"ඔයා හරි හොඳ කෙනෙක් ඒත් අපි හමුවුණේ ප්‍රමාද වෙලා. මට තේරෙන්නෙ නෑ මොනා කරන්නද කියල" ඈ කීවාය.
"නෑ අපි හමුවිය යුතු මොහොතේ තමයි අපි හමුවෙලා තියෙන්නෙ. ඊට කලින්වත් පහුවෙලාවත් ඒක සිදුවෙන්න විදියක් නෑ" මා කී බව මතකයි.
"අනේ ඒත්"... ඇය කල්පනාබර විණ. ඇගේ දෑස නොසන්සුන්ය. "මම මේ කරන්නෙ වරදක්ද කියල මට හිතෙනව"
"නෑ ඔයා කිසි වරදක් කරන්නෙ නෑ" මා කීවෙමි.
ආලෝකයත් අඳුරත් එක්ව බොහෝ දවස් ප්‍රසූත කලෝය. කාලය සති ගණන් වලින් ලොකු මහත් විය.
නැවතත් මේ ඇයයි.
"ඔයා හොඳටම දන්නව. මම එයාට පොරොන්දුවක් දීල ඉන්නෙ කියල. එයා තව මාස දෙකකින් ලංකාවට එනව. ඊට පස්සෙ අපිට කතා කරන්න බැරිවෙයි"
"ඒ ඇයි" මා විමසීමි.
"ඒක හරි නෑනෙ ඔයා පිට කෙනෙක්"
"හ්ම්ම් ඒකත් එහෙමද ඒත් මොකක්ද වරද"
ආගන්තුක හැඟීමක් අනාරාධිතව හදවත වෙලා ගනු මට දැණින. පිට කෙනෙක් ..... මට නොතේරේ..
මම විමසීමි
"තමන්ගේ කියන්නේ ඔයා කාටද? ඔයාගෙ පවුලේ අයට විතරක්ද? ඒත් එයාලත් පිට අයම නේද? ඔයාගෙ අම්මත් තාත්තත් එක පවුලක නෙවෙයි නේද, ඒත් එයාල එකිනෙකා පිට අය ලෙස සිතුවනම් එක් වේවිද? එහෙම වුණානම් අද ඔයා ඉන්නවද"
ඈ නිරුත්තර විය.
"ඔයා ආත්මයක් වෙලා ඒ අම්මගෙ බඩට රිංගද්දි හිතුණෙ නැද්ද මේ පිට මිනිහෙක්ගෙ පිට ගෑනියෙක් කියල? ඔයා ඉපදුනාම ඔයාගෙ අක්ක දකිද්දි හිතුණෙ නැද්ද කොහේ ඉඳන් ඇවිත් ඉන්න එකියක්ද කියල? ඊට පස්සෙ ඔයාගෙ නංගිල දෙන්නත් මල්ලිත් ඉපදෙද්දි ඔයාට හිතුණෙ නැද්ද මුං පිට ඉඳන් එන එවුන් කියල. ඔයා කොහොමද එයාලව පිළිගත්තෙ ඔයාගෙ අය කියල"
මා ඇගේ මුහුණ බැලිමි. මහත් තිමිරයකින් වැසුණු අමාවක අහසක් මෙනි.
"ඔයාගෙ පවුලෙන් පිටත පිට මිනිහෙක් බව දැන දැන ඔයා කොහොමද එයාට ආදරෙයි කිව්වෙ. මම විතරමද පිට කෙනෙක් කියල ඔයාට දැනුණෙ"
ඈ නිරුත්තර දෑසින් නිහඞ මුවින් බලා සිටියාය.
"කමක් නෑ ඔයා ගිහින් ඔයාගෙ බොරුවේ ලෝකය තව තවත් පුඵල් කර ගන්න. ඒත් මේ ලෝකෙදි ඔක්කොම එකිනෙකාට අමුත්තො විතරයි". මා ආපසු හැරී ආවෙමි. නැවත ආපසු හැරී නොබැලීමි.
සෘතූන් එක්ව ප්‍රසූත කල සති හා මාස, අවුරුදු බවට වැඩෙමින් කාලය ලොකුමහත් විය. ඒ තුල මහත් ගැඹුරක ලෝකයේ සියඵ දේම එකම රැහැනකින් වෙලී පවතින බව දෑස වසාගත් මොහොතක මට පෙණින.
ඒත් තවමත් ඇයට මා පිටස්තරයෙකි.
කාලය හා විශ්වය එක්ව ඈ වෙනුවෙන් තව බොහෝ දුක්ඛිත භවයන් ප්‍රසූත කිරීමට කථිකා වෙනු මම සිහිනයක දුටුවෙමි.
කියන්න දෙයක් හිතා ගන්න බෑ
ReplyDelete"කමක් නෑ ඔයා ගිහින් ඔයාගෙ බොරුවේ ලෝකය තව තවත් පුඵල් කර ගන්න". මට නම් ඇය ගැන දුකයි. ඇයට අවශ්‍ය උනත් මේ බොරුවේ ලෝකය බිඳගෙන එන්න ඒ අතින් ඇය හුඟක් අසරණ ඇති. කාලය තමයි හොඳම විසඳුම.
ReplyDeleteමම දන්නේ නෑ ඔයා කියපු දෙය මම හරියටම තේරුම් ගත්තද නැද්ද කියලා. ඒත් මට හිතුනෙ මෙහෙමයි...
ReplyDeleteඅපිට " අපේ " කියන හැගීම හිතට දැනෙනේ මොනා හරි බැදීමකින් වෙළුනම විතරමයි. අම්මාට තමන්ගේ දරුව තමන්ගේ කියලා දැනෙන්නේ ඇයි ? අම්මව කෑලි කෑලි වලට කැපුවත් දරුව පිට කෙනෙක්, පිටස්තරයෙක් කියල හැගෙන්නේ නෑනෙ...
ආදරය මම දකින්නෙත් එහෙමයි...බැඳිමක් නැති උනාම පිටස්තරයො වෙනවා...
තමන්ගේ කම සහ පිටස්තර කම ඥාතීත්වය මගින්ම හිතෙනව කියලත් හිතන්න අමාරුයි. සමහර වෙලාවට ආදරයක් වෙනුවෙන් දෙමවුපියො පවා අමතක කරන්න කෙනෙක් පෙළඹෙන නිසා.
ReplyDeleteහිතේ තියන බැඳීමට අමතරව සමාජ සම්මතයන් සහ ඒහා ගැටීම නිසා ඇතිවන වරදකාරී හැඟීම් වගේ දේවලිනුත් අපිට තමන්ගේකම් සහ පිටස්තරකම් බෙදා වෙන්කරගන්න බල කරනව. තව ගොඩක් දේවල් තියනව.
කතාවෙන් කරල තියන විමසුම එල. මේක ලියල තියන විලාශය මගේ හිත් ගත්තා මචන්.
"නෑ අපි හමුවිය යුතු මොහොතේ තමයි අපි හමුවෙලා තියෙන්නෙ. ඊට කලින්වත් පහුවෙලාවත් ඒක සිදුවෙන්න විදියක් නෑ"
ReplyDeleteමේ කොටසට මම හුඟක් කැමතියි සහෝ.... කතාවේ ශෛලිය වගෙම අන්තර්ගතයත් සිත්ගත්තා........ බැඳීම් ඇති වුන කාලය දිගු හෝ කෙටි වූ පමණින් හෝ ඥාතිත්වය මත බැඳීමක වටිනාකම මනින්න බැහැ....... බැඳීම් වලට ලබා දෙන ප්‍රමුඛත්වයට බලපාන්නේ බොහෝ විට සමාජය විසින් ඇති කර ඇති සම්මතයන් සහ ඒ සම්මතයන් කඩා ඉහිරවීම තුල තමන්ගේ හිතට දැනෙන වරදකාරී බව රේවන් කිවුවා වගේම...... මේ සම්මතයන් බිඳගෙන ඉදිරියට යෑමට ඇති නොහැකියාවට ලබාදෙන්න පුළුවන් පහසුම නිදහසට කරුණ 'තමන්ගේකම සහ පිටස්තරභාවය' කියලයි මට හිතෙන්නේ.......
ආදරය සහ බැඳීම් ගැන හැමෝටම තම තමන්ගෙම අදහසක් තියෙන්න පුඵවන්.
ReplyDeleteකොහොම වුණත් අදහස් දැක්වීම පිළිබඳ ඔබ සියඵ දෙනාටම අනේක වාරයක් ස්තූතියි.
කියන්න වචන නහැ..මාරම මාරයි...මේක තමයි නියම යථාර්තය.
ReplyDeleteකෙටියෙන් කිවුවොත් නියමයි....
ReplyDeleteපිටස්තරයා... මම හිතන්නේ අද මට උඹව තේරැණා...
-චන්දිම
ඒ වුනාට මේ තරම් ගැඹුරින් හිතුවාට කමක් නැහැ. හැබැයි ඒ ගැඹුරු සිතුවිල්ලෙන් ජීවත් වෙන්න හිතන්න එපා මල්ලී. ගැඹුරු ලෙසට හිතලා සැහැල්ලුවෙන් ජීවත් වෙන එක තමයි වඩාම හොඳ දේ කියලා මට හිතෙන්නේ.
ReplyDelete