Saturday 9 July 2011

බල්ලන් ආශිර්වාද ලද්දෝය..




අලුතෙන් කානුකපා, වැලි දමා මාස තුන හතරකට වඩා නැතැත් පසු ගිය සමයේ ඇද හැලුණු මුරුගසං වැහි වලට පස් සහ වැලි සේදී ගොස් වලවල් හැදී ඇති ගම්සභා පාර දිගේ ගනේෂ් උඩින් උඩින් අඩි තබමින් දුවමින් මෙන් ඇවිද එනු භාගෙට බඳින ලද බිත්තියේ ඉඳගෙන පාර දෙස බලමින් සිටි මට පෙනේ.

මොකද බං කොරවක්ක වගේ ඇවිදින්නෙ මම පාරට එබෙමින් අසමි.
බලන්න අයිය බල්ලො රීල හැමතැනම අඩිය ගහන්න බෑ.
මගේ මුවට නැගෙන සිනහව වලක්වා ගැනීමට මම අපොහොසත් වෙමි. ම‍ගේ සිනහවෙන් අපහසුතාවයටත් ලැජ්ජාවටත් පත්වන ගනේෂ් අමනාපයෙන් වගේ මා දෙස බලයි.

අපේ ගම් සභා පාර ඇත්ත වශයෙන්ම අපේ නිවෙස් කරා යන පාර ව‍ගේම නන්නත්තාරෙ යන බල්ලන්ගේ වැසිකිළියද වේ. කෙසේ වෙතත් අපේ ගම්මානය මේ වන විට මිනිස්සුන්ට වඩා බල්ලන්ගෙන් ගහණ වීම මහත් ගැටඵ සහගත තත්වයක් ඇති කර ඇත. විවෘත මහපාරක පැහැරීම බල්ලන්ට මහත් සුවයක් ගෙන දෙනු ඇතැයි මා සිතමි. පැහැරීම විතරක්ද?......

ඇයි අයිය හිනා වෙන්නෙ මෙහෙම ගියොත් නම් මුඵ ගමම ගූ ගොඩක් වෙයි රමේෂ් මා දෙස බලමින් කියමින්ම නැවතත් තමන්ගේ කොරවක් ගමන අරඹයි.

ආයෙ මොනා වෙන්නද බං මේක ගූ ‍ගොඩක් වෙලා ඉවරයි දිව යන ඔහුට කෑ ගසා පැවසිය නොහැකි බැවින් මම මටම පවසා ගනිමි.

අපේ ගමේ මිනිස්සුන්ට දැන් බලු ගූ කියන එක සාමාන්‍ය තත්වයක් බවට පත්වී ඇත. ඒවායෙ දුර්ගන්ධය නොදැනෙන සේ ආඝ්‍රාණ ඉන්ද්‍රියයන් පරිණාමය වී ඇති බව පැහැදිලිය. ඒවායේ අපුල බව නොපෙනෙන ලෙස දෘෂ්ඨි ඉන්ද්‍රියයන් පරිණාමය වී ඇති බවද පැහැදිලිය. එසේම රෑ පුරා නන්නත්තාරව ගම පුරා කෑ කෝ ගසන, මරා ගන්නා, උඩු බුරලන බල්ලන්ගේ ඝෝරනාඩුව නෑසෙන ලෙස ශ්‍රවණ ඉන්ද්‍රියන් පරිණාමය වී ඇත. විටෙක උමතු වන බල්ලන් සපා කා කෙනෙකු දුක් විඳියි. අපේ ගමේ එක් මරණයක්ද එසේ සිදුවී ඇති අතර, අහල පහල ගම්වලද එවැනි මරණ කිහිපයක්ම සිදුවූ බව ආරංචි වී ඇත. ඒත් ඒ දූෂමාන ආරංචිද යන්න හරියටම කිව නොහැක්කේ කිසිවෙක් මේ බල්ලන්ගේ කෙරුවාව ගැන කතා කිරීමට අකැමැති වීම නිසාය.

ගම් වැසියන් එසේ බල්ලන්ගේ කෙරුවාව ගැන හාංකවිසියක් නැති විලස ඉන්න පුරුදු වී ඇත්තේ අදෘෂ්‍යමාන බලවේගයක් විසින් බල්ලන් ආරක්ෂා කරන බවට දැනට බොහෝ කලෙක පටන් ඇති කරගෙන තිබෙන විශ්වාසයක් නිසාය. ඒ අදෘෂ්‍යමාන බලවේගය විසින් සැහැසි ලෙස හැසිරෙන වල් බල්ලන්ට ගල් ගැසීමට සහ බැඳ දැමීමට උත්සාහ කල කිහිප දෙනෙක්ම ලෙඩ කරවූ බවත්, බලබිඳ අබ්බගාතයින් කල බවත් ගම්මුන්ගේ විශ්වාසයයි. එහෙත් කරුණු සලකා බැලීමේදී හේතු විරහිතව එසේ සුව කල නොහැකි ලෙස ගිලන්වූ සහ අබ්බගාත වූ කිහිප දෙනෙක්ම ගමේ සිටියද මොන හේතුවක් නිසා හෝ ඔවුන් ගොඵවන් බවට පත්වී ඇති හෙයින් සත්‍ය කරුණු දැන ගැනීමට කිසිවෙකුටත් නොහැකි වී ඇත. ඔවුන් සැබවින්ම ගොඵ වී ඇත්ද නැත්නම් යම් බියකින් කතා නොකරන්නේද යන්නද අපැහැදිලිය. එනිසා අනෙක් ගම්වැසියෝ බල්ලන්ගේ බලුකම් ළඟ අන්ධ වූවන්‍ සේ නොදක්නා දෑසින් සිටීමට හුරුපුරුදු වී ඇත.

කෙසේ වුවත් මේ අදෘෂ්‍යමාන බලු ආරක්ෂක දෙවියාගේ බලයට මහත් සේ අභිරුචියක් දැක්වූ ගම්වැසියන්ද නොසිටියා නොවේ. ඒ බල්ලන්ට සහ බලු දෙවියාගේ ක්‍රියාවන් නොදුටු සේ සිටින මිනිසුන්ගේ අඩුවැඩියන් මංපහරන්නත්, ඒවායින් බල්ලන්ට කන්න දී උන්ව මිතුරු කර ගනිමින් තමන්ගේ සොරකමේ ජීවිතය රිසිසේ ගත කරන්නට කැමැති වූ පිරිසක්ය.

කෙසේ වුවත් මෝඩ ගම්වැසියන්ගේ මිත්‍යා විශ්වාස වලට වඩා බල්ලන්ගේ සැහැසිකම් වලට එරෙහි වී බල්ලන්ට පොලු පහර දුන් කිහිප දෙනෙක්ම ගමෙන් අන්තර්දාන වී ඇති බව හොරෙන් කතා වෙන ගැමියන්ම නොදන්නා අදෘෂ්‍යමාන දේව බලයේ ආනිශංස ගැනද කියයි. කෙසේ වුවත් එසේ බල්ලන්ගේ පැවැත්මට එරෙහි වූවන් තව දුරටත් නැතිවීම නිසා බල්ලන්ට ගම්මානය ක්ෂේම භූමියක් බවට පත්වී ඇත. ඔවුන් රිසි සේ ගම පුරා ඇවිදිමින්, ගෙවලට පැන ඇති සේ සොරාකමින්, මහ මග පහරමින් සහ අවල කෙළියේ යෙදෙමින් පුෂ්ඨිමත් සිරුරුවලින් යුතුව ජීවත් වෙ‍න්නේය. එසේම අධිපෝෂණයෙන් වියරු වැටෙන ඔවුන් ගම්වැසියන් සපා කන අවස්ථා දුර්ලභ නොවේ. ඒත් බල්ලන් රකින අදෘෂ්‍යමාන දෙවියාගේ එම දේව කැමැත්තට සතුටින් ඉඩ දී සිටීමට ගම්වාසීහූ පුරුදු වී ඇත.

එතරම්ම බල්ලන් කළඑළි නොබැසි සමයේ ගමෙන් අන්තර්දාන වී සිටි ගනේෂ් ගමට පැමිණ තියෙන්නේ මේ මෑතකය. එකල ගමේ සිටි බල්ලන් නපුරු බලවේගයක් නිසා උකටලීව, බියෙන් නැට්ට කකුල් අස්සේ සඟවාගෙන වඳවී යන තත්වයට වැටී සිටියහ. කෙසේ හෝ ගම්වැසියන් යාග හෝම පවත්වා මේ නපුරු බලවේගය පන්නා හරින්න සමත් විය. ගම්වැසියන්ගෙන් වෙනස් වැසියෙකු වූ ගනේෂ් එකල ගමෙන් අතුරුදහන් වී සිටියේය. ඒත් නැවත පැමිණි ගනේෂ්ට බල්ලන්ගේ කූට ප්‍රාප්තිය ප්‍රශ්ණයක් වී ඇත්තේ මෙතරම් බලුකෙළි වලට නිදහස් ගම්මානයක් ඔහු කිසිදා දැක හෝ අපේක්ෂා කර නැති බැවිනි. කෙසේ වුවත් බල්ලන්ට රිසි‍සේ ජීවත් වීමට ඉඩදී තමන්ගේ වැඩක් බලාගෙන ගම්වැසියන් සිටියත් ගනේෂ් බල්ලන්ගේ හැසිරීමෙන් බියපත් වී ඇති බව පෙනී යයි.


හවස් අතේ නැවතත් අඳුර වැටෙමින් තිබියදී තමාගේ දවසේ කුළිය ලබාගෙන සිලි සිලි බෑග් එකකට ගෙදරට අවශ්‍ය කළමනාද රැගෙන ගනේෂ් පාර ඈතින් මතුවනු මම දකින්නෙමි.
ඊට අමතරව ඔහු අතේ කෝටුවක්ද තිබෙනු මා දකිමි.


මොකද ගනේෂ් ඔය කෝට්ටක් අරගෙන මම විමසමි.


බල්ලො අයිය, මුංට දැන් පිස්සුත් හැදීගෙන එනව වගේ. ඇඟට පනින්න ඉඩ තියෙනව


යකෝ බල්ලන්ට ගහන්නනම් හිතන්න එපා උඹ ඉවරෙටම ඉවරයි පුතෝ මම කියමි.
ඉතින් අයිය උන්ට බයේ හිටියොත් මේ ගමේ බල්ලො රජ වෙයිනෙ


වටපිට බලා කිසිවෙකු නැති බව දැන මම ගනේෂ්ට අනුකම්පාවෙන් රහසෙන් මෙන් කියමි,


මේ ගමේ බල්ලො රජවෙලා ඉවරයි බං.



14 comments:

  1. පුංචි සිද්ධියක් පසුබිම් කරගෙන, කුතුහලයත් හාස්‍ය රසයත් අවුස්සමින් ගොඩනැගෙන කතාව අපූරුයි.
    හුදෙක් බලු ඇහැකින් බලන්නන්ට එසේද, දේශපාලන ඇහැකින් බලන්නන්ට එසේද, පොලිස් ඇහැකින් බලන්නන්ට එසේද, මැර ඇහැකින් බලන්නන්ට එසේද යනාදී වශයෙන් කියවන්නාගේ රුචියට සරිලන පරිදි තෝරා බේරා ගැනීමට ඉඩ තබමින් ලියැවුණක්.
    ජය!

    ReplyDelete
  2. මේක බල්ලන්ට ගිය රටක් නේ එහෙනම්. ඔය කියන තරමටම ගමේ පාරේ බල්ලො කැත කරලද ? මුන්ව බලු වෑන් එකක් ආවම දෙන්න වටින්නේ !!!!

    අපේ පැත්තේ නම් ඔය කියන තරමට බල්ලෝ පාරේ ජරා කරන්න කමති නෑ. තාප්ප දාගෙන ඉන්න ගෙවල් වල උන්දෑලා බල්ලන්ව ජරා කරවන්න කියලා පාරට අරගෙන එනවා. බල්ලොත් ලැජ්ජාවෙන් තමා ජරා කරන්නේ.

    බල්ලෙක් හැදුවනම් ඒ බල්ලගේ ජරාවත් අදින්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. :)

    ReplyDelete
  3. මම මේ කල්පනා කළේ දේශපාලන ඇහැකින් බලනවද? පූස් ඇහැකින් බලනවද? කියලා :D

    ReplyDelete
  4. බල්ලො හැදෙනකල් බලං ඉන්න ඇත්තෙත් ගමේම උන්. දෙතුන් දෙනෙක් උන්ට ඉන්ජෙක්ෂන් ගහන්න වන්ධ්‍යාකරණය කරන්න එක්ක යන්න හැදුවත් අනිත් උන් 'හපෝ පව්' කියල උන්ව බේරුවා. දැන් විඳපල්ලකො ප්‍රතිඵලේ...

    ReplyDelete
  5. මං නං බලු ප්‍රශ්ණය දකින්නේ මෙහෙමයි.

    බල්ලෙක් මාව හපන්න ආවොත්, මාත් ඌව හපනවා මැරෙන කං.

    එතකොට මාත් බල්ලෙක් වගේ වෙලා, බල්ලා මුලින් මාව හපන් ආපු එකත් සාධාරණීකරණය වෙනවාය කියලා කියන උන්වත් හපනවා ඊලඟට.

    ReplyDelete
  6. මිනිසාගේ හොදම හිතවතා, බල්ලා.. කියලත් කියන වලුනේ.
    ඒකනේ සමහර මැදුරු වල ..මිනිස්සුන්ටත් වඩා බල්ලෝ සැප විදින්නේ.

    දැන් ඉන්න බල්ලෝ නමට විතරයිලු.
    මොකද -බලු වැඩ- කරන එක... වෙන කට්ටියක් .. බාර අරගෙන ලු නේ ... ඉන්නේ.

    ReplyDelete
  7. හරි ෂෝක් බලු කතාවනේ.. මේ මම කැමතිම බලු සිංදුවක්.. බල්ලෝ මල්ලියේ බල්ලෝ..

    ReplyDelete
  8. බල්ලන්ටගිය රටේ,ගමත් උන්ටම යන එක අහන්නත් දෙයක්ද බං

    ReplyDelete
  9. බලු සංහතියේ සියල්ලන්මවෙනුවෙන් බල්ලන්ට ආදරේ කරන මවෙත ලිය එවූ මේ පණිවිඩය ඔබේ ලිපිය යටින් පලකිරීමට අවසර..
    " බල්ලන් වන අප කිසිසේත් මෙවැනි මිනිස් වැඩ නොකරන බව සියල්ලෝම දන්නවා ඇත. එබැවින් මේ ගැන කතා කිරීම අනවශ්‍යය. එහෙත් මිනිස් වැඩ වලට බලු වැඩ කියා කීමෙන් අපේ බලු සංහතියට වෙන අවනම්බුව සුළුකොට තැකීමට අපි සුදානම් නැත. අපි මහා කැලේ ඉඳන් එකතුකරගෙන ඇවිත් සියලු ආරක්ෂාව සහ උදවු දී මනුස්සයින් බවට පත් කලේ මෙවැනි අසමජ්ජාති රෑනක් වීම ගැන අපි කණගාටු වෙමු. එසේ හෙයින් තෙපි සමග මහා කැලේ සිට අභිනිෂ්ක්‍රමණය කෙරීම ගැන අපි දැන් අපේ මුතුන් මිත්තන්ට දොස් පවරමු. මිනිස්සුන් කැලේම ජීවත්වී සිටියානම් මේ ලෝකය මීට වඩා හොඳ තැනක් වීමට ඉඩ තිබිණි යයි අපි හඬගා කියමු. බුක් බුක් බුහ්ක්... "

    ReplyDelete
  10. සරත් ලංකාප්‍රියගේ කතාවම තමයි මටත් කියන්න තියෙන්නේ.
    මැණික්

    ReplyDelete
  11. බල්ලන්ගේ බලු වැඩ කියන්නේ හපාකන එකයි. අනවශ්‍ය තැන්වල ජරා කරන එකයිනේ.
    එහෙමද මිනිස්සු.. හපා කන්නේ ටික ටික. ජරාව සියොලගම.
    ඒ නිසා බල්ලන්ට අපහාස නොකර ඉමු.

    ReplyDelete
  12. මටත් මේක කියවද්දි මතක්වුනේ අර 'බලු' සින්දුව

    පාර්ලිමේන්තුව ඇතුලට හඳ පායනවා...
    හඳ එළියට පිස්සු වැටිල බල්ලො බුරනවා...

    ReplyDelete
  13. බල්ලෝ පිටින් දාලා දේශපාලුවොනුයි උන්ගේ හෙන්චයියොන්ට ඇනපු ටොක්කක්ද මන්දා...

    ReplyDelete
  14. වෙලාවට බල්ලන්ට ලියන්න කියවන්න බැරි, නැත්නම් උඹව කෑලි කරයි .......

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.