Tuesday, 27 July 2010

මිනී මල් පැහයටත් ඉඩ තැබුණු හදවතේ....

                                   ජීවිතේ පිය හසර
                                   සෙනෙහසින් පිය නැගූ
                                   සුවහසක් දරු ලැබූ
                                   සත්‍යයේ පියාණනි..

                                   නේක මල් ගොමු අතර
                                   මිනී මල් පැහැයටත්
                                   ඉඩ තැබුණු හදවතේ
                                   සුවඳ පියුමක් පිපේ..

                                   මිනීවල තුල නිදන
                                   සුපිපි අරවින්දයේ
                                   සියක් පෙති තෙමී යයි
                                   සහස් කඳුළැලි වැටේ..

                                   විශ්වයේ තරු අතර
                                   සුවපත්ව ඔබ පෙනේ
                                   පැහැසරින් ඔබ දිලෙන
                                   සැනසුමක් සිත නැගේ..

(තම තම ණැන පමණින් බ්ලොග් අඩවිය ලියූ අප අතරින් වියෝවුණු කුමුදු ලාල් පින්තු මහතා ‍ වෙනුවෙනි)

Sunday, 25 July 2010

මහඵය කැඩපත...



                                     මගේ රුව මනරම් ලෙස
                                     වසර කිහිපයකට ඉහත 
                                     කළත් සිතුවම් මේස කැඩපත
                                     කොතෙක් නම් දැන් උදාසීනද?

                                     මාව සිත්තම් කරයි අද දින
                                     දුර්වලව ගිය මේස කැඩපත
                                     පෙර මැවූ සිත්තමට බොහො ලෙස
                                     වෙනස්කම් රාශියක් පවතින..

                                     මදක් වෙව්ලන එසිත්තම මත
                                     මගේ කඵ පැහැ රැවුල් කෙස් ගස්
                                     තැනින් තැන සුදු ලෙසින් ඇඳ ඇත
                                     මගේ පැහැපත් සිනිඳු සම අද
                                     මවා ඇත රඵ ලෙසම බොරුවට..

                                     ලොවේ අනියත බව කියයි මට
                                     වෙනස් වී යන මෙකැඩපත අද
                                     සොඳුරු සිත්තම් පෙර මැවූ නෙක
                                     එපිරිපුන් හැකියාව ගිලිහෙන..

Friday, 23 July 2010

අරුමැති රැඟුමන්...



                                     විඩාපත් මුහුණු මත
                                     ප්‍රිය හාස මෝදු කර
                                     රඟහලින් බැස පැමිණ
                                     හද කඳුඵ දෙස බලන..

                                     මම විකට නඵවෙක්මි
                                     ජීවිතය රඟපාන...

Monday, 19 July 2010

විඩාවට නිමාවක්...


                                     නොදැනෙන පරිදි මට
                                     බැරෑරුම්කම වචන වල
                                     කවුරු හරි එන්න දැන්
                                     කතාවට හුරු පුරුදු
                                     ඇස් දෙකක් දරාගෙන...

                                     ශබ්දයක් නොනගාම
                                     කතාවේ යෙදෙමු අපි
                                     වචන වල කිඵටු බව
                                     සිත් වලට නොදැනෙන්න...

Saturday, 17 July 2010

කාලය අයිති දුකටය...



                                     දුකෙන් කම්පිත සිතුවිලි
                                     කඳුළැලි අතරතුර
                                     'කාලය' උදාවෙයි
                                     වහා නොගෙවෙයි
                                     පීඩිත කරයි හදවත.....

                                     එහෙත් ප්‍රමෝදය තුළ
                                     දහවලක් රැයක් නොතිබිණ
                                     'කාලය' නොවිණ ඒ තුළ
                                     පසක් විණ මෙලෙසින..?

                                     ''කාලය'' අයිති දුකටය.

Wednesday, 14 July 2010

මේ හුස්ම.........



                                                 මේ හුස්ම...
                                                 මා සිරුර හා
                                                 ආත්මය යා කරන
                                                 චංචල පාලමයි.....

                                                 මේ පාලම..
                                                 මගේ ආත්මය
                                                 පාරාදීසයට ගෙන යන
                                                 නැවුම් වූ මාවතයි...

Saturday, 10 July 2010

ශාපලත් සෙනෙහස....

රෝහලක යකඩ ඇඳ මත මා වැතිර සිටියෙමි. මගේ සිරුර හිසේ සිට පාද දක්වා ඇතිරිල්ලකින් වසා තිබුණු අතර මා සිහි එලවා ගැනීමට වෙහෙසෙමින් සිටියෙමි.
මීට මොහොතකට පෙර විඩාවෙන් හෙම්බත්වූ හිරු බැස යමින් මහ පොළොවේ සියඵ දේ වෙත අඳුර කාන්දු වෙමින් තිබිණ. හිරුටත් කලින් දවසේ මෙහෙවරට තිත තැබූ මා මාගේ මිතුරා සමග යතුරු පැදියට ගොඩ වුණෙමි. මගේ මිතුරාගේ නිවසට යාබද තාවකාලික නවාතැනක මා ලැගුම් ගෙන සිටියෙමි. සතර දෙස වැඩෙන අඳුරට එරෙහිව නොයෙක විදුලි පහන් අරගල‍යේ යෙදීමට පටන් ගෙන තිබුණද යතුරු පැදියේ පසුපස වාඩිවී සිටි මට මෝරන අඳුර තුළින් සරදම් සහගත වියරු සිනහවක් ඇසිණ. වෙනදට වඩා මේ සන්ධ්‍යාව මහඵ වියට පත්ව වෙව්ලන බවක් මට හැඟිණ. පිටු පසින් පැමිණි යමක් අප යතුරු පැදියේ ගැටෙනාවාත් සමගම අප දෙදෙනාම ආකාශ කරණම් ගසමින් එයින් වෙන්විය. මහමග වැටුණු මා මතින් රිය සකක් ගමන් කළේය. වේදනාවෙන් සිරුර ඇඹරී ගියේය.
මොහොතක් මා නොසිටි අතර අනතුරුව කිසියම් රියක් තුළ අප දෙදෙනා ලේ ගොඩක් වී සිටියෙමු. යළිත් අමතකය තුළ සිටි මා දැන් මේ සයනය මතය. ඒත් කෝ ඔහු?.....
වාට්ටුව භාර වෛද්‍යවරයා, හෙදියන් දෙදෙනෙක්, රෝහල් සේවකයෙක් මා ළඟ රැඳී සිටි අතර, පිරිසක් අප වෙත පැමිණෙමින් සිටියේය. මගේ මිතුරාගේ මවත් පියත් සොහොයුරාත් සහ අප දෙදෙනාගේම තවත් මිතුරෙකු ඒ අතර හිඳිනු මා දුටිමි. ඔවුන් ශෝකයෙන් පීඩිත වී සිටි අතර මා මිතුරාගේ මව අඩපණව සිටියේය. "අනේ මගේ පුතේ" යැයි ඈ සෙමෙන් කෙඳිරි ගායි.
"කණගාටුයි මෙයා ඇඩ්මිට් කරද්දිම පණ ගිහින් තිබුණ. අනෙක් එක්කෙනා ඔපරේෂන් තියටර් අරන්"
වෛද්‍යවරයා පැවසීය. මා මිතුරාගේ මවගේ දෑස උඩ ගිය අතර මා විපිලසර වීමි. එතකොට මම මැරිල..... ඒත් ඇතිරිල්ලෙන් වැසූ සිරුරට ඉහළින් මා සිටියෙමි.

"එහෙනම් බලන්න"

යමෙකු විසින් සි‍රුරේ හිස කොටසෙහි ඇතිරිල්ල ඉවත් කළේය. මා මිතු‍රාගේ පියාත්, අපගේ මිතුරාත් මගේ මුහුණ දෙස බලනු මා බලා සිටියෙමි. ඔවුන් මා හැඳින ගත්තේය. මා මිතුරාගේ පියා එවිටද බියෙන් හා ශෝකයෙන් පරිපීඩිතව මා දෙස බැලීමට අපොහොසත්වී සිටි ඔහුගේ බිරියට ළංවී
"අපේ පුතා නෙවෙයි" යැයි මුමුණනු මට ඇසිණ. මෙතෙක් වත්තන් කරගෙන සිටි ඈ අසල පුටුවක හිඳ ගනිමින් ළය සැහැල්ලු කරමින් සැනසුම් සුසුමක් හෙලීය. ඇගේ දෑස බලාපොරොත්තුවේ දිස්නයෙන් දීප්තිමත් වෙනු මා බලා සිටියෙමි.
මසිත දරාගත නොහැකි ශෝකයකින් පිරී ගියේ ඈ කෙරෙහි කෝපයක් හා පිළිකුලක් ජනිත කරමිනි. මා වෙව්ලමින් ඈ දෙස බලා සිටියෙමි.
" එතකොට මම මැරුණට කමක් නෑ"
මම කෑ ගසා ඇගෙන් විමසූ නමුත් මා තුළින් ශබ්දයක් නොනැගිණ. මම සිරුරෙන් එපිට සෝබර කිසිවක් බවට පත්වී සිටියෙමි. වසා ඇති මගේ සිරුර දෙස නොබියව බැලීමට ඇයට ධෛර්යය ලැබී තිබුණු අතර යම් ශෝකයකින් ඇගේ මුහුණ වැසී තිබුණ අතර ඇතිරිල්ලෙන් වැසී ඇත්තේ සිය පුතුගේ සිරුර නොවීම ගැන ඇය සැනසිල්ලක් ලබා සිටි‍යාය.
කෙසේ වුවත් ඇයගේ අර සුසුම නම් ඕනෑවටත් වැඩිය. එය මට යකුල් පහරක් මෙන් රිදුම් දුන්නේය. සැනෙකින් ඔවුන් තම පුතු ගැන සෙවීමට මගෙන් ඉවතට ගිය අතර ඔවුන් හා පැමිණි අපේ මිතුරා මහත් ශෝකයෙන් නැවත නැවතත් මා සිරුර දෙස නෙත් යොමු කරමින් ඉවතට ඇදී ගියේය. ශෝකයෙන් පීඩිත වුණු මා "යන්න එපා" කිව්වද එය ඔහුට ඇසෙන්නේ කෙලෙසද?

මා තනිවිණ. මා මියගොස් බව මා අදහන්නේ කෙලෙසද? මට ඔවුන් පසුපස ගමන් කිරීමට සිතුණද මා මිතුරාගේ ඥාතීත්වයෙන් රිදවුණු මා ආපසු හැරී මා සිරුර සමග සිටියෙමි.
කිසිවෙක් මා පසුපස හිඳිනු මට දැණින. ධවල වස්ත්‍රයෙන් සැරසුණු කාරුණික වැඩිහිටි යමෙකු මගේ ආත්මයේ සුරත දැඩිව අල්ලාගෙන මා සනසන්නට විය. එහෙත් අර සුසුම ජනිත කල ශෝකය තව දුර‍ටත් මා රිදවීය.
"දැන් යමු"
කාරුණික වදනින් පැවසුණු අතර මා සුරතගෙන අවකාශයේ ඈතට ගමන් කරනු මට මතකය. සිරුර හැරදා අපමණ දුකින් ආලෝක ප්‍රවාහයක් තුළ ඔහු හා වේගයෙන් ඇදී ගියෙමි. අවකාශය විනිවිද යනෙන සැහැල්ලු ගමනින් පසු මොහොතකින් අප ආත්මයන්ගේ දේශයට පැමිණ සිටියෙමු.
පුදුමයෙකි, එහිදී මගේ ආත්මය බොහෝ ළදරු ආත්ම අතර ළදරු ආත්මයක් බවට පත්වී තිබිණ. දස දහස් ගණන් මව්වරුද පියවරුද අලුතින් පැමිණි මා පිළිගත්තේ සෙනෙහසින් වැළඳ ගනිමිනි. ඔවුන්ගේ මිහිරි චුම්බනයන්ගෙන් මා හිනහුනෙමි. ඔවුන්ගේ සෙනෙහස පවුල් ඒකක තුළට බෙදී වෙන්වී නොතිබිණ. එකම ප්‍රජාවක සෙනෙහසේ රැහැනකින් වෙලී සිටි ඔවුන්ගේ සොම්නසේ ආත්මයන්, මා හෝරා කිහිපයකට පෙර ජීවත්වූ මිහිපිට කිසිදා බිහි නොවන ආශ්චර්යයකි. සෞන්දර්යයකි.
මා කොතරම් වාසනාවන්තද? සුවහසක් මව්වරුන්ගේ ආත්මයන්ගේ ඇකයන් තුළ සෙනෙහසින් නැහැවී සැතපීමට වරම් ලද ළදරුවන් අතර මාද එකෙකු වී සිටියෙමි. සුවහසක් පියවරුන්ගේ දාරක ස්නේහයේ සුරතල් හීසර අනන්ත සුවයක් ගෙන දෙයි. ඉදින් මා අර වැනි කුහක ලෝකයකට හෙලා දමා මේ අනන්ත සොම්නස මට අහිමි කලේ කවුරුන්ද? දැන් මගේ ළදරු ආත්මය සන්තුෂ්ඨියේ බුබුලක්ව ඉපිලෙයි.
කාලය පිළිබඳ හැඟීමක් නොවිණ.
එහෙත්......,,,

මගේ කණ අසලින් කිසියම් කඨෝර නාදයකින් මගේ ප්‍රීතිමත්භාවයට කිසිවෙකු හානි කරනු මට දැනෙයි. එම නාදය ටිකෙන් ටික තිව්‍ර වී ඉසිලිය නොහැකි වෙද්දී මම ඇස් හැර බලමි. කිමෙක්ද මේ?
අහෝ මගේ ජංගම දුරකථනයේ උදෑසන එලාර්ම් හඞ නැවතත් මා මේ ගොරහැඞි, අදමිටු ලොවට අවදි කර ඇත. මා නැවතත් සිහි එලවා ගනිමි.

අහෝ කිමෙක්ද මේ සිදුවූයේ..... මා ශෝකයෙන් වෙලෙමි. මගේ මිතුරාගේ මවගේ බියකරු සුසුම් හඞ නැවත නැවතත් මගේ සන්තානයේ රැව් දෙමින් ආත්මය රිදුම් දෙයි.


Friday, 2 July 2010

සුපිපි මල සහ නොපිපි මම


 
                                     මේ මල හේතු රහිතව
                                     විකසිතව හිනහෙයි..

                                     එහෙත් මම..

                                     බලා ‍සිටියෙන් බොහෝ කල්
                                     මෙමග කිසිවෙක් එනතෙක්
                                     නොහැකි විය සුපිපෙන්න..

                                     සොඳුරුතම සුපිපීම
                                     අහේතුකවේ දියත
                                     කුමට බැල්මන් පතනු
                                     විකසිතව හිනහෙන්න...