටිකක් ගන්නකො සිරිනිමල්. මල්ලිල ටිකක් පාවිච්චි කරනව නේද කියමින් ඔහු ගෙනා වීදුරුව සිරිනිමල් අයියාගේ අතට දුන්නේය. සිරිනිමල් කතාවක් නැතිව කටකපා වීදුරුවක් බඩට යවා ගත්තේ මැරෙන්න පණ අදින එකෙකුගේ මුවට වතුර උගුරක් වැටුණු සේ සැනසීමක් ලබමිනි.

මේකනෙ මල්ලිල, මේ දවස් වල ටිකක් විශ්ව විද්‍යාල වල ප්‍රශ්ණ. රටේ බුද්ධිමත් කොටස වන විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයට මේ ආණ්ඩුව බොරු කරල තියෙන්නෙ පඩි වැඩි කරනව කියල. දැන් අවුරුදු තුනක් විතර වෙනව පොරොන්දු දීලත්. ඒක ඉතාම අසාධාරණයි අපි මේ ගැන ජනතාව දැනුවත් කිරීමේ රැස්වීම් පවත්වමින් යනව. අපේ ඒ රැස්වීම් වලට ඔයගොල්ලන්ගෙ සහය අවශ්‍යයි
ඒ කිව්වෙ සර්, පෝස්ටර් අලවන්නද? අපි දෙන්නම් ගේම එසේ කියමින් සිරිනිමල් අයියා දෙවැනි වීදුරුව දාගත්තේ සුවිමල්ගේ පළවෙනි වීදුරුවට පසුවයි.
ඒත් සිරිනිමල් අයියාට උත්තර ලැබීමට පෙර සුවිමල් පළමු වීදුරුවෙන්ම ඉහමොළ රත්වෙලා වගේ කතාවට පැන්නේ,

ඉතින් ආණ්ඩුව බොරු කිව්වෙ ඔබ තුමන්ලට විතරක් නෙවෙයිනෙ. පඩි වැඩි කරනව කියල හැම ර‍ජයේ සේවකයෙක්ම රැවට්ටුවනෙ

හරි හරි ඒකත් ඇත්ත. ඒ වුණාට මේක ඊටත් කළින් දීපු පොරොන්දුවක්. දැන් බලන්න ඒ කාලෙ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙ වැටුපට සමාන වැටුපක් ලබා ගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රීව‍රු, මහ බැංකු නිළධාරී වගේ අය අද විශාල වැටුපක් ලබනව. ඒත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට එහෙම වැඩිවෙලා නෑ. ඒක අසාධාරණයි

සිරිනිමල් නැවතත් කටහඞ අවදි කළේය.
අන්න හරි සර්, ඔය යක්කු අසාධාරණ විදියට වැඩි කරගත්ත පඩි නිසා අපි කාට කාටත් වැලේ වැල් නැති වුණා. නියමයි සර්. සර්ල අපි එකතු වෙලා කියමු උන්ගෙ පඩිත් අඩු කරන්න කියල. එතකොට අපිටත් පාන් ගෙඩිය හරි කීයක් හරි අඩුවෙයිනෙ. කාට කාටත් සහනයක් ලැබෙයි සිරිනිමල් අයියා ගම කන බව මට තේරුම් ගිය නමුත් කරන්න කිසිවක් නොවිණ.
රණබාහු මහතාගේ නළලට හීන් දාඩිය බිඳක් එක්වී තිබෙනු මා දුටුවෙමි.

නෑ නෑ ඒක ප්‍රායෝගිකව කරන්න අමාරුයිනෙ. දීපු පඩි අඩු කරන්න බෑ. ඒක නිසා අනෙක් අයගෙත් පඩි වැඩි කරන්න කියල තමයි අපි ඉල්ලන්න ඕනි

ඒකත් හොඳයි සර්. හරියට කාපු ඇඳපු කාලයක් මතක නෑ. පොඩි එවුන්ට හරියකට උගන්වගන්නවත් බැරිව ඉන්නෙ. ඉතින් සර්ලවත් මෙදා පාර පුංචි අපේ පඩියත් වැඩි කරන්න කියල ඉල්ලන එක ලොකු දෙයක්. මු නම් වෙරිමරගාතේ  හොඳටම නාගන්නා බව මට වැටහිණ.
කොයිකටත් රණබාහු මහතා අසරණ කල නොහැකි බැවින් වෙරි වී නොසිටි මම කටහඞ අවදි කළෙමි.
නෑ නෑ සිරිනිමල් අයියේ. මේක මෙතුමන්ලගෙ පඩි වැඩි කරන්න කියල කරන සටනක් විතරයි. එම්පීලගෙ, මහබැංකු නිළධාරීන්ගේ ගාණට

ප්‍රායෝගිකව එහෙම කරන්න බෑනම් මේ ලෝකෙ කිසිම රටක අදායම් බෙදී යන විෂමතාවයන් පාලනය කරන්න බැරි වෙනව. ඒත් අද වෙද්දි ගොඩක් ශිෂ්ඨසම්පන්න දියුණු රටවල අපේ රටේ වගේ විෂමතාවයන් නෑ. ඒත් ඒ රටවලත් නොදියුණු අශිෂ්ඨ ක්‍රමයන් තියෙද්දි විෂමතාවයන් තිබුණ. ඒත් ඒව නැති කලේ ප්‍රායෝගිකව කරන්න බෑ කියන සිතුවිල්ලට වඩා කරන්න පුඵවන් කියන මානුෂිකවාදී සිතුවිලි දරපු මිනිස්සු හිටපු නිසයි මේ කතා කරන්නෙ සුවිමල්ය. මූටත් දැන් හොඳපදම්ය.

එතකොට සර්. සර්ලගෙ පඩිය වැඩි කරන්න කියල කරන ඉල්ලීමක්නම් මහජනතාව දැනුවත් කරනවයි කිව්වේ මොකටද? ඒ සිරිනිමල්ය. සර්ලගෙ පඩියත් උන්ගෙ ගාණට උස්සල ඕනි කියල මහජනතාව දැනුවත් කරන්නෙ මොකටද? ඒකෙන් මහජනතාවට ලැබෙන්නෙ මොකක්ද?
එයට උත්තර දුන්නේ සුවිමල්ය.

ආ... ඒකට මහජනතාවට තව බදු ටිකක් හෙට අනිද්ද වැටෙයි. ඒ මදැයි ඒකට සහයෝගෙ ලබා ගන්න තමයි මේ දැනුවත් කිරීම් සිද්ධ කරන්නෙ
රණබාහු මහතා ටිකක් අසරණ වූ අයුරු පෙණින. ඒත් ඔහු නැවත කතා කරන්නට විය.

නෑ නෑ මින් ඉදිරියට අපි රටේ සිද්ධ වෙන අසාධාරණ වලට කතා කරනව. අපි මෙච්චර කල් කටවල් වහගෙන හිටපු නිසයි අපිට වඩා වැඩි වැටුප් අර අය ලබා ගත්තෙ. ඔයගොල්ලො නොදන්නව වුණත් දකුණු ආසියාවෙ අඩුම පඩි ගෙවන්නෙ ලංකාවේ විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන්ටයි
සුවිමල් කතා කරන්නට විය.

ඒ වගේම දකුණු ආසියාවෙ ඡන්ද වලදි අරයට කතිරෙ ගහන්න කියල පත්තරවල මැද පිටුවල අත්සන් ගහල මිනිස්සුන්ගෙන් ඉල්ලන, මාධ්‍ය ඉදිරියට ඇවිල්ල එයා පැරදුණොත් රට ඉවරයි කියල මිනිස්සුන්ට එයාම දිනවල දෙන්න කියල ඉල්ලන විශ්ව විද්‍යාල ආචාර්යවරු ඉන්නෙත් ලංකාවෙ විතරයිද කියල මට හිතෙනව. ඔබතුමන්ලට අවුරුදු තුනක් බොරු පොරොන්දු දුන්න ආණ්ඩු අවුරුදු හැට ගාණක් අපි වගේ මිනිස්සුන්ට දවස ගාණෙ බොරු පොරොන්දු දුන්න. රැවට්ටුව. එහෙම තියෙද්දිත් ඔබතුමන්ලම ඒ බොරුකාරයන්ම, රැවටිලිකාරයන්ම පත්කරන්න කියල අපෙන් ඉල්ලනව අර විදියට හැමදාම බොරුකාරයෝ කියල දැනදැනම. අපි වගේ නූගත් මිනිස්සු උගත් අය කියන දේ පිළිගන්න ඕනි නිසා ඔබතුමන්ලව විශ්වාස කරනව. ඉතින් ඒවට හිලව් වෙන්න පොරොන්දු වෙච්ච දේවල් දෙන්න පරක්කු වුණාම විතරක් ඔබතුමන්ල ආණ්ඩුවලට බොරුකාරයෝ කියනව. ස්ට්‍රයික් කරනව. රටේ අසාධාරණකම්වලට මීට පස්සෙ එරෙහි වෙනව කියනව. ඒත් අද ඔබතුමන්ලගෙ පඩිය වැඩි කරපු හැටිය හෙට ඉඳන් ඒ අසාධාරණකම් පෙනෙන්නෙ නැති වෙනව. ඉතින් ඔබතුමන්ල කටයුතු කරන්නෙ ජනතාවට ආදරයෙන්ද නැත්නම් තමන්ගෙ මල්ල පුරවගන්න ආශාවෙන්ද කියන එක හදවතට තට්ටු කරල අහන්න සර්. දකුණු ආසියාවෙ හරි අනෙක් රටවල හරි ඉන්න ඔබතුමන්ල වගේ අයත් එහෙමද කියල හොයල බලන්න. පඩිය විතරක් සංසන්දනය කරල බලන්න එපා සර්.
මේ දේශපාලනය කරන සුඵ කොටසක් ඉන්නව තමයි. ඒත් අපි ඔක්කොම ඒ ගොඩේ නෙවෙයි රණබාහු මහතා පවසයි.

සුවිමල් නැවතත් කතා කරන්නේ වෙරිමත ඔඵවටම ගසා විය යුතුයි.
ඒත් ඒ සුඵ කොටස ලොකු බලපෑමක් කරන්නෙ ඒ ඒ අවස්ථාවල සියඵම විද්වත් පාර්ශ්වය නියෝජනය කරන විදියටයි. ඔබතුමන්ල ඊට විරුද්ධ කෛරාටික දේශපාලනික නොවන මතයක ඉන්නවනම් ඒ අවස්ථාවලම ඔබතුමන්ලටත් පුඵවන්නෙ ඊළඟ දවසෙ පත්තරේ වැඩි දෙනෙක්ගෙ අත්සන් දාල අර සුඵ කොටසට අපි ඔක්කොම අයත් නෑ කියල කියන්න. නැත්නම් පුද්ගලික රූපවාහිනියක හරි පෙනී ඉඳල රාජ්‍ය මාධ්‍ය වල පෙනී ඉන්න කිහිප දෙනා දරන්නෙ තම තමන්ගෙ පුද්ගල ස්ථාවරය මිස සමස්ථ විශ්ව විද්‍යාල විද්වතුන්ගේ ස්ථාවරය නොවන බව පවසන්න. ඒත් ඔබතුමන්ල එහෙම කරන්නෙ නෑ අර සුඵ පිරිස ලෙස ඔමතුමා අදහස් කරන අය කඩේ යන්නෙ ඔබතුමන්ල ඔක්කොම වෙනුවෙන් බලයට පත්වෙන පාර්ශ්වයෙන් පොරොන්දුවක් අරන් කියන එක ඔබතුමන්ල දන්න නිසා. ඒත් ඔබතුමන්ල අතරම හුදෙකලා වූ එක්කෙනෙක් දෙන්නෙක් විරුද්ධ මත ඒ අවස්ථාවල කිව්වත් ඒවට සවන්‍ දෙන්න කවුරුත් නෑ ඒ හුදෙකලා බව නිසාම.

රණබාහු මහතා කතා කරන්න කිසිවක් සොයන බව මට හැඟී ගියේය.

සර් අසාධාරණය වෙනුවෙන් සර්ල දැන් කතා කරනව කිව්වනෙ. ඉතින් සර්ල මේ පඩිය ගැන විතරක් කතා කරන්නෙ ඇයි එහෙනම්. කොයිතරම් අසාධාරණකම් තියෙනවද? දැන් බලන්න සර්ගෙ ලොකු දරුවයි මගේ ලොකු එකයි එක වයසෙ. අපි අල්ලපු ගෙවල් වල. ඒත් සර්ගෙ පුතාව ............ ඉස්කෝලෙට ගත්ත. ඒ සර්රුත් ඒකෙ ඉ‍‍ඟෙනගත්ත නිසා. සර් ලොකු තැනක ඉන්න නිසා. සර්ට විසි කරන්න සල්ලි තියෙන නිසා. ඒත් මගේ කොල්ලව ඒ ඉස්කෝලෙට දාගන්න මම දාපු ඇප්ලිකේෂන් එකට ලකුණු කැපුවෙ පුදුම දේවල් වලට. වතුර බිලක් නැතිවට ලකුණු කැපුව. ලයිට් බිල්  නැතුවට ලකුණු කැපුව. දුර වැඩියි කියල ලකුණු කැපුව. ඉතින් ළි‍ෙඳන් වතුර බිව්වොත්, ලාම්පු පත්තු කළොත් දරුව යන්න ඕනි ළඟ තියෙන කුඩම්මගෙ සැලකිලි  ලබන ඉස්කෝලෙට. මගේ තාත්තත් ඉගෙන ගත්තෙ ඒකෙ. තාත්තත් කම්කරුවෙක්. ඒ නිසා මටත් යන්න වුණේ ඒකට. අද මමත් තාත්තගෙ ජොබ් එක කරනව. හෙට මගේ කොල්ල මගේ ජොබ් එකම කරන්න ඕනි කියන එකයි මේ ලොකු මහත්තුරු කියන්නෙ. සර්ලත් ඒ ඉස්කෝලෙ. සර් අද ලොක්කෙක්. සර්ගෙ තාත්තත් ඒ ඉස්කෝලෙ ඒ සර්රුත් ‍‍ලොක්කෙක්. සර්ගෙ ළමයි යන්නෙත් ඒ ඉස්කෝලෙ එයාලත් සර්ල වගේම ලොකු ලොක්කො වෙයි. අපි හැමදාම නරාවලේ. මේව තමයි සර් අසාධාරණ. වැරැද්දක් කළත් නොකලත් පොලීසියෙන් අල්ලන් යන්නෙ නඩු දාන්නෙ අතපය කඩන්නෙ අපි ව‍ගේ පොඩි එවුන්ගෙ. සර්ල වගේ අය දැක්කම පොලිස්කාරයෝ අහක බලා ගන්නව වැරැදි කළත්. සර් තැපල් කන්තෝරුවකට ගිහින් බලන්න වාහන දඩ ගෙවන්නෙ ත්‍රීවීල්කාරයෝ, බයිසිකල්කාරයෝ විතරයි. කවදාවත් වටින කාර් එකක ජිප් එකක යන කෙනෙක් වැරැදි කලත් පොලිසිය දඩ කොල ලියන්නෙ නෑ. බයයි. පස්සෙ වමාරන්න වෙයි කියල. උසාවියකට ගිහින් බලන්න දඩ ගහන තරමක් ගහන්නෙ පොඩි එකාටම තමයි. මොකද පොලිසිය උසාවි ගේන්නෙ එහෙම අයයි. ඉතින් සර් මේව තමයි අසාධාරණකම් ඒවට විරුද්ධව කතා කරන්න. ඊට පස්සෙ පඩි වැඩි කරන්න ඉල්ලුවනම් හරි සර්. එතකොට අපි ඔක්කොම සර්ල එක්ක ඉන්නවා සිරිනිමලයාට නහුතෙට වෙරි වී තිබිණ.

සුවිමල්ද සිරිනිමල්ගේම කපාපු පඵවක් වගේය.
ඒක හරි. සිරිනිමල් අයිය කිව්ව වගේ මේ නීති හදන, අරව හදන මේව හදන, නීති ක්‍රියාත්මක කරන, ප්‍රතිපත්ති හදන, රටේ ගණන් හිලව් හදන, අර සර් කිව්ව වගේ හොරකමින් අසාධාරණ විදියට පඩි වැඩි කරගෙන ඉන්න තැන් මෙහෙයවන ගොඩක් අය සර් විශ්ව විද්‍යාල වලින් බිහි වෙච්ච අය තමයි. ඒ අය ලොකු තනතුරු වල ඉඳන් හැමදාම රටේ විෂමතාවයන් වෙනුවෙන් වැඩ කලා. ඒ කියන්නෙ සර්ලගෙ ගෝල බාලයෝ මිනිස්සුන්ට ආදරෙන් කටයුතු කලේ නෑ. ඉතින් රටේ උසස්ම, වගකීමක් ඇති උගත්තු කොටස වෙන ඔබ තුමන්ලට පේන්න ඕනි මේ ‍තියෙන තත්වයන්. ඒ දේවල් වෙනස් කරන්නත් මූලික වෙන්න ඕනි ඔබතුමන්ල වගේ බුද්ධිමත්ම අයයි. ඒ වෙනුවෙන් ආදර්ශමත් වෙන්න ඕනි ඔමතුමන්ලයි කාටත් කළින්.  ඔබතුමන්ල සන්සන්දනය කරන්න ඕනි කැත විදියට මහජන මුදල් වලින් තමන්ගෙ පඩි වැඩි කරගත්ත කොටස් වලට සාපේක්ෂව නෙවෙයි. ඒ අය නිසා දුක් විඳින ඔබතුමන්ලට පහළින් ඉන්න මිනිස්සුන්ට සාපේක්ෂවයි. අවම වශයෙන් නීතියවත් කාටත් සමාන විදියට ඉටු නොවන තත්වය ඇති කරල තියෙන ඒ කැත මිනිස්සුන්ගෙ සාක්කුවට සා‍පේක්ෂව නෙවෙයි. හැම දෙයක්ම සාධාරණ විය යුතුයි කියන තැනට සාපේක්ෂවයි. ඉතින් සල්ලි ඉස්සරහට ආවොත් මනුස්සකම නැති වෙන එක ලෝක ස්වභාවය සර්. ඒක නිසා සල්ලි පැත්තකින් තියල දැන්වත් මිනිස්සු එක්ක අත්වැල් බැඳගන්න ආපහු සර්ල අපි අතරට එන්න කියල තමයි අපිට කියන්න තියෙන්නෙ. එහෙම නැතිව මහජනයා දැනුවත් කරනව කියල සර්ල කරන්න හදන දේ ඇත්තෙන්ම විෂමතාවයන් වැඩි කරන දෙයකට සහය ඉල්ලන එක. සම්බෝලයි බතුයි කන එකාගෙ සම්බෝල ටිකටත් කෙළවෙන තැනට කටයුතු සිද්ධ වෙන බවද සර්ල දැනුවත් කරන්න හදන්නෙ. මොකද කාට මොක වැඩි කලත් එදා ඉඳන්ම ඒවට ගෙව්වෙ අපිනෙ සර්. මස් රාත්තලම ඉල්ලන කාටත් සතා මරණ මස් මඩුවට ඇවිල්ල බලන්න කියන්න සර්

මුං දෙන්නට‍ හොදටම වෙරිය. කියවන්නේ විකාරය. දැන උගත් රණබාහු මහතා එයින් වික්ෂිත්ත වී සිටියි මුන්ගේ ප්‍රාථමික හැසිරීම දැකීමෙන්.
ඔයාල එක්ක ‍මේ දේවල් කතා කරල වැඩක් නෑ. ඔයාලට වැටහෙන්නෙ නෑ ඔහු පවසයි.
ඒක ඇත්ත සර් අපි මොකුත් නොදන්න‍ මෝඩයෝ. අපි මිනිස්සු නෙවෙයි. සත්තු. දරකොට. කුණුගොඩවල්. අපිව වීසි කරල දාන්න සර්. පුච්චල දාන්න. ඒ සිරිනිමල්ය.
මුං දෙන්නාගේ බීමත් ඔලමොට්ටල හැසිරීම මාව ලැජ්ජාවට පත් කරලීය. මම සුවිමල්ට සැරෙන් කතා කලෙමි.
මොකද යකෝ උඹ හීනයක් දැක්කද? ඒ සුවිමල්ය.
මට ඇහැරිණ. අප්පට බොල මම දැක තියෙන්නේ සිහිනයකි. මුං දෙන්න දවස පුරා නන්දොඩවන විකාර මගේ ඔඵවට ගහලා හීනෙන් පේන්න පටන් අරන් වගේය. කොහොම වුණත් මම සිහිනය සුවිමල්ට කීවෙමි.

තොටත් පිස්සු බොල. මහජනයා කියල අපිත් එක්ක කතා කරන්න එනවයි බං උන්. උන්ගෙ රැස්වීම් වලට යන්නෙ මහජනය නෙවෙයි. පත්තරකාරයොයි, රූපවාහිනී රේඩියෝ කාරයොයි. වැඩක් නැති ඕව ගැන උනන්දුවන දේශපාලන පිස්සුව තියෙන එවුනුයි විතරයි. දවසෙ පඩිය නැතිකරගෙන, නිවාඩුව කෙළවගෙන අපි වගේ සාමාන්‍ය මිනිස්සු යනවද බං ඕවට. මහජනතාව දැනුවත් කරන්නනම් එන්න ඕනි වැඩපොලවල් වලටයි. පොඩි මිනිස්සු ළඟටයි. අනෙක දැනුවත් කරනව කියල ඇවිත් මොනාද උන් අපි වගේ මිනිස්සුන්ට කියන්නෙ. තෝ වගේ පිස්සු .........ක්. සුවිමල් මට කුණුහරුපයකින් බනිමින් තුවාය කරේ දමාගෙන ළිද ළඟට ගියේය.

මූ නම් සැබෑ ලෝකයේදී මෙන්ම සිහිනයකදී පවා මහම කාළකණ්නියෙක් බව මට වැටහිණ.


17 comments:

  1. හොඳ වෙලාවට හීනයක් වුණේ.... නැත්තං මිනී මැරුමක් වෙලා නතර වෙන්නේ... මොනව වුණත් ලංකාවෙ මේ තියෙන විෂම ක්‍රමේ ඇත්තට අවුරුදු බර ගානක දියුණුවේ ප්‍රතිඵලයක්.. ඔය අවුරුදු 1000කවත් ඉතිහාසයක් නැති අශිෂ්ඨ, නොදියුණු, නොදැමුණු, අසීලාචාර එව්වො ඉන්න රටවල විෂමතාවෙ අවම වුණාට මෙහෙට එව්ව හරි යන්නෙ නෑ.. අපි උඩින් යද්දි උන් ඇන්දෙ කොළ අතු... උන්ගෙ එව්ව අපිට හරි යයිද? පිස්සු කතා කරන්න එපා...

    මීට පස්සෙ හැමදාම විමසුම අහල දොයියද්දි අර ටූත් පේස්ට් වලින් දත් මැදල, අටපට්ටං මදුරු කොයිල් සුවඳ ආග්‍රාණය කරමින් දොයියන්න. ඒකයි සුව නින්දකට මග...

    ReplyDelete
  2. රෙස්ලින් බලන්න ඔනෑ ද එහෙනම් එන්න http://wrestlingsl.blogspot.com/

    ReplyDelete
  3. මේ වගේ නපුරු හීන පේන්නේ නෑ අර දෙයියෝ දොයියන මෙට්ටේ නිදාගත්තනම් :D

    ReplyDelete
  4. මුලින්ම හිතුවේ කාර් එකට තල්ලුවක් දාගන්න වගේ පොඩි උදව්වකට කතා කොරනව කියල ආචාර්ය තුමා, හීනෙන් උනත් උන්නැහ කෙලෝ ගත්ත නේද තාපෙටම මුන්ට කතා කොරල. කතාවෙන් ඉගෙන ගන්න තියෙන්නෙ "වුර්තීය සටනකට හීනෙන් වත් ඩෝප් කාරයන්ගෙන් උදව් බලාපොරොත්තු වීමෙන් වලකින්න" හෙහ්..හෙහ්..හෙහ්...

    ReplyDelete
  5. කොහොම උනත් හීනෙන්හරි ඇත්ත කතාවක් අහන්න ලැබෙන එක හොඳයි.

    ReplyDelete
  6. කොසොල් රජා ගෙ හීන වගේ මේ අනාගතය ගැන වෙන්න ඕනෑ!

    ReplyDelete
  7. හැමදාම මල්..මල් හින දකින එකේ ඉදලා හිටලා හරි මේ වගේ හිනත් දකින්න ඕන..නේද..මිත්‍රයා.
    supperbbbbb.........

    ReplyDelete
  8. හම්බෝ! භ යා න ක යි !!!!

    ReplyDelete
  9. කියල වැඩක් නෑ, හරියටම හරි, කතාව සම්පූර්ණ ඇත්ත.

    ඒ දවස්වල අපිට චන්දෙ දෙන්න ඕන කාටද කියල නොමිලේ උපදෙස් දුන්නු කට්ටිය තමයි මේ ආයෙ පාරක් අපිව දැනුවත් කොරන්න එන්නෙ,

    හෙහ්.......හෙහ්,

    ReplyDelete
  10. අපූර්ව21 June 2011 at 22:12

    ෂහ් අපට පේන්නේ නෑනෙ ඔහොම හීන.නියමයි මිත්‍රයා.හීනෙන් නෙවෙයි හැබැහින්ම ඔය දේ වුනානම් තමයි හරි..

    ReplyDelete
  11. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ ස්ට්‍රයික් එක හින්දා අපි තාම අවුට් වෙන්න බැරිව ලත වෙනවා. අපෝ මෙහෙමත් ස්ට්‍රයික් එකක් !!!!!

    ReplyDelete
  12. වත්ත බද්දට දීල ඇස්සට දත නියවනවා කියල අපේ ගම්වල ඇත්තෝ කියන්නේ මෙවුවටයි..

    ReplyDelete
  13. හොඳ විස්තරයක් කරලා තියනව වත්මන් තත්වය ගැන..සුපිරි...

    ReplyDelete
  14. හොදවැඩේ බෝතලේට මිනිස්සු අල්ලන්න ගියා.

    මගේ අරක්කු මටම ගහනව කියන්නේ ඕකට තමයි!

    ReplyDelete
  15. යකෝ හිනෙන් හරි මුන්දෙන්න දීල තියෙන්නෙ පට්ට ඇත්ත ටෝක් ටිකක්නෙ.ඔය ලොකු ලොකු පොරවල්ලගෙ ලොකු ලොකු ටෝක් හින්ද තමයි අද මේ රටේ මෙහෙම විශමතාවක් තියෙන්නෙ කියල මටනම් හිතෙන්නෙ.ඔය ලොකු ලොක්කො හරි තැන හරි විදියට කතා කලානම් මේ රටේ මීට වඩා හොද තැනක අපිටත් ඉන්න තිබුන

    ReplyDelete
  16. ෂික් විතරක්..... මුන්ට හිනෙං පේන්නෙත් මළ ‍හොල්මං. ඉතිපිසෝ කියල බුදියගනිං. මරු කෑලි පේනවා...

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.