Thursday, 15 September 2011

සංස්කාර....





කුමාරිහාමි ඉස්කෝලෙ හාමිනේ අවසන් ගමන් ගියේ මේ ගිය සතියෙ. නම කුමාරිහාමි වුණාට ඇය වලව්වක කුමාරිහාමි කෙනෙක් නම්‍ නෙවෙයි. විවාහ වෙලා හිටියෙ රත්නපාල ඉස්කෝලෙ මහත්තයත් එක්ක. රත්නපාල අවසන් ගමන් ගිහින් අවුරුදු දොළහක් විතර වෙනව.
මිය යන විටත් කුමාරිහාමි ඉස්කෝලෙ හාමිනේ ගුරු සේවයෙන් විශ්‍රාම ගිහින් අවුරුදු දහ අටක්.  

මේ දෙපළට පුතුන් දෙන්නෙක් සහ එක දුවෙක් ඉන්නව. ලොකු පුතා විදුහල්පතිවරයෙක්. දෙවෙනියා රජයේ සේවකයෙක් නොවුණත් පුද්ගලික අංශයේ රැකියා ගණනක් කරල තැනකට ආපු කෙනෙක්. දුවනම් ඒ තරම් අධ්‍යාපනයක් ලබල නැතත් සාමාන්‍ය රැකියාවක් හොයාගෙන තියෙනව.
සිය ගණනක් දරුවන්ගෙ ඇස් පෑදුව කියන මේ දෙපළගෙ පුද්ගලික ජීවිතේනම් ඒ තරම් සාමයෙන් ගෙවුණෙ නැති බව තමයි දන්න උදවියගෙ පිළිගැනිම වුණේ. දෙන්නම දැන උගත් සමාජය පිළිගත් අය නිසා එකිනෙකාට යටත් නොවීමේ මාන්නය නිසා ඔවුන් අතර සාමයක් තිබුණෙ නෑ කියල තමයි කවුරුත් කියන්නෙ.

කොහොමු වුණත් රත්නපාල මිය යන විට දෙන්න දෙමහල්ලො විරසක වෙලා හිටියෙ. එකම ගෙදර බත් හැළි දෙකක් ඉදෙන තරමට ඔවුන්ගෙ විරසකය දරුණු වෙලා තිබුණ. කොහොම වුණත් රත්නපාල ගුණ යහපත් මිනිහෙක් ලෙසයි වටේ පිටේ උදවිය අදටත් සිහිපත් කරන්නෙ. රත්නපාල එක දවසක් උදේ නැගිටලම නෑ. හවස් අතට වෙද්දි තමයි කුමාරිහාමිට රත්නපාල ඒ දවසට තවම අවදි වෙලා නෑ කියල මතක් වෙලා තියෙන්නෙ. කාමරේ දොර ඇතුළෙන් අගුලු දමා නිදා ගැනීමට රත්නපාල පුරුදු වුණේ තමන්ගෙ බිරින්දෑගේ කෙරුවාව ගැන පැහැදීමක් නැති නිසා වෙන්න ඇති. කොහොම හරි අල්ලපු ගෙදර සමන් තමයි වහලෙ උඵ ගලවල කාමරේට බැහැල රත්නපාල මැරිල බව දැනගෙන තියෙන්නෙ.

කුමාරිහාමි ඉස්කෝලෙ හාමිනේ ඉඩකඩම් එහෙම දරුවන්ට ලියා දෙන්න එතරම් කැමැත්තක් දැක්වූයේ නෑ. සමහර විට දරුවන් ගැන විශ්වාසයක් නැති නිසා වෙන්න ඇති. කොහොම වුණත් මොකක් හරි ඉඩකඩම් පලහිලව්වකට ලොකු පුතා එක්කත් නඩු කිව්ව කියල තමයි වටේ පිටේ උදවිය කියන්නෙ.

කොහොම වුණත් මේ අන්තිම කාලෙ වෙනකොට කුමාරිහාමි ඉස්කෝලෙ හාමිනේගේ කන් ඇසීම දුර්වලයි කියල මිනිස්සු හිතාගෙන හිටියත් තවත් සමහරු කිව්වෙ උන්දැට දිබ්බසෝත ඥාණය තියෙනව කියලයි. බෝතල් අඩි වගේ කන්නාඩි කුට්ටමක් දාගෙන හිටියත් සමහරු කිව්වෙ උන්දැට දිබ්බ චක්ඛු ඥාණය තියෙනව කියලයි.
ඕපාදූප ‍හොයන්න වුවමනාවක් නැති වුණත් ටිකක් අනුන්ගෙ දේවල් ගැන උනන්දු වීම ඇගේ සිරිතක් වුණා.

මේ අවුරුද්දකට විතර කළින් ආරියපාලලගේ ගෙදර සිද්ධ වෙච්ච මොකක් හෝ අඞදබරයකට පොලිසියෙන් ඇවිත් ගියාට පස්සෙ ඒ දිහා ඇහැ ගහන් හිටිය කුමාරිහාමි ඉස්කෝලෙ හාමිනේ ආරියපාලගෙන් ඇහුවෙ,
අර අහවල් එකකට නිතර නිතර උඹල දිහාට පොලිසියෙන් එනවද? කියලයි. කොහොම වුණත් හිත නරක් වෙලා ඉන්න වෙලාවක එහෙම කතාවක් ඇහුවම ආරියපාලට කේන්ති ගිහින් තිබුණ නිසයි ඇහුවෙ,
ඇත්තටම නැන්දට අනුන්ගෙ දේවල් හොයන්නෙ නැතිව තමන්ගෙ ගැන හොයාගන්න බැරිද? කියල.
කුමාරිහාමි ගත් කටටම කිව්වෙ,
මම තරහකට ඇහුව නෙවෙයිනෙ පුතේ. තමන්ගෙ දේවල් කොයි වෙලේ හොයා ගන්න බැරිද ඉතින්? කියලයි.
ආරියපාලට කේන්ති ගියත් ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ කියලයි මටනම් හිතුණෙ.

දිනපාල මුදලාලිගෙ දෙවැනි දුවගෙ මංගල්ලෙට ගිහින් ආපු කුමාරිහාමි ඉස්කෝලෙ හාමිනේ අපේ මල්කාන්ති නැන්දත් එක්ක කියල තිබුණෙ,
අපොයි දැක්කද මනමාලයගෙ හැටි. ඒකා බලන්නෙ උගුඩුවෙක් ‍වගේ. ඇහැකුත් වපරයිද කොහෙද? බස් ඩ්‍රැයිවර් කෙනෙක් කිව්වට දාමරිකයෙක්ද කොහෙද?
කොහොම වුණත් ඒ මනුස්සයා සීදේවී මනුස්සයෙක් කියල තමයි මල්කාන්ති නැන්දනම් අපි එක්ක කිව්වෙ.

ඊට පස්සෙ දිනපාල මුදලාලි අලුත් හයිඒස් වර්ගයේ වෑන් එකක් ගෙනාපු දවසෙ ඒක දැකල කුමාරිහාමි ඉස්කෝලෙ ‍හාමිනේ කියල තිබුණෙ,
මේ යකා මේ ගමෙන් ගෑණියෙක් ගන්න එද්දි ගේන්න පකිස් පෙට්ටියක්වත් තිබුණෙ නෑ. අනේ උගෙ දිව්‍ය රථය. කොහෙ හරි කැඩිල අයින් කරල තිබ්බ එකක් මූ තුට්ටු දෙකට රවට්ටල අරන් එන්න ඇතිකියලයි. කොහොම වුණත් මේ අන්තිම දවස්වල කුමාරිහාමි ඉස්කෝලෙ හාමිනේ ලෙඩින් වැටුණම ඉස්පිරිතාලෙට අරන් ගියේ දිනපාල මුදලාලි ඇවිත් ඒ වෑන් රථයෙම තමයි.

කොහොම වුණත් අ‍පේ මල්කාන්ති නැන්දගෙ පුතාගෙ කසාදයට ඇවිත් ගිහිනුත් උන්දැ කියල තිබුණෙ,
අපොයි පාලිත කොල්ල ගෙනත් තියෙන්නෙ ගෑණියෙක්ද නැත්නම් දැලි අඟුරක්ද? කියලයි.
කොහොම වුණත් ඒක ආරංචි වුණ මල්කාන්ති නැන්ද අපිත් එක්ක කිව්වෙ මේ ගෑණි කවදාවත් තමන්ගෙ මූණ දැකලම නැතිව ඇති කියලයි. කොහොම වුණත් පාලිතගෙ බිරිඳ රන් පාටට දිලිසෙන්නෙ නැතුවට පෙනුමක් තියෙන ගෑණියෙක් කියල කාටත් නොරහසක්.

ඉතින් ඔය වගේ කතා නිසා තමයි උන්දැට අර ඉහතින් කිව්ව වර්ගයේ පෘතග්ජනයන්ට නැති වර්ගයේ ඥාණ පහල වෙලා තියෙනව කියල අහල පහල උදවිය හිතාගෙන හිටියෙ.

ඉතින් කොහොම වුණත් ඒ පාර රෝහලට ගියාට පස්සෙ ආයෙ ගමට එන්න කුමාරිහාමි ඉස්කෝ‍ලෙ හාමිනේට බැරිවුණා.
එකාට එකා නැති දරුවො තුන්දෙනා ඉස්කෝලෙ හාමිනේගෙ මළගමවත් හරියට කරන්න උනන්දු වුණේ නෑ. එක එකාගෙ පිට වගකීම පටවල මග හරින්නයි තුන් දෙනාම කවදත් පුරුදු වෙලා තිබුණෙ. සමහර විට අම්මගෙන් ලැබුණු ගුරුහරුකම් නිසා වෙන්න ඇති. කවුද දන්නෙ ඕව.

කොහොම වුණත් මහ ගෙදර අයිතිකරගෙන හිටිය පොඩි පුතාවත් අම්මගෙ මිනිය ගෙදරට ගේන්න උනන්දු වුණේ නෑ. මල් ශාලාවක මිනිය එක දවසක් තියල තිබුණෙ ගන්න පුඵවන් ලාභම පෙට්ටියක දාල අඩුම වියදමෙන් මළගමේ කටයුතු කෙරෙන විදියටයි. කොහොම වුණත් මාත් ගියා කවුරු වුණත් ගමේ හිටිය මනුස්සයෙක්ගෙ අවමගුලට නොගිහින් බැරි නිසා. ගමේ මිනිස්සුන්ගෙනම් කිසිම පැහැදීමක් තිබුණෙ නෑ මේ මල් ශාලාවෙන් කරන අවසන් කටයුතු ගැන. මොකද මේ ගමේ මැරුණු කවුරුත් මෙච්චර කාලෙකට තමන්ගෙ ගෙදර අවමංගල උත්සවයකට පෙනී හිඳින්න තරම් වාසනාවන්ත වෙලා තිබුණ. ඉතින් මේක ගමේ උදවියට නුහුරු තත්වයක්. දහසක් ගාණකගෙ ඇස් පෑදුව කියල හිතන් හිටියත් කුමාරිහාමි ඉස්කෝලෙ හාමිනේගෙ අවසන් ගමනට සමුදෙන්න කියල එකම ගෝලයෙක්වත් මල් ශාලාව පැත්තෙ එනව කවුරුත් දැකල තිබුණෙ නෑ.

කොහොම වුණත් ඒ වගේ අසරණ විදියට අවසන් ගමන් ගිය කුමාරිහාමි ඉස්කෝලෙ හාමිනේ ගැන කණගාටුවක් ආපහු එද්දි මටත් නොදැණුනා නොවේ.
ඒ එක්කම මට සිහිපත් වුණේ අපේ ගමේ කාලයක් ග්‍රාම සේවක රාජකාරිය කරපු සිරිපාල රාළහාමිගෙ බිරින්ඳෑ වුණු ස්වර්ණලතා නැන්දගෙ මළගමට ගිහින් ආපහු එන්න පාරට  බැහැල සිරිපාල මාමගෙ වත්ත කෙළවරින් ගුරු පාරට එද්දි කුමාරිහාමි ඉස්කෝලෙ හාමිනේ ආවඥා සහගතව මගෙන් අහපු ප්‍රශ්ණයයි.

අපොයි දැක්කද පුතේ මිනී පෙට්ටියේ හැටි



18 comments:

  1. හිතන්න යමක් ඉතුරු කරලා

    ReplyDelete
  2. ෂුවර් එකට කුමාරිහාමි ඉස්කෝලෙ හාමිනේ පන්සලේ හොඳ දායිකාවක් වෙන්නත් ඇති!

    ReplyDelete
  3. In lot of comments I've seen, there are people saying the same as nadee. හිතන්න යමක් ඉතුරු කරලා. I think what they should have post is what they think!

    ReplyDelete
  4. “අපොයි දැක්කද පුතේ මිනී පෙට්ටියේ හැටි”
    උත්ප්‍රාසය! දෛවය අපිට කොච්චර නම් සරදම් කරනවද?

    ReplyDelete
  5. ඔක්කොම සෙල්ලම්
    නාඩි වැටෙනකම් :)

    ReplyDelete
  6. පවු. අන්තිම මොහොතෙත් ගෙදර මරණ කටයුතු ටික කරගන්න නැති උන හැටි. මාර පුදුම පවුලක්. අම්මා කෙනෙක් ඔහොම හැසිරෙනවා මම් මේ ඇහුවමයි.

    කට්ටියම කිව්වත් වගේ හිතන්න යමක් තියෙනවා මේ කතාවේ.

    ReplyDelete
  7. මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ .. සමහරු හිතාන ඉන්නේ තමන් හැමදාම ජීවත් වෙනවා කියලා නෙව . ගෙදර හරි සද්දෙන් පිරිත් දැම්මාම සේරම හරි කීයලා හිතන අය දැන් වැඩියි .

    //අපොයි දැක්කද පුතේ මිනී පෙට්ටියේ හැටි//

    මොනා කියන්නද ?

    ReplyDelete
  8. @ නාලක,
    මේ වගේ පෝස්ට් එකක් කියෙව්වම හිතෙන දේවල් කොමෙන්ට් එකකින් කියන්න අමාරුය්, ඒකට පෝස්ට් එකක් ලියන්න වෙනව. මටත් ලංකාවෙ ඉන්දැද්දි හඳුනාගෙන හිටපු පවුලක් සහ එයාලගේ කෙරුවාවල් මතක් වුනා.

    @ පිටස්තරයා,
    අගේට ලියල තියෙනව, කුමාරිහාමි ඉස්කෝලෙ හාමිනේව මැවිල පෙනුන

    ReplyDelete
  9. නොමැරෙනවා කියලා හිතන මිනිස්සු

    ReplyDelete
  10. තව කෙනෙක් හෝ දෙයක්, විවේචනය කරන්න කලින් ... අපි මොන තරම් දේවල් ගැන හිතන්න ඕනද කියලා .. මේක කියෙව්වම අපූරුවට තේරෙනවා.

    කවුද දන්නේ..කවදා, කොහොම, දේවල්... අපට වෙයිද කියලා.

    හිත අවදි කරවන ලිපියක්.

    ReplyDelete
  11. අප සමාජයේ ජීවත් වුණ තවත් එක කාන්තාවක් විතරයි. ඔය වගේ තව කී දෙනෙක් ඇත්ද....

    ReplyDelete
  12. මං දන්න කුමාරිහාමි ටීචර්ලා දෙන්නෙක්වම මතක් උනා...

    ඒ වගේම කනත්තෙදි දවසක් වයසක කෙනෙකුට වල කපන තැන පෙන්නපු මැදි වයසේ කෙනෙක් ඊට මාස කිහිපයකට පස්සේ ඒ කනත්තෙම වළලපු හැටිත් මතක් උනා...

    ReplyDelete
  13. ඒ කතාවත් ලියන්න ඕන...

    ReplyDelete
  14. අනුන්ගෙ ඇහේ තියෙන පොල් කෙන්ද පේනවලු තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නෑලු

    මම හිතන්නේ දැන් සමාජෙ හුඟක් අය ඔහොමයි කොහොම උනත් හිතන්න යමක් ඉතුරු කරලා තියෙනවා

    ReplyDelete
  15. අනුන් ගැන සොයන එක ඔවුන් ගැන සැලකිලිමත් වෙන එක අපි කාගෙත් පුරුද්දක්.. ඕපාදූප අපි කොච්චර ආසාවෙන් අහන් ඉන්නවද? නමුත් ඉරිසියාවට අනුන්ගේ නැති වැරදි දකින් එක නම් පහත් මානසිකත්වයක්

    ReplyDelete
  16. මේක ඇත්ත කතාවක්,
    මගේ යාලුවෙකුගේ කන්තෝරුවේ සගයෙක් පිළිකාවකට ගොදුරු වෙලා,කන්තෝරුවේ ලොක්කට ඒ ගැන කියල තියනවා කෝල් කරලා.ලොක්ක එකපාරටම අහල තියෙන්නේ "අයි මට කියන්නේ,මිනී පෙට්ටියක් ගෙන්න ගන්නද? " කියලා. ඒ පුද්ගලයා මේ කතාව මගේ යාළුවාට කියල තියෙන්නේ අඬමින්.අවුරුද්දකින් පස්සේ ලොක්කටත් දැන් පිළිකාවක් හැදිලා.

    ReplyDelete
  17. මේ සමාජයේ වෙන්න පුලුවන් යථාර්තයක් ....
    නියමෙට ලියලා තියනවා ........

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.