Monday 7 November 2011

කියවීම සහ නින්ද පිළිබඳ ‍ඓතිහාසික තොරතුරු




 මිනිසා ශිෂ්ඨත්වයට පත්වූ මුල් වකවානු වල වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු තත්වයක නොපැවතිණි. ඒ නිසා නින්ද නොයෑමට අද මෙන් ඹෞෂධ භාවිතයක් නොතිබුණ බැවින් එකල විසූ බුද්ධිමතුන් විසින් අකුරු ශාස්ත්‍රය නිර්මාණය කළේය. මිනිසාගේ ස්වභාවික නින්දේ නව විප්ලවයක් ඇති වූයේ අකුරු ශාස්ත්‍රය ඇරැඹීමත් සමගය.

ඊට පෙර ස්වභාවික නින්දට පත් වීමට නොහැකි වූ මානවයා අසීමිත දුෂ්කරතාවයන්ට මුහුණ පෑවේය. අද මෙන් දියුණු තාක්ෂණයක්, විද්‍යාවක්, නිර්මාණාත්මක භාවයක් එකල නොමැති වූ බැවින් ඇඳවල්, රබර් මිශ්‍රිත මෙට්ට, මදුරු දැල් හෝ අවම වශයෙන් මදුරු දඟරයක්වත් වෙළඳ පොළ තුළ දක්නට නොලැබිණ. ඒ කෙසේ වෙතත් අකුරු ශාස්ත්‍රය ගොඩනැංවුණ එකල වෙළඳ පොළක් තිබුණා යන්න පිළිගැනීමට ‍ඓතිහාසික සාක්ෂි කිසිවක් නොමැති බව ඉතිහාසඥයෝ පවසයි.
නමුත් එකල අද මෙන් අවදියෙන් ජීවත් වන ජනතාවක් නොවූ බැවින් වැඩි දෙනා හැමදාම නින්දේම පසුවිය. නින්ද නොයෑමේ රෝගයෙන් පීඩා වින්ඳේ ඉතාම සුඵ පිරිසකි. එබැවින් අද මෙන් නොව එකල එසේ සදාතනික නින්දේ පසුවූ මිනිසුන් බොහෝ විට රෝග පීඩාදියෙන්, වන සතුරු උවදුරු වලින්, තමන්ගේ ආහාර කොටස වෙන අය විසින් සොරා ගැනීමෙන්, සතුරු ආක්‍රමණ වලින් මිය ගිය අතර ඔවුන් නින්දේම පසුවූ බැවින් එසේ සිදුවී මිය ගිය බවවත් ඔවුන් නොදැන සිටියේය. එසේම අල්ලපු පැලේ ඉන්න පවුලේ ලට්ට ලොට්ට මං පහරන්නන් පැහැරගෙන ගියද අවට පැලවල් වල නිදා සිටි අය දැන නොසිටියේය. නිදි මරගාතේ එසේ සොරාගෙන යනු දුටුවද නැවතත් ඇස් පියවී ඔවුන් නින්දටම වැටිණි.

එහෙත් එකලද අපේ රටේ මිනිසුන් මෙන් අවදියෙන් විමසිල්ලෙන් ජීවත් වන ඉතාම සුඵතර මිනිසුන් කොටසක් ජිවත් විය. ඔවුන් අවදියෙන් සිටි බැවින් සිදුවන දේවල් දැකීම නිසා නින්ද නොයන රෝගී තත්වයන්ට බඳුන් විය. ඔවුන් විසින් අකුරු ශාස්ත්‍රය නිර්මාණය කර නින්ද නොයෑමේ රෝගයට පිළියමක් වශයෙන් ග්‍රන්ථ සම්පාදනය අරඹූ බවට ‍ඓතිහාසික සාක්ෂි පවතියි.

නින්ද නොයන අවස්ථාවලදී එම ග්‍රන්ථ කියවීම ඇරැඹූ විට ඉබේම ස්වභාවික නින්ද මිනිසා සොයා පැමිණෙන බව ඔවුන් අත්දකින්නට විය. මෙය අත්දුටු ප්‍රතිකර්මයක් බව තහවුරු කර ගැන්මට අවශ්‍යයනම් නින්ද නොපැමිණෙන රාත්‍රි කාලයේ ලෝකයේ පැරැණිම පුස්තක වන වේද ග්‍රන්ථයක් වැනි පොතක් කියවීම අරඹා ප්‍රත්‍යක්ෂයෙන්ම වටහා ගැනී‍මට ඔබට හැකියාව ඇත.

මෙම ස්වභාවික නින්ද ගෙන එන ප්‍රතිකර්මය මා මුළින්ම අවබෝධ කරගත්තේ පාසල් අධ්‍යාපනයට යොමුවූ පසුවයි. නිදා ගැනීමට හිතෙන මහ දවාලක වුව පාසල් විෂයට අදාල පෙළ පොතක් කියවීම අරඹා විනාඩි කිහිපයකින් ස්වභාවික නින්දට පත්වීමේ නිපුණතාවය ලබන්නට මට හැකි විය. මේ වියපත් අවදියේ වුව මා සැපවත් ස්වභාවික නින්දක ආශ්වාදය ලබන්නේ මේ පැරැණි ප්‍රතිකර්ම‍යේ පිහිටෙනි.

කෙසේ වෙතත් එසේ නින්ද නොයන තවත් කොටසක් අතින් වෛද්‍ය විද්‍යාව දියුණු වීම ඇරැඹිණ. ඒ ස්වභාවික ප්‍රතිකර්ම වෙනුවට නින්ද නොයන්නන් වෙනුවෙන් ඹෞෂධීය ප්‍රතිකර්ම සෙවීමේ උත්සාහයක් වශයෙනි. එසේ ඇරැඹුණු වෛද්‍ය ක්ෂේත්‍රය වත්මනෙහි ඉහළ දියුණුවක් ලබා ඇති අතර නින්ද නොයන්නන් වෙනුවෙන් ස්වභාවික ප්‍රතිකර්ම වෙනුවට ‍‍ඹෞෂධ ප්‍රතිකර්ම භාවිතය සමාජය තුළ ස්ථාපිත විය.

එසේ මුල් අවදියේ ඒ අරමුණින් ගොඩ නැගුණු වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රතිඵල අත් කර ගැනීමත් සමගම ස්වභාවික ප්‍රතිකර්ම හඳුන්වාදුන් බුද්ධිමතුන්ගේ නිර්මාණාත්මක ප්‍රභවයන් වන අකුරු ශාස්ත්‍රය හා ග්‍රන්ථ නිර්මාණය වෙනත් අරමුණු වෙනුවෙන් භාවිතා කිරීමට මිනිසුන් පෙළඹීම නිසා ඒවායේ මූලික හරයන් නැතිවී ගියේය. ඒ අනුව ලිවීම සහ කියවීම මිනිසුන් විසින් වැදගම්මකට නැති දේවල් වෙනුවෙන් භාවිතා කිරීම ආරම්භ විය.
ඒ අනුව කොටසක් ලිවීම රස්සාව කරගත්තේය. තවත් කොටසක් ලිවීම තුළින් තමන්ගේ පාණ්ඩිත්‍ය පොදු ජනයා අතරට ගෙන ගියේය. තවත් කොටසක් ලිවීම තුළින් මිනිසුන්ගේ හැඟීම් ඇවිස්සීමට උත්සාහ ගත්තේය. තව කොටසක් රාජ්‍ය පාලකයන් වෙනුවෙන් ප්‍රශස්ති සම්පාදනයට ලිවීම යොදා ගත්තේය. තව කොටසක් ලිවීම කියවීම උපදින හැම කෙනා මතම බලෙන් පැටවීමට අවශ්‍ය අධ්‍යාපන පරිසරයක් සැකසීය. ඒ අනුව කියවීම සහ ලිවීම තුළ ආරම්භක යුගයේ පැවැති අරමුණ ගිලිහී ගිය අතර, ඒ නිසාම වත්මනෙහි කියවීමට ඇති දේ තුළ ඒ ස්වභාවික නිද්‍රාජනක ස්වභාවය නොමැත. ඒවා කියවා තර්ක විතර්ක ගොඩ නැගීමට, හැඟීම් අවුස්සා ගැනීමට, ස්වයං රැවටීමකට ‍පත්වීමට හෝ ගහමරා ගැනීමටද අද මිනිසුන් හුරු වී ඇත. ඒවා කියවා පිබිදුණු සිතැති සමහර මිනිසුන් නින්ද නොයන බැවින් ‍ඹෞෂධ භාවිතයෙන් නින්දට යෑමට හුරු වී ඇත.

කෙසේ වුවත් අකුරු ශාස්ත්‍රයේ සහ කියවීමේ ස්වභාවික අරුත වටහා ගත් පුද්ගලයින්ට වත්මනෙහි කියවීමට පවතින දෙයක්  තුළින් වුවද ස්වභාවික නින්දේ ආශ්වාදය ලැබිය හැක. මන්ද ඒ අර්ථය හිතේ ඇති පුද්ගලයා වෙත මේ දේවල් කියවීමට ගත් විගසම ස්වභාවිකවම නින්ද පැමිණෙන බැවිනි. කියවීමට ඇති කිසිදු ලේඛණයක් තුළ සැබැවින්ම වෙනත් අරුතක් ගැබ්වී නොමැති බව ඔවුන් මනාව වටහාගෙන සිටිති.

ප.ලි.
‍මෙය කියවීමෙන් හෝ නිදිමතක් දැනුණේනම් ඔබ අර්ථවත් මිනිසෙක් විය හැක.



12 comments:

  1. විවෘත අදහස් දැක්වීමක්! :) සමහර දේවල් තේරුනා මදිද මන්ද! :(

    ReplyDelete
  2. නින්ද නොයෑම හින්ද හොයා ගත් දෑ!!!
    මේක කියවල නිදිමත දැනුනේ නෑනේ, බොරුවට වත් නිදිමතයි කියන්න වෙන්නේ. :o(

    ReplyDelete
  3. යෙෂ්! ඔය අකුරු ශාස්ත්‍රයෙ තියෙන නිද්‍රාශීලී ගුණාංගයෙ තරම කියන්නෙ, පොතක් කියවන්න තියෙනවා කියලා මතක් වෙනකොටම නින්ද යනවා.

    ReplyDelete
  4. සික් මම අර්ථවත් මිනිසෙක් නෙමෙයි වගේ!
    ලස්සනට ගලපලා තියෙනවා...

    අද එකම වගේ ලිපි 3ක්ම කියෙව්වා! බීට්ල් අයියා නලිනි අක්කාගේ කතාව බලලා ඒ වගේම එකක් ලියලා තිබ්බා මේකත් නලිනි අක්කාගේ කතාව වගේම නැතත් ඊට ළඟින් යනවා :)

    ReplyDelete
  5. මම නම් පොතක් අරගෙනම තමා ඇඳට යන්නේ. එතකොට වෙනදට වඩා ඉක්මනටම නින්ද යනවා :)

    ReplyDelete
  6. සමහර පොත් කියෙව්වම නින්ද යනවා...සමහර පොත් නම් රැයක් නොනිදා උනත් කියවන්න පුළුවන්..බ්ලොග් කියෙව්වටනම් නින්ද යන්නේ නෑ ඔන්න මටනම් :)

    ReplyDelete
  7. ඔන්න මට නම් නිදිමතයි නිදිමතයි වගේ... ඇත්තටම ඇයි මේ සමස්තයක් විදියට ගැහැණු අයට හොඳට නින්ද යන්නේ? ලෝකෙ තියන ඔය ඔක්කොම විච්චූරන වැඩි හරියක් නිදිමරා ඉඳන් ගෙන හොයාගෙන තියෙන්නේ පිරිමි අයනේ. බලාගෙන ගියාම ඇහැරගෙන ඉන්න අය අර අහිංසකයන්ගෙ දේ හොරා කාලානෙ. ප්‍රශ්න ගොඩායි අද නම් නින්ද යන්නෙ නැතිවෙයි.
    මැණික්

    ReplyDelete
  8. කියවීම වගේම ඔය ස්වභාවික නින්ද ළඟාකරදෙන්න හොයාගත්තු එකක් තමයි බස් වල සීට් එක... ඒක හොයාගන්න කලින් සේරම අර බස් එකේ ගියේ අවදියෙන් හිටගෙනලු! ;-)

    ReplyDelete
  9. nindau..kiyaviimai aathara ochchra loku ne kamak thiyene withthiya dane ne danne..:)

    ReplyDelete
  10. බලාගෙන ඉක්මනට යනකොට නිදා ගන්න එකත් සෑහෙන ලොකු දක්ෂ කමක්...

    ReplyDelete
  11. හ්ම්..කාලෙකින් මේ පැත්තේ එන්න බැරිවුන නිසා නොනිදා කියවන්න හුඟක් දේවල් තියෙනවා වගේ

    ReplyDelete
  12. ඇඳක් මිලට ගතහැකි මුත් නින්ද මිලට ගත නොහැක!

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.