Friday 18 May 2012

ගර්භනියකගේ ප්‍රේමය







වැරැදීම තුළට පළමුවෙන්ම ඇතුල්වන විට එය වැරැදීමක් නොවන යථාර්තයක් බව ඇයට දැන් වැටහෙයි.

මිලින්ද පහත් මිනිසෙකු නොවන බව ඇය දැන සිටියාය. ඒත් තව දුරටත් ඔහු තමාගේ හදවත තුළ ඇඳී තිබුණු ඔහු නොවන බව හෙළිවන සියඵම කරුණු අනාවරණය වී ඇත. ඒ පරමාදර්ශී ඔහු ජීව ගුණයෙන් පිරුණු කරුණාවකින් හෙබි ඇය වෙනුවෙන් නිරතුරු සැදී පැහැදී සිටින්නෙකි. ඇය ප්‍රිය කරන සියල්ලම ඔහුද ප්‍රිය කරනු ලබයි. හැම ක්‍රියාවකම සෙනෙහසත්, ශාන්ත බවත්, මෘදු බවත් රඳවා තබා ගන්නෙකි.

එහෙත් මිලින්ද එසේ නොවේ. එබඳු පුරුෂ යන්ත්‍රයක් බවට ඔහු පරිවර්තනය ‍වන බවට එකල ඇයට හැඟීමක් නොවුණද, පසුව ඇය තේරුම් ගත්තේ පෙම්වතා විවාහය නම් ප්‍රතික්‍රියාව හරහා යන්ත්‍රයක් බවට පත් වන බවය.

සියඵ ස්වාමි පුරුෂයන් යන්ත්‍රය. ස්වාමි පුරුෂයන් තුළ තව දුරටත් පෙම්වතුන් ජීවත් නොවේ.

එහෙත් ඒ පැරැණි යථාර්තය අද වැරැදීමක් බව තහවුරු වී ඇත. විවාහය නිවැරැදි කල නොහැකි වරදක් වන්නේ එබැවිනි.
ආදරය සහ ද්වේෂය අතර හරි මැද ලැඟුම් ගත් ඇල්මැරුණු ජීවත් වීම ඇය අපේක්ෂ නොකල දෙයකි. ඒ මධ්‍යස්ථය සාමයක් හෝ යුද්ධයක් නොවේ. එය කිසිම නැවුම් හැඟීමකට, සිහිනයකට ඉඩ නොතබන අබ්බගාත ස්වභාවයකි.
ඇය මධ්‍යස්ථයට අකමැතිය. ජීවිතය ආන්තික විය යුතුය. මේ අබ්බගාත ස්වභාවයට වඩා ආදරයේ උච්ඡස්ථානයක හෝ ද්වේෂයේ පහත් ගැඹුරක පවතින ත්‍රාසය, බිය ඈ තුළ ජීව ගුණයක් ඇති කිරීමට ඉඩ තිබිණ.

ඇය අමල්ට සමීප වූයේ මෙන්ම ප්‍රිය කලේද එබැවිනි. ඔහු කිසිසේත්ම බැරෑරුම් මිනිසෙකු නොවේ. අමල්ගේ අක්‍රමවත් රැවුල බෑම මෙන්ම හිස කෙස් පීරීමද, ඇඳුම් ඇඳීමටද ඇය ප්‍රිය කළාය. මිලින්දගේ දිනපතා ක්‍රමවත්ව පවත්වාගෙන යන ශරීර නඩත්තුවට වඩා ඒ තුළ දිනපතා අලුත් යමක් සොයාගත හැක. හැම විටම හැමදේම නොසැලකිල්ල නිසා අමතක වීම පුරුද්දක් කරගත් අමල්ව ඈට ප්‍රිය මනාප වන්නේ කන බොන, නිදන, ඇහැරෙන මෙකී නොකී සියල්ල මතකයේ තබා ගත් යාන්ත්‍රික ස්වාමියා නිසාමය.

බිරින්ඳෑවරු එසේය. තමන්ගේ ස්වාමියා හැරැ අන් සියලු පුරුෂයන් තුළම ඇයට නැවුම් බවක් දැකිය හැක.

එබැවින් ඇය නැවතත් ප්‍රේමයෙන් වෙලුණාය.

ඇය මිලින්ද සමග රැඳී උන් මධ්‍යස්ථයේ සිට ප්‍රේමය ලෙස ඇය නම් කල උච්ඡස්ථානයකට පැමිණ සිටියේ අමල් සමගය. ඉන්පසු ඒ උච්ඡස්ථානය සහ මධ්‍ය ස්ථානය අතර දෝලනය වීම ඇයට ජීවිතය පහසු කරලීය. අමල්ට කිසිසේත්ම ඈ ඉදිරියේ යන්ත්‍රයක් බවට පත් වීමට නොහැකිය.
ඒත් ප්‍රේමය පිටුපසින් එන දුෂ්ඨ සෙවණැල්ලනම් අයිතිකර ගැනීමේ ආශාවයි.

ඇයට නොසිතුණද ඒ ආශාව සපුරාගත් කාල වකවානුවක් තුළ ඇයද යාන්ත්‍රික ක්‍රියාවලියක එකතුවක්ව සිටි බව අමල්ට ‍නොදැණුනා නොවේ. මිනිසුන්ගේ දෙනෙත් දෘෂ්ඨියට  හසුවන වපසරිය අංශක එකසිය අසූවකට වඩා වැඩි වීමට ඉඩක් නැත. එහෙත් අංශක තුන්සිය හැටක වපසරියක් තමා වටා ඇති බව බොහෝ විට නොදැනීම මිනිසුන්ගේ හොඳ නොවන දුර්වලතාවයකි.

කෙසේ වුවත් අර දුෂ්ඨ සෙවණැල්ල ඔවුන්ගේ ප්‍රේමය පසුපසින්ද පැමිණෙමින් සිටියේය. ඒ සෙවණැල්ලේ පළමු ගොදුර බවට පත්වී සිටියේ අමල්ය. නොසන්සුන් ආශාවත් විඩාවත්, දැල්වෙන බලාපොරොත්තුවත් ඔහුගේ මොහොතින් මොහොත අලුත් වන පැරැණි ස්වභාවය වෙනස් කොට ඒකාකාරී මිනිසෙකු බවට පත් කර තිබුණි. වරක් එවැනි සෙවණැල්ලක ගොදුරක්ව සිටි හෙයින්දෝ ඇයට ඒ සෙවැණැල්ලේ බලපෑම භාර ගත නොහැක්කක් බවට පත්වී තිබුණද එහි බලපෑම කොතෙක්ද යත් පෙර අමල්ගේ විවිධත්වයට රුචි වුවද දැන් ඔහුගේ ඒකාකාරී ගලා යෑම ඇයට වටහා ගත නොහැකි වී තිබිණ.

ප්‍රේමය එකිනෙකා නිරාවරණය කරනු වෙනුවට සැම විටම වසා දමයි.


කිසිවකින්වත් අමල්ගෙන් දුරස් නොවීමට ඈ අදිටන් කර ගෙන සිටියාය. එකම  භූමිකාව නැවතත් වෙනත් තැනක රඟපාමින් සිටින බව කිසිසේත්ම ඇයට වැටහීමක් නොවිණ.

ඒත් සෙවණැලි වලට වැඩි ආයුෂ නොවේ. අන්ධකාරය තුළ සෙවණැලි මෙන්ම ආත්මයන්ද අතරමං වී නොපෙනී යයි.

යාන්ත්‍රික මධ්‍යස්ථයේ මිලින්ද සමග එකමුතුවෙන් ඇය නොසිතූ ලෙස කුස තුළට අමුත්තෙකු පැමිණියේය. ඊට පෙර මහමායාවන් ලෙස ඇය එය සිහිනෙනුදු නොදිටීය. ඒත් ඊට පසු ඇය තුළ හෙණ දහසක් පිපිරී යමින් ලැජ්ජාවෙන්ද, අපේක්ෂා භංගත්වයෙන්ද, වේදනාවෙන්ද ඇය ඇඹරී ගි‍යාය. නොපෙනෙන හදවත් සන්තානයක මිලින්ද දුෂ්ඨයාගෙ චරිතයට පණ පොවමින් සිටියේ ඔහුත් නොදැනුවත්වය.

ස්වාමි පුරුෂයන් එසේය. අවසාන වශයෙන් ‍දැනුවත්ව හෝ නොදැනුවත්ව තම භාර්යාවන් දමනය කරයි.

ඇය මතුපිටින් නොහඞන නමුත් ඇතුළතින් හඞමින් සිටියාය. මතුපිටින් හඞන්නට අවසර නැත. මේ අවස්ථාව සතුටු විය යුතු අවස්ථාවක් ලෙස මුඵ ලෝකයම යෝජනා කරනු ලැබූ අවස්ථාවකි. මිලින්දද සතුටට පත්ව ඇත. ඔහු යාන්ත්‍රික ජිවිතයෙන් අවදිව අලුත් දෙයක් වෙනුවෙන් මොහොතකට සූදානම් වී ඇත. ඇය සිනාසිය යුතුය. 

අමල්ගෙන් සැඟවී ගත යුතුය. ප්‍රේමය ගිනි ගෙන ඇත. නැත්නම් යක්ෂයා විසින් ගිනි තබා ඇත. ඇය කුරිරු විය යුතුව තිබිණ. ඇය එක් ගබ්සාවක් කල යුතු විය. කුස තුළට වන් අමුත්තා ගබ්සා කල නොහැක. එය පවුල යන පරමාදර්ශයේ නෑඹුල්ම ඵල හට ගැන්මයි. මිලින්දගේ පීතෘත්වයේ සිනහවයි. නෑසිය හිතවතුන්ගේ බලාපොරොත්තුවයි.
ඒත් පපුවට යටින් රිදුම් දෙන හදවතේ පිළිසිඳගෙන ඇති ආදරයේ කලලය ගබ්සා කල යුතුව ඇත. ඒත් ඒ කළලය නොපෙනෙන හුයකින් හදවත් දෙකක් තුළම දෙබිඩිව පිළිසිඳ ඇති බැවින් ඒ හුය පළමුව කපා දැමිය යුතුව ඇත. ඇය ඒ හුය කපා දැමීය. එහි වේදනාවෙන් අමල් මර හඞ නැගූවද කල හැකි කිසිවක් නැත. ඇය කඳුඵ සඟවාගෙන ගබ්සාව ආරම්භ කළාය. ඊට එරෙහි වන අමල්ගේ විරෝධය ළඟදි ඇය ද්වේෂයේ පතුළටම කිමිදුණාය. ඒ ගැඹුරු පතුලෙන් නැගී ආ විසල් රළ ඔස්සේ අමල් ඈතකට ගසා ගෙන ගියේය.

ඇය ප්‍රතිවිරුද්ධ ආන්තික අත්දැකීමද සම්පූර්ණ කළාය.

ආදරය සහ වෛරය.

අන්ත දෙකකට උත්කර්ෂයෙන් ගමන් කිරීමෙන් අනතුරුව ඇය මධ්‍යස්ථයේ පළමු වරට තැන්පත් තැනැත්තියක් වූවාය. ඒ හරි මැද ස්ථාවර වීම ආන්තික ගමන් වලදී මෙන් වෙහෙසකර නොවන බව ඇයට පළමුවරට අවබෝධ විය.

මිලින්ද කොයි තරම් හොඳ මිනිහෙක්ද ඇය සිතුවාය.

බිරින්ඳෑවරු එසේය. තම ස්වාමියා එළවා දැමිය හෝ මරා දැමිය නොහැකි අවස්ථාව උදාවූ විට ඔහුව භක්තියෙන් පිළි ගනියි.

  

14 comments:

  1. මේ වගේම කතාවක් තියෙන චිත්‍රපටියක් තියෙනව නේද? දුහුල් මලක්? මතක නෑ... නන්දගෙ සින්දුව මතකයි...

    ඔය සමාජය කියන මහා සත්ත්වයාගෙ තැනුම් සෛලය විධියට පවුල කියන යුනිට් එකට තිබුණ හැඳින්වීම දැන් දැන් වලංගු නැති වීගෙන යනව නේද?

    උඹ තීර්ථයෙදි චිත්‍රපටි වගේ මාර හීනනේ බලන්නේ....

    ReplyDelete
    Replies
    1. දුහුළු මලක් තමයි චිත්‍රපටය,
      "රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි
      පෙම් රැහැනින් සිතුම් වසග කළ ආදරයයි"

      කිව්වෙ "නන්දා මාලනී" තමයි

      Delete
  2. ලද දෙයින් සතු‍ටු වේ නම් නොවේ මෙවන් විපත්!

    ReplyDelete
  3. අපේ රටේ විවාහට කියන්නේ බොහොම ප්‍රබල බැදීමක්. මොනම හේතුවක් නිසාවත් දෙදරා නොයා තියාගන්න විවාහ වෙච්චි අය පුදුම ගේමක් දෙන්නේ. ඒක හොඳද නරකද කියලා මට හිතාගන්න බෑ!

    බ්ලොග් එකේ පාටනම් ඇස් වලට හරිම අමාරුයි. මට විතරක්ද දන්නෑ!

    ReplyDelete
  4. විවාහය කටුගාදැමීමට වඩා කා කුලල් ගාගෙන ජීවත්වීම වැදගත් බව සිතීම අපේ රටේ සම්ප්‍රදාය.
    පූසා කිව්වත් වගේ මේ පාට අමාරුයි මචං.

    ReplyDelete
    Replies
    1. අපි සංස්කෘතිය සභ්‍යත්වය කියලා හිතලා මරාගෙන හරි එකට ඉන්න එක පවුල කියලා හඳුන්වලා දෙන සමාජයක් මිස ඕක මොකක්ද කියලා හිතන රටක අපි ජීවත් වෙන්නේ නෑ...

      Delete
  5. මිල්න්දගේ පීතෘත්වයෙන් උපන් දරැවා ගබ්සාවට ලක්වන්නේ අලුත් පෙම්වතා වන අමල් කෙරෙහි උපන් ප්‍රේමයෙන්ද යන්න ගැටළුවක්.
    ඒ කොහොම වුනත් අසම්මත ආදරයක් තුළ පවා සැබෑ ආදරයේ අරුත තිබිය හැකියි.

    "සියඵ ස්වාමි පුරුෂයන් යන්ත්‍රය ස්වාමි පුරුෂයන් තුළ තව දුරටත් පෙම්වතුන් ජීවත් නොවේ."
    ආසියාතික පිරිමියාගේ වපසරිය තුළ තුළ මේ කියමන සත්‍යයක්. ඒ ස්වාමි පුරුෂයා තුළ සදාකාලික පෙම්වතෙක් ඉන්නවා නම් මේ තරම් ගැටලු නිර්මාණය වෙන්නේ නැහැ.

    ReplyDelete
  6. වචන අස්සේ කියවලා අන්තිමට ලොකු හිස්තැනක්....
    සුපිරියි.....

    ReplyDelete
  7. මං කැමතියි මේකේ අන්තිම වගන්තිය ගැන බිරින්දෑවරුන් කියන කතා අහන්න !

    ReplyDelete
  8. පුංචි එකතුකිරීමක්.
    "සියඵ ස්වාමි පුරුෂයන් යන්ත්‍රය. නමුත් "ලලක්කලා" ලඟ ස්වාමි පුරුෂයන් තුළ තව දුරටත් පෙම්වතුන්ය" (ලලක්කා ගැන දැන ගන්න Reargate කියවන්න)
    "බිරින්ඳෑවරු එසේය. තම ස්වාමියා එළවා දැමිය හෝ මරා දැමිය නොහැකි අවස්ථාව උදාවූ විට නවතින්නේ එක්කෝ පන්සලේය, නැත්තම් අමල්ලා ලඟය". ලංකාවේ පන්සල් මැදිවියේ ගැහැණුන්ගෙන් පිරී ඇත්තේ මක් නිසාදැයි සිතා බලන්න.

    ReplyDelete
  9. ස්වාමිපුරුෂයන් තුළ පරන පෙම්වතුන්ම ජීවත් වේ යැයි සිතා සිටීම මුලාවකි

    ReplyDelete
  10. kasada badinatuwa inna

    ReplyDelete
  11. ඔනම දෙයක් ලබාගත්තට පස්සෙ වටිනාකම තෙරෙන්නෙ නැහැ. නැතිවුනාම තමයි දැනෙන්නේ. ආදර සම්බන්දතා/විවාහ සම්බන්දතා තියෙන තුරු සහකරුගෙ/සහකාරිගෙ වටිනාකම තෙරෙන්නෙ නැහැ. නැතිවුනාම තමයි තෙරෙන්නෙ එයා නැතිව ජිවත් වෙන්න බැරි බව. ලේඛ්කයාගෙ රචනා ශෙලිය ඉතා ලස්සන උනත් මෙය යහපත් පරමාදර්ශයක් දෙන කතාවක් නෙමෙ. ඔන සම්බන්දයක් පටන් ගත්ත මුල් කාලෙ තමයි නැවුම් රසවත් බව තියෙන්නෙ. ඊට පස්සෙ අතිවෙන්නෙ එකට ජිවත් වෙන බැදිම. කලින් පෙම්වතාගෙ / පෙම්වතියගෙ නැවුම් බව දැන් සැමියා/ බිරිද තුල නැ කියල අතහරින මනුස්සයා ඊලග සම්බන්දෙදි කරන්නෙත් එකමයි. ඔහොම ගියොත් එකෙක්ට මාස 5-6කට වඩා සම්බන්දයක් තියාගන්න බැ.
    මෙහෙම පෞද්ගලික ප්‍රශ්න මනුස්සයෙක්ට ඇතිවෙන්නෙ ප්‍රෙමය ගැන මෙම අවබොදය/දැක්ම නැති නිසා.
    ඔය කතාවේ පොදුවෙ "බිරින්දැවරුන් එසේය" කියා ලිවිමත් ඉතා වැරදියි.
    තමන්ගෙ බිරිද ඉන්නකොට වෙන ගැහැනු පස්සෙ යන උන් සමාජෙ කොච්චර ඉන්නවද?
    මට හිතෙන්නෙ මෙක කගෙ හරි පවුද්ගලික අත්දැකිමක් සමජයෙ සියලු බිරින්දැවරුන්ට අරොපනය කර කල නිර්මානයක්. සමහර විට මෙක ලිව්වෙ "අමල්" වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන ලෙසම මෙය යහපත් පරමාදර්ශයක් දෙන කතාවක් නොවන බව ඇත්ත. ඒ වගේම ගැහැණිය සහ පුරුෂයා අතර බිහිවිය යුතු සමාජ සම්බන්ධතාවය ඔබ කියන ලෙස විය යුතු බවට තර්කයක් නෑ යහපත් සමාජ පැවැත්මක් සඳහා.
      මෙය සමාජ දැක්මේ සිට කතා කෙරෙන්නක් නෙවෙයි. මිනිසාගේ ඇතුලු මනස තුළ ක්‍රියාකාරිත්වය තුළින් සමාජ සම්මතයන් දෙස බැලීමකි. ඒ අනුව මිනිසා යනු තමන්වම නොදන්නා මානසික සංකීර්ණයකි. සමාජීය වශයෙන් කෘතිමව හික්මවන ලද සවිඥානයක් තුළ සමාජ සම්මතයන් හා සමාජ ආයතන පවතින නමුදු ඇතුල් මනස තුළ සිටින්නේ නොහික්මුණු සත්වයෙකි. එතනදි බිරිඳ/ස්වාමි පුරුෂයා යනු සමාජ සම්මත හරහා නිපදවෙන කෘතිම නිර්මාණ බවට පත්වෙයි. සමාජීය වශයෙන් සියඵ බිරින්ඳෑවරුන් එසේය හෝ සියඵ ස්වාමිපුරුෂයන් එසේය යනුවෙන් පැවසීම දුෂ්ඨ වන්නේද අපට පෙනෙන සමාජ සම්මත "සවිඥානික මිනිසා"ගේ දැක්මෙන් පමණි. එහෙයින් මෙයින් කිසිදු යහපත් පරමාදර්ශයක් නොදෙන සත්‍යයකි. ඒ වගේම සමාජ සම්මත "සවිඥානික මිනිසා" තුළ හැම විටම ඒ සියල්ල නාඳුනන "අවිඥානික සත්වයා" ද ජීවත්වන බව බොහෝ මිනිසුන්ට අමතක වී තිබෙන සත්‍යයකි.

      Delete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.